රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී පසුගිය පෙබරවාරි 24 වැනිදාට වසර තුනකි. තමන් ජනාධිපති වූ සැණින් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බව පැවැසූ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් - එම කටයුත්තට අත ගසා ඇත. ට්‍රම්ප් විශ්වාස කරන්නේ රුසියන් යුක්රේන යුද්ධය තවත් දුරදිග ගියහොත්, එය න්‍යෂ්ටික යුද්ධයකින් අවසන් වනු ඇති බවය. තමා ඇමෙරිකන් ජනාධිපති ධුරයේ සිටින තුරු එවැන්නක් සිදු නොවනු ඇතැයි - ට්‍රම්ප් අවධාරණය කර ඇත. එහෙත් අවාසනාවකට ට්‍රම්ප්ට රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට නොහැකි වුවහොත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් න්‍යෂ්ටික ප්‍රහාරයකට අණ කළොත් - කුමක් වේවි ද යන්න සිතීම පවා ඇඟ කිලිපොළා යන්නකි.
රුසියන් යුක්රේන් ආරවුල ආරම්භ වීමට හේතුව ‘නේටෝ‘ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යුද හවුලකි. මෙම යුද හවුල ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල එකමුතුවෙන් පිහිටුවා ගෙන ඇත්තේ - රුසියාවෙන් එල්ල වන තර්ජන පිටු දැකීමටය.
යුක්රේනය, අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි. අද, යුක්රේනය රුසියාවේ ප්‍රධානතම අසල්වැසියෙකි. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී බටහිර හිතවාදියෙකි. සෙලෙන්ස්කී ට අවශ්‍ය වී ඇත්තේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම ය. අසල්වැසි යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලැබීම යනු - රුසියාවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකි. රුසියන් ජනාධිපති දිගින් දිගටම මීට විරෝධය දක්වද්දී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී දිගින් දිගටම යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ඉල්ලුවේය. මෙය රුසියානු ජනාධිපති පුටින් ගේ විරෝධයට හේතුවක් වුණු අතර, 2021 පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වූයේ ඒ අනුවය.
ට්‍රම්ප්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝ බයිඩන්ය. බයිඩන් පරිපාලනය දිගින් දිගටම මූල්‍ය වශයෙන් මෙන්ම අවි ආයුධවලින් ද යුක්රේනයට සහාය ලබා දුන්නේය. ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදල් බිලියන ගණනක් යුක්රේනයට ලැබුණි. දිගු දුර මිසයිල පවා රුසියාවෙන් යුක්රේනයට ලැබුණි. මහා බ්‍රිතාන්‍යය ද ඇමෙරිකාව සේම යුක්රේනයට සහාය දක්වමින් මුදලින් ආධාර කරන්න විය. අවි ආයුධ ලබා දෙන්න විය. ඇමෙරිකාව මෙන්ම මහා බ්‍රිතාන්‍යය ද යුක්රේනයට දිගු දුර මිසයිල ලබා දී ඇති අතර - අද වනවිට යුක්රේන හමුදා ඒවා යොදා ගනිමින් රුසියාවේ අභ්‍යන්තර ඉලක්කවලට ප්‍රහාර එල්ල කරයි. අවි ආයුධ දී යුක්රේනයට සහාය දක්වන ඕනෑම රටක් රුසියාවේ සතුරකු ලෙස සලකනවා යැයි, පුටින් ප්‍රතිඥා දී ඇත. රුසියන් යුක්රේන යුද්ධය තෙවැනි ලෝක යුද්ධයක් දක්වා දුරදිග යෑමේ අවදානමක් පවතින්නේ මේ නිසාය.
රුසියාව සතුව මහා විනාශකාරී ආයුධ වර්ග තුනකි. න්‍යෂ්ටික අවි, ජීව විද්‍යාත්මක අවි සහ රසායනික අවි යනු ඒවා ය. පසුගිය 2024 වසර වනවිට රුසියාව සතුව මුළු න්‍යෂ්ටික යුධ ශීර්ෂ ගණන 5,580 ක් බව පැවැසිණි. එය ලොව විශාලතම න්‍යෂ්ටික යුධ ශීර්ෂ තොගයයි. යුද ශීර්ෂ යනු න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය වලින් සකස් කළ මිසයිල හිස කොටසය. මෙම කොටස මිසයිලවලට සම්බන්ධ කර ඒවා යොදාගෙන පහර දීම කළ හැකිය. දිගුදුර මිසයිලවලට සවි කළ හැකි ආකාරයේ න්‍යෂ්ටික යුද ශීර්ෂ 1,710 ක් මේ වනවිට රුසියාව සීරුවෙන් තබා ඇතැයි පැවැසෙයි. මෙය බිහිසුණු තත්ත්වයකි.
යුක්රේන යුද්ධය ඔඩුදුවා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් න්‍යෂ්ටික ප්‍රහාරයක් කරන්නැයි අණ කළොත් - රුසියාවේ ඉලක්ක වනු ඇත්තේ මහා බ්‍රිතාන්‍යය හෙවත් එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි. රුසියාවේ භූගතව ස්ථානගත කළ සහ රුසියාවට අයත් සාගර කලාපයේ සැරිසරන රුසියන් යුද සබ්මැරීනවල ඇති මිසයිල සිය ගණනක් එක පොදියට පැයට සැතපුම් 2,000 කට වැඩි වේගයකින් බ්‍රිතාන්‍යටත් ඇමෙරිකාවටත් ගමන් කරනු ඇත. පැයට සැතපුම් 2,000 ක් යනු ජම්බෝ ජෙට් ගුවන් යානයක වේගයකටත් වඩා පස් ගුණයක වේගයකි.
ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය සතුව ඉතාමත් නවීන තාක්ෂණයෙන් නිර්මාණය වූ මිසයිල ආරක්ෂක පද්ධති ඇත. රුසියන් මිසයිල ගුවන්ගත වුණු සැණින් ඒවා සක්‍රිය වෙයි. ප්‍රති මිසයිල නිකුත් කෙරෙන්නේ, ගුවනේදීම රුසියන් මිසයිල විනාශ කර දැමීමටය. ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා සබ්මැරීන ද ප්‍රති මිසයිල විදිනු ඇත. රුසියාවෙන් එල්ල වන න්‍යෂ්ටික ශීර්ෂ සවි කළ මිසයිල උඩු ගුවනේ දී පුපුරුවා හැරීම සහ ඒ අතරතුරේ රුසියාවේ මර්මස්ථානවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ අරමුණ වනු ඇත. එනමුදු එසේ පැමිණෙන මිසයිලවලට ප්‍රති මිසයිල එල්ල කිරීමට රුසියන් හමුදාව පියවර ගනු ඇත. කෙසේ නමුත් මිසයිල ආරක්ෂක පද්ධතියෙන් බේරුණු එකම එක මිසයිලයක් බ්‍රිතාන්‍යයට හෝ ඇමෙරිකාවට පතිත වුවහොත් හෝ සියල්ල අවසන් වෙයි.
න්‍යෂ්ටික අවි වර්ග ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. පළමු වර්ගයට අයත් වන්නේ ස්පෝටක ශක්තිය න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවක් ඇසුරින් පමණක් නිපදවනු ලබන න්‍යෂ්ටික අවි වර්ගය. මේවා සාමාන්‍ය ව්‍යවහාරයේ දී පරමාණුක බෝම්බ යනුවෙන් හැඳින්වෙයි. දෙවැනි වර්ගයේ න්‍යෂ්ටික අවි න්‍යෂ්ටික විලයනය හරහා ශක්තිය නිපදවයි. හයිඩ්‍රජන් බෝම්බ මේවාට උදාහරණය යි. විලයන බෝම්බ ලෙස ද මේවා හැඳින්වෙයි. දෙවැනි ලෝක යුද්ධය අවසාන කිරීම සඳහා ඇමෙරිකාව විසින් හිරෝෂිමා සහ නාගසාකිය ට එල්ල කරන ලද්දේ පරමාණු න්‍යෂ්ටික බෝම්බයකි. න්‍යෂ්ටික අවියකට අවශ්‍ය ශක්තිය ලැබෙනුයේ බර න්‍යෂ්ටියක් ඛණ්ඩනය කිරීමෙන් හෝ සැහැල්ලු න්‍යෂ්ටින් ගේ එක්වීම මගිනි. පරමාණු බෝම්බය නිර්මාණය වී ඇත්තේ ප්ලූටෝනියම් හෝ යුරේනියම් වැනි ඝන මුලද්‍රව්‍යවලිනි. යුරේනියම් 235 හෝ ප්ලූටෝනියම් 239 හෝ සමස්ථානිකයේ න්‍යෂ්ටිය සමග නියුට්‍රෝනයක් ගැටීමෙන් න්‍යෂ්ටිය කොටස් දෙකකට විභේදනය වී දැඩි තාප ශක්තියක් ඇති කරනු ලබයි. මෙහිදී නියුට්‍රෝන දෙකක් හෝ වැඩි ප‍්‍ර‍්‍රමාණයක් නිකුත් කෙරෙන අතර සෑම නියුට්‍රෝනයකටම තවත් බර න්‍යෂ්ටියක් ඛණ්ඩනය කිරීමට අවශ්‍ය ශක්තිය පවතී. මෙම ක්‍රියාවලිය ආරම්භ වූ විට එය නොනවත්වාම සිදු වෙමින් ඇති කරන තාප ශක්තිය මහා පිපිරුමක් බවට පත්වී දැවැන්ත විනාශයක් සිදු කිරීමට එයට හැකිය. පරමාණු බෝම්බය නිර්මාණය කර ඇති ආකාරය අනුව ප‍්‍රතික්‍රියාව අඩු වැඩි විය හැකිය. සාමාන්‍යයෙන් පරමාණු බෝම්බයක් පිපිරී ගියවිට එමගින් නිකුත් කෙරෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 10ක් පමණ වේ. එයින් නිකුත් වන විද්‍යුත් චුම්භක විකිරණ මගින් ගිනි ජාලාවක් නිර්මාණය කෙරේ. පිපිරුමේ ප‍්‍රබලත්වය මත සුළගේ දැඩි ප‍්‍රචණ්ඩත්වයක් ඇති වේ.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි