ශ්‍රී දළදා රන් වියනේ අරුත


 

නුවර වැව තෙර පියමන් කරද්දී, දුටු දුටු 


දනන් සිත් දැහැන් ගන්වන සුලු වූ, මනෝ රම්‍ය වූ දසුනක් වෙත නෙත් සිත් බැ​​ඳේ. ඒ අන් කිසිවක් නොව අති පූජනීය වූ ශ්‍රී දළදා මැඳුරයි. පත්තිරිප්පුව පෙරටු කොට, උඩවත්ත හරිත වන තුරු හිස් මතින් මතුව, හිරු රැස් පතිතව, රන් මල් තටාකයක් ලෙසින් ඈතට දිස් වන රන් වියන දළදා මාළිගාවේ දිවමන් සංකේතය ලෙසින් හැඳින්වීම කවර වරද ද?   

 

දශක තුනකට අධික කාලයක් දළදා සමිඳුට සෙවණ සැලැසූ තේජාන්විතව වැජබී රන් වියන අද අපට එහි දැකිය නොහැක. දිස් වන්නේ කළු පැහැ ආවරණයකි. දළදා මාලිගා පරිශ්‍රයෙහි කිසියම් පාළු ස්වභාවයක් දිස් වේ. රන් වියනේ අතුරුදන් වීම පිළිබඳව තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වූ කරුණු මෙවන් සටහනක් තැබීමට මා පොළඹවනු ලැබීය.   


රන් වියන දුර්වර්ණ වීම හා මතුපිට පතුරු ගැලවී යාම නිසා, එය ගලවා ඉවත් කර ප්‍රතිසංස්කරණය සඳහා යොමු කර ඇති බව අනාවරණය විය. මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික උපදෙස් ලබමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙම භාර ධුර කාර්යයෙහි නිරතය. අලුත් වැඩියාවන් සඳහා අවැසි ප්‍රතිපාදන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැදිහත් විමෙන් ලබා දී ඇත. එය මිලියන 45කි. 


දළදා වහන්සේට සෙවණ සලසන්නට රන් වියන මුලින්ම ඉදි කරනු ලැබුවේ අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසිනි. ඒ දළදා සමිඳුන් වෙත වූ භාරයක් ඔප්පු කිරීමක් සේ සැලකේ. 1987 වසර ජාත්‍යන්තර නිවාස වර්ෂය සේ පිළිගන්නා ලෙසට, එතුමන් ජාත්‍යන්තර රාජ්‍ය නායක සමුළුවට යෝජනාවක් ඉදිරිපත් කළේ. එය ඒකමතිකව සම්මත කර ගැනීමේ අභිලාෂයෙනි. අපේක්ෂාවන් සඵලමත් විය. එතුමා තමන් වූ භාරය ඒ අයුරින්ම ඉෂ්ඨ කරමින්, දළදා සමිඳුන් රන් වියනින් පුදනු ලැබීය. රන් වියන තනවා නිම කරවා මහත් උත්සවශ්‍රීයෙන් එය සසුනට කැප කරන ලද්දේ 1987 දෙසැම්බර් 31 වැනි දිනය. 

 

 

දළදා වහන්සේ වෙත ඔප්පු කළ මෙම භාරය නිසා, තමන්ට 1987න් පසු එළඹී වසර දෙක තුන තුළ නිවාස දස ලක්ෂය ඉක්මවා යමින් තම ඉලක්ක සපුරා ගැනීමට හැකි වූ බැව් වරක් එතුමා ගම්උදා උත්සවයක දී ප්‍රකාශ කළේය. 


රන් වියන දළදා සමිඳුන්ගේ තේජස, ප්‍රභාෂ්වරය ප්‍රකට කරවූවා පමණක් නොව, එය දළදා සමිඳුන් වැඩ සිටින කුටියේ මතු ආරක්ෂාව තහවුරු වීමට ද මහත් සේ ඉවහල් විය. ඒ මන්ද යත්, දළදා වහන්සේ වැඩ හිඳින කුටිය පෙර රජ දවස නිමවා තිබුණේ වරිච්චි බිත්ති වලිනි. අසල උඩවත්ත වන පියසේ සිට විටින් විට පැමිණෙන රිලා රෑන්, වරිච්චි බිත්ති මත රඳවා තිබු පැරණි වහලයේ ඔබ මොබ දිවීම නිසා, ඉපැරණි උළු කැට බිඳී යාමේ තර්ජනයකට නිරන්තරයෙන්ම මුහුණ දෙමින් පැවතිණි. වහළ ආවරණය වෙන පරිදි පිහිටි වහළට උඩින් ඉදිකළ රන් වියන නිසා පැරණි වහලයේ උළු බිඳී යාමේ තර්ජනය වැළැකිණි. එපමණක් ද නොව එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් 1998 වසරේදී දළදා මැඳුරට එල්ල කළ ප්‍රබල බෝම්බ ප්‍රහාරයේ දී වරිච්චි බිත්තියෙන් කළ දළදා සමිඳුන් වැඩ සිටි කුටිය ආරක්ෂා වූයේ රන් වියන සහ එය රැඳවීමට ශක්තිමත් ලෙස සවි කර තිබූ දැවැන්ත කොන්ක්‍රීට් කණු. ඒ රුඳුරු මහා දෙදරුම දැරීමට තරම් ශක්තිමත් වූ නිසා බව පරීක්ෂණවල දී අනාවරණය විය. ප්‍රේමදාස මැතිඳුන් මෙවන් රන් වියනක් ඉදිකරවූයේ, අලංකාරය සලකා ම නොව, දළදා සමිඳු වැඩ වසන කුටියේ ආරක්ෂාව ද සැලකිල්ලට ගැනීමෙන් බැව් මෙනයින් අපට වටහා ගත හැකිය. ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයෙන් හානියට පත් රන් වියන 2001 වසරේදී යළි පිළිසකර කර අවසන් කරනු ලැබිණි. 


1987 වසරේ රන් වියන නිර්මාණය කිරීමේදී පුරෝගාමීව මහත් කැපවීමකින් ක්‍රියා කළ වියතුන් කීප දෙනෙකු ද මගේ මතකයට නැඟේ. එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ලෙස කටයුතු කළ සිරිසේන කුරේ මැතිතුමා, මෙම ව්‍යාපෘතියේ සමීපතම අධීක්ෂකයා විය. වියනේ ඉංජිනේරුමය නිර්මාණය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ එවකට සාමාන්‍යාධිකාරී ලෙස සේවය කළ ඉංජිනේරු ගැමුණු සිල්වා මහතාගේය. රන් විය ඉදිකිරී​ෙම් යටගිය තොරතුරු සපයා ගැනීම පිණිස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරත්චන්ද්‍ර ජයතිලක මහතා හමු වීමට අවස්ථාවක් සලසා ගතිමි. ජයතිලක මහතා රන් වියන නිර්මාණය කිරීමේ ආරම්භයේ සිටම ඊට සිය දායකත්වය ලබා දුන් ඉංජිනේරු සංස්ථාවේ ​ෙස්​වය කළ අත්දැකීම් බහුල නිලධාරියෙකි. 


‘‘ලොව ඉදි වූ ප්‍රථම රන් වියන ලෙසයි මෙය සැලකෙන්නේ. 1988 වසරේ මුල් භාගයේ මෙහි ඉදිකිරීම් ඇරඹුණේ. රන් වියන වර්ග අඩි 3450 ක් පමණ වෙනවා. මේ සඳහා වඩාත් යෝග්‍ය සැලැස්මක් නිර්මාණය කරන්න ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා මහත් උනන්දුවකින්, කැපවීමකින් කටයුතු කළා. මාලිගා​ෙව් දළදා හාමුදුරුවෝ වැඩ සිටින කුටිය තනා තිබුණේ මැට්ටෙන්. ඒ සියල්ල වරිච්චි බිත්ති සවි ශක්තියෙන් තොර එම බිත්ති මත දැවැන්ත වියනක් රැඳවීම කිසිසේත් කළ නොහැකි බව නිරීක්ෂණය වුණා. ඒ නිසා ඉංජි​​ෙනරු සංස්ථාව තීරණය කළා. පිහිටි පොළොවේ සිට ශක්තිමත් කොන්ක්‍රීට් කණු පරණ වහළ ඉක්මවා යන ලෙස උසට විහිදුවා ඒ මත වියන රඳවන්න. වැඩ හිඳිනා මාළිගයේ දැනට පවතින කුඩා දොරවල් තුළින් ඉදිකිරීම් සඳහා අවශ්‍ය ක්රේන් යන්ත්‍ර සහ දැවැන්ත යන්ත්‍ර උපකරණ ගෙන යාමට පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි ඒ දැවැන්ත උපකරණ කොටස්වලට වෙන් කරලයි ඒවා දොරෙන් ඇතුළට ගත්තේ. එක සෑ​ෙහන දුෂ්කර කාර්යයක් වුණා.......’’ 


ජයතිලක මහතා නිර්මාණය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින්, ‘‘වියන මුලින්ම තඹ තහඩු වලින් නිර්මාණය කළේ. ඒ මත තුනී රන් තහඩු ඇලවීම කළා. වසර කිහිපයකින් සියුම් රන් පත් ගැලවෙන්න පටන් ගත්තා. නැවතත් වියන ප්‍රතිසංස්කරණය කරන්න සිදුවුණා. එම අවස්ථාවේ දී ඉතාලියෙන් ගෙන්වන ලද අඩි 1 1 /4 ප්‍රමාණයේ මොසැක් පිඟන් ටයිල් මතු පිට කැරට් 24 රන් කූඩු ආලේප කර ඒ මත වීදුරු තහඩුවක් ඇලවී​ෙමන් තමයි රන් වියන අලුත් වැඩියා කළේ. යළිත් රන් වියන දුර්වර්ණ වී පවත්නා බැවින් මේ වෙන විට නව්‍ය තාක්ෂණික ක්‍රමවේදයකට වියන රන් පැහැ ගැන්වීම සිදු කරනවා. මතු වසර හතළිහක් පනහක් යන තුරු දුර්වර්ණ නොවන ලෙසටයි මෙවර වියන රන් පැහැ ගන්වන්නේ...’’ එළඹෙන පොසොන් පුන් පොහෝ දින ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන යළි විවෘත වීමට නියමිත බව ද අපිට දැන ගන්නට ලැබිණි. 


ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පිළිබඳව තොරතුරු විමසන අවස්ථාවේ බෝසතාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වය ලද බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධි පාද මූලයෙහි පිහිටි වජ්‍රාසනය ආරක්ෂා වෙන පරිදි ඉදි කර ඇති රන් වියනක් පිළිබඳව ද පුවතක් අපට දැන ගන්නට ලැබිණි. එහි නිර්මාතෘ දිවංගත ප්‍රේමදාස ජනපතිඳුන්ය. පසු කලෙක වජ්‍රාසනයට ඉහළින් ස්ථාන ගත කර තිබු පාෂාණමය ස්ථූපයක් වැසි කුණාටු පැවති අවස්ථාවක මෙම වජ්‍රාසනය මතට කඩ වැටුණ ද ශක්තිමත්ව තනා තිබූ රන් වියන හේතුවෙන් වජ්‍රාසනය ආරක්ෂා වූ බවත් වාර්තා වේ. 

 

 

 


ආචාර්ය ගාමිණී කාරියවසම්