හිතකර සතුන් නසන අහිතකර ගොවිතැන


කෘමීන් හා ශාක අතර ඇති සුවිශේෂී අන්තර් සම්බන්ධතාව නිසා ගසේ නිරෝගී බව හා පෝෂණය රැකෙන අයුරුත්, ඒ නිසා ආහාරයේ පෝෂණ හා ඖෂධීය ගුණ වැඩි වන අයුරුත්, අවසානයේ මේ සියලු ගුණ මිනිසා සුවපත් කිරීම උදෙසා මහඟු උපකාරයක් වන අයුරුත් අපි පසුගිය සතියේ සාකච්ඡා කළෙමු. මෙම අගනා කෘමි-කෘෂි සබැඳියාව චන්ද්‍ර කලාව සමඟ දක්වන අන්තර් සම්බන්ධතාව ගැනත් අපි සැකෙවින් සලකා බැලුවෙමු.   


මේ සොබා දහමේ අපූර්වත්වය තම ප්‍රඥාවෙන් අවබෝධ කොට ගත් අප පැරැන්නෝ එය වඩාත් අර්ථවත් වන සේ අනභිභවනීය කෘෂි හා වාරි තාක්ෂණයක් බිහි කොට ඒ තුළින් කායික, මානසික හා ආධ්‍යාත්මික නිරෝගීභාවයෙන් පිරිපුන් සමාජයක් ගොඩනැඟූහ. විදෙස් ආක්‍රමණික ප්‍රහාර හමුවේ වුව ද, කෝටි 07 ඉක්මවූ ජනගහනයක් පදිංචි කොට, පනස් දහසක් පමණ වැව් තනා, ඔවුන් අහරින් ස්වයංපෝෂිත කොට, දහස් ගණන් වෙහෙර විහාර කර වූ ඒ හෙළ ශිෂ්ටාචාරය බිහි කළේ මේ ගස් වැල්වල විවිධත්වය මෙන් ම සතා සිව්පාවා ඇතුළු සොබා දහමේ සමතුලිතතාව මැනවින් ආරක්ෂා වන පරිදි ය. ඒ අයුරින් සත්ව පරාගණය බිඳී ගොස් වගා කරන ආහාරයත් අපගේ සෞඛ්‍යයත් පිරිහී යන අයුරු අපි මෙතැන් සිට සාකච්ඡා කරමු.   


“හෙළ සුවය” දැනුමෙන් බිඳක්........   


වර්තමානයේ සිටින කෝටි 03 කටත් අඩු ජනගහනයක් පෝෂණය කිරීම ට නොහැකි ව ළතවෙන අපි අද “ආහාර සුරක්ෂිතභාවයක්” පිළිබඳ සිහින දකිමින් සිටින්නෙමු. ඒ සඳහා ජල තලයත්, පොළෝ තලයත්, වා තලයත් වස විසෙන් දූෂණය කරන ගොවි තැනක් හඳුන්වා දී සමස්ත සත්ව සංහතිය ම විනාශ මුඛයට ළඟා කරගෙන ඇත්තේ කුමන ප්‍රඥාවක් නිසා ද යන්න අප නොපමා ව පැහැදිලි කර ගත යුතු වේ.   


මේ සත්ව සංහාරය නිසා අපට සිදුවන අනර්ථය අපි “හෙළ සුවය” තුළින් දැනගත්තෙමු. එම දැනුමට අනුව, වස විස යෙදීම ඇතුළු බටහිර තාක්ෂණය මත පදනම් වූ වත්මන් කෘෂිකාර්මික ක්‍රමය පරාගණය සඳහා අනුපමේය මෙහෙයක් ඉටුකරන කෘමි සතුන් වනසන ප්‍රධානතම ක්‍රමවේදය බව ඔබ දන්නවා ද? එය සිදුවන ආකාරය විද්‍යාත්මක දත්ත සමඟින් අපි මඳක් සාකච්ඡා කරමු.   


එය තහවුරු කරන විද්‍යාත්මක දැනුම....   


එක්සත් රාජධානියේ පරිසර විද්‍යාව හා භූ ජල විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ ස්වාභාවික පරිසරය පිළිබඳ පර්​ෙ‌ය්ෂණ කවුන්සිලයේ (Natural Science Research Council of Center for Ecology and Hydrology, UK) දත්ත වලට අනුව ලෝකයේ ප්‍රධානතම ආහාර භෝගවලින් 75% ක් මෙන් ම මල් හට ගන්නා ශාකවලින් 90% ක් ද පලදාව ඇති වීමට අවශ්‍ය ප්‍රජනන ක්‍රියාකාරිත්වයන් සඳහා මුළුමනින් හෝ අර්ධ වශයෙන් සත්ව පරාගණය මත යැපේ. තව ද, වත්මන් ගොවිතැනේ කෘමිනාශක හා වල් නාශක ඇතුළු පළිබෝධ නාශක (Pesticides insecticides and weedicides) භාවිතය, ඉඩම් පරිහරණ රටාව (Land use pattern), ඉඩම් පාලනය (Land Management) ඇතුළු ප්‍රධාන අංග මෙම පරාගණය කරන සතුන් විනාශ වීම සඳහා බලපාන ප්‍රධාන සාධක බව ද එහි සඳහන් ය. බටහිර කෘෂි තාක්ෂණය අද බටහිරට ම පාරා වළල්ලක් වෙමින් පවතින බව පහත විස්තරය අනුව ඔබට වැටහෙනු ඇත.

   
 පළිබෝධ නාශක නිසා හිතකර කෘමි සතුන් නැසෙන හැටි   


හරිත විප්ලවය නම් වූ කෘෂිරසායනික මත යැපෙන වර්තමාන කෘෂිකාර්මික විප්ලවය ආරම්භ වූ ඇමරිකා එක්සත් ජනපදයෙන් ම මේ සඳහා උදාහරණ ගෙන එන්නට අප සිතුවේ එම අමනෝඥ කෘෂි තාක්ෂණයේ අනිටු ප්‍රතිඵල අද දිට්ඨධම්ම වේදනීය කර්ම ලෙස ඔවුන්ට ම අත්විඳීමට සිදු වී ඇති අයුරු ඔබට වටහා දීමටයි.   


වගාවට හානි කරන කෘමීන් විනාශ කිරීම සඳහා බහුලව භාවිතා කරන කෘමි නාශක නිසා වසරක් තුළ ඇමරිකානු එක්සත් ජනපදයේ මී මැසි (Apismellifera L.) ජනාවාස (honey bee colonies) දහස් ගණන් විනාශ වන බව 1990 දී (Apidologie) නම් වූ කෘමි ජීව විද්‍යාව පිළිබඳ ප්‍රංශ විද්‍යාත්මක සඟරාවේ පළ කරන ලද ලිපියකින් පැහැදිලි වේ. එය පළ කොට ඇත්තේ ඇමරිකානු නෙබ්‍රස්කා, ලින්කන් සරසවියේ හා පෙන්සිල්වේනියා සරසවියේ කීට විද්‍යාඥයින් පිරිසකි. 

 
එම ලිපියේ සඳහන් ව ඇති 2007 දී පළ වූ තවත් පර්​ෙ‌ය්ෂණකට අනුව, පසු ගිය වසර 60 තුළ ඇමරිකානු මී මැසි ජනාවාස සංඛ්‍යාව 45% කින් අඩු වී ඇත. වසර 1966-1979 දක්වා කාල පරිච්ඡේදය තුළ සිදු වූ මෙම කෘමි හානිය සඳහා හේතු වී ඇත්තේ කෘෂිකර්මාන්තයේ දී භාවිතා කරනු ලැබූ organochlorine, carbamate, oirganophosphorus, සහ pyrethroid වර්ගවල රසායනික කෘමි නාශකවලට නිරාවරණය වීම බව මෙහි පැහැදිලිව අවධාරණය කර ඇත. මෙම කෘමි හානිය ඉතාමත් තද බල ලෙස සිදු වූ 1985 සිට 2005 දක්වා කාල වකවානුව තුළ මී මැසි ජනාවාස ප්‍රමාණය මිලියන 4.2 සිට 2.4 දක්වා අඩු වී ඇත.   


 නවතම පළිබෝධ නාශක හා බැර ලෝහ නිසා වැනසෙන හිතකර කෘමි සතුන්....   


මෑත කාලයේ හඳුන්වා දුන් neonicotinoids සහ phenylpyrazoles කෘමිනාශක වර්ග පවා මී මැසි ජනාවාසවලට විෂ සහිත බව සඳහන් ය. වර්ෂ 2016 දී Nature Communications නම් වූ විද්‍යාත්මක සඟරාවේ පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමු. එහි දී, එංගලන්තයේ ආහාර පිණිස භාවිත කරන තෙල් ලබා ගැනීම සඳහා වගා කරන බීජ වගාව (oilseed rape) මත යැපෙන මී මැසි විශේෂ හා එම වගාව මත නො යැපෙන විශේෂ සංසන්දනාත්මක ව අධ්‍යයනය කරන ලදී. එම වගාව සඳහා දීර්ඝ කාලීන ව භාවිතා කරන neonicotinoid වර්ගයේ කෘමිනාශක, oilseed rape මත යැපෙන මී මැස්සන් කෙරෙහි දක්වන සෘණාත්මක බලපෑම එම වගාව මත යැපෙන්නේ නැති කෘමීන්ට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩි බව සොයාගෙන ඇත.   


තව ද, මෙවැනි රසායනික භාවිතා කරන වගාව මත යැපෙන මී මැස්සන් සිටින මී වද ආශ්‍රිතව ද මෙම neonicotinoid වස වර්ග අඩංගු වන බව ජර්මනිය, හංගේරියාව හා එක්සත් රාජධානිය වැනි රටවල්වල කරන ලද රසායනික විශ්ලේෂණ පර්​ෙ‌ය්ෂණ මගින් ඔප්පු වී ඇත. ඒ අනුව එම මී පැණිවල පවා මෙම විස අන්තර්ගත වන බව ඔබ දැන ගෙන සිටින්නේ නම් මැනවි. මීට අමතරව ආසනික්, කැඩ්මියම් වැනි විෂ සහිත බැර ලෝහ පළිබෝධ නාශක හා රසායනික පොහොර හරහා පසටත්, ගසටත් එකතු වීම ද මෙම හිතකර කෘමි ගහනය විනාශ වීම කෙරෙහි බලපාන බව ඔබ වටහා ගත යුතු වේ.   


හෙළ සුවය ව්‍යාපෘතිය තුළ අප නොයෙක් ගම්වල සැරිසරද්දී අත්දකින තවත් කරුණක් නම් කෘෂි කාර්මික ප්‍රදේශවල සිදුකරන මී මැසි පාලන පෙට්ටිවලින් ලබා ගන්නා මී පැණිවල රසය ස්වාභාවික වනාන්තරවලින් ලබා ගන්නා මී පැණිවලට සාපේක්ෂව රසය බොහෝ දුරට අඩු බවයි. පෙර කී මී පැණිවල ඖෂධීය ගුණය ද ඒ අයුරින් ම පිරිහී ඇති බව අප ගේ අදහසයි. එසේ නම් එම සතුන් රොන් ගන්නා භෝග විවිධත්වය අඩු වීම මෙන් ම එම රොන්වල හා මී වදවල වස විස අඩංගු වීම ද මේ සඳහා හේතු පාදක විය හැකි නොවේ ද?   


විද්‍යාවෙන් පමණක් තක්සේරු කළ නො හැකි හිතකර කෘමි සතුන්ගේ හානිය.......   


මේ විද්‍යාත්මක දත්තවලට අනුව, භෝග වගාව තුළ මෑත ඉතිහාසයේ දී මෙන් ම වර්තමානයේ දී ද භාවිත කරන කෘමිනාශක වර්ග පරාගනය සිදුකරන කෘමීන් ට විෂ සහිත වන බව ඔබට දැන් පැහැදිලි වනු ඇත. මෙහි සඳහන් පර්​ෙ‌ය්ෂණ සිදු කොට ඇත්තේ මී මැස්සන් සම්බන්ධයෙන් පමණි. නමුත් පරාගණය සඳහා වැදගත් වන තවත් කොතෙකුත් කෘමීන් වර්ග සිටී ද? මේ වස විස නිසා ඔවුන් ට යන කලදසාව කුමක් ද?   


බොහෝ පර්​ෙ‌ය්ෂණ සඳහා පාදක කරගෙන ඇත්තේ කෘමි නාශක පමණි. නමුත්, භෝග වගාවේ දී තවත් වල් නාශක, දිලීර නාශක වැනි විස කොතරම් පරිහරණය කරනවා ද? ඒවායින් එම සතුන්ට වන බලපෑම කෙතරම් ද යන්න අද විද්‍යාඥයින්ට නිවැරදි අවබෝධයක් නැත. එසේ නම් දැනට ඇති විද්‍යාත්මක දත්තවලින් පමණක් වත්මන් වස විස භාවිතය නිසා පරාගණය සිදුකරන කෘමීන්ට වන හානිය ගැන නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමට බැරි බව අප දැන ගත යුතු ය.   


ජාන වෙනස් කරන ලද භෝග නිසා හිතකර කෘමීන් වැනසෙන හැටි ....   


 නවීන කෘෂි තාක්ෂණයේ තවත් එක් “පිම්මක්” ලෙස උදම් අනන ජාන තාක්ෂණයේ අරමුණක් වන්නේ කෘමි හානිවලට ප්‍රතිරෝධී ශාක විශේෂ හඳුන්වා දීමයි. එහි දී, සිදු කරන ජාන වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට මල්වල පරාගවලින් කෘමීන්ට හානි කරන කෘමිනාශක ප්‍රෝටීන් වර්ග නිකුත් වේ. ඒවා නිසා පරාගණය සඳහා පැමිණෙන කෘමීන් ගේ හැසිරීම, ප්‍රජනනය වැනි ජෛව ක්‍රියාකාරිත්වයන් කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන බව 90 දශකයේ සිදු කළ පර්​ෙ‌ය්ෂණවලින් පවා පැහැදිලි වේ.   


පළිබෝධ නාශකවලට ප්‍රතිරෝධී වන සේ ජාන වෙනස් කළ ශාක විශේෂ වගාවේ දී භාවිත කරන අධික සාන්ද්‍රණ / මාත්‍රාව සහිත වස විස නිසාත් මෙම ශාක මත යැපෙන කෘමි සතුන් ගේ ජීවිතවලට අහිතකර බලපෑම් ඇති කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ.   


වත්මන් ගොවිතැනින් අහිමි වන හිතකර කෘමි ජනාවාස   


 එදා අප මුතුන්මිත්තන් මුළු රට ම අස්වද්දා අටු කොටු පුරවා අතිරික්තය පිට රට යැවූ ගොවිතැනක් බිහි කළේ කෘමි සතා ගේ සිට සියලු සතා සිව්පාවා දක්වා සමස්ත සත්ව ප්‍රජාවට ම ජීවත් විය හැකි පරිසරයක් ඉතිරි කරමින් ය. සෑම ගමක ම වැව් ආශ්‍රිතව ස්වාභාවික වනාන්තරයක් හා සමාන වන ලැහැබක් ඔවුන් විසින් පවත්වාගෙන යනු ලැබුවේ මෛත්‍රිය පෙරදැරි ව මේ සතුන් ගැනත් සිතමින් ය.   


වර්තමානයේ පෝෂක ප්‍රදේශ (catchment) ලෙසින් හඳුන්වන මෙම පෝෂක ප්‍රදේශ වැවත් සමඟම අද විනාශ මුඛයට අද වැටී ඇත. එදා මුළු ලෝකයට ම කුළුබඩු හඳුන්වා දෙමින් කන්ද උඩරට කුළු බඩු වගා කළේ මේ ස්වාභාවික පරිසරය රැකෙන පරිදි ය. සුද්දන් විසින් වැව් ඇතුළු පෝෂක ප්‍රදේශ විනාශ කිරීමත්, උඩරට ප්‍රදේශවල වන වගා විනාශ කොට අත්තනෝමතික ලෙස තේ, කෝපි වැනි වගා බිහි කිරීමත්, ටර්පන්ටයින්, යුකැලිප්ටස් වැනි ගස් වගා කිරීමත් මේ විනාශයේ ආරම්භය සනිටුහන් කළේය.  


ඔවුන් විසින්ම හඳුන්වා දුන් වත්මන් ගොවිතැනේ දී ඒකාකාරී වගාවන් විශාල පරාසයකින්(Large field sizes and monocultures) බිහි කිරීමත්, සතුන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය ස්වාභාවික තුරු ලතා සහිත ප්‍රදේශ (non-cultivared habitat patches) හානි කිරීමත් ඇතුළු ඉඩම් පරිහරණ රටාවේ (Land use Pattern) හා ඉඩම් කළමනාකරණයේ (Land Management) දී සිදු කළ විනාශකාරී පිළිවෙත් සමුදාය මේ හිතකර කෘමීන් ඇතුළු සත්ව ගහනයේ මළ ගම බිහි කරන වග අද සුද්දන්ගේ අතින් ම ලියැවෙමින් පවතී.   


මෙවන් විදේශික විපරිත වූ බුද්ධියක් හමුවේ ගොඩනැඟුණු ගොවිතැනක් නිසා අපට හිතැති සතුන් වැනසීම නිසා, අපගේ ආහාරයට හා සෞඛ්‍යයට ​ෙවන විනාශය පිළිබඳවත්, වගාවට අහිතකර කෘමීන් පාලනය කරමින් හා හිතකර කෘමීන් ගේ ආකර්ෂණය වැඩි කරමින් පංච සීලයට අනුගත ව සිදුකරන හෙළ සුවය හෙළ ගොවිතැන ගැනත් අපි ඉදිරියේ දී ඔබ ව දැනුම්වත් කරන්නෙමු.   

 

 

වෛද්‍ය කුමුදු දහනායක
(MBBS, DLM, MD)