සතුන් වත්තේ රඟන කළු හංසයෝ


විෂ විදින නාගයන් රුසියාවෙන් ඇවිත් 

”‍හංසරාණී ආදරේ මදාරා පරසතු විලේ   
ජීවිතේ මදිරා බොමු මගේ හිත උදුරා ගනු   
හංසයාණෙනි ආදරෙ මදාරා පරසතු විලේ   
ජිවිතේ මදිරා බොමු මගෙ හිත උදුරා ගනු”‍ 

 
පුරා අවුරුදු ගණනක් තිස්සේ එසේ එකිනෙකාට බොහෝ සෙනෙහසින් කොඳුරමින් , හොටින් හොට තබමින්, සීතල නිල් දියේ පාවෙමින් ඔවුන් දෙදෙනා කොතෙකුත් දිගු ගමන් යන්නට ඇත. දිගු කතා පවසන්නට ද ඇත. දිගු සිහින දකින්නට ද ඇත. තමන් දෙදෙනා පසුපස හුරතලයට දඟකරමින් ඇදී එන හංස පැටවකු ගැන මෙම හංසයා සහ හංසරාජණිය ප්‍රාර්ථනා කරන්නට ද ඇත.   


සිහිනය යථාර්ථයක් වී ඇත. පුරා අවුරුදු පහකට පසු තමන් පසුපස එකම එක හංස පැටවකු වෙනුවට හංස දරු පැටික්කියන් පස් දෙනෙකුම ඇදි එන සුබ දසුන දකින්නට දැන් ඒ දෙදෙනා බලා සිටිති.   
බොහෝ දෙනා සුදෝ සුදු හංසයන් ගැන කව් ගී සිලෝ දහස් ගණනින් ලියද්දී, කිසිවෙකුගේ ඇල්මකට බැල්මකට හසුව, කවියක ගීතයක සැඟවෙන්නට ඉඩක් නොලද කළු හංස යුවලක් ගැන බොහෝ දෙනා කතා කරන්නට පටන් ගෙන ඇත.   


දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වසර 86 ක ඉතිහාසය අතිශය සුන්දර කරමින්, සත්වෝද්‍යානය තුළම කළු හංස පැටවුන් පස් දෙනෙකු මේ වන විට උපත ලබා සිටින්නේ ය. කළු හංස අම්මාත් තාත්තත් දැන් සිටින්නේ උතුරා යන සෙනෙහසින් මෙන්ම ආඩම්බරයෙනි. ඒ හංස පුතුන් දෙදෙනෙක් සහ හංස දියණියන් තුන් දෙනෙකු නිසා ය. පැටවුන් පස් දෙනාට අමතරව තවත් නංගිලා මල්ලිලා හතර දෙනෙක් ද පෙරමග එන්නට සූදානම්ව සිටින බව පෙනෙන්නට ඇත්තේ අම්මා දැමූ බිත්තර හතරක් මහා සෙනෙහසකින් රකින හංස තාත්තාගේ විමසිලිමත් ආරක්ෂාකාරි දෑස් කියන කතා නිසා ය.   


සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ මෙරටට ලැබුණු කළු හංස යුවළකට දාව උපත ලැබූ මෙම හංස පැටවුන් පිළිබඳව අපි වැඩිදුරටත් සොයා බලන්නට වීමු. මෙහිදී දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මියගෙන් අපි මේ පිළිබඳව විමසා බැලීමු.   


“අපිට කළු හංස ජෝඩු හයක් චෙක් රාජ්‍යයෙන් 2014 වර්ෂයේදි පමණ ලැබුණා. කළු හංසයන් ජෝඩු හයට අමතරව සුදු හංසයෝ ජෝඩුවයි. අප්‍රිකානු සිංහ ජෝඩුවයි. ලොකු අං තියෙන ගෝන්නු වැනි සත්ව වර්ගයක් ඉන්නවා. ඔවුන් හඳුන්වන්නේ ග්‍රේටර් කුඩු නමින්. ඔටුවෝ තුන්දෙනෙක් අපි ගෙන්වාගෙන තියෙනවා. ඒ වෙනුවට අපි දීලා තියෙනවා වවුලන් 30 ක් එනම් ජෝඩු 15ක්. ලතුවැකියා කොකුන් 16 දෙනෙක් , හැලි වඳුරන් 12 ක් යවලා තියෙනවා. තව අපි ඒ අයට මීමින්නෝ 12 දෙනෙක් යැවීමට නියමිතව තිබෙනවා. ඒ අය කියල තියෙනවා දැන්මම එවන්න එපා කියලා. මේ හුවමාරුව වෙලා තියෙන්නේ 2014 -2015 අතර කාලයේදි තමයි.  සතුන් සෙට් එකක් අරන්  සතුන් සෙට් එකක් දීලා තියෙනවා.  සතුන් ජාති 5 ක් අපිට දීලා තියෙනවා. අපි  සතුන් ජාති 3 ක් දීලා තියෙනවා තව සතෙක් යවන්න තියෙනවා.   
දෙහිවල සත්වෝද්‍යානයේ සිටින හංස යුවළට තමයි මෙම පැටවුන් පස් දෙනා ලැබුණේ. ඒ බිත්තර රක්කලා තමයි ඒ පැටවුන් පස් දෙනා හදා ගත්තේ. ලංකාවේ ප්‍රථම වරට තමයි කළු හංසයන් බිත්තර දාලා මෙහෙම පැටවුන් හදා ගත්තේ. ලෝකයේ තියෙන බොහෝ සත්වෝද්‍යාන සමග තමයි අපි මේ සත්ව හුවමාරු වැඩසටහන කරන්නේ. අපේ රටේ කළු හංසයෝ නැති වුණාට අපි ළඟ ඉන්නේ වෙනත් රටකින් ඉල්ලා ගෙනනේ. ඒ ආකාරයට තමයි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ. ඇය දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ එසේ ය.   


මෙම හංස දරු උපත් සිදුව ඇති කතන්දරය ද අපූරු ය. ගෝලිය වසංගතයක් වූ කොරෝනාව විසින් ලෝකය පුරා මිනිසුන්ගේ සිත් සතන් ගිනි තබද්දී, නිහඬවත් නිසලවත් පරිසරය බලා සිටියේ සිදුවන දේ ගැන විටෙක කම්පා වෙමින් ය. විටෙක ඇදැහිය නොහැකි ලෙස ය. තවත් විටෙක සොබා දහම ගැන අසීමිත සතුටකින් මෙන්ය. ගස්වැල් තුරුලතා මත කොතෙකුත් මල් පිපෙද්දි, ඵල දරද්දි, නෙක නෙක කුරුලු‍ කිරිල්ලියන් දසත පියාසලද්දි දෙහිවල  සතුන් වත්ත ද නිසලව පැවතුණේ වෙනදාට එහි එන දහස් ගණනක් මිනිසුන්ගේ ඝෝෂාකාරී හඬ, වීදි පුරා සැරිසරන නෙක නෙක වාහන හඬ, දුමින් පිරි වලාකුළු මේ කිසිවක් පෙනෙන්නට දකින්නට ඇසෙන්නට නොමැතිවීම නිසා ය.   


කුරුලු කිරිල්ලියන් පමණක් නොව රුදුරු වග වලසුන්, සිංහයන් මෙන්ම අලි ඇතුන් දියකඩිති මත පිහිනා යන නෙක නෙක වර්ණ මත්ස්‍යයන් මේ ආදි සියල්ලන් සොබා දහම සමග වෙලී තුරුලු‍ව ජිවිතය විඳින්නට පටන් ගෙන ඇති බව පරිසරයේ නිහඬ බව විසින්ම මනාව කියා දී තිබිණ.   
‘‘ඇත්තටම මේ හංස පැටවුන් උපත ලබන්නට කළු හංස යුවළ බිත්තර දැම්මේ කොවිඩ් කාලෙදියි. ඔවුන්ට කිසිම බාධාවක් තිබුණේ නැහැ. මේ වකවානුවේදි දෙහිවල සතුන් වත්ත පරිසරයට ගැළපෙන ආකාරයට සකස් වෙලා තිබුණා.   


කෝවිඩ් කාලෙදි තමයි බිත්තර දාලා අපි බොහෝම වුවමනාවකින් කැපවීමකින් රක්කවාගෙන පැටව් පස් දෙනෙක් ඉන්නේ. ඒ හංස අම්මා තවත් බිත්තර කිහිපයක් දාලා තියෙනවා. ඉතින් අපි ඒකත් රක්කවාගෙන යනවා. අම්මයි තාත්තයි ජෝඩුව ලවා බිත්තර රැක්කවීමක් කරන අවස්ථා වගේම බිත්තර රක්කවන මැෂිමකටත් දාලා රක්කවනවා එයාලට තේරෙන්නේ නැති නිසා පෑගිලා විනාශ වෙන අවස්ථාත් තියෙනවානේ. 

 

 ඩෝරා නමැති සිංහ පැටවා

 

 

මෙම සත්ව හුවමාරුව පිළිබඳව ද අපි ඇය​ගෙන් විමසුවෙමු.   


‘‘සත්ව හුවමාරුව කියලා කියන්නේ හැම සත්වෝද්‍යානයකම අපි හදනවා විශේෂ ලැයිස්තුවක්. අපිට අවශ්‍ය අපි ළඟ නොමැති සතුන්, ඒ වගේම අපි ළඟ වැඩිපුර එනම් අතිරික්තයක් විදියට සිටින සතුන් මේ ආදී ලෙසට. අපි හිතමු අපි කළු හංසයෝ ජෝඩුවක් ගෙනැල්ලා මෙහෙම හදාගෙන යන විට ආයෙත් තව ජෝඩුවක් බිත්තර රැකලා තව පැටව් ටිකක් හැඳුනා කියලා. එහෙම ඇවිත් අපි ළඟ පැටව් 10 දෙනෙක් විතර ඉන්නවා කියලා. ඇත්තටම  සතුන් වත්තට එකම වර්ගයේ  සතුන් 10 දෙනෙක්ම ඕනේ නැහැනේ. අතිරික්තයක් තියෙනවානේ. ඉතින් අපි කරන්නේ ලෝකයේ වෙනත් රටවල සත්වෝද්‍යායනවලත් ඒ අයගේ අතිරික්ත ලිස්ට් එකක් හදනවා. හදලා අපිට එවනවා. අවශ්‍යතාව මත අපේ අදාළ වගකිවයුතු පාර්ශ්ව එනම් විද්වත් මණ්ඩල සමග සාකච්ඡා කර අවශ්‍ය සතුන් හුවමාරුව කරගන්නවා.   


එසේ එවපු වෙලාවක සමහර විටක අපි හිතනවා අපිට දෙහිවල සතුන්වත්තට මුහුදු සිංහයෙක් ඕනැ. අලු‍තින් සීබ්‍රා ජෝඩුවක් ඕනැ. මොකද අපේ මුහුදු සිංහයා ඉන්නේ තනියෙන්. වලහා ඉන්නේ තනියෙන්. ඒ වගේ අපිට අඩු අය ඉන්නවා. අපි ඒ අයගේ ලිස්ට් එකක් හදලා තියෙනවා අපිට අතිරික්තයක් තියෙන සහ අපිට අඩු සතුන්ගේ ලිස්ට් අනුව ඒ අයට කළු හංසයන් ඕනැ නම් ඒ අය කියනවා හා හරි අපි ඕගොල්ලන්ට කළු හංසයන් දෙන්නම් අපිට ඕනැ මේ  සතුන් කියලා. එතකොට අපි ඒ අනුව එයලගෙන් ගන්නවා. එතකොට මුදල් ගෙවීමක් නැහැ. අපි කරන්නේ සත්වයන් දෙන්නෙක් හුවමාරු කරගැනීම තමයි. ගොඩක් වෙලාවට අපි උත්සහ කරනවා වටිනාකම සසඳන්න. සමහර වෙලාවට වටිනාකම සියයට සියයක්ම ගැළපුනේ නැති වුණත් අවශ්‍යතාව මත සමහර වෙලාවට අපි සතුන් ලබාගන්න අවස්ථා තියෙනවා. 

 

 


අපි හිතමු කළු හංසයෙකුගේ වෙ​ෙළද වටිනාකම නැතහොත් මූල්‍යමය වටිනාකම මෙපමණයි කියලා. ඒ මුල්‍යමය වටිනාකම තීරණය කරන්න ලෝකයේ රටවල් අතර සම්මත එකක් නැහැ. ලංකාවේ කළු හංසයෙකුගේ වටිනාකම, ඔස්ට්‍රේලියාවේ කළු හංසයෙකුගේ වටිනාකමට වඩා වෙනස්. අපි මේ සත්ව හුවමාරු වැඩපිළිවෙළ තුළ කරන්නේ අපේ අවශ්‍යතාව මත පදනම්ව අපි ඒ  සතුන්න්ව හුවමාරු කරගැනීමයි. ඉතින් අපි කවදාවත්ම හංසයෙකුට අලියෙක්ව වැනි ආකාරයට හුවමාරු කරන්නේ නැහැ. ඒ ඒ වර්ගයට අනුවයි කටයුතු කරන්නේ. එනම් කුරුල්ලෙකුට කුරුල්ලෙක් අපි සත්ව හුවමාරුව කරගන්න තමයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ.   


සත්වෝද්‍යානයට  සතුන් ගන්න වැඩපිළිවෙළ කුමක්ද?   


 සතුන් ගන්නවා කියන එක බඩුවක් කඩේකින් ගන්නවා වගේ සරල නැහැ. එය බාරදූර කාරණයක්. ඒ ඒ රටවල තියෙනවා සෞඛ්‍ය නීති රීති. ඒවාට අනුකූල වෙන්න ඕනැ. උදාහරණ විදියට ලෝකේ ගොඩක් රටවල්වලට අප්‍රිකානු රටවලින් අලි ගන්නේ නැහැ. මොකද ඒ අයට ක්ෂය රෝගය තියෙනවා කියලා පැවසෙන නිසා. ඒනිසා බොහෝ රටවල් කැමැති නැහැ අප්‍රිකානු රටවලින් අලි ගෙන්වා ගන්න. සෞඛ්‍යය පිළිබඳව සහතික කරනවා නම්, ඒ අදාළ ආයතනවලින් අපි සහතික ඉල්ලනවා. මේ සතාට මේ මේ රෝග නැහැ කියලා. එතකොට ලංකාවෙත් තියෙනවා නේ අදාළ නීති රීති. ඒ නීති රිතිවලට අදාළව තමයි අවශ්‍ය සහතික ලබාගෙන ඒව තියෙන ආයතනවලින් තමයි අපි ගන්නේ.   


සමහර සතුන් ගැනීමේ දී ඒ ඒ සතුන්ට ඇති රෝග කාරකාදිය නිසා කිසියම් අවදානමක් මතු විය හැකියි නේද ?   


ඒක තමයි මං කියන්නේ. එක එක රටවල්වලින් සතුන් ලංකාවට ගේන විට මෙන්න මේ රෝග නැහැ කියලා අපිට සර්ටිෆිකේෂන් ඕනේ කියලා. අපේ පශු වෛද්‍යවරුන් තමයි මේ කාර්යයට ඍජුවම සහභාගි වෙන්නේ. ඒකට අදාළ නීති රිතිත් තියෙනවා. මේ සියල්ල සම්පූර්ණ වුණොත් විතරයි අපි ලංකාවට සතෙක් ගේන්නේ. එහෙම නැතුව ගේන්නේ නැහැ. ඒ වගේ රටින් එළියට සතෙක්ව යවන විට ඒ අයටත් අදාළ නිති රීති තියෙනවා.   


අපිට අප්‍රිකාවට කියන්න පුළුවන් අපි ඕගොල්ලන්ගෙන් සතෙක් ගන්නවා නම් ඕගොල්ලොත් සර්ටිෆිකේෂන් ටික අපිට දෙන්න ඕනැ කියලා. ඒ අනුව තමයි හැම විටම කටයුතු කරන්නේ. එහෙම නැතිවුණොත් මේවා මුදාහැර කරන්නත් බැහැ. රේගුවෙන් අදාළ සම්පූර්ණ ලියකියැවිලි නැත්නම් එහි භාණ්ඩ මුදා හරින්න ඉඩ දෙන්නෙත් නැහැ.

   
 සතුන් වත්තේ අම්මලාට බබාලව ලැබුණේ මෑතකදි වුණත් මේ අම්මලා හිටියේ ගොඩක් කල් ඉඳලා. පහුගිය කොවිඩ් කාලෙදි මාස ගණනාවක් වහලා තිබ්බානේ. ජනතාව කිසිවෙකු ආවේ නැති තරම්. ඒ අය බොහෝම නිදහසේ යහපත් පරිසරයකනේ හිටියේ. 


බොහෝ අහිංසක, හුරතල් සතුන් මෙන්ම රුදුරු සතුන් ද මෙම සත්වෝද්‍යානය තුළ එකට රැඳී සිටින්නේ ය. වග වලසුන් හා සිංහයන් ද ඔවුන් අතර වෙයි. අම්මාවරුන්ගේ සෙනෙහස එකම ආකාරයක වුවද කලාතුරකින් එසේ නොවන අවස්ථා ද වෙන බව ඇය පෙන්වා දුන්නේ මෙම සතුන් වත්තේ පැටවුන් බලා ගැනීමට එහි පශු වෛද්‍යවරුන් මෙන්ම සතුන් බලාගන්නා අයගේ ද සෙනෙහස ගැන පහදා දෙමිනි. රිදියගම සෆාරි පාර්ක් - දෙහිවල ජාතික සත්වෝද්‍යයනයට අයත් එකකි. සතුන් කෙරෙහි, සිය කාර්ය මණ්ඩලයේ අයගේ සෙනෙහස ගැන පහදමින් ඇය මෙම අත්දැකිම විස්තර කර සිටියේ මෙසේ ය. 


”‍දැන් සමහර වෙලාවට මේ චූටි බබාලා බලාගන්න එකත් ඉතාම අමාරු වෙන අවස්ථා තියෙනවා. උදා විදියට අපි රිදියගම ඉන්නවා සිංහ පැටියෙක්. ඒ පැටියාව හම්බු වුණු ගමන් එයාගේ අම්මා, එයාව අතහැරලා දාලා. එයාව අම්මා ගණන් ගන්නේ නැහැ. කිරි දෙන්නෙත් නැහැ. එතකොට අපේ කට්ටිය තමයි පාන්තීරවලින් කිරි පොවලා දැන් එයාව ලොකු කරගෙන තියෙන්නේ. එයාගෙ නම ඩෝරා. එයා අප්‍රිකානු සිංහයෙක්. ඒ වුණාට එයා උපත ලැබුවේ ලංකාවේදියි. එහෙම අවස්ථා තියෙනවා. 


කොවිඩ් නිසා සතුන් වත්ත වහලා තියෙද්දි අපේ අයටත් එම සතුන් වෙතම පූර්ණ අවධානය යොමු කරගෙන ඉන්න ඉඩ හැදුණා. සමහර අවස්ථාලදි එතැනම නිදා ගන්න වෙලාවලු‍ත් තිබුණා. මොකද ඒ බබාලට කිරි පොවන්නත් අවස්ථා තියෙනවා. අපේ පශු වෛද්‍යවරුන් සහ සත්ව භාරකරුවන් සහ සතුන් බලා ගන්නා අය සිඟිති පැටියෙක් හිටියොත් එහෙම කිරි පොවන්න එහෙම අවශ්‍ය කෙනෙක් හිටියොත් ඒ බබාව අවදානමෙන් බේරගන්න ඔහුට අවදානමක් නැහැ කියල නිශ්චිත වෙනකම් අර සතා ළඟ පැය විසිහතරම ඉන්නවා. දැනටත් පින්නවලත් එහෙමයි. පින්නවල අපේ නිවුන් අලි බබාලා දෙන්නෙක් ඉන්නවා. එයාලගෙත් පොඩි එක්කෙනා ගොඩාක් දුර්වලව හිටියේ. කැලේ වුණත් නිවුන් බබාලා හම්බු වුණොත් දෙවැනි එක්කෙනා හරි දුර්වලයි කියනවා. දැනටත් අපි පැය විසිහතරම ඒ බබාලා දෙන්නා බලන්න කෙනෙක්ව දාලා තියෙන්නේ. සීසීටීවීත් තියෙනවා. සමහර වෙලාවට අම්මා නොදැනුවත්ම අම්මගේ අතින් පයෙන් පාරක් වැදුණොත් එහෙම ඒ අයට දරාගන්න බැහැ. අම්මට තේරෙන්නෙත් නැහැනේ. 


මේ අතර දෙහිවල  සතුන් වත්තේ එළඹෙන නත්තල් දිනයේදී තවත් අපූරු කටයුත්තක් ද කිරිමට නියමිතව ඇත. ඒ නම් තැබීමේ සුන්දර මොහොතකි. කේන්දර නොබලා නක්ෂත්‍රකරුවන් සාත්තරකරුවන් කිසිවෙකුට මේ කටයුත්ත බාර නොදි පොඩිත්තන්ටත් පාසල් දරු පැටවුන්ටත් ලබාදීමට දෙහිවල සතුන් වත්තේ බලධාරින් කටයුතු කර ඇත්තේ,  සතුන්න්ට සැබෑ ලෙසම මහත් සේ ආදරය කරන්නේ දරුවන් නිසා බව සැලකිල්ලට ගනිමිනි. අපි ඒ පිළිබදව ද ඇයගෙන් විමසුවෙමු.


අපිට ඉන්නවා මාස තුනක හිපපොටේමස් බබෙක් . නිවුන් සිළු වඳුරු බබාලා දෙන්නෙක්. අප්‍රිකානු ඔරික්ස් ගවයෙක්, බූරු පැටියෙක්, මේ බබාලට නම් තියන්න 20 වෙනිදාට කලින් නම් ටික එවන්න කියලා තියෙනවා. දුරකථන අංක 070 6188488 අංකයට කෙටි පණිවිඩ, වට්ස් ඇප් හෝ nationalzoo.gov.lk යන ෆේස්බුක් පිටුව හරහා වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට ආරාධනා කර සිටිනවා. 


එම පණිවිඩයේ සත්ව පැටවා, යෝජිත නම, තමාගේ නම, වය,ස පාසල සහ ලිපිනය ද සටහන් කර එවිය යුතු වෙනවා. එක් එක් පැටවාට දූ දරුවන් විසින් යෝජනා කරන ලද නම් අතරින් ඉතාම සුදුසු නම තෝරා ගනු ලබන අතර එම නම් තැබීමේ උත්සවය නත්තල් දින එනම් දෙසැම්බර් 25 වැනිදා  පවත්වනවා. එහිදි නම් තබන සත්ව පැටවුන් පස් දෙනාට අදාළ නම් එවන ලද දරුවන්ගෙන් තෝරා ගත් පස් දෙනාට ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබෙනවා. 


වසර විසිපහක් පුරා දෙහිවල සත්වෝද්‍යානයේ අඛණ්ඩව සේවය කරන එමෙන්ම සියලු‍ විද්‍යුත් හා  මුද්‍රිත මාධ්‍ය සමග අතිශය ලෙන්ගතු එහි අධ්‍යාපන හා මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන නිහාල් සෙනරත් මහතා ද හංස යුවලගේ දරු උපත පිළිබඳව මහත් වූ ප්‍රබෝධයෙන් කියා සිටියේ මෙසේ ය. 


‘‘කළු හංසයා අපිට මුලින්ම හමුවු​ණේ 2015 08 13 දිනයි. මේ අය ගෙනාවේ චෙක් සමූහාණ්ඩුවෙන් . ඇනිමල් පාර්ක් කියන සත්වෝද්‍යානයෙන්. අපිට හම්බ වුණා ජෝඩු 6 ක්. ඒ සමගම සුදු හංසයෝ දෙන්නෙකුත් ලැබුණා. අපි ඒ වෙනුවට දුන්නා වවුලන් ජෝඩු 15 ක්, ජලාශ්‍රිතව ජීවත් වෙන ඉතාම සුන්දර කොකුන් විශේෂයක් වෙන ලතුවැකියන් කියන ජෝඩු 8 ක් සහ හැලි වඳුරන් පිරිමි සතුන් 3 දෙනෙක් ගෑණු සතුන් 9 දෙනෙක් දුන්නා. ඔය විදියට තමයි සත්වෝද්‍යාන දෙක අතර සතුන් හුවමාරු කරගත්තේ. මේ  සතුන් සත්වෝද්‍යානය තුළ බොහෝම හොඳින් වර්ධනය වුණා. අවසානයේ දි දැනට අපි ළඟ ඉතුරු වුණේ ජෝඩු 6 න් දෙන්නයි. අම්මයි තාත්තයි විතරයි ඉන්නේ . ඒ දෙන්නා තමයි පහුගිය මාර්තු 22 වෙනිදා බිත්තර 5 ක් දාලා ඉන් පැටවුන් ආවා. පිරිමි සතුන් 2 සහ ගෑනු සතුන් 3 යි. මේ වන විට දැනටත් සුමාන දෙකකට පෙර බිත්තර 4 ක් දාල අම්මා බිත්තර රකිනවා. බොහෝම උනන්දුවෙන් බිත්තර රකින බව පේනවා. අම්මා බිත්තරවල ජීව සොබාවය භෞතික ස්වභාවය දන්නවා. අම්මාට දැනෙනව බිත්තරවලින් ජීවයක් උපදිනවා කියලා. එයාට සහජ දැනුමක් තියෙනවානේ. බිත්තර සංසේචනය වෙලා නැත්නම් අනිවාර්​ෙ‌යන්ම බිත්තර රකින එක ප්‍රතික්ෂේප කරනවා. එවැනි අවස්ථා අප අත්දැක තියෙනවා. පැස්බරා බිත්තර දානවා නමුත් බිත්තර රකින්නේ නැහැ. බිත්තර 15-20 ක් දැම්මත් බොහෝ විට අපිට හරි ගිහින් තියෙන්නේ බිත්තර දෙකක් විතරයි. ඒ බිත්තරත් ස්වාභාවිකව අම්මා බිත්තර රැකලා නෙමෙයි අපි වෙනම කෘත්‍රිමව බිත්තර රකින Incubator මැෂින්වල යොදා අවශ්‍ය උෂ්ණත්වය මගින් බිත්තරය රක්කවන්නේ. නමුත් හංසයින් නම් ස්වභාවිකවම බිත්තර රකිනවා. මේක හොඳ අවස්ථාවක්. ඔවුන් මේ පරිසරයට, මේ දේශගුණික තත්ත්වයට හොඳින් හැඩ ගැහිලා ඉන්න බවක් තමයි පේන්නේ ඔවුන්ගේ රටේම වගේ. මෙම කළු හංසයින්ගේ නිජ භූමිය ඔස්ට්‍රේලියාව. ඊට අමතරව පැටවුන් බිහිකිරිමට අවශ්‍ය පරිසර සාධකත් ඔවුන්ට නොඅඩුව සම්පූර්ණ වුණා කොරෝනා සමයේදි. දිගින් දිගටම ඒ කාලයේ  සතුන්න් වත්ත නැරඹිමට එන පිරිස් අඩුවෙලා තිබුණා. බාධා කිසිවක් තිබුණේ නෑ. අතිශය නිස්කලංකයි. වනයක අසිරිය තිබුණා. ඔවුන්ට හොඳ දරු උපතක මං පෙත් හැම තැනකින්ම විවර වෙලා තිබුණා. 


සත්වෝද්‍යානය තුළ ජනතාවට අලු‍ත් අත්දැකීම් ගණනාවක් විඳින්නට හැකියාව තියෙනවා. විවිධ සත්වයින් ගණනාවක් සිටින අතර මෑතකදි මොස්කව් සත්වෝද්‍යානයෙන් ලැබුණ උග්‍ර විෂ සහිත රතු වර්ණයෙන් යුතු නාග යුවළක් සත්වෝද්‍යානයේ උරග උයනේ දී දැක බලා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මෙම නාගයන් අප්‍රිකානු කලාපයේ ජීවත්වන නාග විශේෂයක්. මෙහි ජීවත්වෙන නාග විශේෂවලට වඩා රතු වර්ණයෙන් යුතු මෙම නාග විශේෂය ඉතා විෂ අධික වන අතර මෙම විෂ ස්නායු පද්ධතියට දැඩි බලපෑම් කිරීමට අමතරව අඩි 10ක් 12ක් පමණ දුරට විෂ විදීමේ හැකියාව ද පවතින බව කියා සිටියේ සතුන් වත්තේ මෙම සියලු‍ සුන්දරත්වයට යටින් බියකරු බවක් ද ඇති බව පෙන්වා දෙමිනි. 

 

 

පද්මිණි මාතරගේ