(පසුගිය සතියේ ඉතිරි කොටස)
යුධ බිමේදි සමුගත් නාට්‍යකරුවා
තවමත් යුද අගල තුළ බැස සිටින මහානාමට හුන් තැනින් නැගිටින්නට තරම් ශක්තියක් නොවීය. කාලතුවක්කු ප්‍රහාර හමුවේ සිදුව තිබූ කම්පනය මෙන්ම, සිරුර පුරා වූ සුළු තුවාල හා දෙකන් අගුල් වැටී තිබීම, එලෙස ඔහු අඩපණවීමට හේතු වී තිබිණ. මේ අතර කාලතුවක්කු ප්‍රහාරවල උණුසුම පහව යන්නටත් මත්තෙන්, තම ඒකක නිලධාරී කපිතාන් ශාන්ත රණවීර, වහා එහි පැමිණියේය. එහි තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා යොමුකරවන අතරේ, ඔහු යුධ අගලේ සිටි මහානාම කරා ද පැමිණියේය. ඒ වනවිට ප්‍රහාර හමුවේ ඉමහත් තැතිගැන්මට පත්ව සිටි ඔහු, යහපත් සිහිකල්පනාවෙන් පසුවන සෙයක් ද පෙනෙන්නට නොවීය. තත්ත්වය අවබෝධ කරගත් කපිතාන් ශාන්ත, ඔහුගේ පිටට ද තට්ටුවක් දමමින් අස්වසාලන්නට වූයේ, ඔහු තුළ ආත්ම විශ්වාසය ගොඩ නගමිනි.
ඒ වනවිට 4 ගජබා ඒකකයේ විධායක අධිකාරි ලෙස කටයුතු කරන ලද්දේ කපිතාන් ශාන්තය. පැවති ක්‍රියාන්විත වටපිටාව හමුවේ ඔහුට ද එම ක්‍රියාන්විතයට එක්වීමට සිදුව තිබුණේ, ඒකකය තුළ නිලධාරී හිඟයක් ද පැවති හෙයිනි. ඒ අනුව ඔහු සාලියපුර සිට කෙළින්ම ඕමන්තේ ඉදිරි ආරක්ෂක වළල්ලේ භට පිරිස් සමඟ එක්ව තිබිණ. ඒ වනවිට මාණ්ඩලික සැරයන් ඒබට් ඉඩන්තොට, කෝප්‍රල් මහානාම මෙන්ම, එතෙක් බළඇණි මූලස්ථාන කාර්යාලයේ රජකාරි කළ කිහිපදෙනකු ද, මෙම ක්‍රියාන්විතය සඳහා ගොස් තිබුණේ එහි පාලන අවශ්‍යතා සඳහාමය. එල්ලවී තිබූ කාලතුවක්කු ප්‍රහාර හමුවේ තම කණ්ඩායමේ සමීපව කටයුතු කළ බොහෝ දක්ෂ සෙබළුන් රැසක්ම අහිමිවීම හා තුවාල ලැබීම කපිතාන් ශාන්තට ද ඉහුලුම් නොදෙන කරුණක් විය.
ඒබට් ඉඩන්තොටගේ මරණ දැන්වීම
|
මාණ්ඩලික සැරයන් |
ඒබට් ඉඩන්තොටගේ ඥාති සහෝදරයකු වූ සිවිල් සේවක නිහාල් ද ඒ වනවිට රැඳී සිටියේ, එහි මාර්ගය අද්දර වූ බංකරයකය. කාලතුවක්කු උණ්ඩ පතිත වීමට ආසන්න මොහොතේ, ඔහු එම බංකරයට පැනගත් අතර, එහි සිට ඒබට් ඉඩන්තොට ආවරණ ගත් ස්ථානයට මීටර් 50ක පමණ දුරක් තිබිණ. අවදානම පහව යත්ම, ඔහු ද තම බංකරයේ සිට වටපිට විපරම් කරන්නට වූයේ, තවදුරටත් එහිම රැඳී සිටිමිනි. මේ අතර, තවත් විනාඩි 15 - 20 පමණ ගතවෙද්දී, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් රැගත් සෙබළකු එහි පැමිණ, අදාළ සිදුවීම පිළිබඳව ඒකක මූලස්ථානයට දැනුම් දෙන්නට වූයේ, ආරක්ෂක වළල්ලේ පසුපස ප්‍රදේශයට එල්ල වූ එම කාලතුවක්කු ප්‍රහාර හමුවේ මියගිය හා තුවාල ලැබූ භටපිරිස්වල නාම ලේඛනයක්ද ඉදිරිපත් කරමිනි. සමීපව හිඳිමින් ඒ පිළිබඳ විමසිලිමත් වූ නිහාල්ට දැනගැනීමට ලැබුණේ, එම ප්‍රහාර හමුවේ මියගිය පිරිස අතර, තම ඥාති සහෝදරයා වූ මාණ්ඩලික සැරයන් ඒබට් ද සිටින බවය. දැනගත් එම අනපේක්ෂිත පණිවුඩය හේතුවෙන් නිහාල් බෙහෙවින් කලබල විය. හෙතෙම එම සිදුවීම සිදු වූ ස්ථානයට දිවයන්නට වූයේ ඇති වූ ආවේගය නිසාමය. ඒ වනවිටත් එහි කිහිපදෙනෙක් වටවී සිටි නමුත්, නිහාල්ට ඒබට් ඉඩන්තොට බලන්නට අවකාශ නොලැබුණි. තම ඥාතියාගේ අකල් වියෝව ඔහුට දරාගත නොහැකි දෙයක් බැව්, එහි සිටි අයවළුන් අවබෝධ කොටගෙන සිටීම ඊට හේතුවයි. කෙසේ වුව, එම ප්‍රහාරය හමුවේ මාණ්ඩලික සැරයන් ඒබට්ගේ හිස පිටුපස කොටසට බරපතල හානි සිදුව තිබූ බවත්, ඔහු යුධ අගල තුළදීම මියගොස් ඇති බවත්, එහිදී නිහාල් දැනගත්තේය.
තම ස්වාමියා ඕමන්ත ප්‍රදේශයේ කඳවුරක සේවය කරන බව, අසල්වාසියකුට ලබාදී තිබූ දුරකථන ඇමතුමක් හරහා, ඒබට්ගේ බිරිඳ චන්ද්‍රා දැනගත්තේ දින කිහිපයකට පෙරදීය. ඒ වනවිට ඇයගේ නිවසට දුරකථන පහසුකම් නොවූ හෙයින්, ඔහු එම ඇමතුම ලබාදී තිබුණේ යාබද පිහිටි වෙළෙඳසලකටය. මේ අතර ගුවන්විදුලිය ඔස්සේ විකාශනය කෙරුණු තොරතුරක් හේතුවෙන් ඇය ඉමහත් කලබලයට පත්වූවාය. එමඟින් කියවුණේ, ඕමන්තේ යුද හමුදා කඳවුරකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. එම තොරතුරු ලද සැණින් ඕ යාබද පිහිටි තම මහගෙදරට දිවගොස් තම බාල සොහොයුරා හමුවේ ඒ පිළිබඳව පවසන්නට වූවාය. එහිදී, ඔහු ඇයව අස්වසමින් ඒබට් වෙත කරදරයක් සිදු නොවනු ඇති බවට ඇය තුළ විශ්වාසයක් ගොඩනගන්නට වෑයම් කළේය.
බලලත් නිලධාරි ඉඩන්තොටගේ දේහය |
කෝප්‍රල් රූපසිංහ අයි.අාර්.කේ. |
ශ්‍රී ලංකා සංඥා බළකායට අයත් කෝප්‍රල් රූපසිංහ රාජකාරි කරන ලද්දේ, පලාලි කඳවුරෙහි සිනමා ශාලාව භාරවය. හික්කඩුවේ සීනිගම පදිංචි අයකු වූ ඔහුට, ඒබට් ඉඩම්තොට නෑකමින් බාප්පා විය. එම පැවති ඥාතීත්වය නිසාම, වෘත්තීය ජීවිතය තුළදී ද ඔවුන් දෙදෙනා අතර පැවතියේ දැඩි සමීප සබඳතාවකි. ඒබට් ඉඩන්තොටට වඩා වසර කිහිපයකට පසුව යුද හමුදාවට එක්ව තිබූ ඔහු, තම බාප්පාට ඉමහත් ගෞරවයක්ද දැක්වීය. හෙතෙම එහි සිට නිරතුරු ඔහු සමග සබඳතා පැවැත් වූ අතර, විශේෂයෙන්ම රූපසිංහ සංඥා බළකායට අයත් වූවෙක් බැවින්, එම කටයුතු වඩා පහසු විය. ඕමන්තේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිදුවූ ප්‍රහාරය පිළිබඳ ඔහුට කනවැකෙනුයේ එහිදීය. ඒ වනවිට තම බාප්පා එහි රාජකාරින්හි නිරතව සිටි බව ඔහු දැන සිටි බැවින්, ලද එම අසුබ ආරංචිය කෝප්‍රල් රූපසිංහ තුළ ඇතිකළේ විමතිය හා තැතිගැන්මකි. ඒ අනුව, ඔහු තවදුරටත් ඒ පිළිබඳ සොයා බැලීමේදී සැකහැර දැනගත්තේ, ඕමන්තේ සිදුව ඇති ප්‍රහාරය හමුවේ තම බාප්පා වූ ඒබට් ඉඩම්තොට ද මියගොස් ඇති බවය. එම සිදුවීමෙන් ඉමහත් කම්පනයට පත්ව සිටි ඔහුගේ තත්ත්වය අවබෝධ කරගත් එහි බලධාරීන් වහාම ඔහුට නිවසට යාම සඳහා අවස්ථාව ලබාදෙනු ලැබීය. ඒ වනවිට ඕමන්තෙහි රාජකාරි කළ සිවිල් සේවක නිහාල් ද, ඒබට්ගේ මරණයත් සමඟ නිවසට යාම සඳහා පිටත්ව තිබූ අතර, ඒ අනුව ඔහු සාලියපුර පිහිටි තම ඒකක මූලස්ථානයට ගොස් එහි සිට රාත්‍රී දුම්රියෙන් සිය නිවස බලා පිටත්ව තිබිණ.
මේ අතර, එදින හවස් වරුවේ පොලිස් හා යුද හමුදා සාමාජිකයින් කිහිපදෙනකු තම මහගෙදරට පැමිණ ඇති බව දැනගත් ඒබට්ගේ බිරිඳ චන්ද්‍රා වහා එහි දිව ගියාය. එහිදී, සිය කුතුහලය දෙගුණ තෙගුණ වෙද්දී පැමිණි සියලු දෙනා තමාගෙන් වසන් කිරීමට උත්සාහ කළ තම ස්වාමියා පිළිබඳ වූ එම අවාසනාවන්ත ඉරණම ඈට අවබෝධ කරගැනීමට අපහසු නොවීය. අවසානයේ ඊට මඳ වේලාවකට පසු නිවැසියන්ගේ සෝසුසුම් අඳෝනා මැද ඒබට් ඉඩන්තොටගේ සිරුර එහි රැගෙන එනු ලැබිණ. අනතුරුව තවත් දින දෙකක ඇවෑමෙන් පූර්ණ හමුදා ගෞරව මැද ඔහුගේ සිරුර යාබද සොහොනේ භූමදානය කෙරුණේ ඔහුව බලලත් නිලධාරී 11 නිලයට උසස් කරමිනි.
ඒබට් ඉඩන්තොටගේ බිරිඳ චන්ද්‍රා අයිරාංගනී |
සිවිල් සේවක |
ඒබට් ඉඩන්තොට හා බැඳුණු ඔහුගේ කලාකාමී දිවියේ කතා බොහෝය. හෙතෙම සිවිල් ජීවිතයේ දී නිර්මාණය කළ “නොහොබිනා නෑකමක්” වේදිකා නාට්‍යය එවකට ප්‍රදේශවාසීන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනා තිබුණි. එසේම, දක්ෂ කවියෙක් හා කථිකයකු ද වූ ඔහු ගමේ ප්‍රජා කටයුතුවලදී පෙරමුණ ගත් අයෙකි. ඒබට්ගේ කලාකාමී බවට තවත් උදාහරණයක් වනුයේ ඔහු තම පදිංචි නිවසට යොදා තිබූ අපූරු නාමයයි. එහි වූයේ “හුදකලා මිහිර” ලෙසයි. අදටද එම නිවසට ලිපි ලැබෙනුයේ එම නමටය. යුධබිමේ ඉතිරි සොඳුරු මතක මැද වූවද, හද දවාලන සුසුම් පිටවනුයේ, ඉහත ළබැඳි සගයන් පිළිබඳ මෙනෙහි වීමෙනි. යුද්ධයේ අභාග්‍ය සම්පන්න ඉරණමට ගොදුරු නොවන්නට, ඔවුන් තවමත් අප අතර රැඳෙනු නොඅනුමානය. අදින් වසර 27 කට පමණ පෙර දී, එනම් 1997 ජූනි 25 දින සැරයන් මේජර් ඒබට් ඉඩන්තොට එලෙස තම දිවියෙන් සමුගත්තේ, තවත් එක් රණවිරුවකුගේ සමුගැනීමකට වඩා, යුද බිමේ අතිශය දුලබ රණවිරු කලාකරුවකුගේ නික්ම යාමක් ලෙසය. ඒබට් ඉඩන්තොට 4 වන බළඇණිය ගජබා රෙජිමේන්තු පාලන කණ්ඩායමේ රාජකාරි කරද්දී, සිය දින පොතක ලියා තිබූ අපූරු කවි පෙළක් මෙහි පළකරන්නේ පාඨකයින් කිසිෙවක් මෙම කවි කියවන වාරයක් වාරයක් පාසා, එය නිසැකවම ඔහුටද ඇසෙන බව දන්නා හෙයිනි.