ලොවටම එන්නත් ගන්න අැමරිකාවේ බලවතුන් සංගීත ප්‍රසංගයක


වසංගතයෙන් මිදෙන්න පුළුවන් එන්නත් කරණයෙන් පමණයි 

‘මේ වසංගතය අවසන් වෙන්නේ නැහැ. වසංගතය අවසන් කළ හැක්කේ එන්නත්කරණය හරහා පමණයි. වයිරසයට එරෙහිව ඇති හොඳම අවිය එන්නත්කරණයයි. අවසන් මෙන්ම එකම විකල්පය වන්නේ ද එයයි. වයිරසය පරද්දන්න ලොව අප කවුරුත් එන්නත් ලබා ගැනීම කළ යුතුම වෙනවා.’ - ඇමෙරිකානු විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි. 


‘කොවිඩ් 19‘ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට එන්නත්කරණය හැර වෙන විකල්පයක් නැතැයි ඇමෙරිකාවේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි අවධාරණය කරයි. වෛද්‍ය ඇන්තනි ෆවුචි, ඇමෙරිකාවේ ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ ප්‍රධානියා වන අතර, ‘කොවිඩ් 19‘ වසංගතය සම්බන්ධයෙන්, ප්‍රධාන උපදේශකවරයා ද වෙයි. 


කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කිරීමට නම්, ලොව සැමට කොරෝනා ආසාදනය වළක්වන එන්නත් සමානව බෙදී යා යුතු බව අවධාරණය කරමින්, ලොව සෑම කෙනකුටම එන්නත් ලබා දීමට අරමුදල් රැස් කිරීමට මැදිහත් වී සිටින්නේ ‘ගෝලීය පුරවැසි අරමුදල’ ජාත්‍යන්තර සංවිධානයයි. මෙම සංවිධානය මැදිහත් වී, ලොව සැමට එන්නත් ලබා දීමට අරමුදල් රැස් කිරීමේ විශේෂ සංගීත ප්‍රසංගයක් සංවිධානය කළේය. වැක්ස් ලයිව්: ලෝකය එකමුතු කිරීමේ ප්‍රසංගය’ යනුවෙන් මෙය නම් කෙරුණි. සංගීත ප්‍රසංගය හරහා ඇමෙරිකන් ඩොලර් මිලියන 302 ක් එකතු කර ගැනීමට ගෝලීය පුරවැසි අරමුදල’ සංවිධානය සමත් වූයේ ඔවුන් අපේක්ෂා නොකළ අන්දමිනි. ලැබුණු අරමුදල්වලින් කොරෝනා ආසාදනය වළක්වන එන්නත් මාත්‍රා මිලියන 26 ක් මිලදී ගෙන ඒවා දිළිඳු රටවලට බෙදා දීමට කටයුතු කරන බව සංවිධායකයෝ පැවැසූහ. 


කොරෝනා වසංගතයේ බලපෑම් හමුවේ, ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ලො-ෆයි ක්‍රීඩාංගනයේ පැවැත්වුණු පළමු දැවැන්ත සංගීත ප්‍රසංගය වැක්ස් ලයිව්’ වූ අතර, ඇමෙරිකාවේ ජීවත් වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගාන් මාකෙල්ගේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංගය පැවැත්වීම සුවිශේෂි සිදුවීමක් විය. පසුගිය මැයි දෙවැනිදා පැවැත් වූ සංගීත ප්‍රසංගය, යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය හරහාත්, රූපවාහිනී නාලිකා හරහාත් විකාශය කෙරුණේ ඉකුත් සති අන්තයේය. ඒබීසී, ඒබීසී නිව්ස් ලයිව්, සීබීඑස් සහ අයි හියර්ට් මීඩියා ගුවන්විදුලි නාළිකාව ද ලො-ෆයි ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණු මෙම සංගීත ප්‍රසංගය එකම අවස්ථාවේ විකාශය කළේ එය සජීවී අත්දැකීමක් බව පෙන්වමිනි. 
මැයි දෙවැනිදා ප්‍රසංගය නැරැඹීමට තෝරා ගත් ඇමෙරිකානුවන්ට අවස්ථාවක් ලැබුණි. ඒ, සියලු‍ දෙනා පීසීආර් පරීක්ෂණයකට ලක් වී ආසාදිතයකු නොවන බව තහවුරු කිරීම කළ යුතුව තිබුණි. එන්නත් මාත්‍රා එකක් හෝ දෙකම හෝ ලබාගත් ඇමෙරිකානුවන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද හිමිවුණි. එපමණක් නොව, ඇමෙරිකා සෞඛ්‍ය අංශ සාමාජිකයන් වෙනුවෙන් උපහාර දැක්වීමක් ද සිදුවිය. ඇමෙරිකන් තරුණ ප්‍රජාව එන්නත්කරණයට යොමු කිරීමට ද ප්‍රසංගයේ එක් අරමුණක් විය. මේ වනවිට ඇමෙරිකාවේ අවුරුදු 16 ට වැඩි සැමටත්, 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ටත් එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ. 
‘වැක්ස් ලයිව්’ ප්‍රසංගය මෙහෙයවීමට හැරී කුමරු වේදිකාවට ගොඩවුණු නමුත් මෙගාන් මාකෙල් එහි පැමිණ සිටියේ නැත. ඇය හැරී කුමරුන් සමඟ වේදිකාවට ගොඩවීමට නියමිතව සිටියත් අවසන් මොහොතේ දී එය වෙනස් වී තිබුණි. මෙගාන්, සිය දෙවැනි දරු ප්‍රසූතියට සූදානමින් සිටී. 

 


“හැමදෙනාම සාදරෙන් පිළිගන්නවා. අද අප පැමිණ සිටින්නේ කොවිඩ් 19 වසංගතයට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක මොහොතකට. කොරෝනා වසංගතයට එරෙහි සටනට සක්‍රීයව දායකත්වය සැපැයූ සැමට මා මේ අවස්ථාවේ ස්තුති පුද කරන්න කැමැතියි. අප කවුරුත් එකමුතු වී ක්‍රියාකළොත් පමණයි අපට මෙම වසංගතය අවසන් කළ හැකි වෙන්නේ. සමානව ලොව සෑම රටකටම එන්නත් ලැබිය යුතුයි. ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සාධාරණ අයුරින් එන්නත් බෙදාහැරීමක් සිදුවන තුරු අපට මේ වසංගතය අවසන් වේවි යැයි විශ්වාස කරන්න බැහැ. අපට ඉදිරි අස්වැසිල්ලක් ලැබෙන්නේ නැහැ. අපට විවේක ගන්න නැහැ. අපේ වගකීම වන්නේ එයයි. අප ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්න ඕනෑ. ඒ නිසා ආගම් භේදයක් හෝ වර්ණ භේදයක් හෝ නැහැ. වයිරසයට දේශ සීමා නැහැ. 


විනාශකාරී දෙවැනි කොරෝනා රැල්ල සමඟ පොරබදමින් සිටින මිලියන ගණනක් ඉන්දියානුවන් වෙනුවෙන් අප අපේ සහාය ලබා දෙන්න ඕනෑ” යැයි වැක්ස් ලයිව්’ ප්‍රසංග වේදිකාවට ගොඩවුණු හැරී කුමරු ඉල්ලීමක් ද කළේය. 


වේදිකාවට ගොඩ නොවුණත්, සංගීත ප්‍රසංගයට මෙගාන් මාකෙල් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය වීඩියෝ පණිවුඩ ඔස්සේ සම්බන්ධ වූවාය. මෙගාන් ද ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස අමතමින් විශේෂ ප්‍රකාශයක් කළාය. එය කලින් පටිගත කරන ලද්දකි. මෙගාන් එම ප්‍රකාශය ලබා දී තිබුණේ ඩොලර් මිලියන 14.7 ක් වටිනා ඇගේ මොන්ටිසිටෝ මන්දිරයේ පිටුපස ගෙවත්තේ සිටය. 
“වැක්ස් ලයිව් හි ප්‍රසංගය නැරැඹීමට පැමිණි සියලු‍ දෙනා සාදරයෙන් පිළිගන්නවා. සෞඛ්‍ය නිර්දේශ අනුව, සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින්, සියලු‍ දෙනාගේ ආරක්ෂාවට මුල් තැන දෙමින් ප්‍රසංගය පැවැත්වෙනවා” යැයි ඇය පැවැසුවාය. පසුගිය මාර්තු මාසයේ දී ඔප්රා වින්ෆි සමඟ කළ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් මෙගාන් ඇමරිකානු රූපවාහිනියේ පෙනී සිටි පසු පළමු අවස්ථාව මෙය විය. 
මිනිත්තු 2 ක ප්‍රකාශය අතරතුර මෙගාන් සංඛ්‍යා ලේඛන මාලාවක් ද ඉදිරිපත් කළාය. “වසංගතය ආරම්භ වූ දා සිට ඇමෙරිකාවේ කාන්තාවන් මිලියන 5.5 කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අහිමි වී තිබෙනවා. ලොව පුරා මිලියන 47 ක් කාන්තාවන් දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. තරුණියන්ගේ අනාගත නායකත්වය රඳා පවතින්නේ අප ගන්නා තීරණ සහ අප දැන් ගන්නා ක්‍රියාමාර්ග මතයි. අප යථා තත්ත්වයට පත්වන විට, අප ශක්තිමත් වන බව සහතික කර ගැනීමට අපට අවශ්‍යයි; අප කෙසේ හෝ නැවත ගොඩ නැගෙන්න ඕනෑ. එය අපට බැරි දෙයක් නොවේ.” 

 


ජෙනිෆර් ලෝපේස්, සෙලීනා ගෝමස් ප්‍රසංගය සංවිධානය කිරීමට අනුග්‍රහය ලබා දුන්හ. එඩී වෙඩ්ඩර්, ෆූ ෆයිටර්ස්, ජේ. බැල්වින්, ප්‍රසංගය හැඩ කළහ. විශේෂ ආරාධිත කථිකයන් ලෙස සුපිරි නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන බෙන් ඇෆ්ලෙක්, ක්‍රිසි ටීජන්, ජිමී කිම්ල්, ෂෝන් පෙන් සහ ඬේවිඩ් ලෙටර්මන් ද ප්‍රසංගයට එක් වූහ. ඊට අමතරව ධවල මන්දිරයේ සිට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජිල් ද ප්‍රසංගයට එක්වීම සුවිශේෂී සිදුවීමක් විය. මෙගාන් සේම ජෝ බයිඩන් සහ ජිල් යුවළ ප්‍රසංගයට එක් වූයේ වීඩියෝ පණිවුඩයක් මගිනි. ලොව සැමට එන්නත් ලැබිය යුතු බවත්, එන්නත් ඒකාධිකාරීත්වයක් අවශ්‍ය නැති බවත් ජනපති බයිඩන් වීඩියෝ පණිවුඩයෙන් පවසද්දී ‘වැක්ස් ලයිව්’ ප්‍රසංගය නැරැඹීමට රැස්ව සිටි පිරිස ඔල්වරසන් දෙන්නට වූහ. උප ජනපතිනී කමලා හැරිස් ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රසංගයට එක් වූවාය. 
‘කොවිඩ් 19‘ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් පෞද්ගලික දේපළක් නොවන බවත්, එන්නත් නිසියාකාරව ලොව සෑම රටකටම බෙදී යෑමක් සිදුවිය යුතු බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළේය. දිළිදු රටවල පවා එන්නත් නිපදවීම සිදු කළ යුතු බවත් එන්නත් සමාගම් ඊට අවසරය දිය යුතු බවත් බයිඩන් පැහැදිලි කළේය. කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන ඖෂධ සමාගම්, එම එන්නත්වල තනි අයිතියක් පවත්වාගෙන යෑමට උත්සාහ ගනිමින් සිටියි. එන්නත් සමාගම් එසේ කරන්නේ වැඩි ලාභ ලැබීමේ අරමුණින්ය. බයිඩන් මෙසේ පැවැසීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසැසුමට ලක් විය.

 

 

ලු‍සිත ජයමාන්න 
ඬේලිමේල් ඇසුරිනි