හික්කඩුව සංචාරක පුරවරයක් කළ තානායම් ආරච්ව්


හික්කඩුව තානායම අතීතයේ දිස්වූ අයුරු 1961 දී

හික්කා ට්‍රාන්ස්

 

 

නිල් සහ කොළ පැහැති අපූරු සළු‍‍වක් සුදු පීත්ත පටියකින් වෙන්කර ඇති ආකාරයෙන් දිස්වන මේ ප්‍රදේශය අතිශය සුන්දරය. කරත්තයක් දෙකක් වරින් වර ඔබ මොබ යයි. ඈත දියඹේ මසුන් මැරීමට ගිය ධීවරයෝ තම වෙහෙසකර රැකියාව නිමව‍ා නිවෙස් බලා එති. දෙවියන්ගේ හාස්කම් ඇතැයි විශ්වාස කරන ඇතැම් මිනිසුන් පිහිට පතා මුහුදු ජලයෙන් වට වූ දේවාලයට ඔරුවලින් යති. හාත්පස ඇත්තේ නිහඬ සුන්දර අපූරු පරිසරයකි.   


අශ්වයා පිටින් කොළඹ යන ආණ්ඩුවේ ඒජන්ත තානායමට පැමිණ තමන් පැමිණි අශ්වයා එහි අශ්ව ගාලට බර දී වෙනත් අශ්වයකු රැගෙන ගමන පිටත් වෙයි.   


මේ 1940-50 දශකයයි. නමුත් දැන් සියල්ල උඩු යටිකුරු වී සමස්ත ප්‍රදේශයම වෙනස් වී ඇත. 

 
එදා තිබූ කුඩා තානායම අද එහි දක්නට නැත. අශ්ව ගාල් නැත. ඒ වෙනුවට ඇත්තේ තට්ටු ගණන් උසට ඉදිවූ හෝටල් සමූහයකි. එදා තිබූ සුන්දර වෙරළ තීරයත් කොළ පැහැති පොල් රුප්පාවත් සහමුලින්ම වෙනස් වී ඇත. අප මේ පවසන ඉතිහාසයේ සිට වසර 70ක් පමණ ගතවන විට හික්කඩුව මහා සංචාරක පුරවරයක් බිහි වී තිබේ.   


එදා හික්කඩුවේ සංචාරක කර්මාන්ත ආරම්භ වූයේ කුඩා තානායමකිනි. තානායම භාරව සිටියේ තානායම් ආරච්චි නමින් හැඳින්වූ “කිතලාරු ආරච්චි” යන නම්බු නාමයෙන් ද පිදුම් ලබා සිටි කාරියවසම් දොන් සලමන් වීරසිංහ ය. අද ඔහු ජීවතුන් අතර නැත.   
නමුත් ඔහුගේ මුනුපුරකු වන නිශ්ශංක ඈපාලියන මහතා අදටත් හික්කඩුවේ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අතර හික්කඩුව වඩාත් සංවිධානාත්මක සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කරගැනීම සඳහා මහත් වෙහෙස වී ක්‍රියා කරයි.   


ඔහු තම සීයා ගැන මෙසේ පවසයි.   


“මගේ සීයා 1900ට පෙර ඉපදුණු කෙනෙක්. හික්කඩුවට ඇවිත් තියෙන්නේ 1936 දී. හික්කඩුව තානායමේ ආරච්චි හැටියට රජයේ රැකියාවක් කරල තියෙන්නේ. වැටුප ගැනනම් දැන් ඒ තරම් අවබෝධයක් නැහැ. හික්කඩුව තානායමේ ඉඳලා පසුව තංගල්ල තානායමට දැම්මා. තංගල්ලෙන් හම්බන්තොට තානායමටත්, පස්සේ නැවත බෙන්තර තානායමටත් ගියා. නැවත 1950 දී හික්කඩුවට ඇවිත් තියෙනවා. එදා තිබුණු බෙන්තර තානායම තිබුණු තැන තමයි අද බෙන්තර බීච් හෝටලය. හික්කඩුව තානායම කොරල් ගාර්ඩ්න් හොටෙල් එක හැදෙනවා. ඒක දැන් හික්කා ට්‍රාන්ස් ලෙස හැඳින්වෙනවා. දැන් සියලු‍‍ දේ වෙනස් වෙලා.”   
හික්කඩුව එකල විදේශ සංචාරකයන් සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් වූයේ නැත. අධිරාජ්‍යවාදීන් විසින් වතු ආර්ථිකය වර්ධනයට ප්‍රමුඛත්වය ලබා දී තිබූ බැවින් විදේශිකයන් සංචාරය අරමුණු කරගෙන මෙරටට පැමිණියේ සුළු වශයෙනි. එකල මෙරට වතු හිමිකරුවන් වූ විදේශිකයෝ බූස්සේ අශ්ව රේස් සඳහා සහභාගි වීමට බූස්ස තුරඟ තරග පිටියටත්, ගාල්ලේ වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිහිටි ස්ථානයේ ඇති තුරඟ තරග පිටියටත් යන අතරතුර හික්කඩුව තානායමේ ලැගුම් ගත්හ.   


මේ නිසා හික්කඩුව තානායමට ආදායමක් තිබිණි. ඊට අමතරව ගාල්ල, හම්බන්තොට ආණ්ඩුවේ ඒජන්තවරු කොළඹට යද්දී තම අශ්වයන් මාරුකරගත්තේ හික්කඩුව තානායාමේ පිහිටි අශ්ව ගාලෙනි.   
“ඒ කාලේ සීය​ා කියනවා වතු අධිකාරිවරු ඇවිත් හික්කඩුව තානායමේ ඉන්න බව. කාමර හතරයි තිබුණේ. අශ්ව ගාල් දෙකක් තිබුණා. ඒ අය එන්නේ බූස්සේ අශ්ව රේස්වලට යන්න. ඉතින් මේක බොහොම ජනප්‍රිය ක්‍රීඩාවක් වෙලා තියෙනවා. තානායමට එන අය දින ගණන් එහි නැවතිලා ඉන්නවා. මුහුද අයිනේ තියෙන තානායම ඔවුන්ට බොහොම විනෝදජනක තැනක් වෙන්න ඇති.”   


හික්කඩුවේ අපූරු කොරල් පරයක් ඇති බවත් එහි සුන්දරත්වය සේම වටිනාකම මිල කළ නොහැකි බවත් සොයා ගැනීමත් සමඟ සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණු වන්නට විය.   


ඒ සොයාගැනීම සිදුකළේ ආතර් සී. ක්ලාර්ක් සහ රොඩ්නි ජෝලාස් දෙදෙනා විසිනි.   
“සීය කියන විදියට ඒ 1956 වර්ෂය විතර. ආතර් සී. ක්ලාර්ක් සහ රොඩ්නි ජෝලාස් දෙදෙනා ඇවිත් හික්කඩුව අවට මුහුදේ ගවේෂණ කටයුතු කරලා තියෙන්නේ මේ තානායමේ නැවතිලා. ඒ අවස්ථාවේ ඔවුන් සීයා සමඟ කියා තිබෙනවා මේ වෙරළ ආසන්නයේ ඉතාමත් ලස්සන කොරල් පර තියෙන බව. ඒවායේ පාට පාට මාළු වර්ග වගේම කැස්බෑවන් වගේ සතුන් ඉන්න බවත් කියලා. ඒ වගේම ඔවුන් සීයා එක්ක කියපු ඉතාමත් වැදගත්ම දෙයක් තමයි මේ කොරල් පරය ගැන ලෝකයේ රටවල්වල ප්‍රසිද්ධ වුණොත් හික්කඩුව තනිකරම විදේශ සංචාරකයන්ගෙන් පිරී යාවි කියලා. ඔවුන් දෙදෙනා හික්කඩුව සුන්දර වෙරළ තීරය මහ ඉහළින් වර්ණනා කරලා තියෙනවා.” 

 
නිශ්ශංක මහතා පවසන්නේ ආතර් සී. ක්ලාක් පැවසූ දෙය ක්‍රමයෙන් සිදුවූ බවයි. ඔහුගේ සටහන් කියවූ විදේශිකයෝත් ඔහුගේ හිත මිතුරෝත් හික්කඩුවට වැඩි වශයෙන් එන්නට වූහ. ක්‍රමයෙන් හික්කඩුව සංචාරකයන් සඳහා වැඩි ඉඩක් සහ පහසුකම් සැපයීමේ අවශ්‍යතාවක් මතුව තිබිණි.   
මේ හේතුවෙන් කාමර 04ක් පමණක් තිබූ තානායම කාමර 16කින් යුතු ගොඩනැගිල්ලක් බවට ඉක්මණින් පරිවර්තනය කෙරිණි. මීට අමතරව හික්කඩුවේ තැන තැන සංචාරක සේවා සපයන ස්ථාන ඉදිවන්නට විය. හික්කඩුව තානායම බාර්ක්ලිට් සමාගම විසින් මිල දී ගත් අතර එම ස්ථානය මුළුමනින්ම වෙනස් කර කාමර 65කින් යුතු දැවැන්ත හෝටලයක් නිර්මාණය කෙරිණි. එය හැඳින්වූයේ “කොරල් ගාර්ඩ්න්” හෝටලය නමිනි. කොරල් ගාර්ඩ්න් හෝටලය හික්කඩුව සංචාරක පුරවරයේ ඉදිකෙරුණු ප්‍රථම හෝටලය වන අතර අද එය වෙනස්කම් රැසකට භාජනය වී හැඳින්වෙන්නේ “හික්කඩුව ඡායා ට්‍රාන්ස්” නමිනි.   


1968 වර්ෂය වනවිට හික්කඩුව කොරල් ගාර්ඩ්න් හෝටලය විවෘත කෙරිණි. 1970 මුල් කාලයේ බ්ලූ කොරල්ස් හෝටලය ආරම්භ වූ අතර ඉන් පසු කොරල් සෑන්ඩ් හෝටලය, හික්කඩුවේ පාලම ළඟ පොල් කොට උඩ හෝටලයක් ද ඉදිකෙරිණි. එය හැඳින්වුණේ කොට උඩ හෝටලය නමිනි. කාමර 08කින් සමන්විත වූ කොට උඩ හෝටලය එකල විදේශීය සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් තැනක් විය.   
නිශ්ශංක ඈපාලියන මහතා පවසන්නේ ‍ආතර් සී. ක්ලාර්ක් මහතා විසින් කොරල්පරය පිළිබඳ විස්තර අනාවරණය කිරීමෙන් පසු හික්කඩුවේ කොරල් නැරඹීමේ කාර්යය ද ක්‍රමයෙන් දියුණු වූ බවයි. එකල වීදුරු පතුලක් සහිත බෝට්ටු තිබුණේ නැත.   
වීදුරු පෙට්ටියක් සාදා එය රැගෙන සංචාරකයන් සමඟ ඔරුවෙන් මුහුදට ගොස් මේ වීදුරු පෙට්ටිය මුහුදට දමා කිහිප දෙනකු එය තද කර අල්ලද්දී සංචාරකයෝ ඒ වීදුරු පෙට්ටියෙන් මුහුදු පත්ල බලති. පසුව කිමිදුම් ක්‍රම හික්කඩුව ප්‍රදේශයට හඳුන්වාදීමත්, වීදුරු බෝට්ටු පැමිණීමත් සමඟ හික්කඩුවේ කොරල් බැලීම මෙරට පමණක් නොව ලෝකය පුරාම ජනප්‍රිය විය.   


“කොරල් පරයේ වටිනාකම අමුතුවෙන් කිව යුතු දෙයක් නොවෙයි. ඒ වගේම කොරල් පරය ආශ්‍රිතව හික්කඩුවේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් දියුණු වුණා. ඉතාමත් ලස්සන වෙරළ තීරයත් මේකට ගොඩක් දායක වුණා. මේ නිසා 1967 දී හික්කඩුව කොරල් උද්‍යානයක් ලෙස නම් කළා. ඒක ඇත්තටම වටිනා දෙයක්. නමුත් 1998 දී විතර ලෝකයේ උණුසුම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස එල්නිනෝ බලපෑමෙන් හික්කඩුවේ කොරල්වලට දැඩි විනාශයක් සිදු වුණා.” ඈපාලියන මහතා ‍එසේ කීවේය.   
හික්කඩුව සංචාරක කලාපයක් ලෙස නම් කරන්නේ 1987 ඔක්තෝබර් 19 වැනි සිකුරාදා නිකුත් කරන ලද අංක 478 දරන ගැසට් නිවේදනයෙනි.   
හික්කඩුව සංචාරක පුරවරයක් බවට පත්කිරීමේ පුරෝගාමියා වූ කාරියවසම් දොන් සලමන් වීරසිංහ ඇල්පිටියේ හොරංගල්ලේ පදිංචිකරුවෙකි. ඔහු හොරංගල්ලේ ජීවත් වූ උදයගිරිය නිවස අදට ද පැරැණි ස්වරූපයෙන්ම දක්නට ලැබේ.   


අතීතයේ ඇල්පිටියට කාරයක් ගෙන ආ පළමු පුද්ගලයා ලෙස ද තානායම් ආරච්චි ප්‍රසිද්ධව සිටියේය. ඔහු හම්බන්තොට තානායමේ සේවය කරද්දී තවත් අපූරු කාර්යයකට අත ගසා තිබිණි.   
ඒ පලතුරු කෝඩියල් නිෂ්පාදනයයි. හම්බන්තොට ප්‍රදේශයෙන් සොයාගත් ‍පලතුරුවලින් කෝඩියල්, ජෑම් සහ මාමලේඩ් නිෂ්පාදනය කර ඒවා “හම්බන්තොට ප්‍රඩක්ට්” ලෙස නම්කර රට පුරාම තිබූ තානායම් වෙත බෙදාහැරීම ඔහු සිදු කළේය. මෙය ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීම ඔහුගේ සැලැස්ම වුව ද කාර්යබහුලත්වය නිසා ඊට වැඩි කාලයක් වෙන්කිරීමට හැකියාවක් ලැබුණේ නැත. තානායම් ආරච්චිගේ මරණින් පසු ඒ නිෂ්පාදන කාර්යය අභාවයට ‍ගිය බව නිශ්ශංක ඈපාලියන මහතා සිහිපත් කරයි.   
කාරියවසම් දොන් සලමන් වීරසිංහ විවාහ වී සිටියේ තවත් ආරච්චි පරපුරකින් පැවත එන හින්නිහාමිනේ ජයසේකර (තෙබේරිස් ආරච්චි) සමගිනි. මේ යුවළට ඩැන්සි, ලීලා, ජෝර්ජ්, හෙක්ටර්, හැරියට්, එඩ්වඩ්, ශීලා සහ පියසිරි නමින් දරුවන් 08 දෙනෙකි. නිශ්ශංක ඈපාලියන යනු ඒ දරුවන් අතරින් වැඩිමලා වූ ඩැන්සිගේ පුතණුවන්ය.   


කාරියවසම් දොන් සලමන් වීරසිංහගේ තානායම් ආරච්චි සේවය අවසන්වීමට දින නියමව තිබිය දී අගමැති ඩඩ්ලි සේනානායක විසින් ඔහුගේ සේවා කාලය තවත් වසර කිහිපයකට දීර්ඝ කළ බවට ලිපියක් හික්කඩුව තානායමට ලැබිණි. ඔහු තම පුටුවේ අසුන්ගෙන ඒ ලිපිය කියවා මහ හඬින් සිනා සුණේය. ඒ ක්ෂණයකින් ම ඔහුගේ හිස පැත්තට කඩා වැටිණි. ඉන් පසු ඔහු යළි නැගිට්ටේ නැත.   
හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරක් කළ කාරියවසම් දොන් සලමන් වීරසිංහ තම සේවා කාලය දීර්ඝ කිරීමේ ලිපිය අතේ තබාගෙන ම හදිසි හෘදයාබාධයකින් මියගියේ එලෙසිනි. ඉන් පසු ඔහුගේ තනතුරේ වගකීම ඔහුගේ බාල පුතු පියසිරි වීරසිංහට භාර විය.   
හික්කඩුව වේගයෙන් වෙනස් වෙද්දී හික්කඩුව තානායම අභාවයට ගොස් එය පරයා හෝටල් ඉදිවෙද්දී පියසිරිට වෙනත් ප්‍රදේශවල රැකියාවේ නිරතවන්නට සිදුවිය.   

 

හම්බන්තොට නිෂ්පාදන

 


“කිතලාරු ආරච්චි” නමින් ඉංග්‍රීසි පාලකයන්ගෙන් ලැබුණු ගරු නම්බුනාමයක් ද දරමින් හික්කඩුවේ “තානායම් ආරච්චි” ලෙස කටයුතු කළ කාරියවසම් දොන් සලමන් වීරසිංහ එදා තම තනතුර වෙනුවෙන් ලැබූ නිල ඇඳුමත්, නිල ලාංඡන හා ඔහුගේ සම්මාන පදක්කම් සියල්ල නිවසේ සුරැකිව තිබී නිශ්ශංක ඈපාලියන මහතා විසින් ගාල්ලේ කෞතුකාගාරයට පරිත්‍යාග කර තිබේ.   


අද ඒ සියල්ල දැයේ ජනතාවට දැක ගැනීම සඳහා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.   
නිශ්ශංක ඈපාලියන මහතා හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ අවසන් වශයෙන් මෙසේ කීවේය.   
“හික්කඩුව කියන්නේ මේ රටේ පළමු සංචාරක කලාපය. මේක සැලසුම් සහගතව හොඳින් දියුණු කරන්න පුළුවන්. අපේ රටට වැඩිම ආදායමක් ලබාගන්න පුළුවන් සංචාරක කර්මාන්තයෙන්. නමුත් අද වනවිට එය ඉතාමත් ඛේදජනක තත්වයකට පත්වෙලා. සංචාරක කලාපයක් ලෙස ගැසට් කර තිබුණත්, රාජ්‍ය පාලකයන් විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා නැහැ. ලෝකයේ වෙනත් සංචාරක කලාප සැලකුවාම ඉතාමත් හොඳ මාර්ග පහසුකම් ඇතුළු සියල්ල සැලසුම් සහගතව සංවර්ධනය කරනවා. නමුත් අපේ හික්කඩුව සැලකූ විට එවැන්නක් වෙන්නේ නැහැ. හෝටල් හිමියන් සහ මේ කර්මාන්තයේ යෙදෙන අය තමන්ට හැකි පමණින් දෙයක් කරගෙන යනවා හැර රජයකින් ලැබිය යුතු සහයෝගය මෙතෙක් පත්වූ කිසිම රජයකින් ලැබිලා නැහැ. සෑම රජයක්ම බලයට පත්වෙද්දී පොරොන්දු වෙනවා හික්කඩුව සංචාරක පුරවරය වැඩි දියුණු කරනවා කියලා. නමුත් ඒ සියල්ල ඡන්ද පොරොන්දුවක් විතරයි. හික්කඩුව සංචාරක කලාපය හරහා තමයි කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගය තිබෙන්නේ. අපි දැන් වසර ගණනාවක සිට ඉල්ලනවා ‍මෙයට පරිබාහිරව ගාල්ල - කොළඹ මාර්ගය හදලා දැනට තිබෙන මාර්ගය සංචාරක පුරවරයේම කොටසක් බවට වැඩිදියුණු කරන්න කියලා. සාකච්ඡාවලදී සියලු‍‍ රජයන් එකඟ වෙනවා. පක්ෂ විපක්ෂ බේදයක් නැතිව මන්ත්‍රීවරු එකඟ වෙනවා. නමුත් ඒවා සාකච්ඡා විතරයි. රටට එන සංචාරකයන් හූරාගෙන කාලා හරියන්නේ නැහැ. ඔවුන්ට හොඳ සේවාවක්, හොඳ පහසුකම් ලබාදීලා අපි විදේශ විනිමය උපයන්න ඕනෑ. මෙය නොකළොත් අපි හැමදාමත් එකම තැන පල් වෙනවා. අපේ රටේ සංචාරක කර්මාන්තය විනාශ වෙද්දී සංචාරකයන් වෙනත් රටවලට ආකර්ශනය වෙනවා. ඒක විශාල හානියක්.”   


ඔහු පවසන්නේ හික්කඩුව සංචාරක පුරවරය වැඩිදියුණු කිරීම රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වන බවයි.   

 

 

 

සටහන සහ ඡායාරූප : 
සජීව විජේවීර