ලාදුරු බිය නැතිකළ රෝහල


 

ලංකාවේ ලාදුරු රෝගීන් ගැන මුලින්ම වාර්තා වූයේ ක්‍රිස්තු වර්ෂ 1670දී පමණය. ලන්දේසි පාලන සමයේදී කොළඹ කොටුවේ පෘතුගීසි ජාතිකයන් කිහිප දෙනකුට ලාදුරු වැලඳී තිබේ. අතපය වකුටු වී සිරුර  විපරිත වන මෙම භයානක රෝගයට එකල කිසිදු ප්‍රතිකාරයක් නොවිණි. කළ හැකිව තිබුණේ එම රෝගීන් කැලෑබද ප්‍රදේශයකට හෝ දූපතකට පිටුවහල් කිරීම පමණි. 


එවක කැලෑබදව, කැලණි ගඟට සහ පැරණි ලන්දේසි ඇළට යාබදව පිහිටා තිබූ හැඳල ප්‍රදේශය ඒ සඳහා තෝරා ගැනුණි. ඒ අනුව සිංහල රජ දවසින් පසු ඇරඹි මුල්ම රෝහල 1701දී මෙහි ස්ථාපිත වී තිබේ. මෙය ආසියාවේ මුල්ම ලාදුරු රෝහලය. එකල ලාදුරු රෝගීන් මෙහි ගෙනවිත් තිබෙන්නේ කැලණි ගඟ දිගේ ඔරු පාරු මගිනි. එම ඓතිහාසික තොටුපොළ සේම රෝගීන් ඇතුළත් කර ගැනුණු ගොඩනැගිල්ලද 1708 සඳහන් සමරු ඵලකයක්ද සමග අද ද දැකගත හැකිය. 


අතීතයේ ලාදුරු වැලඳුණු අය සේම එම පවුල්වලට සම්බන්ධ අයද සමාජයෙන් කොන්වී පිළිකුලකටද බඳුන්වී තිබේ. මෙම රෝහලේදී ලාදුරු රෝගයෙන් සුවපත්ව තම ඥාතීන් වෙත යෑමට ආශාවක් දැක්වූ අයද සිටියහ. එහෙත් සිය ආශාව යටපත් කරගෙන මියයන තුරාවටම මෙහිම රැඳෙන්නට හිත හදාගෙන ඇත්තේ ජනතාව තුළ ඒ කෙරෙහි පැවැති බියත්, අපුලත් ප්‍රබල වූ බැවිනි. දැනුදු බිය නැත්තේම නැත. එහෙත් කල් යෑමේදී මේ බිය කෙමෙන් දුරු විය. ලාදුරු රෝගයෙන් සුවපත් වූවන්  බලන්නට ඔවුන්ගේ පවුල්වල අය රෝහලට එන්නේ එබැවිනි. එපමණක් නොව  සුවපත් වූ ඇතැමුන් නිවෙස්වලට කැඳවාගෙන යන බවද රෝහල් ප්‍රකාශකයෙක් අප සමග පැවසීය. සමහරුන් තම නිවෙස්වලට ගොස් සති දෙක තුන දරුවන් සහ ඥාතීන් සමග කාලය ගත කොට නැවත රෝහල වෙත් පැමිණෙන්නේ මෙම රෝහල් භූමිය තමන්ටම හුරු පුරුදු වාසස්ථානයක් බවට පත්වීම නිසාය.
ලෝකයේ තවමත් ක්‍රියාත්මකව පවතින පැරණිතම රෝහලත් මෙය විය හැකිය. ගොඩනැගිලි ශතක තුනක් පැරණිය. බ්‍රිතාන්‍ය සමයේ හා ලන්දේසි සමයේ ගෘහ නිර්මාණ ශිල්පී දස්කම් තවමත් සුරක්ෂිතව තිබේ.


එකල මහා බියකරු ස්ථානයක් ලෙස සැලකූ හැඳල ලාදුරු රෝහල අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෞතුක ස්ථානයක් ලෙස සංරක්ෂණය කර තිබේ. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද අවසර ද ලබාදී ඇත. 


මේ පිළිබඳව අදහස්  දැක්වූ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය  ප්‍රසාද් රණවීර මහතා : ‘ලාදුරු රෝගී ලක්ෂණ සහිත සොල්දාදුවන් දෙතුන් දෙනෙකුට දාව ඔවුන්ගේ ලාංකික බිරියන්ට උපන් දරුවන් කීප දෙනකුට ලාදුරු රෝග ලක්ෂණ තිබූ බවට සාක්ෂි ලැබෙනවා. 1670 ගණන්වල හමුදාව ගෙන් ගෙට ගොස් ලාදුරු රෝගීන් සිටිනවා දැයි පරීක්ෂා කර බැලූ බව ලන්දේසි වෛද්‍යවරයකු ලන්දේසි රාජකීය කවුන්සලයට යැවූ ලිපියකින් පෙනී යනවා. ඔවුන්ට හමුවූ ලාදුරු රෝගීන් කැලණි ගඟෙන් එගොඩ කූඩාරම්ලා රඳවා තබන්නට ඇතැයි සිතෙනවා. 


ලන්දේසි රජ පවුලට ඥාතිකමක් තිබෙන ලන්දේසි කුමාරයා මෙම රෝහල සෑදු බව ප්‍රජා කතාවලින් දැන ගන්නට ලැබෙනවා. මෙම රෝහල් භූමියේ කැලණි ගඟ අසල ඔහුට අයත් මාලිගාවක් තිබී ඇති බවත් පැරණි රෝගීන් කියූ බව කියැවෙනවා. මියගිය කුමාරයා සුදු අශ්වයෙක් පිටේ නැගී රාත්‍රී කාලයේ ගමන් කරන බවත් එසේ යන්නේ රෝගීන් ආරක්ෂා කිරීමේ අරමුණින් බවත් රෝගීන් තුළ ලොකු විශ්වාසයක් තිබෙනවා.


එවකට සිටි රෝගීන්ගේ යැපීමට වෙන්කෙරුණු අතිවිශාල ධනස්කන්ධයක් මෙම භූමියේ සඟවා ඇති බව මෙහි වාසයකොට මියගිය රෝගීන් පවසා ඇති බව කියති. නිධානයේ අනිත් කෙළවරින් අදින ලද රත්ත්‍රන් දම්වැල් හැඳල, මාටාගොඩ ප්‍රදේශයේ ඇති බවත් මෙම නිධානයේ ආරක්ෂාවට රත්තරන් කඩුක්කමක් පැලඳි ආඳකු කැලණි ගඟේ එහා මෙහා පීනන බවත් පැරණි රෝගීහු කියති. 

 
ඕලන්ද කුමාරයා අනෙක් රෝගීන්ගෙන් සැඟව සිටීමට කැලණි ගඟ අසල සිට හැඳල මාටාගොඩ දක්වා කිලෝමීටර් එකහමාරක් පමණ දුරට උමගක් සකසා ඇති බවද පැරණි රෝගීන් පවසන අතර එම උමඟ පටන් ගන්න තැන දැක ගන්නට හැකිව තිබුණද දැන් එය කැලණි ගඟේ ජලයට සේදී ගොස්ය. 


දැනට   මෙම   රෝහලේ   සිටින පැරණිතම පිරිමි රෝගියා වන පෙරුමාල් ලෙච්චමන් මහතා : ‘මට දැන් වයස අවුරුදු 72යි. වයස අවුරුදු 16න් තමයි ලාදුරු රෝගය වැලඳිලා මේ රෝහලට ආවේ. මගේ ඇඟිලි හොඳට තිබුණා. පසුව විකෘති වුණා. කකුල් දෙකම කපල තියෙන්නේ. මම වීල් චෙයා එකේ තමයි යන්නේ. මගේ මවුපියෝ මැරිල අයියා විතරයි හිටියේ. දැන් එයත් මැරිල. අයියා ඉද්දි එයා මාව ගෙදර එක්කන් ගිහින් නතර කරන් හොඳින් සැලකුවා. දැන් කවුරුවත් නැහැ. මැරෙනකන්ම මෙහෙ ඉන්නවා. මෙහෙ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය  හරිම හොඳයි. අපිට හොඳට සලකනවා. අපි ජනතාවට කියනවා අපිව තනි නොකර අපිව බලන්න එන්න. අපිට සරම්, බැනියම් ගෙනත් දෙන්න. අපිට දැන් ලාදුරු නැහැ. අපි රස කැවිලි කන්න හරිම ආසයි. 


මෙහි නේවාසිකව සිටින පැරණිතම  කාන්තාව පී. ජී. ගුණවතී මහත්මිය : ‘මට දැන් වයස අවුරුදු 75යි. මෙහෙට ඇවිත් අවුරුදු 21වෙනවා. දැන් අපිට ලාදුරු නැහැ. 
ඉස්සර ලාදුරු තියෙද්දි ශරීරයේ යම්යම් විකෘති වීම් තිබුණා. මම මේ රෝහලට හරිම කැමැතියි.  හරිම නිස්කලංකයි. මම මෙහෙ ඉඳන් ගෙතුම් වැඩ කරනවා. ස්වයං රැකියාවක්  වශයෙන් නූල්වලින් අත්බෑග් හදල අපිව බලන්න එය අයට විකුණලා සුළු ලාභයක් ගන්නවා. ඒ වගේම මේසවලට දාන ලේන්සුත් මහනවා. මමත් සියලු වැඩ කර ගන්නේ වීල් චෙයාර් එකේ ඉඳන්. ඒකත් පරණයි. මට කවුරු හරි පින්වතෙක් කොමඩ් චෙයාර් එකක් අරන් දෙනවා නම් ස්තුතිවන්ත වෙනවා. 


ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා  ජනතාවට විශේෂ පණිවුඩයක් දීමටද අමතක නොකළේය.


“දැන් මේ රෝහලට රෝගීන් ඇතුළත් කර ගන්නේ නැහැ. පැරණි රෝගීන් 29 දෙනා විතරයි මෙහෙ  නේවාසිකව ඉන්නේ. මොකද ඒ අයට යන්න එන්න තැනක් නැහැ. එම නිසා මියයන තුරුම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයක් හැටියට ඔවුන්ව රැකබලා  ගන්නවා. දැන් ලාදුරුවලට බෙහෙත් තියෙනවා. බෙහෙත් නියමාකාරයෙන් පාවිච්චි කරන්නේ නම් මසකින් හෝ මාස කිහිපයකින්  ලාදුරු රෝගය සුව  කරන්න පුළුවන්. 


මේ රෝගයට කිසිවකු බිය විය යුතු නැහැ. රෝගය වැලඳුණු පාසල් සිසුන්ට සාමාන්‍ය ආකාරයට අනෙක් ළමයි වගේ පාසල් ගිය හැකියි. රැකියා කරන අයටත් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු කරගත හැකියි. 

 

දැනට සිටින රෝගීන්


තවමත් පැරණි මිනිස්සු දුර්මත මත ජීවත් වෙනවා. සමහරු ලාදුරු රෝගය වැලඳිලා රටට බයේ ප්‍රතිකාර නොලබා ඉන්නවා. ඒක වැරදියි. තමන් ඉන්න ප්‍රදේශවල ඇති සායනවලට ගිහින් ප්‍රතිකාර ලබාගත හැකියි. ඒ වගේම අපි වට්ස්ඇප් නොම්මරයක් දීල තියෙනවා. තමන්ගේ ශරීරයේ යම් තැනක ලප මතුවෙලා තියෙනවා නම් හොඳ පැහැදිලි පොටෝ එකක් අරන් අපට වට්ස්ඇප්  කරන්න. අපි එය පරීක්ෂා කරල බලල දුරකතන මගින්ම පිළිතුරු ලබාදෙනවා. 


මේ වසරෙත් මුල් මාස හතරේ රෝගීන් 500ක් විතර වාර්තා වුණා. ඒ අය ප්‍රතිකාර ලබා ගන්නවා. සමහරුන්ට දැන් හොඳටම හොඳ වෙලා ඒක නිසා බිය නොවී  ඇවිත් ප්‍රතිකාර ලබා ගන්න. 


මෙම රෝහල නඩත්තු කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මසකට රුපියල් ලක්ෂ 50ක් විතර වැය කරනවා. එම නිසා දානපතියන්ගෙන් සහ මුදල් හදල් ඇති පරිගත්‍යාශීලින්ගෙන් උපකාර  බලාපොරොත්තු වෙනවා.


රෝගී සගයකු මියගිය විට සුසානය කරා රැගෙන යෑමට ඔවුන් විසින්ම ගනු ලැබූ මිනී කරත්ත ඇඳක් මෙහි දක්නට ලැබේ. ලංකාවේ භාවිත වුණු මුල්ම රෙදි සෝදන යන්ත්‍රය තිබෙන්නේ මෙහිය. 


1939-04-04 දාතමින් යුතු එංගලන්තයේ නිෂ්පාදිත Thomas Brandනම් මෙම යෝධ යන්ත්‍රය අවුරුදු ගණනාවක් තිස්සේ ලාදුරු රෝගීන්ගේ කිලිටි රෙදි  සෝදා දෙමින් මහඟු මෙහෙවරක් සිදු කළ බව ප්‍රසාද් රණවීර මහතා පවසයි. 

 

 

■ වත්තල - සරත් චින්තක