හතර වැනි පරම්පරාවෙන් ඔබිබට ගිය මාර්ස් (mars) චොකලට් පවුලේ කතාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

චොලකට් කෑමට කවුද අකමැති? 


ලෝකයේ ලොකු පොඩි, බාල මහලු, ඕනෑම අයෙකුගේ ප්‍රියතම පැණිරස මුසු කෑමක් ලෙස චොලකට් සඳහන් කළ හැකිය. කොපමණ කෑවත්, එපා නොවන මෙම මිහිරි කෑම, ලෝකයට ආවේ පිටසක්වලකින් බව සමහරුන්ගේ අදහසය. තවත් සමහරු හිතන්නේ චොකලට් දෙවියන් විසින් මිනිසා හට දායාද කළ සුමිහිරි ප්‍රණීත අහරක් ලෙසය.   


මෙලෙසින් කාගෙත් රසවත් අහරක් වූ චොලකට් යන නම කියූ විගස, බොහෝ දෙනා අතර ප්‍රකටව ඇත්තේ ‘ස්විස් චොකලට්ය’. එහෙත් ස්විට්සර්ලන්තය මෙන්ම යුරෝපයේ බොහෝ රටවල චොකලට් නිෂ්පාදනය වුවද ස්විස් සහ බෙල්ජියම වැනි රටවල චොකලට් ජනතාව අතර වඩා ප්‍රකට වුවද ලොව ලොකුම චොකලට් සමාගම ඇත්තේ ඇමෙරිකාවේය. එනම් වත්මනෙහි ලොව ධනවත්ම චොකලට් සමාගම ලෙස ප්‍රමුඛත්වයේ වැජඹෙන්නේ ඇමෙරිකාවේ ඇති ‘මාර්ස්’ චොකලට් සමාගමය.   


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය අද රස ගැන්වෙන්නේ ප්‍රණීත ‘චොකලට්’ ගැන සහ මෙම ‘මාර්ස්’ සමාගමේ කතාව වෙතිනි.   


‘චොකලට්’ ඉතිහාසයෙන් බිඳක් 

 
මාර්ස් සමාගමේ විස්තර කියවීමට පෙර ‘චොකලට්’ ඉතිහාසය ගැන විස්තර ටිකක් මුලින්ම අපි දැන ගනිමු. ඉතා ප්‍රණීත දුඹුරු පැහැයෙන් යුතු අහරක් යන්න චොකලට් යන්නෙහි අරුත වේ.   


‘කොකෝවා’ යනු චොකලට් නිෂ්පාදනයෙහි මූලිකම සංඝකටය වන්නේය. චොකලට් යන නාමය ව්‍යාප්තවී ඇත්තේ ස්පාඤ්ඤ බසට අනුවය. චොකලට් ඉතිහාසය දෙස විපරම්කර බැලූ විට පෙනී යන්නේ 14 වැනි සහ 16 වැනි සියවස්වල දී මායාවරුන්ගේ යුගය සහ ඇස්ටෙක්වරුන්ගේ සංස්කෘතික යුගය දක්වා වූ කාලයේ සිට නිෂ්පාදනය වෙන්නක් ලෙසය. 

 
සියවස් ගණනකට පෙර දී විසූ මායාවරු යනු මිහිපිටට පිටසක්වලින් පැමිණ සිටි දියුණු මිනිස් ශිෂ්ටාචාරයකැයි බොහෝ දෙනාගේ මතය වේ. චොකලට් පිටසක්වලකින් මිනිස් ප්‍රජාවට දායාද වූවක් ලෙස විශ්වාසයක් පවතින්නේ එනිසා විය හැකිය.

   
කෙසේ වුවත්, මිහිපිටට ‘චොකලට් මුලින්ම ප්‍රවේශ වූ පසු එදා එය ප්‍රණීත රසකැවිලි වර්ගයක් නම් නොවුණි. ගෞරවාන්විත නමුත් එය ඉතා තිත්ත පානයක් ලෙස මායාවරුන්ගේ ශිෂ්ටාචාරයේ දී විකාශය වී තිබේ. පසුව ප්‍රනීත පානයක් ලෙස විකාශය වී ඇති අතර වෙසෙසින් උසස් පැළැන්තියේ සහ ප්‍රභූන්ගේ පානයක් ලෙස එකල එය ප්‍රකට වී තිබේ. මායාවරුන්ගේ යුගයේ දී නම් චොකලට් පානයක් ලෙස එදිනෙදා ජීවිතයේ දී අහරට ගැනුණු එකක් ලෙස සඳහන්ය.  


චොකලට් යුරෝපයට පැමිණියේ කෙසේද?


යන්න සඳහන් වෙන වාර්තාවලට අනුව පරස්පර විරෝධී වාර්තා දැකගත හැකිය. සමහරු විශ්වාස කරන්නේ, ක්‍රිස්ටෝපර් කොළම්බස්, ඇමෙරිකාවට යන ගමනේ දී වෙ​ෙළඳ නැවක් හමුවී තිබේ. කොළම්බස් ඇතුළු පිරිසේ ග්‍රහණයට නතුවූ එම නැවෙහි තිබී කොකෝවා ඇට සොයා ගත්තේ යැයි සඳහන් වේ. එනම් 1502 දී පමණය. තවත් වාර්තාවක සඳහන් වෙන්නේ ස්පාඤ්ඤයේ සිටි යටත් විජිතවාදයට එරෙහිව සටන්කොට එයින් ජයගත් හර්නන් කෝටස් විසින් හඳුන්වා දී ප්‍රචලිත කළ දෙයක් හැටියටය. එනම් චොකලට් ව්‍යාප්තවීම සහ ප්‍රචලිතවීම ඇරඹී ඇත්තේ 1500 වසරේ සිටය.   


යුරෝපයේ, ඉතාලිය, ප්‍රංශය මෙන්ම මධ්‍යම ඇමරිකාවේදී ක්‍රි.ව. 1600 පමණ වනවිට චොකලට් ඉතා ප්‍රකට රස අහරක් වන්නට පටන් ගත්තේය. උන්මාදයක් ලෙස චොකලට් පානය ප්‍රචලිත වෙත්ම වහලුන් සහ හිස ගසා දැමීමට නියමිතව සිටි සිරකරුවන් යොදාගෙන කොකෝවා පැළ කිරීමට යුරෝපීයයන් පෙලැඹී ඇත්තේ මෙම සියවසේ දීය. ඇස්ටෙක්වරුන්ගේ සංස්කෘතියේ තිබූ දිව්‍යමය පානයක් ලෙස හොට් චොකලට් හෙවත් උණුසුම් චොකලට් පානය එදා වඩා ප්‍රචලිතවී තිබේ.   


ඇමෙරිකාවට මෙම දිව්‍යමය පානය සමීපවී ඇත්තේ 1641දී පමණ යැයි සඳහන් වේ. ස්පාඤ්ඤයෙන් පැමිණි නැවක් ප්ලොරීඩාවෙහි නැංගුරම් ලා තිබූ මොහොතක ඇමරිකානුවන් හට මෙම චොකලට් පානයෙහි උණුසුම් රසය විඳ ගැනීමට හැකිවිය. ඉනික්බිතිව ප්‍රථම වරට චොකලට් හවුස් නමින් මධ්‍යස්ථානයක් බොස්ටන් හිදී ස්ථාපිත වූයේ 1682 දී පමණය. 1773 පමණ ​ෙවන විට ඇමෙරිකාවේ ප්‍රධාන යටත්විජිත ආනයනයක් ලෙස කොකෝවා ප්‍රකට වුණි.  


ඇමෙරිකානු විප්ලවීය යුද සමයේ දී විටෙක චොකලට් සලාක බෙදා හැර තිබූ අතර සමහරු සලාක ලබා ගැනීම වෙනුවට සොල්දාදුවන් හුවමාරු කරගෙන පවා තිබේ. දෙවැනි ලෝක යුද සමයේ දී සොල්දාදුවන් හට චොකලට් ලබා ගැනීම වෙනුවෙන් සලාක ක්‍රමයක් ද හඳුන්වා දී තිබිණි.   


එලෙසින් ගලා ගිය රසවත් චොකලට් පානය බාර් එකක් හෙවත් වත්මනෙහි අප දකින චොකලට් පෙති ක්‍රමය මුලින්ම හඳුන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍යය ජාතික චොකලට් නිෂ්පාදකයකු වූ ජේ.එස්. ෆ්‍රයි සහ පුත්‍රයින් විසිනි. එලෙසින් විකාශය වී ආ චොකලට් ලෝකයේ වඩා ප්‍රකට වූයේ ස්විට්සර්ලන්ත ජාතික චොකලට් නිෂ්පාදකයකු වූ ඩැනියෙල් පීටර් නිසාය.   


1876 දී පමණ මිල්ක් චොකලට් හෙවත් කිරි මිශ්‍ර චොකලට් ප්‍රථම වරට හඳුන්වා දී ඇත්තේ ඔහු විසිනි. එසේ වුවද එය වඩා ප්‍රකට සහ ප්‍රචලිත වූයේ ඔහුගේ මිත්‍රයකු වූ හෙන්රි නෙස්ලේ නිසාය. ඔවුන් දෙදෙනා එක්ව නෙස්ලේ සමාගම ආරම්භ කළ අතර මිල්ක් චොකලට් හෙවත් කිරි මිශ්‍ර චොකලට් මුළු ලෝකයේ ප්‍රචලිත වූයේ ඉනික්බිතිවය. එලෙසින් විකාශය වෙමින් තිබූ චොක්ලට් පෙත්තට ඉතා ‘මෘදු’ බවක් එනම් රළු ගතියකින් තොරව ආහාරයට ගත හැකි ලෙස චොකලට් නිෂ්පාදනය කිරීමට පෙලැඹුණේ ස්විට්සර්ලන්තයේ ප්‍රකට චොකලට් නිෂ්පාදකයකු වූ රුඩෝල්ෆ් ලින්ඩ්ට්ය. චොකලට් පෙත්ත කටට දැමූ විගස දියවී යන මෘදු ගතිය මෙන්ම ප්‍රනීත රසය නිසා ස්විට්සර්ලන්තයේ චොකලට් ලෝකය පුරා ප්‍රචලිත වූයේ ලින්ඩ්ට් නිසාය.   
19 වැනි සහ 20 වැනි සියවස් එළැඹි පසු ලෝකයේ චොකලට් නිෂ්පාදන කර්මන්තය පවුල් අතට පත්වූවේය. කැඩ්බරි, මාර්ස්, නෙස්ලේ, හර්ෂි යන චොකලට් නාමයන් එලෙසින් හැඳින්විය හැකිය. ඒ අතරින් අද ලෝකය අල්ලාගෙන සිටින්නේ ඇමෙරිකාව් ‘මාර්ස්’ සමාගමය. එය පවුලේ චොක්ට් සමාගමකි. කවුද මේ මාර්ස් පවුල.   


මාර්ස් චොකලට් පවුලේ විස්තර 

 
ෆ්‍රෑන්ක්ලීන් ක්ලැරන්ස් මාර්ස් උපන්නේ 1883දී මිනෙසෝටා හිදීය. කුඩා කාලයේ දී පෝලියෝ රෝගී තත්ත්වයට ගොදුරු වී සිටි මාර්ස් නිවසේ සිටිය දී අම්මා චොකලට් යොදා රස කැවිලි සාදන අයුරු බලා සිටියේය. වයස 19 වෙද්දී රස කැවිලි නිෂ්පාදනයක් නිපදවීමට මාර්ස් හට හැකිවිණි. වයස 19දී මාර්ස් විවාහ දිවියට එළැඹියේය. එතල් ජී කිසයැක් සමග දිවි ගමන ඇරඹි අතර 1904 දී ෆොරස්ට් මාර්ස් පුතු උපන්නේය. කෙසේ වෙතත් පුතුට වයස අවුරුදු දෙක සපිරෙද්දී එතල් මාර්ස්ව හැර ගියාය. දික්කසාද වූ ඒ විවාහයෙන් පසුව 1910දී මාර්ස් නැවතත් විවාහ දිවියට ඇතුළත් වූයේ තවත් එතල් කෙනෙකු සමගය. ඇය නමින් එතල් වෙරෝනිකා හීලිය. 1914 දී උපන්න පැට්ට්‍රීෂියා, මාර්ස්ගේ දෙවැනි විවාහයේ දියණිය වූවාය.   


දෙවැනි බිරිඳ සමග මාර්ස් අලුත් ගමනකට ප්‍රවේශවීම   


දෙවැනි විවාහයේ බිරිඳ වූ එතල් වෙරෝනිකාගෙන් මාර්ස් හට හොඳ සහයෝගයක් ලැබුණි. 1911 දී ‘මාර්ස්’ රස කැවිලි නිෂ්පාදන ආයතනය ඇරඹීමට ෆ්‍රෑන්ක්ලීන් මාර්ස් හට හැකිවූයේ ඒ අනුවය. මුලින්ම මාර්ස් සමාගම රස කැවිලි නිෂ්පාදන අලෙවි කළේ තොග ගැනුම්කරුවන්හට පමණක් විය. නමුදු එය අසාර්ථක වූයේ බ්‍රවුන් ඇන්ඩ් හීලි සමාගම ඒ වෙනවිට හොඳ ස්ථාවරයක සිටි නිසාවෙනි. එනිසා 1920 දී පමණ ‘මාර්ස්’ පවුල මිනසෝටාහි මිනියාපොලිස් වෙත පදිංචියට ගිය අතර ‘මාර් ඕ බාර්’ කම්පැනි නමින් චොකලට් නිෂ්පාදන සමාගම එහිදී ස්ථාපිත කළේය. පසුව මාර්ස් ඉන්කෝපරේටඩ් වූයේ එම සමාගමය.   
තාත්තාගේ සංකල්ප සමග පෙරට ආ පුතු ෆොරස්ට් මාර්ස්, අලුත් අලුත් දේ ගැන සිතුවේය. එහි ඵලයක් ලෙස ‘මිල්කි වේ’ (කිරි වලින් යුතු මග) යන චොකලට් බාර් නිෂ්පාදනය එළිදැක්වීමට ඔවුනට හැකිවිණි. ලෝකයේ වැඩියෙන්ම අලෙවි කෙරෙන චොකලට් බාර් එකක් හෙවත් චොකලට් පටියක් ලෙස එය නම් කළ හැකිය. 1930 වෙන විට ලෝකයම ඇල්ලූ ‘චොකලට්’ බාර් එක ලෙස ‘ස්නිකර්ස් බාර්’ චොකලට් පෙත්ත හඳුන්වා දීමට මාර්ස් සමාගමට හැකිවිණි.   
​ඊට පෙර 1920 දශකයේ දී පමණ මාර්ස් විශාල වශයෙන් ගොවිපළ භූමි සහ වතු මිල දී ගත්තේය. ඔහුගේ ගොවිපළ නම් කළේ ‘මිල්කිවේ ෆාම්’ නමිනි. මෙහි දහසකට අධික සේවක පිරිසක් යොදවා තිබිණි. අශ්ව ධාවන තරග පැවැත්වීම සඳහා වූ ස්ථානයක් මීට ඇතුළත් විණි. මෙම ගොවිපළ භූමි ප්‍රදේශය අක්කර 2800කින් පමණ සමන්විත වූ බව සඳහන් වේ. මෙම ගොවිපළ පසුව විකුණා තිබේ. ඉන්පසුව මාර්ස් සහ ඔහුගේ බිරිඳ වෙරෝනිකා පදිංචිය සඳහා චිකාගෝ වෙත පැමිණ සිටියහ. ගං ඉවුරක පිහිටි සුන්දර කැලෑබද භූමියක ජීවිතය ගත කරමින් සිටි ‘මාර්ස්’ හදිසියේ මිය ගියේ හෘදයාබාධයකිනි. ඒ වෙනවිට ඔහු 50 වැනි වියේ පසුවිය. මිය යාමට පෙර ඉලිනොයිස් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ‘මාර්ස්’ හට කපිතාන් යන ගරු නම්බුනාමය පිරිනමන ලද්දේය.   

 

 


පියාගේ අනපේක්ෂිත මරණින් පසු පුතු අතට ගිය මාර්ස්   


පියාගේ අනපේක්ෂිත මරණින් පසුව පුතු වූ ෆොරස්ට් ‘මාර්ස්’ සමාගමේ සුක්කානම අතට ගත්තේය. එදා අතීතයේ දී මේ ෆොරස්ට් පුතු හට මව අහිමිව ගියේ ඇය ෆොරස්ට්ගේ පියාගෙන් දික්කසාද වූ බැවිනි. ඉන්පසුව ​ෆොරස්ට් පුතු හට පියා දැකගත හැකි වූයේ කලාතුරකිනි. මව්පිය සෙනෙහස නොමැතිව හැදී වැඩුණු ෆොරස්ට් ඉතා හොඳින් උගෙනීම් කටයුතු කළේය. කැලිෆෝනියා බර්ක්ලි සරසවියේ ද පසුව යේල් සරසවියෙන් ද උසස් අධ්‍යාපනය ලැබූ ඔහු කර්මාන්ත ශාලා අංශයේ උපාධිධරයකු වී පැමිණියේ තාත්තා විසින් අරඹා තිබූ ‘මාර්ස්’ සමාගමේ වැඩ බාර ගැනීම වෙනුවෙනි. තරුණ වියේ දී පියාගේ හෙවණට ආ ඔහු ‘මාර්ස්’ සමාගමට නව සංකල්ප ගෙන ආයේය.   


‘තාත්තෙ මේ සමාගම මේ රටේ විතරක් තිබිලා වැඩක් නැහැ. අපි පිටරටවල ශාඛා විවෘත කරමු.’   


ෆොරස්ට් පුතු තාත්තාගෙන් එම ඉල්ලීම කළ ද තාත්තා ඊට අකමැති විය. මේ පිය පුතු මත ගැටුම් දිගටම පැවතිණි. පසුව ෆොරස්ට් මාර්ස් පුතු එංගලන්තය බලා ගොස් තාත්තාගේ අවසර ඇතිව ‘මාර්ස් බාර්’ චොලකට් වර්ගය සහ ත්‍රී මස්කිටියර්ස් චොකලට් නිෂ්පාදනය එළිදැක්වීමට කටයුතු කළේය. ටික කලක් ෆොරස්ට් මාර්ස් යුරෝපයට ගොස් සිටිය දී නෙස්ලේ සහ ටොබ්ලර් ආයතනවල සේවය කිරීමට වග බලා ගත්තේ දැනුම ලබා ගැනීම වෙනුවෙනි. ෆොරස්ට් එංගලන්තයට ගොස් සිටි ගමන නතර වූයේ එංගලන්තයේ චැපල් බ්‍රදර්ස් සහ සමාගම මිල දී ගැනීමෙනි. එම සමාගම නිෂ්පාදනය කළේ සුරතලයට ඇති කරවන බල්ලන්, බළලුන් සඳහා වූ කෑම ජාතිය. එම සමාගම ‘චැපීස්’ නමින් ප්‍රචලිත කරවීමට ෆොරස්ට් හට හැකිවිණි. පසුව නැවතත් ඇමෙරිකාවට පැමිණ සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටි අතර ‘පෙඩිග්‍රී’ නමැති සුනඛ සුරතලුන් සඳහා ලබාදෙන සත්ත්ව ආහාර ඇතුළු තවත් දේ නිෂ්පාදනය කිරීමට පෙළැඹිණ.  


තාත්තාගේ මරණින් පසු පවුලේ ව්‍යාපාරය අතට ගත් ෆොරස්ට් මාර්ස් තමා සතු වූ ව්‍යාපාරය ද මාර්ස් සමාගම හා සම්බන්ධ කොට සමූහයක් බවට පරිවර්තනය කළේය. ‘අන්කල් බෙන්ස් රයිස්’ සහල් සහ ධාන්‍ය වර්ග නිෂ්පාදන ආයතනය ද ඔහු සතු වූවක් විය. ලෝකයේ පොඩි හිටි ප්‍රජාව අතර, එනම් ලෝක ළමා ප්‍රජාව අතර වඩා ප්‍රකට වූ ‘ස්මාර්ටීස්’ මෙම මාර්ස් සමාගමේ නිෂ්පාදනයකි. ඊට අමතරව එම් ඇන්ඩ් එම්ස් චොකලට් පෙත්ත (පෙනුමෙන් බෙහෙත් පෙත්තකට සමාන වූ) ළමුන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය.   

 

 


තෙවැනි පරම්පරාව අතට ගිය මාර්ස් සමූහය   


පියාගෙන් පුතාට ගිය සමාගම, පසුව මුණුපුරන් අතට පත්වූවේය. ෆොරස්ට් එඩ්වඩ්ගේ වැඩිමහල් පුතු වූ ෆොරස්ට් එඩ්වඩ් මාර්ස් (ජූනියර්) ද දෙවැනි පුතු වූ ජෝන් එෆ් මාර්ස් ද, එකම දියණිය වූ ජැකලයින් මාර්ස් ද ‘මාර්ස්’ චොකලට් සමූහයේ පරිපාලනය අතට ගෙන ක්‍රියා කළ චරිත වෙති. වත්මනෙහි ‘මාර්ස්’ සමූහයේ ප්‍රධාන පුටුව හොබවන්නේ තෙවැනි පරම්පරාවේ ​ෆොරස්ට් මාර්ස් (ජූනියර්) ගේ දියණිය වන වික්ටෝරියා බී මාර්ස්ය. ඒ අනුව ‘මාර්ස්’ සමූහය අද වෙනවිට හතර වැනි පරම්පරාව අතට ගොස් තිබේ.   


ඇය සමාජ සත්කාර සඳහා බෙහෙවින් දායකත්වය ලබා දෙන්නීය. පළමු විවාහයෙන් අසාර්ථක වූ ඇයට එයින් දරුවන් දෙදෙනකු සිටින අතර දෙවැනි විවාහයේ දී දරුවන් දෙදෙනෙකි. ඩේවිඩ් ස්පයිනා ඇයගේ වත්මන් සැමියාය.   


1988 වෙනවිට ෆෝබ්ස් සඟරාව පෙන්වා දුන් පරිදි ඇමරිකාවේ ධනවත්ම පවුල වූයේ ‘මාර්ස්’ පවුලය. 2016 වෙන විට ඇමෙරිකාවේ තෙවැනියට ධනවත්ම පවුල වූයේ මෙම මාර්ස් පවුලය. ෆොරස්ට් මාර්ස්ගේ (දෙවැනි පරම්පරාවේ) දියණිය වූ ස්පයිනා මාර්ස් තවමත් ජීවතුන් අතර වන්නීය. වයස අවුරුදු 80ක් වන ඇය 2020 වන විට ලොව 29 වැනියට ධනවත්ම චරිතය ලෙස සඳහන් වන්නීය.   


එදා පෝලියෝ රෝගයට ගොදුරුව සිටිය දී මවගෙන් උගත් දර්ශනය දීපව්‍යාප්ත කළ ‘මාර්ස්’ පවුලේ මුල වෙන්නේ නොඑසේ නම් මාර්ස් නාමයෙන් චොකලට් සහ රස ආහාර නිෂ්පාදන ලෝකයට ගෙන යාමට හැකිවූයේ මාර්ස් මුල් පරම්පරාවේ පුරුක වූ ෆ්‍රෑන්ක්ලීන් ක්ලැරන්ස් මාර්ස්ගේ මව නිසා නෙවේද? එහෙත් මාර්ස් නමැති චොකලට් උල්පත පටන් ගැනීමට මූලාරම්භය වූ තැන වත්මන් පරම්පරාවට අමතක වී ඇති දෙයකැයි සඳහන් කළ හැකිය.

 

 

සටහන - සඳුන් ගමගේ