ලෝකයේ වැඩිම මුදලක් අයකරන රූපවාහිනී නිවේදිකාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • කුඩා කාලයේදී අඳින්නට ගවුමක්වත් තිබිලා නැහැ.
  • වයස 9 දී අතවරයට ලක්වෙලා.  අද ඇයගේම සමාගම් හිමි ව්‍යාපාරික චරිතයක්.ජෙට් යානයක් පවා අද ඇය සතුයි.  

 

ලෝකයේ ප්‍රකෝටිපතියන් බවට පත්ව සිටින්නේ ව්‍යවසායකයන් ලෙස කටයුතු කරන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ චරිත වේ. ඊට අමතරව විවිධ ක්ෂේත්‍රවලට අයත් ‘තරු’ චරිත හෙවත් ලෝ ප්‍රකට චරිත සඳහන් කළ හැකිය.

ජෙෆ් බේසෝස්, ඊලෝන් මස්ක්, බිල් ගේට්ස්, ජැක් මා, මුකේෂ් අම්බානි ඇතුළු ලෝකයේ වෙසෙන මහා ධනවතුන් ගැන ඔබ දැන සිටිනවා විය හැකි. නමුත්, ඒ මහා ධනවතුන් අතරට අයත්, නිවේදිකාවක, නැතහොත් ටෙලිවිෂන් වැඩසටහන් මෙහෙයවන්නියක ගැන ඔබ අසා තිබෙනවාද?  


ඒ හැරත් රූපවාහිනී නිවේදිකාවක් කොහොමද ප්‍රකෝටිපතියක් වන්නේ? ඔබට ඒ විදියට හිතෙන්නට පුළුවන.  


“එහෙත් රූපවාහිනි නිවේදිකාවකට ප්‍රකෝටිපතිනියක් වෙන්නට බැරිද?”  


“ඇයි බැරි. පුළුවනි.” යන්න ප්‍රයෝගිකව පෙන්නුම් කළ කාන්තාව ඇයම වේ. ඇය අපේ රටේ හෝ ආසියාවේ කාන්තාවක නම් නොවෙයි. අප්‍රිකානු සම්භවයක් ඇති ඇය ඇමරිකානු ජාතික කාන්තාවකි. නිවේදිකාවක ලෙස ගමනක් ආ ඇය කො​හොමද ලෝක ධනපතිනියක බවට පත්වූයේ?  


නිවේදිකාවකට, වැඩසටහන් ඉදිරිපත් කරන්නියකට අමතරව, ඇය රංගන ශිල්පිනියක, නිෂ්පාදිකාවක, මාධ්‍ය ක්ෂේත්‍රයේ විධායක චරිතයකට අමතරව ගත් කතුවරියක ද  වන්නීය. නිවේදිකාවක ලෙස පටන් ගත් ගමනේදී මාධ්‍ය ආයතනයක් පිහිටුවීමටද ඇය සමත් වූවාය.  


මැජික් එකක්, ඇස්බැන්දුමක් නොවූ ඇයගේ කතාව කාන්තා ලෝකයේ මෙන්ම සමාජයේ බොහෝ දෙනා හට අරුතක් සපයනු ඇත. එනිසාම ‘ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි’ විශේෂාංගය අද අප හැඩ ගන්වන්නේ, ලෝකයේ එකම බිලියනපති නිවේදිකා ව්‍යවසායක කාන්තාවකගේ කතාව වෙතිනි.  

 


කවුද මේ අපූරු කාන්තාව?  


ඇය ලෝකයේ වඩාත් ප්‍රචලිත - බැබලෙන චරිතයක් බවට පත්වූයේ 1986 සිට 2011 දක්වා රූපවාහිනියේ විකාශය කළ ‘ද ඔප්රා වින්ෆ්‍රේ වැඩසටහන’ (The Oprah Winfrey Show) නිසාය. වසර 25 ක් අඛණ්ඩව ගෙන ආ මෙම වැඩසටහන ලෝක ටෙලිවිෂන් ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ මෙන්ම, ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසුවූ වැඩසටහන විය. ඇය නමින් ඔප්රා වින්ෆ්‍රේ (Oprah Winfrey) ය.  


දුක්බරව ගෙවී ගිය ළමා විය  


ඔප්රා ගේල් වින්ෆ්‍රේ අපත ලැබුවේ ඇමරිකාවේ මිසිසිපි හි කෝෂියස්කෝ හිදී, 1954 ජනවාරි 29 දාය. ඇයගේ උප්පැන්න සහතිකයේ ඇති නම වන්නේ ‘ඔර්පා’ (Orpah) ය. නමුත් බොහෝ දෙනා ඇයට ආමන්ත්‍රණය කිරීමේදී ඒ නාමය ‘ඔප්රා’ ලෙස භාවිත කිරීම නිසා භාවිතයේදී ඇය යොදා ගත්තේ ඔර්පා වෙනුවට ඔප්රා යනුවෙනි.  
ඔප්රා උපන්නේ 19න් පහළ තරුණියකව සිටි වර්නීමා ලී සතු දියණියක ලෙසය. ‘වර්නීමා’ විවාහ වී නොසිටි තැනැත්තියක වූවාය. එමෙන්ම ඇය දරිද්‍රතාවයේ පතුලේ දිවි ගෙවමින් සිටි තැනැත්තියක වූවාය. රැකියාව ලෙස ඔප්රාගේ මව වූ වර්නීමා එදා කටයුතු කර ඇත්තේ ගෘහ සේවිකාවක ලෙස යැයි සඳහන් වේ. එතකොට ඇයගේ පියා කවුද? කුඩා ’ඔප්රා’ එදා ඒ ගැන කිසිවක් දැන නොසිටියද, පසු කලෙක, ඔහු වර්නන් වින්ෆ්‍රේ යැයි දැන ගැනීමට ඇයට හැකිවිණි. ඔහු කටයුතු කර ඇත්තේ කරණවෑමියකු (බාබර්) ලෙසය. පසුව තවත් රස්සා කළ අයෙක් විය. ඔප්රාගේ මව දරිද්‍රතාවයෙන් වෙලී සිටි නිසාම, ඇයට මේ කුඩා දැරියව හදාවඩා ගැනීමේ වත්කමක්, ශක්තියක් නොතිබිණි. එනිසා ඇය කළේ ඇයගේ අම්මා හට ඔප්රාව බාර කිරීමය. ආච්චි අම්මා දිවි ගෙවමින් සිටියේද දුප්පත්කමේ අවාසනාවන්ත වූ දේට මුහුණ දෙමිනි. කෙසේ වෙතත් ඇල්වතුර පොවා හෝ මේ දැරිවියව රැකබලා ගැනීමට ඇය ඉදිරිපත් වි සිටි අතර, ඔප්රා හට අවුරුදු 6ක් වන තෙක් ආච්චි අම්මා ඇයව රැකබලා ගත්තේ යැයි සඳහන් වේ. අනෙක් ළමුන් හොඳ ඇඳුම් අඳින විට ‘ඔප්රා’ ඇන්දේ වැරහැළිය. ඒ තරම්ම වූ දුප්පත්කමින් දිවි ගෙවීමට ඇයට සිදුවිණි. ඇයගේ වැරහැළි ගවුම ආච්චි අම්මා සකසා දී තිබුණේ ‘අල’ බහාලූ ඉවතලන ගෝනි මල්ලකිනි. ඔවුන් එදා කෙතරම් දුප්පත්ව සිටියේදැයි ඔබට එමගින් මැනගත හැකිය. එලෙසින් ඇඳ සිටීම නිසා අනෙක් ළමුන් අතර ‘ඔප්රා’ උසුළු  විසුළුවලට එදා ලක්වූ බව සඳහන් වේ. සයවැනි වියේ පසුවූ ඔප්රා නැවතත් අම්මා සමග දිවි ගෙවීමට පටන් ගත්තද, ආච්චි අම්මා මෙන් ඇය මේ දියණිය කිසිම දෙයකට උනන්දු නොකළාය. දරිද්‍රතාවයේ සිටියද ආච්චි අම්මාගේ උනන්දුව වූයේ කුඩා ඔප්රා හට ඉගැන්වීමට උනන්දු කරවීමටය. නමුදු ගෘහ සේවිකාවක ලෙස දිගු කාලයක් ගත කිරීමට ඔප්රාගේ තුරුණු මවට සිදුව තිබිණි. දියණියට ඉගැන්වීමට වඩා ජීවිතය ගැට ගසා ගැනීමට යමක් කිරීම ඇයගේ උනන්දුව විය. මේ අතරවාරයේදී ඇය නැවතත් ගැබ්ගෙන සිටියාය. කලින් විවාහ නොවී ‘ඔප්රා’ මෙලොවට බිහිකර සිටි ඇය ඊළඟ දරුවා බිහි කළේද පෙර මෙන් නිත්‍ය සැමියකුට දාව නොවුණි. මේ දියණියන් දෙදෙනාම රැකබලා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොතිබුණු නිසාවෙන් ඔප්රාගේ පියා යැයි සැලකූ වර්නන් වින්ෆ්‍රේ හට බාර කිරීමට මව කටයුතු කළාය. වර්නන් ඒ වනවිට සිටියේ ටෙනසී හි නැෂ්විල් පළාතේය. මෙහි ගොස් සිටියදී ඔප්රාගේ මව තවත් දරුවකු බිහි කළාය. පසුව ඇය තවත් පිරිමි දරුවකු ද බිහි කළාය.  


ඔප්රා සහ ඇයගේ අනෙක් සහෝදරියන් දෙදෙනා සහ සහෝදරයාගේ පියා වර්නන්ද, නැතහොත් කවුද යන්න දන්නේ ඔප්රාගේ මව පමණකි. ඔප්රා ද මේ සියල්ල දැන ගත්තේ පසුකාලීනවය. ඔප්රාගේ ඒ සහෝදරියන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක කොකේන් පානයට අධිකව ඇබ්බැහි වීම නිසා, වයස අවුරුදු 43 දී මියගිය බව සඳහන් විය. සහෝදරයා, ඒඩ්ස් රෝගයට ගොදුරු වී අකලට මිය ගියේය.  


දැරියකව සිටියදී අතවරයට ලක්වීම  


කුඩා දැරියකව සිටි ඔප්රා ආච්චි අම්මා පෙන්වාදී තිබූ මග නිසා කුඩා කාලයේ සිටම හොඳ කතාකාරියක වූවාය. ඇයගේ සම වයසේ ළමුන් අතර එනිසාම ඇය ජනප්‍රිය වූයේ දේශනා කරන්නියක හැටියටය. අවුරුදු 8 දී බැප්ටිස්ට්කරණයට ඇය ලක්වූයේ දරිද්‍රතාවය නිසාමය. මේ සියලු දේ අතරේ ඇහට කනට පෙනෙන පෙනුමක් ඇය සතුව තිබීම නිසා, කාම පිපාසයෙන් සිටි පිරිමින්ගේ ග්‍රහණයට මේ කුඩා දැරිය නතුවිණැයි වාර්තාවල සඳහන්ය. වයස අවුරුදු 9 දී ඥාති සහෝදරයකු, මාමා කෙනකු සහ පවුලේ හිතවතකු අතින් ඇය දූෂණයට ගොදුරු විණැයි සඳහන් වේ.  


කාලය ගෙවී යමින් තිබිණි. ඒ වනවිට ඔප්රා වින්ෆ්‍රේගේ වයස අවුරුදු 13 ක් විණි.  


‘ඕනෑ දෙයක් වෙද්දෙන්, මම ගෙදරින් පැනලා යනවා.’ ඇයගේ හිත කීවේ එලෙසිනි. ජීවිතය සොයා යමින් සිටි ඔප්රා වයස අවුරුදු 14 දී ගැබිණියක බවට පත්වූවාය. ඒ කා අතින්ද යන්න සඳහන් වී නැත. කෙසේ වෙතත් දරුවා උපන් සැණෙන් මිය ගියේ, එය නොමේරූ කලලයක් වූ නිසා යැයි සඳහන් වේ. ඒ හැරත් යොවුන් වියටවත් පියවර මැන නොසිටි ​ඔප්රා දැරිය මවක් වීමට වූ වයසේ පසු නොවුණි. සියලු හැල හැප්පීම්වලට මුහුණ දෙමින් ඇය, කිසිවිටෙකත් ඉගෙනීම අත්නොහැර සිටීම නිසා පසු කලෙක ඇයගේ දිවිය වර්ණවත් කර ගැනීමට ඇය හට හැකිවිණි.  


ළමා වියේදී ඇය මුහුණ දුන් මහා කම්කටොළු ගොන්න අතරින් අප මේ සඳහන් කළේ බිඳක් තරම් වූ ප්‍රමාණයක් පමණකි.  


ඉගෙනීම මුළු ජීවිතයම බබළවන්නේය  


මොනදේ හෝ වේවා ඇමරිකාවේදී ඉගෙන ගැනීමට බාධා නොමැත. ඕනෑම පළාතක ඕනෑම පාසලකට ගොස් ඉගෙනීමේ අවකාශය එහි තිබේ. ජීවිතයේ නව පරිච්ඡේදයකට මුල පුරමින් ඔප්රා වින්ෆ්‍රේ මිල්වෞකී හි ලින්කන් උසස් පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබමින් දස්කම් දැක්වීම නිසා දුප්පතුන් සඳහා වන ආධාර මුදල් ගෙවීමේ ඇමරිකානු ක්‍රමයේ අවස්ථා අනුව කල්තියාම නිකොලේ උසස් පාසලේ ඉගෙනීමේ අවස්ථාව ඇය උදාකරගත්තාය. එතැන කළු-සුදු ළමුන් මිශ්‍ර පරිසරයක් විය. එතැනදී ඇති-නැති පරතරය හමුවේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නද, එනිසාම මව නැවත එන්නට කීවද, වර්නන් (පියා) ඊට තදින්ම විරුද්ධ වූයේ ‘ඔප්රා’ ඉගෙනීමට දක්ෂ බව දැන සිටි නිසාය. ඒ හැරත් ඔප්රා නැවත මව ළඟට යාමට අකමැති වූයේ ඉගෙනීම ආධ්‍යාත්මය කරගෙන සිටි නිසාය. සිසුන් අතර දක්ෂ වූ ඇය ගෞරව සහතික ලැබූ අතළොස්ස අතරට අයත් වූවාය. එපමණක් ද නොවේ. ළමුන් අතර ඉහළම මනාපය දිනා ගැනීමට ඇය සමත් වුණි. ඊළඟට උසස් පාසලේ විවාද කණ්ඩායමට ද එක්වීමට ඇය අවස්ථාව උදාකරගත්තාය. (ඊස්ට් නැෂ්විල් උසස් පාසලේ) එහිදී ඇය සතු කථනයේ හැකියාව පෙන්වීමට මහඟු අවස්ථාවක් ලැබිණි. කතා පෙට්ටියක් කිව්වොත් නිවැරැදිය. මේ ඇවිදින කතා පෙට්ටිය වයස අවුරුදු 17 දී ස්වකීය ජීවිතයේ මුල්ම රැකියාවට අවතීර්ණ වූවාය. ඒ නගරයේ ග්‍රොසරියක සේවිකාවක ලෙසය. ඒ අතරවාරයේදී ටෙනසී පළාතේ පැවැත්වූ රූ රැජිණ තරගයකට ඉදිරිපත්වූ ඇය ‘මිස් බ්ලැක් බියුටි’ (කළු රුවැත්තිය) ලෙස කිරුළ හිමිකර ගත්තාය. මීට වසර කීපයකට පෙර ගත කළ ජීවිතය හා මෙලෙසින් ජනප්‍රසාදයට පත් තැනැත්තියක වීම ඔබ හිතන්නේ හරි පුදුමයක් කියාද?  


නැත, එය ඇයගේ ධෛර්ය සම්පන්න ගමනේ ඵල නෙළා ගැනීමකි. ඒ සමගම ඒ පළාතේ විසූ කළු ජාතිකයින් අතර ප්‍රකට රේඩියෝ නාලිකාවක් කෙරෙහි ඇයගේ හිත යොමුවී තිබිණි. පළාතේ කළු රූමතිය වූ නිසාත්, ඇය සතු කථිකත්වය නිසාත්, ඉඳහිට එම රේඩියෝ නාලිකාවේ ප්‍රවෘත්ති කීමට ඇය හට අවස්ථාව ලැබිණි. මේ සියල්ල ඇය කළේ තවදුරටත් උසස් අධ්‍යාපනය ලැබූ අතරේදීය. එක්තරා විවාද කථික තරගයකදී ලද ප්‍රමුඛ ජය සමග ටෙනසී හි සරසවියකට ඇතුළත්වීමේ භාග්‍ය ලබා ගත් ඇය, මාධ්‍ය සම්බන්ධීකරණය ගැන උපාධියට ඉඩ කඩ ලබා ගත්තාය. එහෙත්, එය ඇය හට අවසන් කිරීමට ලැබුණේ ජීවිතයේ බොහෝ කල් ගොසිනි. එනම් 1987 දීය. ඊට හේතුව වූයේ, උපාධිය ලැබීමට පෙර ඇය අති සාර්ථක ටෙලිවිෂන් තරුවක වී සිටි නිසාය.  
අතිශය ජනාදරයට පත් ටෙලිවිෂන් තරුවක වූ පසු ඔප්රා වින්ෆ්‍රේ පවසා සිටියේ, ආච්චි අම්මා තමාගේ මේ හැකියාව ගැන පුදුම නොවන වගය. මක්නිසාද යත් කුඩා කල ආච්චි අම්මා සමග සිටියදී ඇය දේශනා දුන්නේ, තොරතෝංචියක් නොමැතිව කතා කළේ, බඩඉරිඟු කරලකින් සාදාගෙන තිබූ බෝනික්කා සහ ගෙවත්තට ආ කපුටන් සමගය. එය ඇයගේ ළමා වියේ විනෝදාංශය වූ බව පසු කලෙක ඇය සඳහන් කළාය.  


ටෙලිවිෂනයේ කළු තරුව  


නැෂ්විල් පළාතේ WTVF-TV (එදා WLAC-TV) ආයතනයෙන් පටන් ගත්ත ඔප්රාගේ ටෙලිවිෂන් නිවේදන කලාව, සනිටුහන් වූයේ කළු වළාවක පැයූ රිදී රේඛාවක්ම සේ ය. එකල එම ටෙලිවිෂන් ආයතනයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට අවකාශය සලසා ගත් ප්‍රථම කළු ජාතික කාන්තාව ඇය යැයි සඳහන් විණි. සුදු ජාතික පිරිමි නිවේදකයන්ගේ ආධිපත්‍යයක් තිබූ ටෙලිවිෂන් සහ රේඩියෝ යුගයක, මේ කළු දියමන්තිය වර්ණ භේදවාදයෙන් තොරව ඇමරිකාවේ සහ ඇමරිකානු රාජ්‍ය වටා රොද බැඳ සිටින අනෙකුත් රාජ්‍යයන් අතර වූ කෝටි සංඛ්‍යාත ජනතාවගේ ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්තියක වූවාය. ඒ ආ ගමනේදී වැටීම් ද තිබේ. කොතරම් ජනප්‍රසාදය ලැබුවද, විවිධ හේතු කාරණා මත ඇයට නැවත පසුබැසීමට ද සිදුවූ අවස්ථා තිබිණි. නමුදු ඇය උරුම වී තිබුණේ ටෙලිවිෂන් කලාවටම විය හැකිය. එනිසා නැවතත් ඇයගේ ටෙලිවිෂන් ගමන එළි පෙහෙළි වූයේ පෙරටත් වඩා ශක්තිමත් ලෙසිනි. දිනෙන් දින ඇය හට වැඩසටහන් මෙහෙයවීම උදෙසා ලැබුණේ මිලියන ගණනින් වූ ගිවිසුම්ය. 1986 දී පටන් ගත් ‘ද ඔප්රා වින්ෆ්‍රේ ෂෝ’ යනු මෙතෙක් ලොව වැඩිම පිරිසක් නැරඹූ ටෙලිවිෂන් වැඩසටහනකි. වසර 25ක් තිස්සේ ඇය එම වැඩසටහන මෙහෙයවූ අතර, ලොව විවිධ ප්‍රභූ චරිත, තරු චරිත සමග ඇය පිළිසදරේ යෙදුණාය. තරු චරිත සමග මුහුණට - මුහුණ කළ එම පිළිසඳර ඇය මෙහෙයවූයේ ඇයටම ආවේණික භාෂා විලාසයකින් මෙන්ම ප්‍රශ්න කිරීම් වෙතිනි. වතාවක මෙම ‘ටෝක් ෂෝ’ (Talk Show) එකට ලොව අසහාය පෝප් ගී තරුව හෙවත් ජනප්‍රිය සංගීතයේ රජු වූ මයිකල් ජැක්සන් සහභාගි විය. සාමාන්‍යයෙන් මයිකල් ජැක්සන් යනු රූපවාහිනියේ පිළිසඳර සඳහා හෝ අනෙකුත් වැඩසටහන්වලට පෙනී සිටි අයකු නොවිය. එහෙත් වසර 14කට පමණ පසුව ඒ ප්‍රතිපත්තිය බිඳ දමා ඔප්රාගේ ‘ටෝක් ෂෝ’ එකට සහභාගි වුණි. එම ටෙලිවිෂන් වැඩසටහන මේ දක්වා ලෝක ටෙලිවිෂන් ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ වැඩසටහන බවට පත්විය. 1993 දී විකාහය වූ එම වැඩසටහන මිලියන 90 ක ජනතාවක් නැරඹූ බව වාර්තාවල සඳහන් වුණි.  


ලෝක සිනමාවට පැමිණීම  


ඔප්රාගේ ජීවිතය රාමු වී තිබුණේ නිවේදන කලාවට පමණක් නොවේ. රංගනයටද ඇයට ඇරයුම් ලැබිණි. ඇය ඒ ගමන ඇරඹුවේ ලෝ ප්‍රකට සිනමාකරුවකු වන ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ‘ද කලර් පීපල්’ චිත්‍රපටයේ උප චරිතයකට දායක වෙමිනි. එය කෙතරම් නම් දක්ෂ රංගනයක්ද යත්, ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම සහාය නිළිය ලෙස නිර්දේශයට පවා ලක්විණි. රඟපාන අතරේ චිත්‍රපට නිෂ්පාදනයට ද ඇය එක්ව සිටියාය. ඇයගේ රංගනය සීමාවූයේ, හොලිවුඩයට පමණක් නොවේ. ටෙලිවිෂනයේ ඩ්‍රාමාවලට ද ඇය අපූරු ජීවයක් ලබා දුන්නාය.  


නිවේදනයෙන්, රඟපෑමෙන් එහාට ගිය ඇය, ඊළඟට පොත් ලිවීමට පටන් ගත්තාය. ඒවා ප්‍රකාශයට පත් කළේද ඇය විසින්මය. ඇය ලියූ පොත් අලෙවි වූයේ වාර්තා තබමිනි. ‘ද ඔප්රා මැගසින්’ නමින් ඇයගේම සඟරාවක්ද පළ කළ අතර ඊට ද ලැබුණේ සුවිශාල ජනප්‍රියත්වයකි.  


රේඩියෝ කලාවේදී මිලියන ගණනින් චැනල් සමග ගිවිසුම් ගත් ඇය ‘ඔප්රා රේඩියෝ’ නමින් වෙනම විකාශයක් පවා මෙහෙයවූවාය.  


ඉනික්බිතිව ඇය අත ගැසුවේ සෞඛ්‍ය සම්පන්න ආහාර අලෙවි කරන සමාගමක් ඇරඹීම වෙනුවෙනි.  
නිවේදන කලාව, රේඩියෝ හිමිකාරීත්වය, ටෙලිවිෂන් මාධ්‍යය, රංගනය, නිෂ්පාදනය, වෙනත් ව්‍යාපාර සහ අංශ ගණනාවක නියැලී සිටින ඇය වෙත ධනය ගලා එන්නේ දසතින් ගංගා ගලා එන්නා සේය.  
ඇයගේ කලා ක්ෂේත්‍රයේ ආරම්භයේදී නිෂ්පාදකවරයකු කියා සිටියේ, ඔප්රා වෙනුවට ‘සුසී’ යන නම භාවිත කරන්නයි කියාය. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කළාය.  


එදා අල ගෙනා ගෝනි ඇඳුමකින් ගමුවක් ඇඳි ඇය අද ජෙට් යානයක හිමිකාරියකි.  


ළමා වියේදී දුප්පත්කම නිසා අඳින්නට හරියට ඇඳුමක්වත් නොතිබුණු ඇය, දැන් ගෙවන්නේ අති සුපිරි ජීවිතයකි. ඇයටම වෙන්වූ ඇයගේ සුඛෝපභෝගී ජෙට් ගුවන් යානයෙනි වටිනාකම ඩොලර් මිලියන 42 ක් පමණ විය. මෙවැනි යානා ඇති අනෙකුත් තරු වන්නේ ස්පිල්බර්ග් සහ සෙලින් ඩියෝන් ය.  
එකල මේ තරුවට පෙම්වතකු සිටියේය. පුදුමය නම්, ඒ පෙම්වතාගෙන් ඇය වෙන්වූයේ, වැලන්ටයින් දිනයකදීය. පෙම්වතුන් එක්වන දිනයේ ඇය පෙම්වතාගෙන් වෙන්වූයේ තරහකින් නම් නොවුණි. පසුව පෙම්වතෙක් නොසිටියද, ඇය විවාහ ගිවිස ගෙන සිටින්නේ ස්ටෙඩ්මන් ග්‍රැහැම් සමගය. එය සාම්ප්‍රදායික විවාහයක් නොවේ. උත්සව පවත්වා විවාහයක් ලෙස ප්‍රසිද්ධ කර නැතත්, වසර 31 ක් තිස්සේ ඇය ජීවන් වන්නේ, ස්ටෙඩ්මන් සමගය. කොලරාඩෝවල ගොන්ඩෝලාවල ඇති ඇය සතු සුපිරි මන්දිරයෙහි වටිනාකම ඩොලර් මිලියන 50 ක් පමණ වේ. එම මන්දිරයෙහි එක් ස්ථානයක විවිධ වර්ගයේ වයින් බෝතල 1600 කින් සමන්විත ගබඩාවක් පවා තිබේ.  


ඊට යාබද ඉඩම ඇය ඩොලර් බිලියන 25කට මිලදී ගත්තේ කුඩා වර්ගයේ අශ්වයින් (පෝනි) ගොවිපළක් වෙනුවෙනි. පෝනියන්ට අමතරව සුරතලයට බලු රෑනක් ඇය සතුය. මොන දේ කළද ඇය උපයන මුදලින් විශාල මුදල් කන්දරාවක් සමාජ සත්කාර සහ පුන්‍යාධාර සඳහා ලබා දීමට කටයුතු කරන්නීය.

  
ලේ ප්‍රකට ෆෝබ්ස් සඟරාව සඳහන් කළ පරිදි, අප්‍රිකානු - ඇමරිකානු සම්භවය ඇති, ප්‍රථම කළු ජාතික බිලියනපති කාන්තාව ඇය වන්නීය. ඇය සතු සමස්ත වත්කම ඩොලර් බිලියන 3ක් පමණ වේ. මේ දක්වා ආ ගමනේදී ඇය හට ලැබුණු ගෞරව සම්මාන සහ ඇගයීම් බොහෝය. ඒ සියල්ලට වඩා වටින්නේ, ජීවිතය හරි පුදුමයක් යැයි කියනවාට වඩා ජීවිතයේ කළ හැකි දේ බොහෝය යන්න ඇය ක්‍රියාකාරීත්වයෙන්ම ඔප්පු කර ඇති නිසාය.  


‘ඔප්රා’ ඇත්තටම ඔයා නම් යකඩ ගැහැණියක්, ඔයා මාරයි. ඊට වඩා ඇය ගැන තව කිව හැක්කේ ​මොනවාද?

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ
[email protected]