බ්‍රිතාන්‍යයේ සිනමා නළු ෂෝන් කොනරි වසර 90 ක් ආයු විඳ පසුගියදා බහමාස් දූපතේදී මිය ගියේය.
ඔහුගේ අභාවයත් සමඟ ලෝක සිනමාවේ තවත් එක් යුගයක් අවසන් වී තිබේ.
1930 දී එංගලන්තයේ එඩින්බරෝ නුවර උපත ලද ෂෝන් කොනරිට වයස අවුරුදු 13 දී ආර්ථික ප්‍රශ්න නිසා පාසල හැරයාමට සිදුවිය. සුළු රැකියා රැසක් කළ ඔහුට වරෙක එඩින්බරෝ නුවර වීදිවල කිරි අලෙවි කිරීමේ යෙදීමට පවා සිදුවිය.
පනහ දශකය මුල දී සුළු චරිත රඟපාමින් සිනමාවට පිවිසි කොනරි සාර්ථක නළුවකු වීමේ සිහිනය ඔස්සේ යමින් සිටියේය.
කේන්ද්‍රීය වශයෙන් ගත්කල පනහ දශකය තුළ හොලිවුඩ් සිනමාව ලබා තිබූ ප්‍රගතිය බඳු වර්ධනයක් එංගලන්ත සිනමාව ලබා නොතිබිණ. මේ නිසා හොලිවුඩ් සිනමාවට පිවිසීම බ්‍රිතාන්‍ය නළුවෙකුට එතරම් පහසු කාර්යයක් නොවීය. එසේ වුවද බ්‍රිතාන්‍ය සිනමාකරුවන් නව තේමාවන් ඔස්සේ චිත්‍රපටි නිර්මාණය කිරීමට උත්සුක වූහ.
බ්‍රිතාන්‍ය ග්‍රන්ථ රචක ඉයන් ෆ්ලෙමින්ගේ රහස් පරීක්ෂක කථාවක් වූ ඩොක්ට නෝ ''Doctor No'' චිත්‍රපටියක් ලෙස නිර්මාණය කිරීමට නිෂ්පාදක ඇල්බර්ට් ආර්. බ්‍රොකොලි කටයුතු ආරම්භ කළේය. කථා රචක ෆ්ලෙමින් සමඟ එකතු වෙමින් බ්‍රොකොලි ‘ජේම්ස් බොන්ඩ්’ නම් රහස් ඔත්තු කරුවාගේ චරිතය සඳහා විවිධ නළුවන් සම්මුඛ පරීක්ෂණයට යොමු කළේය. මේ සඳහා ප්‍රසිද්ධ නළුවන්ද පෙනී සිටි නමුත් ඔවුන් සියල්ලෝම ප්‍රතික්ෂේප වූහ. ෂෝන් කොනරිටද මේ සඳහා අවස්ථාව ලැබිණ. නමුත් කථා රචක ෆ්ලෙමින් කොනරිට කැමති නොවීය.
තමා නිර්මාණය කළ බොන්ඩ්, කොනරි මෙන් හැඩි දැඩි පුද්ගලයෙකු නොවන බව ඔහු පැවසීය. මේ හාදයා චිත්‍රපටිවල ත්‍රාසජනක ජවනිකා සඳහා පෙනී සිටින (Stunt) අතිරේක නළුවෙක් මෙනැයි යන්න ඔහුගේ අදහස විය. නමුත් කොනරිගේ ඉරණම විසඳීමට කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටියහ. ඒ නිෂ්පාදක සහ කථා රචකයාගේ බිරියන් දෙදෙනාය. කොනරිට ප්‍රබල කාන්තා ආකර්ශනයක් ඇතැයි එම දෙදෙනාගේම අදහස විය.
මේ පිළිබඳව අලුතෙන් සිතීමට ඉන් අනතුරුව ඔවුහු උත්සුක වූහ.
ඒ වෙන විට කොනරි අප්‍රකට නළුවෙකුව සිටියේය. මෙවැන්නෙකු යොදා විශාල මුදලක් වැය කොට චිත්‍රපටිය තැනීමේ අවදානමක්ද විය.
ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා වට කිහිපයක්ම ගිය අතර අවසන් තීරණයට පෙර ෂෝන් කොනරි තවත් වරක් සම්මුඛ පරීක්ෂණයකට බඳුන් කිරීමට තීරණය විය.
අවසන් පරීක්ෂණයේ දී ද නිෂ්පාදක බ්‍රොකොලි කොනරි ගැන සෑහීමකට පත් නොවීය. එමෙන්ම ඉයන් ෆ්ලෙමින්ද සිටියේ ඒ මතයේය.
සම්මුඛ පරීක්ෂණය අවසානයේ සිය අසුනෙන් නැගි සිටි ෂෝන් කොනරි ඇවිදගොස් කාමරයෙන් පිට වීමට දොර හැර එය වැසීමට පෙර යළිත් වරක් කාමරය සිසාරා බැල්මක් හෙළීය.
මෙහිදී එක් වරම සිදුවූයේ විස්මිත දෙයකි. කාමරය වෙත කොනරි හෙලූ බැල්ම තුළින් එක් විටම බ්‍රෙකොලි මෙන්ම ෆ්ලෙමින්ද ජේම්ස් බොන්ඩ් හඳුනා ගත්තේය. අන්න ජේම්ස් බොන්ඩ් බ්‍රොකොලි හඬ නඟා පැවසීය.
ඒ අනුව පළමු ජේම්ස් බොන්ඩ් බවට පත්වීමට ෂෝන් කොනරිට හැකි විය.
සිය බිරින්දෑවරුන් විසින් කොනරි ගැන පැවසූ වදන් කොතරම් සත්‍යයක්දැයි චිත්‍රපටිය තිරගත කළ පළමු සතිය තුළම බ්‍රොකොලිට සහ ෆ්ලෙමින්ට අවබෝධ විය. පළමු සතිය තුළ කාන්තාවන් දස දහස් ගණනින් ෂෝන් කොනරිට සුබ පතමින් ලියුම් තොග ගණන් එවා තිබීම ඊට හේතුවයි.
බ්‍රිතාන්‍ය චිත්‍රපටි කලාත්මක බවින් උසස් වුවද ඇමෙරිකාව තුළ ඒවා ජනප්‍රිය වෙන්නේ නැත. ලෝක සිනමා ඒකාධිකාරය තනිකරම ඇමෙරිකානු හොලිවුඩ් පුරයට හිමි වී තිබීම ඊට හේතුවයි.
නමුත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය එක් රැයකින් ඇමෙරිකාව පුරා ජනප්‍රිය විය. ලෝකය පුරාම මේ නව රහස් පරීක්ෂකයාගේ කීර්තිය පැතිර ගියේය. සෑම ප්‍රේක්ෂකයෙකුම ජේම්ස් බොන්ඩ් චරිතය තමාට ආරූඪ කරගැනීමට කැමති වීම ඊට හේතුවයි.
1962 දී පළමුවරට ප්‍රදර්ශනය වූ 'Dr. No' චිත්‍රපටිය මගින් ෂෝන් කොනරිද සිනමා ලෝකය තුළ සිය අණසක පැතිරවීමට සමත් විය.
ඒ වෙන විටත් ඇමෙරිකානු සිනමාව තුළද රහස් පරීක්ෂකයින් රැසක් සිටි නමුත් ෂෝන් කොනරි විසින් එක් රැයකින් ඒ සියල්ලම පලවා හරිනු ලැබීය.
ජේම්ස් බොන්ඩ් පරිපූර්ණ ඔත්තුකරුවෙකු බවට පත් කළේ කොනරි විසිනි. පසුකාලීනව බිහි වූ සියලු සිනමා ඔත්තුකරුවන්ගේ පූර්වාදර්ශය වූයේ ඔහුය. ඒ නිසාම වඩාත් සාර්ථක ජේම්ස් බොන්ඩ් ලෙස මිය යන තුරුම හැඳින්වූයේ ඔහුය.
ජේම්ස් බොන්ඩ් චරිතයට කොනරි අනුගත කිරීමේ ගෞරවය එහි අධ්‍යක්ෂක වූ ටෙරන්ස් යං ට හිමි විය යුතු බව ප්‍රකට කරුණකි.
ෂෝන් කොනරිව විවිධ ස්ථාන කරා රැගෙනයමින් බොන්ඩ් ඇවිදිය යුතු, හැසිරිය යුතු, කථා බස් කළ යුතු මෙන්ම කන බොන ආකාරය පවා ටෙරන්ස් යං පෙන්වා දී තිබේ.
කොටින්ම ෂෝන් කොනරි, ෂෝන් කොනරි නොව ජේම්ස් බොන්ඩ් බවට එත්තු ගැන්වීමට ටෙරන්ස් යං සමත් වී ඇත.
බොන්ඩ් ලෙස සාර්ථක වීමත් සමඟ සිය පෞද්ගලිකත්වය විනාශ වී යාම ගැන කොනරි තුළ කලකිරීමක් ඇතිවිය. මේ නිසා ඔහු දැඩි පීඩනයකින් මෙන්ම ආතතියකින්ද පෙළින.
ජේම්ස් බොන්ඩ් සහ ෂෝන් කොනරි යන දෙදෙනා අතර අතරමං වීම කොනරිට දරා ගැනීමට නොහැකි විය.
මේ නිසා කෙටි කලකින් ජේම්ස් බොන්ඩ් චරිතය ඔහුට එපා විය. ඔහු තුළ වූ අසහනය දුරු කර ගැනීමට ෂෝන් කොනරි වෙනත් චිත්‍රපටිවල රඟපෑමට උත්සුක විය.
1964 දී ඇල්පුඩ් හිච්කොක් ගේ Marnie සිඩ්නි ලුමෙට් ගේ The Hill වැනි චිත්‍රපටවලට සම්බන්ධ වූයේ මේ නිසාය.
හිච්කොක් ගේ චිත්‍රපටියට සම්බන්ධ වීම ගැන කොනරිගේ ඒජන්තවරයා අකැමැත්ත පළ කරමින් කියා සිටියේ හොලිවුඩ් ප්‍රසිද්ධ නළුවන් පවා හිච්කොක්ගේ චිත්‍රපටිවල රඟපෑමට අකැමැති බවය.
ඒජන්තවරයා ඒ සඳහා නමක් සඳහන් කරමින් පැවසුවේ හොලිවුඩ් නළු කැරී ග්‍රාන්ට් එසේ කර ඇති බවය. තමා කැරී ග්‍රාන්ට් නොවන බව ඊට පිළිතුරු දෙමින් කොනරි පවසා සිටියේය.
ජේම්ස් බොන්ඩ් චරිතය තමා දැඩි මානසික ආතතියකට පත්කර ඇති බව ඔහු පවසා සිටියේය.
‘‘මට බොන්ඩ්ව එපා වෙලා. මට ඔහු මරන්න හිතෙනවා’’ යයි ඔහු පවසා ඇත.
මේ පිළිබඳව ඔහුගේ මිතුරෙකු වූ මයිකල් කේන් පවසා ඇත්තේ ෂෝන් කොනරි පාරක ඇවිදිමින් යනු දකින ප්‍රේක්ෂකයින් අන්න බොන්ඩ් යනවා යයි නිරන්තරයෙන් පැවසීම නිසා තමා පෙරළා දමමින් ජේම්ස් බොන්ඩ් ඉස්මතු වීම ගැන ඔහු වික්ෂිප්ත වූ බවයි.
සමහර විට මෙයට හේතුව වෙන්නට ඇත්තේ සිනමා මායාව සහ යථාර්ථය තුළ තමා සැඟවී යාම පිළිබඳව කොනරි තුළ වූ අනවබෝධය වෙන්නට ඇත.
සිනමානුරූපී මායාව සහ යථාර්ථය පිළිබඳව මාලන් බ්‍රැන්ඩෝ පවසා ඇත්තේ ප්‍රේක්ෂකයා බොහෝ විට සිනමානුරූපී මායාව යථාර්ථය ලෙස පිළිගැනීමට සැදී පැහැදී සිටින බවය. මෙය විකාරයක් ලෙස සැලකූ බ්‍රැන්ඩෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳ කලබල නොවීය.
බොන්ඩ් වර්ගයේ චිත්‍රපටි හතක ෂෝන් කොනරි රඟපෑ අතර ඒ සියල්ල ආදායම් වාර්තා තැබීමට සමත්විය.
කොනරි පිළිබඳව මයිකල් කේන් මෙසේද පවසා ඇත. එනම් ඔහු බොන්ඩ් චරිතය තුළම කොටුවිය යුතු නළුවෙකු නොවන බවයි.
පසුකාලයේ ඔහු චිත්‍රපටි රැසක විවිධ චරිත නිරූපණයෙහි යෙදී ඒ බව සනාථ කළේය.
බොන්ඩ් චරිතය එපා වීම පිළිබඳව තවත් හේතුවක් තිබිණ. එනම් නිෂ්පාදක ඇල්බට් බ්‍රොකොලි ප්‍රධාන නළුවන්ට නිසි පරිදි මුදල් නොගෙවීමය.
මේ චරිතය නිරූපණයේදී දැඩි ලෙස වෙහෙසිය යුතුවන අතර ත්‍රාසජනක ක්‍රියා සඳහා ගත යුතු අවදානමද වැඩිවිය.
2006 ඇමෙරිකානු ඇකඩමි සිනමා උළෙලේදී ෂෝන් කොනරිට Life Time සම්මානය පිරිනැමිණ. ඔහු පිළිබඳව හැඳින්වීම් කථාව පැවැත්වූයේ පසුකාලීනව බොන්ඩ් චරිතය රඟපෑ පියර්ස් බ්‍රොස්නන් විසිනි. බොන්ඩ් නිෂ්පාදකවරුන් ප්‍රධාන නළුවන්ට නිසි පරිදි නොගෙවන බවට සනාථ වෙන කරුණු ඒ කතාවේදී හෙළිවිය.
බොන්ඩ් චිත්‍රපටියක දවස පුරා වැඩ කළ බ්‍රොස්නන් වැඩ නිම වී නිවසට යාම සඳහා සිය මෝටර් රථය අසලට පැමිණියේය. හදිසියේ ඔහු දුටුවේ මෝටර් රථය ඉදිරියෙන් සිටගෙන සිටින ෂෝන් කොනරිය.
මම දැක්කා ඔබ වැඩ කරනවා. ඔබ හොඳට කරනවා. අනතුරුව ටික වේලාවක් නිහඬව සිටි ෂෝන් කොනරි පියර්ස් බ්‍රොස්නන් ගෙන් අසා ඇත්තේ ඒ ගොල්ල ඔබට හොඳට ගෙවනවද යනුවෙනි.
1987 දී බ්‍රයන් ඩි පල්මාගේ The Untouchable චිත්‍රපටිය සඳහා වූ හොඳම සහාය නළු ඔස්කා සම්මානය ෂෝන් කොනරිට හිමිවිය.
Lord of the Ring චිත්‍රපටිය සඳහා ඔහුට කළ ආරාධනය ඔහු ප්‍රතික්ෂප කළේ එහි තිර පිටපත තමාට නොතේරෙන බව පවසමිනි. රඟපෑම සඳහා ඩොලර් මිලියන 30 ක් සහ චිත්‍රපටයේ ආදායමින් සියයට 15 ක් ඔහුට දෙන බව නිෂ්පාදකවරු පැවසුවද ඔහු ඊට අකැමැති විය. මේ චිත්‍රපටිය Box Office වාර්තා පිහිටුවීය. එහි රඟපෑවේ නම් කොනරිට ඩොලර් මිලියන 450 පමණ ලැබීමට ඉඩ තිබිණ.
මුදල ඔහුගේ ජීවිතයේ අංක එක නොවූ බව මේ අනුව පෙනී යයි.
ෂෝන් කොනරි පළමුවෙන් විවාහ වූයේ ඩයනා ක්ලින්ටො සමඟය. 1975 දී ඔහු චිත්‍ර ශිල්පිනියක වූ මිචෙලින් රොක් බර්ගර් සමඟ විවාහ විය. එම විවාහය ඔහු මිය යන තෙක්ම පැවතිණ. ඔහුගේ පුත්‍රයා නළුවෙකු වූ ජේසන් කොනරිය. ඔහු රොබින් හුඩ් ටෙලි කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කර තිබේ.
වරක් එඩින්බරෝ හි පැවති සිනමා සම්මාන උළෙලක් සඳහා යාම පිණිස ෂෝන් කොනරි කුලී රියකට නැග ඇත. එඩින්බරෝ විදී ඔස්සේ යමින් සිටියදී ඔහු රියදුරාට පැවසුවේ මේ වීදි සියල්ලටම හරි නම් තමාගේ නම යෙදිය යුතු බවය. විමතියට පත් රියදුරා ඒ කොහොමද යැයි ඇසීය. මම ළමා කාලයේ මේ හැම වීදියකම කිරි විකුණා තියෙනවා. කොනරි පැවසීය.
‘‘හරි එතකොට දැන් ඔබ මොනවද කරන්නේ’’ රියදුරු අසා සිටියේය.
රන්ජන් අමරසිංහ