සයිටම් විරෝධී අරගලය ජයගන්න පුළුවන් සටනකින් විතරයි


සායනික පුහුණුව සඳහා රෝහල් පහසුකම් ප්‍රමාණවත් පරිදි නොලැබීම, විකිරණ චිකිත්සක පාඨමාලාව ඇනහිට තිබීම ආදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට අද‌ාළව බලපා තිබෙන ගැටලු කීපයක් ගැන මෙවර සරසවි සිසු හ​ෙඬන් අදහස් දක්වනු ලබන්නේ එම විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ඉෂාර බුද්ධික විසිනි.  

 


 

 

ප්‍රශ්නය - දිනෙන් දින දිග්ගැස්සෙමින් තිබෙන සයිටම් විරෝධී අරගලයට පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දක්වන දායකත්වය මොන වගේද?   

පිළිතුර - සයිටම් විරෝධි අරගලයෙදි ශිෂ්‍ය ව්‍යාපාරය ගන්න හැම තීරණයක දීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය විදියට අපිත් සම්බන්ධ වෙනවා. 

 
ප්‍රශ්නය - සයිටම් අර්බුදය විසඳන්න පත් කළ කමිටුවේ වාර්තාව ගැන මේ වෙන කොට සාකච්ඡාවක් මතුවෙලා තියෙනවා. ඒ ගැන අදහස මොකක්ද?   

පිළිතුර - ඒ කමිටුව පත් කළ කාරණය ගැන අපි දැනුම්වත් නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අපි මේ ප්‍රශ්නෙට බලාපොරොත්තු වෙන විසඳුම මේ කමිටුවෙන් දීලා නෑ. ව්‍යාජ විසඳුම් තමයි ලබාදෙන්න උත්සාහ කරන්නෙ.   


ප්‍රශ්නය - මේ කමිටු වාර්තාවෙ නිර්දේශවලින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ කියන ස්ථාවරයේද ශිෂ්‍ය ව්‍යාපාරය ඉන්නේ?   

පිළිතුර - ඔව්. මේ යන විදියට අපි බලාපොරොත්තු වෙන විසඳුමට යන්න බෑ.   


ප්‍රශ්නය - මේ අවස්ථාවෙන්වත් මේ ප්‍රශ්නය විසඳන්න බැරි වුණොත් සයිටම් අර්බුදය මොන වගේ තැනකට ගමන් කරයි කියලද හිතන්නෙ?   

පිළිතුර - දැනට තියෙන තත්ත්වයත් එක්ක ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන් අඛණ්ඩව අරගල දියත් කරනවා. බහුජන සංවිධාන, වෘත්තිය සමිති මේ හැම බලවේගයක්ම මේ අරගලයත් එක්ක ඉන්නවා. අපි හිතන්නෙ මේ අරගලය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නෙ සටනින්ම විතරයි.   


උතුරු කොළඹ (රාගම) වෛද්‍ය පීඨය රජයට පවරා ගත්ත වගේම මේ සයිටම් ආයතනය ලංකාවේ නව වැනි වෛද්‍යපීඨය විදියට පීඨය විදියට ආණ්ඩුවට පවර ගන්න එක තමයි අපේ අරමුණ.   


ප්‍රශ්නය - පේරාදෙණියෙ සම සෞඛ්‍ය විද්‍යා පීඨයෙ සායනික පුහුණුව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලුව මොකක්ද?   

පිළිතුර - මේ ගැටලුව සම සෞඛ්‍ය විද්‍යා පීඨය පටන් ගත්ත කා​ෙල ඉඳලම තිබුණු ගැටලුවක්. 2006 දී තමයි සම සෞඛ්‍ය ඒකකයට ඉස්සෙල්ලම ශිෂ්‍යයො බඳව ගත්තෙ. සම සෞඛ්‍ය පීඨයක් අරගලයක් හරහා ශිෂ්‍යයන් දිනාගන්න පුළුවන් වෙන්නෙ 2007 දි. 2005, 2006, 2007 අවුරුදුවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිදු රෝහලකින් සායනික පුහුණුව ලැබුණෙ නෑ. පස්සෙ ශිෂ්‍යයො තමන්ට සායනික පුහුණුව ඉල්ලලා අරගල කළා. ඒ වුණාට අපේ ශිෂ්‍යාවන්ට සායනික පුහුණුව සඳහා අතළඟ තියෙන ඉස්පිරිතාල වෙනුවට ලැබුණෙ කුරුණෑගල මහරෝහල.   


ප්‍රශ්නය - නුවර, පේරාදෙණිය වගේ ළඟ තියෙන රෝහල් සායනික පුහුණුව සඳහා ශිෂ්‍යයන්ට ලබා නොදෙන්නෙ ඇයි? ඒ සම්බන්ධව පාලනාධිකාරියේ පැහැදිලි කිරීම වුණේ මොකක්ද?   

පිළිතුර - ඒ වෙනකොට ඒ රෝහල්වලට අපේ ශිෂ්‍යයො ඇතුළත්වීම සම්බන්ධයෙන් විරෝධතා තිබුණ. ඒ නිසා තමයි සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ට ළඟ තියෙන ඉස්පිරිතාල නොලැබුණේ. විශ්වවිද්‍යාලය පරිපාලනය වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වගේ වගකිව යුතු ආයතනවලට අපේ මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න බැරිවෙලා තියෙනවා. 

 
ප්‍රශ්නය - කුරුණෑගල ලැබුණට පස්සෙ ළමයි ඒකට කැමති වෙලා ගියාද?   

පිළිතුර - සායනික පුහුණුව සපුරා ගැනීමේ වුවමනාව උඩ ශිෂ්‍යයො කුරුණෑගල රෝහලට සම්බන්ධ වුණා.   


ප්‍රශ්නය - එතකොට මේ වෙනකොටත් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍යයො සායනික පුහුණුව සඳහා යන්නෙ කුරුණෑගලටද?   

පිළිතුර - කුරුණෑගල රෝහලෙන් සියලුම කොටස් සම්පූර්ණ කර ගන්න බැරි නිසා නැවත අපේ ශිෂ්‍යයන්ට කොළඹ ළමා රෝහල, හලාවත, වැලිසර රෝහල්වලට යන්න වෙලා තියෙනවා.   


ප්‍රශ්නය - පේරාදෙණියෙ ඉඳලා මේ වගේ තැන්වලට යන එන එක ශිෂ්‍යයන්ට දුෂ්කර දෙයක් නොවෙයිද? 

පිළිතුර - දැවැන්ත දුෂ්කරතාවන් තියෙනවා. සායනික පුහුණුවට කුරුණෑගල ඉස්පිරිතාලෙට යන ශිෂ්‍යයො උදේ හත වෙන කොට එතන ඉන්න ඕන. ඒ අය පාන්දර හතරට නැගිටලා යනවා. ඊළඟට වැලිසර, හලාවත වගේ රෝහල්වලට යන ශිෂ්‍යයන්ටත් ගොඩක් දුෂ්කරතාවලට මූණදෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ දුර රෝහල්වලට යන අය කොළඹින් නවාතැන්වල ඉඳල තමයි යන්නෙ.  

 

ප්‍රශ්නය - මේ ප්‍රශ්න ගැන පාලනාධිකාරියත් එක්ක සාකච්ඡා කරලා තියෙනවද?  

පිළිතුර - සෞඛ්‍ය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශවලටත් විශ්වවිද්‍යාල පරිපාලනයටත් අපි මේ ප්‍රශ්න ගැන ලියුම් තොග පිටින් යවලා තියෙනවා. ඒ වගේම අපි මේ ගැන දිගින් දිගටම අරගලත් කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න කමිටුවක් පත් කළා. මේ ගැන කතා කරන්න මේ ප්‍රශ්නයට සම්බන්ධ පාර්ශ්ව කැ​ෙඳව්වත් ශිෂ්‍යයන්ට අවස්ථාවක් දුන්නෙ නෑ. අපි දිගින් දිගටම ඉල්ලුවෙ අපිවත් පාර්ශ්වයක් විදියට මේ කමිටුවට සම්බන්ධ කරගන්න කියල. මේ කමිටුවෙ පළවැනි රැස්වීම තිබුණෙ සෞඛ්‍ය අමාත්‍යාංශයෙ. ඒකෙදි සෞඛ්‍ය අමාත්‍යාංශයෙ අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්වවිද්‍යාලෙ ඇතුළෙන් තවත් කමිටුවක් පත් කළා. විශ්වවිද්‍යාලෙ උපකුලපතිවරයා තමයි ඒකෙ ප්‍රධානියා හැටියට පත් කළේ. සම සෞඛ්‍ය පීඨ සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සම්බන්ධව වෛද්‍ය පීඨයෙයි සම සෞඛ්‍ය පීඨයෙයි පීඨාධිපතිවරුන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කළා. වෛද්‍ය ශිෂ්‍යයන්ටයි. සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ටයි ගැටලුවකින් තොරව සායනික පුහුණුව ලබා දිය හැකි ආකාරය ගැන සාකච්ඡා කරන්න තමයි මේ තාක්ෂණික කමිටුව පත් කළේ. මේ කමිටුවෙ සාකච්ඡා දිගින් දිගටම ගියාට ඒවට ශිෂ්‍යයො සම්බන්ධ කරගත්තෙ නෑ. නමුත් අපි දිගටම ඉල්ලීම් කළා අපිවත් සම්බන්ධ කරගන්න කියලා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ගිය මාසෙ හයවැනිදා මේ කමිටුවට එක් වෙන්න අපිට අවස්ථාවක් ලැබුණ. නුවර, පේරාදෙණිය, සිරිමාවෝ කියන රෝහල් තුනේ සායනික පුහුණුව සඳහා පහසුකම් තියෙනව කියලා අපි එතනදි ලිඛිතව පෙන්නලා දුන්නා. ඒ අනුව ශිෂ්‍යයන් යම් පිරිසකට ඒ රෝහල් තුනෙන් සායනික පුහුණුව ලබාදෙන්න කමිටුව තීරණය කළා. ඊට පස්සෙත් අපිට මේ කමිටුවට අදහස් දක්වන්න අවස්ථාවක් ලැබුණා. ශිෂ්‍යයො කිසියම් ප්‍රමාණයකට අර රෝහල්වලට සායනික පුහුණුව සඳහා යොමු වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි කියන්නෙ මීට වඩා වැඩි ප්‍රමාණයක මේ රෝහල් තුනෙන් සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබාදෙන්න පුළුවන් කියලයි.  


ප්‍රශ්නය - විකිරණ චිකිත්සක පාඨමාලාව කප්පාදු කරලා තියෙන බවට කරන චෝදනාව මොකක්ද?  

පිළිතුර - විකිරණ ශිල්පී කියන උපාධි පාඨමාලාව දැනට තියෙන්නෙ පේරාදෙණියෙ විතරයි. මේ පාඨමාලාව සඳහා ශිෂ්‍යයො 50 දෙනෙක්ට ඉල්ලුම් කරන්න පුළුවන්. විශ්ව විද්‍යාලෙ පළවැනි අවුරුද්දෙදි ඉහළ ලකුණු ගන්න ළමයින්ට විකිරණ චිකිත්සක පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබන්න පුළුවන්. නමුත් ඒ පාඨමාලාව මේ වෙන කොට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ පාඨමාලාව හද‌ාරන ශිෂ්‍යයන්ට සායනික පුහුණුව සඳහා මහරගම පිළිකා (අපේක්ෂා) රෝහල විතරක් යෝජනා වී තිබීම. එතකොට ශිෂ්‍යයන්ට මහරගමට යන්න වෙනවා සායනික පුහුණුවට. නමුත් නුවර රෝහලේ පිළිකා ඒකකයෙදි මේ සායනික පුහුණුවට අද‌ාළ බොහොමයක් කොටස් සම්පූර්ණ කරගන්න පුළුවන්. නුවර රෝහලෙන් ඒ පුහුණුව නොලැබෙන නිසා තමයි මේ පාඨමාලාව ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ. පිළිකා රෝගීන්ට අදාළව මේ විකිරණ චිකිත්සක පාඨමාලාව ගොඩක් වැදගත්. නමුත් ඒක නතර වෙලා තියෙන එක විශාල අර්බුදයක් හැටියටයි අපි දකින්නෙ.  


ප්‍රශ්නය - පේරාදෙණියෙ සම සෞඛ්‍ය විද්‍යාපීඨ උපාධිය අවුරුදු හතරක් කිරීමට ගෙන ගිය අරගලය අවුරුදු තුනකට සීමා වුණා. ක්‍රෙඩිට් අගයකුත් එකතු වුණා. දැන් ඒකෙ අලුත් තත්ත්වය මොකක්ද?  

පිළිතුර - සිව් අවුරුදු උපාධියක් විදියට පටන් ගත්ත සම සෞඛ්‍ය විද්‍යා උපාධිය පස්සෙ තුන් අවුරුදු කාලයකට සීමා වුණා.   

 


කොහොම වුණත් මේ අරගලය ඇතුළෙ ශිෂ්‍යයන්ට ලැබුණෙ ක්‍රෙඩිට් 120 ක උපාධියක්. නමුත් ආරම්භයෙ තිබුණ යම් යම් කොටස් මේ වෙනකොට වෙනස්වීමකට ලක්වෙලා තියෙනවා. මේ ක්‍රෙඩිට් 120 සීමාවට වඩා වැඩි ප්‍රමාණයකින් මේ උපාධි පාඨමාලාව ව්‍යාප්ත විය යුතුයි කියන අදහසේ අපි ඉන්නවා.

 

 

 

 

 

සාකච්ඡා කළේ :
උපුල් වික්‍රමසිංහ