සංකාමය නිමේෂයක් ශේෂ කොට නික්ම ගිය මියැසිවරයා


සමාජ මාධ්‍ය අවකාශය පුළුල්වීම කොයිතරම් වැදගත් දෙයක් ද කියල හිතෙන මොහොතක අපි මේ ඉන්නෙ. මේ ප්ලැට්ෆෝම් හරහා එදිනෙදා හුවමාරු වෙන අදහස් තොගය සුළුපටු නෑ. ඒ හරහා ගොඩනැගෙන සංවාදයට බවුන්ඩ්‍රි ලයින් නෑ. ඒක විවිධ මානවලට විහිදිලා යන්න පුළුවන්. ඒ සංවාදයට විවිධ අයට අදහස්වලින් සම්මාදම් වෙන්න පුළුවන්. මේ නව මාධ්‍ය සංස්කෘතිය ඇතුළෙ ගැවසෙද්දී ලැබෙන ප්‍රමෝදය තමයි මේ විදිහට යමක් ගැන නොයෙක් ආකාරයට බහුවිධ අදහස් හැප්පෙන එක. ඒ හරහා ලැබෙන දැනුම සහ සමාජ අවබෝධය සැලකිය යුතු මට්ටමේ එකක්. සෝෂල් මීඩියා කියපු ගමන් ඇඟ කහන්න ගන්න අයට ⁣මේ ගැන මීට වඩා වෙනස් අදහසක් ඇති.

සමාජයට පොදුවේ මොනයම් හෝ බලපෑම් සහගත චරිතයක් මිය ගියහම මීට අවුරුදු දහ පහළොවකට උඩදී තිබුණ තත්ත්වයට වඩා වෙනස්ම තත්ත්වයක් තමයි, සමාජ මාධ්‍ය නිසා දැන් දැන් ඉස්මතු වෙන්නෙ. ඒක නරක ප්‍රවණතාවක් නෙවෙයි. ඉස්සර ප්‍රසිද්ධ ජනප්‍රිය සිවිල් චරිතයක් මියගියහම පත්තරේක යන ගුණ වැනුමක් හරි, ටෙලිවිෂන් එකේ යන නිව්ස් එකක් විතරයි. ඒ වෙනුවට අද ඒ චරිතෙ ගැන ලොකු සමාජ සංවාදයක් ගොඩ නැගෙනවා.

 

 

මේ ගැන දෙන්න පුළුවන් ආසන්නම කදිම උදාහරණ තමයි රොහාන් පෙරේරාගේ මරණය, ඒ.ටී. ආරියරත්නගෙ මරණය සහ නලින් ද සිල්වගෙ මරණය. මේ චරිත තුනම මිය ගියේ එකිනෙකට ආසන්න දවස්වල. මේ චරිත තුනම ලංකාවේ විවිධ සමාජ ස්තරවල නොයෙක් මාදිලියේ බලපෑම් කරපු චරිත. මේ චරිත ගැන නොයෙක් සමාජ කියවීම් තිබුණා. ඒ අයගේ මරණයත් එක්ක ඒ කියවීම් තිබුණට වඩා වැඩි වේගයකින් සහ ප්‍රමාණයකින් සමාජ මාධ්‍ය හරහා දෝර ගලන්න ගත්තා. ඒ අය ගැන නොදැන හිටපු බොහෝ දේ සමාජගත වුණා. මේක මේ නව තත්වය යටතේ නොවැළැක්විය හැක්කක් සහ සාධනීය දෙයක්.

මේ අටුවාව ලියන්න හිතුනෙ, මේ දවස්වල ආනන්ද පෙරේරා ගැන සමාජ මාධ්‍ය තුළ මතුවෙන කතාබහ නිසා. ප්‍රකට සංගීතඥයෙක් වෙච්ච ආනන්ද පෙරේරාගේ මරණයත් එක්ක, වසර ගණනාවක් නිහඬව තිබුණු ආනන්ද පෙරේරා මතක ඇවිස්සෙන්න පටන් අරගෙන. පත්තරේක ටෙලිවිෂන් එකක රේඩියෝ චැනල් එකක වදින නිව්ස් එකකට එහා ගිය කියවීම් රැසක් සෝෂල් මීඩියා එක ඇතුළෙ එහා මෙහා වෙන්න පටන් අරන්. ආනන්ද පෙරේරා ගැන දන්න අයට වැඩිදුර දැනගන්නත්, නොදන්න අයට මුල සිට දැනගන්නත් ඒ සංවාදය වැදගත්.

ආනන්ද පෙරේරාගෙ මරණය බොහෝ අයට වගේම මටත් ගෙනාවේ සාංකාමය හැඟීමක්. මීට වසර ගණනාවකට පෙර, අපේ සංගීතය මේ තරම් කෝලහලයක් වෙන්න කලින්, ආනන්ද පෙරේරලා කරපු වැඩ අහපු කියපු කාටත් ඒ සාංකාමය හැඟීම එන එක පුදුමයක් නෙවෙයි. ආනන්ද එයා වයපු වයලීනයට, ගිටාරයට, මැන්ඩලීනයට, සරෝදයට, බෙරයට, දවුලට, තම්මැට්ටමට වගේම අපේ හදවත්වලටත් හෙමින් හෙමින් තට්ටු කරපු හාදයෙක්. ඒක නිසයි එයාගෙ මරණය අපට සාංකාමය හැඟීමක් ගේන්නෙ.

ආනන්ද පෙරේරා පරිච්ඡේදයට කලින්, කලා ලොවේ බොහෝ අයට අහුවෙන්නෙ සිරිල් පෙරේරා පරිච්ඡේදය. ඒ කියන්නේ ආනන්දගෙ තාත්තගෙ පරිච්ඡේදය. එයා පරම්පරා කිහිපයකට සංගීත ඥානය ලබා දීල නිහඬවම ගියා මිසක් ආනන්ද තරම් ලංකාවේ කලා සංස්කෘතික අවකාශයේ උත්කර්ෂයට නැංවෙන්නෙ නෑ. හැබැයි සිරිල් පෙරේරගෙ බොහෝ ගෝලයන්ට වගේම ආනන්දගෙත් මුල් වැඩෙන්නෙ සිරිල් පෙරේරගෙ ඇල්ම බැල්ම යට. ආනන්ද මහනුවරට කොටු නොවී අගනුවර හරහා තව නොයෙක් නුවරවල්වල ‘සරිගම’ එක්ක කරග්ගහපු නිසා තමයි තාත්තව අතික්‍රමණය කරපු ජනප්‍රසාදයක් ලැබෙන්නෙ.

ආනන්ද පෙරේරලගෙ “ශක්ති”‍ ප්‍රවේශයත් එක්ක තමයි ඒ ගොල්ලො බහුජන ප්‍රසාදයකට පාත්‍ර වෙන්නෙ. ආරම්භයේ ඉඳලම රඳවගන්න සමත් වුණු ආකර්ෂණීය ඉදිරිපත් කිරීමේ විලාසයට සහ ශක්තිලගෙ එක් එක් පුද්ගලයට තිබුණ කේවල දක්ෂතාව නිසාම තමයි ඒ තරම් රසික පපු කුහර අස්සට යන්න පුළුවන් වුණෙ. ආනන්ද පෙරේරා, ඇන්තනි සුරේන්ද්‍ර දෙන්න ගිටාරයක් වයලීනයක් මැන්ඩලීනයක් අතට ගන්නව කියන්නෙම උළෙලක් තමයි ඉතිං. ඒ දිහා ඇස් කන් ⁣ඇරගෙන ගෙවෙන තප්පර අපරාදෙ කියල කවදාවත් හිතුණෙ නෑ. ඒ විදිහට කම්බි කීපයක් දිගේ රසිකයන්ගෙ පපුව ඇතුළට බහින්න ලේසියෙන් වාදකයෙකුට බෑ. ඒකට ඒ කවුරු වුණත් වාදනයේ නිපුනයෙක් වෙන්න ඕනෑ. ඒ වගේම හැඟීම වයන්න ඕනෑ. ප්‍රවීණ සංගීතඥයෙක් වෙච්ච එච්.එම්. ජයවර්ධන නිතර කියපු කතාවක් තමයි ‘එයාගෙ සංගීතය කියන්නෙ හැඟීම්’ කියලා. ඒක හරි අපූරු කතාවක්.

ආනන්ද පෙරේරා සංගීත කණ්ඩායමේ වාදකයෙක් වගේම වෙනත් බොහෝ ශිල්පීන් ප්‍රමාණයකට ගීත නිර්මාණය කරපු කෙනෙක්. ඒ වගේම ගායකයෙක්. මෙහෙම හැකියාවක් කියන්නේ, කෙනෙකුට මහානර්ඝ වටිනාකමක්. පෙර අපර දෙදිග සංගීතය මනාව මුසු කරපු තනු රැසක් ආනන්දගෙ නිර්මාණ පසුම්බියෙ තියෙනවා. ඒක වෙනම ලිහා බලන්න වටින පැත්තක්. කොටින්ම කියනව නම්, ආනන්ද පෙරේරා කියන්නේ සංගීතය ගැන උනන්දු විද්‍යාර්ථීන්ට ඉතා කදිම ”‍කේස් ස්ටඩි”‍ එකක්. හැබැයි ඔය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ එහෙම ඉන්න ගුරුවරු මේවට මග පෙන්වනවද කියලා තමයි ෂුවර් නැත්තෙ.

කාලෙන් කාලෙට එන සංගීත රැලි අපි දකිනවා. ඒවයේ ගහගෙන යන මහ ගස් අපි දැකල තියෙනවා. ඒ රැලි අස්සෙ හොඳ නරක දෙකම තියෙනවා. අනූව දශකයේ වගේ ‘ශක්ති’ සහ ඊට පස්සෙ ආපු ‘සිහශක්ති’ හරහා අලංකාර සිංදු තොගයක් ලංකාවේ සංගීත රසිකාගාරයට ගොඩබෑව. ඒ හැම සිංදුවක් වගේම රසිකයන්ගෙ කන් ඇතුළෙ කඳවුරු ගහ⁣ගත්තා. එයාල අතර ඉඳපු කට්ටියගෙන් එක එක පුද්ගලයට තිබුණෙ එක එක පැහැයෙ හඬවල්. ආනන්ද පෙරේරා සිංදු කියද්දී එක හැඩයක්. සංගීත් වික්‍රමසිංහ තව අමුතු හැඩයක්. මේ කොයි කොයි හැඩේටත් රසිකයො හැඩ ගැහුණා. ගෘහස්ථ ප්‍රසංග විතරක් නෙවෙයි එළිමහන් ප්‍රසංග කලාවටත් මේගොල්ලො මේ නව හැඩතල ගෙනා⁣වා. එදා යටිපතුල් ලෙලි යනකම් නටන්න බලාගෙන එළිමහන් ප්‍රසංග බලන්න එන අයට ආනන්ද එක වෙලාවකට වයලීනයෙන් සැපක් දුන්නා. තව වෙලාවක දවුලක් තම්මැට්ටමක් ඉණේ බැඳගෙන සැපක් දුන්නා. අර හැමදාම කරටි කැඩෙන්න නටන්නම ආපු අයට ඒක අමුතු ‘ලල්’ එකක් වුණා.

ආනන්ද පෙරේරගෙ මරණයත් එක්ක සමාජ මාධ්‍ය ඇතුළෙ කරළියට ආපු ප්‍රධාන මාතෘකාව තමයි ‘ශක්ති’- ‘සිහශක්ති’ බෙදීම. ඒක අපේ ජීවිත කාලය තුළ අපි දැකපු ඛේදජනකම සිද්ධියක්. සංගීත කණ්ඩායම් බිහිවීම වගේම කැඩීල විසිරිලා යෑමත් අපි ඕනෑ තරම් දැකල තියෙනවා. හැබැයි ශක්ති බෑන්ඩ් එක කැඩුණු එක තරම් අපව රිද්දවපු කැඩිල්ලක් සංගීත කණ්ඩායම් ඉතිහාසයේ නැති තරම්. ශක්තිලගෙ ශක්තිය වෙච්ච ආනන්ද පෙරේරලා, ඇන්තනි සුරේන්ද්‍රල දෙපසට වුණා කියල අහපු එක වේදනාකාරි පුවතක් වුණා, එදා බොහෝ දෙනෙකුට මොකද, ඒ තරම් ඒ අයගෙ එකතුව නිසා අපිට ලැබුණු ආතල් එකක් තිබුණා. ශක්ති, සිහශක්ති බෙදීම හරහා වුණෙ අපේ අන්න ඒ ආතල් එකත් කුඩුවීම. ඒ බෙදීම කණ්ඩායම් දෙකේ අයට දැනුණෙ යම් සේ ද එසේම හෝ ඊටත් වැඩියෙන් ශක්ති රසික සමූහයට දැනුණා. මේ ශක්ති බෑන්ඩ් එකේ බ්‍රේක්අප් එක පිටුපස ඇතැම් මහේශාක්‍ය කලාකාරයො එහෙමත් තම තමන්ගෙ නොමසුරු දායකත්වය දුන්න කියන එක කුප්‍රකට රහසක්. ඒ කෙරුවාවල් නම් ඉතිං ඉතාම ජුගුප්සාජනකයි. අන්තිමට මේක ජාතිවාදී ඉමකට හේත්තු වෙන තරමට ඇවිළිල ගිය ගින්නක් වුණා.

ජිප්සීස්ලා, සන්ෆලවර්ලා එක පැත්තක් රන් කරද්දී, ශක්ති බෑන්ඩ් එක තමයි වෙනස් හැඩයක් බෑන්ඩ් කලාවට ගෙනාවේ. සුනිල් පෙරේරලා ස්ටේජ් එකේ වෙන සෙල්ලමක් දාද්දී ආනන්ද පෙරේරලා දැම්මෙ වෙන සෙල්ලමක්. ඒ කොයි සෙල්ලමත් එපා නොකිය වැලඳගත්තු රසික ප්‍රජාවක් අපේ රටේ හිටියා. ලංකාවේ සංගීත කණ්ඩායම් ගැන ඩිස්කෝස් එක ඒ තරම් පොහොසත් එකක් නෙවෙයි. සංගීතය ගැන විවිධ ආකාර කියවීම් දැල්වුණත් සංගීත කණ්ඩායම් ගැන කතාව එහෙම ඉස්මතු වෙන එකක් නෙවෙයි. නමුත් ඒක ඉස්මතු කරගත යුතුම එකක්. සුනිල් පෙරේරලා මොනවද කෙරුවේ ?, නීල් වර්ණකුලසූරියල මොනවද කෙරුවෙ ?, ආනන්ද පෙරේරල ඇන්තනි සුරේන්ද්‍රල මොනවද කෙරුවේ ? කියන සංවාද ඇවිළෙන්න ඕනෑ.


ආනන්ද පෙරේරගෙ මරණයත් එක්ක මීට කාලෙකට පෙර අපි දැකපු සුපුරුදු ශෝකවීම්වලට එහා ගිය සංවාදයකට පාර කැපෙමින් තියෙනව කියල පේනවා. අන්න ඒ පාර පුළුල් කරන්න බැකෝ බුල්ඩෝසර් විතරක් නෙවෙයි තම තමන්ට හැකි පමණ උදැල්ලක් අලවංගුවක් හරි අරගෙන පාරට බහින්න කියන ආරාධනාව කරන්න කැමතියි. ඒකෙන් තමයි ආනන්ද පෙරේරලගෙ, සුනිල් පෙරේරලගෙ මරණයට පවා වැඩිමනත් වටිනාකමක් එකතු වෙන්නෙ.

 

ප්‍රියන්ත කොඩිප්පිලි