මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යයි. ගෝලීය උණුසුම ඉහළ යෑම එසේ මෙසේ දෙයක් නම් නොවෙයි. ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස, වසර 2100 වනවිට නිල්වන් මැණික් කැටයක් සේ අභ්‍යවකාශයේ දිස්වන පෘථිවිය, තද කොළ පැහැයට හැරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නිල් පැහැයෙන් දිදුළන පෘථිවිය කොළ පැහැයට හැරෙන්නේ, සාගර කොළ පැහැයක් ගන්නා බැවිනි. පෘථිවියෙන් සියයට 70 ක් ඇත්තේ සාගරය යි. සාගර වර්ණය මෙසේ වෙනස් වන්නේ ඉතා කුඩා සාගර ජීවීන් විශේෂයක් නිසාය. මේ කුඩා ජීවීන් ඇල්ගී විශේෂයකි. ’ප්ලවාංග’ යනුවෙන් මොවුන් නම්කරයි. ‘ප්ලවාංග’ ලොව පුරා සාගරවල දක්නට ලැබේ. උණුසුමින් පිරුණු නිවර්තන සාගර කලාපයේ ජීවත් වන්නේ නිල් පැහැති ‘ප්ලවාංග’ විශේෂයක් වන අතර, ධ්‍රැව ආසන්නයේ සාගරවල ජීවත් වන්නේ කොළ පැහැති ‘ප්ලවාංග’ විශේෂයකි.
ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුකොට ගනිමින් නිවර්තන කලාපයට අයත් සාගරයේ ජීවත් වන නිල් ප්ලවාංග මියයෑම මේ වනවිට ආරම්භ වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ධ්‍රැව ආශ්‍රිත කොළ පැහැති ප්ලවාංග සෙසු සාගර වෙත පැතිරීමට පටන් ගෙන ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම ප්ලවාංග කොළ වර්ණය පිට කරයි. ඒ අනුව - උඩු ගුවනේ සිට හෝ බලද්දී, ලොව සියලුම සාගර, මුහුදු, ගංගා, ඇළ දොළ, වැව් පොකුණු ආදිය ද කොළ පැහැයෙන් දිස්වනු ඇත.
සාගර ජීවීන් බොහොමයක ගේ ආහාරය වන්නේ මේ ප්ලවාංග ය. ප්ලවාංග අධික ලෙස බෝවීම ඒ අනුව පාලනය වෙයි. ප්ලවාංග විශේෂ කිහිපයක් සාගරයේ ජීවත් වන නිසා සමබරතාවක් ද පවතී. ගෝලීය උණුසුම හේතුවෙන් නිල් ප්ලවාංග විනාශ වී, කොළ පැහැති ප්ලවාංග වැඩියෙන් පැතිරෙන්න පටන්ගැනීම උග්‍ර පරිසර අර්බුදයක් වනු ඇති අතර, අධික ලෙස පැතිරී යන කොළ පැහැති ප්ලවාංග සාගර ජීවීන්ට අහිතකරය.
“මේක සුළුවෙන් තකන්න බැහැ. බොහොම බරපතළ තත්ත්වයක්. මේ කුඩා ඇල්ගී හේතුවෙන් පෘථිවියේ පරිසර පද්ධති මුළුමනින්ම අවුල් වේවි. අවසානයේ දී මිනිසා ඇතුළු පෘථිවි ජීවීන්ගේ අවසානය පවා තීරණය කිරීමට මෙම කුඩා ඇල්ගී විශේෂයට හැකි වේවි” යැයි ඇමෙරිකාවේ මැසචුසෙට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටෙෆනී ඩුඩ්කිවිට්ස් පැහැදිලි කරයි. බ්‍රිතාන්‍යයේ ’ද සන්’ පුවත් වෙබ් අඩවිය ඔවුන් ගේ මෙම වාර්තාව සකස් කර ඇත්තේ මැසචුසෙට් විශ්ව විද්‍යාලයේ සහ සාගර ජීව විද්‍යාඥයන් සිදු කළ පර් යේෂණ පාදක කර ගනිමින් යැයි ද පැවැසෙයි.
ඇමෙරිකන් විද්‍යාඥයන්ගේ වාර්තා පාදක කර ගනිමින්, බ්‍රිතාන්‍යයේ ද සන් වෙබ් අඩවිය වසර 2100 දී පෘථිවියට එල්ල වන ඇල්ගී ආක්‍රමණය ගැන බිය පළ කරද්දී, මෙම ඇල්ගී සම්බන්ධයෙන් පළමුවෙන් අනතුරු ඇඟවීමක් ගැන අසන්න ලැබුණේ මීට අවුරුදු 10 කට පෙර එනම් 2015 දීය. 2015 අගෝස්තු මාසයේ, සැතපුම් 488 ක් ඉහළින් පෘථිවි කක්ෂයේ ගමන් කරමින් තිබුණු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් ගත් ඡායාරූපවල බිහිසුණු දිය සුළියක වැනි යමක් දකින්න ලැබුණි.
ඡායාරූප ගන්නා අවස්ථාවේ දී චන්ද්‍රිකාව ගමන් කරමින් තිබුණේ බෝල්ටික් සාගරයට ඉහළිනි. එය වායු ගොලයේ කැලඹීමක් යැයි විද්‍යාඥයෝ මුලින් සිතූහ. කෙසේ නමුත් එය වායු ගෝලයේ කැලඹීමක් නොවිණි. බැලූ බැල්මට එය දිය සුළියක් ද නොවිණි. ඊට හේතුව, අසාමාන්‍ය වර්ණයයි. චන්ද්‍රිකාවට දකින්න ලැබුණු සුළිය දීප්තිමත් ලුමිනස් කොළ පැහැයෙන් යුක්ත විය. ඡායාරූප අනුව නම් එය සාගරය කලඹමින් මීටර් දහස් ගණනක් පුරා එය විසිරී පැතිරී පවතී. ඡායාරූප දකින්න ලැබීමෙන් භූ විද්‍යාඥයෝ පමණක් නොව සාගර ජීව විද්‍යාඥයෝ ද මවිත වූහ. ඔවුන්ගේ උනන්දුව ඊට යොමු වූයේ අසාමාන්‍ය දීප්තිමත් කොළ වර්ණය නිසාය. ලොව ප්‍රධාන පෙළේ භූ විද්‍යාඥයෝ කිසිවකු මීට පෙර මෙවැනි දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත අද්භූත සුළියක් දැක තිබුණේ නැත. ඒ අනුව, බෝල්ටික් සාගරය කලඹන මේ දිය සුළිය කුමක්දැයි සෙවීම ලහි ලහියේ ආරම්භ විය.
බෝල්ටික් මුහුද අයත් වන්නේ අත්ලාන්තික් සාගරයට ය. බෝල්ටික් රටවල් ලෙස සැලකෙන ස්කැන්ඩිනේවියානු රටවල්, ෆින්ලන්තය, ලැට්වියා, ලිතුවේනියා, එස්තෝනියා වැනි යුරෝපා රටවලට මැදිව බෝල්ටික් මුහුද පිහිටයි. ඒ වර්ග කිලෝ මීටර් 3,77,000 ක් පුරාය. බෝල්ටික් මුහුදේ උපරිම ගැඹුර අඩි 1,506 කි. දූපත් රැසක් ද පිහිටා ඇත. බෝල්ටික් මුහුද අබිරහස් පිරි ගුප්ත තැනක් පමණක් නොව, නැව් ගිලින තැනක් බවට ප්‍රකටය. මුහුදු පතුළේ ඇත්තේ නැව් සොහොනකි. දහස් ගණනක් නැව් බෝල්ටික් මුහුද විසින් ගිල ගෙන ඇතැයි පැවැසෙයි. සීතල ප්‍රචණ්ඩ බෝල්ටික් මුහුදේ ගමන්කිරීමට ඉදිරිපත් වන්නේ නිර්භීත නාවිකයන් අතරින් ද කීප දෙනෙකු පමණි.
දිය සුළියේ අබිරහස විසඳෙද්දී, උඩු ගුවනට දිස්වුණු එම කොළ පැහැති සුළිය, දිය සුළියක් නොවන බවත්, රසායනික විෂ කාන්දුවක් නොවන බවත්, ඊට වඩා බිහිසුණු දෙයක් බවත් අනාවරණය විය. මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ විෂ රසායනවලටත් වඩා බිහිසුණු එය, ස්වභාවිකය. දීප්තිමත් කොළ පැහැයෙන් දිය සුළියක් සේ දකින්න ලැබුණේ ඇල්ගී විශේෂයකි.බෝල්ටික් මුහුදේ දීප්තිමත් කොළ පැහැයෙන් යුත් සුළියේ අබිරහස විසඳූ සාගර ජීව විද්‍යාඥයෝ අවසන් වරට මෙසේ පැවැසූහ. “බැලූ බැල්මට ඒක හරිම ලස්සනයි. දීප්තිමත් කොළ පැහැය. නැහැ. ඒක ලස්සන නැහැ. ඒක තමයි මරණයේ පැහැය.”
සුළිය නිර්මාණය වූයේ ක්ෂුද්‍රජීවීන් බිලියන ගණනක් එක්වීමෙනි. සුළිය වර්ග සැතපුම් 1,45,000 ක් පුරා පවතී. දිය රැළි මගින් මෙම ඇල්ගී බෝල්ටික් මුහුදේ සිට ලොව පුරා සෙසු මුහුදු සහ සාගරවලට ව්‍යාප්ත වේවි. ඉදිරියේ දී දීප්තිමත් කොළ පැහෙන් යුත් දිය සුළි මෙන් වැඩි වැඩියෙන් දකින්න ලැබේවි යැයි විද්‍යාඥයෝ 2015 වසරේ දී අනතුරු ඇඟවූහ. ඇල්ගී ගමන් කරන සැම තැනම සිදුවන්නේ විනාශයයි. ඒවා ජලයේ ඇති ඔක්සිජන් උරා ගනී. එවිට ජලජ ශාක ජීවීන් ආදී සියල්ල මියයයි. සාගරය අමු සොහොනක් බවට පත් කරනු ඇත.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි