වෙසක් සුබ පැතුම් පතේ කතාව


ප්‍ර‌ීති වෙසක් ! 
 
වෙසක් සමයේ අපට වැඩිපුරම දකින්නට ලැබෙන්නේ මේ වචන දෙකයි. බකට් කට්ටලයක් ගත්තත්, වෙසක් පතක් ගත්තත් ‘ප්‍ර‌ීති වෙසක්’ වචනය හමුවන්නේය. 
 
වෙසක් යනු සිදුහත් කුමාරයාගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිදුවූ පුන් පෝය දවසයි. උපතත් බුදුවීමත් ලෝකවාසී සියලු බෞද්ධයන්ගේ ප්‍රීතියට කරුණක් වුවත්, පිරිනිවීම නම් ප්‍රීතියට කරුණක් නොවේ. ඒනිසා අතීතයේදී වෙසක් පෝය යනු බෞද්ධයන් ශීලයට සමාධියට යොමුවූ කාලය විය. බුදු හිමියන් වෙනුවෙන් පොල්තෙල් පහන් ටිකක් දැල්වීමට වඩා වැඩි දෙයක් කෙරුණේ නැත. එහෙත් පසුකලෙක ‘වෙසක්’ සැණකෙළියක් බවට පත් වී, ප්‍රීති වෙසක් බවටද පත්විය. කෙසේ වෙතත්, මගේ මේ උත්සාහය වෙසක් පැතුම් පත් ගැන සටහන් කිරීමක් බැවින් වෙසක් සැණකෙළියේ වගතුග නොලියමි.
 
ප්‍රීති වෙසක් යන වචන දෙක මීට දශක පහකටත් කලින් වෙසක් පත්වල සටහන් වූ වචන දෙකකි. 1966 වසරේදී ප්‍රකාශයට පත් වූ කරුණාසේන ජයලත් ලියූ ගැහැනු ළමයි නවකතාවේ කුසුම්, නිර්මාණය කල වෙසක් පතේ ඇය සටහන් කලේද ප්‍රීති වෙසක් යන වචන දෙකයි. කුසුම් මේ වෙසක් පත නිර්මාණය කලේ දියසායම් චිත්‍රයකින්. චෛත්‍යයක් ඇඳ මල් රැගෙන යන ළමයකුගේ චිත්‍රයකිනි. 
 
හැබැයි වෙසක් පතේ ඉතිහාසය 19 වැනි සියවස තරම් දුරාතීතයට විහිදෙන්නේය. ඒ බව කියන්නේ ප්‍රවීණ පරිවර්තක සේනාරත්න වීරසිංහ මහතාය. 
 
“එංගලන්තෙ තිබ්බනෙ නත්තලට සුබ පැතුම් යවන ක්‍රමයක්. ඔය සම්ප්‍රදාය තමයි සුද්දගේ කාලේ ලංකාවටත් ආවේ. ඕල්කට් තුමා ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමත් එක්ක තමයි ලංකාවට වෙසක් සුබපැතුම් ක්‍රමය ව්‍යාප්ත වෙන්නේ” මුල් කාලේ මේ වෙසක් කාඩ් වල තිබුණේ බටහිර පෙනුමක්. ඒවට බෞද්ධ චිත්‍ර දාලා, කවි දාලා මුද්‍රණය කෙරුණේ තවත් පස්සේ කාලෙක 
 
සේනාරත්න වීරසිංහ කියන විදිහට ඔය මුල්ම කාලයේ වෙසක් පත් වල පළවූයේ සාර්ලිස් මාස්ටර්ගේ, ජී.ඇස්. ප්‍රනාන්දුගේ, අභයසිංහගේ, ගෞතමදාසගේ, හෙන්රි ධර්මසේන ගේ චිත්‍රය. ඒ ශිල්පීන් ගොඩේ තවත් ශිල්පීන්ද සිටින්නට ඇත. එසේම මේ සුබපැතුම් පත් වලට එකල කවි ලිව්වේ සිරි අයියා නමින් ප්‍රසිද්ධ යූ.ඒ.ඇස්. පෙරේරා, කරුණාරත්න අබේසේකර වැනි ජනප්‍රිය තලයේ කවීහුය. 
 
එකල තිබුණේ ලෙටර් ප්‍රෙස් නම් මුද්‍රණ ක්‍රමයයි. මේ නිසා එදා පළකෙරුණූ වෙසක් පත් බොහෝවිට තැපැල් පතේ හැඩරුව ගත්තේය. එහි එක් පැත්තක බුදු සිරිතේ සිදුවීමක් සහිත වර්ණ චිත්‍රයකි. අනෙක් පැත්තේ දකුණු කොටස යවන්නාගේ ලිපිනය ලිවීමටත් මුද්දරය ඇලවීමටත් වම් පස කොටස කවියටත් වෙන්කර තිබිණ. 
 
එකල තිබූ තවත් වෙසක්පත් විශේෂයක් වූයේ පිටු හතරකින් යුත් වෙසක් පතයි. එහි පළමු පිටුව චිත්‍රයටත් තුන්වෙනි පිටුව කවියටත් වෙන්කර තිබිණි. ඊට යටින් විසින් වෙත යන වචන දෙක පේලි දෙකක සටහන් කර තිබුනේ හිස්තැන යවන්නාට පුරවනු පිණිසයි. මෙම වෙසක් පත කවරයක දමා යැවිය යුතු වූයේ ලියුමක ආකාරයෙනි. 
 
එතකොට මම පහේ පන්තියේ හිටියේ මගේ පංතියේ ගුරුතුමාට මම ඒවගේ කවරෙක දාලා තිබුණු වෙසක් පතක් යැව්වා. හැබැයි ඒකේ මුද්දරයක් ගහන්න ඕනැ කියලා මම දැනගෙන හිටියේ නෑ. 
සේනාරත්න වීරසිංහ පුංචි කාලයේ මතක අවදිකරමින් කීවේය. 
හැට දශකය එලඹෙන විට දෙමළ ව්‍යාපාරිකයෝ වෙසක් පත් මුද්‍රණය කිරීම ආරම්භ කළහ. ඒ අතර ප්‍රමුඛ නමක් තිබුණේ කලෙයිමගල් සමාගමටය. 
 
ඔය කාලේ වේයන්ගොඩ තිබුණා සෝමගිරි කියලා මුද්‍රණාලයක්. ඔය මුද්‍රණාලයට මාකඳුරේ ගුණවර්ධන කවියා ආපුවාම, මුදලාලි බුලත් විටක් දෙනවා. අනේ මහත්තයෝ වෙසක් කාඩ් එකකට කවියක් ලියල දෙන්නකෝ කිව්වාම, කවියා විටත් කකා කවියක් ලියලා දෙනවා. ඉන් පස්සේ චිත්‍රයකුත් දාලා වෙසක් කාඩ් එක මුද්‍රණය කළාම වේයන්ගොඩ පැත්තේ විකුණගන්න පුළුවන් වුණා. 
සේනාරත්ත වීරසිංහ එසේද කීවේය. 
හැට හැත්තෑව දශක වල මොනතරම් වෙසක් පැතුම් මුද්‍රණය වුවත්, සමහරු කලේ වෙසක් පත් නිර්මාණය කර ගැනීමය. ඒකට ප්‍රධාන හේතු වූයේ වෙසක් පැතුම් පතක් වෙනුවෙන් ශත පහලොවක් විස්සක් වැය කිරීමට පවා බොහෝ දෙනෙකුට නොහැකි වීමය. එබැවින් ශත පහක් දී තැපැල් පතක් මිලට ගෙන වෙනත් කඩදාසියක ඇඳි චෛත්‍යයක රුවක් අර තැපැල් මත තබා, දියසායම් ස්ප්‍රේ කිරීමය. ඒ සඳහා යොදා ගන්නේද පනාවක් සහ පින්සලයකි. දියසායම් සහිත පින්සලය පනාවේ ඇතිල්ලූ විට විහිදෙන පාට තැපැල් පත පුරා රටාවකට ලතාවකට විහිදේ. තීන්ත වේලුණු පසු චෛත්‍යය ඉවත් කල විට තැපැල් පත මත සුදෝ සුදු චෛතයක් ඉතිරිවේ. 
 
චිත්‍රයක් අඳින්නට හැකියාවක් ඇති කුසුම් වගේ ළමයි තැපැල් පතක් ගෙන එහි විසිතුරු චිත්‍රයක් ඇඳ, වෙසක් පත් නිර්මාණය කරගත්හ. 
මෙලෙස අතින් නිර්මාණය කළ වෙසක් පැතුම්පත්, යවන්නා සතුටෙන් යැව්වද, ලබන්නා අතට ගත්තේ සතුටින් නොවේ. ලබන්නාගේ කැමැත්ත වූයේ විචිත්‍ර මුද්‍රණයෙන් යුත් වෙසක් පතකි. 
හැත්තෑව දශකය අග කාලයේදී මුද්‍රණ ලෝකයට නවීන තාක්ෂණය එකතු විය. පළමුව ලිතෝ මුද්‍රණයද පසුව ඔප්සෙට් මුද්‍රණයද ලංකාවට පැමිණියේය. ඒ සමගම වෙසක් පතටද විචිත්‍රත්වය එකතු විය. 
කලෙයිමගල් සමාගමට අමතරව ලලිත කලාලේ නම් ආයතනයක්ද අලංකාර වෙසක් පත් මුද්‍රණය කරන්නට විය. වෙසක් පැතුම් පත වටේ දාර දාර සිටින ලෙස කපන ලද ලලිත කලාලේ වෙසක් පත වඩාත් සිත්ගන්නා සුළුවිය. බුදු සිරිතේ සිදුවීම අලංකාරව සිත්තමට නගා තිබිණි. පසුපිටේ වූයේද අපූරු කාව්‍ය නිර්මාණය. ඒ කවි බෝහෝවිට ලියා තිබුනේ දෙල්තොට චන්ද්‍රපාල කවියාය. ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ දෙල්තොට මහත්තයා මට පසුකලෙකදී ලංකාදීප කාර්යාලයේදී මුණගැසිණි. 
 
ලලිතකලාලේ තියෙන්නේ මං ඉන්න බෝඩිම ළඟ. ඉතින් කාඩ් ගෙනත් දුන්නම ඒ තියෙන චිත්‍රය බලලා මං කවියක් ලියලා දෙනවා” 
දෙල්තොට මහත්තයා මා සමග කී හැටි මට තාමත් මතකය. ඒ කතාව වෙසක් පැතුම්පත් වලට කවි ලියන්නට පාඩමක් වැනි විය. කවිය ලිවිය යුත්තේ පැතුම් පතේ ඇතුළත් චිත්‍රයට ගැලපෙන්නටය. මුල් පද දෙකෙන් හෝ තුනෙන් බුදු සිරිතේ, ඒ සිදුවීම ගැන ලියා අන්තිම පදය යවන්නාට සුබ පැතීමට රචනා කළයුතුය. උදාහරණයක් ලෙස කීවොත් වෙසක් පතෙහි චිත්‍රය සත් පියුම් මතින් සිදුහත් කුමාරයා පියවර තැබීම නම් කවිය මෙබඳු විය යුතුය. 
 
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ 
සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ 
සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ 
මේ සුපැතුම් එවමි සෙත් වේවා සොයුරු 
 
හැට හැත්තෑව දශක වල වෙසක් පත් අලෙවි කෙරුණේ වර්ගීකරණය ඇතුවය. අම්මාට තාත්තාට, දුවට, පුතාට, බිරිඳට, සොයුරාට, ගුරුතුමාට, ගුරුතුමියට ආදී වශයෙනි. එහෙත් පසුකලෙක ඕනෑම කෙනෙකුට ගැලපෙන පරිදි නිර්මාණය කෙරුණු වෙසක් පත්වල කවියෙහි හිස්තැනක් තබා තිබිණි. ඒ හිස්තැන අම්මා, තාත්තා, අයියා, නංගී, මිතුරා, මිතුරිය, සොයුරා, සොයුරිය ආදි වශයෙන් පිරවිය හැකිවිය. 
ඔප්සෙට් මුද්‍රණය වෙසක්පත් කලාවේ විප්ලවයක් සිදු කළේය. විවිධ ප්‍රමාණයෙන් විවිධ මෝස්තරයෙන් නිමැවුණු මේ වෙසක් පත් දිග අරින විට නෙළුම් මල් පිබිදෙන්නට පවා පටන්ගත්තේය. මේ විප්ලවයේ එක් කෙරුම් කාරයෙක් වූයේ ඩීමන් ආනන්ද බව මතක් කර දුන්නේ සේනාරත්න වීරසිංහමය. එවකට මාරක කතා රචනයෙන් ඉසුඹු ලබා සිටි ඩීමන් ආනන්ද, සුජිකලා සමාගමේ මුද්‍රණ කළමනාකරු ලෙස සේවය කළේය. වරක් මට ඔහු සුජිකලා ආයතනයේදී මුණ ගැසිණි. 
 
“අපි මේ වෙසක් කාඩ් මුද්‍රණය කරන්නේ ඉන්දියාවට යවලා. එහෙ මිල ගණන් හරිම අඩුයි” එහෙම නැතිනම් මේවා මේ මිල ගණන් වලට දෙන්න බෑ. ඩීමන් කීවේය. 
 
කුමරි ඇතුළු බාලිකා පත්තර ගොන්නක්ද, සිත්තර ඇතුළු චිත්‍රකතා පත්තර ගොන්නක්ද වෙළෙඳපොලට ආවේ හැත්තෑව අසූව දශකවලය. ඔය පත්තර වලින් වෙසක් සතියේදී නොමිලේ වෙසක් පතක් තිලිණ කරන්නට පටන්ගත්තේය. දේදුනු කැලුම් යුවලට තරුණ තරුණියන් පිස්සුවෙන් මෙන් ආදරය කළ යුගයේදී වෙසක් පතට එකතුවූයේද දේදුනු සහ කැළුම්ය. ඔවුන් මල් පහන් අරන් පන්සල් යන විත්‍රය වෙසක් පැතුම් පත්වල එතෙක් කලක් පැවැති බුදු සිරිත අමතක කර වාණිජකරණය ආරම්භවූයේ එතැනිනි. වෙසක් පැතුම් පත් අතරට “ලව් කාඩ්” නම් සුවිශේෂ වෙසක්පත් එකතුවූයේද ඒ සමගමය. මේවායේ සටහන් වූයේ මල්, මොනර යුවලක්, කුරුලු යුවලක් වැනි ඡායාරූප කවියද ඊටම ගැලපෙන අන්දමේ ප්‍රේමාන්විත කවි විය. 
 
තුන් ලෝ තිලක සමිඳුගේ සිරිපතුල යට 
සුවඳැති පියුම් විකසිත වෙයි සුවඳ කොට 
නිවනෙහි දොරටු ඇහිරෙන්නැති ඔබට මට 
සසරින් මිදෙන පින පතනෙමි...... 
 
තිස් අවුරුදු යුද්ධය කාලයේ යුද සෙබලුන් රණවිරුවන් ලෙස අභිෂේක ගැන්වීමු. එකල වෙසක් පත් වලට රණවිරුවන්ගේ ඡායාරූපද ඇතුළත් විය. යුද සෙබලුන් චෛත්‍යයක් අසල සිටින හැටි, යුද සෙබලුන් දරුවන්ට මල් දෙන හැටි ආදී වශයෙනි. එවැනි වෙසක් පතකින් මේ කවිය උපුටා ගතිමි. 
 
වෙසක් සඳයට සල්මලින් වට  
ඇසතු ​බෝ රුක් යට කෙලෙස් සිඳ 
ලැබූ බුදු බව මහිමි පාමුල  
අදත් වැතිරෙයි වෙසක් පුන් සඳ 
මල් නෙලාගෙන පැන් දොවාගෙන  
සිත් විලේ මෙත් දයා දිය බැඳ 
හිමි වඳින්නට පන්සලට යමු 
... අපි සසර ආ ලෙද 
 
මේ කාලයේ වෙසක් පත් වල සුදු පරෙවියෝද ඉගිලුණහ. ඒ සුදු පරෙවියා සාමයේ සංකේතය බැවිනි. එදා රටම පැතුවේ යුද්ධය නිමාවී රටට සාමය උදාවේවා යන්නය. ඒනිසාදෝ එකල වෙසක් පත් වල නිවනට, සාමය ආදේශ වී තිබිණි. 
 
ඔය කාලයේ වෙසක් පෝයට මාසයකට පමණ පෙරම නගරවල “වෙසක් කාඩ් හට්” ඉදිවේ. මේවායේ නානාප්‍රකාර වෙසක් පත් වර්ග සියගණනක් ප්‍රදර්ශනය කෙරේ. බාල මහලු කොයි කවුරුත් මේ තැන්වල පොදිගැහෙමින් වෙසක් පත් මිලට ගත්හ. වෙසඟයට සුබ පැතීම එකල විලාසිතාවක් වැනි විය. මිතුරෙක් ලෙංගතුකම හැ​ඟෙව්වේ වෙසක් පතක් තැපෑලෙන් යවාය. වෙසක් පතේ ප්‍රමාණය, කවියෙහි ප්‍රේමාන්විත බව, වෙසක්පතේ මිල ගණන අනුව ආදරයේ සහ ළෙංගතුකමේ දිග පලලද වෙනස් වූයේය. එනිසාම යමෙක් වෙසක් පතක් නොඑවීම යනු ආදරයක් නැතිබව හැඟවීමක් සේ සැලකිණි. එය පෙම්වතුනට දුකක් විය. 
මේ අයුරින් වෙසක් පත් යවන්නේ සාමාන්‍ය ජනතාව පමණක් නොවේ. අගමැතිවරු, ජනපතිවරු පවා වෙසක් පත් යවමින් සුබපැතීම පුරුද්දක් කරගත්තේය. හැබැයි ඒ වෙසක් පත් වල පෙනුම ද සම්භාවනීය විය. මුරගලක් සඳකඩ පහණක් වැනි ඡායාරූපයක්ද ධම්මපදයේ එන ගාථා රත්නයක්ද විනා කවි වැනි සරල අංග එම පැතුම්පත් වල නොවීය. 
 
කෙසේ වුවත් 
 
මුහුණු පොතේ ආගමනයත් සමග වෙසක් එකට ලැබුවේ හෙනහුරු දසාවය. කවුරු කවුරුත් මුහුණු පො​ෙතන් සුබ පතන්නට වූ අතර මුද්‍රිත වෙසක් පත් වලට මුදල් යටකිරීම නවතා දැමූහ. 
 
ඒ නිසාම විවිධ වෙළෙඳනාම වලින් වෙසක් පත් මුද්‍රණය කළ ව්‍යාපාරිකයන්ට අසුබ කාලයක්ද උදාවිය. එසේ වුවත් 2019 වසර දක්වාම වෙසක් පත් දකින්නට ලැබිණි. පාස්කු ප්‍රහාරය නිසා ඒ අවුරුද්දේ වෙසක් උළෙල සැණකෙළි වෙසින් තොර විය. 2020 දී කොරෝනා පැමිණියෙන් වෙසක් සණකෙළියක් නොවීය. වෙසක් සැමරුම ගෙදරටම සීමාවිය. මේ අවුරුද්දේ ද ඒ සන්තෑසියමය. ඉතින් වෙසක් පැතුම් පත් නැත්තටම නැතිවූ ගානය. 
 
හැබැයි බැරිවෙලාවත් මෙදාත් වෙසක් පැතුම් පත් නිර්මාණය වුනා නම් වෙළෙන්දන් සුව විරුවන්ගේ ඡායාරූපත් කොරෝනා වයිරසයේ චිත්‍රයත් වෙසක් පැතුම් පත් වලට ඔබ්බවනවා සිකුරුය. ඔවුන් වෙසක් පවා හැමදාමත් “කාලීන” කරන බැවිනි. එසේ වී නම් එබඳු වෙසක් පැතුමක ලියැවෙනු ඇත්තේ මෙබදු කවියකි. 
 
බියකරු කොරෝනා නම් වයිරසය මැද 
සීතල ඉරාගෙන පායයි වෙසක් සඳ 
එනමුදු සසර හුරු මගෙ ආදරය ලද 
ඔබ සොම්නසින් වැජඹේවා ඉසුරු මැද 
 
ශාන්ත කුමාර විතාන