නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්
බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ තෙවැනි පණ්ණාසකයේ ආයාචනා වර්ගයේදී තමන්ගේ ශ්‍රේෂ්ඨතම ගිහි ශ්‍රාවකයන් දෙදෙනා කවුරුන්දැයි හෙළි කර සිටී. ඒ ශ්‍රේෂ්ඨ ගිහි ශ්‍රාවකයන් දෙදෙනා තියුණු නුවණැති, ධර්මානුධර්ම ප්‍රතිපන්න, ධර්මයෙහි බහුශ්‍රැත වූ උත්තරීතර මාර්ගඵලප්‍රාප්ත සුවිශිෂ්ටයෝ දෙදෙනෙක් වෙත්. තමාගේ අන්‍ය වූ ශ්‍රාවකයන් ද මේ විශිෂ්ට ශ්‍රාවකයන් දෙදෙනා මෙන් වීමට ප්‍රාර්ථනා කළ යුතු බව වදාරණ බුදුන් වහන්සේ ඒ දෙදෙනා සියලු ධර්ම ගවේෂකයන්ට තරාදියය බවත්, මිණුම් දණ්ඩ බවත් පෙන්වා දෙති.
බුදුන් වහන්සේ මෙතරම් ප්‍රබල ලෙස වර්ණනා කළ අග්‍ර වූ, භද්‍ර වූ, විශාරද වූ මේ ගිහි ශ්‍රාවකයන් දෙදෙනා වෙනුයේ කවුරුන්ද? ඔවුහු නම් බුද්ධ වචනයෙහි විනිවිද ගිය තියුණු නුවණැති මජ්ජිකාසණ්ඩයේ චිත්ත ගහපති සහ අලව්පුර වැසි හත්ථක ආලවක යන ශ්‍රේෂ්ඨ ධර්මධරයන් දෙදෙනාය.
මේ විශිෂ්ටයන් දෙදෙනා ගිහිගෙහිම වාසය කළ උත්තරීතර සෝතාපන්නයන් දෙදෙනකු බව බොහෝ අය සිතනු ඇත. එහෙත් ත්‍රිපිටක සාහිත්‍යයේ දැක්වෙන ආකාරයට මේ දෙදෙනාම සසරට බැඳ තබන මුල් බැමි පහ හෙවත් පංච ඕරම්භාගීය සංයෝජන ධර්ම දුරු කළා වූ බලසම්පන්න අනාගාමියෝ දෙදෙනෙකි. අනාගාමී යනු අර්හත්ව මාර්ගයේ තෙවැනි පියවරට සපැමිණි, නැවත මනුෂ්‍ය ලෝකයට නොපැමිණෙන සුද්ධාවාස බ්‍රහ්මතලයන්හි උත්පත්තිය ලබා රහත්ව පිරිනිවන් පානා උසස් මාර්ගඵල ලාභියෝය.
බුදුන් වහන්සේ තමන්ගේ ප්‍රශස්තතම ගිහි ශ්‍රාවකයන් දෙදෙනා ලෙස සලකනු ලබන්නේ සෝතාපන්නයන් දෙදෙනෙකු නොව අනාගාමී ආර්ය ශ්‍රාවකයන් දෙදෙනකු වීම ධර්ම ගවේෂණයෙහි නිරත වන්නන්ගේ විමර්ශනයට භාජනය විය යුතු කරුණකි. ඉන් ගම්‍ය වෙන එක් ප්‍රබල කරුණක් වෙන්නේ ගිහි ආර්ය ශ්‍රාවකයන්ට සෝතාපන්න වීමෙන් නොනැවතී අනාගාමී ඵලය දක්වාම පැමිණිය හැකි බවය. එසේම ස්වකීය ධර්ම ප්‍රතිපදාවට සපැමිණෙන පැනසර ගිහි වියතෙකුට සෝතාපන්න ඵලය යනු අවසාන ඉලක්කය නොව තව තවත් ඉහළ මාර්ගඵල දක්වා පැමිණිය හැකි බව බුදුන් වහන්සේ ඉඟි කර ඇති බවය. එපමණක්ද නොව කාම රාගය හා පටිඝය යන බරපතළ සංයෝජන ධර්ම යුගල ගිහියෙකුට වුවද ප්‍රහීණ කළ හැකි බවය. එසේ හෙයින් ධර්ම ගවේෂණයෙහි යෙදෙන විචාර බුද්ධිය ඇති, ධර්මය නවීන දෘෂ්ටියෙන් විමසන්නා අවම වශයෙන් සෝතාපන්න ඵලයට වත් පත් විය යුතුය. එසේ නොවන්නේ නම් ඒ පුද්ගලයාගේ ජීවිතය අර්ථ ශූන්‍ය වූවක්, නිෂ්ප්‍රයෝජන වූවක්, නිරර්ථක වූවක් වෙන්නේය.
මජ්ඣිම නිකායේ, භද්දාලිය සූත්‍රයේ දී බුදුන් වහන්සේ භද්දාලිය නම් භික්ෂුවගෙන් මෙසේ විමසා සිටී.
“භද්දාලිය ඔබ එසමයෙහි උභතෝභාගවිමුත්ත (රහත්) ප්‍රඥාවිමුත්ත (රහත්) කායසක්ඛි (අනාගාමි) දිට්ඨිප්පත්ත (සෝවාන්) සද්ධාවිමුත්ත (සෝවාන්) ධම්මානුසාරි (සෝවාන් මාර්ගස්ථ) සද්ධානුසාරි (සෝවාන් මාර්ගස්ථ) හෝ වූවෙක්ද?”
එවිට භද්දාලි නම් භික්ෂුව මෙසේ පිළිතුරු දෙයි.
“නැත ස්වාමිනි, ඒ කිසිවක් මා තුළ නැත” මෙය අසන බුදුන් වහන්සේ භද්දාලි නම් භික්ෂුවට මෙසේ ගර්හා කරති. “භද්දාලිය එසේ නම් ඔබ හිස් පුද්ගලයෙකි. තුච්ඡ වූවෙකි. වරද සහිත පුද්ගලයෙකි.”
බුදුන් වහන්සේ අඩුම ගණනේ මාර්ග ඵලයකට හෝ මාර්ගස්ථ හෝ පුද්ගලයෙකු නොවන සිය ශ්‍රාවකයා හිස් පුද්ගලයෙකු ලෙස තුච්ඡ වූවෙකු ලෙස, වරද සහිත වූවෙකු ලෙස සැලකූ බව මේ සූත්‍රයෙන් පැහැදිලි වේ. එහෙයින් පළමුව සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෙකු වීමටත් දෙවනුව සෝවාන් ඵලස්ථ පුද්ගලයෙකු වීමටත් බෞද්ධ අප අප්‍රමාදීව ක්‍රියා කළ යුතුව ඇත්තේය.
පළමුව ධර්මය කෙරෙහි ළැදි සෝවාන් වීමට ආශා කරන පුද්ගලයා සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෙකු වන්නේ කෙසේදැයි ත්‍රිපිටකධාරී නීතිඥවරයාගෙන් විමසා සිටියෙමු.
“සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෙකු වෙන ආකාරය පිළිබඳ මුල් බුදු සමයේ පැහැදිලි විස්තරයක් හමුවෙනවා. එක් පුද්ගලයෙක් ශ්‍රද්ධාව මුල් කරගෙන සෝවාන් මාර්ගයට බැස ගන්නවා. සමහර පුද්ගලයන්ට ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් බලවත් ශ්‍රද්ධාවක් උපදිනවා. ඒ නිසාම ඔහු කෙසේ හෝ මේ ආත්ම භාවයේදී සෝවාන් ඵලය ලබන බවට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා. එතැන සිට ඔහු සෝවාන් මාර්ගයට බැසගත් අයෙක්. සද්ධානුසාරි පුද්ගලයා ශ්‍රද්ධාව නිසාම ධර්මය වෙත හැරී ධර්මය පිළිගන්නවා. ඔහු ශ්‍රද්ධාව නිසාම සැක දුරු කර ගන්නවා. ශ්‍රද්ධාව නිසාම ආත්මවාද දුරු කරනවා. ශ්‍රද්ධාව මූලික කරගත් ඔහු ශ්‍රද්ධාවේ බලයෙන්ම සංයෝජන ධර්ම තුනක් දුරු කර සෝවාන් ඵලයට පැමිණෙනවා. ‘ශ්‍රද්ධා විමුක්ත’ ලෙස හඳුන්වන්නේ එම පුද්ගලයායි.
“තවත් පුද්ගලයෙක් ධර්මය ශ්‍රවණය කර එහි සත්‍යතාව සෙවීමට අදිටන් කර ගන්නවා. ඔහු තව තවත් ධර්මය ශ්‍රවණය කරනවා. ධර්මධරයන් ඇසුරු කරනවා. සැක ඇති තැන් සාකච්ඡා කරනවා. ගැඹුරු ධර්ම කරුණු නුවණින් විමසා අවබෝධ කරගන්නවා. මෙසේ ධර්මය ඉගෙනීමේ ප්‍රතිපදාවෙන් සෝවාන් මාර්ගයට බැසගන්නා පුද්ගලයා ධම්මානුසාරී නම් වෙනවා. ධර්මය ඉගෙන සැක දුරු කර සෝවාන් ඵලයට පත්වෙන ඔහු දිට්ඨිප්පත්ථ නම් වෙනවා.”
“යම් කිසි කෙනෙක් සෝවාන් වීමට සිත පහදවාගෙන ධර්මය ගැන සැක හැර දැන ගැනීමට ස්ථිර අධිෂ්ඨානයක පිහිටි මොහොතේ සිට ඒ තැනැත්තා සෝවාන් මාර්ගයේ පිහිටනවා. ඔහු එතැන් සිට පෘථග්ජන භාවයෙන් මිදෙනවා. ඔහු සෝවාන් වීමේ ප්‍රතිපදාව ප්‍රගුණ කරන කාලය තුළදී සෝවාන් මාර්ගය තුළ හිඳින ආර්ය පුද්ගලයෙක්.”
සංයුක්ත නිකායේ, ”ඔක්ඛන්ති සංයුක්තයේ චක්ඛු සූත්‍රයේදී බුදුන් වහන්සේ සෝතාපන්න මාර්ගස්ථයා පිළිබඳ විස්තර කර ඇත්තේ ද මේ ආකාරයටය. එහෙත් ලංකාවේ බොහෝ පැවිදි පඬිවරුන් සෝවාන් මාර්ගයට බැසගන්නා ආකාරය පිළිබඳව මත දක්වා ඇත්තේ මීට වඩා බොහෝ වෙනස් අයුරිනි. සෝවාන් මාර්ගය උපදින්නේ නව මහා විදර්ශනා ඥාන පරිපූර්ණ වීමෙන් පසු ගෝත්‍රභූ ඥානය ඉපදී ඉන්පසු සෝවාන් මාර්ග ඥානය ලැබීමෙන් බව මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමියෝ පවසති. ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් සම්පාදනය කළ ‘බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි’ නම් කෘතියේදී ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ ද මීට සමාන මතයක් පළ කරති. එහිදී සම්පාදකවරයා මෙබඳු ප්‍රශ්නයක් මතු කරයි.
“මාර්ගස්ථ ඵලස්ථ පුද්ගලයන් දෙදෙනා අතර කාලයෙන් ඉඩක් නොපෙනෙන හෙයින් ඒ පුද්ගලයන්ට වෙන වෙනම දන් දෙන්නේ කොහොමද?”
ඊට ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ මෙලෙස පිළිතුරු සපයති.
“මාර්ගක්ෂණය ළඟටමයි ඵක්ෂණය ඇතිවෙන්නේ. මාර්ගක්ෂණ අවස්ථාව සලකා මාර්ගස්ථ පුද්ගලයා කියාත්, ඵලස්ථ අවස්ථාව සලකා ඵලස්ථ පුද්ගලයා කියාත් ව්‍යවහාරයි. ඵලයට පත් වූ පුද්ගලයාට දන්දීමේදී මාර්ගස්ථ ඵලස්ථ දෙදෙනාටම දන් දුන්නා වෙයි. මාර්ග ක්ෂණයෙහි දන් දෙන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථා පසු කළ තැනැත්තාට ඒ අවස්ථා අරමුණු කොට දන්දීමේදී මාර්ගස්ථ පුද්ගලයාටත් ඵලස්ථ පුද්ගලයාටත් දන් දුන්නා නම් වෙයි.”
රේරුකානේ චන්දවිමල මහනාහිමියෝත්, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝත් ගෙවී ගිය සියවසේ ශ්‍රී ලංකාවේ පහළ වූ අති ශ්‍රේෂ්ඨ ධර්මධර මහ පඬිවරු දෙපලක ලෙස ලෝක පූජිතයහ. උන්වහන්සේලාගේ ධර්ම ඥානයට අභියෝග කළ හැකි ජගතෙකු සිටිය නොහැකි තරම්ය. එහෙත් මේ මහ වියතුන් දෙපල සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා පිළිබඳ පවසන අදහස් ත්‍රිපිටකගත මූලික සූත්‍ර දේශනාවලට යම් තරමකින් පටහැනි බව අපගේ පරම සම්භාවනීය ධර්ම ගුරුවරුන් දෙදෙනාට නමස්කාර කොට පවසා සිටීමට අවසර පතමු. පුද්ගලයෙකු සෝවාන් මාර්ගයෙහි සිටිනුයේ ක්ෂණයක්ය යන්න විශුද්ධිමාර්ගය ගුරුකොට ගත් විවිධ ආචාර්ය පරම්පරා අතර ප්‍රචලිත වූ මතවාදයක් විනා බුද්ධ දේශිත මතවාදයක් නොවන බව සංයුක්ත නිකායේ, ඔක්ඛන්ති සංයුක්තය, දිට්ඨි සංයුක්තය ආදී සූත්‍රවල ධර්ම න්‍යාය අධ්‍යයනය කර බැලීමේදී පසක් වේ. යම්කිසි පුද්ගලයෙක් සද්ධානුසාරී හෝ ධම්මානුසාරි බවට පත්ව සෝවාන් මාර්ගස්ථ පුද්ගලයකු වී වසර තිහ හතළිහ, පනහ වැනි හෝ ඊට වැඩි දීර්ඝ කාලයක් මාර්ගයෙහි සිටිය හැකිය. ඒ කාලය තුළ ඔහු සෝතාපන්න මාර්ගස්ථ පුද්ගලයෙකි. මාර්ගස්ථභාවය එක මොහොතක්, ක්ෂණයක් තුළ පවතීය යන්න බුද්ධ දේශිත මොනම සූත්‍රයක වත් දක්වා නැත. ආචාර්ය හේමචන්ද්‍ර දිසානායක මහතාගේ පරිවර්තනයෙන් හා මහාචාර්ය කපිල අභයවංශ මහතාගේ සමීක්ෂණයෙන් මහා අර්ථකථාචාර්ය, භදන්ත බුද්ධඝෝෂ මහ තෙරුන් රචිත ‘විසුද්ධිමාර්ගයේ’ සුවිශිෂ්ට පරිවර්තනයක් නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පළ කොට තිබේ. එය ත්‍රිපිටකය පිළිබඳ විශ්වකෝෂයක් බඳු කෘතියක් ලෙස අප පිළිගන්නා නමුදු පර්යේෂකයෙකුගේ අවධානය යොමු විය යුත්තේ මුල් බුදුසමයට අදාළ සූත්‍ර දේශනාවල දැක්වෙන ධර්ම පර්යාය හෙවත් දහම් න්‍යාය කෙරෙහිය.
එසේම යමෙකු සෝතාපන්න ඵලයට පත්වෙන තුරු ඔහු පෘථග්ජන සංඛ්‍යාවට අයත් පුද්ගලයෙකු බව රේරුකානේ චන්දවිමල මහ නාහිමියෝ ‘විදර්ශනා භාවනා’ ක්‍රමයේ නම් විශිෂ්ට ධර්ම ග්‍රන්ථයෙහි දක්වා සිටිති. එහෙත් මුල් බුදු සමයට අදාළ සූත්‍රවල දැක්වෙන ධර්ම න්‍යාය වනුයේ යමෙක් සද්ධානුසාරි බවට හෝ ධම්මානුසාරි බවට පත්ව සෝවාන් මාර්ගස්ථ භාවයට පත්වීමකින් පමණක් ඒ පුද්ගලයා පෘථග්ජන භූමියෙන් ඉවත් වූ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ට වූවෙකු වන බවයි. මින් සංයුක්ත නිකායේ චක්ඛු සූත්‍රයේ ඒ බව මෙසේ දැක්වී තිබේ. “මහණෙනි යමෙක් මේ ධර්ම මෙසේ අදහයි නම් විමුක්තිය ලබයිද? ඔහු සද්ධානුසාරී යැයි කියනු ලැබේ. ආර්ය මාර්ගයට පිවිසියේ ය. සත්පුරුෂ භූමියට බැස ගත්තේය. පෘථග්ජන භූමියෙන් ඉවත් වූයේය. යමක් කොට නිරයට, තිරිසන් යෝනියට, ප්‍රේත විෂයට යයි ද එබඳු කර්ම කිරීමට අභව්‍ය වෙයි. සෝවාන් ඵලයට ප්‍රත්‍යක්ෂ කරන තුරු මිය යාමටත් අභව්‍යය.”
අටුවාවල පැවත එන මතවාද ද, පසුකාලීන ධර්මධර වියතුන්ගේ මතවාද ද මුල් බුදු සමයේ මූලික සූත්‍ර දේශනා සමඟ ගැටෙන අවස්ථා ඇති බව මේ උදාහරණ මගින් පැහැදිලි වෙයි. එහෙයින් අපට අවශ්‍ය වෙන්නේ අට්ඨකතාකරුවාගේ වචනය නොව බුද්ධ වචනය විග්‍රහකොට අවබෝධ කර ගැනීමයි. බුදු දහම අර්ථ විභාග කර විවරණය කළ මහා ධර්මධර විශාරද අටුවාචාරීන් වහන්සේලාට මෙයින් නිග්‍රහ කිරීමක් සිද්ධ නොවන නමුදු යම් කරුණක් සැක හැර දැනගැනීමට සූත්‍රයෙහිලා, විනයෙහිලා බැලිය යුතු බව බුද්ධ දේශනාවයි.
දීර්ඝ කාලයක් තුළ සෝවාන් මාර්ගයේ පුද්ගලයෙක් ගමන් නොකරන බවටත්, සෝවාන් මාර්ග ඥානය ක්ෂණයක් තුළ පවතින දෙයක් බවටත් බෞද්ධ ධර්ම න්‍යායට පරිබාහිර වූ දුර්මතයක් අටුවාවලට හා පසුකාලීන ධර්ම ග්‍රන්ථවලට ඇතුළු වූයේ කෙසේදැයි මම සෝතාපන්න නීතිඥවරයාගෙන් ඇසුවෙමි.
“ලංකාවේ සමහර උගතුන් යමෙක් සෝවාන් මාර්ගය තුළ සිටිනුයේ චිත්තක්ෂණයක් පමණක් කියන බව ඇත්තයි. මෙය පසුකාලීනව ප්‍රචලිත වූ චිත්තක්ෂණවාදය නම් වූ අභිධර්ම ඉගැන්වීම් නිසා පැමිණි නිගමනයක්. මේ චිත්තක්ෂණවාදය අනුවත් පුද්ගලයෙකු එක් චිත්තක්ෂණයක් තුළ පමණක් සෝවාන් මාර්ගයේ සිටීය යන නිගමනයට එන්න බැහැ. මේ වැරදි අදහසට අපේ ධර්මධරයන් පැමිණ ඇත්තේ සෝවාන් මාර්ගය හා සෝවාන් මාර්ග චිත්තය පටලවා ගැනීමෙන්.
“බුද්ධ කාලයේ ජීවත් වූ බොහෝ දෙනා ඉතා පහසුවෙන් සෝවාන් ඵලයට පත් වුණා. උපතිස්ස පරිබ්‍රාජකයා බණ පද දෙකක් අසා සෝවාන් වුණා. සුප්‍රබුද්ධ නම් සිඟන්නා ද සෝවාන් වුණා. කසළ ශෝධකයෙකු වූ සුනීත කිසිම අධ්‍යාපනයක් නොමැති දුගී දරුවෙක්. ඔහුත් සෝවාන් වුණා. අද කාලයේ ධර්මධරයන්ට පඬිවරුන්ට භාවනා ආචාර්යවරුන්ට නිග්‍රහ කරමින් නූගත් ගැමියන් සෝවාන් වුණා. මෙහෙම වෙන්න හේතුව මොකක් ද? ඒකට හේතුව තමයි උගතුන් පිළිගන්නා සෝවාන් ඵලයයි බුදුන් දේශනා කළ සෝවාන් ඵලයයි එකක් නොවී දෙකක් වීම. බොහෝ බහුශ්‍රැත උගතුන් සෝවාන් ඵලය විදිහට හිතාගෙන ඉන්නේ ධර්මය විග්‍රහ කළ විවිධ ආචාර්යවරුන්ගේ මතවාද ගොඩක්. අද ලංකාවෙ ප්‍රචලිත වෙලා තියෙන්නෙ ආචාර්ය මතවාද අතරින් නැගී සිටින අමුතුම ආකාරයේ සෝවාන් ඵලයක්. ඔවුන්ගේ සෝවාන් මාර්ගය බුදුන් දෙසූ සෝවාන් මාර්ගය නෙවෙයි. එය පසු කාලීනව ආචාර්යවරුන් නිර්මාණය කරන ලද එකක්. ඒ නිසා අද තිබෙන්නේ බුදුන් දෙසූ සෝවාන් ඵලයට වඩා වෙනස් සෝවාන් ඵලයක්. සෝවාන් වීම පරිපූර්ණ ධර්මාවබෝධයට සම කරන්න බැහැ. සෝවාන් වීමෙන් යම් යම් අවබෝධතා ඥාන ලැබුණත් ඒ කිසිවක් පරිපූර්ණ ධර්මාවබෝධය ලැබූ අර්හත් ඵලයට සම කරන්න බැහැ. අර්හත් ඵලය ලද රහතන් වහන්සේලා පටිච්ච සමුප්පාදය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නවා. ඒත් සෝතාපන්නයා පටිච්චසමුප්පාදය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නේ නෑ. ඔහු එය තේරුම් ගන්නවා. එහෙත් ඔහු පටිච්චසමුප්පාදය නොදත් සාමාන්‍ය පෘථග්ජනයාගෙන් වෙනස් වෙනවා. සෝවාන් වීමේදී සිද්ධ වන්නේ පරිපූර්ණ ධර්මාවබෝධය ලැබීම නෙවෙයි. ධර්මාවබෝධයට උපකාරවෙන සරල අවබෝධතා ඥානවලට පිවිසීමයි. ඒ අවබෝධතා ඥාන ලබාගත් පුද්ගලයා ක්‍රම ක්‍රමයෙන් ධර්මාවබෝධය වෙත ළඟා වෙනවා.”
නූතන ලාංකික සමාජය තුළ විවිධ මත දරන ආචාර්ය ගුරුකුල හා ප්‍රවාද පවතී. බොහෝ ධර්ම ගවේෂකයෝ ද මේ විවිධ ගුරුකුලවල මත දරන්නෝ වෙති. එහෙත් ධර්මය හා සම්බන්ධ මූලික කරුණු අධ්‍යයනය කළ යුත්තේ බුද්ධ භාෂිත මුල් බුදු සමයට අදාළ සූත්‍ර දේශනා හැදෑරීමෙනි. බුද්ධ වචනය ඉක්මවා ගිය කිසිවක් මූලික ධර්ම කාරණා විග්‍රහ කර ගැනීමේදී විශ්වසනීය මූලාශ්‍ර නොවේ. බුද්ධ වචනයෙන් පෙරී එන ගැඹුරු ධර්ම න්‍යාය හදාරා ජීර්ණය කර ගැනීම සෝවාන් ඵලය සොයා යෑම උදෙසා අපට මග පෙන්වන එකම තරු එළියයි.
සමුද්‍ර වෙත්තසිංහ