ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
- 1865 දී කාගිල් පටන් ගත්තේ විලියම් වොලිස් කාගිල් විසින්. මුලින්ම සිටියේ එක් සේවකයයි
- එදා ඇමෙරිකාවට පමණක් සීමා වූ කාගිල් අද ලෝකයේ රටවල් 70 ක පමණ ව්‍යාප්තයි
විලියම් වොලස් කාගිල් හෙවත් ඩබ්ලිව්.ඩබ්ලිව්. කාගිල් උපන්නේ 1844 දෙසැම්බර් 15 වැනිදා නිව්යෝර්ක් නගරයේ පෝට් ජෙෆර්සන්හිදීය. මේ කාගිල් කවුද කියා ඔබ නොදන්නවා විය හැකිය. නමුත් කාගිල් (cargill) යන නාමය ඔබ හොඳින් දන්නා බව නම් කිව හැකිය. අප මේ කතා කරන්නට සුදානම් වන්නේ ලෝකය පුරා ව්‍යාප්ත වී ප්‍රචලිත වී ඇති එදිනෙදා පරිභෝජනය සඳහා වූ භාණ්ඩ හා ආහාර පාන අලෙවි කරන ශාඛා ජාලයකින් යුතු කාගිල් සමාගම ගැන කරුණු විස්තර කිරීමටය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අපි කාගිල් ගැන විස්තර කියවමු.
විලියම් වොලස් කාගිල්
ස්කොට්ලන්ත ජාතික නාවික කපිතාන්වරයෙකුව සිටි විලියම් ඩික් කාගිල් නිව්යෝර්ක් වෙත සංක්‍රමණය වී සිටියේ 1930 වසරේදීය. එලෙසින් ඇමරිකාවට පැමිණ සිටි ඩික් ඇමරිකානු ජාතික සුරූපී කාන්තාවක වූ එඩ්නා ඩේවිස් සමග විවාහ විය. මේ යුවළට දරුවෝ සත් දෙනෙක් වූහ. ලකී සෙවන් ලෙස යුවළ විශ්වාස කළ බැව් කිව හැකිය. ඒ විශ්වාසය ඇතිව කාගිල් මව්පිය දෙදෙනා දරුවන් සත් දෙනා සමග පදිංචිය සඳහා විස්කොන්සින්හි ජේන්ස්විල් වෙත ගියහ. එහි සිට ගොවිතැනට සමීපවූ ජීවිතයක් ගත කිරීම ඔවුනගේ කැමැත්ත විය. 1844 දෙසැම්බර් 15 වැනිදා විලියම් වොලස් කාගිල් පුතු කාගිල් පවුලට එකතු වූයේ තෙවැනි දරු සම්පත ලෙසය. දරුවන් සත් දෙනා අතරින් සැබෑ ලෙස කාගිල් පවුලට වාසනාව ගෙන දුන්නේ මෙම පුතුය. ධාන්‍ය එක්රැස් කරගත් ඉතා කුඩා ස්ථානයක් වොලස් ඇරඹුවේ 1865 ට ඔන්න මෙන්න කියා තිබියදීය. ධාන්‍ය එක්රැස් කොට ගබඩා කර තබා අලෙවි කිරීම ඔහුගේ අරමුණ විය. මෙම පුංචි ස්ථානය පිහිටියේ කොනෝවර් අයෝවා පළාතේය. ආරම්භයේදී සිටියේ එක් සේවකයකු පමණකැයි සඳහන්ය.
පසු කලෙක කාගිල් නමින් කොයි කා අතරත් ප්‍රචලිත වෙමින් ඇමරිකාවේ සුවිශාල සමාගමක් බවට පත් වූයේ එදා එක් සේවකයකු යටතේ පුංචිම පුංචි බිම් කඩකදී පටන්ගත් වොලස්ගේ ධාන්‍ය අලෙවි කළ කුඩා ව්‍යාපාරයයි.
පවුලේ ව්‍යාපාරයක් වූ හැටි
එලෙසින් 19 වැනි සියවසට පෙර තනි පුද්ගලයකු විසින් ඇරඹි ව්‍යාපාරය පවුලේ ව්‍යාපාරයක් බවට පත්වූයේ විලියම් වොලස් කාගිල්ගේ මේ ව්‍යාපාරයට සෑම් මල්ලී එක්වීම සමගය. දෙදෙනාගේ එක්වීම සමග ව්‍යාපාරය නම් කළේ ඩබ්ලිව්. ඩබ්ලිව්. කාගිල් සහ සහෝදරයා (W.W. cargill and brother) යනුවෙනි. ධාන්‍ය එක්රැස් කොට ගබඩා කර වෙන් වෙන් වශයෙන් තැබීම සඳහා මේ දෙදෙනා එක්ව පැතලි බිම් පෙදෙසක ස්ථානයක් නිර්මාණය කළ අතර එය සාර්ථක වීම සමග ඔවුහු තවත් පියවරක් ඉදිරියට තැබූහ. විස්කොන්සින්හි ල-ක්‍රොස් යනු ඔවුනගේ මේ ව්‍යාපාරය වඩාත් ප්‍රචලිත කිරීමට කදිම ස්ථානය වූවේ මිසිසිපි නදිය නුදුරින් පිහිටි නිසාය. යෝධ මිසිසිපි නදිය කරා යන අතු ශාඛාවක් වන ල-ක්‍රොස් නදිය අසලට අලුත් ස්ථානය ගෙන යාමත් සමග කාගිල් සහෝදරයන් දෙදෙනා අතරට සිල්වෙස්ටර් මල්ලි ද එක් විය. ඊළඟට ජේමිස් මල්ලි ද එක්වුණි. වොලස් අයියා සමග සෑම් සිල්වෙස්ටර් හා ජේමිස් මල්ලිලා අත්වැල් බැඳගෙන සිටි නිසා කාගිල් දිනෙන් දින ශක්තිමත් වී දියුණූ වන්නට විය. 1887 දී පමණ සෑම් මෙම ස්ථානය හැර ගියේ කාර්යාලයේ කළමනාකරණ කටයුතු කිරීම වෙනුවෙනි. මිනියාපොලිස්හි කාර්යාලය පසුව කාගිල් සෝපාන (Elevator) කම්පැනි බවට පත්වුණි. ලාක්රොස්හි පවත්වාගෙන ගිය මෙහෙයුම් සියල්ල ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගිය අතර ජෝන් එච්. මැක්මිලන්ගේ බාල සහෝදරයාව සිටි ඩැනියල් කාගිල් සමාගමේ සේවයට එක්වීමට තීරණය කළේය. ඒ සම්බන්ධය සහ දැන හඳුනා ගැනීම මත ඩැනියෙල්ගේ අයියා වූ මැක්මිලන් විලියම් වොලස්ගේ වැඩිමල් දියණිය වූ එඩ්නා සමග විවාහ විය. විලියම් වොලස් කාගිල් විවාහව සිටියේ එලන් තෙරේසා හෙවත් එලා සමගය. ඔවුනට දරුවන් සතර දෙනෙකු වූහ. විලියම් හෙවත් විලි වැඩිමලා විය. එඩ්නා ක්ලේරා දෙවැනි දරුවා වූ අතර එම්මා සහ ඔස්ටන් අනෙක් දූ පුතුන් වූහ.
1903 දී පමණ සෑම් මල්ලි මියගිය පසු ලා ක්‍රොස් (LA Cross) කාර්යාලයේ සම්පූර්ණ අයිතිය විලියම් වොලස් කාගිල් අයියා යටතට නතුවිණි. ඔහුගේ බෑණා වූ ජෝන් මැක්මිලන් මිනියාපොලිස් ඔෆිස් එකේ සාමාන්‍යාධිකාරී ලෙස පත් කිරීමට කාගිල් පියවර ගත්තේය. බෑණා ද ව්‍යාපාර කිරීමට අති ශූරයකු වග කාගිල් දැන සිටීම ඊට හේතුව විය. 1904 වසර එලැඹියේ සාර්ථක ව්‍යාපාරයක් අැරඹි විලියම් වොලස් කාගිල් හට අවාසනාවන්ත කාලයක් උදාකරමිනි. අඝාතයකට මුහුණ දුන් පසු දිගින් දිගටම කාගිල් අසනීපයෙන් පෙළෙන්නට විය. ඒත් දිනක් හැර දිනක් හෝ කාගිල් සමාගමේ වැඩ කරන්නට ගියේය. පස්වසරක් පමණ රෝගී තත්ත්වයෙන් පෙළී සිටි කාගිල්, පවුලේ උදවිය සමග 1909 මොන්ටානාහි සංචාරයක නිරත වී නැවත නිවසට පැමිණි පසු දැඩි ලෙස රෝගාතුර වුණි. වෛද්‍ය විශේෂඥයින් කැඳවා ප්‍රතිකාර ලබාදුන්න ද ඒ වන විට නිව්මෝනියා තත්ත්වයේ සිටි ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කාටවත් නොහැකි විය. 1909 රතු ඔක්තෝබරයේ 17 වැනිදා w.w. කාගිල් සඳහටම නෙත් පියා ගත්තේය.
බුදලයේ හිමිකාරිත්වය වැන්දඹු බිරිඳට
කාගිල් නාමයේ සියලු දේපොළ නීතියට අනුව ඩබ්ලිව්.ඩබ්ලිව්. කාගිල්ගේ වැන්දඹු බිරිඳ එලන් හට හිමිවුණි. නමුදු ඇයට ද ඒ සියල්ල බුක්ති විඳ ගැනීමට හැකිවූයේ මාස කීපයක් පමණි. 1910 මාර්තු 23 වැනිදා ඇය ද ජීවිත ගමනට සමු දුන්නාය. ඉනික්බිතිව කාගිල් ව්‍යාපාරයේ බුදලය දූ දරුවන් අතර සමසේ බෙදී ගිය බව වාර්තාවල සඳහන්ය. ඒ වන විට මෙම කාගිල් සමුහයේ ප්‍රධානියා හෙවත් සභාපති තනතුරට පත්ව සිටියේ කාගිල්ගේ දියණිය එඩ්නාගේ සැමියා වූ ජෝන් එච්. මැක්මිලන්ය.
ජෝන් එච්. මැක්මිලන් කෙරෙහි W.W. කාගිල් මාමණ්ඩිය තැබු විශ්වාසය යථාර්ථයක් බවට පත්වූයේ මැක්මිලන්ගේ නායකත්වය යටතේ කාගිල් දිනෙන් දින විවිධ අංශවලට ව්‍යාප්ත වෙමින් දියුණුව කරා ගෙන ගිය බැවිනි. කෙසේ වෙතත් කාගිල්ගේ මරණින් පසුව සමාගම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර ප්‍රථම ලෝක යුද සමයේ දී කෙසේ හෝ ඉතා ඉක්මණින් ඒ ණය සහ ආර්ථික අවපාතයෙන් ගැලවීමට සමාගමට හැකිවිණි.
කාගිල්ස්ලා ලාභ ඉපැයුවේ යුද්ධයේ පිහිටෙන් යැයි එකළ සමහරු චෝදනා කළ බැව් සඳහන්ය. මැක්මිලන්ගේ නායකත්වය වඩා පීඩාකාරී යැයිද චෝදනා එල්ල වුණි. මැක්මිලන් අනුගමනය කළමනාකරණ ප්‍රතිපත්ති චිකාගෝ වෙළෙඳ (වාණිජ) මණ්ඩලයේ අකමැත්තට ලක් වූ අතර එනිසා වාණිජ මණ්ඩලය හා මැක්මිලන් අතර නිතර වාද විවාද සිදුවිණි. කෙසේ වෙතත් ජෝන් මැක්මිලන් 1936 දී විශ්‍රාම යන තෙක් කාගිල් වෙත නායකත්වය ලබා දුන්නේය.
1865 සිට කාගිල් විකාශය වූ හැටි සැකෙවින්
1865 සේවකයින් 1 යි සේවා සැපයීම ඇමරිකාවේ දී පමණයි
1870 සේවකයින් 30 යි
1880 සේවකයින් 40 යි
1885 සේවකයින් 50 යි
1895 සේවකයින් 75 යි
1912 සේවකයින් 100 යි
1923 සේවකයින් 200 යි
ඒ දක්වා ඇමෙරිකාවේ දී පමණක් ව්‍යාප්තව සිටි කාගිල් 1930 සමස්ත සේවක පිරිස 400 ක් වී රටවල් හතරක ව්‍යාප්තව තිබිණි. 1953 රටවල් 6 ක් දක්වා පැතිරි ගිය අතර 2015 වන විට රටවල් 67 ක කාගිල්ස් අණසක පැතිරවූයේය. ඒ වන විට සමස්ත සේවක සංඛ්‍යාව ලෙස සඳහන් වූයේ 143000 ක පිරිසකි. 2021 වන විට රටවල් 70 ක පමණ අණසක පතරුවන කාගිල්ස් සමුහය සතු සමස්ත සේවක සංඛ්‍යාව 1,60,000 ක් (එක් ලක්ෂ හැටදහසක්) පමණවේ යැයි වාර්තාවල සඳහන් වේ.
වසර 150 කට එහා වූ අතීතයක් ඇති කාගිල් සමුහයට සාර්ථක වීමට හැකිව ඇත්තේ කෘෂිකර්මාන්ත කටයුතු දියුණු කරගෙන ස්වකීය වෙළෙඳ කටයුතු කරගෙන යාම නිසාය.
සෑම දිනකම වඩා හොඳ දේ කිරීමට අප පෙළඹ සිටී. එවිට අනාගත ලෝකය තිරසාර කළ හැකි බව අප විශ්වාස කරන්නෙමු, යනු කාගිල්ස් හි අරමුණ වේ.
කාගිල් ක්‍රියාත්මක වන රටවල් අතර අප්‍රිකානු කලාපයේ දිළිඳු රටවල් වන මොසැම්බික් උගන්ඩාව, අයිවරිකෝස්ට් ඝානාව සහ දිළිඳු නොවූ දකුණු අප්‍රිකාව ඇල්ජීරියාව මොරොක්කොව සිම්බාබ්වේ නයිජීරියාව වැනි රටවල් ද අයත්ය.
අාසියානු සහ පැසිපික් කලාපයේ දී චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මලයාසියාව, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය, තායිලන්තය, පිලිපීනය ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවල ඒ ඒ රටවල හැඩය සහ කළමනාකාරිත්වයේ සහ ප්රචාරක කලාවට අනුව කාගිල් පවත්වාගෙන යන බව දැකගත හැකිය.
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි දියුණු රටවල ද කාගිල් තම සේවා පහසුකම් සපයයි. යුරෝපයේ ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවල මෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල සහ රුසියානු සමුහාණ්ඩුවේ ද බ්‍රිතාන්‍ය මෙන්ම තවත් රටවල කාගිල් දැකගත හැකිය.
ලොව පුරා කාගිල් සමූහය සේවා සපයද්දී ඵල ඇති රුකට ගල් ගසන්නාක් මෙන් ඔවුනට එල්ල වූ චෝදනා ද තිබේ. විවේචන ද තිබේ.
මානව හිමිකනම් උල්ලංඝනය, ඉඩම් ප්‍රශ්න, ආහාර දූෂණ, වන විනාශ, වායු දූෂණ, බදු පැහැර හැරීම ආදී කරුනු එම විවේචන සහ චෝදනා ලෙස විටින් විට එල්ලවූ ඒවාය. එහෙත් ඒවායෙහි කරුණූ සත්‍ය ලෙසම විමසා බලා සොයා බලා දැන ගත යුතුය. මෙම කරුණු අප සටහන් කළේ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ලබා ගත් තොරතුරු මත පදනම්ව බැවින් එසේ සඳහන් කිරීම වඩා හොඳය. ගෝලීය වෙළෙඳාමට සමගාමීව කාගිල් සමූහය සමාජයට කර ඇති සත්කාරයන් ද බොහෝය. උතුරු අමරිකාවේ අැක්සෝ සෝල්ට් ඉන්කෝපරේෂන් අත්පත්කර ගනිමින් කාගිල් ලෝකයේ ලුණු නිෂ්පාදනයෙහි සහ අලෙවිකරණයෙහි පුමුඛයා බවට පත්ව ඇතැයි වාර්තාවල සඳහන් වේ. 2017 වාර්තාවලට අනුව එනිසා කාගිල් ලැබු ආදායම ඩොලර් බිලියනයක් විය. එය ඉතිහාසගත ආදායම් වාර්තාවකි. කාගිල් සමූහයේ වත්මන් ප්‍රධානියා හෙවත් සභාපති සහ ප්‍රධාන විධායක වන්නේ ඩේව් මැක්ලෙන්ය. ප්‍රධාන මූලස්ථානය ඇමරිකාවේ මිනසොටා පළාතේ මිනෙටොන්කාහි පිහිටුවා ඇත. ගෝලීය වූ කාගිල් ගැන එසේ සඳහන් කරන අතරේ ලංකාවේ කාගිල්ස් ගැනත් කෙටියෙන් අපි දැන ගනිමු.
1844 දී බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයකුව සිටි විලියම් මිල්නෙ, මිල්නෙ සහ සමාගම නමින් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇත. එහි ශාඛා නුවර සහ ගාල්ලෙහි ස්ථාපිත කොට තිබිණි. 1850 දී පමණ ඔහුගේ මිතුරෙකුව සිටි බර්මා තෙල් සමාගම සතු වූ ඩේවිඩ් සයිම් කාගිල් සමග එක්වී ව්‍යාපාරය ඇරඹු අතර එය කාර්ගිල් සහ සමාගම ලෙස නම් කර තිබේ. එලෙසින් නම වෙනස් වී ඇත්තේ ඩේවිඩ් මැකොසිගේ එක්වීමත් සමගය. කොළඹ කොටුවේ යෝක් වීදියෙනි. අංක 40 යනු කාගිල්ස් මෙරට ස්ථාපිත වූ ස්ථානයයි. එලෙසින් විකාශය වී ආ කාගිල්ස් සිලෝන් හි පසු කලෙක අැල්බට් ඒ.පේජ්. කළමනාකාර අධ්යක්ෂ ලෙසත්, සභාපති ලෙසත් 1982 දක්වා කටයුතු කර තිබේ. වත්මනෙහි ලුයිස් ආර්. පේජ් සභාපති වන අතර රංජිත්කුමාර් පේජ් ප්‍රධාන විධායක වෙයි. පේජ් පවුල විසින් මෙරට කාගිල්ස් වෙත ලොකු අරුතක් ලබා දී ඇති වග සඳහන් කළ හැකිය. 2019 වන විට මෙරට කාගිල්ස්හි නියුතු වූ සමස්ත සේවක සංඛ්‍යාව 90,000 ට ආසන්න සංඛ්‍යාවක් විය.
පරිවර්තන සටහන :
සඳුන් ගමගේ