ශෙහාන් කරුණාතිලක විසින් රචිත Chinaman: The Legend of Pradeep Mathew නම් නවකතාව 2008 දී ග්‍රේෂන් ත්‍යාගය, 2010 දී පොදු රාජ්‍ය මණ්ඩලීය කෘති සඳහා වූ ත්‍යාගය සහ 2012 දී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගය දිනා ගැනීමට සමත් විය. චයිනමන් (Chinaman - The Legend of Pradeep Mathew) ) කෘතිය, ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියවුණු දෙවැනි හොඳම නවකතාව ලෙස පිළිගැනෙයි.
"The Seven Moons of Maali Almeida" ඔහුගේ දෙවැනි නවකතාවයි. එය 2021 වසරේ දී බුකර් සම්මානය දිනා ගත් කෘතිය බවට පත් විය. මෙරට සිවිල් යුද සමය අලලා “ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා” ප්‍රබන්ධ කෘතිය නිර්මාණය වී තිබේ.
ශෙහාන් කරුණාතිලක ළමා පොත් රචකෙයකු, තිරපිටපත් රචකෙයකු මෙන්ම ගීත පද රචකෙයකු ද වෙයි. ඔහු සුප්‍රසිද්ධ The Guardian, Newsweek, Rolling Stone, GQ, National Geographic, Conde Nast, Wisden, The Cricketer සහ The Economic Times ආදී සඟරාවලට ලිපි සම්පාදනය කරයි.
එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ ප්‍රකාශයට පත් කෙරෙන වසරේ විශිෂ්ටතම ඉංග්‍රීසි නවකතාවට පිරිනැමෙන සම්මානය ”ද බුකර්” ලෙස හැඳින්වෙයි. “ද බුකර්” සම්මානය ශ්‍රී ලාංකික නවකතාකරුවකු දිනාගත්තේ වසර 30කට පසුවය. මෙම වසරේ දී එම කෘතියේ සිංහල පරිවර්තනය “සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස” ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. එහි පරිවර්තනය දිලීප අබේසේකර විසින් සිදු කර තිබේ.
ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා නවකතාව පිළිබඳව ශෙහාන් කරුණාතිලක සමග කරන ලද කතාබහ මෙම ලිපිය ඔස්සේ අපි ඔබට ගෙන එන්නෙමු.
- මායා යථාර්ථවාදී රීතියෙන් රචිත “ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා” කෘතිය තුළ ඔබගේ අත්දැකීම් හා එම රීතිය ගැළපීම කළේ කොහොම ද?
මම ලියන්න පටන් ගන්න කොට එහෙම රීතියක් ගැන හිතුවේ නෑ. මම හිතන් හිටියේ මේක හොල්මන් කතාවක් කියලා. හැබැයි මේ පොත කියවපු අය ඒ ගැන අදහස් පළ කරද්දි මේ පොත මායායථාර්ථවාදී රීතියෙන් ලියලා තියෙන බව කිව්වා. මම මේ පොත ලියද්දි හිතුවේ මේ පොත අයිති වෙන්නේ “මර්ඩර් මිස්ට්‍රි ඇන්ඩ් ගෝස්ට් ස්ටෝරි” කියන වර්ගයට බවයි. නමුත් දැන් ඒ පිළිබඳව මෙහෙම අදහසක් පළ වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ.
අනික මේ ඔක්කොම මම මවපුවා විතරක් නෙමෙයි. සත්‍ය සිදුවීම්වලට සාහිත්‍යමය භාෂාවකින් වෙනත් හැඩයක් දීම තමයි මම කරලා තියෙන්නේ. යුද සමයේ අපි අහපු, කියවපු දේවල් මේ පොතේ තියෙනවා.
- මෙම නවකතාව සම්පූර්ණ ප්‍රබන්ධයක් ද? නොඑසේනම් මෙහි අත්දැකීම ඔබට සමීප වන්නේ කෙසේ ද?
වෙච්ච අපරාද මම මවපුවා නෙමෙයි. මේක පදනම් වෙන්නේ සත්‍ය කතා මත. අපිට තියෙනවා වසර 30ක යුදමය ඉතිහාසයක්. ඒ තුළ මම පුද්ගලිකව වින්ද අත්දැකීම් නැති වුණත්, යුද්ධය අපිට විවිධාකාරයෙන් බලපෑවා සහ ඒ ගැන අපිට තොරතුරු ලැබුණා. ඊට පස්සේ මම ලංකාවේ යුදමය කාලසීමාව ගැන ගොඩක් කියෙව්වා, වීඩියෝ බැලුවා, සම්මුඛ සාකච්ඡා කියෙව්වා සහ විවිධ අය එක්ක කරපු කතාබහ බැලුවා. දැන් තාක්ෂණයේ දියුණුව එක්ක අපිට ඒ වගේ දේවල් හොයාගන්න එක අපහසු නෑනේ. මේක සම්පූර්ණ ප්‍රබන්ධයක් නෙමෙයි. ලංකාවේ එක කාලසීමාවක සිදුවුණ සත්‍ය සිදුවීම් මෙහි තියෙනවා.
- මෙම කෘතිය සඳහා ඔබ පාදක කරගන්නා ලංකාවේ යුදමය කාලසීමාව හා මෙහි එන අත්දැකීම පිළිබඳව ඔබ යම් අධ්‍යයනයක් සිදු කළා ද?
ඔව්. මම අධ්‍යයනයක් කළා. මොකද මේ පොතේ මම ලියන කාලවකවානුව වුණ 1989 දී මම පොඩි ළමයෙක්. යුද්ධය ගැන මට ලොකු අත්දැකීමක් නෑ. ඒ නිසා මට සිද්ධ වුණා ඒ ගැන කියවන්න. මම කලින් කිව්වා වගේ වීඩියෝ බැලුවා. ඒ ගැන ලොකු අධ්‍යයනයක් කළා. ඒ වගේම මරණයෙන් පසු ජීවිතය (After Life) ගැනත් මම කියෙව්වා. ඒක ඇත්තටම ස්වභාවික දෙයක්. ඒ පිළිබඳව විවිධ කියවීම් හා විවිධ අධ්‍යයනයන් ලෝකයේ තියෙනවා. මම මේ පොත ලියද්දි ගැඹුරු අධ්‍යයනයක හිටියා. ලේඛකයෙක්ට තමන් ලියන දේ පිළිබඳව අධ්‍යයනය අත්‍යාවශ්‍යයි.
- සිංහල භාෂාවෙන් ඉතා ඉහළ ලේඛන කුසලතාවක් සහිත ලේඛකයන්ට හා ඔවුන්ගේ කෘතිවලට ජාත්‍යන්තර තලයට යන්න බැරිවෙලා තියෙන්නේ ඇයි? සිංහල කෘති ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වීම සිදුවීම ඉතා දුර්වල තත්ත්වයක පැවතීමට හේතුව කුමක් විය හැකි ද?
ඒක ලොකු ප්‍රශ්නයක්. අපිට තියෙනවා හොඳ සිංහල සාහිත්‍යයක් වගේම හොඳ දමිළ සාහිත්‍යයක්. නමුත් දමිළ පොත් සිංහලට පරිවර්තනය වීම වෙන්නෙත් නෑ. සිංහලෙන්, දමිළ භාෂාවෙන් ලියවෙන හොඳ සාහිත්‍ය පොත් ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ නැති තරම්. ඒකයි ලොකුම ප්‍රශ්නය. මමත් ළඟදි තමයි සිංහල පොත් කියවන්න පටන් ගත්තේ. ඒකට හේතුව වුණෙත් සිංහල පොත්වල ඉංග්‍රීසි පර්වර්තන නොමැතිකම. අපි ජපන් සාහිත්‍ය, ප්‍රංශ. රුසියන් සාහිත්‍ය කියෙව්වේ ඉංග්‍රීසියෙන්නේ. ඒ පොත් පරිවර්තනය වෙලා තිබුණ නිසා.
අනික ලංකාවේ පරිවර්තනයට ලොකු තැනක් නෑ. ඉංග්‍රීසි පොත් සිංහලට පරිවර්තනය වෙනවා. නමුත් මේක අනිත් පැත්තට වෙනවා අඩුයි. මම කැමතියි සිංහල පොත් ඉංග්‍රීසියෙන් කියවන්න. මගේ ළමයි හොඳට සිංහලෙන් කියවනවා. එයාලා දමිළ භාෂාව ඉගෙන ගන්නවා. ඒක හොඳ ප්‍රවණතාවක්. ප්‍රකාශකයොත් මේ ගැන අවධානය යොමු කරන්න ඕන. පරිවර්තනය සඳහා ප්‍රකාශකයින්ගෙත් උනන්දුවක් තියෙන්න ඕන.
- සාර්ථක නවකතාවක් රචනා කිරීම සඳහා කාලය කොතරම් වැදගත් ද? ඔබ මෙම කෘතිය සඳහා කොපමණ කාලයක් වැය කළා ද?
මම අවුරුදු 7ක් වැය කළා. 2012 වගේ ඉඳන් 2019 වෙනකල් මම ද සෙවන් මූන්ස් පොත වෙනුවෙන් ගත කළා. චයිනාමන්වලට අවුරුදු 3ක් වැය කළා. මාත් කැමතියි අවුරුද්දට එක පොතක් ලියන්න. නමුත් එහෙම පොත් ලියන්න අමාරුයි. මේක හරියට කරනවා නම් ජොබ් එකක් විදියට කරන්න ඕන. මමත් ඉස්සර වෙලාවක් ලැබුණම, හිතුණම ලියලා තියෙනවා. නමුත් ඒ පොත් සාර්ථක නෑ කියලා මටම හිතුණ නිසා පැත්තකට දාලා තියෙනවා. චයිනාමන් ලියද්දි මම දිනපතා ලිව්වා. උදේට පැය 3ක් 4ක් ලියනවා. පොතක් ලියනවා නම් ඒ වෙනුවෙන් කැපවීමක් තියෙන්න ඕන. අපිට දැන් ඇත්ත රයිටර්ස්ලා ඕන. හිතුණම ලියලා බෑ. අඩුම තරමේ දිනකට පැයක්වත් ඒ වෙනුවෙන් වෙන් කිරීම වැදගත්. අපි වෙන රැකියාවක් කළා නම් ඒ වෙනුවෙන් දිනපතා කැපවෙනවනේ. මේකත් එහෙම තමයි. කාලය කියන එක පොත් ලියන කෙනෙක්ට ඉතාම වැදගත්.
- මෙම නවකතාවේ සඳහන් වන්නේ දින හතක කාලසීමාවක් පිළිබඳවයි. ඔබ මෙහි සෙවන් මූන්ස් ලෙස ඔබ මෙම දින 7 ගන්නේ බෞද්ධ සංකල්පයකින් ද? ඒක බෞද්ධ සංකල්පයකින් ද?
ආසියාතික සංකල්පයක් ද කියන කාරණාව නිශ්චිතව බෙදන්න අවශ්‍ය නෑ. මම දැකලා තියෙනවා ගොඩක් රටවල මනුෂ්‍යයෙක් මිය ගියාට පස්සේ ඕක තියෙනවා. මෙය ප්‍රධාන වශයෙන් ආසියාතික සංස්කෘතික සලකුණක් විදියට ගන්න පුළුවන්. හත් දවසේ දානය, තුන්මාසේ බණ කියන එක ලංකාවේ තියෙනවා. සිංගප්පූරුව, චීනය, ටිබෙටය, ඉන්දියාව වගේ රටවලත් ඒ චාරිත්‍රය තියෙනවා. සමහර රටවල ඒක දින 10ක්. ආසියාවේ බොහෝ රටවල් ඒ සංකල්පය පිළිගන්නවා.
මේක අබිරහස්, රහස් පරීක්ෂක කතාවක් විදියට තමයි මං දකින්නේ. මාලි අල්මේදා ට දින හතක් තියෙනවා තමන්ගේ මිනීමරුවා හොයන්න, තමන් ගත්ත ඓතිහාසික ලාංකීය ඡායාරූප ටික ලෝකය ඉස්සරහට ගෙනල්ලා පළකරන්න. ඒ හත්දවසේ ව්‍යුහය නිසා කතාව ගොඩනගන්න පහසු වුණා. මේකේ හොල්මන් තියෙනවා, ප්‍රේමය තියෙනවා තවත් බොහෝ දේවල් තියෙනවා.
- මෙම කෘතියෙහි සිංහල පරිවර්තනය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
ඒ ගැන නම් මම ඇත්තටම දන්නේ නෑ. මොකද පරිවර්තනය සඳහා පාඨකයින්ගේ ප්‍රතිචාර ගොඩක්ම ලැබෙන්නේ දිලීපට. දිලීප චයිනාමන් පරිවර්තනය වගේම මේකත් හොඳට කරලා තියෙනවා කියලා මම හිතනවා. තාම සිංහල පරිවර්තනය ඇවිත් වැඩි කාලයක් නෑනේ. අපි බලමු ඉස්සරහට. ඒ වගේම දමිළ පරිවර්තනයක් ළඟදිම කරනවා.
- ඔබ ලේඛන කටයුතු සිදු කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි ද? සාහිත්‍ය කෘතියක් සාර්ථක වීම සඳහා දායකත්වය ලැබෙන්නේ පරිකල්පනයෙන් ද? අත්දැකීමෙන්ද? භාෂාවෙන් ද?
ඉංග්‍රීසියෙන් විතරයි මම දැනට ලියන්නේ. භාෂාව කියන එක ඉතාම වැදගත් සාහිත්‍ය කෘතියකට. කොහොම වුණත් සාර්ථක පොතකට මේ තුනම බලපානවා. පොත් කියවීම තුළින් ලබාගත්ත අත්දැකීම් මට විශාල වශයෙන් බලපෑවා පොත් ලියන්න. මම හිතන්නේ පොතක් සාර්ථක වෙන්න වැඩියෙන්ම බලාපාන්නේ ඒ කෘතිය තුළින් එළියට ගේන හඬ (වොයිස් එක) ඕනෑම කලාවකට වොයිස් එකක් තියෙනවා. චිත්‍රයක, මූර්තියක, නාට්‍යය වුණත් ඒක තියෙනවා.
- එම කෘතිය සඳහා ඔබට බුකර් සම්මානය හිමිවුණා. ජාත්‍යන්තර සම්මානයක් හිමිකරගත් ලේඛකයෙක් වශයෙන් සාහිත්‍ය සම්මාන පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ගොඩක් අය සම්මානවලට බණින්නේ තමන් දිනනකල් විතරයි. මට නම් සම්මානයක් කියන්නේ ලොතරැයියක්. ඒක දිනන්න නම් හොඳ පොතක් ලියන්න ඕන. සම්මානවලින් මගේ ජීවිතය වෙනස් වුණා. ලෝකය පුරා අද මගේ පොත් තියෙනවා. ඒකට මට ලැබුණ සම්මාන බලපෑවා. සම්මාන බලාගෙන ලියන්න හොඳ නෑ. කිසිම බලාපොරොත්තුවක් නැතුවයි අපි ලියන්න ඕන. හොඳ කෘතියක් සඳහා අපිට ලැබිය යුතු පිළිගැනීම සම්මානයක් වෙන්න පුළුවන්.
- ග්‍රේෂන් සම්මානය සඳහා කෙටිලැයිස්තුගත වූ පේන්ටර් කෘතිය ඔබ ප්‍රකාශයට පත් කරන්නේ නෑ. එලෙස ප්‍රකාශයට පත් නොකළ තවත් කෘති දෙකක් තිබෙන බව දැනගන්න ලැබුණා. එලෙස කෘතියක් ප්‍රකාශයට පත් නොකර සිටීමට හේතුව කුමක් ද?
පේන්ටර් මම අවුරුදු 23දී ලිව්ව පොතක්. ඒක ප්‍රකාශයට පත් කළා නම් කියවන කෙනාට ඒකෙන් මුකුත් ලැබෙන්නේ නෑ. සමහර පොත් තියෙනවා මම භාගෙට ලියපුවා. ඉස්සර නම් මම ආතතියට පත්වෙනවා “අයියෝ මම මේකට කාලය වැය කළානේ, නමුත් ඒක ප්‍රකාශයට පත්කරන්න සුදුසු තත්ත්වයක නෑ, මගේ කාලය අපරාදේ” කියන හැඟීම එක්ක. මම වැය කරපු කාලය ගැන මම ආතතියට පත් වුණා. නමුත් දැන් එහෙම නෑ. මම ලියන ඒවා මම ම කියවලා බලනවා මොකක් හරි අවුලක් තියෙනව ද කියලා. මට දැනුණොත් මේකේ අවුලක් තියෙනවා කියලා මම කල්පනා කරලා බලනවා ඒක හදන්න පුළුවන් විදියේ අවුලක් ද කියන එක. හදන්න පුළුවන් එකක් නම් මම හදනවා. නමුත් හදන්න බෑ කියලා මට තේරුණොත් මම ඒක අතැරලා දානවා. ලියන ඒවා ඔක්කොම ප්‍රකාශයට පත් කරන්න අවශ්‍ය නෑ. ප්‍රකාශයට පත් කරනවා නම් ඒ කෘතියෙන් පාඨකයාට යමක් ලැබිය යුතුයි.