ශරීරයේ ලෙඩත් සුව කර ගුවන් යානාත් පණ ගැන්වූ රාවණාගේ ’රසඳිය බලය ’


 

  • අහසින් යෑමට, මහලු වීම නැති කිරීමට, නොපෙනී සිටීමට රසදියට පුළුවන්   

ක්ෂේත්‍ර දහයක පැතිරුණ දැනුමක් නොහොත් දස ඥාණයක් නිසා ‘දසිස් රාවණයන්’ මහා උගතෙකු විය. පුලස්ති සෘෂිගේ වෛද්‍ය පරම්පරාවට අයත් නිසා ඔහු වඩාත් විශිෂ්ට වන්නේ වෛද්‍ය කර්මයන්හිය. එමෙන්ම රාවණයන් ගැන වඩාත්ම ඓතිහාසික තොරතුරු දැනගත හැකි වන්නේ ද ‘වෙදසතර’ සම්බන්ධයෙනි. දෙවැනිව අහස් සතර (ජ්‍යොතිෂය) සම්බන්ධයෙනි.   

වෙද සතර : පුලස්ති සෘෂි නොහොත් සීයා මනුෂ්‍ය ශරීරය වා, පිත් හා සෙම් යන ත්‍රිදෝෂ මුලිය තුළින් හැඳින ගති. එය හෙළිදරව් කිරීමට ලොව පළමුවැනි වෛද්‍ය සම්මේලනය ද හිමාල අඩවියේ පැවැත්වීය. අතෙහි මැණික් කටුව අසල නාඩි පරීක්ෂා කර ලෙඩාගේ ඇති දෝෂය හැඳින ගැනීමේ ‘නාඩි ශාස්ත්‍රය’ දියුණු කරන ලද්දේ රාවණා විසිනි. ඔහු ඒ පිළිබඳ පුස්තකයක් ද සම්පාදනය කර ඇත.   


රස වෙදකම : ක්‍රි. පූර්ව 8 වැනි සියවසේ දී රාවණයන් ගැන දීර්ඝ විස්තරයක් ලියා ඇති නාගර්ජුන නම් ආයුර්වේද ආචාරිවරයා පවසන්නේ ‘ලෝහවේදය’ නමින් හැඳින් වූ ලෝහ යන්ත්‍රවලින් යුතු ගුවන් යානා (විමාන) පණගන්වන ‘රසදිය’ ක්‍රියාකාරිත්වය රාවණ යුගය වන විට ප්‍රචලිතව පැවති බවය. එබැවින් එම රසදිය ක්‍රියාකාරිත්වය මිනිස් සිරුරට ආදේශ කර කළ හැකි රස වෙදකම රාවණ විසින් සොයාගත් බව නාගර්ජුන පවසයි. ආයුර්වේදය යටතේ සාමාන්‍යයෙන් ද රාවණගේ වෛද්‍ය කර්මයන් ඉගැන්වීම සිදුවේ. උතුරු ඉන්දියානු ආයුර්වේදයට රාවණා යනු වෛද්‍ය සෘෂිවරයෙකි. රාමායණයට ඔහු රජෙකි.   


රසදිය 18 වතාවක් ශෝධනය කළ යුතුය යනු රස වෙදකමෙහි ඉගැන්වීමයි. ගුවන් යානයට පාවිච්චි කරන්නේද (මර්කරි වෝටෙක්ස් ඇන්ජිමට) රස බෙහෙත් සාදන්නේ ද එසේ සකස්කරගත් රසදිය ගැනීමෙනි. නූතන අධිබල ගුවන් යානාවලට රසදිය පරමාණු යොදාගනු ලැබේ. මෙහි අඩංගු ආකර්ෂණ විරෝධි (anti-gravity) ශක්තිය නිසා ගුවන් යානයටත් මිනිසාටත් අහසින් යාමට පුළුවන. මධ්‍ය ආකර්ෂණ බලය ජය ගැනීමට ඊට පිළිවන.   


ශරීරය බල ගැන්වීම රසදියවලින් කෙරේ. රස බෙහෙත් වලින් කළ හැකි හපන්කම් 4 කි. එනම් 1 අහසින් යාම II නොපෙනී සිටීම III ජරාවට (මහලුබව) යාමට ඉඩ නොදී සැමදා තාරුණ්‍යයේ සිටීම 1V මිනිස් ආයුෂ අවසානයේ ශරීරය අවුරුදු දහස් ගාණක් පවත්වා ගැනීම. රාවණම මෙය අත්හදා බැලීමට රස බෙහෙත් වළදා වැතිරගෙන අවුරුදු දහස් ගණන් කල් ශරීරය පවත්වාගෙන යන බවට ජන ප්‍රවාදයක් ඇත. මෙය නිවැරදි වීමට ද පුළුවන. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මෙම මතය ජනමාධ්‍යය තුළින් රටට ප්‍රසිද්ධ කළේය. අද දින එම රස බෙහෙත් සෑදීමට හෝ රසදිය 18 වරක් ශෝධනය කිරීමට හැකි වෛද්‍යවරුන් ලංකාවේ හෝ ඉන්දියාවේ නැත.  


රසදිය නිෂ්චල කර රන් නිපදවීම කළ හැක. එමෙන්ම රන්වල අගය වැඩිකළ හැක. අලුත උපන් බිළිදාට රන්කිරි කට ගෑම නමින් රන් භාණ්ඩයක් කිරෙන් ගලගා පෙවීම අදත් සමාජයේ ශේෂ වූ සිරිතකි. මේ ශරීරය බලගැන්වීමේ චාරිත්‍රයෙන් ශේෂ වූවකි. අද එය රත කල්කය මගින් ඊට අඩු මට්ටමින් ඉටු කරගනු ලැබේ. රත කල්කයෙන් කරන්නේ ලේ ධාතුව ශක්තිමත් කර ලෙඩ රෝගවලට ඔරොත්තු දීමට බිලිඳු සිරුරට ඇති හැකියාව වැඩි කිරීමය. රස සිඬ ලෝහ යෝ රස සිඬ පුද්ගලයන් අද ලොව නැත.  


දේහ මේදය හඳුන්වා දී හපන්කම් කිරීමට මහා රාවණාට බල පෑවේය. මේ වන විට ගුවන් යානා සඳහා පොළොවේ විවිධ පස් තට්ටුවලින් ලබාගත් විවිධ ලෝහ මිශ්‍රකර සාදාගන්නා යානය රසදිය ආශ්‍රයෙන් (ඉන්ධන) ලෝක ස්වභාවය වන පෘථිවියේ මධ්‍ය ආකාර්ශන බලයට එරෙහිව ඉන් ඉවත්ව බලගැන්වීම තුළින් ගමන් කරන නිසාය. මිනිසාට ද නොපෙනී සිටීම, අහසින් යාම. මහලු නොවී තාරුණ්‍යයේම සිටීම හා තමා නොමැරී දේහය අවුරුදු දහස් ගණනක් පවත්වා ගැනීම වැනි ස්වභාවය ධර්මයට පටහැනි දේ කළ හැකි බව රාවණා තේරුම් ගනී. ඊට හේතුව නම් ද්‍රව්‍යයත්, මිනිසාත් යන වස්තූන් දෙකම පථවි, ආපෝ, තේජෝ, වායු යන කොටස්වලින් සමන්විත වීමය. උත්තර භාරතීය ආයුර්වේදය තුළ මේවා ශාස්ත්‍ර ලෙස උගන්වනු ලැබේ. ඔවුනට රාවණයන් මිථ්‍යාවක් නොවන්නේය. මේ තුළ ඇති දර්ශනික පදනම භාරතීය වෛද්‍ය සෘෂිවරුන් තේරුම් ගෙන ඇත.  
රස බෙහෙත් වැලඳීමෙන් පමණක් ඉහත සඳහන් කළ අස්වාභාවික තත්ත්වයන් ඇතිකරගත නොහැක. රස සිද්ධ පුද්ගලයෙකු ලෙස හැඳින්වෙන්නේ රස ධාතුව ශරීරයට අවශෝෂණය වූ පුද්ගලයෙකි. බෙහෙත් වැලඳීමෙන් පමණක් එම තත්ත්වයට පත්විය නොහැක. නියමිත ආහාර නියමිත ප්‍රමාණයෙන් වැලඳීම, සිත සමාධිගත කරගෙන සිටීම, නැකැත් හා මුහුර්ත අනුව කළ යුතු වතාවත් ඉටුකිරීම, වත්පිළිවෙත් රැකීම, ග්‍රහ පූජා පැවැත්වීම, ද්වේෂ ඊර්ෂ්‍යා ආදී ක්ලේෂයන්ගෙන් තොරව පිවිසීම ආදී සුවිශේෂී ජීවන රටාවක් තුළ ඔහු ජීවත්විය යුතුය. රස සිඬ පුද්ගලයා ‘ශක්ති’ සමග ජීවත් වේ. ශක්ති යනු ද්‍රව්‍යයේ මූලයයි. රස සිඬ පුද්ගලයාට සිරුරෙන් නොහෝ ද්‍රව්‍යයෙන් මනස වෙන් කරගෙන මොහොතක් තුළ විශ්වයේ තැනකට මනස යවා ඊළඟ මොහොතේ ආපසු ගෙන්වාගත හැක. නවීන විද්‍යාවට තවමත් නැත්තේ කෙනෙකුගේ රූපය හෝ කටහඬ වායු තරංග ඔස්සේ තවත් තැනකට යැවීම නමැති ඉතා ළාබාල අවස්ථාව සාක්ෂාත් කරගැනීම පමණි. එසේ යැවූ ශබ්දය හා රූපය ආපසු ගෙන්වාගත නොහැක. ඊට හේතුව ඒ සඳහා මනස අවශ්‍ය වීමය.  


රස වෙදකම තේරුම් ගැනීමට වත්මන් ද්‍රව්‍යමය මිනිසාට නුපුළුවන. මෙහි රසායන ක්‍රියාවලිය නිසා ශරීරය බලවත් වී ඊට අවශ්‍ය පරිදි සිත හසුරුවයි. මේ පැවැත්මේ දහමයි. බුදු දහම මෙහි විරුද්ධ පාර්ශ්වය වේ. සිත බලවත් වී ශරීරය නැවැත්වීම හා හැසිරවීම බුදු දහමේ ඉගැන්වීමයි. මේ නැවැත්මේ දහමයි  
වෙදකමෙහි විවිධ ක්ෂේත්‍රවල උන්නතිය පතා එතුමා විසින් සංග්‍රහ කරන ලද වෛද්‍ය ග්‍රන්ථ රාශියකි. ළමා රෝග, නාඩි ශාස්ත්‍ර, මානසික රෝග, අරිෂ්ඨ ආසාව පෙරා ගැනීමේ විධි, ආචාර ධර්ම, නිල ශාස්ත්‍රය ආදී ක්ෂේත්‍රයන් අලලා මේවා සංග්‍රහ කෙරිණි.  


නාඩි ප්‍රකාශ:- නාඩිය පරීක්ෂා කර රෝග මූල්‍ය හඳුනා ගැනීම මෙහි විස්තර කෙරේ. හදවතේ ඇතිවෙන ගැස්මට අනුව නාඩිය ක්‍රියාත්මක වේ. අතේ මැණික් කටුව ළඟ ඇති නහර ස්පර්ශ කිරීමෙන් රෝග මූලය වා, පිත්, සෙම් යන තුනින් කුමක් ඇසුරුකර ඇත්දැයි හැඳින ගන්නා ක්‍රම මෙහි දැක්වේ. ඉතා නිවරදිව රෝග මූලය නාඩිය අනුව හැඳින ගන්නා දේශීය වෛද්‍යවරු අදත් සිටිති. පාරම්පරික වෙදකමෙහි තරමට ආයුර්වේදයෙහි (ඉන්දීය) නාඩිය වැදගත් නොවේ. දේශීය වෛද්‍යවරයෙක් රෝග ලක්ෂණ විමසීමට පළමු රෝගියාගේ නාඩි පරීක්ෂා කළ යුතු බව ‘නාඩු ප්‍රකාශ’ හි කියැවේ.  


කුමාර තන්ත්‍ර : ළමුන්ට හා ළදරුවන්ට වැළඳෙන විවිධ රෝග හැඳින ගැනීම, විග්‍රහ කිරීම හා ප්‍රතිකාර කිරීම් පිළිබඳ මෙය සංග්‍රහ කෙරිණි. බිළිදා අවස්ථාවේ දී එනම් ළදරුවා මව් කිරිවලින්ම යැපෙන මුල් අවධියේ දී මව විසින් ඖෂධ වර්ග වලදා කිරි දිය යුතුය. එමෙන්ම රෝගයක් වැලඳුන විට මව විසින් ඖෂධ වර්ග ගෙන අනතුරුව ළදරුවාට කිරි දුන් විට සනීප වේ. ළදරු අවස්ථාවේදීම බිලිදාගේ ලේ ධාතුව ශක්තිමත් කර රෝගාබාධවලට ඔරොත්තු දීමේ ශක්තිය නංවාලන අයුරුද මෙහි දැක්වේ. අදට ඉන් ඉතිරි වී ඇත්තේ ‘රත කල්කය’ පමණි. උපන් වේලාවට අනුව ද බිළිදාගෙන් බිළිදාට මෙම ඖෂධ වර්ග වෙනස් වේ. උත්තර භාරතයේ ශාක විවිධත්වය ලංකාවට වඩා අඩු නිසා එකම රෝගය සඳහා ආයුර්වේදයේ ඇති ඖෂධ සංඛ්‍යාව අඩුය. කායික හා මානසික වර්ධනය සමතුලිතව තබා ගැනීමට අවශ්‍ය උපදෙස් ද මෙහි අඩංගුය. ඒ දෙක එකිනෙකට සම්බන්ධ වන අයුරු ද විස්තර වේ. සෘෂි පවුල්වල දරුවන් විසින් පිළිපැදිය යුතු ආචාර්ය චර්යා පද්ධති ද කුමාර තන්ත්‍රහි අඩංගුය.  


උඩ්ඩීස තන්ත්‍ර : රෝගියා මෝහනයට ලක්කර ඔහුගේ යටි සිතින්ම රෝග විස්තර දැන ගැනීම හා ප්‍රතිකාර කිරීම මෙහි එක් අංගයකි. යුද ශිල්පයක් ලෙස ද උඩ්ඩීසය යොදාගන්නා අයුරු මෙහි දැක්වේ. පහරදීමට එන අනෙකා කෙටි මන්ත්‍රයක් මගින් මෝහනය කිරීම, අක්‍රීය කිරීම හසුරුවා ගැනීමට පුළුවන. මහාචාර්ය ගුණපාල ධර්මසිරිගේ ‘වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය’ නමැති ග්‍රන්ථයේ මේ ගැන බොහෝ විස්තර අඩංගුය. ලෙඩ සුව කිරීමට මෙන්ම සටන් කලාවට ද උඩ්ඩීසය උපයෝගී කරගත හැක.  


(මතු සම්බන්ධයි)  

 

ආචාර්ය සූරිය ගුණසේකර