සොබාදහමට ආදරය කරද්දී අපේ ජීවිතවල ආතතිය අඩු වෙනවා


හුදකලාව සොබාදහම විඳින්න කැමති බොහෝ දෙනා අතරේ තමන්ගේ ළබැඳි සමීපතමයන් සමගින් ඒ හෝරාවන් බෙදාහදා ගන්නට කැමති වූ ඔහු - අද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සංචාරකයන් අතර ඉහළම තැනක සිය නම රැන්දූ අයෙකි. “මං සරන්නා” යන නමින් බොහෝ දෙනා අතර ජනප්‍රිය ඔහු - මෙවර “සැරිසරන්නා” විශේෂාංගය සමග එක්වී ඔහුගේ සංචාරක දිවියේ වගතුග බෙදාහදා ගත්තේ මෙලෙසිනි.

 ලස්සන ලස්සන තැන්වල සැරිසරන කවුද මේ මං  සරන්නා?

මම නමින් ඉඳුනිල් විජේකෝන්. නමුත් බොහෝ දෙනෙක් මාව හඳුනන්නේ මං සරන්නා කියන නමින්. ඒක තමා මගේ සංචාර කටයුතු ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ මගේ අන්වර්ථ නාමය. මම ජීවත් වෙන්නේ බණ්ඩාරවෙල කියන සුන්දර ප්‍රදේශයේ. මූලික අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වාම අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන්. පසුව මගේ උසස් පෙළ ප්‍රතිඵලත් එක්ක මට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට එන්න අවස්ථාව ලැබෙනවා. දැනට මම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරතුර තමයි මේ හයික්, කෑම්පින් වගේ වැඩ කටයුතුත් කරගෙන යන්නේ. මුලින් travel කරන එක fashion එකක් විදියට තිබුණත් - දැන් ඒක මගේ ජොබ් එක වගේ. මම දැන් මං සරන්නා ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය හරහා මේක ඔෆීෂියල් කරගෙන යනවා. මට ඒ වෙනුවෙන් කණ්ඩායමක් ඉන්නවා. දැන් ඒ අයත් එක්ක තමයි මගේ වැඩ කටයුතු කරගෙන යන්නේ. 

 ඉඳුනිල්ගේ පළමු සංචාරය?

මුලින්ම 2020 වගේ තමයි මේ සංචාර, ගමන් බිමන් ආරම්භ කරන්නේ. උසස් පෙළ අවසන් කරලා විශ්වවිද්‍යාලයට යන්න ඉන්න අතරතුර තමයි යාළුවෝ කිහිපදෙනෙක් එක්ක ඇවිදින්න ගියේ. එකිනෙකාට ට්‍රැවල් කරන විවිධ ෆැෂන් තියෙනවා. එතනදි මම හුදකලා කඳු තරණය කරන්නෙක් නෙවෙයි. මම ඒ විදිහට තනියම ගිහින් තියෙන්නේ කඳු දෙකක විතරයි . මම හැම වෙලේ ම යන්නේ මගේ යාළුවොත් එක්ක. මම ආසයි ඒ අයත් එක්ක මේ පරිසරය විඳින ගමන් අපි අතර තියන සුන්දර දේවල් කතා කරන්න, නිදහසේ ඒ දේවල් බෙදාහදාගන්න. ඒ නිසා තමයි මගේ ළඟම පිරිසක් මේ ගමන්වලට එකතුකර ගන්නේ. මුලින්ම මේ වගේ ගමනක් යන්න විශේෂ හේතුවක් තිබුණේ නැහැ. පරිසරය විඳින එක තමයි මූලික අරමුණ වුණේ. එහෙම යන අතරතුර ෆොටෝස් ගන්න එක, පොඩි පොඩි වීඩියෝස්  කරන එක සාමාන්‍ය කටයුතුනේ. ඉතින් මමත් මුලින්ම මතකයන් විදිහට තියාගන්න ඒ දේවල් එකතුකර ගත්තා. ඊට පස්සේ ඒවා කාලයක් ගියාම බලන්න පුළුවන් වෙන්න තමයි සමාජ මාධ්‍යයට දැම්මේ. නමුත් ටික ටික ඒ දේවල් ප්‍රසිද්ධ වෙන්න ගත්ත නිසා මම දැන් ඒක දිගටම කරගෙන යනවා. 

 පළමු සංචාරයේ මතක?

මගේ පළවෙනි කෑම්පින් එක මඩොල්සිම. ඒක කන්දක් නම් නෙවෙයි. කෑම්පින් සයිඩ් එකක්. අපි බයිසිකල්වලින් තමා මුලින්ම ගියේ. මඩොල්සිම, පිටමාරුව, මිනිවැල්සින් මේ හැම නමකින්ම හඳුන්වන්නේ එතැන. මම කලින් ගිහින් තිබුණේ පවුලෙ අය එක්ක. තාත්තිගේ ඔෆීස් එකේ අයත් එක්ක වගේ අපි හැමෝම ගිහින් තියන හරිම සාමාන්‍යය ගමන්. හැබැයි යාළුවොත් එක්ක ගිහිල්ලා ටෙන්ට් එකක් ගහලා, එයාලා එක්ක විනෝදවෙලා, එතන රැයක් ගත කරලා ආපු පළවෙනි අත්දැකීමෙදි ම මට ට්‍රැවලින් කියන දේ හරි අපූරුවට දැනුණා. මොකද මම එහෙම අත්දැකීමක් විඳපු පළවෙනි අවස්ථාව මේක. ඒක හරිම සුන්දරයි.  මීට කලින් හැම අවස්ථාවක ම මම කරල තියෙන්නේ පරිසරය බලපු එක විතරයි. නමුත් ඇත්තටම පරිසරය විඳිනවා කියන දේ මේකයි කියලා මම ඉගෙන ගත්තේ මෙතන දි. ඒක හිතට අල්ලපු නිසා තමයි තාම මේ කෑම්පින් යන්නේ.  

 මේ වන විට ඉඳුනිල් කඳු කීයක් විතර  තරණය කරලා තියෙනව ද?

නිශ්චිතව ගණනය කිරීමක් නම් කරලා නැහැ. මම හිතන විදිහට කඳු පනහක් හැටක් විතර තරණය කරලා තියෙනවා.
ඔබ තරණය කළ කඳු අතරින් දුෂ්කරම ගමන?
නුවරගල ගිය ගමන තරමක දුෂ්කර ගමනක්. සාමාන්‍යයෙන් නුවරගල කියන්නේ එහෙම දුෂ්කර ගමනක් නෙවෙයි. නමුත් අපිට එදා මුහුණ දෙන්න සිද්ධ වුණු විවිධ ප්‍රශ්න නිසාම තමයි ඒ ගමන එතරම්ම දුෂ්කර වුණේ. ඒ ගමනටත් මාත් සමග යාළුවෝ කිහිපදෙනෙක් ම සම්බන්ධ වුණා. ඇත්තටම නුවරගල කියන්නේ ටිකක් අභියෝග එක්ක යන්න තියෙන හයික් එකක්. ඒවගේ ම සත්තු එහෙමත් ඉන්නවා. අනිවාර්යයෙන් මග පෙන්වන්නෙක් සමග තමයි යන්න ඕන. එදා අපේ සංචාරයේ මගපෙන්වන්නා වුණේ ආදිවාසී නායකතුමා ගුණවර්ධන ඇත්තෝ. මේ හයික් එක පටන් ගද්දි ම පොඩි වතුර පාරකින් පනින්න ගිහින් මගේ යාළුවාගේ කකුල කෙටුණා. එයාට එතන ඉඳන්ම ඇවිදින එක අපහසු වුණා. ඒ නිසා මම එයාට සයිඩ් සපෝට් එකක් දී ගෙනම තමයි ගමන ඉස්සරහට ගියේ. ඇත්තටම දෙදෙනෙකුගේ බෑග් වතුර වගේම එයාගෙ බරත් මට වැටිලා තිබුණු නිසා - කිලෝමීටර් දහයක් විතර යද්දී අපි දෙන්නට ම ගොඩක් අමාරු වුණා. ඒත් සමගම ගමන අවසාන කොටසේ දී හයියෙන් වහින්නත් පටන් ගත්තා. ඒත් මම කොහොම හරි යාළුවවත් තනි නොකර, එයාට අනතුරක් වෙන්නත් නොදී, අපි රෑ නවාතැන් ගත්ත ගල් ගුහාවට එයාව ආරක්ෂිතව රැගෙන ආවා. පසු දිනය ඊට වඩා කටුක වුණා. මොකද යාළුවාට ඊළඟ දවස වෙනකොට කකුල නමන්න වත් බැහැ. ඉතින් ආයෙත් මම එයාවත් අරගෙන ගියපු  කිලෝමීටර් 10ම නැවතත් ආවා. ඒ  කැලේ ගොඩක් වන සතුන් ඉන්න ප්‍රදේශයක්. අලි, කුළු හරක් වගේ සතුන් නිතර ගැවසෙන නිසා - අනතුරුදායක බවින් වැඩියි. යාළුවාට අමාරු නිසා මමයි එයයි තමා අපේ කණ්ඩායමේ අවසානෙට ම ආවේ. ඒ එනකොට අපි එක තැනකදි දැක්කා අපි යන පාරෙම මීට විනාඩි දෙක තුනකට කලින් අලි රංචුවක් පාර මාරුවෙලා තියන සලකුණු. අලි රංචුව අපි යන පැත්තටම තමා ගිහින් තිබුණෙත්. හැබැයි අපිට එදා ඒ අයව මුණගැහුණ නම් වෙන දේ හිතාගන්නත් බැහැ. මොකද යාළුවාට අසනීප නිසා දුවන්නත් බැහැනේ. ඇත්තටම ඒ ගමන නම් ගොඩක් කටුක, දුෂ්කර අත්දැකීම්වලට මුහුණ දුන්නු ගමනක්.  

 මේ ගමන්වලදී මුහුණදීලා තියෙන ත්‍රාසජනකම අත්දැකීම

ඒ අත්දැකීමත් ලැබුණේ නුවරගල ගමනේදී ම තමයි. මගේ අසනීප වුණු යාළුවා එක්ක එද්දි අපිට ලොකු මී හරක් රංචුවක් හම්බුණා. 

මේ කුළු හරක් රංචුවලට අයිතිකාරයෝ හිටියත්, ඒ අය කිහිප දෙනෙක් විතරක් නිසා එයාල මිනිස්සුන්ට හුරු නැහැ. එයාල පිට අයට ටිකක් දරුණුයි. අපිව දැක්කම මේ හරක් ටික - ටිකක් කලබල වෙලා අපි වටෙන් ම ළං කරන්න පටන් ගත්තා. මාත් එක්ක ගිය අනිත් යාළුවෝ තුන්දෙනයි, ආදිවාසී නායකතුමයි ඉස්සරහින් ගිහිල්ලා. දැන් අපි දෙන්න විතරයි තනිවෙලා ඉන්නේ. කුළු හරක් රැල ටික ටික අපිට ළං වෙනවා. 

යාළුවාට ඇවිදගන්න ත් බැහැ. මට එයාව උස්සන් දුවන්න විදිහකුත් නැහැ. ඒ වෙලාවෙ නම් අපි දෙන්නම ඇත්තටම ගොඩක් බය වුණා. ඒත් මම ඉක්මනින් දිග කෝට්ටක් අරගෙන ශබ්දෙන් කෑ ගහමින් ඒ අයව ඈත් කළා. ඒ විදිහට කරන ගමන් අපි දෙන්නම ටික ටික ඉස්සරහට ගියා. අපිට ලොකු ගල් තලාවක් හම්බුණා. අපි ඉක්මනින් එතනට නැග්ගා. ඊට පස්සේ ඒ රැල හෙමින් හෙමින් වෙන පැත්තකට ගියා. ඒ අත්දැකීම නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ. 

 සොබාදහම විඳිමින් මේ කඳු තරණය කිරීමේ අත්දැකීම ඔබට මොනවගේ හැඟීමක් ද?

සොබාදහමත් එක්ක ඉන්නකොට මනස සුවපත් වෙනවා. ප්‍රශ්න අඩුයි. මට දැනිලා තියෙන තව දෙයක් තමයි කඳු මුදුන්වලදී අපේ සිතට එන සිතුවිලි ප්‍රමාණය අඩුවෙනවා කියන දේ. ඔය උස් කඳු මුදුන්වල ගුරුත්වාකර්ෂණය අඩුයි කියනවනේ. 

ඉතින් මට දැනිලා තියෙනවා අපි ලොකු හයික් එකක් ගිහින් කඳු මුදුන්වලට නැග්ගට පස්සේ ගුරුත්වාකර්ෂණය අඩු නිසාද දන්නේ නැහැ කොහොම හරි අපිට ගොඩක් දේවල් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතට මාරම නිදහසක් දැනෙන්න පටන් ගන්නවා. 

ඒ සමගම හිතට හොඳ ප්‍රබෝධමත් බවක් දැනෙනවා. ඉතිං සොබාදහමත් එක්ක ජීවත් වෙනකොට, සොබාදහමට ආදරය කරනකොට අපේ ජීවිතවල ආතතිය අඩු වෙනවා. මම ඒක හරිම කැමැත්තෙන් විඳින හැඟීමක්.

 ඔබ සංචාරය කර තිබෙන ස්ථාන අතරින් හිත නතර වුණු තැන? 

මම දැනට ගිහින් තියෙන ලස්සනම තැන තමයි කළුගල ති‍යෙන ගැරඬි ඇල්ල. මේක දියඇලි පහක එකතුවෙන් සමන්විත දියඇලි දාමයක්. අපි කඳවුරු බැන්දේ එතන. ඉහළින්ම තියෙන දිය ඇල්ලෙ මුදුනක. ඒ තියෙන පරිසරය වගේම ඒ තැනත් හරිම ලස්සනයි. නකල්ස් රක්ෂිතයේ මායිමක තමයි ඒ දිය ඇල්ල පිහිටා තියෙන්නේ. මම ඒ ගමන ගියේ මගේ හොඳම යාළුවො හතර දෙනෙක් එක්ක. ඒ නිසා ඒ ගමන තවත් රසවත් වුණා. අපි ඒ දවසේ බිරියානි, පරාටා වගේ කෑමත් හැදුවා. ඉතින් ඒ හැම දේම නිසා ඒ ගමන ගොඩක් සුන්දර වුණා. හයික් එකේ එක තැනක් තියෙනවා කඹ දාලා නගින්න. එතන මට කණ්ඩායම් හැඟීම, ටීම් work - කියන එක ලොකුවටම දැනුණු තැනක්. කඹ දාලා උඩට ගිහින් යාළුවෝ ටිකත් අරගෙන, බෑග් ටිකත් අරගෙන, අපි එකිනෙකාට උදව් කරගෙන යන්න ඕන ගමනක් තමයි ඒක. අමාරු තැන් පසුකරන්න තිබුණත් කන්ද උඩට නැග්ගම දකින්න තියෙන්නේ දිව්‍ය ලෝකයක් වගේ මාරම ලස්සන තැනක්. කියන්න වචන නැති තරම්ම ලස්සනයි.

 අමතකම නොවන සංචාරය?

බළංගොඩ සමනල වැවේ දූපතක කඳවුරු බැන්ද දවසත් අමතක නොවන සංචාරයක්. ඒකත් ලස්සන දූපතක්. අපි එතැනට ගියේ ඔරුවකින්. අපි ගිහින් දැම්ම ම නැවත ඒ ඔරුවෙන් අපිව ගන්න එන්නේ පසුදින දවල් දහයට විතර. ඉතින් අපි ඒ රැයම තනියම තමයි එහෙ ඉන්න ඕන. ඔය දූපතේ ඉන්නවා මිනිස්සුන්ට හුරු නැති කුළු හරක් රෑනක්. අපි සුපුරුදු පරිදි ගිහිල්ල, ටෙන්ට් එක ගහලා, කෑම්ප් කරා. අපි රෑ කෑම හද හද ඉන්න කොට කැලෙන් එක පාරටම එළියට ආව කුළු හරකෙක් කෑ ගහන්න පටන් ගත්තා. අපි ගොඩක් බයවුණා. ටෝච් ගහල බලද්දි කුළු හරක් රෑනක්ම අපේ පැත්තට එන්න වගේ ඉන්නවා. අපි උදේ දූපතට එන වෙලාවේ අපිව දැකල තමයි ඒ රෑන කැළේ ඇතුළට දුවල තියෙන්නේ. රෑ වෙනකොට ඒ අය ආපහු ඒ එළියට එනගමන් තමයි ඉඳලා තියෙන්නේ. අපි මේ වගේ දේකට මූණ දීලා නැති නිසා අපි හැමෝම වික්ෂිප්ත වුණා. අපි ඔරුවේ කෙනාට  කතා කරල තත්ත්වය කීවා.

ඊට පස්සේ ඔහු කීවා ටිකක් සද්ද කරලා අපි එතන ඉන්න බව දන්වන්න කියලා. ඉතින් අපි ඒ විදිහට කරලා මාරුවෙන් මාරුවට නිදාගෙන අපි අපේ ආරක්ෂාව හදා ගත්තා. නමුත් කුළු හරක් ටික ඈතට ගියාත් සැරෙන් සැරේ කෑගහනවා ඇහුණා. එදා අපි හිටියේ ජීවිතයත් මරණයක් අතර සටනක වගේ. උදේ ඇහැරල බලනකොට අපි ටෙන්ට් එක ගහලා තිබුණු තැනට පහළින් කුළු හරක් නිදාගෙනත් ඉන්නවා. ඇත්තටම එදානම් මරණ බයෙන් හිටියේ. ඒක කවදාවත් අමතක වෙන්නෙ නැහැ. 

 මේ කඳු තරණයේ අරමුණ?

මේක තමා මගේ ෆැෂන් එක සහ මම කැමති දේ. මං කැමතියි සොබාදහමත් එක්ක ජීවත්වෙන්න. සොබා දහමේ සුන්දරත්වය නරඹන්න ගිය කෙනෙක් තමයි දන්නෙ එකේ රසය. අපි නාගරික ජීවිතෙන් පොඩ්ඩක් මිදිලා ස්වාභාවික ලස්සන තැනකට ගියොත් හිතට ඒ වෙනස දැනෙනවා. ඒක මානසිකව වගේමත් ශාරීරිකවත් දැනෙනවා. මට මුලින්ම තිබුණේ සොබාදහම විඳින අරමුණ. නමුත් දැන් මාත් එක්ක ගොඩක් අය එකතුවෙලා ඉන්නවා. ඒ නිසා

මට දැන් තවත් අරමුණක් තියෙනවා. ඒ සොබාදහමට ආදරය කරන පිරිස වැඩි කරන එක. ඒ කාර්යය මම මගේ වීඩියෝස්වලින් කරන්න උපරිම උත්සාහ කරනවා. මම විඳින දේ ඒ විදිහටම ඒ අයට දැනෙන්න දෙන්න මම ඇත්තටම මහන්සි වෙනවා.

  මේ ගමන්වලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොම ද?

පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම මගේ තාත්තා මටත් වැඩිය හොඳ සංචාරකයෙක්. මට මේ ඇවිදින ආභාසය ලැබෙන්නේ ත් අපේ ගෙදරින්.  අපේ තාත්තා ඉස්සර ගොඩක් ට්‍රිප් යනවා. ඒවට මාවත් එකතු කරගන්නවා. 

මම සාමාන්‍ය පෙළ කරන වයස වෙනකොට ලංකාවේ ප්‍රසිද්ධ සංචාරක ස්ථාන බොහෝමයක්ම දැකල බලලා තිබුණා.  මම මේ ගමන් යනකොට තාත්තා ගෙන් ගොඩක් උපදෙස් ලැබෙනවා. ඒ දේවල් එක්ක මම මගේ ආරක්ෂාව ගැන බලා ගන්නවා කියලා විශ්වාසයක් තියෙන නිසා ඒ අයගේ ආශීර්වාදය ලැබෙනවා.

 විනෝදයට කඳු නගින අයට වඩා රැල්ලට කඳු නගින අය දැන් වැඩියි. සංචාරකයෙක් විදිහට ඔබට මොකද්ද කියන්නේ ?

අපේ රටේ මේ සුන්දරත්වය විඳින්න ඒ තැන්වලට යන්නම ඕන. වීඩියෝවලින් විඳින්න පුළුවන් සීමාවක් තියෙනවා. වීඩියෝ එකෙන් බලනවට වැඩිය අදාළ තැන්වලට ගිහින් බලන කොට ඒ දේ ගොඩක් දුරට විඳින්න පුළුවන්. මීදුම, හුළඟ, වැස්ස මේ දේවල් විඳින්න නම් ඒ තැනටම යන්න ඕන. 

නමුත් පරිසරය ආරක්ෂා කරගන්න වග බලා ගන්න ඕන. ඇත්තටම පරිසරයට ආදරය කරන කෙනෙක් නම් එයා එයාගේ සිතුවිලිවලිනුත්, ආකල්පවලිනුත් යහපත් වෙනවා.  අලුත් පරම්පරාව හයිකින්, කෑම්පින් වගේ විනෝදාංශවලට ලොකු නැඹුරුවක් තිබෙන බව දැකගන්න ලැබෙනවා. ඒක හොඳයි, ඇත්තටම සතුටුයි. මගේ අවසාන ඉල්ලීම තමයි පරිසරය විඳින්න වගේම මේක ආරක්ෂා කරගන්න. අපේ අනාගත පරම්පරාවට මේක ඉතුරු කරන්න.