රෝගීන්ට සුව දෙන සහන සත්කාරක සේවාව


 

සහන සත්කාර සේවාව අපේ රටට අලුත් සංකල්පයක් විය හැකිය. දියුණු රටවලට මෙය අලුත් සංකල්පයක් නොවුණත්, ශ්‍රී ලංකාව වැනි රටක බෝ නොවන රෝගවලින් පෙළීම නිසා සුව කළ නොහැකි බව වෛද්‍යවරු නිර්දේශ කරන රෝගීන්ට මානසික හා කායික සහනයක් ලැබෙන ආකාරයට කටයුතු කිරීම සඳහා ගාල්ල කරාපිටිය රෝහලේ 65 වාට්ටුවේ මෙම සහන සත්කාර සේවාව පිහිටුවා ඇත. මෙහි ප්‍රධානියා වෙන්නේ පිළිකා රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාය.  


මෙම සහන සත්කාර සේවාව පිළිබඳව වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගෙන් විමසුවෙමි.  
සහන සත්කාර සේවය සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍යවරුනට හෙදියන්ට පරිපාලකයන්ට, දේශපාලනඥයන්ට මෙන්ම මහජනතාවට ද මෙය අලුත් සංකල්පයක්. විවිධ වට්ටම්වලින් රාජ්‍ය නොවන සංවිධාන මෙවැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. මහරගම හා ඒ අවටත් අනුරාධපුරය වැනි ප්‍රදේශවල එක්තරා ප්‍රමාණයක සහන සත්කාරක සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.   


බොහොම කාලයක සිටම යුරෝපය, ඇමෙරිකාව ඇතුළු දියුණු රටවල රෝගවලින් පීඩා විඳින අය සඳහා සත්කාරක සේවාවන් පවත්වාගෙන ගියා. අපේ රටේ මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබුණා. එක එක අය රට සවාරිත් ගියා. පුහුණුවීම් සැසි පැවැත් වුණා. නමුත් ඒ කිසිම කෙනෙක් තිරසාර විසඳුමකට ආවෙ නැහැ.   


සමහර සංවිධාන, මෙහි ඇති සංවේදීකම ප්‍රයෝජනයට අරගෙන මුදල් එකතු කරමින් ව්‍යාපාර පවත්වාගෙන යන අවස්ථාත් තිබෙනවා. විශේෂයෙන් මේ රටේ ප්‍රසිද්ධ නම් තිබෙන සුළු පිරිසකුත් මෙවැනි ආයතන පවත්වා ගෙන යනවා. ගිය වසර 30 ක කාලයක් මේ සම්බන්ධව සාකච්ඡා වුවත් ස්ථිර යමක් ඉටු වුණේ නැහැ.  
ප්‍රශ්නය - මොකක්ද මේ සත්කාරක සේවය  


පිළිතුර - අපේ රටේ ජනතාවගෙන් වයසක ජනගහනය වැඩි වෙමින් පවතිනවා. ඒ බෝ නොවන රෝගවල ව්‍යාප්තිය වැඩිවීමේ අවද‌ානමක් ද පවතිනවා. 

 
එවැනි අවස්ථාවල මහලු මවුපියන් රැක බලා ගැනීමට දරුවන්ට අවස්ථාව නොලැබෙන තත්ත්වයක් ඇති විය හැකිය. එවිට දරුණු රෝගවලින් පෙළෙන මව්පියන් අසරණ වීම සිදු වෙනවා.  


මේ රටේ සමාජ සේවා කටයුතු අවම මට්ටමින් සිදුවෙන නිසා මේ අසරණ බව වැඩි වෙනවා. පිටරටවල නම් නිවෙසටම පැමිණ මෙවැනි වයස්ගත පුද්ගලයන්ට සාත්තු සප්පායම් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. නාවල පිරිසුදු කරලා, කවලා, පොවලා යනවා. අපේ රටේ එවැනි සේවාවන් නැහැ. මේ සහන සත්කාරක සේවාව ඒ වැඩිහිටි උදවිය සඳහායි.  

 


සුව කළ නොහැකි හෝ මාරාන්තික රෝගයකින් පෙළෙන පුද්ගලයකුට ඉදිරියටත් කළ හැකි ප්‍රතිකාරයක් නොමැති බවට වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළ විට එම රෝගියාට ඇති ගැටලුවලට සහනයක් සැලසීම සඳහා ගාල්ල කරාපිටිය රෝහලේ, 65 වාට්ටුව විවෘතව තිබෙනවා. එම රෝගියාට සාමාජීය ප්‍රශ්නයක්, භෞතික ප්‍රශ්නයක්, හුස්ම ගැනීමේ අපහසුව, වේදනාව, මළ මුත්‍රා පිට නොවීම යනාදී වශයෙන් විවිධ බාහිර රෝග තිබිය හැකියි. එවැනි රෝගීන් මෙම 65 වාට්ටුවට ඇතුළත් කරනු ලබනවා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් ඇත. එනම් මෙහිදී මූලික රෝගයට ප්‍රතිකාර ලබාදීමක් සිදු නොවේ.  


උද‌ාහරණ වශයෙන් පිළිකාවක්, දියවැඩියාව, වකුගඩු රෝග, ස්වසන රෝග, ක්ෂය රෝගය, ඒඩ්ස් වැනි රෝගයකින් පෙළෙන අයකුට තවදුරටත් ප්‍රතිකාර කිරීම ප්‍රයෝජනයක් නොවන බව වෛද්‍යවරයා නිර්දේශ කළහොත් එවැනි රෝගීන්ට මූලික රෝගය සඳහා ප්‍රතිකාර කිරීමක් නොව ඒ ආශ්‍රිතව ඔහුට වෙනත් රෝග ඇතිවිය හැකියි. උද‌ාහරණ ලෙස පිළිකා රෝගියෙක් නම් නින්ද නොයාම, වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව වැනි පීඩාකාරී තත්ත්වයන් ඇති විය හැකිය. එවැනි රෝගවලට ප්‍රතිකාර ලබාදෙන අතර ඔහුගේ මානසික ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම මෙම 65 වාට්ටුවේ දී සිදු කෙරේ. රෝගියාට පිටුවහලක් වීම මූලික අරමුණයි.  
රෝගියාට කරනු ලබන ප්‍රතිකාරවලට අමතරව ඔහුගේ බිරිඳ හෝ සැමියාට හෝ ඥ‌ාතීන්ටත් සහන සත්කාර ලබාදීම සිදු වෙනවා. එහිදී රෝගියාගේ තත්ත්වය, ඔහු වෙනුවෙන් කළ යුතු සේවාවන්, රෝගියාගේ මනස තේරුම් ගැනීම, රෝගී නොවන අය ක්‍රියා කළ යුතු ආකාරය අවබෝධ කරදීම සිදු වෙයි.  


රෝගියා සමඟ ඔහුගේ සමීප ඥ‌ාතීන් මානසිකව කඩා වැටීම වළක්වා ඔවුන් ශක්තිමත් කර ස්වභාවික තත්ත්වයට මුහුණදීමට අවශ්‍ය ආකල්ප දියුණු කර ගැනීමට අවශ්‍ය සත්කාරක කරනු ලබයි.  


ප්‍රශ්නය - 65 වාට්ටුවට ඇතුළු වන්නේ කොහොමද?  


පිළිතුර - සතියේ සෙනසුරාද‌ා දිනයේ උදේ 8.00 සිට 12.00 දක්වා සායනය පැවැත්වෙනවා. පළාතක ඕනෑම රෝගියකුට මෙම සායනයට සහභාගි විය හැකියි. කිසිවකු මගින් යොමු කිරීමක් අත්‍යාවශ්‍ය නැහැ. වෛද්‍ය වාර්තා තිබීම පහසුවක්. ඒ සායනයේදී අපේ වෛද්‍යවරයකුට හෝ හෙදියකට දැන් වූ පසු ඔවුන් ලියාපදිංචි කර අවශ්‍ය උපදෙස් ලබා දෙනවා.  


ප්‍රශ්නය - සත්කාරය කරනු ලබන කාලය.   


පිළිතුර - සති දෙකයි.  


ප්‍රශ්නය - මරණාසන්නව සිටින රෝගීන්ට සත්කාර සේවාව ලබා දෙනවද?  


පිළිතුර - රෝගියාගේ ජීවිත කාලය කෙටි කිරීමක් හෝ දිගු කිරීමක් සිදු වෙන්නේ නැහැ. බොහෝවිට තම නිවසේ තම ඇඳේම අවසන් හුස්ම යවන්න වැඩි දෙනා කැමතියි. රෝගියාට ගෞරවාන්විත හා සැනසිලිද‌ායක අවසානයක් ලබාදීම අපේ බලාපොරොත්තුවයි. මරණාසන්න රෝගීන්ට නොව බෝ නොවන රෝගවලින් ප්‍රතිකාර තවදුරටත් සිදු කිරීමේ තේරුමක් නැති බව වෛද්‍යවරු නිර්දේශ කරන රෝගීන්ට සත්කාර සේවාවක් ලබාදීම සිදු කරනවා. මෙම සේවාවට වෛද්‍යවරු තවම ප්‍රමාණවත් නැහැ. අනෙකුත් කාර්ය මණ්ඩලය ඉන්නවා.  


ප්‍රශ්නය - 65 වාට්ටුවෙ පහසුකම් මොනවද?  


පිළිතුර - 65 වාට්ටුවෙ තනි කාමර 10 ක් හා වාට්ටු දෙකක් තියෙනවා. එක වාට්ටුවකට 10 දෙනෙකුට පහසුකම් තියෙනවා. හෝටලයකත්, රෝහල් වාට්ටුවකත් අතරමැදි තත්ත්වයක් පවතිනවා. කාමර වායුසමනය කර තිබෙනවා. සංගීතය තියෙනවා. රූපවාහිනිය තියෙනවා. කොමඩ් සහිත වැසිකිළි පහසුකම් තියෙනවා. රෝගීන් කැමති ආහාර පිළියෙල කර දෙනවා. බොහොම අලංකාර පරිසරයක මෙම වාට්ටුව ඉදිකර තිබෙනවා. මානසික සුවයක් ලැබෙන ආකාරයේ පරිසරයක් ඉදිකර තියෙනවා.  


බෝ නොවන රෝගයක ප්‍රතිකාර සමගම මේ සත්කාරක සේවයත් ඇරඹිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් දැන් සිදුවෙන්නේ රෝගයට ප්‍රතිකාර කිරීමයි. සත්කාරක සේවාව බොහොම අඩුවෙන් සිදුවෙන්නේ.   
නමුත් අප සිදු කරන්නේ වෛද්‍ය ප්‍රතිකාර මට්ටම අවසන් වෙනවිට සහන ප්‍රතිකාර සේවය ඇරඹීමයි. මුල් ප්‍රතිකාර සමගත් සහන ප්‍රතිකාර ක්‍රමයක් ආරම්භ වෙනවා නම් එය රෝගීන්ගේ මානසික සුවයටත් හේතුවක් වෙනවා.  


65 වාට්ටුවට කිසිම රෝගියෙක් අකමැත්තෙන් ඇතුළුකර ගන්නේ නැහැ. ඔවුන්ගේ කැමැත්ත මත මෙහි ප්‍රතිකාර ලැබිය හැකියි. මුළුමනින්ම මෙම සති දෙකක කාලය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නොමිලයේ කරන වැඩපිළිවෙළක්. පසුගිය මාස 8 ක කාලය පුරාම මෙම වැඩපිළිවෙළ බොහොම නිහඬව පැවැත් වුවා. රටට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා පමණයි.  


මෙම වාට්ටුව ආරම්භ කිරීම වෙනුවෙන් අපි අරමුදලක් පිහිටෙව්වා. ද‌ානපතියන්ගේ ආධාරයෙන් මිලියන 74 ක පමණ එකතුවක් තිබෙනවා. මීට අමතරව ද්‍රව්‍යමය ආධාරත් ලැබෙනවා.  


මෙවැනි වැඩපිළිවෙළක් සෑම දිස්ත්‍රික්කයකම ආරම්භ කිරීම සුදුසු බව මා යෝජනා කරනවා. යාපනය, මඩකළපුව දිස්ත්‍රික්කවල මෙවැනි ඒකක පිහිටුවීමට පියවර ගනිමින් ඉන්නවා.  


රෝගී මාපියන්ගෙ දරුවන්ගෙ ඉගෙනුමට අවශ්‍ය සහන ලබාදීමත් සිදු වෙනවා. අධ්‍යාපනික හා ආර්ථික වශයෙන් යම් යම් සහන ලබාදෙමින් උපදේශක සේවාවන් සිදු වෙනවා.  

 

සටහන දයාසීලි ලියනගේ