
එක් අවස්ථාවකදී (2014) ශූරතාව ද, අවස්ථා දෙකකදී අනු ශූරතාව ද (2009 සහ 2012) දිනාගත් ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ නොමැකෙන මතකයන් රාශියකට හිමිකම් කියයි. මේ දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලීන්හිදී එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ශූරතා 2 බැගින් ද, ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව එක් ශූරතාව බැගින් දිනාගෙන තිබේ.
2006 වසරේදී සිය මංගල විස්සයි20 තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාව, 2007 වසරේදී පැවැති පළමු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී දෙවැනි වටයෙන්ම ඉවතට විසිවිය. කෙසේ වුවත් 2009 වසරේදී දක්ෂ ලෙස තරග වදිමින් අනු ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකාව, 2010 වසරේදී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් විය.
2012 වසරේදී යළිත් වරක් අනු ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකාව, විස්සයි20 ලෝක ශූරයන් බවට පත් වූයේ 2014 වසරේදී දිනේෂ් චන්දිමාල්ගේ සහ ලසිත් මාලිංගගේ නායකත්වයන් යටතේය. ඉන් අනතුරුව 2016, 2021 සහ 2022 යන වසරවල සහභාගි වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලීන්හිදී ශ්‍රී ලංකාවට දෙවැනි වටයෙන් ඔබ්බට යෑමට නොහැකි විය.
මෙවර සිය 9 වැනි ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම, මේ දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලීන්හිදී දැක්වූ කැපීපෙනෙන දක්ෂතා සහ මුහුණදුන් සුවිශේෂී සිදුවීම් කිහිපයක් අපි මෙසේ පෙළගස්වන්නෙමු.
විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසයේ 7 වැනි ජාත්‍යන්තර තරගය, ශ්‍රී ලංකාව සහභාගි වූ මංගල විස්සයි20 තරගය ද විය. විස්සයි20 ක්‍රිකට් ආකෘතිය ලොවට හඳුන්වාදුන් එංගලන්තය එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදියා බවට පත් විය. 2006 වසරේ ජූනි මස 15 වැනිදා සදම්ප්ටන්හිදී රාත්‍රී තරගයක් ලෙස පැවැති එම තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙද්දී, පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද එක ලෙස දස්කම් දැක්වූ සනත් ජයසූරිය තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගනිමින් එංගලන්ත කණ්ඩායමට සිය මව්බිමේදීම අන්ත පරාජයක් උරුම කර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට සහභාගි වූහ. එක්දින තරගාවලියේදී සනත් ජයසූරිය, උපුල් තරංග සහ නායක මහේල ජයවර්ධන ශතක 2 බැගින් ලබා දිගින් දිගටම ලකුණු අතර සිටීම විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කදිම උත්තේජනයක් වී තිබිණ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට මහේල ගත් තීරණයට උපරිම සාධාරණයක් ඉටුකළ ජයසූරිය (41) සහ තරංග (34), ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 163 ක් දක්වා ඔසවා තැබීමට අඩිතාලම දැමූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 161 කට සීමා කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ, එංගලන්තයට පෙනි පෙනී තිබූ ජය ඔවුන්ගෙන් උදුරාගැනීමට සමත් වූහ.

විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව වසර 9ක් ද, තරගයක් ජයගත් වැඩිම ලකුණු පරතරයේ වාර්තාව වසර 12 ක්ද තමන් සන්තකයේ රඳවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 2007 වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැති පළමු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම එම වාර්තා ද්විත්වය පිහිටුවීය.
සැප්තැම්බර් මස 14 වැනිදා ජොහැන්නස්බර්ග්හි පැවැති එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 260 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිමේදී ඕවර 19.3 ක් අවසානයේ කෙන්යාව ලකුණු 88 කට සීමා කිරීමට ද සමත් වූහ. ඒ අනුව එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 172 ක වාර්තාගත ජයක් හිමිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් සනත් ජයසූරිය, අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වෙමින් පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 88 ක් රැස්කළේය. කුමාර් සංගක්කාර (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 75 ක්ද, නායක මහේල ජයවර්ධන (65) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 87 ක්ද එක් කළ ජයසූරිය, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ දැමුවේය.
ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ජෙහාන් මුබාරක් පන්දු 13 කදී නොදැවී ලකුණු 46 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 18 ඕවරය නිමා වන විට පන්දු 2 කදී ලකුණු 2 ක් පමණක් ලබාසිටි මුබාරක්, හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග 19 වැනි ඕවරයේදී ලකුණු 29 ක්ද, හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග 20 වැනි ඕවරයේදී ලකුණු 15 ක් ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබීය.

එය 2009 වසරේ එංගලන්තයේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය යටතේ පැවැති 8 වැනි තරගය විය. ඕස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 159 හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් සහ නායක කුමාර් සංගක්කාර සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටියහ. පන්දු 27 කදී ලකුණු 46 ක් ලබා සිටි ඩිල්ෂාන්, තමා මුහුණදුන් 28 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කළේ, කිසිවෙකු කිසිදා දැක නොතිබූ වෙනස්ම ආකරයේ පහරකින් පන්දුව හතරේ සීමාව කරා යවමිනි. නරඹන්නන් පමණක් නොව විනිසුරුවන් මෙන්ම ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු රකින්නන් පවා මවිතයට පත්කරමින් ෂේන් වොට්සන්ගේ පන්දුවකට ඩිල්ෂාන් එල්ල කළ එම පහර පිළිබඳව සජීවී විස්තර විචාරක කුටියේ සිටි අයෙක් මෙසේ පැවසීය.
“එය අවලස්සන, නමුත් ඉතාම විශිෂ්ට පහරක්. ලකුණු 50 සම්පූර්ණ කිරීමට නම් එය කදිම පහරක්. කඩුල්ල එල්ලයේ පතිත වූ ඉතාමත් හොඳ පන්දුවකට හිස නමා බිමට පහත්වී පිත්ත සිරස් අතට ඉහළට ඔසවමින් කඩුලු කරන්නාගේ හිසට ඉහළින් ඔහු එම පහර එල්ල කළා.
කඩුල්ල පසුපසට පිතිකරුවන් එල්ල කරන ‘පැඩ්ල් ස්වීප්’ සහ ‘අපර් කට්’ වැනි පහර ඔබ දැක ඇති. නමුත් මෙය ඊටත් වඩා අනතුරුදායක පහරක්.” ඒ අන් කිසිවක් නොව, ඩිල්ෂාන් විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් හඳුන්වා දෙන ලද ‘ඩිල් ස්කූප්’ පහරේ උපතය. තරගයෙන් අනතුරුව ඩිල්ෂාන් මාධ්‍යවේදීන් අමතමින් ඩිල්ෂාන් කියා සිටියේ එම පහර අහම්බයක් නොවන බවත්, දීර්ඝ කාලයක් පුරා තමා පුහුණු දැල තුළදී අත්හදා බැලීමෙන් අනතුරුව එල්ල කළ පහරක් බවත්ය. ජාත්‍යන්තර තරගයකදී පළමු ඩිල් ස්කූප් පහර එල්ල කිරීම සඳහා තමා කල්යල් බලමින් සිටි බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

අජන්ත මෙන්ඩිස්ගේ මැජික් පන්දු යැවීම මීට වසර 9 කට පෙර එනම් 2012 වසරේ තමන් සත්කාරකත්වය දැරූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට අනු ශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. එහෙත් කොදෙව්වන්ට එරෙහිව පැවැති අවසන් මහ තරගයටත් වඩා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති, තරගාවලියේ සමාරම්භක තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන තරගයක් බවට පත්විය.
ඒ වන විට විස්සයි-20 තරගයකදී පන්දු යවන්නෙකු වාර්තා කර තිබූ හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කී අජන්ත මෙන්ඩිස්, තමාගේම වාර්තාව අලුත් කරමින් එම තරගයේදී ලකුණු 8 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් වීම ඊට හේතු විය. එහිදී ඔහු විසින් බිඳහෙළන ලද්දේ 2011 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 16 කට කඩුලු 6 ක් දවාගනිමින් පිහිටුවා තිබූ ඔහුගේම වාර්තාවය.
අජන්තගේ එම විශිෂ්ට පන්දු යැවීම හමුවේ සැප්තැම්බර් මස 18 වැනිදා හම්බන්තොටදී පැවැති 2012 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 82 ක පහසු ජයක් හිමි විය. ඊට වසර 7 කට පසු එනම් 2019 වසරේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 7 කට කඩුලු 6 ක් දවාගැනීමට ඉන්දියාවේ දීපක් චාහර් සමත්වන තෙක්ම හොඳම විස්සයි20 පන්දු යැවීමේ වාර්තාවට මෙන්ඩිස් හිමිකම් කීවේය.
අවස්ථා දෙකකදී (2009 සහ 2012) අනු ශූරතාවෙන් සෑහීමකට පත්ව සිටි ශ්‍රී ලංකාවට, විස්සයි20 ලෝක කුසලානයක පහස විඳගැනීමට හැකි වූයේ 2014 වසරේදීය. අවසන් පූර්ව තරගයේදී ලකුණු 27 කින් බටහිර ඉන්දීය කොදෙව් පිලත්, අවසන් මහ තරගයේදී කඩුලු 6කින් ඉන්දියාවත් පරාජය කළ ශ්‍රී ලංකාවට එම තරග දෙකට පිවිසීමට පෙර මූලික වටය යටතේ පැවැති අවසන් තරගය ඉතා තීරණත්මක තරගයක් බවට පත් විය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු කාණ්ඩය යටතේ පැවැති එම තරගය අර්ධ අවසන් පූර්ව තරගයක ස්වරූපයක් ගත්තේ එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා බැවිනි. ඒ වෙන විට කණ්ඩායම් දෙකම තරග 3කට සහභාගි වී ඉන් තරග 2 ක් ජයගෙන, එක් තරගයක් පරාජයට පත්වී තිබීම ඊට හේතු විය. ඒ වෙන විටත් දකුණු අප්‍රිකානුවන් පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටි බැවින් ශ්‍රී ලංකා - නවසීලන්ත තරගයෙන් පරාජය වන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබිණ.
එවැනි තත්වයක් යටතේ මාර්තු මස 31 වැනිදා චැටෝග්‍රෑම්හිදී පැවැති එම තරගය සඳහා එතෙක් තරගාවලියේ එක් තරගයකට හෝ ක්‍රීඩා කර නොසිටි වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කැඳවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය නිර්භීත තීරණයක් ගත්තේය. ඒ එතෙක් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 3 දී කඩුලු 4 ක් දවාගෙන සිටි අජන්ත මෙන්ඩිස්ව බංකුවේ රඳවමිනි. එම කාල වකවානුව තුළ නවසීලන්ත කණ්ඩායම සතුව වමතින් දඟ පන්දු යැවීමේ ක්‍රීඩකයෙකු නොසිටීම ද එම වෙනස්කම සිදුකිරීමට ප්‍රධානතම හේතුවක් විය.
තරගාවලියේ මුල් කොටසේදී තුරුම්පු සඟවාගෙන සිට අවසන් මොහොතේ තුරුම්පු එළියට අදින්නාක් මෙන් එම තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම, හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්තය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. එහිදී ඕවර 3.3 ක් යවමින් නිලකුණු ඕවර 2 ක්ද සමගින් ලකුණු 3 කට කඩුලු 5 ක් බිඳහෙළීමට හේරත් සමත් වූයේ සිය විස්සයි20 ක්‍රීඩා දිවිය තුළ තරගයේ වීරයා බවට පත්වූ එකම අවස්ථාව බවට ද එය පත්කර ගනිමිනි.
ශානුක අරවින්ද