පාස්කු කොමිෂන් වාර්තාවෙනුත් හෙළි දරව් වී නෑ
සහරාන් හෂීම් ඇතුලු ඉස්ලාම් අන්තවාදී කල්ලියක් විසින් 2019 අප්‍රේල් 21 වැනිදා එනම් පාස්කු ඉරුදිනයේ කතෝලික පල්ලි හා සංචාරක හෝටල් ඇතුලු ස්ථාන අටක් කේන්ද්‍ර කරගනිමින් එල්ල කළ ප්‍රහාරයට වසර දෙකක් සපිරී තිබේ. එම ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම වසරකුත් මාස තුනක පමණ කාලයක් සාක්ෂි රැස්කර සැකසූ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී මාස හතරක් ගතව තිබේ. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඒ යටතේ පවතින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයත් වෙන වෙනම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
විමර්ශන කවුරුන් කවදාසිට සිදුකළද පාස්කු ප්‍රහාරකයන්ට ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අදහසක් සමාජයට ඉදිරිපත්ව නැත. ජනාධිපති කොමිසම ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවක් හෝ ඉදිරිපත් වී ඇති වාර්තාව තුළින් දැකගත නොහැකිය. විමර්ශන කණ්ඩායම් සතුව යම් තොරතුරු තිබෙන්නට හැකිය. ඒවා සමාජගත කිරීමෙන් විමර්ශන වලට බාධා එල්ල වනවා වන්නටද හැකිය. එහෙත් මේ ප්‍රහාර පිටුපස සිටින බව පැවසෙන දේශීය හස්තය, විදේශීය හස්තය හෝ දේශපාලන හස්තය සම්බන්ධයෙන් හෝ නිගමනයකට එළැඹිය හැකි ලෙස මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බවට යම් තොරතුරු ලැබී ඇති බවට හෝ ප්‍රකාශයක්වත් මෙතෙක් ගිනිඅවි හා පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් වී නැත.
ප්‍රහාරයට මාස තුනකට පමණ පෙර එනම් 2019 ජනවාරි මාසයේදී වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ගොවිපොළක් ලෙස පවත්වාගෙන යනු ලැබූ අවි පුහුණු මධ්‍යස්ථානයක් සොයාගත් අතර එහි තිබී ඩෙටනේටර් 99ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමග සැකකරුවන් හතර දෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබිණ. එම සැකකරුවන්ගෙන් දෙදෙනෙක් කිසියම් දේශපාලන බලපෑමක් නිසා නිදහස් කළ බවටද එකල චෝදනා එල්ල විය. එමෙන්ම එම ස්ථානයට මෙතරම් විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැමිණියේ කෙසේද යන්න විමර්ශනය කළ යුතුම කරුණකි.
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ වහාම පොලිසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් යුද හමුදාවත් ඒකාබද්ධව රට පුරා දෛනිකව සෝදිසි මෙහෙයුම් රැසක් සිදු කළේය. එම සෝදිසි මෙහෙයුම්වලදී ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගත හැකි විය.
ප්‍රහාරයට පසුදින එනම් අප්‍රේල් 22 වැනිදා වැලිඔය, ප්‍රදේශයේදී ඇමෝනියම් අම්ලය තොගයක් හා බෝම්බ සකස් කිරීමේදී භාවිතා කරන ආකාරයේ යකඩබෝල 22ක් පොලිසිය මගින් සොයාගනු ලැබිණ. නුවරඑළියේ ඇළක තිබී ඩෙටනේටර් 198ක් සොයාගත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයට දින දෙකකට පසුවය. ඉන් දින දෙකකට පසු අනුරාධපුර නාච්චදූවේ මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී නළයක සැඟවූ ගිනිඅවි තුනක් හා ජීව උණ්ඩ කීපයක් හමුවිය.
එම වසරේම මැයි දෙවැනිදා මතුගම වැලිපැන්න ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ බෝම්බ තුනක් හා අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද පොලිසිය සොයාගත්තේය. වැලිකන්ද ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ බෝම්බ එකසිය පනහක්ද සොයාගත්තේ මැයි තුන්වැනිදාය. එම බෝම්බ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු එදිනම කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයෙන් සොයාගත් බටයක සැකසූ බෝම්බවලට සමාන බව පොලිසිය පැවසීය.
හොරණ මොරගහහේන ප්‍රදේශයේ ඉඩමක තිබී ඩෙටනේටර් 79ක් මැයි 07 වැනිදා සොයාගත් අතර එදිනම කඩුවෙල නවුගමුව තුන්අඳහේන ප්‍රදේශයේදී හිටපු හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ ජීව උණ්ඩ 1000ක් සමගිනි. මහවැලි අධිකාරියට අයත් පොලොන්නරුව, රිදීතැන්න ප්‍රදේශයේ අක්කර විසිපහක පමණ ඉඩමක් හා එහි පිහිටි නිවසක් ප්‍රහාරකයන් විසින් කුලී පදනම මත ලබාගෙන තිබූ අතර එය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇතිබවට වාර්තා විය. එම භූමියේ තිබූ ඩෙටනේටර් 138ක්ද පොලිසිය මගින් සොයාගනු ලැබීය. එදිනම රාජගිරිය ප්‍රදේශයේදී ගුවන්යානා නාශක උණ්ඩ දෙකක් සොයාගනු ලැබිණ. කුඩා ඔය බෝදිගම, ජංගල්වත්තේ විශාල ඉඩමක තිබී මැයි 12 වැනිදා ජීපිටර් වර්ගයේ ගිනිඅවි 02ක්, එම්. 77 වර්ගයේ ගිනිඅවි 02ක්, ඒවාට භාවිත කරන දුරදක්න දෙකක්, ටී 56 වර්ගයේ උණ්ඩ 342ක්, බෝර 12 උන්ඩ 163ක්, බෝර 12 දිග උණ්ඩ 430ක්, ඇතුලු විවිධ වර්ගයේ ගිනි අවි රැසකට භාවිතා කරන උණ්ඩ රැසක්ද, අධිබල බෝම්බ 05ක්ද පොලිසිය විසින් සොයාගනු ලැබීය.
අන්තවාදී සංවිධාන සම්බන්ධයෙන් ප්‍රහාරයට පෙර ලද තොරතුරු අනුව විමර්ශන සිදුනොකළද ප්‍රහාරයෙන් පසුව හෝ පෙර ලද තොරතුරු අනුව කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී සොයාගත් මේ ගිනිඅවි හා පුපුරණ ද්‍රව්‍ය තොග සහරාන් ඇතුලු අන්තවාදී කල්ලිය අතට පත්වූයේ කෙසේද? ඒවා මෙරටට පැමිණියේ කුමන මාර්ගයකින්ද? කාගේ අනුග්‍රහයකින්ද? යනාදී කරුණු තවමත් රටට අභිරහසකි.
සහරාන්ලා සමග සමීපව කටයුතු කළ එමෙන්ම ප්‍රහාරයෙන් පසු සයින්මරුදු පිපිරීම දක්වා සහරාන්ගේ බිරිඳ සමග එකට සිටි සාරා ජෙස්මින් නමින් හැඳින් වූ පුලස්තිනී මහේන්ද්‍රන් දැන් සිටින්නේ ඉන්දියාවේ බව රටම දන්නා කරුණක් බවට පත්ව තිබේ. එය ආරක්ෂක අංශද පිළිගෙන ඇත. එසේ නම් ඉන්දියාව සමග ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා භාවිත කරමින් ඇයගෙන් මේ ප්‍රහාරයේ මහමොළකරුවන් හෝ එය පිටුපස සිටි අදිසි බලවේගයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකරන්නේ ඇයිද යන්න අද බොහෝ දෙනා තුළ සැක සංකා මතුකරන කරුණක් බවට පත්ව තිබේ.
ඒ අයුරින්ම මේ ප්‍රහාරයට ආයුධ ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් හෙළිදරව් නොවීමද සැකයට තුඩුදෙන කරුණක් බවට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයට මාස කීපයකට පෙර එනම් 2018 අවසාන භාගයේදී මන්නාරම මුහුදු තීරය ඔස්සේ එකල පුදුකුඩුඉරිප්පුවලදී කොටි ත්‍රස්තවාදීන් සමග සමීපව කටයුතු කළ දිනේෂ් නමැත්තාට සීෆෝ වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40ක් ලැබී ඇති බවට මෙරට බුද්ධි අංශවලට වාර්තා වී තිබිණ. එහෙත් එම පුපුරණ ද්‍රව්‍ය වලට සිදුවුණේ කුමක්ද යන්න මෙතෙක් හෙළිදරව් කරගෙන නැත. එසේම සහරාන්ලා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී භාවිතා කර තිබෙන්නේද සීෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය බවට සොයාගෙන තිබේ. එසේ නම් දිනේෂ් මෙම පුපුරණ ද්‍රව්‍ය ගෙන්වා ගත්තේ සහරාන්ලා වෙනුවෙන්ද? මේ කාරණා සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය නොවූයේ ඇයි?
සැළකිල්ලට ගත යුතු තවත් කරුණක් තිබේ. එනම් ලංකාවට පුපුරණ ද්‍රව්‍ය ආනයනය කිරීමේ බලඅධිකාරිය හිමිව තිබුණේ මුස්ලිම් ව්‍යාපාරිකයන් තිදෙනෙකු වෙතටය. ඒවා ලංකාවට ආනයනය කළ පසු බෙදාහැරීම කරන්නේ වැලිසර නාවුක හමුදා කඳවුර මගිනි. ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙනි. ඒ හරහා ටෙන්ඩර් කැඳවා ව්‍යාපාරිකයන්ට ලබාදේ. කෙසේ නමුත් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් පුපුරණ ද්‍රව්‍ය තොග ලබාගෙන මෙම පුපුරණ ද්‍රව්‍ය රතිඤ්ඤා කර්මාන්ත ශාලාවලට හෝ ගල්වලවල්වලට හෝ ලබාදීම සිදුකරනු ලබන්නේ එක් මුස්ලිම් ව්‍යාපාරික පවුලක් විසින් බවටද එකල වාර්තා විය.
පොලිසිය කළ සෝදිසි මෙහෙයුම්වලදී හමුවු ඇතැම් පුපුරණ ද්‍රව්‍ය තොග ගල්වලවල්වලට නිකුත් කළ පුපුරණ ද්‍රව්‍යවලට සමාන ඒවා බව නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක්ව තිබිණ. ප්‍රහාරයට පෙර නාවික හමුදාව විසින්ම ඩෙටනේටර් හා ජෙල්ග්නයිට් කූරු 94ක් සොයාගෙන තිබූ බවද වාර්තා විය.
එල්ටීටීඊයට මුහුණ දීමට යැයි අඟවමින් මුස්ලිම් අන්තවාදීන් අල්කයිඩා හා ජිහාඩ් සංවිධාන සමග එක්ව යුද සමයේ සිටම ආයුධ සන්නද්ධව කටයුතු කළ බවද රිෂාඩ් බදියුදීන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, අතාවුල්ලා යන හිටපු මුස්ලිම් ඇමැතිවරුන් විසින්ම පවත්වාගෙන යනු ලැබූ අන්තවාදී කල්ලියක් තිබූ බව විමර්ශනවලදී තමන්ට අනාවරණයවූ බවද නැගෙනහිර පළාතේ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබේ.
නැගෙනහිර පළාතේ 2008දී මුල්ම මුස්ලිම් අන්තවාදී කණ්ඩායම නිර්මාණය වූ බවද 2009 වන විට මුස්ලිම් අන්තවාදී සංවිධාන දහඅටක් පමණ පැවැති බවද එයින් එක කණ්ඩායමක සහරාන් නමැති අයෙක් සිටින බව දැන සිටි බවද ඔහු එහිදී සඳහන් කර ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාද එඩිසන් මහතාගේ සාක්ෂියට සමාන කරුණු දක්වා තිබේ. එය මෙම විවාදය ඇතුළත් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේද සඳහන්වේ. එහි දැක්වෙන පරිදි එල්ටීටීඊයෙන් ගම් ආරක්ෂා කරගැනීම සඳහා පත්කළ ග්‍රාමාරක්ෂක භටයින්ට අමතරව මුස්ලිම් මුජහිඩීන්වරුන්ද ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ කරගෙන තිබේ. ඔවුන්ට රජයෙන් ආයුධ සපයා ඇතැයිද ඔහු පවසා ඇත. පොලිස්ෆායිස්, ආමි මොහිදීන් හා රිල්වාන්ද ඒ අතර වූ බව ඔහු සඳහන් කර ඇත.
කරුණු එසේ නම් අන්තවාදින් වැඩී තිබෙන්නේ දේශපාලකයන් හා ආරක්ෂක අංශ සමීපයේම සිටද? ඔවුන්ගේ අනුදැනුම යටතේද? විසෙන් විස නසන්නට ගොස් දේශපාලකයන් රටේ විනාශය අත්කර දුන්නාද? එසේත් නැත්නම් එල්ටීටීඊයට එරෙහිව සංවිධානය වීමට ඉඩ හැර වෙනත් ජාත්‍යන්තර බලවේගයක් විසින් මෙරට පාලනයට එරෙහිව ඔවුන් සංවිධානය කළේද? මේවා සෙවීම හා ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම පාලකයින්ගේ හා ආරක්ෂක අංශවල වගකීම වනු ඇත.
සටහන - මුදිතා දයානන්ද