නමක් අමතක පොතක කොටසක්, පොතක් කියවන අතර හමුවීම ආශ්චර්යවත් අහම්බයක් යැයි කීම මුසාවක් නොවේ. කොතැන හෝ තැනක හදිසියේ එහෙන් මෙහෙන් පොතක පිටු පෙරළා බලන කල නෙත ගැටුණු තෑගි දීමේ සිද්ධියක් මගේ මතකයේ රැඳුණේ, තරුණයා තරුණියට දී තිබුණු තෑගි සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලකට දෙන ආකාරයේ ඒවා නොවූ නිසාය.
ඒ තෑගි දීමේ කතාව හුදු තෑගි කතාවක් පමණක් නොව පාත්‍රවර්ගයා ගේ චරිත නිරූපණයක් ද වූ බව මට එවෙලේ හැඟිණ. අමුතු තෑගි සුරැකිව තබා ගන්නී ද අපූරු හෙවත් අපූර්ව චරිතයක් වූ බැවිනි.
කෘතිය සංවේදී රචනා රටාවකින් යුතු බව ද කියැවූ පිටු කිහිපය මගින් ම තහවුරු විය. එතරම් හොඳ ලියමනක් ව්‍යාකරණ සලකමින් සහ නො සලකමින් ලියා තිබීම ගැන මට එවෙලේ දැනුණේ කොවකි. කෘතියේ හෝ ලියූ අය ගේ හෝ නම එවේලේ එහෙමට මතකයේ රැඳුණේ ද නැත.
එකී ඡේදය : “පේරාදෙණියේ දී නුඹ මට මුලින් ම දුන්නේ නාරටියේ දෙපස සමාන්තරව පිහිටි එක සමාන සිදුරු දෙකකින් යුත් වියළි ශාක පත්‍රයක්.”
පිටුව : 21
කෘතිය : “නොදුටු තුරකින් පැමිණි සුවඳක්.”
කතුවරිය : සංජීවනී රූපසිංහ.
ව්‍යාකරණය රැකීමත් බිඳීමත් දෙකම හිතාමතා කළ බව පෙරවදනේ සඳහන්ය. බැලූ බැල්මට, එකී ව්‍යාකරණ රටාව සදොස් සේ පෙනුණා වුව, කෘතියේ අන්තර්ගතය සමග එම ව්‍යාකරණ රටාව පෑහේ.
සංජීවනී රූපසිංහ |
කෘතියේ මූලය, ඕස්ට්‍රේලියාවේ පුවත් පතක ‘ආදරණීය මේඝ’ නමින් පළවූ ලිපි සමූහයක් බවද පෙරවදනේ සඳහන් කෙරේ. ලිපි මාලාවක් බව කියුවා වුව, මෙය ප්‍රබන්ධ කතාවක් බව මගේ හැඟීම යි.
කෘතියේ ලිපි හරහා කෙරෙන චරිත, ස්ථාන, පරිසර වැනුම්, දේශපාලන, සමාජ, අවස්ථා, චරිත නිරූපණ හේතුවෙන් “නොදුටු තුරකින් පැමිණි සුවඳක්” වඩාත් සමීප වන්නේ ඉපිස්ටලරි නව කතාවකටය.
ආදරය, අහිමි වීම, ඊර්ෂ්‍යාව, පරිත්‍යාගය, සියල්ල ලිපි ඔස්සේ විදාරණය වේ.
කතාවේ චරිත දෙකකි. මේඝ සහ වර්ෂා. දෙදෙනා හුවමාරු කරගන්නා ලිපි සමූහයක් ඔස්සේ කදිම ප්‍රේම කතාවක් දිගහරින්නට සංජීවනී සමත්ව සිටී. එක් අයෙක් ලියන ලිපියක් තුළ පවා අනෙක් චරිතයේ අදහස් මනෝමය සංවාද ආකාරයෙන් ඇතුළත් කර තිබීම ඒකාකාරී බව වළක්වා ගන්නටත් චරිත ඉස්මතු කර දැක්වීමටත් උපකාරී වී තිබේ.
“ඔව් වර්ෂා, ඔයා කියපු එක හරි. අවුරුදු විසි ගාණකට පස්සේ හඳ පෘථිවියට ළඟින් ම ගිහින් තියෙන්නේ ඊයේ”
“ඔයා කියවල තියෙනවද ඍග්වේදය.” මම අසමි.
“නැහැ” - ( පිටුව 16 )
ආදි වශයෙන් වර්ෂා, මේඝ අතර හුවමාරු වන ලිපිවල සංවාද වැනි දෙබස්, දක්නට ලැබේ.
වර්ෂා සහ මේඝ වර්ෂාව සහ වැහි වලාව මෙන් සමීප සහ අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතු දෙදෙනෙකි.
මේඝ, වර්ෂාගේ සමීපතම හිතවතා ය, විශ්වාසවන්තයා ය. රැකවලා ය. අප්‍රකාශිත පෙම්වතා ය.
“වූස් එකේ ඉඳන් එද්දී, හරියට ම ගලහ බස් යන පාරට වැටෙන තැන දී මාව පාරෙ දකුණට දාලා නුඹ පැත්තේ යන්න පටන් ගන්න විදිහ මට තාම මැවෙනවා. එතකොට මට දැනෙනවා එක පාරට ලොකු ගහක් යට තියෙන හෙවණ. ගිනිගහන අව්වක ගිහින් එක පාරට අතුපතර විහිද ගත් මහ ගහක් යටට ආවා වගේ දැනෙන හැඟීම. ඒ හැඟීම තාමත් සීතල වතුර ඉරක් වගේ හද මතින් ගලා යනවා” - වර්ෂා (පිටුව 44).
“මම වසන් කරන සත්‍ය නුඹත් වසන් කරනවා. මං ගැන ඇත්ත දන්න බව පවා නුඹ මගෙන් වසන් කරනවා. මොන තරම් තේරුම්ගැනීමක් ද ඒක. මොන තරම් ආදරයක් ද ඒක. ඒක හරි ම පුදුම කාලයක් මේඝ.” වර්ෂා - පිටුව 49.
වර්ෂා සහ මේඝ අතර පාසල් සමයෙන් ඇරඹී, ඡායාරූප පාඨමාලා, විවිධ සමාජ ක්‍රියාකාරකම් හරහා සරසවි දිවිය තුළ මුහුකුරා යන ප්‍රේමයක අතීතකාමී මතක සංවේදනා රැසක් ලෙස කෘතිය හැඳින්වීම ද වරදක් නැත.
ප්‍රේමය පිළිබඳ පමණක් නොව වෙනත් සරසවි මතක ද ඒ අතීතකාමය තුළ පෙළගැස්වී තිබේ. එහෙත් ඒ සෑම එකක ම ඔවුන් ගේ පෙම් කතාව සමග යම් ආකාර සබඳතාවක්, සමීප බවක් තිබේ.
වර්ෂා කෙරෙහි සිය ප්‍රේමය ප්‍රකාශ කරන්නට මේඝ ඉදිරිපත් නොවන්නේ, හිමිකර ගන්නට උත්සාහ කිරීමෙන් ඇය අහිමි වනු ඇත යන සැකය හේතුවෙන් උපන් පසුබෑම නිසාය. වර්ෂා ගේ හැසිරීම් සහ ප්‍රකාශ ද ඊට හේතු වේ.
“දවසක් ඔයා මට තර්ජනය කළා.”
“මං ඔයාත් එක්ක මෙහෙම එන්නේ තනියම ඕන තැනක, ඔයා ගැන තියෙන විශ්වාසයෙන්.”
“ඔයා කිව්වේ ඉතාමත් තද ස්වරයෙන්. මාව දැනිලා වගේ. මා එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියන ස්වරයෙන්.”- මේඝ (පිටුව 63)
ලිංගිකත්වය වැනි දේ පිළිබඳ සංවාදයකට මේඝ උත්සාහ කරන නමුත් වර්ෂා ඒ කතා බහ මගහරී. ඒ එවැනි කරුණු පිළිබඳ මන්දෝත්සාහී බවක් නිසා නොව මේඝ හමුවේ ඇය, ඇයටත් නොදැනී ආරක්ෂා කරන ප්‍රතිරූපයක් වැනි කිසිවක් බිඳ නොගැනීමේ අභිලාෂයෙනි.
“මගේ ජීවිතේ මට හුඟාක් දේවල් ලැබුණු බව ඇත්ත. ඒත් ඒ තැන්වල ඔයාව තියන්න මට බැරි වුණා. ඒ හැම තැන ම ඔයා නැති අඩුව මට දැනුණා.” - මේඝ (පිටුව 24)
වර්ෂා ගේ සිතෙහි මේඝ කෙරෙහි ඇත්තේ ද ඒ හා සමාන හැඟීමක් බව මේඝ ගේ විවාහය පිළිබඳ ආරංචිය ලැබ ඇය වැලපෙන ආකාරය අනුව පැහැදිලි වේ. වර්ෂා ගේ මගුල් පෝරුවට මුදල් ලබා දුන් දිනයේ රාත්‍රියේ මේඝ ඇයට නොකඩවා දුරකතන ඇමතුම් ලබා දීමෙන් මේඝ ගේ ලිංගික ඊර්ෂ්‍යාව නිරූපණය වේ. අයිති කර ගැනීම මඟහැරියා වුව මේඝ, වර්ෂා වෙනකකුට අයිති වීම පහසුවෙන් දරා ගන්නට ද සූදානම් නැත.
පසුව දැනගන්නට ලැබෙන පරිදි මේඝ ගේ විවාහ දිවිය ගැටුම්කාරී ය.
“ඇයි තාත්තේ ඔයා අම්මා බැන්දේ?”
“නුඹේ දරුවන් පුදුමයෙන් වරෙක අසන බව නුඹ මට දිනක් කීවා මකත ය.”- පිටුව 47.
“පිරිමි වුණාට මාත් වැඩ ඇරිලා වැඩට යනවා. මම වැඩ ඇරෙන්නේ එකොළහට ඒ යද්දි සින්ක් එකේ වළං පිඟන් පුරවලා.” - මේඝ (පිටුව 77)
වර්ෂා එවැනි දේ ට ප්‍රතිචාර දක්වන්නේ, “පිරිමිත් වැඩකරන්න ඕන ගෙවල්වල, දෝණිට, පුතාට වැඩ පුරුදු කරන්න.” වැනි දේ කියමින් මේඝ ගේ විවාහ දිවිය ආරක්ෂා කරන ආකාරයෙන්, අනුන්ගේ පවුල් අවුල්වලට මැදිහත් නොවන ස්වරයෙන් සහ ගැහැනු ගතියෙන් යුතුව පරිස්සමෙනි.
විවාහයේ අඳුරු බර කොටස වර්ෂාට හෙළි කරන අතර මේඝ, තමා හමුවන්නට ඕස්ට්‍රේලියාවට එන්නට වර්ෂාට ආරාධනාවක් කරයි.
“මම ආසයි දවසක ඔයා ගේ අතින් උයලා බත් කන්න. ඒක මගේ හීනයක්.”
“ඔයා එන්න මෙහේ. අපි කාත් කවුරුත් නැති මල් උයන් දිගේ ඔහේ ඉබාගාතේ ඇවිද යමු.”
සාංදෘෂ්ටිකවාදී අදහස් දරන බව පෙනුණා වුව බිරිය ගේ හැසිරීම නිසා හෝ අන් කවර හෝ හේතුවක් නිසා මේඝ ක්‍රමයෙන් වර්ෂා කෙරෙහි මෝහාත්මක බවක් පාන්නට පටන් ගනී.
“රැයක් එළිවෙනකල් ඔයාව තුරුල් කරන් නිදියන්න මට ඉඩ දෙන්න.” මේඝ වර්ෂා ට කියන්නේ දික්කසාද ව බිරිය ඇඩිලේඩ්වලට ඇරලවා ආ දිනයේ ය.
“ඔව් මේඝ මං එන්නම්, ඇවිත් යන්න. ඒත් මේ ගමනට මං බයයි. ඒ ඇයි කියලා මගෙන් අහන්න එපා.” ඒ ඉල්ලීමට වර්ෂා පිළිතුරු දෙන්නේ ඒ ආකාරයට ය. ඇය ඔහු හමුවීමට යන්නී ය.
“ආලෝකයයි අඳුරයි දෙක ම තිබ්බේ එක ම තැන. අත්විඳීමයි විඳවීමයි දෙක ම තිබ්බේ එක ම තැන. ආලෝකයත් සමඟ ම හදවතේ පරිස්සමට තැන්පත් කර තිබූ රන් පිළිමෙකුත් බිඳී ගිහින් තිබුණා.”
රැයක් තුරුලුව හිඳීමෙන් පසු වර්ෂා ට දැනුණු හැඟීම එසේ වුව, ඇය ඒ ගැන මේඝ ට අඟවන්නේ නැත. ඔහු ඒ ඇසුරේ පරමානන්දය විඳිමින් හිඳී.
“නුඹ, වසර තිස් ගණනක් මා වෙත ම සිටි නුඹ, ඒ නුඹ නොවෙයි තව දුරටත් මා දෙස බලා සිටින්නේ. අපි වෙන දෙන්නෙක්. පිළිගන්න මේඝ. දැන් අපි වෙන දෙන්නෙක්. අපි ආපහු කතා කරාවි ද නො කරාවි ද, අපි ආපහු මුණගැසේවි ද නො වේවි ද මං ඇත්තට ම දන්නේ නැහැ මේඝ. මං යනවා. මං දන්නේ එපමණයි.”
අත්හැරීම තුළ වූ අල්ලා ගැනීම වසර තිස් ගණනක් අත් විඳි තමා අල්ලා ගැනීම තුළ වූ අතහැරීම විඳින බව කියමින් වර්ෂා කතාව හමාර කරයි.
මේඝ ගේ පාදය බිඳීම, වර්ෂා ගේ ස්නායු ආබාධය වැනි එක හා සමාන සිදුවීම් එක පෙළට තැබීම මසකට වරක් පළවන ලිපියක දී ගැටලුවක් නොවන නමුත් පොතකට ගෙන ඒමේ දී ඒ ගැන සැලකිලිමත් වන්නට තිබුණි. එසේම, වර්ෂා බලයෙන් රියක නංවා පැහැරගෙන යන අතර රියෙන් පැනීම, හුන්නස් ඇල්ලේ සිදුවීම වඩාත් තාර්කිකව ගොඩනැඟුණේ නම් කතාව තවත් ප්‍රබල වන්නට තිබිණ. ලංකාවේත් ඕස්ට්‍රේලියාවේත් කාලීන සිදුවීම් ගොනුකර ගෙන තිබීම හේතුවෙන් කතාවට ජීවමාන බවක් ලැබෙන අතරම එයින් යම් ප්‍රචාරකවාදී බවක් දක්නට ලැබේ.
කෙසේ වුව, නොදුටු තුරකින් පැමිණි සුවඳක් යනු ලිපි එකතුවක් ලෙස වරදවා නාමකරණය කළ ඉපිස්ටලරි නවකතාවක් ය යනු මගේ හැඟීම ය.
- අනුර කේ. එදිරිසූරිය