- බයිසිකල් පදින්න දන්නේ නැති නිසා තාත්තා බයිසිකලේ තල්ලු කරගෙන දුවගෙන ආවා
සිංහල අවුරුද්දට මහගෙදරට යන එක සිංහල අපි කාගේත් හොඳ පුරුද්දක්. නමුත් 1921 සිංහල අවුරුද්දට කඩුවෙල කොතලාවල කබර දොස්තර මහත්තයාගේ ධවලගිරි නිවසට ඔහුගේ දෝණියන්දෑ ද පැමිණියේ සිංහල අවුරුද්ද නිසාම පමණක් නොවෙයි. ඇයගේ දෙවන දරු උපත සිදුවෙන්න තිබුණේ අප්‍රියෙල් මාසයේ.
දරු උපතක් සිදුකරන්න සාත්තු නිවාසවලට ඉස්පිරිතාලවලට යෑම අපේ පැරැන්නන්ට නුහුරු නුපුරුදු දෙයක් වුණා. ඔවුන් ඉස්පිරිතාලයක එළිපත්ත පැන්නේ බොහෝම අමාරු ලෙඩක් දුකක් හැඳුනොත් විතරයි.
දරු ප්‍රසූතිය ලංවෙන විට ගැබ් පෙරහැර පවත්වා බිරිඳගේ මුල් ගෙදරට පැමිණ අම්මා තාත්තාගේ සෙනෙහස සහ ආරක්ෂාව යටතේ දවස්ගත කිරීමයි සාමාන්‍ය පිළිවෙළ.
ලොකු කැටගේ පෙරේරා නොතාරිස් මහත්මයා ඒ දවස්වල දකුණු තලංගම ප්‍රදේශයේ ජීවත් වුණ සිංහල භාෂාවට ඉතාමත් ලැදි බෞද්ධ ධර්මානුකූලව ජීවත් වූ සැදැහවත් තරුණයෙක්. අනගාරික ධර්මපාල තුමා එන්.ආර්. සේනානායක මහතා වැනි ජාතිහිතේෂින් සමඟ ඉතාමත් සමීපයෙන් ඇසුරු කළ ඔහු සිංහලයේ නිදහස් අරගලය උදෙසා ඔවුන් කළ සටන්වල සමීප සගයකු මෙන් කටයුතු කළා.
එකල නොතාරිස් විභාගය සමත්වන අයට තමන්ගේ නම අගට තවත් නමක් ඈදාගෙන එය භාවිත කිරීමේ වරමක් තිබුණා. පෙරේරා වැනි විදේශීය නමක් භාවිත කිරීමට එතරම් කැමැත්තක් නොදැක් වූ නොතාරිස් මහතා තම නම වෙනුවට ජයවර්ධන කියන නම භාවිත කරන්න පටන් ගත්තා.
ජයවර්ධන නොතාරිස් මහතා නිසි වයස් සම්පූර්ණ වූ කල කොතලාවල කබර දොස්තර මහත්තයාගේ දියණියක සමඟ විවාහ වුණා.
කබර දොස්තර මහත්තයා තමයි ඒ දවස්වල කඩුවෙල හංවැල්ල ප්‍රදේශයේ ජනතාවට හිටිය එකම බටහිර වෛද්‍යවරයා. එච්චර වෛද්‍ය උපාධි නොතිබුණත් කබර දොස්තර මහත්තයාට පුදුම අත්ගුණයක් තිබුණා. ඔහු දෙන වතුර බෝතලයක් බිව්වත් ලෙඩ සුවවේය යන අදහස එකල කඩුවෙල ජනයා අතර තිබුණා. වෛද්‍ය සේවෙයහි යෙදීමෙන් ඔහු හොඳ පොහොසතකු වුණා. සියනෑ කෝරලයට මුලින්ම ගෙනා මෝටර් රථ දෙක අතරින් එකක් අයිති වූයේ ඔහුට. අනික අයිති වූයේ එස්.ඩබ්ලිව්.ආර්. බණ්ඩාරනායක මහතාගේ පියා වූ හොරගොල්ලේ මහවලව්වේ සර් සලොමොන් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමාට.
ජයවර්ධන නොතාරිස් මහත්තයාගේ බිරිඳට මුලින්ම ලැබුණේ කම්බායක්. දෙවැනි දරුවා කුසට ආදා පටන් දෙදෙනාගේම ප්‍රාර්ථනාව වූයේ සරමක්.
එක්දහස් නවසිය විසි එකේ සිංහල අවුරුද්දට පසුවදා ඒ කියන්නේ අප්‍රියෙල් පහළොස්වෙනිදා මගේ අම්මා අම්මගේ මහ ගෙදර පහළ ළිදෙන් නාලා හොඳට සිහල හාලේ බත් වේලකුත් කාලා, ආස්මි එකයි කෝලි කුට්ටු ගෙඩි දෙකකුයි එහෙම කාලා ගෙදර ඉස්සරහ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඇළවුණා. හරියටම දවල් එකයි පහළොවට වැල මදුලෙන් සිවිඩ්ඩ ගැලවෙන්නා වගේ බොහෝම පහසු විදියට මම මේ ලෝකෙට ඉපදුනා.
ගෙවී ගිය අතීතයක රසබර මතකයන් අවදිකරමින් ගුවන් විදුලිය රූපවාහිනිය චිත්‍රපටය වේදිකාව මෙම සෑම මාධ්‍ය ක්ෂේත්‍රයකම ප්‍රබුද්ධ මෙහෙවරක් ඉටු කළ ජිනදාස හරිස්චන්ද්‍ර ජයවර්ධන අපි කවුරුත් දන්න අන්දමට කියනවා නම් ජේ.එච්. ජයවර්ධන මා සමඟ පැවසුවේ එතුමා මියයන්ට වසර දෙකකට පමණ ඉහත කාලයේය.
මට හිතෙනවා හාන්සි පුටුව තිඹිරි ගෙය කරගත් එකම පුද්ගලයා මම ද කියලා. කොහොම හරි මම ඉපදිලා ටික වෙලාවකට පස්සෙයි වින්නඹු අම්මා ඇවිල්ලා හාන්සි පුටුව උඩ හිටිය. මගේ පෙකනිවැල කපල මාව අතට ගත්තේ.
මම මේ ලෝකෙට ආවේ බොහොම පහසුවෙන්.
පුතේ උඹ ඉපදෙනකොට කඩියෙක් කන තරමටවත් මට වේදනාවක් ඇතිවුණේ නැහැ. පසු කාලයක බොහෝ විට ජේ.එච්.ගේ අම්මා ඔහුට පවසන්නට විය.
එම දිනවල ජේ.එච්. ජයවර්ධනගේ පියාගේ නොතාරිස් කන්තෝරුව පිහිටා තිබුණේ කොස්වත්ත හංදියේය. කිසිවෙකු ගොස් බිරිඳට පිරිමි දරුවකු ලැබුණු බව පියාට පවසා තිබුණි.
තාත්තට සංතෝෂය උතුරලා යනවා. ඉක්මනට ගෙදර එන්නයි වුවමනාව. ඒ කාලේ දන්නවනේ හංදිවල ත්‍රීවීලර් කුලී කාර් නැහැ. තාත්ත ඉක්මනට එන්න ක්‍රමයක් කල්පනා කළා. පයින් එනවට වඩා බයිසිකලේ ගමන ඉක්මන්නේ. ඉල්ලගත්තා ලියන මහත්තයාගේ බයිසිකලේ ඒත් කොස්සට හිටියේ අපේ තාත්තා කවදාවත් බයිසිකල් පැදලා නැහැ.
තාත්තා බයිසිකලේ තල්ලුකරගෙන මහ වේගෙන් දුවගෙන එනවා.
මොකද නොතාරිස් රාළහාමි මේ හතිදාගෙන පාරෙදී හම්බ වුණ කෙනේ ඇහැව්වා.
අනේ මට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. අපේ නෝනට පුතෙක් ලැබිලලු. මම මේ හනික යන්නේ ඒකයි. පරක්කු වෙන්න බැහැ.
ඉතින් ඕක තල්ලු කරන් දුවන්නේ ?
නැතුව ඕයි මම බයිසිකල් පදින්න දන්න එකක්යැ. කොහොමටවත් පයින් යනවට වඩා බයිසිකලේ තල්ලු කරන් දුවන එක ඉක්මන්නේ කියල තාත්ත දුවන දිවිල්ල වේගවත් කළා.
මට මුලින්ම අකුරු කියෙව්වේ බටපොත පන්සලේ බටපොත සුමංගල හාමුදුරුවන්ගේ පා සෙවනේ ඉඳගෙන මම ප්‍රශස්ත ශතකය සකස්කඩය කියෙව්වා. ඊට පස්සේ මම කොළඹ නාලන්දාවේ ටික කාලයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි කුරුණෑගලට ආවා.
කුරුණෑගලට ඇවිල්ලා මම ඉගෙන ගන්න ගියේ මලියදේවයට ඒ කාලේ මලියදේවය තිබුණේ ඔය අද තියෙන මීගමු පාරේ නොවෙයි. නුවර පාරේ. ඇත්කඳ විහාරය ඉදිරිපිට.
මම මලියදේවයට යන කාලේ මගේ වයසේම පිරිමි ළමයෙක් අපේ ගෙදර නවාතැන් අරගෙන මලියදේවයට ඉගෙන ගන්න ගියා. එයාගේ තාත්තා ඒ දවස්වල හොරොම්බාවේ ඉස්කෝලේ ප්‍රින්සිපල් එයාගේ නම ප්‍රේමරත්න වැලිකල.
පස්සෙ කාලෙක එයා හොඳ දක්ෂ ගුවන් විදුලි නාට්‍ය රචකයකු හා නිෂ්පාදකයකු වුණා. ප්‍රේමරත්න වැලිකල කිව්වොත් නම් වැඩියේ කාටවත් මතක නැතුව ඇති. හැබැයි පී. වැලිකල කිව්වොත් බොහොම දෙනෙක් දන්නවා. අටවෙනි පංතිය පාස් වුණාට පස්සේ මම කොළඹ ආනන්දයට ඇතුලු වුණා.
1941 මම ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගය සමත් වුණා. ඔය කාලේම මම සෞඛ්‍ය පරීක්ෂණ විභාගයට පෙනී ඉදල සමත් වුණා. ටික කාලයක් මම සෞඛ්‍ය පරීක්ෂකවරයකු වශයෙන් පුහුණුව ලැබුවා. එතකොට මාසෙකට පඩිය දුන්නේ රුපියල් පනහයි. ඒ කාලයේ මම මධ්‍යම ලිපිකාර විභාගය සමත් වෙලා කුරුණෑගල කච්චේරියට පත්වීමක් ලැබුවා. පඩිය රුපියල් හැට පහයි.
සැන්ටිපෝටිකාවට ආයුබෝවන් කියල මම ක්ලාක් මහත්තයෙක් වුණා.
අපේ තාත්තා නොතාරිස් කෙනෙක් වගේම ජ්‍යොතිෂ්‍යය පිළිබඳව හොඳ දැනුමක් තිබුණ කෙනෙක්. මගේ හඳහන බැලුවෙත් තාත්තා. මගේ හඳහනේ හෙනහුරා හිටියේ දෙකේ. මේක කනවැන්දුම් යෝගයක්. කේන්දරය බලන කිසිම කෙනෙක් මට හිරයක් දෙන්න කැමති වෙන්නේ නැහැ.
කඳානේ සෙනවිරත්න නොතාරිස් මහත්තයා අපේ තාත්තයි ඒ කාලේ ඉඳලම හුඟාක් එකමුතුයි. කඳානේ සෙනවිරත්න නොතාරිස් මහත්තයාට හොඳ ලස්සන දුවක් හිටියා. වැඩේ හැටි බලමුකෝ. ඒ දුවගේ කේන්දරේ සෙනසුරු හිටියේ දෙකේ. ඒකත් මගේ හඳහන වගේම තමයි. අපේ වැඩිහිටියෝ මඟුල කතා කළා. අපි දෙන්නත් කැමැති වුණා.
1949 ජනවාරි දොළොස්වෙනිදා මම ස්වර්ණා සෙනවිරත්නව කසාඳ බැඳලා කුරුණෑගලට කැන්දන් ආවා.
1950 දී මට කොළඹ විගණක දෙපාර්තමේන්තුවට මාරුවක් ලැබුණා. ඒක නිසා මම කුරුණෑගලින් ඇවිල්ල කඳානේ බිරියගේ ගමේ පදිංචි වුණා.
දවසක් පී. වැලිකල මට කිව්වා ගුවන් විදුලි නාට්‍ය ලියන්නට පටන් ගන්න කියලා. එතකොට ඔහු ගුවන් විදුලියේ සිංහල නාට්‍ය අංශයේ නිෂ්පාදක. ඔහු මාව ගුවන් විදුලියේ පුස්තකාලයට එක්කරගෙන ගිහින් බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ තැටිගත කරපු ඉංග්‍රීසි නාට්‍ය අහන්න ඉඩ සලස්සලා දුන්නා.
ඔපරා සිපාර් කියන බී.බී.සී. නාට්‍යයේ අභාෂය ලබමින් සීඟිරි නලඟන යනුවෙන් මම ලියපු මුල්ම ගුවන් විදුලි නාට්‍යය ගුවන් විදුලි රඟමඩලෙන් ප්‍රචාරය වුණා. ඒ කාලේ පැය භාගයේ ගුවන් විදුලි නාට්‍ය පිටපතකට රුපියල් අසූවක් ගෙවනවා. ගුවන් විදුලි නාට්‍යයක රඟපානවට රුපියල් විස්සක් ගෙවනවා. ඒ කාලේ විදියට ඒක ලොකු මුදලක්.
ඒ කාලේ ගුවන් විදුලි රඟ මඬල වුණත් කලින් පටිගත කරල ප්‍රචාරය කෙරුවේ නැහැ. කෙලින්ම සජීවීව ප්‍රචාරය කළා. ගුවන් විදුලි නාට්‍ය සජීවීව ප්‍රචාරය කිරීම නාට්‍යවල රඟපාන අයට ලොකු අභියෝගයක් වුණා. මොක ද වරදක් වුණත් හරි ගස්සන්න බැහැ. කෙලින්ම ඒක අසන්නට ඇහෙනවානේ.
වරක් මම බර්නාඩ් ෂෝ ගේ ඩොක්ටර් ඩිලයිමා කියන කතාව ආශ්‍රිත කරගෙන වෙද හටන නාට්‍ය රචනා කළා. නාට්‍යයේ එක් තැනක දී මම දෙබස් කියන්න ඕන තැන දී මම පිටපත දිහා බලද්දී ඒකේ කොළ මාරුවෙලා. මොන දෙවියන්ට කියන්න ද? විනාඩියක් නිශ්ශබ්දව හිටියොත් ඒක අසන්නන්ට දැනෙනවා.
උඹට කොච්චර කියල තියෙනවද මේ බේත් සීට්ටු ඒ දවස්වල තියෙන විදියට පිළිවෙළට කියන්න කියලා. බලපන් මේවා අරගෙන වැඩක් කරන්න ගියාම කොච්චර අමාරු ද?... ඔන්න ඔය වගේ දෙබස් කෑල්ලක් මම හිතලා කිව්වා. ඒක කියන ගමන් පිටු ටික හරියට තියා ගත්තා.
මට වීදුරුවෙන් පේනවා වැලිකල පුදුමයෙන් මා දිහා බලාගෙන ඉන්නවා.
නාට්‍ය ඉවරවෙලා ස්ටුඩියෝවෙන් එළියට ආපුවම වැලිකල අහනවා මොකක් ද බන් උඹ කළේ කියලා. මම වෙච්ච සිද්ධිය කිව්වා උඹ නම් මාර පුතෙක් වැලිකල මගේ පිටට තට්ටු කළා.
මම මුලින්ම රඟපෑව වේදිකා නාට්‍ය කුලු හරක් 1955 වසරේ කලා මණ්ඩලයේ හොඳම නාට්‍ය පිටපත විදියට තේරුණේ ඒක. සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර විනිප්‍රීඩා සිල්වා ඒ නාට්‍යයේ රඟපෑවා. ඒ කාලේ වේදිකා නාට්‍යයක් රඟපානවට රුපියල් පණහක් ගෙවනවා.
ආලවන්තයෝ ගැහැණියකගේ වරුණ, පොලිසිය ස්ත්‍රීන්ට පමණයි. කියන නාට්‍ය මම රචනා කරලා වේදිකා ගත කළා. ඒවායේ රඟපෑවා. එක්දහස් නවසිය පනස් එකේ මහ රෑ එකොළහට විතර ශාන්ති කුමාර් සෙනවිරත්න ඇවිල්ල අපේ ගෙදර දොරට තට්ටු කළා.
ඒ දවස්වල එයා එදා රෑ කියන චිත්‍රපටිය හදනවා. කඳාන එස්.පී.එම්. චිත්‍රාගාරයේ.
හරි වැඩේනේ මචං වුණේ. ෆිල්ම් එකේ බිලියඩ් මාර්කර්ගේ කැරැක්ටර් එක කරන එකා ඇවිල්ලා නැහැ. ඒ දර්ශන ටික කොහොම හරි ගන්න ඕනේ. වරෙන් මචං යන්න ශාන්ති කුමාර් පින්සේන්ඩු වුණා.
මහ රෑ එකොළහට විතර නෝනව තනියම දාලා ගියෑකි ද? නෝනවත් එක්කරගෙන ගිහිල්ලා. ඒ චරිතය රඟපෑවා. එදා රෑ තමයි මම මුලින්ම රඟපෑව චිත්‍රපටිය විනාඩි පහක දර්ශනයකටයි මම හිටියේ නොමිලයේම රඟපෑවා.
ඔය කාලයේ දී පී. වැලිකලට බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ සංදේශය වැඩසටහන කරන්න අවුරුදු දෙකකට රටින් බැහැරට යන්න සිද්ධ වුණා. වැලිකල ඒ කාලේ ගුවන් විදුලියේ හිටිය එම්.ජේ. පෙරේරාට මාව නිර්දේශ කළා. සිංහල නාට්‍ය නිෂ්පාදක ලෙසට.
විගණන දෙපාර්තමේන්තුවෙන් මට ගුවන් විදුලි දෙපාර්තමේන්තුවට මාරුවක් ලැබුණා.
මම ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදනය කරන කාලේ ප්‍රේමකීර්ති ද අල්විස් චිත්‍රා වාකිෂ්ට නෙතලි නානායක්කාර වගේ අයව අලුතෙන් නාට්‍යවලට ගත්තා.
එම්.ජේ. පෙරේරා මහත්තයාගේ අදහසක් අනුව පන්සිය පනස් ජාතකය ගුවන් විදුලි නාට්‍ය බවට පත්කරලා ප්‍රචාරය කළා. ඒ.ජී. ගුණරත්න මහත්තයා රචනා කළ මහා භාරතය කොටස් වශයෙන් ප්‍රචාරය කළා. ඒ කාලේ මාතලේ විජය විදුහලේ විදුහල්පති මට දැන් නම අමතකයි. රචනා කළ රාමායනය කොටස් වශයෙන් ප්‍රචාරය කළා. මේක කොච්චර ජනප්‍රිය උනාද කියනව නම් මට පඩි වැඩිවීම් දෙකක්ම රාමායනය නිසා ලැබුණා.
විශ්ව සාහිත්‍යයෙන් ලෝකයේ විවිධ රටවල කතා නාට්‍ය ආකාරයෙන් ප්‍රචාරය කරන්න මම තමයි පටන් ගත්තේ...
ධර්මසිරි රාජපක්ෂගේ මකරාක්ෂ නාට්‍යයේ චාලිමන්ට් චරිතය මට රඟපාන්න ලැබුණා.
වින්සන්ට් සේරසිංහ සාමාන්‍යයෙන් සිංහල නාට්‍යවල රඟපාන කෙනෙක් නොවෙයි. නමුත් මකරාක්ෂ නාට්‍යයේ චාලිමන්ට්චරිය මම රඟපාන නිසා ඔහු මකරාගේ චරිතය රඟපාන්න එකඟ වුණා. ස්වර්ණා මල්ලවආරච්චි රමනි බර්තොලම්යුස් මකරාක්ෂ නාට්‍යයේ රඟපාල තියෙනවා.
ලොක්කෙ මාමා පළමුවෙනි ටෙලි නාට්‍යය. ඒ කාලේ රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ධූරය දැරූ හෙන්රි ජයසේනගේ නිර්දේශය අනුව ශ්‍රීමති ලියනගේ අපේ ගෙදරට ඇවිල්ලා ලොක්කෙ මාමා රඟපාන්න මට ආරාධනා කළා.
බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ අයෝමා චිත්‍රපටයේ පරාජික වුණ භික්ෂුවකගේ චරිතය මම රඟපෑවා. ඒකේ මම අඳින්නේ අඳනකඩය විතරයි. සිඟරැට් බොනවා. ස්ත්‍රීන් සමඟයි නිතරම ඉන්නේ.
අයෝමා චිත්‍රපටයේ එක දර්ශනයක තියෙනවා ස්ත්‍රීන් ඇවිල්ලා මට දන ගහලා වඳිනවා.
එතකොට මම කියනවා. මට වඳින්න එපා යකුනේ. ඔය අනන්තවත් සිල්වත් ස්වාමීන් වහන්සේලා අපමණවත් ඉන්නවා. උන්නාන්සේලාට වැඳපල්ලා. ඔය වාක්‍ය චිත්‍රපට පිටපතේ නැහැ. මම ඒක අතින් දාපුවා.
පස්සේ මට ආරංචි වුණා චිත්‍රපට පරීක්ෂක මණ්ඩලය ඒ පරාජික භික්ෂු චරිතය චිත්‍රපටියෙන් නොකපන්න එම දෙබස් ඛණ්ඩය හුඟාක් හේතු වුණාය කියලා.
තෝමස් ලීඩ්ස් අධ්‍යක්ෂණය කළ ‘‘ද ස්පුක්ස්’’ කියන හොලිවුඩ් චිත්‍රපටයේ මම භික්ෂූන් වහන්සේ නමකගේ චරිතය රඟපෑවා. ගාමිණි පොන්සේකා එම චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් රඟපෑවා. පිටරටක ඉදලා ගාමිණී විදේශීය සුදු කාන්තාවක් සරණ පාවාගෙන එනවා. ඇයට බෞද්ධ ධර්මය උගන්වන භික්ෂූන් වහන්සේ මම. මගේ චරිතයට අදාළ කොටස් බොහෝමයක්ම රූපගත කළේ ගඩලාදෙණිය පන්සලේ දී.
ලංකාවේ දී සමහර කොටස් රූගත කෙරුවා. ෂැඩෝ ඔෆ් ක්‍රෝබා කියන ඕස්ට්‍රේලියානු රූපවාහිනි නාට්‍යයේ මම උසාවියක තෝල්ක මුදලිගේ චරිතය රඟපෑවා. ඒකේ නඩුකාරයගේ චරිතය රඟපෑවේ හෙන්රි ජයසේන, රවීන්ද්‍ර රන්දෙනිය, සරත් කෝන්ගහගේ එම ඕස්ට්‍රේලියානු ටෙලි වෘතාන්තයෙ රඟපෑවා.
ගුවන් විදුලි වේදිකා නාට්‍ය, රූපවාහිනි නාට්‍ය, චිත්‍රපට, ඔය ක්ෂේත්‍ර හතරෙම මම රඟපෑවත් මම වැඩියෙන් කැමැති ගුවන් විදුලියට හා වේදිකා නාට්‍යයට.
ගුවන් විදුලි නාට්‍ය බොහෝ විට විස්කම් මවන්න හැකි ක්ෂේත්‍රයක් රූපකායට සීමා වෙන්නේ නැතුව අපූරු මනෝකායක් ගුවන් විදුලි නාට්‍යයක් අහන ශ්‍රාවකයන්ගේ සිත්වල මවන්න පුලුවන්.
ඕෂාන් වේල්ස්ගේ අඟහරු ලොවෙන් පැමිණි අද්භූත පුද්ගලයා ගුවන් විදුලි නාට්‍ය බ්‍රිතාන්‍ය ගුවන් විදුලි අසන්නන්ගේ සිත් කොතරම් සසල කළා ද?
එම නාට්‍ය අනුගමනය කරමින් ළමා රංග පීඨයෙන් ඉදිරිපත් කෙරුව බේරේ වැවෙන් මතු වූ අද්භූත සත්වයකු පාදක කරගෙන ප්‍රචාරය වූ ගුවන් විදුලි නාට්‍ය එදා අපේ ගුවන් විදුලි අසන්නන් සසල
කළා ද?
1975 සිංහල නාට්‍ය තරගයේ දී ආර්.ආර්. සමරකෝන්ගේ ‘ඉඩම’ නාට්‍යයේ මම රඟපාපු පුංචි සිංඤෝගේ චරිතයට සම්මාන ලැබුණා. 1984 සිහින සාප්පුව නාට්‍යයේ රඟපෑම් වෙනුවෙන් මට සම්මාන ලැබුණා. 1984 ඕ.සී.ආයි.සී. සම්මානය 1996 ඕ.සී.අයි.සී. සම්මානය 1986 දී කලාමාන්‍ය සම්මානය, 1999 කලා භූෂණ සම්මානය ඔය වගේ සම්මාන ගොඩාක් ලැබුණා.
මොනර තැන්න ගුවන් විදුලි නාට්‍යයේ රජ්ජුරුවෝ කැලණි පාලමේ මැම්බර් මහත්තයා මිනිසුන්ට
තවම මතකයි.
පීටර් කැනියුට් පෙරේරා
ඡායාරූප - අන්තර් ජලයෙන්