හුදකලා ක​ාලේ ගෙදර අවුල් කර නොගන්න


 

  • හැම තිස්සෙම මහත්තයා ෆෝන් එකේ 
  • නෝනා තනියම ගෙදර වැඩ

 

 

 

‘‘ආයෙම කුලී වැඩ නැති වුණා. ගෙදරටත් කුලී කාරයෙක් ගෙන්න ගන්න මිනිස්සු කැමැති නැහැ. මෙහෙම ගියොත් අපිට මොනව වෙයිද?’’


කවදා අපිට ඔළුව උස්සන්න පුළුවන් වේවිද? දරුවන්ට කවදා ඉස්කෝලේ යන්න ලැබේවිද? එහෙන් ඔන් ලයින් ඒකට වෙනම වියදමක් යනවා. ලයිට් බිල්, වතුර බිල්, ගෙදර වියදම් දරුන්වගේ වැඩ මේ ඔක්කෝටම ලැබෙන්නේ පඩියෙන් බාගයයි. දැන්නම් ඔළුව පිස්සු වැටිලා තියෙන්නේ?


හැම තිස්සෙම මහත්තයා ෆෝන් එකේ. මම ගෙදර යුද්ධයක් කරන්නේ දරුවන්ගේ වැඩත් එක්ක. හොද්දකට ලුණු පොඩ්ඩක් එහෙම මදි වුණොත් පිඟානුත් පොළවේ ගහලා තමයි මහත්තයා මේසෙන් නැගිටින්නේ. මං ගැන කිසිම අගයක් නැහැ මහත්තයට.


‘‘බලනවා ගෙදරක හැටි. තොල් රතු කරගෙන ගියාට මොකද ගෙදර පිස්සන් කොටුවක් වගේ. මිනිහෙකුට නිදහසේ ඉන්න පුළුවන් තැනක් ද බලනවා. මේ ගෙදර. මට තමුසේ එක්ක පවුල් කෑම එපා වෙලා තියෙන්නේ.’’
මේ කාලය තුළ මෙවැනි ප්‍රශ්න මැසිවිලි නොඇසෙන ගෙයක් නැති තරම්ය. පියවි ඇසට නොපෙනෙන කොරෝනා වෛරසය ලොවම වෙලා ගෙන තිබෙන බියකරු මොහොතක නැවතත් මිලියන සංඛ්‍යාත ජනයාගේ ජීවිතවලට දොර අඟුළු වැටී අවසානය. කොරෝනා තෙවැනි රැල්ල ඉතා දරුණු ලෙස පැතිර යන ලංකාව තුළ ජන ජීවිත නැවතත් සිරකොට ඉතා දුෂ්කර සමයකට මුහුණ දීමට ජනතාවට සිදු වී ඇත. දිගු කාලයක් නිවසට සිරවී සිටීමට සිදුවීමෙන් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති මානසික ව්‍යාකූලතාවන් ද අති විශාලය. මේ සම්බන්ධව පොලිසියට පැමිණෙන පැමිණිලි ඉහළ යාමත් තෙවන රැල්ලේ ද සිදුව ඇති බව බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන අතර නිවසට කොටු වීම තුළ මානසිකව බලපාන ගැටලු මොනවාද? සහ ඊට විසඳුමක් ලබා දිය හැක්කේ කෙසේ ද? යන්න අප පාර්ශ්ව කිහිපයකගෙන් විමසීමක් කළෙමු.
පවුල් උපදේශන සේවාවන්හි දත්ත අනුව සීඝ්‍ර වැඩි වීමක් සිදුව ඇත්තේ ගෘහස්ත සහ ලිංගික ප්‍රචණ්ඩත්වයන්ය. මෙම අභියෝගාත්මක කාල සීමාව තුළ බොහෝ ගාහණියන් තම පීඩනය පිට කරනුයේ සැමියාට දොස් පැවරීමෙනි. සැමියා ද තම පීඩනය පිට කරන්නට යොදා ගන්නේ බිරිඳවය. මෙම වියවුල විසඳාගෙන මෙම දුෂ්කර කාලයට මුහුණ දිය යුත්තේ කෙසේ ද? යන්න ප්‍රවීණ මනෝ උපදේශිකා අමා දිසානායක මහත්මිය අදහස් දැක්වූයේ මෙසේය.

 


කොවිඩ් තෙවැනි රැල්ල ආරම්භ වීමත් එක්ක නැවතත් අපේ ජන ජීවිත ගෙදරට කොටු වෙන්නට සිදුවීමත් සමග හට ගන්නා වියවුල් එක්ක විවිධ වූ ඇමතුම් ගලාගෙන එනවා. මුලින්ම කියන්න ඕන පවුලක සාමුහිකත්වය නැත්නම් එතන සතුට ගිලිහිලා යනවා. ලෝකේ තියෙන ශක්තිමත්ම බැඳීම තමයි පවුලේ බැඳීම.
අපි දන්නවා කෙනෙක් පුරුදු වෙලා ඉන්න රටාවෙන් මිදිලා වැඩ කරන්න වෙන කාල සීමාවක් තමයි මේක. තමන්ගේ හුරු පුරුදු රටාව වෙනස් වුණාම ඒක ඕනෑම කෙනෙකුට මානසිකව බලපාන්න පුළුවන්.
මොකද දරුවන් සැමියා ගෙදර ඉන්න නිසා බිරිඳකට, වෙනදාට වඩා වැඩ කරන්න, ශ්‍රමය වැය කරන්න සිදුවෙන්න පුළුවන්. බොන බොන තැන්වල තේ කෝප්ප, හැම තැනම කිලිටි රෙදි, පොත් පත්, පත්තර වෙනදා පිළිවෙළට තිබුණු ගෙදර දැන් නිතර අපිළිවෙළ වෙන්න පුළුවන්. මේ දවස්වල ගෙදර කෑමට ඉන්න ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. කෑම කන වාර ගණන වැඩි වෙන්න පුළුවන්. ගෙදර ගෘහණියට පීඩනය හිර කරගෙන ඉඳලා එක තැනක දී මේක දරා ගන්න බැරි තැනක් එනවා. එතකොට ඇය කෝපය පිට කරන ආසන්නම කෙනා තමයි සැමියා, සැමියා පීඩනය පිටකරන ආසන්නම කෙනා තමයි බිරිය.


‘‘සැමියාට වෙනදා කාර්යාලයේ තිබුණු ලෝකය ගෙදරට කොටු වුණාම නැහැ. කාර්යාලයේ යාළුවෝ එක්ක සතුටු සාමිචියේ යෙදෙන්න විනෝද වෙන්න අවස්ථාව නැහැ. රැකියාවක් කරන බිරිඳක් නම් ඇයටත් ඒ වගේමයි.’’


මෙන්න මේ සාමාන්‍ය ජීවන රටාව වෙනස් වුණාම මිනිස්සු මානසික පීඩනයන්ට පත් වෙනවා.


දැන් මේ දවස්වල වෙනදාට වඩා මහත්තයට බිරියගේ වෙනදා දැක්කේ නැති අඩුපාඩු පේන්න පුළුවන්. මහත්තයත් හිතනවා ගෙදර හැමදේම කරන්න ඕන බිරිඳ කියලා.


මීට දින දෙකකට ඉහත දී මට දුරකතන ඇමතුමක් ආවා.


මහත්තයා නිතරම දුරකතනයේමයි, දරුවන්ගේ. ගෙදර වැඩ උදේ නැගිටපු වෙලාවේ ඉඳලා මම දාසයෙක් වගේ වැඩ. ෆෝන් එකේම ඉන්නේ. මහත්තයට වෙන සම්බන්ධතාවක් ඇති. බිරිඳගේ දොස් පැවරීම ඉවසාගත නොහැකි වූ සැමියා බිරිඳට පහර දෙනවා. බිරිඳත් අතේ තිබුණු කේතලයෙන් සැමියාට පහර දෙනවා. අවසානයේ දෙදෙනාම රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබාගෙන ඇවිල්ලා බිරිඳ ජීවිතේ නැති කර ගන්න යනවා. ඒ වෙලාවේදී උපදේශනය සඳහා ඇය මට කතා කරනවා. එතකොට ඇය කියපු දෙයක් තමයි, සැමියාට මාව කිසිම අගයක් නැහැ. එක දවසක් දෙකක් නෙමෙයි, හැමදාම එහෙමයි. සැමියා ෆෝන් එකේමයි. බිරිඳක් විදිහට පීඩන ඉවසන්න බැරිම තැන තමයි ඇය පුපුරලා ගියේ.


මේ වෙලාවේ විශේෂයෙන් එකට ඉන්න කොට අනෙක් කෙනා ගැනත් හිතන්න පෙළඹෙන්න ඕනෑ. මට මේ සංචරණ සිමා කාල සීමාව තුළ ආ ගොඩක් පවුල් ප්‍රශ්න අඬදබරවලට මූලිකම හේතුව වෙලා තියෙන්නේ ජංගම දුරකතනය. සමහර සැමියන්ට බිරිඳට වැඩිය විශ්වාසවන්ත යෙහෙළියෝ ඉන්නවා. බිරිඳත් එහෙමයි. සමහර අම්මලා දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්නේ උදව් ගන්නේ සමහර පිරිමින්ගෙන්. එතන දී වෙන්නේ පවුලේ යුතුකම් වගකීම් පැහැර හැරෙන එක විතරයි. පවුලට තිබිය යුතු ශක්තිමත්ව දේ තමයි විශ්වාසය සහ ආදරය.


අනෙක් කාරණය තමයි වෙනදා ගෙදර අයගේ කැමැත්තට විවිධ දේවල් හදපු අම්මට දැන් එහෙම බැහැ. තියෙන දෙයක් අර පිරිමැස්මෙන් හදලා දෙන්න වෙලා තියෙන කාලයක් මේ.


අනිත් එක් මේ වෙලාවේ ආත්මාර්ථකාමී වෙන්න එපා. අවශ්‍ය එකයි, එපා එකයි ඔක්කොම ගෙදරට ගේන්න එපා. අවශ්‍ය දේ පමණක් ගෙදරට ගේන්න. ආහාර ටික වුණත් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. වෙනදා හොඳට කාපු පිරිමි පාර්ශ්වය වුණත් ඒ ආහාර රටාවට හුරු වෙන්න. ගෙදර අඬ දබර ඇති කර ගන්න එක නෙමෙයි, ඒකට විකල්පය අද බලන්න. දුප්පත් පවුලකට මුඛ ආවරණය වුණත් හරි බරක්. පවුලකට ඉන්න හතර පස් දෙනෙකුට එකවර මාස්ක් පහක් හයක් මිල දී ගන්න අමාරුයි. වැය කරන්න මුදල් නැහැ. ලොක් ඩවුන් එක හැම ගෙදරකට එකවගේ නැහැ.


තවත් විශේෂිත කාරණයක් තමයි ගෙදර වයස්ගත අම්මලා තාත්තලා ඉන්නවා නම් ඒ අයට මරණය ගැන විශාල බයක් මේ වෙන කොට ඇති වෙලා තියෙනවා. වෙනදාට වඩා ගෙදර ඉන්න වයස්ගත අම්මලා තාත්තලා එක්ක දරු මුණුපුරන් කතා කරන්න. එයාලව හුදෙකලා කරන්න එපා. එයලාත් පවුලේ සාමුහිකව කරන වැඩ කටයුතුවලට එකතු කර ගන්න.

 


නිතර ඇමතුම් එන තවත් විශාල සමාජ ප්‍රශ්නයක් තමයි තරුණ දරුවන් දුරකතනයට ඇබ්බැහි වීම. ඒ හරහා ඇති වන අනවශ්‍ය ප්‍රේම සබඳතා නිසා ජීවිත විනාශ වෙන තැන් ​ඉහළ ගිහින් තිබෙනවා. කොරෝනා එක්ක ගෙදරට කොටු වීමේ ඇති වන සමාජ ප්‍රශ්න අතර ප්‍රබලම ගැටලුවක් මේක. විශේෂයෙන් දෙමාපියෝ දරුවන් ගැන අවධානය යොමු කළ යුතු කාලයක් මේක. ඔන් ලයින් අධ්‍යාපනය වුණත් ඊට මව්පියන් විශේෂ අවධානයක් යොමු කරන්න මේ වෙලාවේ තරවටු කරලා පීඩනය පිට කරලා ප්‍රශ්න විසඳන්න බැහැ. මේක මනසින් ක්‍රියා කළ යුතු කාලයක්.


අනෙක් කෙනාගේ දුර්වලකම් ඉවසන්න. නොගැළපෙන දේවල් ගලප ගන්න උත්සාහ කරන්න. තෙවන රැල්ලේ සංචරණ සීමා සමයේ මේ කෙටි කාලයට පවුල් ප්‍රශ්න 60% කින් වැඩි වෙලා. මේක අලුත් විවේකය කියලා හිතන්න. පරිභෝජන රටා වෙනස් වෙන්න පුළුවන්. ප්‍රශ්න කෝටියක් අපිට ඉස්සරහටත් එන්න පුළුවන්. ආර්ථිකය කළමනාකරණය කර ගන්න. ඒ වගේම පවුලේ බැඳීම් ශක්තිමත් කර ගන්න. ඕනම වයසක මුණ දෙන්න පුළුවන් ශක්තිමත් බැම්ම තමයි පවුලේ බැඳීම. මේක එකිනෙකාට විවේචනය කර ගන්න කාලයක් නෙමෙයි.


අවුරුදු ගණන් ආදරය කරලා පොර කාලා අපි දෙන්නා එක වහලක් යටට යමු කියලා. ඉවසිල්ලක් නැතුව ආපු දෙන්න දෙමහල්ලන්ට ඇයි දැන් එක වහලක් යට ඉන්න බැරි?


මේක අපි චිත්ත පීඩා පාලනය කර ගන්න ඕන. විශේෂිතම අවස්ථාවන් මොක ද මේ වෙලාවෙත් කතා කරන වචන පිහියකින් අනිනවා වගේ දරුණු වෙන්න පුළුවන්.


නිවසට කොටු වෙලා ඉන්න ජනතාවගේ මානසික සෞඛ්‍ය පිළිබඳ තව දුරටත් කතා කරන්නට කථිකාචාර්ය මනෝ විද්‍යාවේදී දිනුක මධුෂාන් වන්නිනායක මහතා ද සම්බන්ධ කර ගත්තෙමු.


අපේ ජීවිතේ සතුට තියෙන්නේ තමන් ලෝකය දකින ආකාරය අනුව. අපි දන්නවා මේ අපි ගෙවන්නේ කාටත් හුරු පුරුදු ජීවන රටාවක් නෙමෙයි. කොවිඩ් වසංගතයත් එක්ක ගෙදරට කොටු වීමත් එක්ක පවුලේ ඇති වන ගැටලු සහ සමහර ගැටලු තියෙනවා කා එකවත් කියන්න බැරි දේවල්. මෙන්න මේ කාල සීමාව ඇතුළේ ඒවා බොහොමයක් එළියට එන්න පටන් ගෙන තියෙනවා.


සුළු කාලයක් තුළ පවුල් ප්‍රශ්න විශාල ප්‍රමාණයක් පසුගිය කාල වකවානුව තුළ ඇවිල්ලා තියෙනවා. උදේ වැඩට ගිහිල්ලා සවසට ගෙදර එන ජීවන රටාව එක්ක ගෙදර පිරිස මුණ ගැහුණේ අඩුවෙන්. දැන් මේ ගැටලු ඇති වෙන්නේ පවුලේ අය දීර්ඝ කාලයක් එකට ඉන්න වෙලා තියෙන දේත් එක්ක.


එ් එක්ක විවිධ නොගැලපීම් ලිංගික කාරණා වැනි ප්‍රශ්න රාශියක් මේ සමාජීය වශයෙන් ඇති විය හැකි ප්‍රශ්නවලට මුල් වෙලා තියෙනවා.


කාන්තාවක් තමන්ගේ සැමියාගේ මෙච්චර කාලෙකට නොදුටු වෙනස් දේවල් මේ කාල සිමාව තුළ දකින්න පුළුවන්. අලුත් ඉගෙනීම් අලුත් අවබෝධයක් තමන්ගේ මහත්තයා ගැන බිරිඳ ගැන ලබා ගන්න ලැබෙන කාලයක් මේක. ගොඩක් පවුල් ප්‍රශ්න ඇති වෙන්න හේතුව තමයි ඒ අය තමන්ගේ පවුල වෙනුවෙන් යොදාවලා තියෙන්නේ මෙච්චර කාලයකට බොහොම පොඩි කාලයයි. සමහර අය රැකියාවට සහ ඒ ආශ්‍රිත පිරිස එක්ක තමයි වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ. නගර බද නිවෙස්වල ගොඩක් වෙලාවට කන්නේ කඩෙන්. නිවෙස්වල උයනවා අඩුයි. එතකොට මේ වගේ අවස්ථාවක දී අර හුරු පුරුදු රටාව අපි වෙනස් කර ගන්න වෙලා තියෙනවා.


මිනිස්සුව මේ විදිහට ස්වභාව ධර්මය විසින් ගෙදරට කොටු කළේ පවුල වෙනුවෙන් කාලය වෙන් කරන්න සහ එකි කෙනාට තේරුම් ගන්න කියලා හිතන්න. මේ සබඳතා ගළපගන්න බැරි වුණාම ඔන්න ගට්ටන ඇති වෙනවා. මුළු දවසම ගෙදර ඉන්න නිසා කාලය කළමනාකරණය කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒක හුරු පුරුදු නැති නිසා. හිතින් සිර ගත වෙලා ඉන්න කොට ටිකින් ටික අපි මනසිනුත් සිර ගත වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් මහල් නිවාස සංකීර්ණවල ඉන්න ජනතාවට මේ ඇති වන මානසික ව්‍යාකූලතාවය වැඩියි. ඒ නිසා මානසික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යෑම ඉතාම වැදගත්. ගෙදරට කොටු වෙලා ඉන්න මේ වගේ අවස්ථාවක මුලින්ම කඩා වැටෙන්නේ මනස. එය විශාදය ආතතිය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා පළමුව කිව යුත්තේ ජීවිතය පිළිබඳ අනවශ්‍ය බියක් නිර්මාණය කර නොගත යුතුයි. තවත් ගොඩක් දෙනාගේ මානසික ගැටලු අතර තියෙන දෙයක් තමයි, කොරෝනා රෝග ලක්ෂණ කොරෝණා මරණ, ගැන සමාජ මාධ්‍ය තුළින් නිතර දැනුම්වත් කරද්දී ඇතැම් අය එම රෝග ලක්ෂණ තමන්ටත් තියෙනවා කියලා අනවශ්‍ය බියකින් පෙළෙනවා. මේ අනවශ්‍ය පීඩනයෙන් තොරව මනස නිදහස් කර ගන්න හොඳම ක්‍රමය තමයි උදෑසන ඉඳලා රාත්‍රී නින්දට යන තෙක් ක්‍රියාශීලී ජීවන රටාවකට හුරු වීම. මොන යම් හෝ දෙයක නියැළෙන්න උත්සාහ ගත යුතුයි.


අපි දකිනවා සමාජ ප්‍රශ්න ඇති වීමට ප්‍රධානම හේතුව තමයි ආර්ථික ගැටලු. අපේ රටේ ගොඩක් අය පෙර සූදානමක් ඇතුව ජීවත් වෙන්නේ නැහැ. එදා වේල හම්බ කරන කෙනෙකුටත් පුළුවන් පෙර සුදානම් ඇතුව ජීවත් වෙන්න. හාල් මිටක් දවසකට අයින් කරන්න, දවසට සියයක් නම් හම්බ කරන්නේ රුපියල් විස් පහක් ඉතිරි කර ගන්න. ඒත් අපේ මිනිස්සු ජීවත් වෙන්නේ අද කෑවොත් අද ඇති කියන මානසික මට්ටමෙන් හෙටක් ගැන හිතන්නේ නැහැ. සිංහල අවුරුද්දට කොහොමද මිනිස්සු හැසිරුණේ. ජීවිතේම ඇඳුම් ඇඳලා නැහැ වගේ හම්බ කරපු හැම රුපියලක්ම වියදම් කළා.


මම කියන්නේ කොරෝනා විතරක් නෙමෙයි තව තව ව්‍යවසන කාලෙන් කාලෙට එන්න පුළුවන්. අපේ පෙර සුදානමක් තියෙනවා නම් ආර්ථික ප්‍රශ්න රැකියා අහිමි වීම් ආවත් ඒකට මුණ දෙන්න පුළුවන් හොඳ කළමනාකරණයක් අපි හදා ගත්තොත් ඒවා මානසික බලපාන ගැටලු බවට පත්වනේනේ නැහැ. ඕනම කෙනෙක් ඉතිරි කිරීමේ කළමනාකරණයක් පුරුදු වෙන්න.


අද ආර්ථික ගැටලු නිසා පවුල් ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා. පසුගිය ලොක් ඩවුන් කාල සීමාව තුළ පවුල් ප්‍රශ්න නිසා සිය දිවි හානි කර ගත්ත ඉතා සංවේදී අවස්ථා පවා අහන්න ලැබුණා. ඇත්තටම අපි සතුට කියලා හොයා ගන්නේ මොකක් ද?


අපි දැන් ගෙදරට කොටු වෙලා නිසා ඇපි ඇහැරෙන්නේ හිතුමතේට. එකට ඉන්නකොට හැම දේකම ඇදයක් පේන්න පුළුවන්. එකිනෙකාට නුරුස්සන ගතිය ඇති වෙන්න පුළුවන්. එකිනෙකා අතර සැක සංකා ඇති වෙන්න පුළුවන්. මෙතන දී සැමියා බිරිඳ අතර මනා පාලනයක් තිබිය යුතුයි, වගේම පාර්ශ්ව දෙකේම වගකීමක් තිබිය යුතුයි. ලංකාවේ 95 % විතර පවුල් අසාර්ථකයි. මොකද අන්‍යනෝන්‍ය අවබෝධයක් නොමැතිකම. බිරිඳ නිවසේ වැඩවලට සැමියා උදව් කිරීම මදි කමක් කියලා හිතන්න එපා. ඒක තමයි ආදරය.
මිනිස්සු ආර්ථිකය පස්සේ දුවනවා මිසක් කලාව පැත්තට යොමු වීමක් නැහැ. සින්දුවක් අහන්නේ නැහැ. චිත්‍රපටයක් බලන්නේ නැහැ. රසවින්දනය නැති මනසට මේ වගේ හිර වෙන කොට දරා ගන්න බැහැ.
හැම කළු වළාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියන්න වගේ මේ වසංගතයත් අපිට අලුත් මානයකින් ජීවිතය විමසන්න අවස්ථාව ලැබිලා තියෙනවා.


ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේ ද සමහර මව්පියන්ට දරුවන්ට ඒ පහසුකම් සලසලා දෙන්න ආර්ථික හැකියාවක් නැහැ. මෙවන් පවුල් ප්‍රශ්න ඇතිවෙන්න ප්‍රධාන හේතු අම්මලා මානසික වැටෙනවා. අනේ මගේ දරුවට විභාග පාස් කරන්න බැරි වේවි ද, මේ පහසුකම හදාගන්නේ කොහොමද කියලා. පුළුවන්නම් ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට අඩුම තරමේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට සහනයක් සලසනව නම් මේ වෙලාවේ ඒක විශාල දෙයක්.


ඒ වගේම ගෘහස්ථ හිංසනය පිළිබඳ වැඩිපුර වාර්තා වෙනවා. ඒ වගේම පිරිමින්ටත් මේ කාලය තුළ අමුතු අද්දැකීම් ලැබෙනවා ඇති. මං කිව්වනේ මෙතෙක් නොදුටු ගතිලක්ෂණ එලියට එන්න පුළුවන් කියලා. මේවා ගුටිබැට වලින් කෙළවර වෙන්න පුළුවන්. හේතුව තමයි එකවහලක් යට ජීවත් වුණාට සමීප භාවයක් නැහැ. එකිනෙකා අතර දුරස්ථයි. අඩබදරයකදී එක් අයෙක් නිශ්ශබ්ද විය යුතුමයි. සමහර සිදුවීම්වලට උපදේශන දෙනකොට කියන දෙයක් තමයි සමහර අය දන්නේ නැහැ. ඇයි මේ අඩදබරය වුනේ කියලවත්. එක් අයෙක් කැපවෙන්න එක් අයෙක් ගැටුමක් ඇති වෙනවනම් අනෙක්කෙනා එතනින් ඉවත් වෙන්න. කුමක් හෝ මානසික ව්‍යාකූලතාවයක් ඇතිවෙනවානම් මනෝ විද්‍යා උපදේශනයක් ලබාගැනීමට යොමුවෙන්න හැකියාව තියෙනවා. ඒක ලැජ්ජාවක් කියලා හිතන්න එපා.


ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන කාන්තා ලිංගික හිංසනය සහ දරුවන්ට සිදුවන හිංසනය. මේ කාලය තුළ මිනිසුන් මානසික පීඩනය සහ මිනිසුන් තුළ ඇතිවන අවස්ථාවා දී වෙන්න පුළුවන්. මේවගේ අවස්ථාවල දී නිවෙස්වලට කොටු වෙලා ඉන්න කාන්තාවන්, ගැහැණු දරුවන් වගේම පිරිමි දරුවන් ලිංගික හිංසනයන්ට ගොදුරු වෙන්නේ තමන්ගේම සමීපතමයන්ගෙන් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ ඔබ දරුවන් දැනුවත් කිරීම වගේම කාන්තාවන් වඩා විමසිලිමත් වීම මේ කාලය තුළ ඉතාම වැදගත්. මෙවැනි සිදුවීම් සිදු නොවනවා කියලා හිතන්න එපා. මෙවැනි සිදුවීම් බහුල වශයෙන් සිදුවෙනවා. ඒත් වාර්තා වෙන්නේ නැහැ.


මේ කාලය තුළ බුද්ධිමත් මනසින් සහ හැඟීම්බර මනසින් සමබරව මේ තත්ත්වයට මුහුණ දිය යුතුයි.

 

 

 

සාකච්ඡාව
නදීශා අතුකෝරල