ජාත්‍යන්තර කාන්තා දිනය ගෙවී සතියක් ගත විය. එම දිනය නිමිත්තෙන් ඉකුත් සතිය පුරා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ගේ හැකියාවන්, ක්‍රියාකාරකම් පිළිබඳ අතුරු සිදුරු නැතුව පුවත් පළ වූයේ ඔවුනට ගෞරවය ද, අභිමානය ද, ඇගැයුම් ද හිමි කර දෙමිනි. එහෙත්, ඒ සෑම පුවතකින්ම පාහේ කතාබහ වූයේ, මව, ගෘහණිය නොඑසේ නම් වැඩ කරන කාන්තාව පිළිබඳවය. එහෙත්, ඒ සියල්ල අතරේ අප්‍රකට භූමිකාවක් නිරූපිත නිහඬ චරිතයක් සිටි බව කාහටත් අමතකය. ඇය වූ කලී අන් කිසිවකු නොව, එවකට යුද බිමේ දිවි පරදුවට තබමින් තම තාරුණ්‍යය කැප කළ විරු සෙබළියයි.
එවක උතුරු නැගෙනහිර ක්‍රියාන්විත ප්‍රදේශවල අඛණ්ඩව දිවා රෑ ගෙවූ රණවිරුවන් අතර සෙබළියෝ ද සැලකිය යුතු පිරිසක් වූහ. පිරිමින් සමඟ කරට කර සිටිමින් ජීවිත අවදානම මැද ඔවුන් ඉටු කළ මෙහෙවරට ඉතිහාසයේ ඇගැයීම් ලද බවක් නොපෙනේ. එදවස ඔවුන්ගේ කැපවීම කොතෙක් ද යත්, වෙඩි උණ්ඩ, බෝම්බ, මරාගෙන මැරෙන ප්‍රහාර ආදියට ගොදුරුව ක්‍රියාන්විත හේතු මත යුද සෙබළියන් ද මියගොස් ඇති බව දන්නේ කීයෙන් කී දෙනා ද?
එම සෙබළියන්ගේ ජීවිත පරිත්‍යාගය ඇරැඹෙනුයේ 1996 තරම් එපිටදීය. එතැන් පටන් ඇරැඹුණ එම විරු සෙබළියන්ගේ ජීවිත පූජාව කෙළවර වනුයේ 2009 වසරේදීය. කාන්තා දිනයේ පවා අමතක වූ ඇයගේ මෙහෙවර පිළිබඳ මෙවර යුද සමයේ කතාවක් තුළින් ඉඩ වෙන් කෙරෙනුයේ, ත්‍රස්තවාදි ප්‍රහාර හේතුවෙන් රට වෙනුවෙන් දිවි පිදූ සෙබළියන් 25 දෙනකු ද මේ මහ පොළොවේ මිහිදන්ව ඇති බව වැඩි දෙනකු නොදන්නා පසුබිමකය.
මීට 30 වසරකට පමණ ඉහතදී මඩකලපුව ‘පූනානි’ කඳවුර ආශ්‍රිතව විරු සෙබළියන් පිළිබඳව මා ලත් අත්දැකීම් සමුදායක් පිළිබඳ මතකයන් ද මෙහි සටහන් කරනුයේ, එය මෙහි ඇති උද්ධෘතය වඩාම ගැළපෙන නිසාය. මතකයේ හැටියට ඒ 1995 වසරයි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් උත්සන්නව පැවැති එකල තරුණ නිලධාරියකුව සිටි මම දිනක් මැදියම් රැයෙහි සහායක සෙබළකු ද සමඟ කඳවුරේ ආරක්‍ෂක වළල්ලේ බංකර්වල සේවයේ නියුතු සෙබළුන් පරීක්ෂා කිරීමට එක්වීමි. එහිදී මා දුටුවේ, සෙබළුන් විශාල ප්‍රමාණයක් සිටින එම කඳවුරෙහි කොටසක සෙබළියන් ද රාත්‍රී බංකර් රාජකාරින්හි නියැළ්‍ී සිටින ආකාරයයි. මෙතරම් පිරිමින් සිටින කඳවුරක කට්ට කළුවර බංකර්වල එලෙස කාන්තා සෙබළියන් සිටිනු දැකීමෙන් මා තුළ ජනිත වූයේ හෘදයාංගම බව මුසු විමතියකි. තොප්පිගල දෙසට මුහුණලා පිහිටි එම බංකර් ඉදිරිපස වූ කටු කම්බි වැටෙන් ඔබ්බට වූයේ ඝන කැලෑවකි. පාළු මූසල මැදියමක ගිනි අවි ද අත දරා එලෙස රට රකින ඔවුන් පිරිමින් තරම්ම හෝ ඊටත් වඩා නිර්භීත ගති ඇත්තියන් විය යුතු නොවේ දැයි මට සිතුණි. කාන්තා සෙබළුන් සිටින කඳවුරක රාජකාරි සඳහා පැමිණි ප්‍රථම අවස්ථාව එය වූ බැවින්, ඔවුනගේ ක්‍රියාකාරකම් පිළිබඳ දැනගැනීමට ලැබීම මා හට නැවුම් අත්දැකීමක් විය. එහිදී මාගේ අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව සහායක සෙබළා ද සමඟ එම බංකරය සමීපයට පැමිණි මම එහි සිටි සෙබළියක සමඟ මොහොතක් කතා කළෙමි.
‘වජිරා’ නම් වූ ඇය අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකාරියකි. යුද හමුදාවට බැඳී ඒ වන විට ඇය ගෙවමින් තිබුණේ දෙවැනි වසරය. ඇය මැදියම් රාත්‍රියේ බංකරයේ රාජකාරි භාරගෙන තිබුණි. බංකරය තුළ යකඩ ඇඳක් මත හා බිම එළන ලද ‘මෙට්ටයක්’ මත එහි රාජකාරි සඳහා නම් කර සිටි සෙසු සෙබළියන් දෙදෙනා නින්දේ පසු වන අයුරු විදුලි පන්දම් එළියෙන් යාන්තමින් දැකගත හැකි විය. ඒ සෑම අයකුම නිල ඇඳුමින් සැරැසී සිටි අතර, ඒ මොහොතේ රාජකාරියේ යෙදී සිටි සෙබළිය කැප් තොප්පියක් හා පතරොම් සහිත ‘නපූචසය’ ද පැලඳ අවිය ද අතැතිව සිටියාය. කරාබු, මාල, වළලු කිසිත් නොපැලඳි, නිය, තොල් ආලේපණ ද නොගෑ ඈගේ ගතින් සෙබළ මුහුණුවර හැරෙන්නට සම්ප්‍රදායික කාන්තාවකගේ ස්වරූපය දිස් නොවීය. එහිදී ගෙදර දොර තොරතුරු හා ආරක්ෂාවට අදාළ කරුණු පිළිබඳ ඇය හා මොහොතක් කතාබස් කිරීමෙන් අනතුරුව සහායක සෙබළා ද සමඟ මා මැදියමේම එතැනින් නික්මෙද්දී ඊළඟ මුර වාරය භාර ගැනීම පිණිස එතෙක් එහි නින්දේ පසු වූ සෙබළියක අවදි කරවන හඬ ද ඇසුණේය.
විදුලි පන්දමක් දල්වා ගෙන ඉදිරියට එමින් සිටි දෙදෙනකු ද ඒ මොහොතේ යාබද බංකරය සමීපයේදී මා හට මුණගැසුණි. ඔවුහු ද කාන්තා සෙබළියෝ වූහ. බංකර් රාජකාරින්හි නිරත වූවන් අතර, තේ බෙදාහැරීමේ කටයුතු භාරව තිබුණේ ඔවුන්ටය. එවක ක්‍රියාන්විත බිමෙහි රාත්‍රී රාජකාරින්හි නිරත සෑම අයකුටම ‘තේ’ හෝ ‘කොත්තමල්ලි’ කෝප්පයක් පිරිනැමුණි. මා ආරක්ෂක වළල්ලේ ඇවිදිමින් එකින් එක බංකරය වෙත ගොස් එහි සිටියවුන්ගේ රාජකාරි කටයුතු සොයා බලා ඉන් නික්මෙද්දී අලුයම 3.00 පසු වී තිබිණ. උපක්‍රමිකව වැදගත් ප්‍රධාන බංකර්වල හැරුණු විට අන් සියලු බංකර්වල එහිදී මා හට මුණගැසුණේ කාන්තා සෙබළියන්ය. ඒ මොහොත වන විට එම කඳවුරේ සේම කාන්තා සෙබළුන් සිටින සෙසු ක්‍රියාන්විත පෙදෙස්වල කඳවුරුවල ද තත්ත්වය එසේම විය. උතුරු නැගෙනහිර හැරුණු විට දකුණේ සියලු ප්‍රදේශවල සිටින තරුණියන් ඒ මොහොත වන විට සුව නින්දේ පසු වූවාට සැක නැත. ඔවුන් රැය පහන් කරනුයේ දුෂ්කරතාවන් ද, අවදානම ද නොමැතිවය. ඒ අතර බොහෝ පිරිසක් තම දූ පුතුන් තුරුලු කරගනිමින් ළබැඳියන්ගේ උණුසුමට ගුළිව නිදි සුව ලබනු ඇත. ඒ වන විට මා හට ද වැඩිමල් සොහොයුරියක සිටි අතර, ඇය ද එලෙසින්ම නිවෙසෙහි සුව සේ නිදනු ඇති බව මෙනෙහි විය. එහෙත්, ඒ සියල්ල අතරේ අන් අයගේ සුව නින්ද උදෙසා තම නින්ද කැප කරමින් උතුරු නැගෙනහිර ක්‍රියාන්විත භූමියේ කොතෙක් නම් යෞවනියන් මෙලෙස රෑ පුරා නොපියවූ දෑසින් සතුරු පෙරමග බලා හිඳින්නේ දැයි මා හට මෙනෙහි විය.
ත්‍රස්තවාදි තර්ජන උග්‍රව පැවැති එකල ඒ හේතුවෙන්ම දිනපතාම පාහේ කෙනකු මියයාම හෝ තුවාල සිදු වීම සාමාන්‍ය කරුණක්ව තිබිණ. සෙබළුන් දිවා රෑ නොබලා අවදානම් තැන්වල ත්‍රස්තවාදින්ට එරෙහි මෙහෙයුම්වල නියැළෙද්දී සෙබළියෝ ද කඳවුරු වටා රැකවල්ලා හිඳිමින් ඊට නොදෙවැනි මෙහෙවරක නිරත වූහ. එවක පූනානිහි රාජකාරි නිරත සෙබළියන් වැඩි දෙනෙක් පොළොන්නරුව, මනම්පිටිය, අරලගංවිල, දම්මින්න, වැලිකන්ද හා දිඹුලාගල ආදි ඒ අවට පදිංචිකරුවෝ වූහ. කඳවුරට තරමක් යාබද ප්‍රදේශවල ඔවුන් පදිංචිව සිටිය ද පැවැති ක්‍රියාන්විත තත්ත්වය හමුවේ ඔවුනට නිරතුරු තම නිවෙස් වෙත යාමේ ඉඩක් නොවීය. විශේෂයෙන්ම, දරුවන් සිටිනා විවාහක සෙබළියන්ට පවා නිවාඩු ලබා ගැනීමට මාස දෙකකට වැඩි කලක් කඳවුරෙහි ගෙවන්නට සිදු විය. එලෙස විවාහක සෙබළියන්ගේ ස්වාමිපුරුෂයන් සෑම අයකුම පාහේ නිරතව සිටියේ ගොවිතැන හෝ වෙනත් ස්වයං රැකියාවලය. අද මෙන් එකල ජංගම දුරකතන නොවූ අතර, රාජකාරින්හි නිරත සෙබළියන්ට තම නිවෙස් සමඟ ගනුදෙනු කිරීමේදී භාවිත කිරීමට සිදුව තිබුණේ කඳවුරෙහි වූ ස්ථාවර දුරකතනයයි. එමගින් ද ඔවුනට දුරකතන පහසුකම් ලබා ගැනීමට ඉඩ සැලසී තිබුණේ අත්‍යවශ්‍යම හේතුන් මත ඉතා සීමිත කාලසීමාවකට යටත්ව පමණි. එබැවින්, ඔවුන්ට තම ළබැඳියන් හා වැඩිපුර ගනුදෙනු කිරීමට සිදු වූයේ ලිපි මගින් පමණි. නමුත්, ඒ සඳහා ද සති ගණන් බලා සිටීමට සිදු විය.
විවාහක සෙබළියන්ගේ සුභසාධනය සලකා බලා එවක මා සිටි පූනානි කඳවුරේ කඳවුරු භාර නිලධාරීන් විසින් ඔවුන් හට සෑම සතියේ ඉරිදා දිනකම තම පවුලේ සාමාජිකයන් කඳවුරට ගෙන්වාගැනීමේ අවසරය ලබා දෙන ලදී. ඒ සඳහා පැමිණෙන අයවලුන් හා කතාබස් කිරීමට හැකි වන පරිදි කඳවුරෙහි ප්‍රධාන දොරටුවට යාබදව කූඩාරමක් ද ඉදිකොට, ආහාර පාන ආදිය ලබා දීමේ ඉඩකඩ ද සැපැයිණ. ඒ අනුව සෙබළියන්ගේ සිවිල් රැකියාවල නිරත ස්වාමිපුරුෂයන්, තම දූ දරුවන් ද රැගෙන අදාළ දිනවල එහි පැමිණෙන අයුරු දැකගත හැකි විය. එහිදී, විවාහක සෙබළියන් රාජකාරිය අතරතුර ලැබෙන සුළු විරාමයකදී පවා එසේ රැගෙන පැමිණෙන තම දූ පුතුන් සුරතල් කරන අයුරුත්, ඉතා කුඩා වියේ පසු වූ ඇතැම් දූ දරුවන් ඒ ඇසිල්ලෙන් තම මවගෙන් කිරි බොන්නට දඟලන අයුරුත්, බොහෝ හැඟුම්බර දසුන් විය. අවි අත දරන යුද සෙබළියන්ට වුව ද දරුවන්ගේ අසනීප තත්ත්වයන්, අධ්‍යාපන කටයුතු, පවුලේ අඬදබර, ආර්ථික අපහසුතා ආදි සැමට එක සේ බලපාන පොදු සමාජ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුව තිබුණේ එකම ලෙසය. යුද්ධය බිහිසුණුව පැවැති එම කාලවකවානුවේ සිය දරුවන් ස්වාමිපුරුෂයන් භාරයේ නිවෙස්වල තබා බිරින්දෑවරුන් එලෙස ගිනි අවි අත දරා බංකරයේ දිවි ගෙවීම දෛවයේ සරදමක් වැනිය.
මෙහි තවත් පැත්තක් ද තිබිණ. එනම්, බිරිඳ හා ස්වාමිපුරුෂයා දෙදෙනාම ආරක්ෂක අංශයට සම්බන්ධව ක්‍රියාන්විත පරිසරයේම ගත කළ අවස්ථාවලදී ඔවුන්ගේ පවුල් ජීවිතවලට එල්ල වූ පීඩනය ඉමහත්ය. ඇතැම් විට බිරිඳ වවුනියාවේ සිටිද්දී, ස්වාමියා මඩකලපුවේය. නොඑසේ නම්, බිරිඳ පූනානි සිටිද්දී ස්වාමියා කිලිනොච්චියේය. එවන් අවස්ථාවල පැවැති ක්‍රියාන්විත තත්වය මත දෙදෙනාටම එකට නිවාඩු යාම සීමා විය. එසේම, ස්වාමියා උතුරේ ත්‍රස්ත ප්‍රහාර හමුවේ තුවාල ලබද්දී බිරිඳ ද ක්‍රියාන්විත පෙදෙසක ඊට සම්බන්ධ කටයුත්තකම නියැළෙමින් සිටියාය. යුද සමයේ එවැනි විවාහක රණවිරු යුවල් වෘත්තීය දිවිය තුළ මෙන්ම පුද්ගලික දිවිය තුළ ද මැදිව සිටියේ යුද්ධයකටය. එලෙස බිරිඳක මවක ලෙස එදවස යුද සෙබළිය මුහුණ දුන් දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ වර්තමානයේ දන්නේ කවුරුන් ද? ඇතැම් විට හමුදාවල් තුළ පවා අලුත් පරම්පරාව ඒ පිළිබඳව දන්නේම නැති තරම්ය.
සමස්ත රටේම මවුවරුන් තම දරුවන් විසිහතර පැය පුරා සිය උණුහුමට තුරුලු කරගන්නා මොහොතක, මාස ගණන් තම අත දරුවන්ගෙන් මිදී බංකර් තුළට වී ජීවිත අවදානම ද සමඟ සෙබළියන් ඉටුකළ කාර්යභාරය කෙබඳු වී දැයි එම අත්දැකීම නොවිඳි කෙනකුට ලියා දැන්වීම අපහසුය. නා කපන වර්ෂාවේදී ද, තිත්ත කළුවර රැයවල්හිදී ද, හිරිගඩු පිපෙන සීතලේ ද, පිනි වැටෙන හිමිදිරියේ ද ඔවුහු සිය සුකොමල දෑත්වල ගිනි අවි රුවාගෙන ශාපලත් යුද්ධය හමුවේ දුක් වින්දාහ. එහෙත්, අවාසනාවකට සෙබළුන් ලැබූ ඇගැයීම්වලට සාපේක්ෂව සෙබළියන්ගේ මෙහෙවරට ඇගැයුමක් ලැබුණු බවක් නොපෙනේ. ඉහත සියලු දුක්ඛ දෝමනස්ස මැද වුව ඔවුන් තම රට වෙනුවෙන් එලෙස සිදු කළ කැපවීම හරහා ගම්‍ය වනුයේ, සැබැවින්ම ඔවුන් විහාර මහා දේවියගේ පරපුරේ දියණියන් බවය. අප රටෙහි සැමරූ කාන්තා දිනයේ පවා අමතක වූ ඒ රූ වෙනුවෙන් මෙම සටහන උපහාරයක්ම වේවායි පතමි.