සබන් හදන යුනිලීවර් සමාගමේ කතාව


 ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • එදා සමාගම හැඳින්වූයේ “ලීවර් බ්‍රදර්ස්” නමිනි. සේවකයින්ගේ පරිහරණය සඳහා තැනූ අපූරු ගම්මානය “පෝට් සන්ලයිට්” 
  • යුනිලීවර් බවට පත් වුණේ එංගලන්තය සහ නෙදර්ලන්තයේ ඒකාබද්ධ වීමෙන්

 

 

එදිනෙදා භාවිතයට ගැනෙණ බොහෝ නිෂ්පාදන දේශීයව ඕනෑම රටකදී නිෂ්පාදනය වේ. සබන්, රෙදි සේදුම් වර්ග, ආලේපන, පිරිසිදු කිරීමේ ද්‍රාවණ, ආහාර නිෂ්පාදන සහ විවිධ බීම වර්ග ඇතුළු බොහෝ දේ මෙලෙසින් දේශීයව නිෂ්පාදනය සිදු වේ. එලෙසින් ඕනෑම රටක දේශීයත්වය මුල් කරගෙන එදිනෙදා භාවිතයේදී අත්‍යවශ්‍ය වූ දේ නිෂ්පාදනය වුව ද ඒ සියල්ල අභිබවමින් ලෝකය ආක්‍රමණය කර ඇත්තේ “යුනිලීවර්” සමාගමය. එනම් යුනිලීවර් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනයන්ය. 


සන්ලයිට්, විම්, ලයිෆ්බෝයි, සිග්නල්, රින්සෝ (රින්), ඇස්ට්‍රා, මාගරින්, ලක්ස්... මෙලෙසින් නම් පෙළක් ඔවුනගේ නාමය යටතේ සඳහන් කළ හැකිය. දේශීයව කොතරම් ගුණාත්මක දේ නිෂ්පාදනය වුව ද අද ලෝකය ආක්‍රමණය කර ඇත්තේ මෙවැනි මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියක යෙදී සිටින සමාගම්ය. කෙසේ වෙතත් අද අප සූදානම් වන්නේ මෙවැනි සමාගම්වල නිෂ්පාදන හෝ දේශීයව නිපදවෙන නිෂ්පාදනයන් ගැන විග්‍රහ කිරීමට හෝ සැසඳීමට නොවේ. ‘ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි’ විශේෂාංගය වෙනුවෙන් මෙම යුනිලීවර් සමාගමේ කතාව ගැන විස්තර කිරීමටය. යුනිලීවර් ලෝකය ආක්‍රමණය කළේ කොහොම ද? අද අපි ඒ ගැන විස්තර දැන ගනිමු.   


“ලීවර් බ්‍රදර්ස්” ලීවර් සහෝදරයින්   


යුනිලීවර් යනු පසු කලෙක ඒකාබද්ධ සමාගමක් ලෙස ස්ථාපිත වූවකි. ඊට පෙර ලෝකය දැන සිටියේ “ලීවර් බ්‍රදර්ස්ලා” හෙවත් “ලීවර් සහෝදරයින්” ගැනය. සහෝදරයින් කීව ද වැඩි පිරිසක් නම් නොවීය. විලියට් සහ ජේම්ස් යන බ්‍රිතාන්‍ය ජාතික සොහොයුරන් දෙදෙනා විසින් අරඹන ලද සමාගම පසු කලෙක නෙදර්ලන්ත ජාතික ව්‍යවසායකයකු එක්වීම සමග ඒකාබද්ධ සමාගමක් බවට පත්විණි. ලීවර් බ්‍රදර්ස්ලා “යුනිලීවර්” වී ඇත්තේ ඉන් පසුවය. කෙසේ වෙතත් අපි ආරම්භයට යමු. එනම් ලීවර් බ්‍රදර්ස්ලාගේ ආරම්භය දෙස විපරම් කර බලමු.   


ලීවර් සහෝදරයින් දෙදෙනා අතරින් වැඩිමලා වූයේ විලියම් ලීවර් ය. ඔහුගේ සම්පූර්ණ නාමය ලෙස සඳහන්ව ඇත්තේ විලියම් හෙස්කෙත් ලීවර් ය. 1851 දී ඔහු උපත ලැබුවේ එංගලනත්තයේ, ලැන්කෂයර්හි, බෝල්ටන් නගරයේදීය. යමක් කමක් තිබුණු පවුලකට අයත්ව උපත ලද විලියම් පවුලේ වැඩිමලා විය. පියා වූ ජේම්ස් ලීවර් කළේ තොග සහ සිල්ලර වෙළෙඳ ආයතනයක් පවත්වාගෙන යාමය. මව එලීසා, කපු නිෂ්පාදන කර්මාන්තශාලාවක කළමනාකාරවරයකුගේ දියණිය වූවාය. මේ එලීසා සහ ජේම්ස් යුවළට දරුවන් සත්දෙනකු සිටි අතර, වැඩිමලා වූ විලියම් වයස අවුරුදු හයක්ව සිටියදී ස්වකීය පාසල් ගමන ඇරැඹීය. වයස අවුරුදු නවය දක්වා පාසල් අධ්‍යාපනය ලැබුවේ සාමාන්‍ය පාසලකිනි. පසුව පල්ලිය හා සබැඳි පාසල් අධ්‍යාපනයට පිවිසි හේ පහළොස් විය ඉක්මවා යන තෙක් තරමක පහසුකම්වලින් සමන්විත පරිසරයක සිට අධ්‍යාපනය ලබමින් සිටියදීම පවුලේ ව්‍යාපාරය හා එක් වී ව්‍යාපාර පිළිබඳව පුහුණුව ලැබීමට උත්සුක විය. නමුත් විලියම්ගේ මවගේ වුවමනාව වී තිබුණේ පුතු වෛද්‍යවරයකු හෝ වෙනත් අංශයක වෘත්තීයවේදියකු වනු දැකීමය. විලියම් වඩා කැමැති වූයේ ගෘහ නිර්මාණ ශිල්පියකු වීමට යැයි සඳහන් වේ. විලියම් සහ ජේම්ස් සහෝදර දෙපළගේ පියා වූ ජේම්ස් ලීවර්ගේ අපේක්ෂාව වී තිබුණේ විලියම්​ ලොකු පුතු තම පවුලේ ව්‍යාපාරය හා බැඳී දුර ගමනක් යනු දැකීමය. “පුතා ඔයා එකම දේ කරලා හරියන්නේ නැහැ. කළමනාකරණය පැත්ත ගැනත් දැනගන්න ඕනෑ. මම දන්නවා ඔයා ටිකක් ශාස්ත්‍රීය මට්ටමේ කෙනෙක්. කලාව, ශාස්ත්‍රීය බව ඔයා ළඟ තිබුණාවේ. මේ ගණන් හිලව් ආදී දේ ගැනත් ඔයා උනන්දු වෙන්න ඕනෑ.” 

 
තාත්තා ලොකු පුතු විලියම් හට එලෙස කියා සිටියේ අනාගතයේදී මේ පුතා පෙරැළිකාර දෙයක් කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව විය හැකිය. විලියම් ලීවර්ගේ ප්‍රාථමික අවදිය ගෙවී ගියේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී දැනගත යුතු වූ බොහෝ කරුණු වෙතින් දැනුමින් පොහොසත් වෙමිනි. විටෙක පියාගේ ව්‍යාපාරයේ නියැළී පුහුණුව ලබමින් සිටි ඔහු ලැබුවේ සිලිමක පමණ වේතනයක් පමණෙකි. නමුත් අනාගතයේදී ව්‍යාපාරයක් කිරීම වෙනුවෙන් වූ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මූලධර්මයන් ද මූලෝපායයන් ද ක්‍රමෝපායයන් ද ප්‍රයෝගිකව උගෙනීමට ඔහුට හැකිවිණි. තමන් අදහන ආගමට ගෞරව කිරීම මෙන්ම ආගමානුකූලව කටයුතු කිරීම ද මෙම ලීවර් පවුල සතු වූ ගුණාංගයක් විය. ව්‍යාපාර කිරීමේදී ඔවුනගේ වුවමනාව වී තිබුණේ සදාචාරාත්මක එම කටයුත්තේ නිරත වීමය. ඒ නිසා සේවක අයිතිවාසිකම් ගැන සිතා කටයුතු කළ අතර එම අයිතිවාසකම් උදෙසා නිදහසේ කටයුතු කිරීමේ අවකාශය ද සේවකයින් හට ලබා දී තිබිණි. ඒ අනුව මෙම විලියම් ලීවර් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට පිවිසියේ හරවත් අත්දැකීම් රැසක් ස්වකීය ආත්මයට සමීප කරගෙනය. වයස අවුරුදු 29 දී පමණ විලියම් හට තවත් ලොකු වගකීමක් පැවැරිණි. 1879 දී අසාර්ථකව පැවැති තවත් ව්‍යාපාරයක් ලීවර් පවුල විසින් අත්පත් කරගනු ලැබූ අතර එහි පරිපාලන කටයුතුවලට සම්බන්ධ වී පරිපාලනයෙහි අත්දැකීම් ලබාගැනීමට ඔහුට හැකිවිණි. බොහෝ දෙනාට ජීවිතයේ අවස්ථා ලැබෙන්නේ නැත. අවස්ථා ලැබුණ ද එයින් ප්‍රයෝජන ගැනීමට ද සමහරු අපොහොසත් වේ. එහෙත් මේ විලියම් යනු ලැබුණු අවස්ථාවෙන් උපරිම පල නෙළා ගැනීමට සමත් වූ චරිතයක් විය. ලීවර් සන්නාමය යටතේ ලීවර් ව්‍යාපාරයේ නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කරවන ලද අතර, යුරෝපයේ වෙනත් රටවලට ද ඔවුනගේ නිෂ්පාදන යැවීමට කටයුතු කෙරිණ. ලීවර් බ්‍රදර්ස් නාමය කියූ පමණින් නිතැතින් සිහි ගැන්වෙන්නේ ඔවුන් ලබාදෙන වෙළෙඳ ප්‍රචාරණයන්ය. විටෙක ලෝකයේ මේ තරමටම භාණ්ඩ අලෙවියේදී වෙළෙඳ ප්‍රචාරය හෙවත් දැන්වීම් නිරන්තරයෙන් පළ කරන ලද සමාගමක් තව නොමැති තරම්ය. හැබැයි එය අද ඊයේක ඇති වූවක් නම් නොවීය. 1900 පෙර සිටම විලියම් ලීවර්ගේ දූරදර්ශී ඉව ඔස්සේ ඇති වූවකි. භාණ්ඩ අලෙවියේදී ප්‍රචාරණය ගැන ඉහළින්ම සිතා බලා කටයුතු කළ ලීවර්ලාගේ මුල්ම චරිතය ඔහුම විය.   


සන්ලයිට් කැටයෙන් ජීවිතය ආලෝකවත් කරගැනීම 

 
තාත්තා පුංචියට පටන් ගත් සිල්ලර වෙළෙඳාම පසුව තොග වෙළඳාමක් බවට පත්කරවමින් ලීවර් බ්‍රදර්ස් නාමය යටතේ සහෝදරයින් දෙදෙනා අලුත් ගමනක් එමින් සිටියේය. එහි ස්වර්ණමය ගමනක ඇරැඹුම සනිටුහන් වූයේ 1885 දී යැයි කිව හැකිය. සබන් නිෂ්පාදනයට අත ගැසුවේ මෙම වසරේදී පමණය. එහිදී විලියම්ගේ සොයුරු විලියම් සමග එක්ව සිටිය ද අසනීප තත්ත්වය නිසා ජේම්ස් ලීවර් හට සක්‍රිය දායකත්වයක් ලබාදීමට නොහැකි විණි. නමුදු ඔවුනගේ මිතුරකුව සිටි රසායනවේදියකු වූ වොට්සන්ගේ දායකත්වය සහ දැනුම ද ලීවර් බ්‍රදර්ස්ලා හට ලැබිණි. මුල් කාලීනව ලීවර් බ්‍රදර්ස් ව්‍යාපාරය හා එක් වූ පිටස්තර ආයෝජකයා වූයේ වොට්සන්ය. පළමු අදියරේදී සබන් නිපද වූයේ එළවළු තෙල් යොදාගෙන බැව් සඳහන් වේ. විශේෂයෙන්ම ෆාම් තෙල් යොදාගෙන තිබේ. මී පැණි ද යොදා සබන් නිෂ්පාදනය කළ අතර, මුලින්ම ලීවර් බ්‍රදර්ස්ලා ඔවුන්ගේ සබන් නිෂ්පාදන අලෙවි කළේ “මී පැණි සබන්” ලෙස යැයි සඳහන් වේ. මී පැණි යන වචනය ඇසෙන තරමට මිහිරක් ඇති වුව ද ලීවර් බ්‍රදර්ස්ලා හට ස්වකීය ව්‍යාපාරයට අපූරු මිහිරක් ගෙනාවේ “සන්ලයිට්” නාමය වේ. එනම් මී පැණි සබන් ලෙස එතෙක් අලෙවි කළ සබන් කැටය “සන්ලයිට්” යන නාමයෙන් නම් කිරීමත් සමග ටොන් ගණනින් නිෂ්පාදන අලෙවි වීම සිදුවිණි. එය කොතරම් නම් ප්‍රකට වී ද යත්, 1888 පමණ වනවිට සතියකට සන්ලයිට් සබන් ටොන් හාරසිය පනහකට එහා ගිය ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරිණ. මෙලෙසින් මේ නිෂ්පාදන කටයුතු ඉතා සාර්ථක ලෙස නගර දෙකක වූ ස්ථානයන්හිදී පවත්වාගෙන ගියේය. මේ අතරවාරයේදී ලීවර් බ්‍රදර්ස්ලාගේ සමාගමේ අධ්‍යක්ෂවරයකුව සිටි විලියම්ගේ මල්ලි සමාගමෙන් ඉවත් විය. එහෙත් සහෝදර නාමය හෙවත් බ්‍රදර්ස් යන නාමය දිගමට භාවිත වීම සිදු විය. සන්ලයිට් සබන් නාමය සහිත කවරය හැඩගැන්වූයේ හිරු ආලෝකය විදහා දැක්වෙන සලකුණකිනි. මෙම සලකුණ සහිත දැන්වීම් පුවරු සහ ප්‍රචාරණ පෝස්ටර් එංගලන්තයේ බොහෝ ස්ථානවල දී ප්‍රදර්ශනය කිරීමට ලීවර් බ්‍රදර්ස්ලා කටයුතු යොදා තිබිණි. පෙර සඳහන් කළ නගර ද්විත්වයේදී ලීවර් බ්‍රදර්ස්ලාගේ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙමින් තිබියදී සමහර අවස්ථාවලදී විලියම් හට සැක ඇතිවන දේට මුහුණ දීමට ද සිදු විණි. එනම්, එම කර්මාන්තශාලාවලදී ගුණාත්මක තත්ත්වයෙන් යුතුව සබන් නිපදවීම සිදුවනවා ද යන කාරණය මතය.   


ලීවර් බ්‍රදර්ස්ලාගේ සමාගම දිනෙන් දින ලෝකය ස්පර්ශ කරන්නට පටන් ගත්තේ, වෙන කිසිවක් නිසා නොවීය. නිෂ්පාදන වෙනුවෙන් ඔවුන් නිරන්තරයෙන් සිදු කළ ප්‍රචාරණය ඊට මුල් වූ බව කිව හැකිය. ඊටත් එහා ගිය තවත් අපූරු ස්ථානයක් ගොඩනැංවීමට එදා ලීවර් බ්‍රදර්ස්ලා හට හැකි විණි. එය හැඳින්වූයේ “සන්ලයිට් ගම්මානය” හෙවත් “පෝට් සන්ලයිට්” යනුවෙනි. සරලවම කිවහොත් වෙනමම නගරයක් ස්ථාපිත කිරීමක් මෙන් විය.   


සන්ලයිට් වරාය නගරය - පෝට් සන්ලයිට්   


1887 දී විලියම් ලීවර් විසින් අක්කර 56ක පමණ විශාල ඉඩමක් විරල් පළාතෙන් මිලදී ගත්තේය. සුන්දර මර්සි ගංගාවට මායිම්ව සහ බේබින්ටන් දුම්රිය මාර්ගයට නුදුරින් මෙම ස්ථානය පිහිටා තිබිණි. විලියම් විසින් එය නම් කරන ලද්දේ Port Sunlight (පෝට් සන්ලයිට්) හෙවත් සන්ලයිට් වරාය යනුවෙනි. මර්සි ගංගාවට මායිම් වූ නිසා එලෙසින් නම් තබන්නට ඇත. ලීවර් සමාගමේ සේවය කළ සේවක පිරිසගේ භාවිතය වෙනුවෙන් මෙම ඉඩමේ ආදර්ශ ගම්මානයක් ඉදිකළේය. සන්ලයිට් ගම්මානය ලෙස එය හැඳින්වීම වඩා සුදුසු වේ. මෙම ගම්මානයෙහි ඉදිකළ ගෘහ නිර්මාණ සියල්ලත් ආවාට ගියාට කළ ඒවා නොවීය. ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පීන් තිහකට සමීප සංඛ්‍යාවකගේ දායකත්වයෙන් ගෘහ නිර්මාණ සැලැසුම් සියල්ල ඉදිකිරිම සිදු විණි.   
කලාත්මක ගුණයෙන් සහ වටිනාකමක් ඇතිව සියල්ල නිර්මාණය වූ බව සඳහන් කළ හැකිය. තුන්දහස් පන්සියයකට එහා ගිය සේවක පිරිසකට නවාතැන් ගෙන කටයුතු කළ හැකි විදියට මේ අපූරු සූර්යාලෝක (සන්ලයිට්) ගම්මානය බිහිවිණි. අපූරු කලාගාරයක් ද හෝටලයක් ඇතුළු ස්ථාන ද මීට ඇතුළත් විය. විලියම් ලීවර් යනු කොතරම් නම් දුර දිග ඇතිව කටයුතු කළ අයෙක් ද යන්න මේ අපූරු නිර්මාණය වෙතින් වටහාගත හැකිය. අතීතයේදී ඔහු සිහින මැව්වේ ගෘහ නිර්මාණ ශිලිපියකු වීමටය. එහෙත් ඒ අරමුණ සඵල කරගැනීමට නොහැකි වුව ද එකී අරමුණ ඔහු සපුරා ගත්තේ මෙම ඓතිහාසික වටිනාකමක් ඇති කලාගාරයක් බඳු අපූරු ගම්මානය නිර්මාණය කිරීමෙනි. 

 
ලීවර් බ්‍රදර්ස් යුනිලීවර් බවට පත් වීම      


ලෝකයට සබන් නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගම ලෙස ස්ථාපිත වී සාර්ථක ගමනක් යමින් සිටි ලීවර් බ්‍රදර්ස් සමාගම 1929 දී පමණ ඒකාබද්ධ ගමනකට මුල පිරීය. ඒ, නෙදර්ලන්තයේ ප්‍රකටව තිබූ මාගරින් නිෂ්පාදන සමාගමක් වූ “මාගරින් යුනි” නමැති සමාගම සමගය.   


1867 දී පමණ නෙදර්ලන්තයේ ස්ථාපිතව තිබූ මාගරින් යුනි හෙවත් යුනියන් සමාගම එවකට යුරෝපයේ තිබූ මාගරින් නිපද වූ විශාලතම සමාගම විය. 1908 දී විටෙක මාගරින් ටොන් 50,000ක් පමණ නිපද වූ සමාගමක් විය. යුරෝපයේ සබන් නිෂ්පාදනයෙහි දැවැන්තයා සමග යුරෝපයේ මාගරින් නිෂ්පාදනයෙහි දැවැන්තයාගේ එක්වීම සමග එක්සත් ගමනකට මුල පිරූ නිසා, ලීවර් බ්‍රදර්ස් සහ මාගරින් යුනි (යුනියන්) ඒකාබද්ධ සමාගමක් බවට පත් වී යුනිලීවර් බවට පත්වූයේය. ඉනික්බිතිව ඉතා ශක්තිමත් ගමනකට මුල පිරූ යුනිලීවර්ලා ​දේශයෙන් දේශයට මහාද්වීපයෙන් මහාද්වීපයට ලෝකය තරණය කරමින් යුනිලීවර් කර්මාන්තශාලා පිහිටුවමින් අපූරු ගමනක් ආරම්භ කළේය. මේ ආ ගමනේදී ලෝක යුද්ධමය තත්ත්වයන් හමුවේ විටෙක යුරෝපයේ ගමන තරමක් අඩාල වුව ද ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් සමස්ත ලෝකය ජය ගැනීමට යුනිලීවර්ලා හට හැකි විණි. එදා සබන් කැටයෙන් පටන්ගෙන පසුව මාගරින් කැටය සමග එක් වී ගමනක් ආ යුනිලීවර් නතර වූයේ සබන් සහ මාගරින් නිෂ්පාදන ක්‍රියාවලියෙහි පමණක් නොවීය. බ්‍රිතාන්‍ය සහ ලන්දේසි ඒකාබද්ධ සමාගමක් ලෙස යුනිලීවර් සමාගම අද වනවිට නිෂ්පාදනය කරන නිෂ්පාදන හාරසියයටක පමණ වඩා වැඩිය. එනම් වෙළෙඳ නාම හාරසියයකට එහා වූ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන මහා පරිමාණ සමාගමකි. ලොව පැරැණිතම බහුජාතික සමාගමක් ලෙස රටවල් 190ක පමණ යුනිලීවර් නිෂ්පාදන ආයතන සහ කර්මාන්තශාලා ස්ථාපිත කර තිබීම විටෙක පුදුම දනවන්නකි. යුනිලීවර් මූලස්ථාන ගොඩනැගිලි ද්විත්වය ස්ථාපිත කර ඇත්තේ ලන්ඩන් නුවර සහ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවරදීය. Unilever වත්මනෙහි භාවිතයට ගැනෙන ලෝගෝ එක හෙවත් ලාංඡනය භාවිත කරන්නේ 2004 වසරේ සිටය. අද වනවිට යුනිලීවර් ක්‍රියාත්මක වන්නේ තව තවත් ඒකාබද්ධවීම් සහ ව්‍යාපාර අංශ පුළුල් කරමින් දැවැන්ත වෘක්ෂයක් සේය.   
එදා ලීවර් බ්‍රදර්ස් සමාගම පිහිටුවීමට මුල් වූ විශ්වීය මිනිසා වූ විලියම් ලීවර් පසු කලෙක බ්‍රිතාන්‍ය දේශපාලනයෙහි කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියේය. ඔහුගේ ගෞරවනීය ගමන උදෙසා ගරු බුහුමනට පාත්‍ර වූ අතර, ලිවර්පූල් හි සාමිවරයා ලෙස නම්බු නාමයට පාත්‍ර විණි.   


නිදහස් මතධාරී දේශපාලනඥයකු ලෙස කටයුතු කළ විලියම් ලීවර් හෙවත් පළවන විස්කවුන්ට් ලිවර්හල්ම් ලෙස ගෞරවනීය තත්ත්වයට පත් ඒ අපූරු මිනිසා වඩාත් පරාර්ථකාමී චරිතයක් ලෙස නම් කළ හැකිය. 1925 දී ඔහු මිය ගියේ ලන්ඩන් නුවරදීය. එහෙත් විශේෂත්වය වන්නේ, එහු මිය ගිය ද ජීවත්ව සිටියදී ඔහු අපේක්ෂා කළ තමරටත් වඩා සුවිශාල පරාසයකට ඔහු විසින් නිර්මාණය කළ සමාගම විහිදී පැතිරී ලෝක ව්‍යාප්ත වීමය. ලෝකයේ සමස්ත රටවල් ගණන ලෙස සඳහන් වන්නේ 195ක ප්‍රමාණයකි. එයින් රටවල් 190ක යුනිලීවර් ස්ථාපිත වී තිබීම යනු එකිනෙකට ආශ්චර්යයක් නොවේ ද? අද වනවිට ඔවුන් නිෂ්පාදනය කරන්නේ මොනවා ද යන්න අසනවාට වඩා ඔවුන් නිෂ්පාදනය නොකරන්නේ මොනවා ද කියා ඇසීම වඩා හොඳය. යුනිලීවර් සහ එහි ඉතිහාසය ගැන අප මේ සඳහන් කළේ එහෙන් මෙහෙන් තැනිත් තැනින් අල්ලාගත් කරුණු කාරණා බිඳක් පමණකි. ඔවුන්ගේ කතාව ඒ තරමටම දිගුය. විශාලය. ඒ ගැන පිටුවකින් පොතකින් ලියා පළ කළ හැකි දෙයක් නොවේය.

 

 

 

පරිවර්තන සටහන :
සඳුන් ගමගේ