වීර දියෝනිස් රන් සම්මාන පදක්කම පැළඳි අයුරු
‘ගාලු පාරේ යමින් සිටි අලියෙක් හිටි හැටියේම කුලප්පුවෙලා. පිට උඩ සිටි ඇත්ගොව්වාව මරල, පයින් පාගල, ලංසි පල්ලිය ඉස්කෝලේ වත්තට රිංගලා හරි අලි කලබලයක්.’
මේ පුවත සැලවෙත්ම එය සියසින් දැක ගැනීමට මට ඉවසුම් නැති විය. හැකි ඉක්මනින්ම මම පයාගල, බණ්ඩාරනායක මහා විද්‍යාලය (කලින් එය ලංසි පල්ලිය ඉස්කෝලේ) වෙත දිව ගියෙමි.
ගාලු පාර, පාසල් වත්ත, ක්‍රීඩා පිටිය සහ අවට පරිසරය එකම යුදපිටියක ස්වරූප ගෙන තිබුණි. දහසකට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හිස් ලූ ලූ අත මරලතෝනි තබමින් දිව යති. විදුහල්පති ඇතුළු ගුරුවරු ගුරුවරියෝ සිතාගත නොහැකිව, කරගත හැකි කිසිවක් නොමැතිව, අසරණ තත්ත්වයෙන් ළමයින් අතරම දිව යති. සිද්ධිය සැලවෙත්ම ළමයින් රැගෙන යාමට පැමිණි දෙමාපියෝ දෑත් හිස් මත ගසා ගෙන තම තමන්ගේ දූ පුතුන් සොයති. කුලප්පු වූ අලියාට බියෙන් තම තමන් සිටි පන්තියේ පුටු, ඩෙස්, කෙටි තාප්ප ආදියෙන් පැන ළමෝ දුවති. සමහරු වැටී, අතපය හිස තුවාල වී ලේ ගලති. පාසල් වත්තේ කම්බි වැටෙන් රිංගා යන්න තැත් කළ තවත් පිරිසකට කටුකම්බිවලට කලිසම්, ගවුම් පමණක් නොව, අතපය හිස, පිට ඉරී ගොස් ලේ බේරෙමින් වැළපෙති. ඉරී එල්ලෙමින් තිබුණ ගවුම්, කලිසම් කැබලි සිය දෑත්වලින් වසා ගැනීමට තැත් කරන තවත් සිසුන් පිරිසකි. නෙත් පුරා උණන කඳුළු නවතා ගත නොහැකිව. ඒවා නෙතට රිසි පරිදි දෙකපුල් දිගේ ගලා යන අයුරු දුටු දසුන ළය කම්පා කරවන්නක් විය.
එදා ගාලු පාර පුදුම අන්දමින් වාහන තද බදයකට මුහුණ පෑවේය. කුලප්පු වූ ඇතු පිට උඩ සිටි ඇත්ගොව්වා පොළොවේ ගසා මරා දැමූ ස්ථානයේ ලේ විලක් මැද මෘත දේහය පැය කිහිපයක් තිබුණි. ‘අලි කලබලය’ දැකීමට පැමිණි ගම්මුන්, අසල්වැසියන්ගෙන් මෙන්ම පාසල් දරුවන්ගේ දෙමාපියන්ගෙන් ද මහා මාර්ගය පිරී ගොස්ය. වාහන තදබදය මඟ හැරීමට පොලිසියට හෝරා කිහිපයක් ගත විය. සියල්ල අබිබවා මුළු පරිසයෙන්ම ඉස්මතු වූයේ සිද්ධියෙන් බියට පත්ව හඬා වැළපෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සෝචනීය වූ අමිහිරි ඝෝෂාවය.
මේ අතර කුලප්පු වූ අලියාත් සමඟ පොර බදන තවත් ඇත්ගොව්වෙකි. යක්ෂාවේශයෙන් හොඬවැල කරකමින්, අලි කකුල් ඒ අත මේ අත විසිරුවමින්, ගෙරවිලි හඬ නංවමින්, කුලප්පු වූ අලියා රැස්වූවන්ට, සිසුන්ට පහර දෙන්නට තැත්කරයි. උපක්‍රමශීලීව අලියාගේ ගෙලේ රැඳි යකඩ දම්වැල බිම හලාගත් ඇත්ගොව්වා එක් කෙළවරක් එක් අතකට ගෙන, අනිත් අතින් කුලප්පු වූ අලියාගේ වලිගයේ එල්ලුණේය. ඒ අතර මොහොතකින් ඔහු අලියාගේ පිටුපස එක් කකුලකට දම්වැල ගැට ගැසීමට සමත් විය. වහා එල්ලෙමින් සිටි අලියාගේ වලිගයෙන් මිදී යකඩ දම්වැල අනිත් කෙළවර පාසල් වත්තේ ගේට්ටුව ආසන්නව තිබූ සුවිශාල කෝන් ගසේ ගැට ගැසුවේය. අලියා දුවයාමේ සීමාව කෙටි විය. දැන් අලියාට යා හැක්කේ දම්වැල වපසරිය තුළ පමණි. එහෙත් හැකි වීර්ය යොදා යදම කඩා දැමීමට කිහිපවරක්ම තැත් කළේය. පැය කිහිපයක්ම ඌ වෙහෙස වූවා පමණි. මේ අතර ක්‍රමයෙන් අලියාගේ හදිසි ‘අලි කුලප්පුවත්’ සමනය වන ලකුණු පෙනුණි.
විදුහල්පති ජී.වී. ෆොන්සේකා මහතා පැමිණ සිටි දෙමාපියන් හට සිය දූ දරුවන් රැගෙන යාමට අවසර දුන්නේය. පාසල වසා දැමීමට ද තීරණය කළේය.
පයාගල, ලංසි පල්ලිය ඉස්කෝලේ (පසුව බණ්ඩාරනායක මහා විද්‍යාලය) පුදුම වාසනාවන්ත පාසලක් යයි එදා විදුහල්පති ජී.වී. ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ මෙලෙසිනි.
‘මේ කුලප්පු වූ අලියා ඇත්ගොව්වාව මරලා පාසලට රිංගුවේ, පාසලේ විවේක කාල පරිච්ඡේදයේ. ළමයින් සියල්ලන්ම වාගේ එළියේ දුව පැන ඇවිදිනවා, සෙල්ලම් කරනවා. අනිත් ඇත්ගොව්වාගේ දක්ෂතාව නිසා සුළු සුළු තුවාල හැරෙන්නට කිසි ළමයකුට වෙනත් කිසිවෙකුට ජීවිත හානියක් සිදුවුණේ නැහැ.’
‘මේ පාසලේ මෙවැනිම වෙන්න ගිය මහා විපතකින් බේරුණ තවත් අවස්ථාවක් තිබුණා. ඒ ක්‍රි.ව. 1956 මැයි මස පළමුවෙනිදා ලෝක කම්කරු දිනයයි මැයි පළමුවෙනිදා. එදිනට පෙර අපේ රටේ මැයි පළමුවැනිදා රජයේ නිවාඩු දිනයක් වූවේ නැහැ. සාමාන්‍ය රජයේ කාර්යාල, පාසල් වැඩ කරන දිනයක්. ප්‍රථමවරට අපේ රටේ ලෝක කම්කරු මැයි 1 වෙනිදා නිවාඩුව ලැබුණේ ක්‍රි.ව. 1956 වර්ෂයේ. අපේ පාසලත් වෙනදා මෙන් පාසල පවත්වනවා. නිවාඩු නිසා එදා පාසල වැසුවා. පුදුමය කියන්නේ එදා පාසලේ පරණ විශාලම ගොඩනැගිල්ලේ වහලය සම්පූර්ණයෙන්ම කඩා ගෙන වැටුණා. මැයි 1 වෙනිදා පාසල් දිනයක ළමයින් සිය ගණනක් ඒ ගොඩනැගිල්ලේ ඉගෙනීම ලැබුවා. එවැනි දිනක සිද්ධිය වූවා නම් ළමයින්ගේ හිසටයි වහල වැටෙන්නේ. අපේ රටට ප්‍රථම වරට එදා කම්කරු දිනය වෙනුවෙන් මැයි 1 වෙනිදා නිවාඩු ලැබුණ නිසා වෙන්නට ගිය විශාල අනතුරකින් අපේ දරුවෝ බේරුණා. පයාගල ලංසි පල්ලිය අපේ මේ ඉස්කෝලේ ඒ අතින් හරිම වාසනාවන්තයි. මේ අපේ බණ්ඩාරනායක මහා විද්‍යාලය (ලංසි පල්ලියේ ඉස්කෝලේ) ශිෂ්‍ය ශිෂ්‍යවෝ එදත්, අදත් ඉදිරියටත් හරි භාග්‍යවන්ත ළමයින්.
වර්ෂ 1966 පෙබරවාරි මස 3 වෙනිදා ගම්පහ ප්‍රදේශයෙන් මේ අලියා රැගෙන ආවේ අකුරැස්ස ප්‍රදේශයට යාමටය. ඒ විශාල ගස් කිහිපයක් අලියා ලවා අද්දවා ගැනීමේ කොන්ත්‍රාත්තුවක සේවය සඳහා යොදවා ගැනීමටය. ගම්පහ සිට අකුරැස්සට කිලෝමීටර් සිය ගණනක් නිසා දින කිහිපයක් ගමනටම වැය වේ. ගම්පහෙන් පිටත්ව දින දෙකකට පසුව එනම් පෙබරවාරි 5 වෙනිදා පෙරවරු 10.30 - 11.00 ට පමණ ගාළු පාර දිගේ පයාගල බණ්ඩාරනායක මහා විද්‍යාලය පසු කරමින් සිටියේය. කලින් දින රාත්‍රියේ පානදුර නල්ලුරුවේ නතර වී සිට ගමනට පිටත්ව ඇත්තේ නිරාහාරවය.
මේ ඇතා භාරව සිටියේ මාතර, මාවරල, රොටුම්ඹ ගමේ පදිංචි 26 හැවිරිදි ජාසිංහකන්දගේ දියෝනිස් ඇත්ගොව්වාය. ඔහුගේ සහායට සිටියේ මුතුවාඩිගේ වයිමන් සිල්වා ඇත්ගොව්වාය. වයිමන් සිල්වා ඇත්ගොව්වා ඇතා පිටමත ඉඳගෙන පැමිණි අතර ඇතා සමීපයෙන්ම පාගමනින්ම ගියේ දියෝනිස් ඇත්ගොව්වාය. කුසගින්න දැනුණ නිසා පාසල අසල වත්තක පාරට නැමී ගිය නිලට නිලේ සරුවට වැඩී ගිය කොළ අත්තක් කඩාගෙන කුසට රිංගවන්නට අලියා තැත් කළේය. ඒ සමඟ ඒ අසලම සිටි වතුහිමියා ඊට විරෝධය පෑවේය. ඇතාගේ පිට උඩ සිටි ඇත්ගොව්වා ඒ විරෝධය නිසා එකී අතු කැබැල්ල නොකඩන ලෙස ටිකක් සැරෙන් අලියාට අණ කළේය. අලියාට ක්ෂණිකවම කේන්ති ආවේය. අත්ත කැඩීමට දික් කළ හොඬවැල අත්ත නොකඩා එය නොකඩන ලෙස අණ කළ පිට උඩ සිටි ඇත්ගොව්වා දෙසට දිගු කළේය. වහා හොඬවැලෙන් පටලවා ගෙන බිම දමා ගාලු පාරේ පොළොවේ ගසා පයින් පාගා සිය කේන්තිය පිට කළේය. හිස් කටුව පොඩි වී ඒ ඇත්ගොව්වා එතැනම අවසන් හුසම බිංදුව පිට කළේය. එතැනින් නොනැවතුන කුලප්පු වූ අලියා යක්ෂාවේශයෙන් පාරේ අනිත් පස පාසල් වත්තේ විවේක කාලයේ දුව පැන සෙල්ලම් කරන ළමයින් දෙසට දුවන්නට සැරසුනි. අනිත් ඇත්ගොව්වා වන ජාසිංකන්දගේ දියෝනිස්ට ‘තරු’ පෙනුණි. කුමක් කරන්නද? සිය තනියට සිටි එකම මිත්‍රයාත් නැති වී මේ සිදුවන්නේ කුමක්ද ඔහුට සිතාගත හැකි කළ හැකි දෙයක් තිබේද? ඔහු වහා ක්‍රියාත්මක විය. සිය ජීවිත පරිත්‍යාගයෙන් හෝ මේ වෙන්න යන මහා විපත වළකා ගත යුතු යයි සිතූ ඔහු අලියාගේ බෙල්ලේ තිබූ යකඩ දම්වැල ඇඳ ගත්තේය. එක් කෙළවරක් එක් අතකින් වැරෙන් අල්ලාගෙන අනිත් අතින් අලියාගේ වලිගයේ එල්ලුණේය. කෙසේ කුමක් කළා දැයි අපට සිතාගත නොහැකි විය. පුදුම වීර්යයක් ගෙන අලියාගේ පිටුපස කකුලක යකඩ දම්වැල ගැට ගැසුවේය. වහා අලියාගේ වලිගයෙන් මිදී යකඩ දම්වැලේ අනිත් කෙළවර පාසල ගේට්ටුව අසල එකල තිබුණ යෝධ කෝන් ගසේ ගැට ගැසුවේය. වෙන්නට ගිය විශාල විපතක් ජීවිත පරිත්‍යාගයෙන් ජාසිංකන්දගේ දියෝනිස් ඇත්ගොව්වා බේරා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට සිදුවීමට ගිය විපත සිහිපත් කිරීමට පවා බිය සිතේ. කුලප්පු වූ අලියා උන්මත්තකයකු සේ ඒ අත මේ අත හොඬවැල පද්දමින්, සිව් පා විටින් විට දිගු කොට වැදෙන කෙනෙකුට වැදෙන්නට විසුරුවද්දී මල් කැකුළුවන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කුමක් සිතෙන්නට ඇත්ද?
පාසලේ ළමයින් සියලු දෙනා නිවෙස්වලට පිටත් කර හැරියාට පසුව රැස්වූවෝද ටිකෙන් ටික පාසල් බිමෙන් හා ගාලු පාර මතින් ඉවත්ව ගියහ. සුළු පිරිසක් ඉතිරි වූහ. මියගිය ඇත්ගොව්වාගේ දේහය ද කළුතර රෝහල වෙත මරණ පරීක්ෂණය සඳහා ගෙන යනු ලැබීය.
අලියා ඉතා සන්සුන් බවක් පෙන්වීය. මේ අතර පයාගල පොලිසියේ ද සහායෙන් අලියාට අවශ්‍ය ආහාර ලබා දුනි. පුරා දෙදිනක් නිරාහාරව සිටි අලියා යථාතත්වයට පත්ව ඇති බව දියෝනිස් ඇත්ගොව්වාම ප්‍රකාශ කළේය. පාසල් බිමේ ගැට ගසා තිබූ යකඩ දම්වැල් ලිහා දමා විශේෂ ආයුධ සහිත දැඩි ආරක්ෂා රැකවරණය යටතේ ගාලු පාර දිගේ පයාගල පොලිසිය වෙත කුලප්පු අලියාව ගෙන යනු ලැබීය. පනස් වසරකට ඉහත මා මුහුණ දුන් මේ සිද්ධිය අද සිදුවූවාක් සේ මසිතෙහි නොමැකී පවතී.
එකල මා ‘දවස’ පුවත්පත් ආයතනයේ කළුතර ප්‍රාදේශීය ප්‍රවෘත්ති ලේඛකයා විය. මේ පුවත ‘දවස’ පුවත්පතේ ඉහළින්ම පළවූවේය. ඒ සමඟම පසුදාම ‘දවස’ එකල ප්‍රධාන කර්තෘ ලෙස ක්‍රියා කළ ඩේවිඩ් කරුණාරත්න මහතාගෙන් විදුලි පණිවිඩයක් ලැබුණි. (අද මෙන් දුරකථන පහසුකම් එකල නොමැත.) ‘වහා පැමිණ ඔහු හමුවන ලෙස’ විදුලි පුවතින් කියවුණි. පසුදාම මම කර්තෘතුමා හමුවීමි.
ඩේවිඩ් කරුණාරත්න මහතා ‘ඔයා එවා තිබුණ ප්‍රවෘත්තියට අමතරව එහි තව වටිනාකමක් තියෙනවා. ඒ ඇත්ගොව්වා දියෝනිස් මහතා ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරල තියෙන්නේ උදාර වීර ක්‍රියාවක් මං අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අවසර ගත්තා ඒ දියෝනිස් ඇත්ගොව්වාගේ සේවය අගය කරල ඔහුට රන් පදක්කමක් හා මුදල් පරිත්‍යාගයක් කරන්න. ඔයා ඒවා ප්‍රදානය කරන ඒ උත්සවය පයාගල ඒ පාසලේ සංවිධානය කරන්න ඕනැ. අවශ්‍ය මුදල් ‘දවස’ ආයතනයෙන් ලබා දෙනවා. ඔයාට තියෙන්නේ සුදුසු ලෙසට ඒ උත්සවය සංවිධානය කරන්න.’
‘බෝලයකට පයින් ගසා, පන්දුවකට පිත්තෙන් පහරදී, සැතැම්මක් දුවල හති හලා ගත් විට සමහරුන් ඒවා වීර ක්‍රියා ලෙස සලකනවා. කලිසන් අඳින ඒ පැලැන්තියට වීර පදක්කම් පලඳවනවා. ජීවිත පරිත්‍යාගයෙන් නියම වීර ක්‍රියාවක් කළ රෙදි අඳින, අමුඩ ගසන ගමේ ගොඩේ කැළේ කොළේ කොල්ලෙකුට වීර සම්මාන පිරිනැමීම කරන්නේ නැහැ. අපි ඒක කරලා පෙන්නමු.’
මේ අතරතුර තවත් ඉතා රසවත් සිදුවීමක් විය. මෙම උත්සවයට රන් පදක්කම් පැළඳවීමට ඇත්ගොව්වා ගෙන්වා ගැනීම සඳහා අලියාගේ අයිතිකරුට කතා කළේය. එවිට ඔහු කීවේ ‘ඇත්ගොව්වා කරල තියෙන්නේ මොන වීරකමක්ද? ඇත්ගොව්වාව එවන්න බැහැ.’ කියාය. උත්සවය සංවිධානය කළ පුවත්පත් ආයතනයටත් සියලු කටයුතු පිළියෙල කළ මටත් තරු පෙනුණි.‘මඟුල් ගෙදර මනමාලි නැතුව වාගේ.’ රන් පදක්කම පලඳවන්නේ කාටද? මේ ගැටලුව විසඳුවේ එකල ‘දවස’ ප්‍රවෘත්ති කර්තෘව සිටි රෝහණ ගමගේ මහතාය. ඔහු ගම්පහ සිටි ජාසිංකන්දගේ දියෝනිස් ඇත්ගොව්වා සතියකට කලින් අප නිවසට කැඳවාගෙන ආවේය. ‘උත්සව දිනය වනතුරු මෙයාට ආරක්ෂාව දීලා පරිස්සමින් තබා ගන්න. එදාට අපි මෙයාව උත්සවයට ගෙන යමු. සියල්ල ඔබට බාරයි.’
දියෝනිස් කෙලෙසින් කොහෙන් ගෙනාවාදැයි මම නොදනිමි. එය පත්‍රකලාවේදියකුගේ දක්ෂකම විය යුතුය. දියෝනිස්ව අප නිවසේ සඟවා තබාගෙන උත්සවයට ගෙන ගියෙමු.
එකී ලෙසටම ජාසිංකන්දගේ වීර දියෝනිස් මහතාට (ඇත්ගොව්වා) වීර පදක්කම පැලඳවීමේ මහා උත්සවය ක්‍රි.ව. 1966 මාර්තු මස 12 වෙනි සෙනසුරදා පයාගල බණ්ඩාරනායක මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබීය. මැති ඇමැතිවරු ඇතුළු දහස් සංඛ්‍යාත ජනකායක් එදා එයට එක්වූහ.
මෙයට වසර 55 කට පෙර සිදුවූ මේ සිද්ධියේ රන් පදක්කම් පැලඳූ ජාසිංකන්දගේ වීර දියෝනිස් මහතා දස වසරකට පෙර මිය ගිය බව ඥාති හිතවතුන්ගෙන් දැනගන්නට ලැබුණි.
මාවරල තැපැල් ස්ථානාධිපතිනී එම්.ටී. චතුරිකා, රොටුම්ඹ තැපැල් ස්ථානාධිපතිනී දීපිකා තෙන්නකෝන්, එහි තැපැල් සේවක ඒ.ජී. චන්ද්‍රකුමාර සහ දියෝනිස් මහතාගේ පුතුන් ජේ.කේ. පියසේන, ජේ.කේ. ජයන්ත යන මහත්ම මහත්මීන් සහ පයාගල ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැක්වූ සහායට බෙහෙවින් ස්තූති කරමි.
හේරස් ප්‍රනාන්දු