නේරු සමග දෙවැනි වටමේස සාකච්ඡාවට ලන්ඩනයට ගිය අවස්ථාවේ
වසර පනහකට පෙර මහගමසේකර - අමරදේව සුසංයෝගයෙන් බිහි වී අද ද ප්‍රමුඛ ශ්‍රාවකයන් පිනවන ‘සන්නාලියනේ’ ගීතය ජීවිතයේ අවස්ථා තුනක් උපත්, විවාහය සහ මරණය, පිළිබිඹු කරන ගීතයක් බව ප්‍රසිද්ධය. ‘නොව පැරණිය වන රමණීය විටින් විට’ වර්ගයේ අමරණීය ගීතයක් වන මෙය මුලින්ම රචනා කළේ භාරතයේ කෝකිල ධේනුව නමින් හඳුන්වනු ලැබූ සරෝජිනී නයිදු මැතිනිය විසින් බව බොහෝ දෙනා දනිති. ඉංග්‍රීසියෙන් කවි ලියූ ඇය විශිෂ්ට කිවිඳියක් ලෙස ලොව පුරා කීර්තිමත්ව සිටියද ඉන්දීය නිදහස් සටනේදී මහත්මා ගාන්ධි සමග උරෙනුර ගැටෙමින් ඇය ඉටුකළ දැවැන්ත කාර්ය භාරය දන්නේ මෙරට ටික දෙනෙකි. අදින් වසර 100 ට පෙර එනම් 1922 දී ඇය ලංකාවට පැමිණ එදා මෙහි සිටි ඉහළම දේශපාලනඥයන් අමතා සිත් සසල කරවන දේශනයක් කළ බව දන්නේ ඊටත් වඩා අඩු සංඛ්‍යාවකි. අධිරාජ්‍යවාදයෙන් බැට කෑ ඉන්දියාවට පමණක් නොව ලංකාව හා දකුණු අප්‍රිකාවට ද නිදහසේ ස්වර්ග රාජ්‍යය අවදිකරනු සඳහා ඇය ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියා කළාය.
විප්ලවවාදිනියකගේ බිහිවීම
1879 දී හයිද්‍රාබාදයේ උපන් ඇය කුඩා කල සිටම කවියට මෙන්ම ඉගෙනීමට ද දක්ෂ වූවාය. 1912 දී මදුරායි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇය පසුව එංගලන්තයට ගොස් ලන්ඩනයේ කිංස් කොලීජියේ සහ කේම්බ්‍රීජ්හි ගර්ටන් කොලිජියේද උගත්තාය. එංගලන්තයේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා ගැනීමට පැවැති උද්ඝෝෂණවලට සහභාගි වෙමින් ඇය තම විප්ලවවාදී නැඹුරුව පෙන්වූවාය. 1898 දී යළිත් ඉන්දියාවට පැමිණීමෙන් පසු තමාට වඩා පහත්යැයි සැලකුණු කුලයක වෛද්‍යවරයෙකු සමග විවාහ වෙමින් තම විප්ලවවාදී නැඹුරුව යළිත් පෙන්වා සිටියාය.
1914 දී මහත්මා ගාන්ධිතුමා (1869 - 1948) ඇසුරට පත්වීම ඇගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් සිදුකළේය. එතැන් පටන් එතුමා ඇයගේ දේශපාලන මෙන්ම අාධ්‍යාත්මික ගුරුවරයා ද විය. සරෝජිනීගේ ඉදිරිපත් වීමත් සමග කස්තුරිමායි, කමලා නේරු, කමලාදේවි චත්තේ, විජය ලක්ෂ්මී පණ්ඩිත් වැනි උසස් කාන්තාවෝ ද ගාන්ධිතුමා සමග රට නිදහස් කර ගැනීමේ සටනට එක්වූහ.
භාරතීය නිදහස් සටනට දුන් සහාය
ඉන්දියාවට නිදහස ලබා ගැනීමට පිහිටුවා තිබුණු ඉන්දීය ජාතික සංගමය එදා අනුගමනය කළ සම්ප්‍රදායික ක්‍රම වලින් නිදහස දිනාගත නොහැකි බව අවබෝධ කරගත් මහත්මා ගාන්ධිතුමා අහිංසාවාදී සටන්කාමී මගකට යොමුවෙද්දී සරෝජිනී නායිදු මැතිනිය එතුමාට මහත් ශක්තියක් වූවාය. අචල දේශප්‍රේමය සහ එඩිතර බව මෙන්ම ඉංග්‍රීසියෙහි හසල බව සහ චතුර කථිකත්වය ද නිසා ඇය නිදහස් සටනේ පළමුපෙළ නායිකාවක වූවාය. සහයෝගිතා වර්ජන, සත්‍යග්‍රහ, නීති කැඩීම් ආදී විවිධ උද්ඝෝෂණවලදී ඇය ප්‍රමුඛව කටයුතු කළාය. එදා ඇයගේ ක්‍රියාකාරකම් ගැන මහාචාර්ය සිරි සීවලී හිමියෝ මෙසේ පවසයි.
‘ඈ තමාගේ අදහස කෙළින්ම ක්‍රියාවේ යොදවන්ට ඉටා ගත්තාය. මේ නිසා සහයෝගිතා වර්ජනයේ මුල් අවස්ථාවේදීම හෙවත් 1919 අප්‍රේලයේදී සරෝජිනී ආණ්ඩුවට විරුද්ධව පළකළ පත්‍රිකා බෙදමින් බෝම්බායේ ජනයා සංවිධානය කරන්ට වූවාය. මෙය ආණ්ඩුවට දැරිය නොහැක්කා වූත් වැළැක්විය නොහැක්කා වූත් සිද්ධියක් වූ බව ඒ කාලයේ නිලධාරීන්ගේ වාර්තා වලින් පවා පැහැදිලි වේ. සරෝජිනී වැනි මධ්‍යම පන්තියේ කාන්තාවන්ගේ සම්බන්ධවීමෙන් එකල ආණ්ඩුවට විරුද්ධව රටේ පැවැති හැඟීම කෙබඳු වීද යනුත් නිලධාරීන්ට ලෙහෙසියෙන් තේරුම් ගත හැකි විය. සහයෝගිතා වර්ජනයේ බැරෑරුම් කම කොතරම් ද කියා මධ්‍යස්ථ ලෝකයට තේරුම් ගත හැකි වූයෙත් සරෝජිනී වැනි අය නිසාය.
එදා ඉන්දීය ජාතික සංගමයේ ඇය හෙබ වූ තැන දෙවෙනි වූයේ ගාන්ධිතුමාට පමණි. මේ නිසාම 1925 දී ජාතික සංගමයේ සභාපතිකමට ගාන්ධිතුමා සමුදෙද්දී එයට පත්කරගනු ලැබුවේ සරෝජිනී නායිදු මැතිනියයි.
අදින් වසර සියයකට පෙර සරෝජිනී නායිදු මැතිනිය ලංකාවට පැමිණියේ කෙටි නිවාඩුවකටය. ඒ 1922 ඔක්තෝබර් මාසයේදීය. තමන් නොහඳුනන මිනිසුන් සිටින රටකට විවේකය සඳහා යාම සුදුසු ලෙස සලකා ලංකාව තෝරාගත්තද ඉන්දියානු නිදහස් සටන ගැන විමසිල්ලෙන් සිටි අපේ මිනිසුන් ඒ වන විටත් ඇය වීරවරියක් ලෙස සැලකීමට පුරුදුව සිටියහ.
‘උත්තමයන් දැකීමත් සැපතකි’ යනුවෙන් 1922 ජූනි 13 දින ‘සිංහල ජාතිය’ පත්‍රයේ පළවූ දැන්වීමක සඳහන් වූයේ ඉන්දීය නිදහස් සටනේ නායකයින්ගේ ඡායාරූප විකිණීමට තිබෙන බවය. මහත්මා ගාන්ධි සහ මැතිනිය, චිත්‍ර රංජන් දාස්, මොතිලාල් සහ ජවහර්ලාල් නේරු, ශව්කක් අලි හා මහාමත් අලි ආදීන්ගේ ඡායාරූප සමග සරෝජිනී නායිදු මැතිනියගේ ඡායාරූපය ද විකිණීමට ඇති බව සඳහන් විය. පින්තූරයක මිල ශත 15 ක් විය. (පියදාස සිරිසේන විමර්ශන 524 පිට) මේ අනුව අපේ බිත්ති අලංකාර කර ඇති බවය.
අැයගේ ආගමනය නිමිත්තෙන් ‘ශ්‍රීමතී සරෝජිනී දේවි සහ සරෝජිනී දේවියගේ පණිවුඩය’ යනුවෙන් කවිපෙළවල් දෙකක් පියදාස සිරිසේන මහතා නමින් සිංහල ජාතියේ පළවිය. මේ ඉන් උපුටා ගත් කවියකි
තුටු කළ කිවි බමර බස් මුවරද සැංගී
පටුවන නළල සත සෙවනෙහි මන රංගී
දුටු දන පිණන වතසර දුල කොම ලංගී
දුටුවෙමු අපි රුවැති සරසවියගෙ නංගී
ලංකාවට නිදහස දිනා ගැනීම සඳහා පිහිටවුනු ලංකා ජාතික සංගමයේ ආරාධනයෙන් 1922 ඔක්තෝබර් 7 දා කොළඹදී දේශනයක් කළ අවස්ථාවේ සරෝජිනී නයිදු මැතිනියට ලැබුණේ ඉහළම ප්‍රතිචාරයකි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සම්පාදනය කළ ලංකා ජාතික සංගමයේ අත් පොතෙහි මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහන් වේ (පිටු 458-476) මෝනිං ලීඩර් පත්‍රයෙන් උපුටා දක්වා ඇති මේ සටහනින් එදා සභාවේ පැවැති තත්ත්වය මැවී පෙනේ.
දේශප්‍රේමී කිවිඳි සරෝජිනී නායිදු මැතිනිය 7.10.1922 දින සවස් භාගයේ කොළඹ පබ්ලික් හෝල් හිදී අතිවිශාල පිරිසක් ඇමතුවාය. දේශනයේ මාතෘකාව වූයේ ‘ඉන්දියානු පුනර්ජීවනය’යි. (Indian Renaissance) කොළඹ වාසීන් එතරම් සංඛ්‍යාවක් දේශනයකට සවන් දීමට රැස්වුණේ කලාතුරකිනි. දේශනය ඇරඹීමට බොහෝ වේලාවකට පෙර ශාලාවේ සියලුම ආසන පිරී තිබුණි. සවස 4 වන විට පය තැබිය හැකි හැම තැනකම තවත් විශාල පිරිසක් රැස්වී සිටියහ. සරෝජිනී නායිදු මැතිනිය වේදිකාවට පැමිණියේ රිද්මයානුකූලව නැගුණු අත්පොළසන් නාදය මධ්‍යයේය. ලංකා ජාතික සංගමයේ සභාපති රාජ නීතිඥ එච්.ජේ.සී. පෙරේරා මහතාගේ දියණිය. ඇයට මල් මාලාවක් පැළඳවීම සමග අත්පොළසන් නාදය උච්ච විය. සභාපතිගේ හැඳින්වීම කෙටි විය. නායිදු මැතිනිය දේශනය සඳහා නැගී සිටිත්ම අත්පොළසන් නාදය හීන විය. පැයක් පමණ දේශනය කෙරුනද තදබදය නිසා ඇතිවුණ අපහසුව කිසිවෙකුට නොදැනුනා සේය.
සිය කෙටි හැඳින්වීමේදී සභාපතිවරයා මෙසේ ද කීවේය.
‘දේශනය සඳහා පැමිණි සම්භාවනීය කාන්තාව හඳුන්වා දීම මට පැවරී ඇත. එහෙත් මා එසේ කිරීම අවශ්‍ය නැතැයි සිතමි. ශිෂ්ට ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම භාරතයේ මියුරු පක්ෂියාගේ නම සෑම නිවසකම දන්නා එකකි. (අත්පොළසන්) ශ්‍රේෂ්ඨ රවීන්ද්‍රනාත් තාගෝර්තුමා එම ව්‍යාපාරයේ විශිෂ්ට කවියා වූ සේම සංගමයේ අප, ඇය මෙහිදී පිළිගන්නේ ඉන්දියාවේ ජීවමාන විශිෂ්ට කිවිඳිය ලෙස ලොව ‘ඉන්දියානු පුනර්ජීවනයේ කිවිදිය’ ලෙසය. (අත්පොළසන්) එම ව්‍යාපාරය පිටුපස සිටින්නේ ශාන්තුවරයෙකු වැනි මහත්මා ගාන්ධිතුමාය. (අත්පොළසන්) තමා ශ්‍රේෂ්ඨ ගාන්ධිතුමාගේ ශිෂ්‍යාවක් බව නායිදු මැතිනිය ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙනි. ඇය සහ අප වැනි තවත් අය ක්‍රියා කරන්නේ ඉන්දියාවේ ඇරඹී ඇති ශ්‍රේෂ්ඨ ව්‍යාපාරය වෙනුවෙනි. එය, බලය, ශක්තිය සහ හිංසාව මත පදනම් වූවක් නොවේ. අවශ්‍යයෙන්ම එය තම ජන්ම භූමිය වෙනුවෙන් කරන සාමකාමී සටනකි.’ සභාපතිවරයාගේ කෙටි හැඳින්වීමෙන් පසුව සරෝජිනී නයිදු මැතිනිය අත්පොළසන් මධ්‍යයේ නැගී සිටියාය.
‘මා ඔබ අමතන්නේ ශෝකී හදවතකිනි. හේතුව, ඉන්දීය නිදහස් සටනේ නායකයා වූත් අපගේ ගුරුවරයා වූත් මහත්මා ගාන්ධිතුමා සිරභාරයේ පසුවීමයි. කොතැනක හෝ වේවා පණ ඇතිව හෝ නැතිව මම එතුමාගේ පණිවුඩය හදේ දරා සිටිමි. ඒ නිසා ලංකාවාසීන් මගෙන් දේශනයක් ඉල්ලූ විට මා සිතා ගත්තේ ඉන්දියාව නිදහස් කරගැනීම පිළිබඳව එතුමා දේශනා කරන පණිවුඩය ඔවුන්ට දීමටයි.
කයින් දුර්වල ඒ උතුම් මිනිසා අද හිරගෙදරක කල් ගෙවයි. එහෙත් හිරගෙදරක හෝ සොහොනක බිත්තිවලින් නිදහසේ පණිවුඩය නිහඬ කළ නොහැක. ඒ නිසා ඉන්දියානු පුනර්ජීවනය ගැන මා කතා කරන විට එහි පුරෝගාමියා වූත්, අනාගත වක්තෘවරයා වූත්, ජීවිත පූජාවෙන් ක්‍රියා කරන්නාවූත් එතුමා පිළිබඳව මා සඳහන් කළ යුතුමය.
පුනර්ජීවය යනු යළි ඉපදීමයි. එයින් අදහස් වන්නේ වේදනාව, ආත්ම පරිත්‍යාගය හා ජීවිතය කැපකිරීම තුළින් යළි ඉපදීමයි.
ජාතික සංගමයේ පැරණි නායකයන් කළේ නිදහස් සටනට සූදානම් වීම පමණකි. නිදහස් සටන නව මගක් ගතයුතු බව තරුණ පරපුරට පෙනුණි. දෛවය ඔවුන් සඳහා නව නායකයෙකු බිහි කළේය.
ඔහු තම සහෝදර ජනතාවගේ දිළිඳුකම සහ අසරණ කම තමා හිසට ගත්තෙකි. ඔහු ගම් දනව්වලට ගොස් රටේ දුප්පත්කම අවබෝධ කළේය. ඔහු පැල්පත්වල මවුවරුන්ගේ ඇකයේ මන්දපෝෂණයෙන් මියයන දරුවන් දුටුවේය. දුර්භික්ෂයේ පීඩාවන් ඔහු රට පුරාම දුටුවේය. දකුණු ඉන්දියාවේදී දුර්භික්ෂයට වඩා දරුණු දෙයක් ඔහු දුටුවේය. එනම් කුල භේදයයි (Untouchability) ජාතියෙන් 1/5 ක් තිරිසනුන්ටත් වඩා පහත් බව ද ඔහු දුටුවේය. නිදහස සඳහා අත්‍යාවශ්‍ය දේ හින්දු - මුස්ලිම් සමගිය බව ද ඔහු දුටුවේය.
මේ ප්‍රශ්න සිය හදවතට සමීප කරගැනීමෙන් පසු ඔහු ඒවාට පිළිතුරු සෙව්වේය. දුප්පත්කම හා කුලභේදය තිබෙද්දී ඉන්දියාව නිදහස් වන්නේ කෙසේද? ශතවර්ෂ 1 1/2 ක විදේශික පාලනයෙන් පසු ඉන්දියානුවන්ට තම මව් බස, ආගම, කුල සිරිත් හා ආත්ම ගරුත්වය ද අමතක වී ඇත්නම් ඔවුන් නිදහස් වන්නේ කෙසේද? ඉන්දියානු මිනිසුන්ට පුනර්ජීවනයක් ලැබිය හැක්කේ දුක් විඳීමෙන් සහ ආත්ම පරිත්‍යාගයෙන් පමණක් බව ඔහු දුටුවේය. ඔහුගේ හඬට මිනිස්සු සවන් දුන්හ. 1919 දී පුනර්ජීවනය පැමිණියේය.
අවදිවන්න, ඔබේ විමුක්තිය දිනාගන්න. ඒ සඳහා දුක්විඳීම අවශ්‍යයි.’ ඔහුගේ හඬ රටපුරා පැතිර ගියේය.
මිනිසුන් ජීවිත පූජාවේ යෙදුන ජාලියන් වලා බාග් වෙත මම වන්දනාකරුවෙකු ලෙස ගියෙමි. සෑම මිනිසෙකුම, ගැහැණියක්ම, දරුවෙක්ම එහි යා යුතුයි. ජීවිත පූජාවේ රහස. එහි පොළවේ ජීවමාන රුධිරයෙන් තැන්පත්ව ඇත. ජීවත්වන ඉන්දියානුවන්ට ශක්තිය ලැබෙන්නේ මෙවැනි දෙයිනි ඔහු පුනර්ජීවනය සඳහා උපදෙස් තුනක් දුන්නේය.
1. ආර්ථික නිදහස ඇතිකිරීම - සෑම නිවසක චරකය භාවිතා කළ යුතුය. පිටරටින් ගෙනෙන සුඛෝපභෝගී ඇඳුම් අත්හැර කදාර් භාවිත කළ යුතුය.
2. කුල භේදය දුරලිය යුතුය.
3. හින්දු මුස්ලිම් සමගිය ඇතිකළ යුතුයි.
අපි හෙට දවසේ දරුවෝ වෙමු. ඉන්දියාවේ හෙට දවස ගොඩ නැගෙන්නේ මා ද සම්බන්ධවීමට වරප්‍රසාද ලැබූ මේ ශ්‍රේෂ්ඨ ව්‍යාපාරයේ යෙදෙන ගැහැණු පිරිමි දෙකොටසේම ආත්ම පරිත්‍යාගය, ධෛර්යය, දුරදැක්ම හා භක්තිය මතය. අශෝක රජතුමා සාමය පිළිබඳ තම ශ්‍රේෂ්ඨ පණිවුඩය මෙහි එව්වා සේ මගේ ගුරුවරයාගේ පණිවුඩය දෙනු කැමැත්තෙමි. ඉන්දියාව බුදුන් වහන්සේ අමතක කළ ද ඔබ මධ්‍යම ප්‍රතිපදාවේ ශ්‍රේෂ්ඨ පණිවුඩය රැකගත්හ. නිදහස පිළිබඳව මහත්මා ගාන්ධිතුමාගේ දේශනා මගින් ඔවුන් බුදුන්වහන්සේට ඇති ණය ගෙවන බව මම මගේ රටවැසියන්ට කියා සිටිමි.
(දීර්ඝ අත්පොළසන් නාදයක්) ඇය කීවාය.
විශේෂඥ වෛද්‍ය
බී.ජී.ඒ. විද්‍යාතිලක