
විදුලිය කප්පාදු අපට අරුමයක් නොවුණත්, කුවේටයට අරුමයකි. ලෝක සිතියමට අනුව, බටහිර ආසියාවට අයත්, තෙල් සම්පතින් බහුල මැදපෙරදිග රාජ්‍යයක් ද වෙන කුවේටය, මේ වෙනවිට, එරට ඉතිහාසයේ පළමු වරට විදුලිය කප්පාදුවක් සිදු කරයි.
කුවේට් බලධාරීන්ට විදුලිය කප්පාදුවකට යෑමට සිදුවූයේ කුවේට් නගර වැසියන් විදුලි පංකා සහ වායු සමීකරණ ඉවක් බවක් නොමැතිව භාවිතයට පෙලඹීම නිසාය.
මේ වෙන විට කුවේටයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසු කර ඇති බව එරට කාලගුණ බලධාරීහු පවසති. කුවේටය මැදපෙරදිග උෂ්ණාධික රටක් වුවත්, සෙල්සියස් අංශක 50 ඉක්මවා උෂ්ණත්වයක් වාර්තා වීම කුවේටයට අසාමාන්‍ය තත්ත්වයකි.
කුවේට් යනු ඔපෙක් සංවිධානයට අයත් ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවලින් එකකි. දිනපතා පැය දෙක බැගින් නගරවල විදුලි කප්පාදුවක් සිදු කරන බවත්, එසේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේ කුවේට් වැසියන්ගේ දෛනික විදුලි පරිභෝජනය ඉහළ ගොස් ඇති බැවින් ඊට සරිලන විදිහේ සැපයුමක් ලබාදීමට නොහැකි බැවින් යැයි කුවේටයේ විදුලිය බල, ජලය සහ පුනර්ජනනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
‘‘අප පැහැදිලිව වටහාගන්න ඕනෑ, උෂ්ණත්වය මේ අයුරින් ඉහළ ගොස් ඇත්තේ ලෝකය මුහුණ දෙන විපරිත කාලගුණ පෙරළි නිසයි. විපරීත කාලගුණ පෙරළි සිදුවෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමෙන්. පොසිල ඉන්ධන දහනය ඊට ප්‍රධානතම හේතුවක්. ඉතිං පොසිල ඉන්ධන දහනය කරන්නේ කවුරුන්ද? ගෝලීය උණුසුම ඇති කරන්නේ කවුරුන්ද? පිළිතුර තමයි වෙන කවුරුන්වත් නොවෙයි, අපම තමයි’’ යැයි කුවේට් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් පැහැදිලි කරදී තිබේ.
දිනෙන් දින ඉහළ යන විදුලිය බල අවශ්‍යතා සපුරා ගැනීමට අසල්වැසි රටවලින් මෙගාවොට් 500 ක් විදුලිය මිලදී ගැනීමට කුවේට් රජය කටයුතු කර තිබේ. ඒ අනුව අසල්වැසි ඕමානයෙන් මෙගාවොට් 300 ක් සහ කටාර් රාජ්‍යයෙන් මෙගාවොට් 200ක් ලබා ගැනීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත් අත්සන් කර ඇත.
ඒ, ලබන අගෝස්තු 31 දක්වා කාලයටය. ඉදිරියටත්, දිගු කාලයක් අධික උෂ්ණත්වයක් පවතින්නේ නම් කුවේටය දැඩි විදුලිය අර්බුදයකට මුහුණ දෙනු ඇති බවට බිය පළ වී ඇත.
කුවේටය පමණක් නොව, සෙසු මැදපෙරදිග රටවල්ද මේ වෙන විට අධික උණුසුම් කාලගුණයකින් පීඩා විඳිමින් සිටිති. කුවේටයේ වැසියන්ට විදුලි පංකා සහ වායු සමීකරණ තිබුණද ඉරාක වැසියන් අධික උණුසුමට මුහුණ දෙන්නේ ඒ කිසිවක් නැතිවය.
21 වැනි සියවසේදී මැදපෙරදිග රටවල් දරාගත නොහැකි තරම් උණුසුමකින් පීඩා විඳිනු ඇතැයි ජගත් කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවූයේ 21 වැනි සියවස ආරම්භයේදීමය. මේ වෙනවිට එම අනාවැකි සඵල වී ඇත. අද මැදපෙරදිග කලාපීය රටවලත්, උතුරු අප්‍රිකාවට අයත් රටවලත් උෂ්ණත්වය, සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වයට වඩා වැඩිය.
මේ තත්ත්වයෙන් මැදපෙරදිග කලාපීය රටවලත්, උතුරු අප්‍රිකාවට අයත් රටවලත් උෂ්ණත්වය පැවැතියහොත්, වසර 2050 වෙද්දී, සාමාන්‍ය උෂ්ණත්වය අංශක හතරකින් වැඩි වෙනු ඇත. මෙය ඉතාමත් බරපතළ තත්ත්වයකි.
ජර්මනියේ, මෙයින්ස්හි පිහිටි මැක්ස් ප්ලෑන්ක් රසායන විද්‍යා ආයතනය සහ සයිප්‍රසයේ නිකෝසියා පර්‌යේෂණ ආයතනය මැදපෙරදිග සහ උතුරු අප්‍රිකා රටවල ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටිති, ඒ ගැන නිරන්තරයෙන් පර්‌යේෂණ ද පවත්වති. උෂ්ණත්වය මෙසේ ඉහළ යද්දී, එදිනෙදා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑම ඉදිරියේ දී අසීරු වෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.
ලොව වැඩිම පිරිසක් සහභාගී වෙන ආගමික උත්සවය ලෙස සැලකෙන්නේ මක්කම, හජ් වන්දනාවය. මිලියන ගණනක් ඉස්ලාමීය බැතිමතුන් එක්රොක් වෙන හජ් වන්දනාව මෙවර යෙදී තිබුණේ ජූනි 14 සිට ජූනි 19 දක්වාය. හජ් වන්දනාව පැවැත්වෙද්දී, සෞදියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසු කර තිබුණි.
අධික තාප තරංගවලින් ‘සවුදිය’ බැට කන්නට විය. අධික තාපය දරාගත නොහැකිව මියගිය හජ් වන්දනාකරුවන් ගණන 1,300 ක් යැයි හජ් වන්දනාව අවසන් වූ පසු සෞදි බලධාරීන් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. බැතිමතුන් චෝදනා කර ඇත්තේ දැඩි උණුසුම් කාලගුණයක් පවතිද්දී, බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට සෞදි බලධාරීන් අපොහොසත් වූ බැවින් අධික උණුසුම හේතුවෙන් ඒ මරණ සිදුවුණු බවය.
වාර්ෂිකව, හජ් වන්දනාව සිදුවෙන්නේ ඒ ඒ රටවලින් තෝරාගන්නා බැතිමතුන් සහභාගී කරවා ගනිමිනි. එසේ තෝරාගන්නේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසීමක් ද කරමිනි.
සෞදියට අනුව, හජ් වන්දනාවට පැමිණ මෙම වසරේ මියගිය පිරිස අතරින් සියයට 83 ක්ම නීත්‍යනුකූලව අවසර නොලබා වන්දනාවට දුර බැහැර රටවල සිට පැමිණි බැතිමතුන්ය. මියගිය වැඩි දෙනා දිගු වේලාවක්, සෙවණක් නැතිව හිරු රශ්මියට නිරාවරණය වූ බව ද පැවසේ.
තාරකා විද්‍යාඥයන්ට අනුව, අප සෞරග්‍රහ මණ්ඩලයේත්, විශ්වයේත්, ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවියයි. ජීවීන් සිටිය හැකි යැයි අනුමාන කරන, පෘථිවියට සමාන ග්‍රහලෝක රැසක්, අභ්‍යවකාශයේ රඳවා ඇති අභ්‍යවකාශ දුරේක්ෂවලින් සොයාගැනීමට විද්‍යාඥයන්ට හැකි වී ඇත.
එසේ වුවත්, එම ග්‍රහලෝකවල ක්ෂුද්‍ර ජීවියෙකු පවා සිටිනවා යැයි තහවුරු වී නැත. පෘථිවිය පිහිටා ඇත්තේ සූර්යයා, එසේත් නැතිනම් හිරුගේ සිට තෙවැනි ස්ථානයේය. හිරුට ආසන්නයෙන්ම පිහිටා ඇත්තේ බුද ග්‍රහයාය. හිරුට වඩාත්ම ළඟින් පිහිටන බැවින් බුද ග්‍රහයා මත ජීවය නැත. ජීවය බිහිවීමට අවශ්‍ය සාධක ද නැත. හිරුගේ සිට දෙවැනි ස්ථානයේ පිහිටා ඇත්තේ සිකුරුය. සිකුරු උණුසුම් ග්‍රහයෙකු වෙන නමුත් ජීවය පැවතීමට හිතකර සාධක තිබෙන බව විද්‍යාඥයන්ගේ අදහසයි.
පෘථිවියෙන් පසුව, හිරුගේ සිට සිවුවැනි ස්ථානයේ පිහිටන්නේ අඟහරුය. අද වියළි නිසරු තැනක් වුවත්, අතීතයේ අඟහරු මත ජීවය පවතින්නට ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ අදහසයි. අනාගතයේ දිනෙක අඟහරු මතට ගගනගාමීන් යවා, අඟහරු මත ජනාවාස පිහිටුවීම කෙරෙහි ද අවධානය යොමු වී ඇත. පෘථිවිය පිහිටා ඇත්තේ හිරුට වඩාත් ළඟින් හෝ දුරින් හෝ නොවේ.
එහෙයින් හිරුගෙන් උණුසුම් වී පෘථිවියේ ජීවය ආරම්භ විය. ජීවය පැවැතීමට හිතකර තත්ත්වයක් නිර්මාණය විය. පෘථිවිය ජීවයෙන් පිරුණු ලොවක් විය. කෙසේ නමුත් මිනිසාගේ දියුණුවත්, කාර්මීකරණයත් හේතුවෙන්, මිනිස් ක්‍රියාකාරකම්වල අනිසි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උණුසුම වේගයෙන් ඉහළ යමින් පවතී. ගෝලීය උණුසුම ඉහළ ගොස් මිහිකත උණුසුම් වීම හොඳ දෙයක් නම් නොවේ. එය අපගේත් මිහි මත පණ ඇති සියලු දෙනාගේත් අවසානය ආරම්භ කරනු නිසැකය.
- ලුසිත ජයමාන්න
ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි.