සංගක්කාරලා සහ වෙන්ඩ සංගක්කාරලා


මේ දිනවල පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වෙමින් තිබෙනවා. මේ බොහෝ තරග සජීවීව විකාශය කෙරෙන බැවින් - බොහෝමයක් ක්‍රිකට් ලෝලීන් ගේ අවධානය මේ තරග වෙත යොමු වන්නේ නිතැතින්.

ඇතැම් පාසල් ක්‍රිකට් තරග අතරතුර තරමක අශෝබන සිදුවීම් දැක ගන්න, ශ්‍රවණය කරන්න අපිට හැකියාව ලැබුණා. 

සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත ප්‍රතිවාදීන් දමනය කරන්න පුළුවන් අතේ පයේ හයියෙන් විතරක් නෙවෙයි කටේ හයියත් ඉතාම වැදගත්. 

මෙහෙම වචනයෙන් ප්‍රතිවාදියෙක් අවුල් කරන්න අසැබි වදන් පාවිච්චි කරන්නම අවශ්‍යයි කියලා නියමයක් නැහැ. හැබැයි හරි වචන හරි තැනට පාවිච්චි කරන්න ක්‍රිකට් ගැන වගේම ඉන් පරිබාහිර ලෝකය ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනැ.

අපේ බොහෝමයක් තරුණ ක්‍රීඩකයින්, පාසල් ක්‍රීඩකයින් තමන්ගේ පරමාදර්ශී චරිතය විදියට ගන්නේ කුමාර් සංගක්කාර. සංගක්කාර කියන්නේ ඔය කට කියවීමේ කලාව එහෙමත් නැත්නම් ස්ලෙජිං නිසි ආකාරයෙන් හදාරපු කෙනෙක්.

සංගක්කාර ඔහේ කියන්නං වාලේ කට කියවපු මනුස්සයෙක් නෙවෙයි. දෙයක් කටෙන් පිට කරද්දි - ඒකට අදාළ අනෙක් කරුණු කාරණා දත්ත ගැනත් ඔහුට නිසි අවබෝධයක් තිබුණා.

2003 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ඩර්බන් නුවර පැවති මූලික වටයේ තරගයේ තීරණාත්මක මොහොතක දකුණු අප්‍රිකානු නායක ශෝන් පොලොක් කඩුල්ලට එද්දි සංගක්කාර මෙහෙම කියනවා. එහි සිංහල අදහස මෙවැන්නක්.

”‍මෙන්න එනවා නායකතුමා. 

පීඩනය කොහොමද නායකතුමනි?”

“මේ වෙලාවේ අසාර්ථක වුණොත් මුළු රටම බිම.”

“මිත්‍රවරුනි මිලියන හතළිස් දෙකක බලාපොරොත්තු ශෝන් ගේ කරමත.”

“අපේක්ෂාවක බර.”‍

මේක බොහොම සරල වචන හුවමාරුවක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි තැනට සුදුසු ආකාරයෙන් පාවිච්චි කරන්න

දකුණු අප්‍රිකාවේ ජනගහනය වගේ කරුණු කාරණා ගැන සංගක්කාර කළින් දැනගෙන හිටියා.

ඉන්දියානු කණ්ඩායමේ හර්බජාන් සිංගේ පන්දු යැවීමේ ඉරියව්ව සෑහෙන ආන්දෝලනයට තුඩු දුන් එකක්.

එක්තරා තරගයක දී පන්දුවට පහර දෙන්න හර්බජාන් කඩුල්ලට ආවාම කඩුලු‍ රකිමින් සිටියේ කුමාර් සංගක්කාර.
මේ කියන දවස්වල හර්බජාන් ගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවත වතාවක් කතා බහට ලක් වෙච්ච කාලයක්.

හර්බජාන් පිතිකරණය වෙනුවෙන් ඉන්න ලබා ගන්න අතරේ සංගක්කාර මෙහෙම කියනවා.

“මේ බජ්ජි, උඹ ඔය අත්කොට කමීසෙට හරි කඩවසම් නේ බං. ඇයි උඹ බෝල් කරද්දී ඔහොම අදින්නේ නැත්තේ?”‍

සංගක්කාර මේ ආකාරයේ තියුණු, උපායශීලී ක්‍රිකට් මනසක් පිහිටන්න ඔහුගේ පවුල් පසුබිම සැහෙන්න බලපෑවා. සංගක්කාරට එයට

පදනම වැටුණ ආකාරය ගැන ඇත්තේ මෙවන් මතකයක්.

“ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නට පෙර ඒ හා සම්බන්ධව ලියවුණ දේ කියවිය යුතු බව මගේ පියාගේ මතය වුණා. ක්‍රීඩාවේ යෙදෙන්නට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය, සංස්කෘතිය ගැන මනා වැටහීමක් තිබිය යුතු බවත්, ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නට හොඳම මග ක්‍රීඩාව ගැන කියවීම බවත්, ඔහු නිරන්තරයෙන් අවධාරණය කළා.

මා ලබාගන්නා ලකුණු ප්‍රමාණය කෙතරම්ද කියා ඇත්තටම ඔහුට වැදගත් වුණේ නැහැ. ඔහුට ඇත්තෙන්ම වැදගත් වුණේ මා ලකුණු ලබා ගත් ආකාරය සහ ගුණාත්මක බව පමණයි.

මා පොත් ගුල්ලෙකු කිරීමට මගේ පියාට සෑහෙන වුවමනාවක් තිබුණා. සතියක සඳුදා දිනයේ මා වෙත පොතක් ලබා දී සිකුරාදා දිනයේ අදාළ පොත ඇසුරෙන් ප්‍රශ්න ඇසීමට ඔහු පුරුදු වී සිටියා.

මගේ අනෙකුත් සහෝදර සහෝදරයින් මේ පුරුද්දට ඇබ්බැහි කරන්නට ඔහුට නොහැකි වුණේ ඔවුන් එක හෙළා එය ප්‍රතික්ෂේප කිරීම නිසායි. පවුලේ බාලයා වූ මට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. නමුත් මගේ කියවීමේ පුරුද්ද ඇති වූයේ මගේ පියාගේ මේ ක්‍රියාකලාපයට පිං සිදුවන්නටයි.

ක්‍රිකට් ක්‍රීඩාව ගැන පිතිහරඹය ගැන හොඳින් දැනගන්නට නම් C.B  ෆ්‍රයිගේ ‘Batsmanship’  ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ‘The Art of Cricket’,  මයික් බෙයර්ලිගේ ‘The Art of Captaincy  වැනි පොත් ඔහු නිර්දේශ කළ පොත් අතර වුණා.

2002 වසරේ මම මගේ මුල්ම එංගලන්ත සංචාරයේ යෙදී සිටියදී අමුත්තෙකු මා සොයා පැමිණියා. ඔහු චාර්ල්ස් ෆ්‍රයි, C.B  ෆ්‍රයිගේ මුණුබුරා.

“C.B  ෆ්‍රයි මගේ සීයා. මට ඔබට දෙන්නට තෑග්ගක් තිබෙනවා’’. ඔහු පැවසුවා. C.B  ෆ්‍රයිගේ ‘Batsmanship’ ග්‍රන්ථයේ දෙවන වෙළුමේ පොතක් ඔහු අත තිබුණා. ඔහුට කෙසේ හෝ මගේ පියාගෙන් මට ලැබුණ බලපෑම ගැන අසන්නට ලැබෙන්න ඇති කියා මම විශ්වාස කරනවා.”‍

2008 අවුරුද්දේ ICC  සම්මාන උළෙලේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය වෙනුවෙන් සම්මානය හිමිවෙන්නේ ශ්‍රී ලංකාවට. ඔය සම්මානය ගන්න නායක මහේල ජයවර්ධන වේදිකාවට නැග්ගාම සභාව මෙහෙයවපු නසාර් හුසේන් - මහේලට මෙහෙම කියනවා.

“මහේල, ඔබ කිව්වා ආක්‍රමණශීලී වෙන්න ඕනැ - හැබැයි ඒක අවලස්සන එකක් වෙන්න බෑ කියලා. ඒ කියන්නේ ඉස්සරහට අපිට ‘ගුඩ් මෝනිං සර්. අද ඔයා හොඳට ලකුණු ගහන්න ඕනැ කියලා‘ විකට් එකට එන බැට්ස්මන් පිළිගන්න කුමාර් සංගක්කාර කෙනෙක් දකින්න ලැබේවි නේද?”‍

මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් කුමාර් සංගක්කාර කියන මනුස්සයා ගේ වචන කොයි තරම් සැරට සුදු ජාතික ක්‍රීඩකයින් ගේ ඔළුවල හොල්මන් කරලා තියනව ද කියන කාරණාව.

2001 අවුරුද්දේ එංගලන්ත කණ්ඩායම ලංකාවට ආපු වෙලේ මයිකල් ඇතර්ටන් ගේ උඩපන්දුවක් රැකගැනීම ගැන මතභේදාත්මක කතාබහක් ඇති වෙනවා.

“උඹ වංචාකාරයෙක්”‍ ඇතර්ටන් සංගක්කාරට කියනවා.

“ආ උඹ නේද අර සාක්කුවේ වැලි දාගෙන බෝලේ පළුඳු කළේ”‍ සංගක්කාර ප්‍රතිඋත්තර දෙනවා.

සංගක්කාර මේ මතක් කරන්නේ එවකට එංගලන්ත නායක ඇතර්ටන්, 1994 අවුරුද්දේ කරපු කැත වැඩක් ගැන. 

ක්‍රීඩාව ගැන කියවලා ඒ ඒ තැන් හොඳට මතක තියන් ඉන්න වෙනවා හරි තැනට, හරි වෙලාවේ, හරි කෙනාට, හරි ඇණේ ගහන්න නම්.
2003 අවුරුද්දේ ආපහු එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එනවා. මෙවලේ සංගක්කාර පිතිහරඹයේ යෙදෙමින් ඉන්න අතරවරයේ එංගලන්ත ක්‍රීඩකයින් හා නැවත වතාවක් ගැටෙනවා.

එංගලන්ත පිටදඟ පන්දු යවන්නා ගැරෙත් බැටී පන්දු යවන්න කැඳවනවා දැකපු සංගක්කාර මෙහෙම කියනවා “කෝ අර රොබට් ක්‍රොෆ්ට් කියන හාදයා? උඹලට හිටිය හොඳම ස්පිනර්”‍

සංගක්කාර ගේ ස්ලෙජිං කෙටියි ඒ වගේම රළුයි. ඒවා මිනිස්සුන්ගේ ඔළුවලට ඇතුල් වෙලා විනාශකාරී වැඩ කරනවා.

වතාවක් BBL  තරගයක සංගක්කාර පිතිහරඹයේ යෙදෙමින් ඉන්නවා. රිකී පොන්ටිං එක්ක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් විස්තර විචාරයේ යෙදී ඉන්නවා.

“සංගා හොඳට ඉගෙන ගත්ත කට කියවන එකෙක්. ඒ නිසාම මට සංගක්කාර කියපු මෙලෝ හසරක් තේරුණේ නැහැ”‍ ෆ්ලින්ටොෆ් කියනවා.

මෙහෙම කට කියවීමෙන් ප්‍රතිවාදියාගේ ඔළුවල හොල්මන් කරපු සංගක්කාර වැඩි කාලයක් යන්න කළින් තේරුම් ගන්නවා කයිය ගහනවට වඩා වැඩ තමයි ඒ කියන්නේ පිත්තෙන් එන ලකුණු තමයි වැදගත් කියලා. 

“උඹ තරුණයෙක් විදියට මුලින්ම කණ්ඩායමට ආවාම කියවන වැඩේ ඔයාගේ වගකීමක් කියලා හිතෙනවා. හැබැයි ලකුණු ගහන එක තමයි ඇත්තටම ඔයාගේ රාජකාරිය. උඹ ඒ දේ හරියට කළොත් අනිත් දේවල් නිකන්ම උඹ පිටිපස්සේ ඒවි”‍ සංගක්කාර පස්සේ කාලෙක cricket.com.au  එක්ක වැඩසටහනකදී  කියනවා.

අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට විතරක් නෙවෙයි ජාත්‍යන්තර මට්ටමට කිට්ටු වෙච්ච ක්‍රීඩකයින්ටත් මේකෙන් ගන්න ලොකු දෙයක් තියනවා.

ක්‍රීඩාවේ යෙදෙන්න කලින් ඒක එක්ක බැඳිච්ව සංස්කෘතිය, හර පද්ධතීන් ගැන කියවන්න ඕනැ. ඉතිහාසය ගැන දැනගන්න ඕනැ. ඒ ඔක්කොටොම උඩින් තමන් කණ්ඩායමේ ඉන්නෙ මොකටද? මගේ කාර්ය භාරය මොකක්ද කියලා දැනගන්න ඕනෑ. අන්න එහෙම දවසට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තවත් කුමාර් සංගක්කාර කෙනෙක් අපිට දැකගන්න පුළුවන් වේවි.

කාංචන පිටිගල