ලංකා මැතිවරණ ඉතිහාසයේ සැඟවුණු කතා


 

  • 1947 පාර්ලිමේන්තු මැතිවරණයේ මන්ත්‍රී තරඟ රීති, ඡන්දයකට ශත තිහ බැගින් වියදම් කිරීමේ බලය
  • මාතලේ අසුන දිනූ බර්නාඩ් අළුවිහාරේට වෙඩි තබයි
  • ශාරීරික දුබලතා ඡන්ද දායකයෙකුගේ අභිමතය පරිදි ඡන්දය දැමීමට අවස්ථාවක්
  • සුදු ජාතික දිසාපතිට  ගැමියෝ වැඳ වැඳ ඡන්දය දෙති
  • මුලදී පාට විතරයි ලකුණු නැහැ
  • මරණ හතරක් වෙඩි තැබීමෙන් 15 ට බරපතලයි

 

මැතිවරණ උණුසුම දසතින් පැතිරෙද්දී මීට වසර 90කට පෙර ලංකා මැතිවරණ ඉතිහාසයේ මුල් යුගයේ රසබර තොරතුරු කිහිපයක් ඉදිරිපත් කිරීම මැනවයි අපට සිතුණි.  


රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ  


1947 පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී ‘සිළුමිණ’ පත්‍රයට ‘පාර්ලිමේන්තු මැති ඇමැතිවරුනි’ මැයෙන් පාඨකයෙක් කවි තුනක් ලියා තිබුණි. කවියා ඇල්පිටිය ගිගිරියානේ ‘ගුරු මැඳුරේ’ ඩි. බී. පොන්නම්පෙරුමය.  


හෙළ බිම නළවන්න- ලක්මව සන සන්න  
බලයෙන - සඳබලෙන මැති සබයට පැන්න  
සල සන පාලනය අපරට නිතියෙන්න  
මොල ඇති මැතිවරුන්ටයි මේ දැනගන්න  
වමෙන් අවදි හොඳ දෙය නම් හොඳම තමා  
එමෙන් දකුණු පස නරකද නරක තමා  
කෙමෙන් අනේ, මේ බේදය දුරැර දමා  
සෙමෙන් බැඳී වැඩ කළහොත් කදිම තමා  
තතු දැනගෙනම මේ පොඩි දිවයිනෙ රමණී  
උතු ​රවන්න සිරි හැමටම හැකි ලෙසි නී  
පැතු රුව හොතින් යළි සුබ කටයුතු නොමිනී  
සතුරො නමුත් තුති දෙති සලකනු ඉතිනි   
මේ කවි වසර 73 පසුව අදටත් වළංගු බව පෙනේ.  


1947 අගෝස්තු මස 03 වැනි ඉරිදා ‘සිළුමිණ’ පත්‍රයේ දේශපාලන ලියුම්කරුවකු ලියූ ප්‍රවෘත්තියක මැය වූයේ ‘මන්ත්‍රී තරඟ රීති’ ඡන්දයකට ශත තිහ බැගින් වියදම් කිරීමේ බලය’ය. ප්‍රවෘත්තිය ඇරඹෙන්නේ මෙසේය.  


පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තේරීම අරභයා පෙර කිසි කලෙක නොපැවති අන්දමේ තියුණු උද්‍යෝගයක් හා උනන්දුවක් රට පුරා පැන නැගී තිබේ. තරඟයක් ඇති සෑම මන්ත්‍රීධුරයක් සම්බන්ධයෙන්ම ඡන්දය විමසන නිලධාරී තැන විසින් සෑම අපේක්ෂකයාටම එක්තරා සලකුණක් නියම කරනු ලැබීය.  


1947 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ප්‍රථම වරට ලංකාවේ ඡන්දදායක කොට්ඨාස පහක ඡන්ද දායකයින්ට මන්ත්‍රීන් එක්කෙනාට වඩා තෝරා පත්කර යැවීමට අවස්ථාව ලැබී ඇත. මේ ආසන නම් අම්බලන්ගොඩ - බලපිටිය, බදුල්ල, බලන්ගොඩ, කඩුගන්නාව යන කොට්ඨාසවලින් මන්ත්‍රීන් දෙදෙනා බැගින්ද, මැද කොළඹ කොට්ඨාසයෙන් මන්ත්‍රීන් තිදෙනෙක්ද පත් විය යුතු බවද සඳහන් වී තිබුණි. තනි මන්ත්‍රී ඡන්දදායක කොට්ඨාසවල ඡන්දය දීමේදී වෙනසක් සිදුව ඇත. එක මන්ත්‍රීවරයකු පමණක් තෝරා ගැනීමට පවත්වන ඡන්ද විමසීමකදී එක ඡන්දයක් පමණි. බහු ආසන වූ අම්බලන්ගොඩ, බලපිටිය, බදුල්ල, බලන්ගොඩ, කඩුගන්නාව යන කොට්ඨාසවලට මන්ත්‍රීන් දෙදෙනෙකු තෝරා ගැනීමටද මැද කොළඹ කොට්ඨාසයට මන්ත්‍රීන් තිදෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාව ලැබී ඇත.  


අන්ධව හෝ වෙනයම් කිසි ශාරීරික දුර්වලත්වයක් නිසා නියමිත ආකාරයෙන් ඡන්දය දීමට නොහැකිකම ඇති ඡන්දදායකයෙකු වේ නම් ඔහුගේ ඉල්ලීම පරිදි ඔහු සතු ඡන්ද පත්‍රිකාව ඡන්දදායකයාගේ අභිමතය පරිදි ලකුණු කොට එය හෝ ඒවා ඡන්ද විමසීම භාර නිලධාරියා විසින් ඡන්ද පෙට්ටියට දමා ඇත. ඡන්ද පත්‍රිකා පහසුවෙන් දැමිය හැකි පරිදි හා පෙට්ටියේ අගුලු නොගලවා ආපසු ගත නොහැකි පරිදිද සෑම ඡන්ද පෙට්ටියක්ම පිළියෙළ කර තිබුණි. ඡන්ද පත්‍රිකාව වැරදි අන්දමින් ලකුණු වුවහොත් ඡන්ද විමසීම භාර නිලධාරියාගෙන් තවත් ඡන්ද පත්‍රිකාවක් ලබා ගත හැකි විය. එසේ ලබා ගැනීම සඳහා එකී නිලධාරියාට වැරදීම පිළිබඳ සත්‍යය හොඳාකාර ඒත්තු ගැන්විය යුතු බව ද නිවේදනය කොට තිබුණි.  


1931 ජුනි මාසයේ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා පවත්වන ලද මහා මැතිවරණ ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබූ ප්‍රථම මැතිවරණයේ ඡන්දදායකට එදා ලැබී තිබුණේ සළකුණු නොව පාට වර්ගය. එදා ස්ථාපිත දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් ඒ ඒ ආසනවලට ඉදිරිපත් නොකරන ලද නමුත් ක්‍රොංග්‍රස්, ලේබර්, ලිබරල් හා යුනියනිස්ට් යන සංගම්වල නියෝජිතයෝ පුද්ගලයන් වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ බව ලංකාවේ මැතිවරණ ඉතිහාසය ඇතැඹුලක් සේ දැන සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මලල්ගොඩ බන්ධුතිලක මහතා ලියා තිබුණි.  


නමුත් ලංකා දේශපාලනය ගැනත් මුල් කාලයේ සිටම ලංකා මැතිවරණ ගැන පර්යේෂණය කළ මැතිවරණ ඉතිහාසය ගැන මුල්ම ග්‍රන්ථය මෙන්ම මන්ත්‍රී චරිතාපදාන ලියූ මුල්ම පොතද ලියූ මැතිවරණ විශේෂඥවරයා ලෙස සැළකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඇස්. පියසේන (සේනාධීර පියසේන) මහතා 1931 අනුරාධපුර කොට්ඨාසය තරඟ කළ එම්.ආර්. ෆ්‍රීමන් මහතා ගැන රසබර පුවතක් ලියා තිබුණි.  


උතුරු මැද පළාත කරවූ ජනප්‍රිය ඉංග්‍රිසි ජාතික සිවිල් නිලධාරියකු වූ අනුරාධපුර

දිසාපතිවරයෙක් වූ එම්.ආර්. ෆ්‍රීමන් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් විය. උතුරුමැද ජනතාවගේ දුක සැප, සොයා බැලූ ඔවුන්ගේ දහඩිය සුවඳට ආදරය කළ මේ ඉංග්‍රීසි ජාතිකයා මේ අහිංසක ජනතාවගේ දුක සැප සොයා බැලූ මානව හිතවාදියෙකු වීලු. ෆ්‍රීමන් මහතා සමඟ අනුරාධපුර කොට්ඨාසයට තරඟ කළේ ඇස්.ඩී. ක්‍රිෂ්ණරත්න මහතාය. මේ මැතිවරණයේදී ෆ්‍රීමන් මහතාට කොළ පාටත්, ක්‍රිෂ්ණරත්න මහතාට රතු පාටත් ලැබිණ. ෆ්‍රීමන් මහතාගේ මැතිවරණ විනෝදාත්මක පැත්ත හෙළිකරමින් ඇස්. පියසේන මහතා මෙසේ ලියා තිබුණි.  


ගමකට ෆ්‍රීමන් මහතා පැමිණ වැව අද්දර ගලක් මත වාඩි වූ විට ගැමියෝ සියලු දෙනා වටා රොක්වෙති. මන්ත්‍රී තරගය හා ඡන්ද අන්දම ගැනද විස්තරයක් කරන ෆ්‍රීමන් මහතා විරුද්ධවාදියාට දොස්නගනු තබා තමාට ඡන්දය දෙන්නට කියාවත් ඉල්ලීමක් නොකරයි.  


උඹලාට සුදු කොළේ දෙනව, උඹලා ඒක කොළ පෙට්ටියට දානවා, මම කවුන්සලේට යනවා යැයි ෆ්‍රීමන් මහතා කියත්ම,  


සාදු සාදු හාමුදුරුවනේ කියමින් ගැමියෝ ප්‍රීතිය පළ කරති.  


ඊළඟට - උඹලාට සුදු කොළේ දෙනවා. උඹලා ඒක රතු පෙට්ටියට දානවා, මම එංගලන්තුවට යනවා යයි කියන ෆ්‍රීමන් මහතාට ලැබෙන පිළිතුර.  


අනේ හාමුදුරුවනේ යන්න එපා. පමණය.  


රැස්වීම එතැනින් අවසන් වෙයි. තම කුඩයද අතින් ගත් ෆ්‍රීමන් මහතා ඊළඟ රැස්වීම බලා පිටත් වෙයි.  


මේ මැතිවරණයෙන් ෆ්‍රීමන් මහතා ඡන්ද 8,311 ක් ලැබූ අතර ක්‍රිෂ්ණරත්න මහතාට ලැබී ඇත්තේ ඡන්ද 868 කි. වැඩි ඡන්ද 7,423 ලබා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූ ෆ්‍රීමන් මහතා 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වී ඇත්තේ නිතරඟයෙනි. 1944 දී ෆ්‍රීමන් මහතා මියගොස් ඇත.  
1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මොරවක ආසනයට තරඟ කළ දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ මහතා ඡන්ද 10,748 ලබා තම ප්‍රතිවාදියා වූ ඊ.වයි.ඩී. අබේගුණවර්ධන මහතා වැඩි ඡන්ද 3,827 කින් පරාජය කිරීමෙන් පසු 1931 ජුනි 15 සඳුදා ‘දිනමිණ’ පත්‍රයේ මුල් පිටුවෙන් වාර්තා කොට තිබුණෙ දොස්තර වික්‍රමසිංහගේ ඡායාරූපයක් සමඟ සුදුසුකම් අගය කරමිනි. එවැනි විස්තරයක් එදා පුවත් පත් කළාවේ දුර්ලභ දෙයක් විය. යමක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතු යන බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ කීම මේ විස්තරයෙන් මොනවට පැහැදිලි වේ. මෙයින් එවකට ලේක් හවුස් අධිපති ඩී.ආර්. විජයවර්ධන මහතාගේ මාධ්‍ය නිදහසද පැහැදිලිවෙයි.  
මොරවක මන්ත්‍රීධුරයට තෝරනු ලැබූ ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා වූ කලී උගත්කම හා වෙනත් කරුණුවලින් මන්ත්‍රිධුරයකට ඉතා සුදුස්සෙකි. ඊටත් වඩා මහජන සේවකයෙකු වශයෙන් පෙනී සිටීමේ සුදුසුකම් මේ මහතා තුළ ඇත්තේය. ඒ අතිනුත් මන්ත්‍රී සභාවකට යෝග්‍යවේ. වික්‍රමසිංහ මහතා බොහෝ පොත්පත් කියවා බහුශ්‍රැතත්වයෙන් ඇති කර ගත්, බොහෝ රටවල සංචාරය කොට අමුතුදේ ඉගෙන ගත් දක්ෂ කථිකයෙකි. දේශපාලනඥයෙකි. තරුණ වියෙහි වූ මේ මහතා වූ කලී මතු කාලේ මහාජන ශුභ සිද්ධිය සඳහා ක්‍රියා කරන ලංකා පුත්‍රයෙකු වන බවට විශ්වාසය හැකි කෙනෙකි. මේ මහතා සමඟ තරග කළ නිතීඥ ඩයස් අභය ගුණවර්ධන මහතා මොරවක නිතීඥයෙකි. ඩි.බී. ජයතිලක මහතා ආදී ප්‍රධානීන්ගෙන් විශේෂාධාර ලැබුණෙත් අභයගුණවර්ධන මහතාටය. නමුත් පළාත්වාසීන් විසින් ඒ අනුශාසන නොතකා හෘදසාක්ෂියට එකඟව අනුන්ගේ කීමට වාල් නොවී ඡන්දය දුන් බැවින් තුන්දාස් ගණනකින් අබයගුණවර්ධන මහතා පරදවා ජය ගැනීමට වික්‍රමසිංහ මහතාට පුළුවන් විය.  
1936 පෙබරවාරි මාසයේ පවත්වන ලද රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී මාතලේ සිත් කම්පාකරවන සිද්ධියක් 1936 පෙබරවාරි 25 වැනි අඟහරුවාදා දිනමිණ පත්‍රයේ මුල් පිටුවේ සඳහන් වෙයි. එහි ශීර්ෂය වූයේ ‘ජයගත් මන්ත්‍රී ධුරාපේක්ෂකයෙකුට එවෙලේම වෙඩි තැබීම’  
මාතලේ සිත් කම්පාකර වන සිද්ධියක්.  
අධිනිතීඥ බී.එච්. අළුවිහාරේ මහතා ආරෝග්‍ය ශාලාවට ගෙන යාම.  
මරණ හතරක්.  
වෙඩි වැදීමෙන් තවත් පහළොස් දෙනෙකුට බරපතළ තුවාල වීම  
ඉතා ප්‍රීතියෙන් කෙළවර විය යුතුව තිබුණු මාතලේ මන්ත්‍රී තරගය ඉතා අවාසනාවන්ත අන්දමින් කෙළවර වූ බව දිනමිණ වාර්තා කොට තිබුණි.  

 

 

මාතලේ ආසනයට අපේක්ෂකයින් හතර දෙනෙක් තරඟ කොට තිබුණි. (1) බී.එච්. අළුවිහාරේ, (2) එඩ්වඩ් ද සිල්වා, (3) ඩබ්ලිව්.ටී.බී. කරල්ලියැද්ද (4) විලියම් ගොපල්ලව. අධිනිතීඥ බී.එච්. අළුවිහාරේ (බර්නාඩ් අළුවිහාරේ) මහතා ඡන්ද 15,924 ක් ලබා දෙවැනියා වූ ද සිල්වා මහතා පරාජය කර තිබුණේ වැඩි ඡන්ද 10,900 කිනි. තෙවෙනියා වූයේ කරල්ලියැද්දේ මහතාය. ගොපල්ලව මහතා සිව්වැනියා විය.  


ප්‍රීතිඝෝෂා වර්ෂාවක් මධ්‍යයෙහි ප්‍රතිඵල නිකුත් වූ සැණෙකින් අළුවිහාරේ මහතා විශාල පෙරහැරකින් කැඳවාගෙන යාමට සූදානම් විය. මේ අවස්ථාවෙහි මෝටර් රථයක සිටි සාහසිකයකු විසින් ඒ මහතාට වෙඩි තබන ලදී. වෙඩිල්ල හිසේ වැදී අලුවිහාරේ මහතාට තදබල තුවාල විය. සමූහයා අතර සිටි හතර දෙනෙකු වෙඩි පහරට ගොදුරු වී මිය ගියහ. 15 දෙනෙකුට තුවාල සිදුව ඇත. තුවාල ලත් අළුවිහාරේ මහතා වහාම රෝහල්ගත කරන ලදී. එහෙත් අලුවිහාරේ මහතාගේ තත්ත්වය බරපතල නොවීය. 

 
පුවත්පත්වල මේ සිද්ධිය වාර්තාකර තිබුණේ මෙසේය.  


අළුවිහාරේ මහතා ජයග්‍රහණයෙන් පසුව උසාවි සාක්කි මඩුවේ සිටගෙන විශාල සමූහයක් ඉදිරියේ කතාවක් පවත්වා නික්ම ගියේය. කරලියද්දේ මහතා ඊට අනතුරුව ගමන් කළේය. පසුව අළුවිහාරේ මහතා ද්‍රවිඩ වාදකයන්ගෙන් යුත් පෙරහරින් කැඳවාගෙන යන ලදී. සේනාවෝ ‘ගාන්ධි සාමි’ කියමින් (අළුවිහාරේ මහතා සැරසී සිටියේ නේරුතුමාගේ ඉන්දියානු ඇඳුමෙනි) ඔල්වරසන් නැඟූහ.  


ඒ අතර දිස්ත්‍රික් ඉන්ජිනේරු මහතාගේ සහ උප ඒජන්ත මහතාගේ බංගලාව පැත්තට යන මංසන්ධිය දෙසින් වෙඩි කිහිපයක් තබන හඬ ඇසිණි. සමූහයාගෙන් බොහෝ දෙනෙක් පොලිස් උසාවිය, කච්චේරිය සහ වෙනත් ගොඩනැගිලිවලට පැන ගත්හ. වෙඩි නොනැවතීම තබා ගෙන යන ලදී. පොලිස් නඩුකාර මහතාද උප ඒජන්ත මහතා සහ පොලිස් ඉන්ස්පැක්ටර් මහතාද මංසන්දිය පැත්තට දිවූහ. මංසන්දියේ සිටි පොලිස් භටයෝ තදින් හා ඉක්මන් ලීලාවෙන් පොලිස් නළා පිම්බෝය.  


අලුවිහාරේ මහතා සහ පෙරහැරේ ගිය තවත් කීපදෙනෙකුට තදබල තුවාල ලෙස තුවාල සිදුවිය. තුවාල ලැබූ සහ මියගිය බොහෝ දෙනෙක් මංසන්ධියේ වැටී සිටියහ. තුවාල ලත් අය පොලිසිය විසින් ආරෝග්‍ය ශාලාවට යැවූහ. 15 දෙනෙකුට තදබල තුවාලය. අළුවිහාරේ මහතා වෙඩි තුවාල සහිතව සිහි නැතිව ආරෝග්‍ය ශාලාවට ගෙන යනු ලැබීය. ඒ මහතාට ශල්‍යකර්මයක් කරනු ලැබ සුව අතට හැරී සිටී. නගරය ආයුධ ගත් පොලිස් භටයන් විසින් මුර කරනු ලැබීය.  


කරලියද්ද මහතාට අයිති මෝටර් රථයක වහලේ සිට ගෙන වෙඩිතැබුවාහුයයි කියන සාහසිකයෝද තුවාල ඇතිව ආරෝග්‍යශාලාවේ සිටිති. කරලියද්දේ මහතාගේ මෝටර් රථය පොලිසියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතාගේ ගෙය පොලිසිය විසින් මුර කරනු ලැබේ. වෙඩි පහර වලින් තුවා ලැබූ අය අතර ඩබ්ලිව්.ඒ. උඩුගම දිසාවේ මහතාද වෙයි. පොලිසියට මහනුවරින් උපකාර ඉල්ලන ලදී. මඳ වේලාවකට පසු මහනුවර ආණ්ඩුවේ ඒජන්ත මහතාද පොලිස් සුපිරිටැන්ඩන්ට් මහතාද පොලිස් භට කණ්ඩායමක් රැගෙන පැමිණියහ.  
දැනට මුළු නගරයම නිශ්ශබ්දව පවතී. පොලිසිය සෝදිසි කරගෙන යයි. සිරබාරයට ගන්නා ලද වෙඩි තැබූ අය කරලියද්දේ මහතාගේ උපස්ථම්භකයෝ යයි කියති. ස්වකීය පුතුණුවන් වූ අළුවිහාරේ මහතාට වෙඩි තබන ලද බැව් සමාදාන විනිශ්චයකාර රවි බී. අළුවිහාරේ හිටපු රටේ මහත්මයාට අසන්නට ලැබුණු බව අසන්නට ලැබිණි.  


මේ අතර 1936 මාර්තු 20 සිකුරාදා ‘දිනමිණ’ පත්‍රයේ මුල් පිටුවේ පුවතකින් මාතලේ වෙඩි තැබීමේ සහසික අපරාධය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන් ඩී.ජේ. බාලසූරිය මහතා කියා ඇත්තේ අළුවිහාරේ මහතා මන්ත්‍රීන් තේරීමේ තරගයෙන් ජය ලැබුවෝත් ඒ මහතාට වෙඩි තබනු පිණිස රු. 5000 ක් දෙන බැව් කරල්ලියැද්දේ මහතා කී බවත්ය.


ලංකාවේ ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නා වූ ඉහළ පන්තියක් මධ්‍යම පන්තියක් සහ කම්කරු පන්තියත් එකසේ කවදත් බලය පෑ ආයතනයකි. දකුණු කොළඹ ආසනය බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඇස්. පියසේන මහතා කියා තිබුණි. 1936 දී මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව කියන පියසේන මහතා පවසා ඇත්තේ 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ දොස්තර ඊ.ඒ. කුරේ මහතා පරාජය කරමින් තරගයට එළඹුනේ ලංකා විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර ශාලාවේ කථිකාචාර්යවරයෙකු වූ ආචාර්ය ඒ.පී. සොයිසා මහතා බවය. 

 
ඉතාම ධනවත් පුද්ගලයන් කීප දෙනෙකු ආචාර්ය ද සිල්වා ගේ මැතිවරණ ව්‍යාපාරයට රුකුල් දුන් නමුත් ඒ මහතා ගෙන ගියේ ‘දුප්පත් මිනිහගේ ඡන්ද ව්‍යාපාරයකි’ කුඩයක් අතැතිව ගෙයින් ගෙට ගොස් ඡන්දය ඉල්ලීමත් මෝටර් රථයකින් ගමන් නොකිරීමත්, ඡන්ද දායකයන් ගෙන යාමට රථවාහන නොයෙදීමත් ආචාර්ය ද සොයිසා මහතාගේ ප්‍රධාන මැතිවරණ උපක්‍රම විය. බොහෝ දෙනා නොසිතූ අන්දමින් ආචාර්ය ද සොයිසා මහතා සැළකිය යුතු ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළේය. මේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ඔහුට කම්කරු පක්ෂයේ හා නායක ගුණසිංහ මහතාගේ ආධාරය නොලැබුණේය.

  
ආචාර්ය ඒ.පී. ද සොයිසා වැඩි ඡන්ද 1787 කින් ප්‍රතිවාදියා වූ ඊ.ඒ. කුරේ මහතා පරාජය කළේය.  


ආචාර්ය ද සිල්වා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 12,551 කි. එහෙත් ද සිල්වා මහතාට ජයග්‍රහණයේ ප්‍රතිඵල කරදරයක් නැතිව භුක්ති විදින්නට නොලැබුණු බව මාධ්‍යවේදී පියසේන මහතා දක්වා තිබුණි. ලංකා විශ්වවිද්‍යාලය ශාස්ත්‍ර ශාලාවේ කථිකාචාර්යවරයෙකු වශයෙන් ඒ මහතා රජය සමඟ කොන්ත්‍රාත්තුවකට බැඳී සිටි බවට චෝදනා කොට ඒ මහතාට විරුද්ධව දොස්තර කුරේ මහතාගේ පක්ෂයෙන් මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කරන ලදි.  


මේ පෙත්සමේ පැමිණිලිකාර පක්ෂය වෙනුවෙන් ලංකාවේ ඉතාම දක්ෂ නිතීඥයන් පෙනී සිටි නමුත් ආචාර්ය ද සොයිසා මහතා තමා වෙනුවෙන්ම පෙනී සිටියේය. පෙත්සම ඔප්පු වී ඒ මහතාට අසුන අහිමිවී ගිය නමුත් දූෂණ ක්‍රියාවක නොයෙදුන නිසා නැවත තරඟ කිරීමේ අයිතිය ඒ මහතාට ලැබී ඇත. අතුරු මැතිවරණයේදී ඒ.පි. සොයිසා මහතා තම ප්‍රතිමල්ලව දොස්තර කුරේ මහතා පහසුවෙන් පරාජය කළා පමණක් නොව, තමාගේ මැතිවරණ වියදම පිළිබඳ සහතික ප්‍රකාශය ඉදිරිපත් කරන විට, තමන්ට මැතිවරණ සම්බන්ධයෙන් වියදම් වූයේ රුපියල් දහ තුනක් බවද ප්‍රකාශ කළේය.  


දෑවැද්ද දීම තහනම් කිරීම්, බලපත්‍ර ලත් ගණිකා නිවාස පැවැත්වීම වැනි අසාමාන්‍ය යෝජනා කිහිපයක් ආචාර්ය ද සොයිසා මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ නමුත් ඒ එකක්වත් සම්මත නොවූ බව වාර්තා වේ.  


ලංකා මැතිවරණ ඉතිහාසයේ මේ ආකාරයෙන් සිද්ධි රාශියකින් පිරී ඇත. එය වෙනම සාහිත්‍යයකි. මෙවැනි රසවත් සිද්ධි රැසක් කීමට තව ඉතිරිව ඇත.

 

 

සටහන : ඒ. ඩී. රන්ජිත් කුමාර