වසර 110 ආයු විඳ රැජිණක් වගේ අවසන් ගමන ගිය දෙයිවානි


110 වැනි උපන්දිනය දා....


දෙයිවානි මාතාව


 

රාසලිගම් මල්ලිකා


 

ත්‍යාගරාජා


 

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුදුකෝ‍ට්ටෙයි ග්‍රාමයේ ඉපදුණු, දෙයිවානි රාමසාමි නමැති තාත්තත් එක්ක ලංකාවට එනකොට වයස අවුරුදු 4 යි. වත්තේ කම්කරු රස්සාවට යනකොට වයස අවුරදු 8 යි.

තේ පඳුරක් තරම්වත් උස නැති මේ කෙල්ල පිටේ වේවැල් කූඩය එල්ලාගෙන දළු කඩද්දි, කංකානි ගෙන් වේවැල් පහර කාපු අවස්ථා බොහොම යි. වෙනත් වරදක් නිසා නොවේ, නියමිත දළු රාත්තල් ගණන කඩපු නැති නිසා.

මේ සියලු දුක දරාගෙන වැඩ ඉගෙන ගත්ත දෙයිවානි, යොවුන් වියට පා තබද්දි - වත්තේ වැඩියෙන්ම දළු කඩන දක්ෂතම දළු නෙළන්නිය බවට පත්වෙලා. මුත්තුත් එක්ක දීග කන්න පටන් ගන්නකොට වයස අවුරුදු 15 යි. ඊට පස්සේ නම මුත්තු දෙයිවානි ලෙස වෙනස් වෙලා.

දෙමාපියන්ගේ බලකිරීම නිසාම තමයි යුග දිවිය පටන් ගත්තෙ. දෙයිවානි මාතාව මේ තොරතුරු මාත් එක්ක බෙදා ගත්තේ මීට අවුරුදු 2 කට විතර ඉස්සර.

ඇය තවත් තොරතුරු කිව් හැටි මට මතකයි. දෙයිවානි මාතාවගේ කතාවට මම එදා ආශාවෙන් සවන් දුන්නා.

“ඉස්සර කාලේ වතු පාලනය කළේ සුදු මහත්තුරු. තේ වත්ත හරිම ලස්සනයි. අපි හිටියේ ලයිම් කාමරවල. ගොම මැටි ගාලා බොහොම පිරිසිදුව ලයිං කාමර තියාගත්තා. සුදු මහත්තය අශ්වයා පිටින් ඇවිත් ලයිංවල පිරිසිදුකම ගැන පරීක්ෂා කරනවා. අපිරිසිදුව තිබුණොත් දඩ ගහනවා.

හැබැයි ඒ කාලේ - මේ කාලේ වගේ නොවෙයි, අපි හරිම සතුටින් හිටියා. හාල් සලාකය, පිටි සලාකය වත්තෙන් ම දෙනවා. දර ටිකත් වත්තෙන්. තේ කොළ ටිකත් වත්තෙන්. අනෙක් බඩු වල මිලත් හරිම අඩුයි. අපි නම් වැඩිපුරම කෑවේ බත් සහ කඩල ඇතුළු ධාන්‍ය වර්ග. ලෙඩ දුක් අඩුයි.”

“අපේ රටට නිදහස ලැබුණට පස්සේ ටික කලක් හොඳට තිබුණත් දැන් නම් වතු විනාශයි. මම දැන් ඉන්නේ ස්ප්‍රිංවැලි වත්තේ. කෝට්ටගොඩ කොටසේ. පෙනෙන මානයේ තියෙන කර්මාන්ත ශාලාව ඇටසැකිල්ලක් වගේ. කම්හල වැහිලා විනාශ වෙමින් තිබෙනවා. මේ වගේ තේ කම්හල් ගොඩාක් වැහිල කියල මුණුබුරාල කියන කොට මගේ හිත හෝස් ගාල පත්තු වෙනවා.”

“දැන් දරුවන්ට පෝෂණය නැහැ. දරුපැටව් නිතර නිතර ලෙඩ වෙනවා. බඩු මිල හිතන්න බැරි තරම් ඉහළට ගිහිල්ල. දරුවෝ, දරුවන් ගේ දරුවො - ඒ දරුවන්ගෙත් දරුවො, දුක් විඳින හැටි බලන්න මාත් පව් කරලා තියෙනවා කියල‍ වෙලාවකට හිතනෙවා.”යැයි දෙයිවානි මාතාව එදා කීවාය.

අවසන් වරට මා ඇය ගැන “ඉරිදා ලංකාදීපය”ට වාර්තා කරන විට ඇගේ වයස අවරුදු 108 ක්. නිවස ඉදිරියේ කුඩා මිදුල අතුගා පිරිසිදු කළ හැටි, කුකුල් කූඩුවට රිංගා බිත්තර අරන් එළියට ආ හැටි, සිනා සිසී අතීතය සිහිපත් කළ හැටි - මට කිසි‍ දින අමතක වෙන්නේ නැහැ.

දරුවන් හත් දෙනෙක්, මුනුබුරු මිනිබිරියන් 45දෙනෙක්, හතරවැනි පරම්පරාවේ දරු පැටව් 15දෙනෙක්, දැකීමේ පිණ සමග වසර 110 ක් දීර්ඝායු ලැබූ දෙයිවානි මාතාව ඉකුත්දා දිවි ගමනට සමු දුන්නේ ස්ප්‍රිංවැලි වත්තේ ජනයා පමණක් නොවෙයි, අවට ගම්මානවල හිතවත් ජනයා ද හඬවමින්. මළගම දා රාසලිංගම් මල්ලිකා නමැති මිනිබිරිය දෙයිවානි මාතාව ගැන විස්තර කිව්වේ මෙහෙමයි.

“ආච්චිට කවදාවත් ලෙඩක් හැදුණේ නැහැ. හරිම නිරෝගියි. අපේ දරුවන් පවා බලාගත්තේ ආච්චි. ගෙදර වැඩත් කරගෙන හොඳට හිටියා. ආච්චිගේ 103 වැනි උපන් දිනය අපි ලස්සන ට සූදානම් කරගෙන ඉන්න කොට ඉන්දියාවේ හිටිය පුතෙක් (මගේ මාමා කෙනෙක්) නැතිවුණා කියල ආරංචි වුනා. ඒ නිසා අපි එම උපන් දිනය සැමරුවේ නැහැ. එම මරණය ගැන ආච්චි මැරෙනකල්ම දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි අපි ආච්චිගේ 110 වැනි උපන් දිනය නියමෙට ගත්තා. හරිම ලස්සන කේක් හදල කෑම වර්ග ගොඩක් හදලා ලංකාවේ ඉන්න දරුවො මුනුබුරු මිනිබිරියෝ එක්ක එදා අංච්චි හරිම සතුටින් හිටියා.

ඉන්දියාවේ ඉන්න දුවකගේ පුතෙක් එම උපන් දිනයට එන්න බැරිවුණු නිසා ආවේ දින කීපයක් ගියාට පස්සෙ. එයා ළඟ සිටියදීම ආච්චි මියගියා. වයස නිසා මෙම මරණය සිදුව ඇති බව තීරණය වුනා. ඉන්දියාවේ සිට පැමිණි මුනුබුරා උපන් දිනයට ගෙනා ලස්සන සාරිය එයා විසින්ම හඬ හඬා ආච්චිගේ මිනිය උඩ ඇතිරුවා.”යැයිද මල්ලිකා කිව්වා.

ත්‍යාගරාජා නමැති මුනුබුරා ආච්චි ගැන තවත් දේ කිව්වා.

“ ආච්චි දේව ගීත, නැලවිලි ගීත ලස්සන ට ගායනා කරනවා. සමහර වෙලාවට ආරූඩ වෙලා භක්තියෙන් නටනවා. දරුවන්, දරුවන්ගේ දරුවන් , ඒ දරුවන්ගේත් දරුවන් බැලුවොත්, දරු පරපුර 60 ක් විතර ඇති. හැබැයි වැඩි දෙනෙක් ඉන්නේ ඉන්දියාවේ.

සමහරු අපිවත් දැකල නැහැ. මේ මරණය අපිට දුකත් සතුටක් දෙකම තියෙනවා”. යැයි ද මුනුබුරා කිව්වා.

මළගමට සහභාගි වූ මටද ඇති වූයේ බලවත් කම්පාවක්. ගෞරවනීය ලෙස මිල වැඩි මිනී පෙට්ටියක මිනිය තැන්පත් කර තිබුණා. වැළ නොකැඩී වත්තේ ජනතාව පැමිණෙමින් සංවේගය බෙදා ගත්තා. දින තුනක් තිස්සේ මෘත දේහයට බුහුමන් දැක්වීම සඳහා වත්තේ ජනතාව මෙන්ම ස්ප්‍රිංවැලි සහ කෝට්ටගොඩ ගමේ ජනතාව ද පැමිණි බව දැනගන්නට ලැබුණා. හින්දු චාරිත්‍ර අනුව පූසාරිවරු විසින් ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු දේහය තැන්පත් කළේ මලින් සැරසූ දෙනක.

ඉන්දියාවේ ප්‍රභූවරුන්ට පමණක් භාවිතා කරන දෙණ මෙන් මෙම දෙණ සකස් කළ බව දැනගන්න ලැබුණා. අවමංගල පෙරහැර ලයින් පෙළ දිගේ මහ පාරට රැගෙන ආවා. ඉදිරියෙන් ම ගමන් කළේ බෑන්ඩ් කණ්ඩායමක්. සාමාන්‍යයෙන් වත්තේ මරණවල දී භාවිත කරන මළ වාදනය වෙනුවට බෑන්ඩ් එකක් ගෙනාවේ සතුට පළකරන්න බව ඇතමුන් කිව්වා.

“ඇයි ඒ සතුට” කියල ඇහුවම ඔවුන් කිව්වේ “ඇයි අනේ සතුටු නැද්ද, මේ වගේ කාලයක් ජීවත් වූ වෙනත් කෙනෙක් නැහැණේ” කියලයි.

මළ ගමට සහභාගි වූ පවුලේ අය මෙන්ම හිතවතුන් හඬනවා. යළි සාම්ප්‍රදායික ගී ගයමින් අත්පොලසන් හඬ මුසු කරමින් සතුටුවෙනවා.

“ඇයි ඒ ..... ?” මම ඇහුවා.

තේ වතුවල හින්දු ජනයාගේ විශ්වාසය වෙන්නේ, එසේ සතුටු වෙන විට මියගිය ඇත්තන්ට යහපත් ආත්මයක් ලැබෙන බව යැයි ඔවුන් කිව්වා. දිනෙන් දින මිනිසුන්ගේ ආයු කාලය කෙටි වෙද්දී දෙයිවානි මාතාව දීර්ඝායු ලැබීම ඇත්තෙන්ම සනුහරේට ම සතුටක්. වත්තට රැජිනක් වූ ඇගේ සෙනෙහස අහිමිවීම නම් කාටත් දුකක්. ජීවිතය ලබාදුන් තේවත‍්තේ තේ පඳුරු මැද තනිවූ සොහොන් බිමේ සැතපී තේ වත්තට ම පොහාර වෙන්නට දෙයිවානි කෘතවේදී වුණා. 

විනාශ වන කෝට්ටගොඩ තේ කම්හල


බදුල්ලේ 
    පාලිත ආරියවංශ