සනුරි ඉසුරිකා වීරසේකර
රිය අනතුරු වලින් දිනකට මිය යන සංඛ්‍යාව අති විශාලය. සෑම දිනකම ඇසෙන පෙනෙන අනතුරු බොහොමයක් සිදුවෙන්නේ බීමත්ව රිය පැදවීම, නොසැලකිලිමත්කම, නින්ද යාම, වාහනයකට ඉස්සර කර ධාවනය කිරීමට යාම, අධික වේගය, ඇඟට තෙහෙට්ටු ගතිය වැනි කරුණු නිසාවෙනි. මෙම අනතුරුවලින් මියයන වැඩි පිරිසක් තරුණ තරුණියන්ය. අනාගතයේ දී රට භාර ගැනීමට සිටින මෙවැනි තරුණ තරුණියන් මිය යාම ඔවුන්ගේ පවුල්වලට, ඥාතීන්ට, අසල්වැසියන්ට මෙන්ම රටට ද පාඩුවකි.
ඉකුත් 07 වැනිදා සිකුරාදා සවස 2.45 ට පමණ එවැනි මාරක රිය අනතුරක් කෑගල්ල පොලිස් වසමෙන් අසන්නට ලැබුණි. කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, මංගලගම ප්‍රදේශයේ දී ලොරි රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර, උපාධිය අපේක්ෂාවෙන් සිටි ශිෂ්‍යාවකට දිවි අහිමි වී, ඇගේ බාල සහෝදරයාගේ හා බාප්පාගේ පුතාගේ ද අත් පාවල අස්ථි බිඳුණි. මෙම මාරක අනතුර ගැන පුවත විදුලි වේගයෙන් පළාත පුරා පැතිර ගියේය.
මෙම අනතුරින් දිවි අහිමි වූයේ රඹුක්කන පොල්අත්තාපිටිය, උඩගලදෙණියේ විසූ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිව් වසරක ඉගනුම් කටයුතු අවසන් කර උපාධි අපේක්ෂාවෙන් සිටි 26 හැවිරිදි තරුණියක වූ මෙරගල්ගේ සනුරි ඉසුරිකා වීරසේකර ශිෂ්‍යාවටය. ඇය ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයේ රියදුරු 18 හැවිරිදි බාප්පාගේ පුතා මෙරගල්ගේ උදාර කෞශල්‍යා වීරසේකර තරුණයා නියමිත මංතීරුවේ ගමන් නොකර, ප්‍රතිවිරුද්ධ මංතීරුවේ වේගයෙන් ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් ආ ලොරි රථයේ ඉදිරිපස ත්‍රීරෝද රථය ගැටී මෙම මාරක රිය අනතුර සිදුව තිබුණි. ඉදිරියට වූ කෙළින් මාර්ගයේ නියමිත මංතීරුව පැහැදිලිව තිබියදී, ප්‍රතිවිරුද්ධ මංතීරුවේ ත්‍රීරෝද රථය ධාවනය කර ලොරි රථයේ ගැටී සිදු වූ මාරක අනතුර සිදුවූ අයුරු පොලිසියට ප්‍රහේලිකාවක් වී තිබේ.
සනුරි ඉසුරිකාගේ පියා, සම්පත් වීරසේකරය. ඔහු රුමේනියා රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක සේවය කරන්නෙකි. මව මේනුවරගේ මොනිකා ක්‍රිෂාන්තිය. ඇය ගෘහණියකි. සනුරිට බාල සහොදරියක් හා සහෝදරයෙක් සිටී. 1998 මැයි 14 වැනිදා කල්පිටියේ දී උපත ලද සනුරි ඉසුරිකා, කුරුණෑගල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යායන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවාය. උසස් පෙළ ප්‍රතිඵල අනුව සනුරි ඉසුරිකාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවකාශ හිමි විය. පුරා වසර හතරක විශ්ව විද්‍යාල ජීවිතය ගත කරද්දී ඈට විවිධ ප්‍රදේශවල සහෝදර සහෝදරියන් බොහෝ පිරිසක් හඳුනාගැනීමට හැකි විය. හැම සහෝදර ශිෂ්‍ය ශිෂ්යාවෝම ඇගේ මුහුණේ තිබුණු අහිංසක සිනාවට, හදවතේ තිබුණු ළෙන්ගතුකමට ආදරය කළහ. ඇය හැම මොහොතකම තම සහෝදර සහෝදරියන්ට උදව් උපකාර කළාය.
අවසන් කටයුතු සිදු කිරීමට නිවසින් රැගෙන යාමට පෙර ඥාතීන් හඬා වැලපෙන අයුරු.
අනතුරට පත් ත්‍රීරෝද රථය හා ලොරි රථය
කුඩා කල සිට සුරූපී දැරියක වූ ඉසුරිකාට, මවුපියන්, ඥාතීන්, අසල්වාසීන් ආදී කී නොකී බොහෝ පිරිසක් ආදරය කළහ. ඉසුරිකාත් මිනිස්සුන්ට වගේම සතුන්ට ද ආදරය කරුණාව දැක්වූවාය. කොහේ ගියත් සතෙකු දුටුව ද ඇකේ හොවාගෙන කරුණාව දැක්වූවාය.
ඒ නිසාම 2023 වර්ෂයේ මුල් කාලයේ ඉසුරිකා කුරුණෑගල ප්‍රදේශයෙන් රුපියල් 20,000 ක් දී බලු පැටවෙකු නිවසට රැගෙන ආවේ සතුන්ට ඇති ආදරය නිසාය. බලු පැටවාට ඇයම ‘ඔජො’ කියා නමක් ද තැබුවාය. නෑවුවාය. කිරි හදා පෙව්වාය. බත් දුන්නාය. බෙහෙත් ගෙනත් දුන්නාය. විශ්වවිද්‍යාලයට යන වේලාවට ඔජො මවට භාර කළාය. “මෙයා හොඳට රැක බලා ගන්න අම්මේ, මම ගිහින් එනකල්” ඉසුරිකා සිය අම්මාට කියූ වාර ගණන අපමණය.
සිව් වසරක විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉසුරිකා සාර්ථකව අවසන් කළේ මීට මාස දෙකකට පමණ ඉහතදීය. ඔක්තෝබර් මාසයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධි සහතිකය දෑතින් ලබාගැනීමට ඈ දින සති ගනිමින් කල් ගෙව්වාය.
පියා සම්පත් වීරසේකර, රුමේනියාවේ වසර පහක් පමණ සේවය කර ලංකාවට පැමිණ ආපසු ගොස් ගෙවී ගියේ මාස තුනකි. ඔහු තම බිරිඳට, දරු තිදෙනාට හදිසියේ අසනීප තත්ත්වයකදී ගමනක් බිමනක් යාමට ත්‍රීරෝද රථයක් ද ගෙන දී තිබුණේ ස්වාමි පුරුෂයෙකු ගෙන් පියෙකු ගෙන් ඉටු විය යුතුකම් ඉෂ්ට කරමිනි.
සුරතල් ඔජො ඉකුත් 04 වැනිදා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී මිදුලේ තිබුණු රඹුටන් ගහක කකුලක් වැදුණි. ඔජොට ඇවිදීමට නොහැකි විය. වහාම ත්‍රීරෝද රථයකින් සුරතල් ඔජො කෑගල්ල නගරයේ පෞද්ගලික සත්ව වෛද්‍යවරයෙකු වෙත රැගෙන ආහ. බල්ලාගේ කකුල් දෙක හැදීමට රුපියල් ලක්ෂයක මුදලක් වෛද්‍යවරයා ඉල්ලීය. එපමණ මුදලක් ඈ සන්තකයේ නොතිබුණේය. බල්ලා රැගෙන ඉසුරිකා ආපසු නිවසට පැමිණියාය.
බල්ලාගේ කකුල සුවපත් කරගැනීමට විකල්ප වෛද්‍යවරයෙකු සොයමින් සිටින අවස්ථාවේ දී රජයේ සත්ව රෝහලක් පේරාදෙණියේ ඇති බවට ඉකුත් 06 වැනිදා අෑ දැන ගත්තාය.
07 වැනිදා පෙරවරුවේ ඔවුන්ගේ ත්‍රීරෝද රථයෙන් පේරාදෙණිය බලා පිටත්ව යාමට සුදානම් වූවාය. ත්‍රීරෝද රථයේ රියැදුරු බාප්පාගේ පුතා 18 හැවිරිදි උදාර කෞශල්‍යය. ඉසුරිකා වීරසේකර ඔජො රැගෙන ත්‍රීරෝද රථයට නැගගත්තාය. 16 හැවිරිදි බාල සහෝදරයා ඊට පිටුපසින් නැග ගත්තේය. උදේ 8.30 නිවසින් පේරාදෙණිය බලා ත්‍රිරෝද රථය පිටත්විය.
සවස 2 ට පමණ මොනිකා, පේරාදෙණිය බලා ගිය දරුවන් තුන් දෙනා ගැන සොයා බැලීමට දුරකතන ඇමතුමක් ඉසුරිකාගේ දුරකතනයට ගත්තාය. “අම්මේ බල්ලාගේ කකුල් දෙකම හදා ගත්තා. රෝහලින් ශත පහක් ගත්තේ නෑ. ඒ වුණාට ෆාමසියෙන් ගත්ත වෙළුම් පටිවලට බෙහෙත්වලට රුපියල් 8,000 ක් ගියා. අපි දැන් මග, ගෙදර එන ගමන් ඉන්නේ ” පැවසුවේ සතුටින්ය.
උතුවන්කන්ද පසුකර නියමිත මංතීරුවේ ඉදිරියට ඇදෙන ත්‍රීරෝද රථය මංගලගම ප්‍රදේශයේ දී ඉදිරියෙන් කිසිම වාහනයක් නොතිබුණු අවස්ථාවේ දී රියැදුරු ත්‍රීරෝද රථය ප්‍රතිවිරුද්ධ මංතීරුවෙන් ඉදිරියට ධාවනය කෙරිණ. කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනය වෙමින් තිබුණු ලොරි රථයක මුහුණට මුහුණ ත්‍රීරෝද රථය ගැටුණේ මේ අවස්ථාවේදීය. ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළුණි. ලොරි රථය දකුණට හැරවුණි. අවට සිටි පිරිස දුවගෙන පැමිණ තුවාලකරුවන් ත්‍රීරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට යැවූහ.
කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී අනතුර සිදුව පැයකට පසුව, ඉසුරිකා කිසිවක් නොකියා, සිතන්නට යමක් ඉතිරි කරමින් සදහටම දෑස් පියා ගත්තාය.
08 වැනිදා ඉසුරිකාගේ දේහය, මව හඳුනා ගැනීමෙන් පසුව, කෑගල්ල මහ රෝහල දෙවනත් කරමින් විලාප තැබුවාය. කොපමණ විලාප දුන්න ද ඉසුරිකා, මවට වෙනදා මෙන් නැගිට කතා කළේ නැත.
වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කාර්ය සහායක සහායිකාවන් මෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණ සිටි රෝගීන් ද ඉසුරිකාගේ අකල් මරණය අසා කම්පා වූහ.
ඉසුරිකා දියණියගේ හදිසි මරණය සම්බන්ධයෙන් කෑගල්ල හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී මොනිකා සාක්ෂි දුන්නාය.
දේහය සෙනසුරාදා සවස ගලඋඩදෙණිය නිවසට රැගෙන ගොස් තැන්පත් කළහ. පියා ද රුමේනියාවේ සිට පැමිණියේය. දේහයට අවසන් ගෞරව දැක්වීමට පිරිස් වැල නොකැඩී ඉසුරිකාගේ නිවසට ඇදී ආහ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ද බොහෝ පිරිසක් ඒ අතර වූහ. දහසක් දෙනාගේ සෝසුසුම් මැද මළහිරු බැස යන සැන්දෑවේ ඉසුරිකාගේ දේහය ඉකුත් 10 වැනිදා සවස රඹුක්කන දී මිහිදන් කෙරිණ.
මෙවන් සිද්ධීන් හෙට දවසේ යළිත් අසන්නට කියවන්නට ලැබීම අතිශය වේදනාකාරී හා කර්කශ වන්නකි. එසේ හෙයින් මගතොට අනතුරු පිළිබඳ නිරන්තර අවධානයෙන් හා වගකීමෙන් යුතුව, නිරර්ථක ජීවිත හානි සහ දේපළ විනාශ වළක්වා ගැනීමට අදිටන් කරගැනීම හා ඒ සඳහා ක්‍රියාකාරීව මැදිහත්වීම අප කාගේත් අනිවාර්ය වගකීමක් වනු ඇත.
ජායාරූප සහ විස්තර
චමින්ද වැවතැන්න