නව නිපැයුම් අපේ හපන්නු
ශ්‍රී ලංකාවේ නව නිපැයුම් නිර්මාණ අතුරින් කුඹුරු ආශ්‍රිතව නිපද වූ අපේ රටේ නිෂ්පාදනයක් ගැන පසුගියදා අනුරාධපුර, පදවිය, ශ්‍රීපුරයෙන් අපට වාර්තා වුණා.
කෘෂි කර්මාන්තයෙන් දිවි සරි කර ගන්නා මිනිසුන්ට එම තාක්ෂණික මෙවලම් මිලදී ගැනීම හිතන තරම් ලේසි වන්නේ නැහැ. ඒ නිසාම ලංකාවේ තාක්ෂණය යොදාගෙන අපේ රටේ ගොයම් කපන යන්ත්‍රයක් නිර්මාණය කළ ඒ දක්ෂයා තමයි ජගත් වීරසිංහ.
විසි අට හැවිරිදි තරුණයකු වන ජගත් වෘත්තියෙන් විදුලි කාර්මික ශිල්පියෙක්. බොහෝ ආර්ථික දුෂ්කරතා මැද්දේ අලුත් යමක් කරන්නට ඔහු ගත් උත්සාහය අද වනවිට මල්ඵල ගැන්වී ඇත. අඩු පහසුකම් යටතේ මෙරට කෘෂි කර්මාන්තයට වඩාත් ප්‍රයෝජනවත් මෙම ගොයම් කපන යන්ත්‍රය නිර්මාණය කර මේ වන විටත් වසරකි. තම මහන්සියෙන් බොහෝ දුෂ්කරතා මැද්දේ නිර්මාණය කළ මෙම යන්ත්‍රය ක්‍රියාකරවීමට කොතෙකුත් බාධක පැමිණිය ද බලාපොරොත්තු අතහැර දමන්නට තරම් ඔහු අසාර්ථක වුණේ නෑ.
මෙය හදන්න මුලින්ම මම බඩු එකතු කළේ උසස් පෙළ කරන කාලේ. හදන්න ගන්නකොට බලහං උඹේ අං එනවද? කියලත් සමහරු ඇහැවුවා. ඕවට වියදම් කරලා සල්ලි නාස්ති කර ගන්න එපා කිව්වා. රටින් ගෙන්වන මැෂින් හදා ගන්න බැරුව යකඩවලට කපන්න වෙන එකේ උඹට ඕක හදන්න බැහැ. මේ වැඩේ තේරුමක් නැහැ කියලා ගොඩක් අය මාව නවත්වන්න හැදුවා. ඒත් මම මගේ ඉලක්කය අතෑරියේ නැහැ.
කෘෂි කර්මාන්තයට අදාළ යන්ත්‍රයක් මිලදී ගන්න හැමෝටම වත්කමක් නැහැ. ලක්ෂ 60 විතර වැය වෙනවා. ඒ නිසා මට හිතුණා පිටරටින් ලක්ෂ ගණන් දීලා ගෙන්වන ගොයම් කපන යන්ත්‍රයකට වඩා ඉතා අඩු මිලකට අපේ රටේම යන්ත්‍රයක් නිපදවන්න ඕනැ කියලා. මාව එදා කලකිරවන්නට උත්සාහ කරපු අයගේ කුඹුරුවලත් අද ගොයම් ටික කපලා දෙන්නේ මගේ මේ මැෂින් එකෙන්.
ලක්ෂ 60 කට පිටරටින් ගෙන්වන ගොයම් කපන යන්ත්‍රය ලංකාවේ ලක්ෂ 10 කින් නිපදවන්න පුළුවන්ද?
ඇත්තටම මේක මටත් පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාවක්. ගොයම් කපන යන්ත්‍ර අපට ගන්න සල්ලි තිබුණේ නෑ. කුඹුරු කපන කාලෙට ගොයම් ටික කපා ගන්න විශාල මුදලක් අපට වැය වුණා.
එච්චර මුදලක් අය නොකර බැහැ. මොකද පිටරටින් ගෙන්වන මැෂින්වලට ලොකු ණය වාරිකයක් මාසිකව ගෙවන්න ඕනැ. ඒ නිසා මම හිතුවා කොහොම හරි ගොයම් කපන යන්ත්‍රයක් අපේ රටේම හදන්න ඕනැ කියලා.
මේ අදහස මට මුලින්ම ආවේ 2014 දී. මුලින්ම මම මේක හදන්න යොදා ගත්තේ ඉවත් කරපු වාහනවල අමතර කොටස්. මම මේක නිර්මාණය කළේ ගොඩක් අඩු පහසුකම්වලින්. අප වෙසෙන පදවිය, ශ්‍රී පුර කියන්නේ කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන ඉතාමත් දුෂ්කර ගම්මාන. අපට සැප වාහනවලට වඩා අවශ්‍ය වෙන්නේ කෘෂි කර්මාන්තයට ප්‍රයෝජනවත් යන්ත්‍ර. ඒ සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය අපේ රට තුළ තිබෙනවා. ඒ නිසා ලංකාවේ මේ වගේ යන්ත්‍රයක් හදන්න ලොකු වියදමක් යන්නේ නැහැ.
හිතේ හයියට වැඩේට බැස්සට යන්ත්‍රය හදන්න මට සල්ලි තිබුණේ නැහැ. මම ගිහිල්ලා පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 3 ක ණය මුදලක් ඉල්ලුවා. එයාලා දෙන්නම් කියලා මාව ගොඩක් රස්තියාදු කළා. අවසානයේ නව නිපැයුම්වලට ණය මුදල් දෙන්නේ නැහැ කියලා බැංකුවෙන් කිව්වා. මාව ගොඩක් අසරණ වුණා. එතකොට අතේ තිබුණු සුළු මුදලක් මම මේ වෙනුවෙන් වියදම් කරලා තිබුණේ. ණය මුදල ලැබුණේ නැති නිසා ටික කාලයක් මැෂික් එක හදන වැඩේ නතර කළා. පස්සේ අපේ කුඹුර උකස් කරලා තමයි මැෂික් එක හදා ගන්න මම ඉතිරි සල්ලි ටික හොයා ගත්තේ. ඒ ණය මුදල තාම මට පියව ගන්න බැරි වුණා. ඒ විදිහට කොහොම හරි මම මැෂින් එක හදලා පසුගිය වසරේ පෙබරවාරි මාසේ යන්ත්‍රයේ කටයුතු අවසන් කළා.
මේ මැෂින් එකේ වෙනස්කම් ගොඩක් තියෙනවා. මේකේ ඇන්ජින් ධාරිතාව වැඩියි. පිටරටින් ගෙන්වන මැෂින් එකක 50 % වගේ වී අපතේ යනවා. මේ යන්ත්‍රයේ වී අපතේ යන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්.
අක්කරයක ගොයම් කපන්න ගත ෙවන්නේ පැය එකහමාරක් වගේ කාලයක්. දවසට මේ යන්ත්‍රයෙන් අක්කර 7 ක ගොයම් කපන්න පුළුවන්. යන්ත්‍රය හදන්න මට ගතවුණේ මාස 6 ක කාලයක්. ඒ වගේම වැය වුණේ ලක්ෂ 10 වැනි මුදලක්.
ලංකාවේ නව නිපැයුම්වලට මුහුණ දෙන්න වෙන ඉරණමට මේ යන්ත්‍රයටත් මුහුණ දෙන්න වේවිද?
මගේ දාඩිය මහන්සිය කැලෑවට, යකඩවලට දිරා යන්න මම ඉඩ දෙන්නේ නැහැ. යන්ත්‍රය හදලා අවුරුද්දකට පස්සේ මේ අවුරුද්දේ තමයි මම යන්ත්‍රය කුඹුරට දැම්මේ. මේ කන්නයේ අහස් දියෙන් වැඩ කරපු කුඹුරු කපනවා. තව කුඹුරු අක්කර 15,000 විතර තියෙනවා. මේ දවස්වලට මගේ මැෂින් එකට ගොඩක් වැඩ එනවා. තාම යන්ත්‍රය හදන්න කුඹුරු උකස් කරලා ගත්ත ණය මුදල් ගෙවා ගන්න බැරි වුණ නිසා හැමදාම මැෂින් එකත් අරන් පිට කුඹුරුවල ගොයම් කපන්න යනවා.
මට මගේ යන්ත්‍රය ඇගයීමට ලක්වෙන්න ඕනැ නැහැ. මම කියන්නේ ලක්ෂ 60 ක් දීලා චීනයෙන් ආනයනය කරන මැෂින් එකට මාසිකව වාරිකව ලක්ෂ 2 ක් දාන්න වෙනවා. පිටරටින් ගේන මැෂින් එකේ අක්කර 50 කපන්න බැහැ. කාර්මික දෝෂ එනවා. සමහර දෝෂ හදා ගන්න බැරි වුණාම යකඩවලට කපලා දාන්න වෙනවා. ඔය අතර කුඹුරු පාළු වෙනවා. ඒ අවස්ථාවලදී වාරිකේ දා ගන්නා බැරුව මිනිස්සු වස බීලා මැරෙන අවස්ථාත් තියෙනවා. මම කියන්නේ අඩු වැයෙන් මේ යන්ත්‍රය හදලා නිම කරන්න ලංකාවේ පහසුකම් තියෙද්දි ඇයි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් කිසිම අවධානයක් අපට නොලැබෙන්නේ කියලා.
මම පසුගිය සතියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහත්මයටත් කතා කළා.
ඉදිරියට මේ යන්ත්‍රය වැඩි දියුණු කරන්න අපට අවශ්‍ය ණය මුදලක් ලබා ගන්න වැඩ පිළිවෙළක් හදලා දෙන්න කියලා මම ඉල්ලුවා. සලකා බලන්නම් කියලා මට ප්‍රතිචාරයක් දැක්වුවා. ඒ වෙලාවේ මට අපේ රට ගැන ගොඩක් කලකිරුණා. අැයි අපේ රටේ දේ අපේ රටේ මිනිසුන්ට වටින්නේ නැත්තේ කියලා.
අපි රජයෙන් නිකං සල්ලි ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ ගෙවාගෙන යන්න ණය මුදලක්. මේ යන්ත්‍ර වැඩි දියුණු කරලා කෘෂි කර්මාන්තයේ දියුණුව සලසන්න. ඒත් අපි ලෑස්තියි. ආණ්ඩුවේ රස්සා නැති නිසා අපට බැංකුවලින් ණය මුදල් දෙන්නේ නැහැ.
මේ නිර්මාණය සම්බන්ධයෙන් අපේ ජනාධිපතිතුමාව දැනුම්වත් කිරීමට එතුමා සමග කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ.
කුඹුරේ නියර හදන තව මැෂින් එකක් හදන්න මේ දිනවල මං සූදානම් වෙනවා. මේ ඔක්කොම කරන්න යකඩ ලියවන යන්ත්‍රයක් ඕනැ. දැති රෝද කපන්න යන්ත්‍ර පහසුකම් අපට නැහැ. යකඩ පට්ටල් ලියවන යන්ත්‍රයක් ගන්න හරි රජයෙන් ණය මුදලක් දෙනවා නම් ලොකු පිනක්.
මගේ අම්මා, අක්කා පවුලේ අය මට මේ යන්ත්‍රය හදන්න ගොඩක් උදව් කළා. ලක්ෂ 10කින් ගොයම් කපන යන්ත්‍රයක් හදන්න පුළුවන් කියන එක මම දැන් ඔප්පු කරලා ඉවරයි. අපේ රටේ දක්ෂයන්ගේ දැනුමෙන් හරියට ප්‍රයෝජනයක් ගන්නවා නම් යන්ත්‍ර සූත්‍ර වාහන හදන විදේශයන්ට ඉහළට අපේ රට ගෙනියන්න පුළුවන්.
නදීශා අතුකෝරළ