කේ.ආර් කුසුම් මුණසිංහ මහත්මිය සහෘදයින් අතර වඩාත් ජනප්‍රිය වෙන්නේ කිවිඳියක්, ගී පද රචිකාවියක් ලෙසයි. ‘දෙරණ සරණා ලිහිණියෝ’ කෘතිය ඇයගේ කාව්‍ය නිර්මාණ හා ගීපද ඇතුළත් කෘතියයි. ‘රැයේ වට වැහි’ සංවෘත තැටිය ඇයගේ ගීත නිර්මාණ එකතුවකි.
‘ආදරණීය විතිංග්ටන්’, ඇයගේ නවතම කෘතිය එළිදැක්වූයේ මෙම වසරේදීය. එය ඇය එංගලන්තයේ ගත කළ කාලය තුළ ලද අත්දැකීම් ඇසුරින් රචනා කර ඇත. එම කෘතිය පිළිබඳව කළ කතාබහ මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නෙමු.
ඔබ එංගලන්තයේ ගත කළ කාලය තුළ කළ සංචාර ‘‘ආදරණීය විතිංග්ටන්’’ හි ඇතුළත් වෙනවා. සංචාරක සටහන් තුළින් සාහිත්‍යයක් මතු කිරීම අපහසු ද?
නැහැ. සාහිත්‍ය නිර්මාණයක් තුළින් අප කරන්නේ පාඨකයා බුද්ධිමත් කියවීමකට හා රස වින්දනයකට යොමු කිරීම. බුද්ධිමත් කියවීම යන්නෙන් මා අදහස් කරන්නේ කතුවරයා ලියන දෑ විනිවිද ගොස්, විවිධ දිශානතීන්ට යොමු වූ ඇතුළාන්තයන් දැකීම. රස වින්දනය මා දකින්නෙ වදන් සමූහයක් තුළ රුවා ඇති ගුණාත්මක බවයි. උදාහරණ සේ දැක්වුවහොත්, එය සරු ආකල්ප විය හැකියි. සමාජයේ ප්‍රගමනයට හේතුවෙන සිතිවිලි විය හැකියි. පාඨකයා නවමු නිර්මාණකරණයකට පොලඹවන කාරණා විය හැකියි. එහෙයින් සංචාරක සටහනක් මඟින් බුද්ධිමත් කියවීමකට හා රස වින්දනයකට ගෙන යා හැකි බැවින් සාහිත්‍යමය වටිනාකමක් පවතිනවා.
ඔබේ සංචාර අත්දැකීම්වලින් මෙම පොත කරන්න උනන්දුවක් ඇති වුණේ කොහොම ද?
2020 වර්ෂයේ සැප්තැම්බර් මුල් කාර්තුවෙහි විතිංග්ටන් නගරයට ගිය මා මුහුණ දුන්නේ එංගලන්තයේ කොවිඩ් උවදර ශීඝ්‍රව හිස එස වූ සමයකටය. සති තුනක නිවාස අඩස්සියෙහි ගතකිරීමට සිදුවීම මට නුහුරු අත්දැකීමක් විය. කවුළු සීමාවෙන් පෙනෙන හුදෙකලාමය පරිසරය මට බොහෝ දේ සිතන්නට, ආවර්ජනය කරන්නට සහ අභ්‍යන්තර ආත්මීය ආකල්පමය වෙනසකට අවස්ථාව සලසා දුණි.
ඒ සියල්ල එහි සිට මුහුණු පොතට මුදාහැරීම දෛනික කාර්යයක් තරමටම මට ඇබ්බැහි විය. මුහුණු පොත් හිතවතුන්ගේ දිරිගැන්වීම් හා ඉල්ලීම් අතර මංජු නැදගමුව සොයුරා සහ වසන්තා කේ. මිහිඳුකුලසූරිය සොහොයුරියගේ බලවත් ඉල්ලීම එම අසංගෘහිත ලිවීම් පොතක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය මානසික පෙලඹුම මට ඇති කරවා ලීය. ඔවුන් ඇතුළුව, පළමු ස්තුතිය, මා එහි කැඳවා අත්දැකීම් ලබා දීමට අවස්ථාව දුන් මගේ ලොකු පුතා බුද්ධික තිලකරත්නටත් හිමි කරමි.
පොතක් මුද්‍රණය ආර්ථික වශයෙන් අසීරු මෙවන් වකවානුවක, ‘ආදරණීය විතිංග්ටන්’ හි කාර්යභාරය ඉටු කළ ‘කවිවර’ ප්‍රකාශකයන්ට මගේ ආදර ස්තුතිය පළකර සිටිමි.
මා දුටු විතිංග්ටන්හි ප්‍රීතිමත් මිනිසුන් පරෙවියන්ගෙන් සංකේතවත් කරමින්, මගේ ඡායාරූපයකට අනුව, පොතම කියවිය හැකි පිටකවරයක් නිර්මාණය කළ සෞම්‍ය සඳරුවන් ලියනගේ ආදරයෙන් සිහිපත් කරන්නෙමි. මා අකුරු කළමුත්, Team Work එකක් ලෙස, කාටත් දැනෙන නිර්මාණයක ප්‍රීතිය අත්විඳිමින් සිටිමි.
ඔබ ගී පද රචිකාවියක්. කිවිඳියක්. මෙවැනි ශානරයක් තුළ කටයුතු කිරීමෙන් ලැබුණ අත්දැකීම මොන වගේ ද?
පද්‍යයක හෝ ගද්‍යයක භාෂාව භාවිතයේදී, කියවන්නාට, දැනෙන ලෙස හා සරල ලෙස ලිවීමයි වැදගත් වෙන්නේ. ගේය පද රචනයක දී, සුගායනීය ලෙස වදන් ලිවීමත්, කවියක දී මතුපිට අරුතට වඩා යටිපෙළ අරුත්ගන්වා ලිවීමත් තමයි මා‘තින් සිදුවුනේ. ගද්‍යයෙන් ලිවීම තුළදී ද, මට වඩා ළංවුණේ යම් රිද්මයකට එය ලිවීමයි. එය කාව්‍යමය ලිවීමක්. වැකියක් යම් සොඳුරු වදන් රටාවකින් තමයි ලියැවෙන්නෙ. ‘ආදරණීය විතිංග්ටන්’ කෘතියෙහි කවි ද අන්තර්ගතයි.සමහර කවියක් ගීතයක් බවටත් පත් වුණා. මගේ දියණිය, මාධවී තිලකරත්න ගයන, සංගීතය, සංගීතවේදී මාලක රත්නායකගෙන් වූ ‘ඇඟිලි තුඩු නොරිදමින් දැවටෙනා පන්හිඳේ’ එහි කවක් ගීතයක් වූ අයුරුයි. කවියෙන් ගීතයෙන් මිදී වෙනම මාවතකට අවතීර්ණ නොවුණා සේ මට හැඟෙනවා. මගේ ලේඛන කලාව මට දැනෙන ලෙසට, මෙහෙයවුනේ, ගේය පද රචිකාවියක්, කිවිඳියක් ලෙසින් මා ආත්ම අභ්‍යන්තරයෙහි පැළපදියම් වූ ළයාන්විත වදන් ගැළපුමට රිසි අයුරින්මයි.
සංචාරක සටහන් සාහිත්‍යමය ස්වරූපයකින් ලියද්දී ඔබ එයට ප්‍රබන්ධය එකතු කළේම නැද්ද?
නැහැ. මට ඕනෑකම තිබුණේ මා දකින සියල්ල සත්‍ය ආකාරයෙන්ම ඉදිරිපත් කරන්න. ඒ වටා බැඳුණු සිතුම්, හැඟීම්, ආකල්ප නිර්ව්‍යාජව කියන්න, ලියන්න. යථාර්ථය හැර ප්‍රබන්ධයක අංශු මාත්‍රයක්වත් නැහැ.
සංචාරක සටහන් කියන ශානරය පිළිබඳව ඔබේ කියවීම් සහ අධ්‍යයනය මොන වගේ ද?
සංචාරක සටහන් ගතහොත්, මා කිය වූ සිංහල පොත් මට සිහිවෙනවා. ඒ අතර මා ආශාවෙන් කියවූ පොතක් තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘අසම්පූර්ණ චාරිකා’. ඒ හැර අධ්‍යයනයක් වශයෙන් මා කිසිදු ග්‍රන්ථයක් උවමනාවෙන් හදාරා නෑ.
ඔබ අදහස් කරන සංචාරක සටහන්ම පාදක නොවුණු වෙනස් ආකාරයේ කෘතියක් ‘ආදරණීය විතිංග්ටන්’. මං කැමතියි එය හඳුන්වන්න ගවේෂණාත්මක කෘතියක් ලෙසට. එහි සංගෘහිත කරුණු අතර එංගලන්තයේ, මැන්චෙස්ටර්හි, විතිංග්ටන් නගරය මගේ අභ්‍යන්තර සිතුම්, පැතුම් ආකල්පවලට ඇති කළ බලපෑම, විශේෂයෙන් කොවිඩ් වසංගතය ඉතා දරුණු ලෙස එංගලන්තයට බල පෑ වකවානුවෙහි, පුද්ගල චර්යාවන් වෙනස් කළ අයුරු, යටත්විජිතයක් ලෙස ශ්‍රී ලංකාව ගත කළ අතීතයේ නෂ්ටාවශේෂ, විශේෂයෙන් ලිවර්පූල් නැරඹීමේදී, අත් දුටු සෘතු විපර්යාස ජීවිතය හා සමානුපාතික කරගන්නා ප්‍රීතිමත් මිනිසුන්.
අධ්‍යාපනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂ කටයුතු, ක්‍රමවේදයන්හි අපේ රටට වඩා වෙනස්කම්, පරිසරය මිනිසුන්ට විඳින්නට හැකි ආකාරයට සුන්දරව නිර්මාණය කර ඇති ආකාරය, අසිරිමත් සොබා දම් නිමැවුම්. සොබා දහම හා පරිසරය විනාශයට නොව රැකගැනීමට පෞද්ගලිකව හා පොදුවේ කැපවෙන මිනිසුන් මගේ ඇසට, මනසට හසුව, ජංගම දුරකථනයේ notepad මත සටහන් විය.
විටෙක, වරින් වර ඉන් ඉවත්ව, ජනපදවාසී දැරිය, ශ්‍රී ලාංකික මව, ගෘහිණිය, ගුරුවරිය, මිත්තණිය බවට පත්ව අතීතාවර්ජනයෙහි යෙදුණෙමි. තවත් වරෙක මිනිස් සිතුම් පැතුම්, ආකල්ප ආදියත් සමඟ ගනුදෙනුවක යෙදුනෙමි. එබැවිණි මෙය සංචාරක සටහන් මැය යටතේම තැබීමට මා මැළිවෙන්නේ. තවත් වරෙක මිනිස් සිතුම් පැතුම්, ආකල්ප ආදියත් සමඟ ගනුදෙනුවක යෙදුණෙමි. පොතක් තුළ පොතක් බහා ලූයෙමි. K booksමා නවමු ලොවක රැඳවීය. එබැවින් එයට කෘතවේදී වූවෙමි. මුල් කතෘ භිෂ්මා උප්‍රෙටි Bhishma Upreti ඔබටත් ස්තුතියි.
එබැවිනි, මෙය සංචාරක සටහන් මැය යටතේම තැබීමට මා මැළි වන්නේ.
ලාංකීය පාඨකයන්ගෙන් මේ සඳහා ලැබුණ ප්‍රතිචාර කොහොම ද? මෙය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ අදහසක් තියෙනව ද?
සරු පොතක් ලෙසට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සමහරු යෝජනා කරනවා පුස්තකාල පොතක් ලෙස නිර්දේශ විය යුතු ග්‍රන්ථයක් ලෙසටත්. ඒ කෙසේ වෙතත් ආශාවෙන් කියවිය හැකි පොතක් ලෙසට, කියවූ හැම කෙනෙක්ම පැවසීම මට ඉදිරි නිර්මාණ කටයුත්තක් කිරීමට ජවය සපයමින් සිටිනවා.
ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවාට අකැමැත්තක් නෑ. එහෙත් අපේ උරුමයන්, සාරධර්ම මත පා තබාගෙන, මා එතෙර දුටු අයුරින් දැක්මක් ඇති අයෙකුගේ හස්තයකින් එය කෙරෙනවා නම් මං සතුටුයි. ඒ වගේම ඒ සොඳුරු සිරි සර වර්ණිත අලංකාරයෙන් හෝ ඊටත් වඩා සිත්තම් කළ හැකි භාෂා හසුරු කුසලතාවෙන් යුතු අයෙක් වේ නම්...
සංක්‍රමණිකයෙක් ලෙස විතිංග්ටන් කේන්ද්‍රගත කොට එංගලන්ත සමාජය මධ්‍යස්ථව සහ ඇතැම්විට ප්‍රශංසාත්මකව දැකීම ඉංග්‍රීසි ජාතිකයන්ගේ අමන්දානන්දයට හේතු වෙන්නට පුළුවන. එහි වාසිය ශ්‍රී ලාංකිකයන් වෙන අපටමය.
නවෝද්‍යා ජයවික්‍රම