සිත ගත සනසන හිමිදිරි පෙදෙසේ නැවුම් පහස විඳගනිමු


ලංකාවේ සුන්දර පහතරට තේ වතු මැදින් වැටුණු මනරම් කඳුවැටි දියඇලි අතුරින් සෞන්දර්යාත්මක ආස්වාදයක් විඳිය හැකි‌, ඒ වගේම වචනයෙන් විස්තර කරන්නට නොහැකි තරම් සුන්දරත්වයකින් පිරිපුන් ලංකාවේ පිහිටා ඇති සුවිශේෂි ස්ථානයක් ලෙස දෙනියාය “සූරියකන්ද” සහ “හිමිදිරි පෙදෙස (Morning Side)” හඳුන්වන්නට පුළුවන.

දෙනියාය ගැන කතා කරන විට සූරියකන්ද බොහෝ දෙනාගේ මතකයට එන නමුත්, හිමිදිරි පෙදෙස (Morning Side) නම් වෙන ජෛව විවිධත්වයෙන් පිරි මේ සුන්දර පරිසරය පිළිබඳව වැඩි අවධානයක් යොමු නොවන්නේ ගමන අතිදුෂ්කර නිසාවෙනි. කිලෝ මීටර් හත අටක් පයින් යාමට කැමති සංචාරකයින්ට නම් මෙම ගමන අතිශය ආස්වාදජනකය. කොළඹ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් “මොර්නිං සයිඩ් බංගලාව” නවාතැන් සඳහා වෙන් කරවා ගැනීමේදීම ෆෝවිල් කැබ් පහසුකම් ලබාගැනීමේ හැකියාවද ඇත. එහෙත් මේ ගමනේ සුන්දරත්වය විඳින්නට වඩාත් සුදුසු වෙන්නේ මෝටර් බයිසිකලයක ගමනයි. විදේශිකයන් මෙම ගමන පයින් යාමට වඩාත් ප්‍රිය කරති. මන්ද තේ වතු මැදින් දොළ පාරවල් අතුරින් යන ගමනේදී මෙම පරිසරයේ ආස්වාදය සුන්දරත්වය උපරිමයෙන්ම විඳිය හැකිය.  දෙනියායට ළං වෙද්දි පහතරට තේ සුවඳ, ඒ රස කොහොම අමතක කරන්නද? කිතුල් හකුරු එක්ක පහතරට තේ කෝප්පයක් රස විඳලාම අපි (Morning Side) ගමන ආරම්භ කළෙමු. 

සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටි එක්තරා සුවිශේෂි කුඩා බිම් කඩක්‍ වන හිමිදිරි පෙදෙස (Morning Side) සූරියකන්ද ආසන්නයේම පිහිටා තිබෙන සෞන්දර්යාත්මක ආස්වාදය උපරිමයෙන් විඳිය හැකි නිදහස් තෝතැන්නක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන. තෙත් කලාපීය පරිසරයෙන් මඳක් ගිලිහුණු රක්වාන හා දෙනියාය අතරින් යා හැකි මෙම බිම් ප්‍රදේශයට හිමිදිරි පෙදෙස (Morning Side) ලෙස හඳුන්වන්නේ, උදෑසන සිට සවස් වනතුරුම එම ප්‍රදේශය හිමිදිරි උදෑසනක් මෙන් පැවතීම නිසා බව ජනප්‍රවාදයේ සඳහන්ය. පරිසරියේ කාලගුණය හා වටපිටාව දහවලත්, සවසත්, එක ලෙස මීදුමෙන් සීතලෙන් වැසී තිබීම මෙම හිමිදිරි පෙදෙසේ විශේෂත්වයකි. අතීතයේ සිංහරාජයෙහිම කොටසක් ලෙස පැවති මෙම ප්‍රදේශය බ්‍රිතාන්‍ය පාලන සමයේ තේ වගාව සඳහා යොදාගෙන ඇති අතර මෙම ප්‍රදේශය මෝර්නිං සයිඩ් වතුයායට අයත්ව තිබී ඇත. එමෙන්ම එකල මේ ප්‍රදේශයේ තේ වගා කළ ඉංග්‍රිසි ජාතිකයන් මෙම පරිසරයේ දේශගුණික ස්වභාවය නිරීක්ෂණය කර දවසේ ඕනෑම වෙලාවක් මීදුමෙන් බරවී තිබීම නිසා මොර්නිං සයිඩ් ලෙස හැඳින්වූවා යැයි ගම්මු පවසති.  පසුකලෙක මෙම භූමි ප්‍රදේශය තුළ එනසාල් වගා කර ඇති අතර පසුව ඒවාද අතහැර යළිත් තේ වගාව හොඳින් වර්ධනය කර ඇත. 

රත්නපුර හෝ බදුල්ල ප්‍රදේශයේ සිට මොර්නිං සයිඩ් වෙත ළඟා වේ නම්, පැල්මඩුල්ල කහවත්ත හරහා රක්වානට පැමිණ රක්වානේ සිට සූරියකන්දට එන මාර්ගයේ දකුණු පසින් කුඩා තේ වත්තක් මැද හිමිදිරි පෙදෙස ලෙස නාම පුවරුවක් හමුවේ. එතැනින් ඉහළට ඇති දුෂ්කර මාර්ගය දිගේ මොර්නිං සයිඩ් බංගලාවට ළඟා විය හැකිය. කොළඹ, ගාල්ල, මාතර සිට පැමිණේ නම් දෙනියාය හරහා සූරියකන්ද නගරයට කිලෝමීටරයකට පෙර වම්පසින් හිමිදිරි පෙදෙස ලෙස නාම පුවරුව දිස්වේ. මෙම නාමපුරුව ඉහළින් ඇති තේ වතු මැදින් වැටුණු බොරලු මාවත දිගේ කිලෝමීටර් 8 ක් පමණ යන විට මෙම මෝර්නිං සයිඩ් නිවාඩු නිකේතනයට ළඟා විය හැකි අතර, එයට පැය 4-5ත් අතර කාලයක් ගතවේ. මෙහි ළඟාවීමට මාර්ග දෙකක් තිබුණද මොර්නිං සයිඩ් තුළට ඇතුළුවීමට දැනට භාවිත කළ හැකි වන්නේ එක් මාර්ගයක් පමණි.  සිංහරාජ වනාන්තරය තුළ රජයේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතනයක් මෙන්ම පෞද්ගලික බංගලාවක්ද ඇත. 

රජයේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතනය සියලු සැපපහසුකම් සහිතව නිමවා ඇති අතර, 12 දෙනෙකුට එකවර නවාතැන් ගත හැකිය. මෙම වනාන්තර භුමිය තුළ අලින්, දිවියන් බහුලව ගැවසෙන බැවින්, මෝර්නිං සයිඩ් භූමිය තුළ කූඩාරම් සකසා කෑම්පින් කිරීමට අවසර හිමිවෙන්නේ නැත. සිංහරාජයේ හෝ වෙනත් ලංකාවේ කිසිම වනාන්තරයක දැකිය නොහැකි සත්ත්ව හා ශාක විශේෂ කිහිපයක්ම මෙම හිමිදිරි පෙදෙස ප්‍රදේශයෙහි දැකගත හැකි අතර, සිංහරාජයෙහි මෙන්ම තෙත් කලාපයෙහි අවසන් අලි දෙදෙනාද වසරේ ඇතැම් කාලවලදී මෙම හිමිදිරි පෙදෙස අශ්‍රිතව දැකගත හැකිය. මෝර්නිං සයිඩ් රාත්‍රිය ගත කරනවා නම් සවස 5.30ට ප්‍රථමව නිවාඩු නිකේතනයට ළඟා විය යුතුය. මන්ද කළුවර වැටීගෙන එනවිට සතුන් මාර්ගයේ ගැවසීම බහුල බැවින්, එය අනාරක්ෂිත විය හැකි නිසාවෙනි. ඒ වගේම කෑමට අවශ්‍ය බඩු බාහිරාදියද රැගෙන යාමට හැකි නම්, අවශ්‍ය පරිදි ප්‍රණිත ආහාර වේලක් සකසා දීමටත් එම ස්ථානයේ සේවකයෙකු සේවයේ යෙදී සිටී. මේ මහ කැලෑවට විදුලිය නම් නැත. ඔබ යන විට පෙට්ට්‍රල් රැගෙන යා හැකි නම් ජෙනියක් ආධාරයෙන් විදුලිය සපයාගත හැකිය. වනජීවී දෙපාර්තමේන්තුවෙන් නිවාඩු නිකේතනය වෙන්කරවා කරවා ගැනීමේදි සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින අතර, මෙම නිකේතනය වෙන්කරවා ගැනීමට රාජගිරියේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණිය යුතුය.  මේ ගමනේදී කාලය කළමනාකරණය කරගතහොත්, බොහෝ දේ නැරඹිය හැකි අතර, සිංහරාජ ආරණ්‍ය සේනාසනය, පුංචි ලෝකාන්තය වැනි ස්ථාන නැරඹිය හැකිය. 

 

මීදුමෙන් වැසුන කඳු පන්ති අතරින් මොර්නිං සයිඩ් ප්‍රදේශයට පැමිණෙන විට ගතට දැනෙන සීතල දෙගුණ දෙගුණ තෙගුණ වෙයි. වැලමිටි වංගු සහිත සුන්දර මාර්ග, අලංකාර තේ වතු, ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්, උරගයින්, දුර්ලභ සමනලයින්, දුර්ලභ ගණයේ ශාක සහ මල් වර්ග වැනි බොහෝ දේ මේ පරිසරයේ දැකගත හැකිය.  

රෑස්ස ගස් මැදින් වැටී ඇති වැලමිටි වංගු දිගේ අලංකාර නිස්කලංක හුදෙකලා මාර්ගයෙන් රක්වාන දෙනියාය මාර්ගයේ ඉහළට ඇදෙන විට  මුහුදු මට්ටටමේ සිට අඩි 800 ක උසින් පිහිටි සූරියකන්ද, මේ ගමන්මගේ හමුවන තවත් අති සුන්දර ගම් පියසකි. නිතර මීදුමෙන් පින්නෙන් වැසුන සූරියකන්ද මාර්ගය බොහෝ දෙනාගේ සිත මොහොතකට නතර කරවන අතිශය සුන්දර ගමන් මාර්ගයක් වෙන අතර, කඳු බෑවුම් මෙන්ම නිතර ඇතිවන මීදුම තත්ත්වයන් නිසා රථවාහන ගමනාගමනයේදී පරිස්සම් විය යුතුය.  

උදෑසනත්, දහවලටත්, සවසටත් එකම ලෙස දිස්වෙන නිතර මීදුම් සළු අහස් වියනක් ගෙත්තම් කරගත් මෝර්නිං සයිඩ් අතිශයින්ම සොඳුරු ඉසව්වකි. එසේම මෙය මනස නිදහස් කරගැනීමට, පුංචි නිවාඩුවක් ගෙවන්නට උචිත ලංකාවේ තිබෙන මනස්කාන්ත භූමි ප්‍රදේශයකි. ප්‍රවේසමින් යුතුව ඉතා දුෂ්කර හා අවදානමෙන් යුතු පාද චාරිකාවක නියැළී, පා සටහන් පමණක් එහි තබා එන්නට අමතක කරන්නට එපා.


  • නදීශා අතුකෝරළ