මෙරට 30 වසරක් පුරා පැවති යුද්ධයේ, කියූ කතාවලට වඩා - නොකියූ කතා, බොහෝය. පෙනුණු දේවලට වඩා, නොපෙනුණු දෑ බොහෝය. ඒ ඇතැම් ඒවා රසබරය. තවත් ඒවා දුක්බරය. සමහර ඒවා, පුදුමසහගතය. දුලබය.
යුද බිම යනු දුෂ්කර, නිරන්තර අවදානම රැඳි බිහිසුණු තැනක් බව සැවොම දනිති. එහෙත්, යුද භටයකු පමණක් දන්නා- රාජ්‍ය නිල හමුදාවකට පමණක්ම ආවේණික ක්‍රියාකාරකම්, චර්යාවන් හා ප්‍රතිමාන සමුදායක් ද ඒ අතර පවතී. ඒවා බොහොමයක් පොදු සිවිල් සමාජයට නිවාරණය නොවී, එම පරිසරයේම වැළලී ගොසිනි. ඊට මුහුණ දුන් අත්දැකීම් සහිත පිරිස් ද - ක්‍රමානුකූලව විශ්‍රාම යමින්, වියපත් වෙමින්, නිහඬව කාලයේ වැල්ලට හසුවෙමින් සිටිති. එකී සියල්ල එදවසට පමණක් වලංගු වූ හමුදාමය තොරතුරු වුවද, ඒ හරහා නව හමුදා පරපුරට ද සිවිල් සමාජයට ද ගත හැකි ආදර්ශ බොහෝය.
එනිසාම යුද බිමේ හැටි සොබා දැනගන්නටත්, රණවිරුන්ගේ එම අප්‍රකට භූමිකාව හඳුනාගන්නටත්, ඉඩ සැලසීම කාලෝචිත යැයි හැඟේ. බෝම්බ, වෙඩි පත්තු නොවුණු තැන්වල ද යුද්ධය පැවතිණි. නිල ඇඳුමට වැසුණු මිනිසුන් තුළ වූ ළතෙත් ගුණ, අව්‍යාජ බව, නිර්භීතකම, ඉවසීම, දරාගැනීම, කෙතරම් ද යන්න පිළිබිඹු කරමින් - මෙවර “යුද සමයේ සැඟවුණු කතාවක්” තුළින් ඔබ වෙත ගෙන එනුයේ, 1990 දශකයේ මුල් භාගයට සම්බන්ධ ක්‍රියාන්විත බිම අප්‍රකට රසබර කතා ගොන්නකි.
සැබැවින්ම, මෙරට පැවති යුදමය සන්දර්භය වෙනම සංස්කෘතියක් ගැනුණු එකකි. එහිදී, රණවිරුවන් කන බොන ආකාරය, අඳින පලඳින ආකාරය, තැනකින් තැනට ගමන් කරන ආකාරය, යනාදී සෑම දෙයක්ම සිදුවූයේ, වෙනස්ම පිළිවෙළකටය. අපටම ආවේණික සුවිශේෂ ආකාරයකටය.
අප රටෙහි පැවති යුද්ධය තුළ ප්‍රධාන පාර්ශ්ව හතරකි. එනම්, යුද්ධයට ඍජුවම සම්බන්ධ වූ පාර්ශ්ව දෙක ද, ඊට අතරමැදිවූ පාර්ශ්වය ද, එහි පීඩාවන් අත්විඳි සතාසීපාවා, ගහකොළ සහිත පරිසරය ද වෙයි.
ගිනිඅවි හරහා මතුවන අවදානම ද - ස්වභාවික පරිසරයේ දැඩි හිරුරැස්, අධික පෑවිල්ල, දූවිලි වැලි පිරුණු කර්කශ මහ පොළොව ද, එහි ඇති දුෂ්කරතාව මොනවට පැහැදිළි කරවයි. සමස්තයක් ලෙස ගතහොත්, යුද බිමෙහි ජීවත් වීම ම යුද්ධයකි. ඒ ගැන දන්නේ එම පරිසරයෙහි පය ගැසූ අයම පමණි.
යුද්ධය පැවති සමයේ නැගෙනහිර කලාපයේ සහ උතුරේ රණවිරුවන් රාජකාරි කරන ලද්දේ, වෙනස්ම ආකාරයකටය. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ ආරක්ෂක හමුදා රැඳී සිටියේ, ඉදිරි ආරක්ෂක වළල්ලකය. එහිදී හමුදාවට වෙනම ප්‍රදේශයක් හා ත්‍රස්තවාදීන්ට වෙනම ප්‍රදේශයක් ලෙස, වෙන්වී තිබිණ. නැගෙනහිර පළාතේ එම තත්ත්වය සපුරා වෙනස් විය. මඩකලපුව, ත්‍රිකුණාමලය හා පොලොන්නරුවට අයත් නැගෙනහිර පලාත තුළ - උතුරේ මෙන් ඉදිරි ආරක්ෂක වළල්ලක් නොපැවති අතර, එහි පිහිටියේ හුදෙකලා වූ කඳවුරුය. ප්‍රධාන කඳවුරු සේම තැන තැන පිහිටි අනුඛණ්ඩ (කුඩා කඳවුරු) රාශියක් ද එහි විය.
යුදබිමෙහි ස්ථාපිත කඳවුරු තුළ රාත්‍රිය පුරාවට සෑම අයකුම පාහේ නිදිවර්ජිතව ගතකිරීම එකල සාමාන්‍ය තත්ත්වයකි. එය ආසාවට සිදුකළ දෙයක් නොවූ අතර, පැවති ක්‍රියාන්විත වටපිටාව තුළ නිරන්තරව සූදානමින් පසුවිය යුතු වූ නිසා, එය අනිවාර්ය ක්‍රියාකාරකමක් විය. ත්‍රස්තවාදීන්ගේ ඇල්ම - බැල්ම නිරතුරු එල්ලවූ දැඩි අවදානම් පෙදෙස්වල කිසිවකුටත්, කඳවුරක් තුළ සුවපහසු නින්දක් නොවීය. යම් අයෙකුට සුවපහසු නින්දක් ලැබීමට නම්, නිවාඩුවක්ම යා යුතුමය. නමුත්, යුදබිම සිට නිවාඩුවක් ලබාගැනීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ක්‍රියාන්විත බිමෙහි රැඳි අවදානමේ තරම හා භටපිරිස් හිඟතාව මත නිවාඩු සීමාවීම සාමාන්‍ය දෙයක් විය. ඒ අනුව ඇතැම්විට කෙනකුට නිවාඩුවක් ලබාගැනීම සඳහා මාස තුන හතරක් හෝ ඊට වැඩි කලක් ගතවන අවස්ථා අනන්තවත් තිබුණි. එහි තිබූ තවත් අප්‍රකාශිත අවාසනාවන්තම තත්ත්වයක් වූයේ, ඇතැම් සෙබළුන් පදිංචිව සිටියේද යුද්ධය පැවති ක්‍රියාන්විත භූමිවලම වීමය.
උදාහරණයක් ලෙස කිලිනොච්චියේ හෝ යාපනයේ සේවයේ නිරත ඇතැමුන්ගේ පදිංචි නිවාස පිහිටියේ අම්පාර, කැබිතිගොල්ලෑව, මහඔය, ජයන්තියාය, ත්‍රිකුණාමලය ආදී ත්‍රස්ත තර්ජනයන්ට ලක්ව තිබූ ගම්වලය. රාජකාරියෙන් මිදී නිවාඩු ලබා යන සෙබළුන්ට, එදින සවස හය පසුවුවහොත්, තම නිවෙස් පිහිටි එම පෙදෙස් වලට යා ගත නොහැක. ත්‍රස්ත තර්ජන හේතුවෙන් රාත්‍රි කාලයේ එම ප්‍රදේශවල වාහන ධාවනය තහනම් වීම ඊට හේතුවයි. එවන් අවස්ථාවල ඔවුනට එහි මාර්ග බාධකයකම රාත්‍රිය ගතකොට, යළි නිවසට යාමට සිදුවනුයේ, පසුදින පහන් වී, එම මාර්ගවල ආරක්ෂාව සහතික කිරීමෙන් පසුවය. කෙසේ හෝ එසේ ඔවුන් නිවසට ගිය ද, එහිදී ද මායිම් ගම්මානවලට ත්‍රස්තවාදී තර්ජන එල්ල වීම හේතුවෙන්, ඔවුනට සිදුවනුයේ, තම පවුලේ සාමාජිකයින් ද සමඟ රාත්‍රිය කැළෑ රොදවල් අස්සේ ගතකිරීමටය.
අඳුරේ රාත්‍රිය ගෙවීම
යුද භූමියෙහි ඇති කඳවුරුවල ඇඳිරි වැටෙද්දී දැනෙනුයේ, පාළු මූසල බවකි. විශේෂයෙන්ම දහවල තිස්සේ එහි ඇසුණු කතාබස්, සිනා හඬවල් මැකී ගොසිනි. එම අනුඛණ්ඩවල සුළු භටපිරිසක් සිටීම හේතුවෙන්, රාත්‍රි කාලයේ කඳවුර වටා ඇති ආරක්ෂක වළල්ලේ ද, කඳවුරට පිටතද, රාජකාරි සඳහා ද, එම පිරිස බෙදී ගිය පසු - කඳවුර තුළ වෙනත් අවශ්‍යතාවකට සෙබළෙක් සොයාගත නොහැකි තරම්ය.
පැවති භටපිරිස් හිඟතාව මත කඳවුරේ ඉවුම් පිහුම් කරන සෙබළුන්ට පවා, එකල රාත්‍රියේ මුර රාජකාරියක් පැවරෙනුයේ, ක්‍රියාන්විත පරිසරයෙහි අවිවේකී බව කොතරම් දැයි කියාපාමිනි.
ලිපි ගනුදෙනු
එවක යුධබිම තුළ අන්තර්ජාල පහසුකම් හෝ ඊ-මේල්, කෙටි පණිවිඩ සේවාවක් නොවීය. අවම වශයෙන් දුරකතන පහසුකමක් හෝ තිබුණේ කලාතුරකින් ප්‍රධාන කඳවුරකට පමණි. එනිසාම එහි තොරතුරු හුවමාරුවට පැවති එකම ක්‍රමවේදය වූයේ ලිපි හා විදුලි පණිවිඩය.
උතුරේ - ගොඩබිමෙන් සම්බන්ධ නොවී, හුදෙකලාව පැවති කඳවුරුවලට ලිපි ලැබුණේ ගුවන් මගිනි. නිවාඩු යාමට- ඒමට ද, ආහාර, අවි ආයුධ, පතුරොම්, බෙහෙත් රැගෙන ඒමට ද, තුවාලකරුවන් රෝහල් කරා යැවීමට ද, වශයෙන් සෑම කටයුත්තක්ම එලෙස ගුවන් මගින් සිදුකෙරෙද්දී - පෝර උරවල බහාලු ලියුම් මලු ද එමඟින් හුවමාරු කෙරිණ. ගොඩබිම් සම්බන්ධතා තිබූ කඳවුරුවල විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ පිහිටි යුද හමුදා අනුකණ්ඩවලට ලිපි ලැබුණේ, ඒ ආසන්න තැපැල්හල් මගිනි. 1990 දශකයේ මුල් භාගයේ මා රාජකාරි කරන ලද මඩකලපුව පූනානි අවට කඳවුරුවලට ලිපි සැපයුණේ වැලිකන්දේ පිහිටි තැපැල් කාර්යාලයෙනි.
අවිය තරමටම - යුදබිමේ දී , ලිපිය ද සෙබළාට සමීපය. “ඕඩිකොලොන්” හෝ “සෙන්ට්” ගල්වා සුවඳ කොට “රෝස මල්” හෝ “හදවත්’’ හැඩැති ස්ටිකර් අලවා එවන එවන් ලිපි සමග, පෙම්වතියගේ ඡායාරූපයක්ද - එම ලිපිවල වැරදුණේ නැත. එකල අද මෙන් ඩිජිටල් තාක්‍ෂණයක් නොපැවති හෙයින්, ස්ටූඩියෝවකින්ම ලබාගෙන - එයින්ම මුද්‍රණය කරගත්, පොස්ට් කාඩ් ප්‍රමාණයේ ඡායාරූප භාවිත වුණි.
සෙබළුන්ගේ භට නිවාස තුළ (කඳවුරේ නවාතැන් ගන්නා ස්ථාන) එකිනෙකා නමට වෙන්වුණ ට්‍රන්කා පෙට්ටියක්, නොඑසේනම් ලී වලින් තැනූ කුඩා පෙට්ටියක් එකල වැරදුණේ නැත. ඇතැම් සෙබළු මෝටාර්, RPG හෝ කාලතුවක්කු උණ්ඩ බහාලු පෙට්ටි ද මේ සඳහා යොදා ගැනීම සුලබ විය. තම තමන්ගේ පුද්ගලික බඩු භාණ්ඩ සියල්ල තැන්පත් කොට එය පැවතියේ නිරන්තරව අගුලු දමාය. එහි ඇතුළත පෙට්ටියේ බිරිඳගේ හෝ දරුවන්ගේ ඡායාරූපයක් අලවන්නට ද බොහෝ දෙනෙකු කටයුතු කරන ලද අතර, එය ඔවුන්ගේ නිවස හා සම විය. එහි යතුරු කැරැල්ල ද, වැඩි ආරක්ෂාවට ඇතැම් සෙබළු තම නිල ඇඳුමේ සාක්කුවකම පරිස්සමින් තබාගන්නට ද වගබලා ගත්තේය.
පත්තර කියවීම
පොත් කියවීම කෙසේ වෙතත්, යුද බිම තුළ එකල පත්තර කියවීම නම් සුලබව සිදුකෙරුණි. විශේෂයෙන්ම එවක මා රාජකාරි කළ මඩකලපු ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අද්දර කඳවුරුවලට නොමිලේම පුවත්පත් ලැබෙන අපූරු ක්‍රමවේදයක් ද සැකසී තිබිණ. එනම්, උදෑසන සිට පොලොන්නරුවේ සිට මඩකලපුවට යන සෑම ලොරියකින්ම පාහේ, සිංහල පුවත්පත් රැගෙන විත් - ඒවා අතරමඟ ඇති හමුදා කඳවුරුවලට බෙදාදීමය. ඒ අනුව දිනපතා - සතිපතා පුවත්පත් , සීදේවි, බිරිඳ, සඳරේණු, කුමරි, සමුදුර ආදී පත්තර ඒ අතර සුබල විය. ප්‍රධාන මාර්ගය අසල පිහිටි සෑම හමුදා කඳවුරකම මාර්ග බාධකයක් තිබූ අතර, සෑම උදෑසනකදීම එහි රැඳී සිටින සෙබළුන් පුවත්පත් එකතු කිරීම පුරුද්දක් කොටගෙන තිබිණි. ඇතැම්විට එකම වර්ගයේ පුවත්පත් කිහිපයක් ලැබුණු අවස්ථාවල ඒවා යාබද කඳවුරු හා හුවමාරු කරගැනීමට ද කටයුතු කෙරිණ. කෙසේ වුවද, සීදේවී හා බිරිඳ පුවත්පත්වලට නම් සෙබළුන් අතර පැවතියේ අධික ඉල්ලුමකි. එවැනි පුවත්පත් එක් කඳවුරකට කිහිපයක් ලැබුණ ද, ක්ෂණිකව ඒවා අතුරුදන් වන සෙයක් ද පෙනෙන්නට තිබිණි.
මාර්ග බාධක
යුද්ධය පැවති සමයේ තිබූ මාර්ග බාධක අද මෙන් නොවීය. ඒවා ස්ථිර ලෙස මහා පරිමාණයෙන් ඉදිකළ ඒවා විය. එහිදී, වාහන සේම එහි ගමන්ගත් පුද්ගලයින් ද එකල තියුණු පරීක්ෂාවකට භාජනය වූයේය. එය මතුපිටින් සිදුකෙරුණු පරීක්ෂාවක් නොවූ අතර, පුද්ගල සිරුරු පරීක්ෂාව ද, ගමන්මලු පරීක්ෂාව ද, රථවාහන පරීක්ෂාව ද, එකලෙසම සිදුකෙරුණි. එහිදී - කාන්තාවන් වෙනම ද, පිරිමින් වෙනමද, පරීක්ෂාවට භාජනය වූ අතර, ඒ සඳහා ඔවුන් ගමන්ගත් වාහනවලින් බිමට බැස්සවීමට කටයුතු නොකරන ලද්දේ විශේෂයෙන් ගර්භණී මව්වරුන් හා ඇවිදගත නොහැකි තරමේ වයස්ගත වූ හෝ ආබාධ සහිත වූවන් පමණි. ඒ හැරෙන්නට පැවති ආරක්‍ෂක තත්ත්වය හේතුවෙන්, එවක පරිසරයේ කිසිවකුටත් මාර්ග බාධකයක දී ගමන් ගන්නා වාහනයෙන් බිමට නොබැස එහි රැඳී සිටීමට කිසිදු අවකාශයක් හිමි නොවීය.
ඉතිරි කොටස ලබන සතියේ...