වසර දහසකට එහා නගරයකට යමු





මධ්‍යකාලීන යුගයේ දී, එනම් මීට වසර දහසකට වඩා එහා වූ යුගයේ දී මිනිසුන් වාසය කළ නිවාස කෙසේ තිබෙන්නට ඇතිද? පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි අනුව ඒ ගැන අපට යම්කිසි අදහසක් ගත හැකිය. නමුදු ඒ පුරාතන යුගවල ස්වරූපය කිසිදාක අපට සැබෑ  ලෙස දැක ගත හැකි නොවන්නේ - ස්වභාව ධර්මයට අනුව ඒ සියල්ල ශේෂ වූ නටඹුන් පමණක් වන බැවිනි. කෙසේ වුවද අප ඔබ කැඳවාගෙන යාමට සූදානම් වන්නේ මධ්‍යතන යුගයේ හෙවත් මධ්‍යකාලීන යුගයේ පැවැති ගම්මානයක් වෙතය. මෙම ගම්මානය වත්මනෙහි සංචාරක විස්තර ගෙන එන ලෝ ප්‍රකට වෙබ් අඩවි මෙන්ම ටී.වී. නාළිකා ඇතුළු මාධ්‍ය විසින් හඳුන්වනු ලබන්නේ ලෝකයේ ඇති ලස්සනම ගම්මානයක් ලෙසිනි. 

නේක තැන්හි සැරිසැරීමේ පිපාසාවෙන් සිටින බොහෝ සැරිසරන්නන් රංචු ගැසී මේ ගම්මානය නැරඹීමට පැමිණීම නිසා අද ඒ ගමනාන්තය සංචාරකයන්ගේ පාරාදීසයක් වී තිබේ. 

ඇකඩමි සම්මාන ගණනාවක් දිනූ ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් (The Lord of the Rings)  සිනමාපටය නැරඹුවේ නම්, එහි කතාව අනුව නිර්මාණය කළ පසුතලයක දී මෙවැනි ගම්මානයක් දැකගත හැකි වූ බව සමහරුන්ගේ අදහසය. එහෙත් එය සිනමා නිර්මාණයකට යොදා ගත් නිර්මාණය කරන ලද පසුතලයකි. මෙය මධ්‍යකාලීන යුගයේ සැබෑ හැඩය, ස්වරූපය ගත් ගම්මානය එම චිත්‍රපටයට යොදා ගත්තක් නොවේ. වසර දහස් ගණනාවකට එහා යුගයක පැවැති ආකාරයෙන්ම  පවතින  ගම්මානයකි. එම ස්වරූපයෙන් මෙම ගම්මානය පවත්වාගෙන යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සංචාරක ආකර්ෂණය නතුකර ගැනීමේ අපේක්ෂාවෙන්ය. 

සබියෝන් (Sabbione) 

සුරංගනා කතාවක සඳහන් කර ඇති ගම්මානයක් මෙන් මෙම සබියෝන් අලංකාරය. ඒ සොඳුරු ගම්මානය දැක බලා ගැනීමට නම් මුලින්ම ස්විට්සර්ලන්තය වෙත යා යුතුවේ. යුරෝපයේ ඇති සිහින රාජ්‍යයක් වන්නේ ස්විට්සර්ලන්තයයි. එතරම්ම ලස්සන පාරාදීසයක් වන බැවින් සෑම සෘතුවකදීම එරටට පැමිණෙන සංචාරකයෝ බොහෝ වෙති. ඉතිහාස රසයට ආසා කරන සංචාරක සැරිසරන්නෝ මේ සබියෝන් වෙත යාමට අමතක නොකරති. ස්විට්සර්ලන්තයේ පරිපාලනමය අග නගරය වන්නේ ’බර්න්’ය. එතැන් සිට සබියෝන් වෙත යාමට පැය හතරකට ආසන්න කාලයක් ගතවේ. ජිනීවා නගරයේ සිට ඇති දුර කිලෝ මීටර් 321 ක් පමණ වන අතර, පැය පහක පමණ කාලයක් ගතවේ. සුරිච් නගරයේ සිට ගමන් අරඹන්නේ නම් ගතවන කාලය පැය 3කට ආසන්නය. ස්විස්  රාජ්‍යයේ ඇති සබියෝන් (Sabbione) සහ ඉතාලියේ වෙරළ කලාපයේ ඇති නගරයක් වන සබියෝන් (Sabbione) යනු ස්ථාන දෙකකි. එනිසා සබියෝන් ඇත්තේ ඉතාලියේ ද? නැතහොත් ස්විට්සර්ලන්තයේ ද යන්න මුලින්ම දැනසිටීම වැදගත්ය. අප විස්තර කිරීමට සූදානම් වන ලොව සොඳුරුතම ගම්මානවලින් එකක් වන සබියෝන්  ඇත්තේ ස්විට්සර්ලන්තයේ වන අතර වෙරළ තීරයක් සතු සංචාරකයන් බහුලව ගැවසෙන කලාපයක් වන සබියෝන් ඇත්තේ ඉතාලියේය. එය හැඳින්වෙන්නේ පුනාටා සබියෝන් (Punata Sabbione)  නමිනි. ඒ ගැන දැනගෙන අපි ස්විට්සර්ලන්තයේ සබියෝන් වෙත යමු. 

 ස්ටෝන් විලේජ් 

සබියෝන් හැඳින්වෙන්නේ ’ස්ටෝන් විලේජ්’ යනුවෙනි. එහි යාමට ඇති මාර්ග (ඇවිද යාමට ඇති) සියල්ලක්ම පාහේ තනා ඇත්තේ ගල් යොදා ගෙනය. ඒ දෙපස ඇති බැමි සඳහා යොදා ගෙන ඇත්තේ විවිධ ප්‍රමාණයේ විවිධ හැඩැති කළුගල්ය. මෙහි ඇති නිවාස බොහොමයක් තනා ඇත්තේ කළුගල් පමණක් යොදාගෙනය. වහලයට පවා එලෙසින් කළුගල් යොදා තිබීම විශේෂත්වයකි. ඇතුළු වීමේ දොරටුව සහ ලී භාවිතයෙන් තැනූ දොර - ජනෙල් සමහර ගෙවල්වල දක්නට ලැබේ. මෙම ගෙවල් එතරම් විශාල නොවූ ඒවාය. වසර ගණනාවක් පැරණිව නිසා දිරාපත්වී ශේෂ වූ සමහර ගෙවල් සඳහා පමණක් බිත්ති බැඳ ඇත්තේ මූලික කළුගල් නිර්මාණ සැලසුමට හානි නොවන පරිදිය. 

මෙම සබියෝන් ගම්මානය වසර 5000ක ඉතිහාසයක සිට ජනාකීර්ණව පැවත එන වග ස්විට්සර්ලන්තයේ පුරාවිද්‍යා වාර්තාවලට අනුව සඳහන් වේ. මේ මිටියාවත පුරාතන යුගයේ  ජනයාගෙන් බහුලව පැවැති ඇත්තේ එකළට අනුව මෙම කළු ගල් නිවාස විශිෂ්ට ගෘහ නිර්මාණ සැලසුම් වූ නිසා විය හැකිය. ඉතා කුඩා සංචාරක නගරයක් ලෙස අද සංවර්ධනය වී ඇති සබියෝන්ට යාබද කැන්ටන් සහ ටිචිනෝ නරවාසීන්ට නම් සැබැවින්ම සබියෝන් යනු ජිනීවාහි තරු හතේ හෝටල ඇති ස්ථානයකට වඩා අගනා තෝතැන්නකි. 

සුරිච් හෝ ජිනීවා හෝ ස්විට්සර්ලන්තයේ වෙනත් සුපිරි නගරයක දී ජීවත් වනවිට ගෙන දෙන්නේ, අති සුඛෝපභෝගී ජීවන රටාවක පහස බව සැබෑය. එහෙත් එවැනි තැන්වලදී අප ගත කරන්නේ සොබා දහමෙන් ඈත් වූ ජීවන රටාවකි. ස්විට්සර්ලන්තයේ බැලූ බැලූ දසත සුන්දර වුව ද සොබා දහමේ රසය ආස්වාදය කිරීමට සුඛෝපභෝගී ස්වභාවයට පුළුවන්කමක් නැත. එනයින් ගත් කළ මෙම ‘ගල් ගම්මානය’ හෙවත් ස්ටෝන් විලේජ් යනු සොබා දහමට සමීපව ස්වභාවික පරිසරයක ආස්වාදය රිසිසේ විඳගත හැකි සංචාරක ගමනාන්තයකි. සබියෝන් වෙත පැමිණෙන බොහෝ සංචාරකයන් ජංගම දුරකථනයේ ඇලී ගැලී සිටීමට පවා අකමැති වග දැක ගත හැකිය. 16 වැනි සියවසේ දී සබියෝන් අධික ශීතල නිසා ඝනීභවනය වී තිබූ ප්‍රදේශයකි. මෙම පළාත පිහිටා ඇති පරිසර ස්වභාවය අනුව විටින් විට කාලගුණයේ වෙනස්වීම් සිදු වුවද ඒ ස්වභාවය නරඹන්නන් හටගෙන දෙන්නේ වඩාත් ප්‍රීතිමත් හැඟීමක ආස්වාදයයි. මෙම ’සබියෝන්’ පුරාතන නගරය පිහිටා ඇත්තේ  බවෝනා (Bavona) නිම්නයේය.  කඳු සහ ගස්වලින් වට වූ ඒ නිම්නයට මැදිව පිහිටි නිසා එතැනට ගිය පසු දැනෙන්නේ ලෝකයෙන්  තනිවී හුදෙකලා වී වෙනමම තැනක සිටින්නාක් මෙන් වූ හැඟීමකි. මෙහි සැරසරන්නන් වචන පිට කරන්නටවත් අකමැති වන්නේ සහ ඉහත කී පරිදි ජංගම දුරකථන පවා භාවිතයට මැළිකමක් දක්වන්නේ එබැවිනි. 



‘සබියෝන් ගල් ගම්මානය හෙවත් ස්ටෝන් විලේජ් යනු එරට ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති කලාපයකි. ගල් මත ගල් අතුරා එදවස තැනූ ඒ නිවෙස්වලට අමතරව විශාල කළුගල් පර්වත යට කොටස නිවෙස් ලෙස තබා ඇති අයුරු අප මවිතයට පත් කරවන්නකි. වසර දහස් ගණනකට පෙරදී මෙවැනි නිවාස බොහෝ විට භාවිත කර ඇත්තේ බල පුළුවන්කාර උදවිය යැයි විශ්වාස කළ හැකිය. අයිස් යුගයෙන් පසුව ගල්යුගය යන කාලවල දී මේවා තනන්නට ඇතැයි අනුමාන කෙරේ. පුරාවිද්‍යාව සහ ඉතිහාසය සොයා ගවේෂණය කරන ඉතිහාසකාමීන්ට සෙවුම් බැලු‍ම් කිරීමට මෙහිදී ඇති දේ බොහෝය. එහිදී මග දෙපසට යොදා ඇති ගල්වල ප්‍රමාණය ඇවිදයන මගට යොදා ඇති ගල් හැඩය, නිවෙස්වල බිත්ති ඇතිරීමට යොදාගත් ගල් වර්ග සහ ප්‍රමාණය, හැඩය ගැන දැන ගත හැකි දේ කරුණු කාරණා බොහෝය. සබියෝන්හි කුඩා දේවස්ථානයක් වැනි ස්ථානයක් ද දැකගත හැකිය. එය එදවස දේශන ශාලාවක් ලෙස භාවිත කළ ස්ථානයකි. 

දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවර වූ සංචාරක තෝතැන්නක් වුවද මෙම රමණීය සබියෝන් ගම්මානයේ පවුල් කීපයක් වෙසෙන බවද  දැකගත හැකිය. පුරාතනයේ දී ගලින් තනා ඇති ගල් නිවාස ඇත්තේ සංචාරකයන්ට දැක බලා ගැනීම වෙනුවෙන්ම පමණකි. 

ඊට හේතුව උණුසුම උත්පාදනය කරන තාපක උපකරණ මේවායෙහි සමහර නිවෙස්වලට සවිකළ නොහැකි නිසාය. එදවස තාපක යන්ත්‍ර නොතිබුණ කාලයේදී  ශීත සමය කෙසේ ගත කළේද යන්න සිතා ගත නොහැකි කරුණකි. 

‘සබියෝන්හි අසිරිය නැරඹීමට එහි පැමිණෙන සංචාරකයන් හට නවාතැන් ගැනීමට ඇත්තේ කාමර දෙකකින් හෝ එකකින් සමන්විත නිවෙස්ය. මහල් දෙකක් හෝ තුනකින් සමන්විත නවාතැන් ස්ථාන ද වේ. සතියක කාලයක් සඳහා ’එපාර්ට්මන්ට්’ ස්ථානයක් වෙන් කරවා ගතහොත් ඒ වෙනුවෙන් ලංකා මුදලින් ලක්ෂ තුනකට වඩා ගෙවිය යුතුවේ. එහි කාමර දෙකක් අයත් වන අතර, පස් දෙනකුට හෝ හය දෙනකුට සුදුසු පරිදි සකසා ඇත. 

පුරාතන යුගයට අපව කැඳවාගෙන යන සබියෝන් වෙත ස්විට්සර්ලන්තයේ සංචාරක අංශ ලබා දී ඇති ප්‍රචාරණය නිසා එම පළාත සංචාරක පුරවරයක් වී ඇත. අප රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඒ කටයුතු බාර අංශ තවමත් සිටින්නේ පසුගාමී තත්ත්වයකය. පුරාතන යුගයේ ගම්මානයකට ගිය අපට දැනුනේ එවැනි හැඟීමකි. 


සඳුන් ගමගේ