
සාමය හා සංහිඳියාව යන වදන් දේශපාලන වේදිකා මත ලෙළදෙන විට, එය රටේ අනාගතය පැවරෙන දරු පරපුර වෙත ආකල්පයක් සේ පවරා දෙන්නටත්, විෂය ඉගැන්වීමටත් තම ගුරු දිවියෙන් වැඩිම කාලපරිච්ඡේදයක් දකුණේ සිංහල දරුවන් වෙනුවෙන් කැපකළ දෙමළ ජාතික ගුරුවරියක පිළිබඳවයි මේ කතාව.

එස්. වල්ලිපුරම් ගුරු මාතාව
|
ඇය එස්. වල්ලිපුරම් නම් උසස්පෙළ රසායන විද්‍යා ගුරුවරියකි. හැට හැත්තෑව හා අසූව දශකයන්හි දකුණේ සිංහල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම දිවිය කැපකළ ඇය, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ආචාර්ය මහාචාර්යවරු මෙන්ම කාර්මික ශිල්පීන් ද දැයට දායාද කළ විශිෂ්ට ගුරු මාතාවකි. දැනට 88 වන වියෙහි පසුවන වල්ලිපුරම් ගුරු මව, ගුරු සේවයෙන් විශ්‍රාම ලැබුවද, සමාජ මෙහෙවරෙහි නම් තවමත් විශ්‍රාම ලබා නොමැත.
මන්නාරම, තිරුකේතීෂ්වරන් කෝවිල අසල “අම්මෙයි අප්පන් නිවස” හි නිර්මාතෘවරිය වන වල්ලිපුරම් ගුරු මාතාව තම මහලු වියෙහිද සමාජ කටයුතුවල නිරත වෙමින් හුදකලාව එහි වාසය කරන්නීය.
“මම උපන්නේ චාවකච්චේරිවල මට්ටුවිල් ගමේ. මගේ ප්‍රාථමික අධ්‍යාපනය මට්ටුවිල් ජූනියර් පාසලෙනුත්, ද්විතීයික අධ්‍යාපනය චුන්නාකම් රාමනාදන් විද්‍යාලයෙනුත් හමාර කර ගත්තා. පස්සේ 1952 වසරේදී උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවට ගියා. ඉන්දියාවේ හෝලික්‍රෝස් කොලිජියේ ඉගෙනගෙන 1957 වසරේදී රසායන විද්‍යා උපාධිය සම්පූර්ණ කළා. උපාධිය සම්පූර්ණ කරලා ලංකාවට ආවට පස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ගුරුවරියක් ලෙස කටයුතු කරන්නයි මගේ ආසාව තිබුණෙ. ඒ නිසා මම ගුරුවරියක ලෙස උතුරු පළාතේ ළමයින්ට සේවය කිරීමට අයදුම්පතක් යොමු කළා. ටික කාලෙකින්ම මට ගුරැ පත්වීමක් ලැබුණා. ඒ ලැබුණේ මාතලේ පාක්‍යම් දෙමළ විද්‍යාලයට. මට රසායන විද්‍යා විශේෂ උපාධියක් තිබුණත්, පාක්‍යම් විද්‍යාලයේ මට ලැබුණේ 1 සහ 2 ශ්‍රේණියේ ප්‍රාථමික පන්තිවලට උගන්වන්නයි.”
මේ අවධියේදී මට්ටුවිල් ගමේ තරැණයෙකු වූ වී. වල්ලිපුරම් මහතා සමග 1961 දී ඇය විවාහ වූවාය. භාෂා පරිවර්තකයෙකු වූ ඔහු පාසල් පෙළ පොත් දෙමළ බසට සංස්කරණය කරන ප්‍රකාශන අංශයේ සහකාර කොමසාරිස් ධූරය හෙබවීය. ඒ වෙනවිට ඔහු සේවය කළේ කොළඹ ය.
“මාතලේ ඉන්න ගමන් මම කොළඹට මාරුවීමක් ඉල්ලුවා. ඒ අනුව මට 1962 වසරේදී වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයට මාරුවීමක් ලැබුණා. මේ ලැබුණ මාරුවීම මට අභියෝගයක් වුණා. ඒ වගේම මෙය මම දකින්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසයි. මෙහිදී මට දියණියන් දෙදෙනෙකු ලැබුණා. වැඩිමහල් දියණිය බාලසරස්වතී වල්ලිපුරම්, දෙවන දියණිය පංචලක්ෂ්මි වල්ලිපුරම්.”
වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ දී සිසු දරුවන්ට මුලදී අධ්‍යාපනය ලබාදීමට සිදුවූයේ, ඉංග්‍රීසි මාධ්‍යයෙනි. නමුත් වසර දෙකකට පසුව ආරම්භ කරන ලද උසස් පෙළ විද්‍යා විෂය ධාරාවේ පන්ති සඳහා සිංහල මාධ්‍යයෙන් රසායන විද්‍යාව විෂය ඉගැන්වීමට සිදුවිය. එවිට වල්ලිපුරම් ගුරු මාතාව භාෂාව පිළිබඳ ප්‍රශ්නයට මුහුණ පෑවාය.
“වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ දී මට සිංහල දරුවන් සමග සිංහල මාධ්‍යයෙන් රසායන විද්‍යාව විෂය උගන්වන්න සිදු වුණා. මම උසස් පෙළ පන්තිවලට උගන්වන ගමන්, මගේ මහත්තයාගේ උදව් ඇතිව සිංහල පත පොත පරිශීලනය කරන්න පටන් ගත්තා. මගේ මහත්තයාට සිංහල භාෂාව සාහිත්‍ය හොඳට පුළුවන්. මම ඉක්මනින්ම සිංහල භාෂාව ඉගෙන ගත්තා. මට සිංහල ඉගෙන ගන්න එවකට උසස් පෙළ පන්තියේ මගේ සිසු දරුවොත් උදව් කළා. රසායනික විද්‍යාව කියන්නේ සංකීර්ණ විෂයක්. විද්‍යාත්මක යෙදුම් සිංහල භාෂාවෙන් මම ඉගෙන ගත්තා. කොහොම හරි ඒ අභියෝගය බාර ගෙන අවසානයේ රසායන විද්‍යාව ඉතා සරලව ළමයින්ට සිංහල මාධ්‍යයෙන් ඉගැන්නුවා. දරුවෝ මට පුදුම බැඳීමකින් කටයුතු කළා. එදා තිබුණු ඒ ලෙන්ගතුකම අදටත් එලෙසම තියෙනවා.”

වසර 13 ක කාල පරිච්ඡේදයක් වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල මාධ්‍ය රසායන විද්‍යා ගුරුවරිය ලෙස වල්ලිපුරම් ගුරු මාතාව කටයුතු කළාය. වසර 13 ක කාලය තුළ පාසලේ උසස්පෙළ සිසුහු ඉතා විශිෂ්ට ප්‍රතිඵල අත් කර ගත්හ. 1969 වසරේදී වල්ලිපුරම් ගුරු මාතාවට දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබුණි. නමුත් එම පාසලේ උසස්පෙළ රසායන විද්‍යාව ඉගෙන ගැනීමට සිටින ළමයින් සංඛ්‍යාව අඩු නිසා නැවත බොරැල්ල ඩී.එස්. සේනානායක විදුහලට ස්ථාන මාරුවක් ලැබිණි. එම පාසලේ ද ඇය රසායන විද්‍යාව සිංහල මාධ්‍යයෙන් ඉගැන්වූවාය.

“මම දෙමළ ගුරුවරියක කියා ළමයි මගෙන් ඉගෙන ගැනීමට මැළිකමක් දැක්වූවේ නැහැ. ඒ වගේම තමයි 83 ජූලි කලබල කාලයේ සිංහල මිනිස්සු වගේම පාසලේ දී සිංහල සිසු දරුවන් තමයි මගේ ආරක්ෂාවට හිටියෙ. ජූලි කලබල කාලේ මම දියණියන් දෙදෙනා හා මහත්තයා සමග නිවසින් පිටනොවී මාසයකට වැඩි කාලයක් නිවසේ හිටියා. එහෙම ඉන්නකොට කන්න බොන්න අවශ්‍ය දේවල් ගෙනවිත් දුන්නේ, මගේ සිසුදරුවන් වගේම ඔවුන්ගේ දෙමව්පියන්.”
වල්ලිපුරම් ගුරු මාතාව වයස අවුරුදු 45 වෙනවිට වසර 25 ක ගුරු සේවයෙන් ඇය විශ්‍රාම ලැබුවාය. ඉන්පසු ඇය සිය විශ්‍රාමික ජීවිතය වැල්ලවත්තේ සිය නිවසෙහි ගත කරමින් සිටියාය. මේ අතරවාරයේ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වල්ලිපුරම් ගුරු මාතාවගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම වූයේ, උසස් පෙළ විභාගයට පෙනීසිටින සිය ඥාති දියණියකට රසායන විද්‍යාව උපකාර පන්තියක් කරන ලෙසය. වල්ලිපුරම් ගුරු මාතාව ද ඊට එකඟ වූවාය. එසේ උගන්වනු ලැබු එම ශිෂ්‍යාව උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූවාය.
“මං මුලින්ම උපකාරක පන්ති කළ සිසුවිය ඉහළින්ම සමත් වුණා. පස්සේ උසස් පෙළ ළමුන්ගෙන් මට ඉල්ලීම් ආවා උපකාරක පන්ති කරන්න කියලා. අද කාලෙ වගේ පෝස්ටර් බැනර් ගහලා ළමයි පන්තියට ගෙන්න ගත්තෙ නැහැ. ළමයිට මං ගැන විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය මතයි ළමයි මං ළඟට ඉගෙන ගන්න ආවේ. ඒ අනුව තමයි මම කොළඹ නගරයේ පන්ති කරන්න පටන් ගත්තෙ. ළමයි සිය ගණනින් මං වටා එකතු වුණා. මේ සියලුම සිසුන් සිංහල. මගේ පන්තියට ආනන්ද, නාලන්ද, රාජකීය, දේවි බාලිකා, විශාකා විද්‍යාලවල සිසුසිසුවියන් වගේම කොළඹ අවට පාසල්වල දරුවනුත් පන්තියට ආවා. මේ ළමුන් උසස් ලෙස විභාගය සමත් වෙලා ලංකාවේ පමණක් නෙවෙයි, ලෝකයේ ඉහළම තැන්වල රැකියා කරනවා. ඒ අය තවමත් මට කතා කරනවා. ඒ වගේ දෙයකින් ගුරුවරයෙක් ලබන ආත්ම තෘප්තිය කියා නිම කරන්නට බැහැ.”
මෙසේ 2006 වර්ෂය වෙන තෙක්ම වල්ලිපුරම් ගුරු මාතාව පන්ති පැවැත්වූවාය. නමුත් ඉන් පසුව කාලපරිච්ඡේදයේ ඇයගේ ජීවිතයට පැමිණියේ දුක් කරදරය. ඇය එම කතාව කියා සිටින්නේ, නෙතග කඳුළු පිස දමමිනි.

“2006 වසර වෙනකොට මං පන්ති කිරිම නැවැත්තුවා. මේ කාලය වෙද්දී මගේ දුවලා දෙන්නම පිළිකා රෝගයෙන් පෙළෙනවා කියල වෛද්‍යවරු හඳුනගෙන තිබුණා. මගේ දියණියන් දෙදෙනාම උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලබලා හිටියෙ. වැඩිමහල් දියණිය අක්ෂි රෝග විශේෂඥවරියක ලෙස පත්වීම් ලැබුවා. ඇය විවාහ වී සිටියේ ඉංජිනේරුවරයෙකු සමගයි.”
“මම රසායන විද්‍යා ගුරුවරියක ලෙස සේවය කරද්දි විවිධ රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුළුවීම නිසා දියණියන් දෙදෙනාට පිළිකා රෝගී තත්වය ඇතිවුණා කියලයි මම විශ්වාස කරන්නෙ. දියණියන් දෙදෙනාවම සුව කරන්න අපි ගොඩක් මහන්සි වුණා. ඒත් පලක් වුණේ නැහැ. පිළිකාව ව්‍යාප්ත වෙලා වැඩිමහල් දියණිය වයස අවුරුදු 38 දී මියගියා. ඉන්පසුව ඒ දුකෙන්ම මගේ මහත්තයත් නැති වුණා. පසුව මගේ බාල දියණියත් සමග මම වැල්ලවත්ත නිවසේ තනි වුණා.”
“අපි පරම්පරාවෙන්ම ශිව දෙවියන්ගේ බැතිමතුන්. සෑම දිනකම ශිව දෙවියන් වෙනුවෙන් වන්දනාමාන කරනවා. අපි මස් මාංශ අනුභව කරන්නෙ නැහැ. මගේ බාල දියණිය මන්නාරම තිරුකේතීෂ්වරන් කෝවිල ගැන නිතරම කියනවා. එහි යන්න ඕනි බවත් කියනවා. 2006 වසරේදී වැල්ලවත්ත නිවස විකුණලා මන්නාරම තිරුකේතීෂ්වරන් කෝවිල අසලින් නිවසක් මිලදී ගෙන 2007 වසරේ දී මමයි බාල දුවයි මන්නාරමට පදිංචියට ආවා.”
වල්ලිපුරම් ගුරු මාතාවගේ බාල දියණියට තිරුකේතීෂ්වරන් කෝවිල අසල වැඩිහිටි නිවාසයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව තිබිණි. එය ඇයගේ අවසන් කැමැත්ත විය.

සැමියා, වී. වල්ලිපුරම්
|

බාලසරස්වතී වල්ලිපුරම්
|

පංචලක්ෂ්මී වල්ලිපුරම්
|
“බාල දුවගේ සැලසුම අනුව තිරැකේතීෂ්වරන් කෝවිලේ ඉඩමක වැඩිහිටි නිවාසයක් අපි හැදුවා. වැඩිහිටි නිවාසයට අම්මෙයි අප්පන් (අම්මා තාත්තා) යනුවෙන් නම තැබුවේ බාල දුවයි. මාවයි මගේ මහත්තයාවයි මතක් වෙන්නයි ඒ නම තැබුවේ. 2008 වසරේදී වැඩිහිටියන් 40 දෙනෙක් අපේ නිවාසයේ සිටියා. ඔවුන් සියලු දෙනාවම නඩත්තු කළේ, මගේ විශ්‍රාමික වැටුපෙන් හා දුව එකතු කරලා තිබුණ මුදල්වලින්.”
2009 වසරේ මුල් භාගය යනු යුද්ධයේ දරුණුතම කාලපරිච්ඡේදය විය. යුද්ධයේ අවසාන කාලපරිච්ඡේදයේ ක්‍රියාත්මක වූ මානුෂික මෙහෙයුම මත උතුරේ සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මිදී අසරණභාවයට පත්ව මන්නාරමට පැමිණියහ.
“යුද්ධයෙන් අසරණ වෙලා හිටපු පවුල් 300 කට පමණ අපි උදව් උපකාර කළා. දුවගේ රෝගයත් උත්සන්න වෙලා 2009 අග භාගයේ ඇයත් මියගියා. මම තනි වුණා. පස්සේ මම මන්නාරමේ හිටපු නිවස විකුණලා, අම්මෙයි අප්පන් නිවසටම පදිංචියට ආවා. මගේ බාල දුවගේ ආසාවක් තිබුණා අම්මෙයි අප්පන් නිවාසය සියලුම ආගමික හා ජාතීන්වලට අයත් සේවා සපයන ස්ථානයක් බවට පත් කිරීමටත්, ඒ සඳහා මෙම ඉඩමේම වෙන ගොඩනැගිල්ලක් ඉදිකරන්නත් ඇය උත්සාහ ගනිමින් හිටියා. නමුත් ඊට පෙර ඇය මියගියා. ”
නමුත් වල්ලිපුරම් ගුරු මාතාව සිය බාල දියණියගේ ප්‍රාර්ථනාව ඉටු කරන්නට නොසැලෙන ධෛර්යයෙන් යුතුව වෙහෙස වූවාය.
“මගෙන් ඉගෙන ගත්ත ළමයි ලංකාවේ වගේම පිටරටවලත් රැකියා කරනවා. ඒ අය මගේ ජීවිතේ සිදුවීම් දැනගෙන මිල මුදලින් උදව් කළා. ඒ දුවලා පුතාලා නිසයි ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ. ඉරිදා ලංකාදීපයට කතා කරන මේ අවස්ථාව මට උදව් උපකාර කළ සියලුම දෙනාට ස්තූතිය පුද කරන්න මම යොදා ගන්නවා.”
තම බාල දියණියගේ අවසන් බලපොරොත්තුව අනුව ඉදිකරන ලද ගොඩනැගිල්ල දැනට සංස්කෘතික ශාලාවක් සහ ඇතුළු කාමර රාශියකින් සමන්විත වේ.
“යුද්ධයේ අවසානයෙන් පසුව උතුර සාමාන්‍ය ජනතාවට විවෘත වුණා. ශිව දෙවියන් මුල් කරගෙන වැඳුම් පිදුම් කරන කෝවිල් පහක් ලංකාවේ තිබෙනවා. එයින් ප්‍රධානම කෝවිල තමයි මන්නාරමේ තිරුකේතීෂ්වරන් කෝවිල. එම කෝවිලට ලංකාවේ හතර වටින්ම බැතිමතුන් එන්න පටන් ගත්තා. එහෙම එන බැතිමතුන්ට ජාති භේදයකින් තොරව නවාතැන් පහසුකම් නොමිලේ ලබාදෙනවා. ටික කාලයකට ඉහත දී තිරුකේතීෂ්වරන් මාතොට රජමහා විහාරය වෙත භික්ෂූන් වහන්සේලා 55 නමක් පැමිණියා. ඔවුනට කෑම බීම ඇතුළුව නවාතැන් පහසුකම් ලබා දුන්නා. ඒ වගේම තමයි මන්නාරමට එන දෙස් විදෙස් සංචාරකයින්ටත් මෙහෙ ඇවිත් නවතින්න පුළුවන්. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි, එදා සිටම යුද හමුදාවේ පුතාලත් ඒ අයගේ ශ්‍රමයෙන් හරි මට උදව් කරනවා.”
“ශිව දෙවියන් වෙනුවෙන් සිල් ගන්න දවසක් තියෙනවා. දවසම කිසිම ආහාරයක් නොකා ඉඳලා හවස 5 ට පමණ කෝවිලේ පූජාවලට සහභාගි වෙනවා. එහෙම අයට කෑම බීම ලබාදෙන එක බොහෝම පින් සිද්ද වෙනවා. අපි ඒ අයව මෙහෙ ගෙන්නලා කෑම බීම ලබා දෙනවා. ඒ වගේ දිනවලට මගේ උදව්වට දෙන්නෙක් එනවා. ඒ අයට ගෙවීමක් කරන්නෙත් මමයි.”
“ඒ වගේම තමයි, මේ වගේ කෑම බීම වෙනුවෙන් මාසිකව උදව් උපකාර කරන පුතාලා දුවලත් ඉන්නවා. මට මාසිකව ලැබෙන ගුරු විශ්‍රාම වැටුපත් මම දායක කර ගන්නේ, අම්මෙයි අප්පන් නිවසේ වැඩවලටයි. තිරුකේතීෂ්වරන් කෝවිලට මම හැමදාම පුද පූජා පවත්වනවා. එය මගේ දින චර්යාවේ කොටසක්.”
මෙලෙස අම්මෙයි අප්පන් නිවාසය ආරම්භ කර තනි කාන්තාවක ලෙස සමාජ සත්කාරක මෙහෙවරක ඇය යෙදී සිටියි.
“මම මෙහෙ අවට කුඩා ළමයින්ට ආගම කියලා දෙනවා. එහෙමයි මගේ දුක නිවා ගන්නෙ. දැන් මගේ වයස අවුරුදු 88 ක් වෙනවා. මගෙන් පසුව මේ සියලු දේ තිරුකේතීෂ්වරන් කෝවිලේ භාරකාර මණ්ඩලයට පැවරෙනවා. එය මම ලිඛිතව පවරලා තියෙනවා. ජීවිතේ මේ ඉතිරි කෙටි කාලය තුළ ජාති, ආගම්, කුලමල බේදයකින් තොරව මට කරන්න දෙයක් තිබෙනවා නම්, ඒ දෙය අම්මෙයි අප්පන් නිවසින් සිදු කිරීම තමයි මගේ එකම අරමුණ. මම නැති කාලයක අම්මෙයි අප්පන් නිවස සංහිඳියාවේ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියේවි, එහෙම මට හිතෙනවා.” යනුවෙන් අවසානයේදී වල්ලිපුරම් ගුරු මාතාව පැවසුවාය.