ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
- චීන සම්භවය ඇති ඔහු උපන්නේ දකුණු අප්‍රිකාවෙ. අද ඇමෙරිකාවේ සම්භාවනීය පුරවැසියෙක්.
- මාධ්‍ය ජාලයක හිමිකරුවෙක් පෙනහලු, පියයුරු සහ අග්න්‍යාශ පිළිකා සඳහා වඩාත් ප්‍රායෝගික ඖෂධයක් සොයාගත්තා පේටන්ට් බලපත්‍ර 230කට විතර හිමිකාරිත්වය තිබෙනවා.
- 2021 ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 12 ක්
මේ ලෝකයේ වටිනාම පුද්ගලයා කවුද යනුවෙන් විමසීමක් කළොත්? ‘වෛද්‍යවරයා’ යැයි බොහෝ දෙනා පවසනු ඇත. මිනිසකු මෙලොවට බිහිවූ දා සිට මියෙන තෙක් වෛද්‍යවරයා හා වෛද්‍ය සේවය අවැසි වේ. මිනිසකු ජීවිතය අරඹන්නේ එනම් උපදින්නේ රෝහලකදීය. මියෙන්නේද බොහෝ විට රෝහලකදීය. ඒ උපත විපත අතර වූ කාලයේදී වෛද්‍යවරයකුගේ උපදෙස් නොපැතූ කෙනකු මේ මිහිපිට නොමැත බව පැවසිය හැකිය. ඒ නිසාම වෛද්‍යවරුන් දෙවිවරුන් ලෙස හැඳින්වෙන්නේද ඔවුන් නියැලෙන වෘත්තිය මුදලකට එහා ගිය සමාජ සේවාවක් වන නිසාය. කෙසේ වෙතත් වෛද්‍ය සේවයේදී ස්වකීය දක්ෂතා පදනම් කරගෙන ඉතා යහමින් මුදල් උපයන වෛද්‍යවරුන් අපට දැකගත හැකිය. අද අප ඔබට මේ පවසන්නට සූදානම් වන්නේ ලෝකයේ පොහොසත්ම වෛද්‍යවරයකු ගැනය. බොහෝ වාර්තා පෙන්වා දෙන පරිදි ලෝකයේ ධනවත්ම වෛද්‍යවරයා වන්නේ පැට්‍රික් සූන් ෂියෝන් ය. වාර්තාවල සඳහන් වන පරිදි ඔහු සතු දළ වත්කම ඩොලර් බිලියන 12 ක් පමණ වේ.
ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ අද අප විස්තර කිරීමට සූදානම් වන්නේ ලෝකයේ ධනවත්ම වෛද්‍යවරයා සහ ඔහු සතු ව්‍යාපාර ගැනය. කවුද මේ පැට්‍රික් සූන් ෂියොන්ග්? කොහොමද එයා මේ තරමට ධනවත් පුද්ගලයකු වුණේ? එයා චීනයේද? ජපානයේද? කොරියාවේද? නොමැති නම් මොන රටක ජාතිකයෙක්ද? ඒ සියලු විස්තර දැන් අපි කියවමු.
චීනයෙන්, දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වූ පවුලක්
‘පැට්‍රික් සූන්’ උපත ලැබුවේ 1952 වසරේ ජූලි මාසයේ 29 දා දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබත් නගරයේදීය. චීන සම්භවයක් ඇති ඔහු මෙලෙසින් දකුණු අප්‍රිකාවේදී උපත ලැබුවේ ඔහුගේ මව්පියන් එදා සරණාගතයන් ලෙස දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වී සිටි නිසාය. එලෙසින් සූන් ෂියොන්ගේ මව්පියන් දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වී සිටියේ දෙවැනි ලෝක යුද සමයේදීය. 1937 සහ 1945 අතර කාලයේදී චීනය සහ ජපානය අතර යුද්ධයක් හටගෙන තිබිණි. දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වූයේ 1939 දීය. එහෙත් ඊට පෙර සිට මාකෝ පෝලෝ පාලම සම්බන්ධයෙන් දෙරට අතර හමුදාමය වශයෙන් මේ යුද්ධදය හටගෙන තිබිණි. අපි ඒ යුදමය අතීතයෙන් බැහැර වී සූන් ෂියෝන්ගේ පවුල ගැන කතා කරමු. ඔහුගේ මව්පියන් එදා එලෙසින් දකුණු අප්‍රිකාවට පළාගොස් සිටියේ යුද්ධයේ අතුරුඵලයක් ලෙසය. ඔහුගේ මවුපියන් සරණාගතයින් ලෙස අප්‍රිකාවට පලායාම සිදුකර තිබුණේ කිසිදු වත්කමක් නොමැතිවය.
“මම මේ ලෝකෙට උපත ලැබුවේ කිසිදු වත්කමක් තිබූ පවුලක දරුවකු ලෙස නොවේ.”
දුක දිනා ජීවිතය ජයගත් මෙම මහාචාර්ය වෛද්‍යවරයා එලෙස පවසා තිබේ. එකතකට ඔහු ඔහුගේ ජීවිත කතාවෙන් ලෝකයට පවසන ලොකු අරුතක් ඇත. එනම් ජීවිතය ජයගැනීමට, ජීවිතයට අරුතක් දීමට තමා උපන් රට, ජාතිය, ආගමට වඩා ප්‍රබල වන්නේ තම ආත්මශක්තිය සහ දැනුම මෙන්ම ආකල්ප වේ. සරණාගතව පැමිණ සිට චීන මාපිය යුවළක සතු දරුවකු ලෙස ඔහු උපත ලැබුවේ දකුණු අප්‍රිකාවේය. ඔහුගේ සම්භවය චීනය වන අතර විටෙක ඔහු උගත්තේ කැනඩාවේ සිටය. අද පදිංචිය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේය. ජීවිතය ඇත්තටම පුදුමයක්ද? නැත. වෛද්‍ය පැට්‍රික් සූන් එය යථාර්ථයක් කර ගත්තේ දැක්මක් තිබූ නිසාවෙනි.
“වයස අවුරුදු 13 ඉඳලම මට තිබුණෙ වෛද්‍යවරයකු වීමේ ආසාව. එය සිහිනයකට පමණක් ඉඩ නොදී යථාර්ථයක් කර ගැනීමේ අටියෙන් මම කටයුතු කරන්න පටන් ගත්තා. සරසවි පිවිසුම් ලබා ගත්තෙ වයස අවුරුදු 16 දී.”
එසේ පවසන ඔහු ඉනික්බිතිව ජොහැන්නස්බර්ග් විට්වෝටර්ස්රෑන්ඩ් සරසවියෙන් ස්වකීය ජීවිතයේ ප්‍රථම උපාධිය ලබා ගත්තේ 200 ක් පමණ වූ සිසු පිරිසක් අතරින් 4 වැනියා ලෙස ඉහළින්ම සමත් වීමෙනි. එලෙසින් ඉගෙනීම මුවහත් කරගෙන ඉදිරියට ගිය වෛද්‍ය උපාධිය ලබා ගත්තේ වයස අවුරුදු 23 දීය. ඉන්පසුව සීමාවාසික පුහුණුව ලැබුවේ ජොහැන්නස්බර්ග් හි ජාතික රෝහලේ සිටය. එතැනින් පසු ඊළඟට ඔහුගේ අරමුණ වූයේ පශ්චාත් උපාධිය ලබා ගැනීමටය. ඒ වෙනුවෙන් ගමනාන්තගත වූයේ කැනඩාවේ වැන්කුවර් හි බ්‍රිටිෂ් කොළොම්බියා සරසවියයි. ඇමරිකන් කොලෙජ් ඔප් Surgeons වෙතින් ද කැනඩාවේ Royal Of Physicians සහ Surgeons, ඇමරිකන් ඇසෝසියේෂන් ඇකඩමික් යන ආයතන වෙතින් වැඩිදුර අධ්‍යාපනය සහ දැනුම ලද ඔහු වෛද්‍ය වෘත්තියේ දෙවැනි ගමන ඇරඹියේ ශල්‍ය අංශයේ වෛද්‍යවරයකු ලෙසය. Transplant ශල්‍ය වෛද්‍යවරයකු ලෙස කටයුතු කරමින් වසර කීපයක් ගත කළ ඔහුගේ ඊළඟ පියවර වූයේ නව සොයා ගැනීම් කිරීමය. යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා සහ ලොස් ඇන්ජලිස් හි ස්කූල් ඔෆ් මෙඩිසින් (UCLA) සිට තමාගේ සේවය ලබා දෙන අතරේ ප්‍රථම වරට සම්පූර්ණ වශයෙන් වූ අග්න්‍යාශ බද්ධ කිරීමේ සැත්කම සිදුකිරීමට දායක විණ. දියවැඩියා රෝගීන් වෙනුවෙන් පර්‌යේෂණාත්මකව බොහෝ දේ සිදුකරමින් සිටි වෛද්‍ය පැට්‍රික් සූන් Islet Transplant (ඒකාබද්ධ සැත්කම) සාර්ථකව සිදුකිරීමට සමත් විය. වෛද්‍ය විද්‍යාවේ අනෙක් අයට වඩා වෙනස් විදියට සිතා කටයුතු කළ නිසා ඔහුගේ පර්‌යේෂණ සහ සොයා ගැනීම් සාර්ථක විණි.
කාමරයකට පමණක් සීමා නොවූ වෛද්‍යවරයා
මේ පැට්‍රික් සූන් ෂියෝන්ග් වෛද්‍යවරයා යනු නිතරම එක් විෂයයක පමණක් නිරතව එක් තැනෙකට පමණක් සීමා වූ අයකු නොවුණි. වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ විවිධ අංශ ඔස්සේ දැනුමින් සන්නද්ධ වූයේ ප්‍රායෝගිකව ක්‍රියා කරමිනි. වසර කීපයක් ශල්‍ය වෛද්‍යවරයකුව කටයුතු කළ ඔහු ඊළඟට 'UCLA' වෙත තම දායකත්වය ලබා දුන්නේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව, අනුක ජාන විද්‍යාව, ජෛව ඉංජිනේරු විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව යන අංශවල මහාචාර්යවරයකු වශයෙනි. ඔහුගේ සේවය කෙතරම් වැදගත්ද යන වග කිවහොත් ලන්ඩන් හි ඉම්පීරියල් කොලේජ් හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය ලබා දුන්නේය.
වෛද්‍යවරයාට එහා ගිය ව්‍යවසායකත්වය
එන්නත් කළ හැකි සාමාන්‍ය ඖෂධ ගැන පර්‌යේෂණ කිරීමට ඔහු කැමැත්තෙන් පසුවිය. ෆුජිසාවා ඖෂධ සමාගමෙන් ඒවා අලෙවි කිරීමේ කටයුත්තට එළැඹ සිටි ඔහු එයින් මුදලක් උපයා ගැනීමට සමත් විණි. එම මුදල ඔහු යොමු කළේ වසර ගණනාවක් තිස්සේ ඔහු සතු වූ සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙනි. කුමක්ද ඔහු සතු වූ සිහිනය?
අලුත් දෙයක් සොයා ගැනීම
වසර 15ක පමණ වූ පර්‌යේෂණඋත්සාහය ප්‍රායෝගික කරවමින් 1998 දී ඉතා අගනා ඖෂධය වැඩිදියුණු තත්ත්වයට ගෙන ඒමට ඔහු හැකිවිණි. 'Abraxane' එලෙසින් වැඩිදියුණු කළ පසුව භාවිතයේදී ඉතා සාර්ථක ප්‍රතිපල ලබා දුනි. Abraxane සහ රසායනික චිකිත්සක ඖෂධයක් වන 'Taxol' සමග පිළිකා ප්‍රතිකාර සඳහා ලබා දීමේදී පහසු ක්‍රමවේදයක් ඒ මගින් ඔහුට හඳුන්වා දීමට හැකිවිණි. පැට්‍රික් සූන් හට මූල්‍යමය වාසනාව උදාවූයේ එතැන් සිටය. ඊට පෙර ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ශූර වූ නිසා බොහෝ මුදලක් උපයා ගෙන තිබිණි. දියවැඩියා සහ පිළිකා රෝග සඳහා ජෛව තාක්ෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට 1991 සූන් හට හැකිවිණි. එය නම් වූයේ 'Vivorx' නමිනි. ඖෂධ අලෙවි අංශයේ 'APP' එකක් 1997 දී දියත් කළේ අලෙවි කටයුතු පහසුව සඳහාමය.
ඔහුගේ නම ඉදිරියේ සටහන් වන්නේ දකුණු අප්‍රිකානු - ඇමෙරිකානු දෙරටටම අයත් ශල්‍ය වෛද්‍යවරයකු හැටියට පමණක් නොවේ. විශේෂයෙන්ම ඔහු අති ශූරයකු වූයේ ඉන්ද්‍රියයන් බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසය. පෙනහලු, පියයුරු සහ අග්න්‍යාශ පිළිකාවලට එරෙහිව එය සුව කළ 'Abraxane' වැඩිදියුණු කළ නිමැවුම්කරුවා ඔහුම වෙයි. සෞඛ්‍ය ආරක්ෂණ, නැනෝ තාක්ෂණ මෙන්ම ආටිෆිෂල් ඉන්ටලිජන්ට් හෙවත් කෘත්‍රිම බුද්ධිය යන අංශවලට අයත් 'Nantworks' හි නිර්මාත්‍යවරයා වන්නේ ද ඔහුය.
මෙලෙසින් වෛද්‍ය ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රායෝගිකව බැබළෙන තරුවක් වූ ඔහු මාධ්‍ය ජාලයක හිමිකරුවකු යැයි පැවසුවහොත් ඔබ මවිතයට පත්විය හැකිය.
මාධ්‍ය ජාලයක හිමිකාරිත්වය
නමුදු, ඒ කතාව ඇත්තය. 'Zoom' වීඩියෝ තාක්ෂණ මාධ්‍ය වෙනුවෙන් එනම් 'Zoom' පරිගණක නිර්මාණය ආරම්භ කිරීම වෙනුවෙන් මුදල් ආයෝජනය කළ මූලික කීප දෙනා අතරට මේ සූන් ෂියෝන්ග් අයත්ය. ඉහත සඳහන් කළ Nantworks සමාගම යටතේ 'Accuradio' මාධ්‍ය ජාලය වෙනුවෙන් ඩොලර් මිලියන 2.5 ක් 2014 දී ආයෝජනය කළ බැව් සඳහන්ය. ඔන්ලයින් වීඩියෝ සංස්කරණ APP එකක් ලෙස Wibbitz වෙනුවෙන් ද ආයෝජනය කර තිබේ. ඒ විතරක් නම් මදෑ... මේ මහාචාර්ය ශල්‍ය වෛද්‍යවරයා 'The Sun Diego Union - Tribune' පුවත්පත් ආයතනය ට්‍රොනික් ඉන්කෝපරේෂන් වෙතින් ඩොලර් මිලියන 500 ක මුදලකට අත්පත් කර ගත් බව 2018 දී ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. මෙලෙසින් ඇමරිකාවේ මාධ්‍ය ජාලයක හිමිකාරිත්වය ලද ආසියානු සම්භවයක් ඇති ප්‍රථමයා ඔහුම වෙයි. ඔහුගේ Nantenergy සමාගම යටතේ Zinc Air Battery නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා ද ආයෝජනය කළ අතර Directa Plus තාක්ෂණ සමාගමේ ද ප්‍රධාන කොටස්කරුවකු වෙයි.
පේටන්ට් බලපත්‍ර 200කට වඩා අයිතිය
මහාචාර්ය වෛද්‍ය පැට්‍රික් සූන් ෂියෝන්ග් යනු ඉහත සඳහන් කළ සියල්ලට අමතරව වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණ අංශයේ සහ ඊට සමගාමී තවත් අංශ වෙනුවෙන් නව සොයා ගැනීම් 230 ක් පමණ මේ වනවිට සොයාගෙන ඇති චරිතයකි. එනම් පේටන්ට් බලපත්‍ර 230ක පමණ හිමිකාරීත්වය ඇති චරිතයකි. විද්‍යා අංශයේ ප්‍රකාශන සිය ගණනක් සඳහා දැනුම මුසු කළ චරිතයකි.
අතීතයේ දිනෙක පොලිස් අත්අඩංගුවට පත්වීම
දකුණු අප්‍රිකාවේ සිටි සමයේදී පශ්චාත් උපාධිය සඳහා කැනඩාවට යාමට පෙර දිනෙක ඔහු අත්අඩංගුවට පත්වූයේ හැඳුනුම්පත රැගෙන යාම ප්‍රතික්ෂේප කළ නිසාය. එදා සිටම ඔහුගේ අරමුණ වන්නට ඇත්තේ මානවයකු ලෙස මානව ප්‍රජාවට සේවයක් කිරීමට වැඩ මිසක, හැඳුනුම්පත් කුමකටද යන්න සිතා විය හැකිය. පැට්‍රික් සූන් ෂියෝන්ග් ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධාන කීපයක ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා අංශය මෙන්ම වඩා දියුණු සෞඛ්‍ය අංශයක් වෙනුවෙන් ද වෛද්‍ය අංශයේ ඉගෙනුම ලබන අයගේද සහනය උදෙසාමය. 2021 අප්‍රේල් මාසයේදී ෆෝබ්ස් සඟරාව 'Soon Shiong' ගේ ශුද්ධ ආදායම ලෙස වාර්තා කර තිබුණේ ඩොලර් බිලියන 11.5 ක් ලෙසය. අද වන විට එය ඩොලර් බිලියන 12ක් ලෙස සඳහන් කළ හැකිය.
මහා දානපතියා
මේ තරම් මුදල් සාගරයක් නාන්නද? පීනන්නද? කන්නද? කියා යමෙකු හට සිතීමට පුළුවන. නමුත් මහාචාර්ය පැට්‍රික් සූන් ෂියෝන්ග් නම් ඒ අතිවිශාල මුදල ගැන එතරම් වද වෙන්නේ නැත. මක්නිසාද යත් එයින් අඩක් පුණ්‍ය කටයුතු සහ පරිත්‍යාගශීලී කටයුතු උදෙසා ලබා දීමට ඔහු ප්‍රතිඥා දී ඇති නිසාය. මේ අතිවිශාල මුදල් සම්භාරය ඔහුට බිරිඳට සහ දරු දෙදෙනාට ඊළඟ ආත්මයට ද ප්‍රමාණවත්ය. ඒත් සූන් ෂියෝන්ග් ඊට වඩා හිතන්නේ මේ ආත්මයේදී මානවයා වෙනුවෙන් කළ හැකි උපරිමය ගැන පමණක්ය.
ලස්සන නිළි බිරිඳ
මෙම මහාචාර්ය ශල්‍ය වෛද්‍යවරයා නව සොයා ගැනීම් කළ විද්‍යාඥයා, ව්‍යවසායකයා, මාධ්‍ය ජාලයක හිමිකරුවා, දානපතියා, ලෝක ධනවතා විවාහ වී සිටින්නේ ‘මිෂෙල් බී චෑන්’ සමගය. දකුණු අප්‍රිකාවේ ඊස්ට් ලන්ඩන් හි උපත ලද ඇය හිටපු ජනප්‍රිය නිළියකි. Macgyver ටෙලි මාලාව සහ ඇමෙරිකන් නින්ජා - 3 චිත්‍රපටයේ මෙන්ම බ්ලඩ් හන්ට් චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පෑ ජනප්‍රිය තරුවකි. ඇමරිකානු ටෙලිවිෂන් වැඩසටහන් මාලාවක් වූ Hotel සහ කැනේඩියානු ටෙලිවිෂන් ප්‍රසංග මාලාවක් වන Danger Bay වෙනුවෙන් දායක වූ ශිල්පිනියකි. 2015 සිට ඇය සැමියාට අයත් 'Nantstudio' හි ප්‍රධාන විධායකවරිය ලෙස කටයුතු කරන අතර කලාවෙන් ඉවත්ව පුණ්‍ය කටයුතු සහ සමාජයීය කටයුතු වෙනුවෙන් කාලය කැප කරන බව පෙනී යයි.
“Michele සහ මගේ පවුල් දෙක චීනයේ 'Hakka' පරම්පරාවෙන් ආ අය. මගේ පියා චීනයේදී ගත කර තිබෙන්නේ ඔසු වෙළෙන්දෙක් විදියට. අප්‍රිකාවට සංක්‍රමණය වූ පසුව සාප්පු බලා ගැනීමේ රස්සාව කර තිබෙනවා. ආපසු හැරී බලන විට මගේ ළමා කල සාමාන්‍ය ලෙස හැඟුණත් එය අමුතු සාමාන්‍ය දෙයක් වූ බව කීමට පුළුවනි. මම හැදී වැඩුණේ කළු ජාතික, සුදු ජාතික, චීන සහ ඉන්දියන් මිතුරන් සමග. බස් රථයකට ගොඩවිය හැකි නමුත් අනෙක් සියලු දෙනා සමග අපට වාඩි වීමට නොහැකි වුණා. එවකට වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ හැදී වැඩුණ අපි සැම විටම පහත් අය විය. එය පහත් යැයි ලේබල් ගසා සිටි අයගේ ශක්තිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මට අවකාශයක් විණි.
මට මිෂෙල්ව මුණ ගැසුණේ වෛද්‍ය විද්‍යාලයේ දෙවැනි වසරේ සිටියදී පැසිපන්දු තරගයකදීයි. අදටත් මම ඒ නිසා පැසිපන්දු ක්‍රීඩාවට ආදරෙයි.”
බිරිඳ ගැන සහ අතීතය ගැන මහාචාර්ය පැට්‍රික් සූන් එසේ පවසා සිටියේ ඔවුන් දෙදෙනා සතු සමාජ සත්කාරක පදනම ස්ථාපිත කළ දවසේදීය. බිරිඳගේ හමුවට ඔහු කොතරම් ගරු කරන්නේද යත් පැසිපන්දු හෙවත් බාස්කට් බෝල් ක්‍රීඩාවට දැඩි ලෙස ආලය කරන විදියෙන් කිව හැකිය. ‘ලොස් ඇන්ජලීස් ලේකර්ස්’ පැසිපන්දු කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ ද මේ අපූරු වෛද්‍යවරයාය.
“චීන සම්ප්‍රදායට අනුව අපි සියල්ල කරන්නේ ඊළඟ පරම්පරාව වෙනුවෙන්. මම මගේ දරුවන්ට කියන්නේ ඔබගේ ආසාව කුමක් ද කියා තෝරා ගන්න. ඉන්පසු නොපසුබටව සිහින කරා හඹා යන්න. ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඔබට දියුණුවීමට සමෘද්ධිමත් වීමට කාලය දෙන්න.”
ලෝකයේ පොහොසත්ම මහාචාර්ය වෛද්‍යවරයා පවසන්නේ එලෙසිනි. තම තමුන්ගේ පවුල් වෙනුවෙන් පමණක් සිතා රට ගැන හෝ ඊළඟ පරම්පරාව ගැන නොසිතා කටයුතු කරන දකුණු ආසියාවේ දූෂිත දේශපාලකයින්ට මේ අපූරු වෛද්‍යවරයාගෙන් ගත හැකි යහපත් දේ, ඉගෙන ගත හැකි ගුණවත් දේ නම් බොහෝය.
පරිවර්තන සටහන :
සඳුන් ගමගේ
[email protected]