සක්විති මහාරාවණයන් ගේ “සැඳෑ අංගණය” නමින් බිඳී වහරට එක්ව ඇති “හඳඟනාව”


හඳගනාව ගම අසල සුන්දර වෙල් යාය


හඳගනාව නාමය ලක් ඉතිහාසය හා එක් වන්නේ පූර්ව ඵෙතිහාසික යුගවල සිටය. මුල් යුගයේ හඳඟනාව ලෙස හඳුන්වා ඇත්තේ මේ වන විට අතහැර දමා ඇති ඉපැරණි ගම්මානයක් වු “ යහල ගම්මැද්ද ” වූ අතර, මිනිපේ ගොවි ජනපද ව්‍යාපාරයෙහි ආරම්භයත් සමග හඳගනාව හා යහල ගම්මානය දෙකක් ලෙස සලකන්නට වූ බැව් එහි අතීතය පිළිබඳ තතු දත් පැරැන්නෝ පවසති.
 
හෙළ රජ පෙළපතෙහි මහා තේජෝභාවයෙන් හා රණ ශූරත්වයෙන් පිරිපුන් සක්විති මහාරාවණයන් ගේ “සැඳෑ අංගණය” නමින් බිඳී වහරට එක්ව තිබෙන මිනිපේ - හඳගනාව ප්‍රදේශය ඵෙතිහාසික පුරා වෘත්තාන්ත රැසක් සැඟව ඇති විවිධ යුගවල විසූ විවිධ රජවරුන්ගේ ආරක්ෂිත ප්‍රදේශයක් හා ජය භූමියක් වූ බැව් නොරහසක් බව විවිධ කතුවරුන් ලියූ පොත් පත් පරිශීලනයේ දී පැහැදිලි වේ. 
 
ආර්. එල්. බ්‍රොහියර් විසින් රචිත (The Ancient Irrigation Works in Ceylon) ග්‍රන්ථයේ සඳහන් අයුරු “දාසෙන් කැලි”  දාස් කල්‍ය හෙවත් ධාතුසේන රාජ්‍ය සමයෙහි දුම්බර කඳුතලාවල “හඳඟනාව” නම් වූ ස්ථානයෙහි එකල “යක්කු” යනුවෙන් හඳුන්වන ලද වැදි කොට්ඨාසයක් විසූ බව ද රජතුමන් මහවැලි ගඟ හරහා අමුණක් බැඳ විශාල ඇළක් කැපීමට ඔවුන්ට ආරාධනා කළ බව ද, මිනිපේ ඇළ නමින් හැඳින්වෙන මෙහි නටබුන්වලට වර්තමානයේ පවා “යකා බැඳි ඇළ” යනුවෙන් ව්‍යවහාර කරන අතර, එහි අමුණ පිහිටි ස්ථානය “යකුන්දාව ” (යකුන් විසින් බඳින ලද) ලෙස හඳුන්වනු ලබන බව එම ග්‍රන්ථයේ සඳහන් වේ.
 
මේ අනුව එකල යක්කු නමැති වැදි කොට්ඨාසය ලෙස හඳුන්වන්නට ඇත්තේ යහල ගම්මානයේ විසූවන් බවට කිසිදු සැකයක් නැත. එදවස යහල නමින් හැඳින්වූ පෙදෙස ක්‍රි.පූ. 137 පමණ වන විට මහියංගණ කෙසෙල්පත (කදලී පත්‍ර) ප්‍රදේශයෙහි කඳවුරු බැඳගත් දුටුගැමුණු රජුගේ යුද සෙබළුන් සඳහා අවශ්‍ය වූ අවි ආයුධ නිපදවා  ඇත්තේ යහල ගම්වැසියන් විසිනි. ඒ අනුව එ දවස (ය-හෙල) ය-කඩ සහිත හෙල කඳුවැටිය නැතහොත් (ය-හල) කම්හල අරුතින් යහල ගම්මානයට එම ග්‍රාම නාමය පටබැඳී ඇති බැව් සිතිය හැක. මෙ වන විට පවා එම ගම්මානයේ බොහෝ තැන්වල පිරිසිදු යකඩ පෙරා ගත් පසු ඉවතලන “යබොර” කුඩා කඳුවැටි ලෙස දැකිය හැකි බවට පැරණි ගම්වැසියන් පවසන බවත්,  මීට අමතරව මහනුවර යුගයෙහි සිහසුන් දැරූ සේනාරත්න හෙවත් සෙනරත් රජු (1604-1635)  “ බිංතැන්නේ දෙවියන් ” ලෙස හැඳින්වු දෙවන රාජසිංහ රජු (1629-1687) සහ කුණ්ඩසාලේ රජු හෙවත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) ආදී රජවරුන් විසින් පරිහරණය කරන ලද සංචාරක මාලිගා කිහිපයක් යහල සහ වර්තමාන හඳඟනාව අතර පැවති බැව් මූලාශ්‍ර තුළින් තහවුරු වෙන බව ප්‍රවීණ ග්‍රන්ථ රචක මොරයායේ ධර්මසේන මහවෙල පැවසීය.
 
පහළොස්වෙනි සියවසෙහි මැද භාගය පමණ වන විට මැද මහනුවර කේන්ද්‍ර කර ගනිමින් සමස්ත මධ්‍යම පළාතම සිය ආධිපත්‍යයට නතු කරගත් “ජෝතිය” නමැති ප්‍රාදේශීය රජු එවකට නටබුන්ව පැවති මිනිපේ අමුණ පරීක්ෂා කර බැලීම සඳහා කළ  සංචාරයේ දී රජු සමග පැමිණි “මාන පතිරන්නැහේ” නමැත්තෙකු විසින් රජුගේ ඉල්ලීමට අනුව ඈත අහසේ පියාසර කරමින් සිටි උකුස්සෙකු එක් ඊතල පහරකින් ම රජුගේ පාමුලට වැටීමට සලස්වා ඇත්තේ ද හඳඟනාව ගම් ප්‍රදේශයෙ හි ගල්තලාවක් මත දී බැව් ජනකතා තුළින් පැහැදිලි වෙන බව ඩී. පී. වික්‍රමසිංහයන් රචිත “මගදිගට ජනකතා” ග්‍රන්ථයේ සඳහන් වේ.
 
ගම්පොළ යුගය වන විට රජ බවට පත් දෙවෙනි වීරබාහු රජු ක්‍රි.ව. 1391-1397 උඩදුම්බර තලගුණේ රජ මාලිගයෙහි සිට රාජ්‍ය පාලන කටයුතු  මෙහෙය වූ යුගය වන විට වර්තමාන හඳඟනාව ප්‍රදේශය මෙතුමන් විසින් ගොඩනැඟූ අලංකාර නගරයක් වූ අතර, එය එකල “සඳගල නුවර” ලෙස හැඳින් වූ බැව්  “නිකාය ග්‍රන්ථයෙ” හි සඳහන් වේ. (නිකාය සංග්‍රහය- දේවරක්ඛිත ජයබාහු හිමි) 
 
ඉරගල නුවර ඉරගල පවතිනා තුරු
සඳගල නුවර සඳගල පවතිනා තුරු
මැද මහනුවර රන්කොත පවතිනා තුරු 
දිනලා යන්ට නොදෙනෙමි දිවි තිබෙන තුරු
 
මිනිපේ සඳගල නුවර (නූතන හඳගනාව) සිට වරින්වර රජවරු රාජ්‍ය පාලනය සිදුකොට ඇත. එම ප්‍රදේශය “අන්තර් ගංගා ” ප්‍රදේශයට අයත් විය. එහි පළමු පාලකයා වූයේ ඉහතින් සඳහන් කොට ඇති විජය රාජ පරම්පරාවේ (මලකන්තිස්ස) “කූටකණ්ණ තිස්ස” රජු ය. පාලන ප්‍රදේශය වූයේ මහවැලි ගංගා නිම්නයේ සිට මාදුරුඔය දක්වා ප්‍රදේශයයි. කලක දී මෙම ප්‍රදේශයට මහවැලි ගඟින් එතෙර ඌව ප්‍රදේශයේ උඩකිඳ හා යටිකිඳ කොටස් ද අයත් වූ බව පෙනී යන බව ද ධර්මසේන මහවෙලයන් සඳහන් කරයි. 
 
මහාමලය ප්‍රදේශයට අයත් වූ මෙම පෙදෙසෙහි ක්‍රි.ව. 276 සිට 303 දක්වා රජ කළ මහසෙන් රජතුමන් මිනිපේ ඇළ කප්පවා මින්නේරි වැව දක්වා ජලය රැගෙන යමින් ප්‍රදේශයේ විසූ සිය ඥාතීන් ගේ ගොවිතැන් කටයුතු සඳහා පහසුකම් ලබාදුන් බවත්, දෙවන ගජබාහු රජතුමා ද (1132-1153) මහා මලය ප්‍රදේශය පාලනය කළ බවත්, සඳහන් වේ. (දුම්බර පුරාණය - එස්. බී. කරල්ලියද්ද)
 
හඳගනාව පිළිබඳව තවදුරටත් සඳහන් කරන “උඩරට මහා කැරැල්ල” ග්‍රන්ථයට අනුව සිංහලේ රජුට අයත් වී අමුණු 584 ක් විශාල කෙත් බිම් බින්තැන්නේ තිබූ බවත්, ඉන් හඳගනාවේ වී කෙත්වලට මහවැලි ගඟෙන් ද, ඉතිරි බින්තැන්නේ කෙත්වලට සොරබොර වැවෙන් ද, ජලය ලබාගත් බව සඳහන් ය. තවදුරටත් එම ග්‍රන්ථයේ සඳහන් පරිදි මිනීමැරීම් හා තදබල සොරකම් සඳහා වරදකරුවන් වෙන්නන් වීදි දිගේ කසයෙන් තළමින් රැගෙන ගොස් ප්‍රදේශයෙන් පිටුවහල් කළ බවත්, එසේ පිටුවහල් කරන්නන් බින්තැන්නේ කරුප්පේ සහ හඳඟනාවටත්, දුම්බර, හංවැල්ල, කෙහෙල්ඇල්ල, මීමුරේ, වලපනේ, මඩුල්ල, හා තෙරිපැහැ යන ප්‍රදේශවලටත් පිටුවහල් කළ බැව් කියැවේ. (උඩරට මහ කැරැල්ල - තෙන්නකෝන් විමලානන්ද)
 
ඉපැරණි ගම්මානයක් වන හඳඟනාවේ ඵෙතිහාසික ස්ථාන කීපයක් ඇති බවද, ඒ අතර 25 ඇළ ප්‍රදේශයේ මහවැලි ගඟබඩ පිහිටි පැරණි යුගයකට අයත් ස්තූපයක් සහ විහාර මළුවක නටබුන් ද, කඩමණ්ඩියට මඳක් පහළින් ඉඩමෙහි පිහිටි ඵෙතිහාසික දේවාලයකැයි අනුමාන කළ හැකි ගල් කුලුනු - පුදසුන් සහ සඳකඩ පහන් සහිත ස්ථානයක් ද, ඇති අතර තුනේ කණුව ප්‍රදේශයේ ඉපැරණි යුගයට අයත් ගලින් නිමකළ ළිඳක් සහ එම ප්‍රදේශයේම මෙහෙණි ආරාමයට යාබදව පවත්නා පැරණි නෂ්ටාවශේෂ වැදගත් ස්ථානයක ලා හැඳින්විය හැකි බව පුරාවිද්‍යා ගවේෂක වනජීවි අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ඒ. මහින්ද විජේසිංහ “ ඉරිදා ලංකාදීපය”යට පැවසීය.
 
 

හඳගනාව ගම්මානය


නුග ගස

හසලක
සුනිල් ඒකනායක