වික්ටෝරියා රැජිනගේ පදවි ප්‍රාප්තියට මිරිහානේ සිටවූ ජුබිලි කණුව


මිරිහාන ජුබිලි කණුව මංසන්දියේ හරි මැද පිහිටා තිබූ ‘ජුබිලි කණුව’ එතැනින් ඉවත්කොට වෙනත් ස්ථානයක ස්ථාපිත කර ඇත. මංසන්දිය දර්ශනීය ලෙස පුළුල් කොට විදුලි සංඥා සවිකර ඇති අයුරු.  

 

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නුගේගොඩ, මිරිහාන, සතර මංහන්දිය හඳුන්වනු ලබන්නේ ‘ජුබිලි කණුව’ යනුවෙනි. ස්ටැන්ලි තිලකරත්න මාවත (නුගේගොඩ පාර), මහරගම පාර, එක්වත්ත පාර සහ කෝට්ටේ පාර යන සිව් මාවත් මෙතැනදී මුහුණට මුහුණ බලා සිටී. ඒ මාවත් කරා දිව යන වාහන ගැටීම වළකනු පිණිස මේ මායිම් මංසලේ හරි මැද කණුවක් සිටුවා තිබුණි. උසින් අඩි පහක් පමණ වන මේ කණුව කළු ගලින් නිර්මාණය වූවකි. එය නිකම්ම ගල් කණුවක් නොව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටු වූ ඓතිහාසික ගල් කණුවකි. ඒ කණුවට ‘ජුබිලි’ නාමය ලැබීමත් රසවත් වූ කතාවකි. මේ ස්ථානය ගැන තොරතුරු සොයමින්, ඉතිහාසය පොත පත පෙරළා කියවීමේදීත්, ප්‍රදේශවාසී වයෝවෘද්ධයන් සමග සාකච්ඡා කිරීමේදීත් ඒ රසවත් තොරතුරු හෙළි විය.   


 අපේ රට මහා බ්‍රිතාන්‍යයට යටත්ව පැවැති යුගයේ මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාද එඩ්වඩ් කුමාරයාත්, කොබර් වික්ටෝරියා මේරිලුසියා කුමරියත්, අතර සරණ මංගල්‍යය හිරු නොබසින මහා අධිරාජ්‍යයේ මහා බ්‍රිතාන්‍යයේ මහා ඉහළින්ම, අත්‍යාලංකාරයෙන්ම පැවැතිනි. ස්වල්ප කලක් ඉක්මයත්ම මේ යුවළට හැඩැති, නැණැති, රුවැති, අතිශෝභමාන දුවක ලැබුණි. රාජකීය පවුලක, රාජකීය කුමරියක ලෙස ජන්ම ලාභය ලැබූ ඇයට ‘ඇලෙක්ස් සැන්ඩ්රියා වික්ටෝරියා’ කියා නම් තැබුණි. අතිශෝභමාන, සුපෙම්බර, පිංබර, මේ ඇලෙක්ස් සැන්ඩ්රියා වික්ටෝරියා සිය එකුන් විසි වියේදීම ඔටුණු පැළඳීමට තරම් වාසනාවන්ත වූවාය.   
 ක්‍රි.ව. 1838 ජූනි මස 28 වෙනිද‌ා හිරු නොබසින අධිරාජ්‍යයේ මහා බ්‍රිතාන්‍යයේ සිදු වූ මේ අභිෂේකය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.   


වික්ටෝරියා කුමරිය ඒ ලැබූ අභිෂේකය, බ්‍රිතාන්‍යයට පමණක් ​ සීමා වූවක් නොව සියලුම යටත් විජිත සහිත මුළු බ්‍රිතාන්‍යයටම රැජින ලෙස ලැබූ අභිෂේකයකි.   


 වික්ටෝරියා රැජින, බ්‍රිතාන්‍ය ඉතිහාසයට තවත් විශේෂත්වයක් එක් කළාය. එකුන් විසිවියේදී ලැබූ ඒ අභිෂේකය පුරා පනස් වසරක් එක දිගටම මහා බ්‍රිතාන්‍යයේ මහා රැජින ලෙස කල් යවමින් සියල්ලන්ම විස්මයට පත් කළාය. විශේෂත්වය එයයි.   


 මේ ජුබිලිය නිමිත්තෙන් මහා බ්‍රිතාන්‍යයේ පමණක් නොව සියලුම යටත් විජිතවලද, විවිධ මාදිලියේ සැණකෙළි උත්සව පවත්වනු ලැබීය. අපේ රට ද මේ වන විට මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූවේය. ඒ හේතුවෙන් අපේ රටේ ද විවිධ උත්සව සංවිධානය කෙරුණි. සිහිවටන ද පිහිටවනු ලැබීය.   
මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ද මිෂනාරී අධ්‍යාපනික කටයුතුවලින් පොහොසත්ව පැවතියේය. රාජපාක්ෂික ප්‍රදේශවාසීන් මෙන්ම, පාලක පක්ෂය ද එක්ව බ්‍රිතානය මහ රැජින ඇලෙක්සැන්ඩ්රියා වික්ටෝරියා කුමරියගේ අභිෂේකය වෙනුවෙන් ක්‍රි.ව 1887 දී මිරිහානේ මේ සිව්මංසලේදී එකී ජුබිලිය සිහිපත් කරනු වස් ‘ස්තම්භයක්’ පිහිටුවනු ලැබීය. එයයි මේ ‘ජුබිලි කණුව’. එද‌ා සිට මේ වනතුරු මිරිහානේ මේ සිව්මංසල ‘ජුබිලි කණුව’ නමින් හඳුන්වනු ලබයි.   


 මිරිහානේ මෙම ජුබිලි කණුව ‘ස්ථාපිත කරන සමයේ රටේ තවත් ප්‍රධාන ස්ථාන කිහිපයක සිහිවටන රැසක්ම බිහි කළේය. කොළඹ මහ නගර සභාව අබියස පිහිටි ‘වික්ටෝරියා පාර්ක්’ බිහිකර ඇත්තේ ද ඇලෙක්සැන්ඩ්රියා වික්ටෝරියා මහ රැජිනගේ රාජ ප්‍රාප්තික ජුබිලිය වෙනුවෙන්ය. පසුව එය වික්ටෝරියා රැජිනගේ පිළිරුවක්ද උද්‍යානයේ ස්ථාපිත කර තිබිණි. දැන් එම පිළිරුව උද්‍යානය පිටුපස කෞතුකාගාරය භූමියේ තැන්පත් කර ඇත.


‘විහාරමහාදේවි උද්‍යානය’ නමින් නම් කෙරුණි. කන්ද උඩරට මහනුවර වික්ටෝරියා දිය ඇල්ලත්, පෑලියගොඩ කැලණි පාලම වික්ටෝරියා පාලම නමින් නම් කිරීමත්, තවත් එවැනිම සිහිවටන දෙකකි.   
 වික්ටෝරියා මහරැජින අපේ රටේ බෞද්ධ ජනතාවගේ හඬට මැනවින් සවන් දුන් කෙනෙකු ලෙස ද පිළිගැනේ. කොළඹ - ගාලු පාරේ කළුතර පාලම අසල පිහිටි කළුතර බෝධිරාජයාණන් වහන්සේ, එද‌ා මෙද‌ා කාගේත් ගෞරවාදරයට පත්ව ඇති පූජනීය ස්ථානයකි. මේ අබියස කඳු මුදුනෙහි දැනට චෛත්‍යය පිහිටි බිමේ, එවකට පැවතියේ කළුතර දිසාපතිගේ ‘ඒජන්ත බංගලාවය’. මේ ඉංග්‍රීසි ජාතික සුදු පාලකයෝ ගාලු පාර පළල් කිරීමේ මුවාවෙන්, බෝධින් වහන්සේ කපා ඉවත් කිරීමට සැලසුම් කළහ. මෙය සැලවෙත්ම ප්‍රදේශවාසී සියලු බෞද්ධයෝ, ඊට විරෝධය පළකළහ.


එහෙත් ඒවා පළක් නොවුණි. එවකට මෙහි සිටි සුදු පාලකයෝ ඒ විරෝධතා ගණනකට නොගත්හ. ප්‍රදේශවාසීහු අනතුරුව ලිපි පෙත්සම් මගින්, මහා බ්‍රිතාන්‍යයේ විසූ ඇලෙක්සැන්ඩ්‍රියා වික්ටෝරියා මහ රැජිනට මේ සිද්ධිය දන්වා යැවූහ. කළුතර ජනතාවගේ භාග්‍යයට, බෝධිරාජයා කපා ඉවත් කිරීමේ තීරණය වහා අවලංගු කෙරුණි. අදත් කළුතර බෝධි රාජයාණන් වහන්සේ නිරුපද්‍රිතව වැජඹෙන්නේ එම තීරණය නිසාය. බෞද්ධයින්ගේ ප්‍රසාදය එද‌ා මහ රැජිණියට හිමි විය.   


 මහා බ්‍රිතාන්‍යයේ ඇලෙක්සැන්ඩ්‍රියා වික්ටෝරියා මහා රැජිනගේ අභිෂේක මංගල්‍ය අවස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජමහා විහාර ස්ථානයේ බිතුසිතුවම්වලට ද නැගී ඇති බව කියති. වික්ටෝරියා මහ රැජිනියට බෞද්ධයින් විරුද්ධත්වයක් පළ කළේ නම් විහාරස්ථානයක බිතුසිතුවමකට ඒ සිද්ධිය ඇතුළත් කරත් ද?   
අපේ රටේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචි, මිරිහානේ ඇඹුල්දෙණිය නිවස ද පිහිටා ඇත්තේ මේ ජුබිලිකණුව ආසන්නයේය. උදේ සවස එතුමා ගමන් කරන්නේ ද මේ සිව්මංසල පිහිටි ජුබිලි කණුව පසුකර ගෙනය. මෑතක සිට ජුබිලි කණුව හන්දියට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොද‌ා ඇත. එය හැමගේම සිත සුව පිණිස පවතී. ඒ සමගම, මේ මංසන්ධිය මෑතකදී දෙපස ගොඩනැගිලි කිහිපයක් ඉවත්කොට, සිව්මංසල පුළුල් කෙරුණි. සිව්මං සෑහෙන්න, මං තීරු සතර බැගින් පිළියෙල විය. පාළුවට ගොස් තිබුණ ජුබිලිකණුව, දැන් යෝධ පුරවරයක, විසිතුරු ශෝභමාන ස්මාරකයකි. ප්‍රදේශවාසීහු මේ ගැන ආඩම්බරයෙන් කතා කරති. රජයට ප්‍රශංසා කරති. මංසන්ධියේ විදුලි මාර්ග සංඥ‌ා දෙකක්ම සවි කෙරුණි. එද‌ා කුඩාවට පැවැති ජුබිලි කණුව මංසන්ධිය සතර දිග් භාගයට විහිදී ගිය පුළුල් මාර්ගවලින් යුත් දර්ශනීය නව නගරයක සිරි උසුලයි.   


 සිව් මංසල මධ්‍යයේ මෙතෙක් පිහිටි ඇලෙක්සැන්ඩ්‍රියා වික්ටෝරියා මහ රැජිනගේ අභිෂේක මංගල්‍යයය සිහිපත් කිරීමට, සියවස් කිහිපයකට ඉහත ස්ථාපිත කළ ‘ජුබිලි කණුව’ ද සංකේතවත්ව මහමග අසලම යළි සිටුවා ඇත.

 

 

 හේරස් ප්‍රනාන්දු