ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබාගත්තේ වර්ෂ 1948 දී නම්, එසේ නිදහස ලබාගත් ශ්‍රී ලංකා දිවයින, කලාපයේ හා ලෝකයේ කුමන අය සමඟ වසඟයට පත් වී කුමක් කරාවිදැයි යන සැකය වඩාත් ඉක්මනින් පහළ වූයේ භාරත දේශයටය. ඒ නිසා ඒ පිළිබඳව ඔත්තු බැලීමට නිදහස ලබා වසර 5ක් ගතවීමට මත්තෙන්, එනම් 1953 දීම එම චර පුරුෂ රාජකාරිය සඳහා වරම IB නමින් හඳුන්වන (Internal Intelligence Bureau) අභ්‍යන්තර බුද්ධි අංශයට පැවැරුණි. පොලිස් සේවයේ සිට පැමිණි Oonie Krishnan මෙම කොන්ත්‍රාත්තුවේ ප්‍රධානියාය.
ලංකාවේ දෙමළ ත්‍රස්තවාදීන්ගේ මුල් පෙළේ නායකයින් දකුණු ඉන්දියාවේ සිටි අතර, ක්‍රිෂ්ණන් ඔවුන් සමඟ හාදකමකින් පසුවිය. එසේ වුව ද ලංකාවේ දේශපාලන ප්‍රවණතා පිළිබඳව ඔහු එකතු කළ බුද්ධිමය තොරතුරු දකුණු ඉන්දියාවට නොදී මධ්‍යම ඉන්දියාවේ බුද්ධි අංශය වෙත පමණක් දෙන්නට ඔහු වග බලා ගත්තේය.
කලකට පෙර නැගෙනහිර බංගලිදේශයේ සිදු වූ දේශපාලන ක්‍රියාන්විතයක් ගැන අධි තක්සේරුවකින් හා අභිමානයකින් සිතූ ලංකාවේ ඒ. අමිර්තලිංගම් “ශ්‍රී ලංකාවට කෙළින්ම සම්බන්ධ වන්න” යි ඉන්දියාවට කීවේ 1971 තරම් ඈත කාලයකදීය.
කර්නල් මෙනන් ලෙස විරුදාවලි ලත් ශංකරන් නායර් ඉන්දීය මධ්‍යම ඔත්තු සේවය වූ රෝ සංවිධානයේ පුරෝගාමී රහස් පරීක්ෂකවරයා වේ.
තමන්ගේ (ඉන්දියාවේ) කලාපීය ප්‍රවේශම හා අනාගත බල ව්‍යාප්තිය ගැන ස්වේච්ඡාවෙන්ම නිර්ලෝභීව කටයුතු කරන අය, ශ්‍රී ලංකාවේ සිටින බව ඉන්දියාවට වහා තේරුම් ගිය නිසා, 1970 දශකයේ පටන්ම ද්‍ර.එ.පෙ. සමඟ ඉන්දියාව අප්‍රකාශිත ගිවිසගත ගමනක යෙදුණි. State Bank of India ආයතනයට ද ලංකාවේ විශේෂයෙන් දෙමළ ජනතාව වෙසෙන (වතුකරය ඇතුළු) තදාසන්න ප්‍රදේශවල ශාඛා තිබිණි. එම ආයතනය තුළ සැරිසැරූ නිලධාරීන් හරහා තොරතුරු ඒකරාශී විය. අශෝකා රයිනාගේ තොරතුරුවලට අනුව ඉන්දීය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවණතා පිළිබඳ උණුසුම් පුවත් රැස්කරන මෙවලමක් විය. මේ වනවිට ඉතාලියේ හා එංගලන්තයේ විදේශ කටයුතු පිළිබඳ දූතයෙකු වූ Apa Pant හා පකිස්ථානයේ හා චීනයේ තානාපතිකම් කර තිබූ ජී. පාර්තසාරථි, මනා සිහියකින් කටයුතු කළ රජීව් ගාන්ධිව දැනුවත් කරමින් පසුවිය. පාර්තසාරථි ඉන්දියාවේ කටයුතු පිළිබඳ අසල්වාසී පකිස්ථානය සමඟ නිදහසේ සාකච්ඡා කිරීම රජීව් ගාන්ධිට හිසරදයක් වී තිබිණි. මේ සම්බන්ධතා මත පෝෂණය වූ අන්තවාදී මතධාරීන්ගේ යටිකූට්ටු වැඩ මැද්දේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 40ක අවි තොගයක් මදුරාසි වරායේදී ඉන්දියානු රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ අවි සියල්ලම ශ්‍රී ලංකා හමුදාව විනාශ කිරීම සඳහා එකතු කරන ලද්දක් විය. මෙම තනි නමුත් දැවැන්ත සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවේ ගරිල්ලන් හා ඉන්දීය ත්‍රස්තවාදීන් අතර අදෘෂ්‍යමාන මෙහෙයුම් රාශියක් (ලංකාවේ උතුරු- නැගෙනහිර ඉන්දීය ඔත්තු සේවය පිළිබඳව විශිෂ්ට පර්යේෂාණාත්මක සේවාවක් කළ අශෝකා රයිනා අවුරුදු 40කට ආසන්න කාලයක් තිස්සේ ඉන්දීය ඔත්තු සේවයේ සිටි ‘අපා පාන්ට්’ විමුක්ති සටන්කාමියෙකු ලෙස ද ප්‍රසිද්ධය.) දේශපාලනඥයින්ගේ සහායෙන් කෙරීගෙන යන බව රජීව් ගාන්ධිට ඉතා පැහැදිලි විය. දෙමළ ජනතාවට ක්‍රමයෙන් මතුවට අනපේක්ෂිත ලාංකීය තත්ත්වයන් ගැන ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය වෙත ඉන්දියාව (ආජෙන්ටිනාව හරහා) කරුණු ප්‍රකාශ කළ අතර, යාපනය තුළ අනවශ්‍ය ලෙස හමුදා බලය වැඩි කරගෙන යාම ගැන ඉන්දියාව කෙළින්ම ලංකාවට බැණ වැදුණාය. එපමණක් නොව එම කාරණය සමතුලනය කරගැනීමට උතුරේ ගරිල්ලන්ට ඉන්දියාවෙන් අවි ආයුධ එවන්නට ද නොනිල අවසරයක් හදා ගත්තේය. තමන්ගේ (රාජ්‍යයක්) ගැන සිහින මැවූ ලෝක ව්‍යාප්ත ද්‍රවිඩ ජනතාව විශාල වශයෙන් එකතු කරමින් සිටි දැවැන්ත අරමුදල් කෙළින්ම එව්වේ ඉන්දියාවටය. අන්තර්ජාතික බැංකු මංකොල්ල, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, ස්වර්ණාභරණ ජාවාරම් වැනි කටයුතු හරහා පොදි ගැසූ මුදල් හරහා ‘පාතාල කණ්ඩායම්’ 35ක් පමණ එකල ක්‍රියාත්මක විය. මදුරාසි වෙරළ තීරයට මුහුණලා සිටී බේසන්ට් නගර් හි සුඛෝපබෝගී නවාතැන් හා මහල් නිවාසවල පදිංචි වී සිටී මේ (වායුසමීකරණයෙන් යුත් රථවාහනවල ගමන් ගත්) කුප්‍රකට සුපිරි කොල්ලකරුවන් සමඟ ලංකාවේ ත්‍රස්තවාදීන් ද එකතු විය.
රෙන්ගා කුමාරමංගලම්, ඉන්දියාවේ සලීම් ප්‍රාන්තය වෙනුවෙන් ඉන්දීය කොන්ග්‍රස් (1) පිල නියෝජනය කළ මන්ත්‍රීවරයා සමඟ ලංකාවේ උමා මහේෂ්වරන් සමඟ සබඳතා ගොඩනගා ගත්තේය. අසල්වාසීන් ලංකාවේ බලවත් ත්‍රස්තවාදී ගරිල්ලා නායකයින් සමඟ තමන්ගේ ඇයි-හොඳයිකම් පවතින බව ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් දකුණු ඉන්දීය දේශපාලන චරිතවලට නව පණක් ලැබිණි. ඒ මාධ්‍ය ඉන්දියාවේ සහ මියන්මාරයේ රාජ්‍යත්‍රාත්තිකයෙකු ද ලෙස කටයුතු කළ ගෝපාලස්ස්වාමි පර්ථසාරති (1940.05.13) ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ අවසාන අදියරයේ දී බෙහෙවින් ප්‍රසිද්ධ වූ නමකි.
මෙහෙවර ඉටු කරන්නට ඕනෑ තරම් වරප්‍රසාද ලත් පිටරට රොයිටර්ලාගෙන් ඉන්දියාවට අඩුවක් නොවීය. තමිල්නාඩුවේ කුල ක්‍රමය අනුව, වෙල්ලාල කුලයට ඉහළ තැනක් හිමි විය. එම කුලයට අයත් නොවූ අය දෙමළ කතෝලික පල්ලිය හරහා සිය ජනප්‍රියත්වය වැඩිදියුණු කරගැනීමටත්, මහජනතාවගේ ඡන්ද බලය තමන් අතට හරවා ගැනීමටත් කටයුතු කළහ. නිතර අඩම්තේට්ටම්වලට ලක්වන යාපනයේ පල්ලි සමඟ, දිවයිනේ සෙසු පළාත්වල පල්ලි යාළු මිත්‍රකම් පවත්වාගත් අතර, යාපනයේ පල්ලිය සමඟ වතිකානුව (Vatican) නාභිගත විය. එකල වතිකානුව නියෝජනය කළ (Monsigmor Rotono) මොන්සිමෝර් රොටොනෝ මෙම ආගමික පිරමීඩයේ මුදුනේම සිටි අතර, ජ්‍යෙෂ්ඨත්වය අතින් ඔහු ලංකාවේ විසූ රාජ්‍ය තාන්ත්‍රික හමුදා කේඩරයන්ගේ ද ප්‍රධානියා විය. උතුරේ ත්‍රස්තවාදීන් සමඟ මෙම පූජකවරයා කටයුතු කරාවි ද යන සැකය එවිට ආණ්ඩුවට ඇතිවිණි. ජාතික බුද්ධි අංශය (ISD) එන්නට ප්‍රථම තිබූ (NIB) බුද්ධි සේවා අංශය මේ ගැන විශේෂ කල්පනාවකින් පසු වුවත්, පූජකවරයා එළිපිට නිදැල්ලේ කටයුතු කළ පුද්ගලයෙකු වූ නිසා මේ පිළිබඳ විශේෂ බියක් ජනිත කරගත යුතු යැයි නොසිතිණි. යම් යම් අවස්ථාවන්වලදී දේශීය පූජකයින් ත්‍රස්තවාදීන් සමඟ නිදැල්ලේ කටයුතු කළ අතර, වරක් යාපනයේ බිෂොප් වූ දියොගු පුල්ලේ පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔවුන්ව බේරා ගැනීමට කටයුතු කළේ රොටොනෝය. ආරක්ෂක අමාත්‍යාංශය විදේශීය පූජකයා ත්‍රස්තවාදීන්ට වක්‍රව උදව් කරන බව මෙතැන් පටන් තීරණය කළ ද, “ශ්‍රී ලංකාවට වතිකානුව ද විරුද්ධව කටයුතු කරන බව” හැඟවෙන ලේබලයක් වදින බව වළක්වා ගැනීමට ඒ පිළිබඳ සිද්ධීන් වතිකානුවට නිල වශයෙන් දැනුම් නොදීමට ආණ්ඩුව ආරක්ෂාකාරීව තීරණය කළේය. අයර්ලන්තයට හා ස්පාඤ්ඤයට ඒ දිනවල සංචාරය කළ පාප් වහන්සේ ත්‍රස්තවාදයට විරුද්ධව සිය දේශනාව ප්‍රකාශ කළත්, ලංකාවේ එවකට සිටි බිෂොප්වරුන් පිරිසෙන් 8 දෙනෙක්ම දෙමළ ජාතිකයෝ වූහ. එබැවින් “වතුරට වඩා ලේ ඝනකම බව” ඔවුහු අවබෝධ කරගත්හ.
ඉන්දීය රුපියල් මිලියන 100ක මාසික වියදම යටතේ ඔත්තුකරුවන් 7,000ක් නිරන්තර සේවයේ යෙදවූ මිනිසෙකි; උපතින් බ්‍රාහ්මණයෙකි; පකිස්ථානු සම්භවයක් ඇත්තෙකි; බෞද්ධ ආගමිකයෙකි; මෛත්‍රිය බෝධි සත්ත්වයන් පිළිබඳ දැඩි භක්තියෙන් පසු වූවෙකි. ඔහු නමින් රාමේෂ්වරනාත් කාඕ ය. මෑත ඉතිහාසයේ අග්නිදිග ආසියාවේ පහළ වූ අතිශය තීරණාත්මක තීක්ෂණ මොළකාරයා ඔහුය!
ඔහු සිය රැකියාව ආරම්භ කරන විට ශ්‍රී ජවහර්ලාල් නේරු ඉන්දියාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගෙන තිබුණේ ද නැත. ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ශ්‍රී නේරු කාඕගේ ඥාතියෙකි. තෘෂ්ණිම්භූත, හැඟීම් ප්‍රකට නොකරන කාඕ තමන්ට ආවේණික ගති ස්වභාවයෙන් යුත් කටයුතු ආරම්භ කරන ලද්දේ වර්ෂ 1968 දීය. ජවහර්ලාල් නේරුගේ දියණිය වූ ඉන්දිරා ශ්‍රීමති ගාන්ධි මැතිනිය අගමැති ධුරයට පත්වීමෙන් පසු ස්වකීය රටෙහි ස්වදේශීය ප්‍රතිපත්තියට ගැළැපෙන රහස් ඔත්තු සේවයක් ආරම්භ කරන්නැයි අගමැතිනිය කාඕගෙන් ඉල්ලා සිටියාය. ලංකාවේ ද අප්‍රකටව ඔත්තු බැලීම් අනිවාර්යයෙන්ම වුවමනා වී තිබුණෙන් බ්‍රිතාන්‍යයේ රහස් ඔත්තු ඒජන්සියේ නොහොත් ‘136- හමුදාව’ පැලැන්තියට අනුරූපව කාඕ අස්ථි පඤ්ඤරය සකස් කළේය. (වර්ෂ 1967 සිටම ඒජන්සියක් නැතුවම - ඉන්දියාව අසල්වැසි රටවල්වල ආරක්ෂිත තොරතුරු එකතු කරමින් සිට ඇත.) නමුත් 1968 සිට කාඕගේ විචක්ෂණ මෙහෙයවීම් මත නිශ්චිත ඉන්දීය අභ්‍යන්තර රහස් ඔත්තු ඒකකය පිහිටුවනු ලැබීය. ඉන්දීයාවේ පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබූ, මහා බ්‍රිතානයේ මහකොමසාරිස් කෙනෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ කුල්දිප් නායර් (1923-2018) ඉන්දීය දේශපාලන භුමිකාවේ රැව් පිලි රැව් දුන් වාමාංශික ක්‍රියාධරයෙකි.
ආරම්භයේදී ඔහුට ඔත්තුකරුවන් සිටියේ 252 දෙනකු පමණකි. රජයෙන් වෙන් කරනු ලැබුවේ ද ඉන්දීය රු.මි. 20කි. ශ්‍රී ලංකාව පිළිබඳව ද 1953 සිට චරපුරුෂයින් විසින් රහස් තොරතුරු එකතු කරන ලද්දේ වුව ද ඒ ‘IB’ නොහොත් ‘බුද්ධි ඒකකය’ විසිනි. වර්ෂ 1970 පටන් ඒ පිළිබඳව කාඕ යටතේ - නිශ්චිත නිලධාරියෙකු යටතේ - සෝදිසියට ලක් විය. ප්‍රංශය, පකිස්ථානය හා ජර්මනිය පිළිබඳ අභ්‍යන්තර තොරතුරු එම රටවලට ස්ථානගත වූ දූතයින් විසින්ම කරගෙන ගියත් චීනයේ කටයුතු සොයාගනු ලැබුවේ තිබ්බතයේ (ටිබෙට්) සිටය. මැදපෙරදිග පැවැති ක්‍රම හා විධි හරහා ඉන්දියාව බුරුමය හා ඇෆ්ගනිස්ථානය පිළිබඳව ඔත්තු බැලීය. 2018 වනවිට කාඕගේ සැලැස්මට අනුව වොෂින්ටනය - යුරෝපය හා මාලදිවයින දක්වා ලෝක ව්‍යාප්ත ජාලයක් පැය 24 පුරාවට ක්‍රියාත්මකව පවතී.
ඉන්දියාව ලෝකයේ දැවැන්ත රටක් නිසාත්, ජනගහනය අතින් ද මහමෙරක් බඳු වගකීමක් පැවැති නිසාත් මුල පටන්ම කටයුතු කළේ කල්පනාවෙනි. ලංකාව මුල පටන්ම විනෝදාත්මක ජනතාවක් විසූ කවට රටක් බව සිහියට ගෙන තිබූ නිසා, ඉන්දියාව සිය ආරක්ෂාවට ලංකාවෙන් අනතුරක් කිසිදා නොවන බව අවබෝධ කරගත්තත්, ලංකාව හරහා ලෝකයේ වෙනත් බලවතුන්ට ඉන්දියාවට හානි කිරීමේ විභව ශක්තියක් තිබූ බව අමතක කළේ නැත. විශේෂයෙන් හින්දු-පකිස්ථාන යුද්ධය පැවැති 1971 වකවානුවේදී පකිස්ථාන මිලිටරි ගුවන් යානාවලට, ලංකාවෙන් ඉන්ධන ලබාගැනීමේ අවසරය උදා වී තිබූ නිසා ඉන්දියාව ලංකාව ගැන තිබූ විශ්වාසය බොහෝ සේ අඩු කළාය. එපමණක් නොව සෝදිසි මෙහෙයුම් සඳහා ලංකාවේ පැවැති ඔවුන්ගේ ඒකකයේ ප්‍රබලතාවය ද වැඩි කළාය. කොතරම් දුප්පත්කම් පැවැතියත් අනාගතය පොහොසත් බව අරමුණු කරගත් ගමනක යෙදුණු නිසාවෙන්, ඉන්දියාව වැඩිකල් නොගොස් සිය ප්‍රථම න්‍යෂ්ඨික පර්යේෂණ (පූර්ණිමා ව්‍යාපෘතිය) ආරම්භ කළ විට එහි සමස්ත ආරක්ෂක කටයුතු පැවැරුවේ ද කාඕටය. පූර්ණිමා ඒකකය ගැන ඉන්දීය අගමැතිනිය හා කාඕට අමතරව ඒ ගැන දැන සිටියේ පරමාණුක බල කොමිසමේ සභාපති වූ හෝමි සෙත්නා, එහිම ප්‍රධානි ආචාර්ය රාජාරාමන්නා පමණි. 1974 මැයි 18 වැනිදා කිලෝ ටොන් 15 ප්ලූටෝනියම් ඒකකය පුපුරා යන විට චීනයවත් - පකිස්ථානයවත් අඩු තරමින් ඇමෙරිකාවවත් කලින් දැන සිටියේ නැත. ව්‍යාපෘතියේ ආරම්භයේ පටන් අවසානය දක්වා ඒ සැමගේ ඇස් වසා සියල්ල ඉතා රහසිගතව සිදු වුණේ කාඕගේ අධීක්ෂණය යටතේය. ඉන් පසු කලාපයේ සියලු රටවල් ඉන්දියාවට බිය වූවා පමණක් නොව, ඉන්දියාව ගැන ද රහසිගත තොරතුරු සොයන්නට උත්සුක විය. මෙසේ, 1977 වන තුරු භාරත දේශයේ පැවැත්ම හා පාලන තන්ත්‍රය පිළිබඳ ඉන්දිරා ගාන්ධි මැතිනියගේ විශේෂ කටයුතු පැවැතියේ කාඕගේ හුස්ම යටතේ යැයි කිවහොත් වඩා නිවැරැදිය.
ජේ.ආර්.ගේ මිත්‍ර, (තමන්ගේම මුත්‍රා අලුයම පානය කරන) මොරාජි දේශායි 1977 දී ඉන්දියාවේ අගමැති වශයෙන් මහ ඡන්දයෙන් පත්වීමත් සමඟම සියලු කාරණා උඩු යටිකුරු විය. (ලංකාවේ සමගි පෙරමුණ ද බලයෙන් පහවී ඉන්දිරා ගාන්ධිගේ යෙහෙළිය වූ සිරිමාවෝ ඩයස් රත්වත්තේ බණ්ඩාරනායකගේ ආණ්ඩුව ද ආසන 7ට පහත වැටිණි.) මෙතැන් පටන් ඔත්තු සේවා පිළිබඳ විමර්ශන කටයුතු නව ගමනක යන්නට යෙදුණෙන් කාඕ ටික කලකට නිරුත්තර වූවා සේය. රාජ්‍ය පෙරැළි සමඟ එහි රඟපෑ චරිතයන් ද අභාවයට යන අසභ්‍ය තත්ත්වය ඉන්දියාවට ද පොදු වූවකි. ඒ අනුව ඉන්දිරා ගාන්ධි යටතේ හා අධීක්ෂණය යටතේ පැවැති රාජ්‍ය ඔත්තු සේවය ගැන අලුතින් පත්වූ දේසායි ගේ විශ්වාසයට පත් නොවීය.
“මට තමුසෙව විශ්වාස නෑ.” ‘77’ බලයට පත් වූ ජනතා ඩාල් ආණ්ඩුවේ අගමැතිවරයා කාඕට කෙළින්ම කීය.
“මම ඔහුගෙන් නිවාඩු ගන්නට අවසර පැතුවෙමි. එහෙත් ඊට ද සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබිණි.” කාඕ ප්‍රකාශ කළේය. තාවකාලික වුවත් ඉදිරිපත් වන අභියෝග මානසික වදයක් ද වන නිසා 1978 දී කාඕ සේවයෙන් විශ්‍රාම ගත්තේය. ඉන් පසු වඩාත් ප්‍රකට වූයේ දේසායි- ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මිත්‍ර-බන්ධුතා ගැනය. අස්ථාවර මානසිකත්වයෙන් පෙළෙන නිසා ලංකාව මෙන්ම ඉන්දියාවට ද චන්දදායකයින් විසින් වරින් වර අස්ථාවර ආණ්ඩු ගෙන එමින් තිබිණි. නැවත එහි විපාකයට මුහුණ දුන් භාරතයට යළිත් ඉන්දිරා ගාන්ධි යටතේ පාලනය වන ආණ්ඩුවක් 1980 දී ලැබිණි. පුනරුත්ථාපනයට හා පුනරීක්ෂණයට පත් වූ කාඕ යළි ඉන්දිරා ගාන්ධි සමඟ සවිබල ගැන්වී ලංකාවේ ද්‍රවිඩ තස්ත්‍රවාදීන්ට මුදල් ආධාර දෙන්නටත්, සන්නද්ධ කිරීමටත්, පුහුණුව දෙන්නටත් පටන් ගත්තේය. මෙම සුවිශේෂි කාර්යය සඳහා වෙනම විශේෂ සීමිත පිරිසකගේ බළකායක් සිටි අතර, බළකායේ කාඕ ද ප්‍රමුඛ සාමාජිකයෙකු විය.
ඒ අනුව ඉන්දිරා ගාන්ධි විසින්ම තෝරාගන්නා ලද්දේ R.N. Kao හා G. පාර්ථසාරථි ය.
ශ්‍රී ලංකාවට මේ වනවිට කොරියාව, චීනය ඇතුළු විවිධ රටවල් ‘ආර්ථික මැදිහත්කරුවන් හා ආයෝජකයින් මෙන්’ ඇතුළු වීම එම අදහස් එම රටවල පිළිසිඳ ගන්නා අවස්ථාවලදී ඉන්දියාව තම ඔත්තුකරුවන් හරහා දැන සිටියාය. ශ්‍රී ලංකාවේ බොළඳකම හරහා, සොඳුරු ආගන්තුකයින් විලසින් මේ පිවිසෙන තරගකරුවන් ගැන, ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි එදා ද අසතුටකින් පසු විය. (ඇයගේ ඝාතනය මෙම වෙස් වළාගත් තරගකරුවන්ට මහත් ආශිර්වාදයක් විය.) ප්‍රධාන ඔත්තුකරුවා වූ කාඕ එම නිරීක්ෂණ යටතේ මෙසේ සනිටුහන් කර තිබුණේය. ශ්‍රී ලංකාව :-
1. නොබැඳි සමුළු කොන්දේසිවලින් ඈත්වන බව
2. පකිස්ථාන මිලිටරි ගුවන් යානාවලට ශ්‍රී ලංකාව ඉන්ධන ලබාදීමට අවසර දීම.
3. ඇමෙරිකාවේ නික්සන් ජනාධිපතිවරයාට පක්ෂපාතීව යමින් ශ්‍රී ලංකාව පකිස්ථානයට ද සෝවියට් සමූහාණ්ඩුවට ද බරව කටයුතු කිරීම.
මෙම පෙළ ගැසීම් හරහා දිවයිනේ උතුරු-නැගෙනහිර දේශපාලන හා සමාජ ආස්ථරය වෙනස් වූ අතර, එහි පසුබලපෑම් හරහා උතුරට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව කියන කණ්ඩායම්වලටත්, ද්‍රවිඩ කසාගම් (DK) ව්‍යාපාරයටත් හේතු කාරණා ජනිත වූ අතර, එම පීඩනය ඉන්දියාවට ක්‍රමයෙන් හිසරදයක් විය. ඇත්ත වශයෙන්ම මෙම අස්ථාවර තත්ත්වයන් ඉදිරියේ උතුරේ ජනතාවට ක්‍රමයෙන් ඉන්දියාවට ආපසු එන්නට පටන් ගැනීම ද මතු දියුණුවට ගැටලුවක් වන බව පෙනී ගියේය. බංගලීදේශය හා සිකීමය සම්බන්ධයෙන් ද කාඕ කටයුතු කළේ මේ අවස්ථාවේදී හා පසුබිමේදීය. ඒ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනම ඒකකයක් ගුප්ත-විද්‍යාත්මක ලෙසට පැවැතුණ බව බාහිර රටවලට නොපෙනිණි. එළැඹෙන කරුණු මත පකිස්ථානය යුද්ධයකට සැරැසෙන බව ඉන්දියාව දැනගත් නිසා, ඇය ද ගරිල්ලා කඳවුරු පවත්වා ගනිමින් නීති විරෝධී හමුදාවන් ස්ථාපනය කරන්නට පටන් ගත්තාය. දෙමළ කොටි සංවිධානයට අයත් ‘ගරිල්ලා සෙබළුන් ද පුහුණුව ලැබුවේ මෙම නීති විරෝධී’ ‘පකිස්ථාන් කඳවුරුවල’ නිසා, ලංකාවේ කොටි සාමාජිකයින් කිසියම් කාරණාවක් නිසා අවි පුහුණුව ලබන බවට කිසිදු තොරතුරක් ප්‍රකාශ නොවිණි. සති හයකට ගරිල්ලන් 2,000ක් පුහුණු කරන තත්ත්වයට පත්වූ ඉන්දියාවේ ගරිල්ලා කටයුතු නිරීක්ෂකයෙකු වූ (Raina) රයිනා මෙසේ සඳහන් කර තිබුණි. “මන්දපෝෂණයෙන් පෙළෙමින් මෙහි පැමිණි සිය ගාණක් වූ කොල්ලන් හා කෙල්ලන්ට ඇඳුම් පැළඳුම් පවා දෙන්නට සිදුවිණි. ඔවුන් ඒ තරමටම අසරණ කබල් තත්ත්වයක පසු විය. තරමක් දුරට ඉගෙනගත්තු අය පුහුණු කිරීමට පහසු විය. ඒ සැම දෙනා පුහුණු කරනු ලැබුවේ සොරකම් කිරීමට, මංකොල්ල කෑමට, රහසිගත පණිවිඩ සන්නිවේදනයට හා සතුරු කඳවුරු ප්‍රදේශවලදී පහර දී පලා යෑම වැනි ප්‍රයත්නවලටය. මෙසේ කුඩා උපකාරක පන්ති විලසින් පුරුදු පුහුණු කරන ලද සෙබළු, අසල්වැසි යුද ප්‍රදේශවලට මුදාහැරි අතර, ඔවුන් මනා ලෙස කටයුතු කර තිබිණි. සතුරන් සිය ගණනින් ඝාතනය කරන ලද අතර, දිනකට මිනී පෙට්ටි සිය ගණනක් ගෙන එන්නට සිදු විය.”
මෙසේ “කළවම්” සෙබළුන් හරහා ගෙනෙන ලද පීඩාව නිසා 1971 දෙසැම්බර් 03 වැනිදා පකිස්ථානය, ඉන්දියාවට යුද ප්‍රකාශ කළාය. ඉන්දියාව වෙනුවෙන් කාඕට වුවමනා වී තිබුණෙත් එයයි. පිටස්තර රටවල ‘සෙබළු’න්ගේ මිනී උඩින් ඔහු එය ඉටු කරගෙන තිබුණේය. 1991 දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීරණාත්මක පුද්ගලයකු වූ ෆීල්ඩ් මාර්ෂල් මනෙක්ෂෝ පකිස්ථානයේ ජනාධිපති අයුබ් ඛාන් හා හමුදාපති යෙහියා ඛාන් විසින් පමුණුවන ලද ප්‍රතිරෝධයට නොබියව සාර්ථකව මුහුණ දෙමින් දින 12ක් ඇතුළත ඩෙකා නගරය අල්ලා ගත්තේය. (එනමුත් යුද ගැටුම්වලදී වැඩිපුර මැරුම් කෑවේ ශ්‍රී ලංකාවෙන් යුද පුහුණුව සඳහා ඉන්දියාවට ගියා වූ උතුරේ තරුණ තරුණියන්ය.) කිසියම් දේශපාලන ප්‍රතිෂ්ඨාවකට පසුව වුවත්, එහි පසු විපරමේ යෙදීම ඉන්දියාවේ ජන්ම සිරිතය. (ඉන්දියාව විසින් නිදහස් බංගලිදේශය තහවුරු කිරීමෙන් පසුව, එහි පදවි ප්‍රාප්ත කරන ලද ශෙයික් මුජිබර් රහමන්ගේ කටයුතු ගැන ඉන්දීය ඔත්තු සේවය දිගටම ඔත්තු බැලීය. වරක් අපනයන ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් වළාගෙන සිටි කාඕ, නැග එන කුමන්ත්‍රණයක් ගැන අගමැතිතුමාට අනතුරු ඇඟවීය. ඊට මාස තුනක ඇවෑමෙන් මුජිබර් රහමන් ඇතුළු 40 දෙනෙකු අමානුෂික ලෙස නිවාස අඩස්සියට ගෙන කෲර ලෙස මරා දමා තිබිණි. මේ ද්වන්ධ ඝටනාත්මක ක්‍රියාදාමයන් ඉන්දීය ඔත්තුකරුවන් කළේ ඇමරිකාවේ CIA සංවිධානයත් සමඟ සහයෝගයෙනි. ඊට පසු බලයට පැමිණි සියා උර් - රහමන්, කාඕට “රජුන් තනන්නා” (King Maker) යැයි නමක් ද තැබූ අතර, මෙසේ ද කීය. “මගේ රටේ මට වඩා මගේ රට ගැන මේ මිනිහා දන්නවා” ඉන්දිරා ගාන්ධිත්, ඇගේ පුත් රජීව් ගාන්ධිත් ඝාතනය වුණේ එම රටේ පුරවැසියන්ගෙන් නොවේ. එම නිසා තවමත් ඉන්දියාව වෙනත් රටවල ක්‍රියාකාරකම් ගැන නිරන්තර සැක මුසු සෙවිල්ලෙන් සිටියි. ඉන්දියාවෙන් පුහුණුව ලැබුවත් ශ්‍රී ලංකාවේ ගෙන යන ලද දෙමළ අරගලය අසාර්ථක වුවත්, එමගින් දේශපාලන රසායනය මාරාන්තික ලෙස විරූපී හා විකෘති කර තිබිණ.
රවි ප්‍රසාද් හේරත්