මරණාසන්න මනෝ සංඥා
පරිගණක විද්‍යාවට බෙහෙවින් ඇලුම් කළ පාසල් ශිෂ්‍යාවක් වූ ඇය පදිංචිව සිටියේ ගාල්ලේය. පෑනේ මිතුරු සමාජයට ලිවීම ඇගේ විනෝදාංශය විය. පෑනේ මිතුරන් පිළිබඳව පළවන පුවත් කියවන ඇය තම විනෝදාංශය, ඇති ලිපිනයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම ද සිරිතය. වරක් පරිගණක විෂයය විනෝදාංශය ලෙස සඳහන්ව තිබූ පාසල් සිසුවකුගේ ලිපිනයට ඇය ලිපියක් යැවීය. ඇයට පිළිතුරක් ලැබිණි. ඒ අනුව එම පාසල් සිසුවා සමඟ පෑනේ මිතුරුකමක් ආරම්භ කළාය.
එම සිසුවා පදිංචිව සිටියේ කොළඹය.
දියණියගේ මෙම පෑනේ මිතුරු සමාජයට දෙමාපියෝ එතරම් කැමැත්තක් නොදැක්වූහ. පාසල් සිසුවා සමඟ ඇගේ පෑනේ මිතුරු සබඳතාව ආරම්භ වූයේ 1986 වසරේදීය. වසර කිහිපයක් ගතවිණි. අධ්‍යාපන කටයුතුවලට අවධානය යොමු කිරීම නිසා තම පෑනේ මිතුරා සමඟ තිබූ සබඳතාව තරමක් අඩු කැරිණි. තරුණ වියට පැමිණ සිටි ඇය වැඩිදුරටත් පරිගණක විෂයය හැදෑරීම සඳහා කොළඹට පැමිණියාය. එහිදී පරිගණක විෂයය තවදුරටත් අධ්‍යයනය කිරීමට ඇයට අවශ්‍ය විය. වසර කිහිපයක් ගතවිණි.
ගුරුවරියක් ලෙස සේවය ආරම්භ කළ ඇයට තම පෑනේ මිතුරා ඇමතීමට සිතුණි. එදා පාසල් සිසුවකුව සිටි තම පෑනේ මිතුරාට ඇය නැවතත් ලිපියක් ලීවාය. තමාගේ තත්ත්වය හෙළි කරමින් යැවූ ලිපියට ඇයට පිළිතුරක් ලැබිණි. එමගින් සඳහන් වූයේ ඔහු ඒ වනවිට පරිගණක විශේෂඥවරයකු ලෙස සේවය කරමින් සිටින බවය. එවර ඇරැඹුණු මිතුරුකම පෙම් සබඳතාවකට පත්වීමට වැඩි කලක් ගත නොවිණි.
පෙම්වතුන් බවට පත් වූ ඔවුහු විවාහ ජීවිතයට ඇතුළත් වූහ. වසර ගණනක සිට දැන හැඳිනගෙන සිටි සිය පෙම්වතා සමඟ යුග ජීවිතය ඇරැඹූ ඇය ඉතා කෙටි කලකින් මවක් බවට පත්වූවාය. සිඟිති පුතකුගේ මවක් වූ ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා සරසවියට ඇතුළත් වූවාය.
ඇගේ විෂය ධාරාවට ද පරිගණක විෂයය ඇතුළත්ව තිබිණි. පරිගණක විශේෂඥයකු ලෙස සේවය කරමින් සිටි සැමියාට විදේශයක උපදේශකවරයකුව යාමට අවස්ථාව ලැබිණි. කෙටි කලක් සඳහා ඔහුට යා යුතු වූයේ ඉරාකයටය. මාස කිහිපයක් සඳහා ඔහු ඉරාකය බලා පිටත්ව ගියේය. ඇය තම අධ්‍යාපන කටයුතු කරගනිමින් සිටියාය.
සැමියා විදේශගතව සිටිය ද පරිගණකය ඔස්සේ අන්තර්ජාලය මගින් ඔහු නිතර ඇමතීම ඇගේ සිරිත වූවාය. සැමියා ද ඉඩක් ලද සැම විටම ඇය සමඟ කතා කිරීම සිරිතය. 2003 වසරේ ජුලි මාසය වනවිට සැමියා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කාලය ළංවෙමින් තිබිණි. ඔහු පැමිණෙන දිනය ගණනය කරමින් ඒ පිළිබඳව විමසමින් සිටීම ද ඇගේ සිරිත වූවාය.
එදා 2003 ජුලි මස 22 වැනිදා පරිගණක විෂයය හදාරමින් සිටි ඇයට සරසවියේ පරිගණක පරීක්‍ෂණයකට පෙනී සිටීමට නියමිතව තිබිණි. ඇගේ පරීක්‍ෂණය සඳහා වේලාව ලැබී තිබුණේ දහවල් 11.00ටය. ඒ සඳහා රසායනාගාරයට ගිය ඇය පරීක්‍ෂණයට පෙනී සිටීම සඳහා ඉදිරිපත් වූවාය.
තම විෂයයට දක්‍ෂ බව දත් ඇයට පරීක්‍ෂණයට පෙනී සිටීමට කිසිදු බියක් නොතිබිණි. ඇතැම් විට මිතුරු සිසුන්ට පවා පරිගණක ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමට තරම් ඇයට හැකියාව තිබිණි. එදා දහවල් තමාට නියමිත වේලාවේ ඇය පරීක්‍ෂකවරයා ඉදිරියේ පෙනී සිටියාය. ඇගේ පරිගණකය ක්‍රියාකරවීමට ඇය උත්සාහ කළාය. එය ක්‍රියාත්මක නොවිණි. කිහිප විටක්ම ක්‍රියාත්මක නොවීම නිසා පරීක්‍ෂකවරයා ද ඇය වෙත පැමිණ ඇයට වෙනත් පරිගණයක් ලබා දුන්නේය.
එමගින් ද එය ක්‍රියාකරවීමට උත්සාහ ගත්ත ද ඇගේ උත්සාහය අසාර්ථක විය. වෙනදා අන් සිසුන්ට ද උපදෙස් දීමට තරම් ඇයට දැනුම තිබූ නමුත් ඒ අවස්ථාවේ ක්‍රියාත්මක කරගැනීමට අපහසු වීම ඇගේ පුදුමයට හේතු වූවාය. පරීක්‍ෂකවරයා ද ඇයගේ නොහැකියාව පිළිබඳව නොසතුටට පත්විය. සිදුවූයේ කුමක්දැයි ඇයට අදහාගත නොහැකි විය.
පැය කිහිපයක් ගත විය. ඇය කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ පණිවිඩයක් ඇයට ලැබිණි. එනම් විදේශගතව සිටි සැමියා, මෝටර් රථයක ගමන් කරමින් සිටියදී වෙඩි පහරකට ලක්ව මරණයට පත් වූ බවය. ඔහුට වෙඩි වැදී තිබුණේ ඉරාකයේ බැග්ඩෑඩ් හිදී දහවල් 11.00ට පමණය. බිරියට පරිගණකය ක්‍රියා විරහිත වී එය ක්‍රියා කිරීමට උත්සාහ ගත් වේලාවත්, සැමියා මරණයට පත් වූ වේලාවත් එක සමාන බවක් දක්වන බැව් ඇයට අවබෝධ විය.
මෙම අතිශය පුදුම සංඥාව ලැබූ ඇගෙන් එම සිදුවීම පිළිබඳව විමසීමට අපට අවස්ථාව ලැබිණි. ඇය පවසන්නේ සැමියා මරු දකින අවස්ථාවේ ඇගේ පරිගණකය ක්‍රියා විරහිත වීම සිදුවීම පුදුම උපදවන ක්‍රියාවක් ලෙසය. සැමියා සමඟ පරිගණකය ඔස්සේ නිතර නිතර තොරතුරු විමසීම නිසා ඔහුත් ඇයත් පරිගණකය සමඟ දැඩි බැඳීමක් තිබූ බවය.
ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් ඒ අයුරින්ම මෙහි දැක්විය හැකිය.
ප්‍රශ්නය - එම සිදුවීම වනවිට ඔබේ සැමියා සිටියේ කොහේ ද?
පිළිතුර - කෙටි කාලයකට ඉරාකයේ සේවයට ගියා.
ප්‍රශ්නය - ඔබ සිටියේ කොහේ ද?
පිළිතුර - විශ්වවිද්‍යාලයේ පරිගණක විෂයය හදාරමින් සිටියා.
ප්‍රශ්නය - ඔබේ සැමියාට සිදු වූ අනතුර කුමක් ද?
පිළිතුර - මෝටර් රථයක යමින් සිටියදී වෙඩි වැදී තිබුණා.
ප්‍රශ්නය - ඒ කවදා ද?
පිළිතුර - 2003 ජුලි 22 වැනිදා.
ප්‍රශ්නය- වේලාව කීයට ද?
පිළිතුර - දහවල් 11.00ට බැව් දැනගත්තා.
ප්‍රශ්නය - එදා පරීක්‍ෂණයේදී පරිගණකය ක්‍රියා විරහිත වූ අවස්ථාවේ ඔබට සිතුණේ කුමක් ද?
පිළිතුර - මට එය අදාහාගත නොහැකි වුණා. මට කිසිවිටෙකත් එවැනි දෙයක් ඊට කලින් සිදුවී තිබුණේ නැහැ.
යනුවෙන් පිළිතුරු දුන් ඇය එදා එම සිදුවීම ලිඛිතව ඉදිරිපත් කළ අයුරු ද ඒ අයුරින්ම මෙහි ඇතුළත් කිරීමට හැකිය. අන්තර්ජාලය ඔස්සේ ඇය කළ ප්‍රකාශය මෙසේය.
"My husband was assassinated in Iraq in July 2003. That was very sudden and we were expecting his safe return back to Sri Lanka after his mission there which was only for three months. It was 22nd of July. I was studying at the University as an Internal Student. That was my Computer Test. I went into the Computer Lab for the test with other Students at about 11.00 a.m. Normally I was a good user and the application was a simple data base one which was kind of familiar to me. There was a problem with my Computer and I had to move to another one. Then I sat in front of the Computer and I couldn't open my application. Then the Examiner came to me to help and I was about 10 minutes late. The Examiner was not happy that I couldn't start which showed that I learnt nothing so far! But I was the one who sometimes helped my friends. I was kind of not conscious about what I was doing and I really couldn't understand why.
Then later in the afternoon I got the bad news that my husband was killed in Iraq and that happened around 11.00 a.m. that morning. I became insane at the moment. Then later when I started to think there could be some kind of relationship between my husband's death and my confusion at the test."
පරිගණකය ඔස්සේ ලද සංඥාවක් ලෙස ඇගේ මෙම අත්දැකීම පර්‌යේෂණ අතරට එක් වී තිබේ.
තිස්ස ජයවර්ධන