අප මේ කියන කතාව එවකට ගම්පොළ රාජධානියේ අණසක පතුරවාගෙන රජකම් කළ මහා සම්මත වික්‍රමබාහු රජුගේ සමයේ සිදු වූවකි.
වික්‍රමබාහු රජුට නැඟණියක් සිටියාය. නැඟණිය තම සහෝදර රජුට දැඩි සෙනෙහසක් දැක්වූවා සේම රජුද පෙරළා සිය නැඟණියට දැඩි සහෝදර සෙනෙහසක් පෑවේය.
ජන වහරේ සඳහන් වන අන්දමට ඇය ඉපදුණේ බෙලිගෙඩියකිනි. එයට හේතු පාදකව ඇත්තේ රජ උයනේ බෙලි ගසකට වැදුණු අකුණු පහරකින්, බෙලි ගෙඩියක් බිඳී යත්ම මෙම කුමරිය මෙලොව එළිය දුටු බවට පවතින කතාවය. මෙම කතා ප්‍රවෘත්තියට අනුව ඇයට ‘හෙණකඳ බිසෝ’ යන නාමය පටබැඳිණි.
දීග තළ දෙන වයසට පත්වූ පසු උඩරට බණ්ඩාර වලව්වකින් ඇයට බණ්ඩාර කෙනකු සරණ පාවාදීමට ඇගේ සහෝදරයා වූ වික්‍රමබාහු රජු පියවර ගත්තේය.
එහෙත් කල් යල් නොගොස් ඇගේ සැමියා මිය ගියේය. එතැන් පටන් ‘හෙණකඳ බිසෝ මැණිකේ’ ලෙස නම් දරා සිටි ඇය කවුරුත් හැඳින්වූයේ ‘හෙණකඳ බිසෝ බණ්ඩාර’ යන නාමයෙනි.
සිය සැමියා මිය යාමෙන් තනිවූ සිය නැඟණියට ඒ අඩුව නොදැනෙන ලෙස ඇගේ සහෝදර වික්‍රමබාහු රජු කටයුතු කළේය.
වික්‍රමබාහු රජු, සිය රාජ අණසක පැතිර තිබූ, ගම්පොළ රාජධානිය කේන්ද්‍ර කර ගනිමින් විහාර හා දේවාල ගොඩනැගීමට මෙන්ම, ඊට පෙර සිට පැවත ආ ප්‍රතිසංස්කරණය කළ යුතු වෙහෙර විහාර ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුවේය. රෑ දාවල් නොබලා කෙතරම් කටයුතු තිබුණත් වික්‍රමබාහු රජු ඒ කටයුතුවල දැඩි ඕනෑකමකින් භක්තියකින් නියැළුණේය.
ඒ අතරේ, සිය සැමියා අහිමිවීමෙන් විස්සෝපයට පත්ව සිටි සිය නැඟණියගේ හීල්ලුම වික්‍රමබාහු රජුට ඇල්ලුවේ නැත. ඇය අතොරක් නැතිව තනිපංගලමේ සිටිමින් නිරතුරුව කල්පනා ලෝකයේ ගිලී සිටිනු දුටු වික්‍රමබාහු රජු, තම නැඟණිය වඩ වඩා ආගම දහමට නැඹුරු කිරීමටත් එම විහාර දේවාල ප්‍රතිසංස්කරණ කටයුතුවල යෙදවීම මැන වැයි’ කල්පනා කළේය.
‘‘නැඟණිය, නුඹ නිතරම තනි පංගලමේ සිටිමින් කල්පනා කර කර කාලය ගත කරනවා. ඊට හොඳ නැද්ද?ආගම දහමට බරව මා ගෙන යන විහාර දේවාල කර්මාන්තවලට සම්බන්ධ වී යහපත් ජීවිතයක් ගත කරන එක?’’ යැයි දිනක් සිය හෙණකඳ බිසෝ බණ්ඩාර නැඟණිය අමතා වික්‍රමබාහු රජු යෝජනා කළේය.
‘‘මහ රජතුමෙනි, මගේ අකැමැත්තක් නැහැ. ඔබ වහන්සේ කියනව නම් ‘ඕ තොමෝ කියාගෙන ආ වචන ටික නිමා කරන්නටත් පෙර’ ‘අගෙයි, ආගෙයි මා ප්‍රිය නැගණිය’ කී රජු සතුටු සිතින් ඉපිල ගියේය.
ඒ වකවානුව වනවිට රජුට කෙතරම් රාජ්‍ය පාලනය විචාරීමට සිදුව තිබුණත්, රජු ප්‍රදේශයේ විහාර දේවාල කර්මාන්ත කටයුතුවල නියුතුව සිටියේය. අදටත් අප රටවැසි ජනතාව මහා ඉහළින් වර්ණනා මුඛව අගයමින් කතාබහ කරන ගඩලාදෙණිය ඇම්බැක්කය, ලංකා තිලකය වැනි විහාර මෙන්ම ඒ අවට අද දවසේද චිර ප්‍රසිද්ධියක් උසුලන දේවාල ඉදිකරමින් ඒවා වැඩිදියුණු කරමින් සුවිසල් කර්මාන්තයක රජු නියැළී සිටියේය.
සිය නැඟණිය සැමියා නැති සොවින් තැවි තැවී සිටිනු දුටු වික්‍රමබාහු රජතුමා, එතැන් සිට ඉහත කී විහාර මෙන්ම ඒ අවට සිදු කෙරුණු දේවාල කර්මාන්තවල කටයුතු සොයා බැලීම වැඩිදියුණු කිරීම, අලුත් ඉදිකිරීම් සිදු කිරීම, වැනි සියලුම කටයුතු සිය නැඟණියට පැවරුවේය.
ගම්පොළ රාජධානියේ රාජ්‍යත්වය උසුලන සිය සහෝදරයා ඉතාම රුචිකත්වයෙන් සිදු කරගෙන ආ විහාර දේවාල කර්මාන්තවල කටයුතු ඉතා වගකීමෙන් සොයා බලා ඉටුකර ළීමට එතැන් පටන් හෙණකඳ බිසෝ බණ්ඩාර නැඟණිය තීරණය කළාය.
සිය සහෝදර වික්‍රමබාහු රජතුමා තමන් වෙත පැවරුවේ සුළුපටු රාජකාරියක් නොවන බව තේරුම් ගත් හෙණකඳ බිසෝ බණ්ඩාර නැඟණියද එතැන් පටන් එම කටයුතුවල පූර්ණ වගකීම සිය දෙවුර මතට ගත්තාය.
ගම්පොළ රජ මාළිගයේ සිට තම අතවැසියා සමග බිසෝ බණ්ඩාර මැණිකේ ඉහත කී විහාර දේවාල කර්මාන්ත කටයුතු සොයාබැලීම නිතිපතා ඒ ඒ කටයුතු සිදුකළ ස්ථාන වෙත ගියාය.
සිය සහෝදර වික්‍රමබාහු රජුට මෙන්ම බිසෝ බණ්ඩාර මැණිකේටද එම කටයුතු සොයා බැලීමට ගියාම රෑ බෝවන බව පවා නොදැනුණි.
මෙම කටයුතු සොයාබැලීමට දිනපතාම තම අතවැසියා සමග යන ඇය ඉහත කී විහාර භූමියකින් දේවාල භූමියකින් පිටතට එන්නේ ගොම්මන් අඳුර කෙමෙන් ප්‍රදේශයේ ගිල ගනිමින් තිබියදීය.
අඳුර තරමක් තද වනවිට ඇය සිය සේවකයා සමග රජ මාලිගාවට එන මග පිහිටි තෙන්නකෝන් දිසාවගේ නිවෙස අසලට පැමිණෙති. එහි ළඟාවත්ම බිසෝ මැණිකේ ඉතිරි මග යාමට තෙන්නකෝන් දිසාවගේ ගෙදරින් හුළු එළියක් ගෙන්වාගැනීමට පුරුදුව සිටියාය.
මෙම කටයුත්ත නිතිපතා සිදුවීම තෙන්නකෝන් දිසාවටද මහත් හිසරදයක් වී තිබිණි. එසේ හුළු එළියක් රැගෙන ඒමට තෙන්නකෝන් දිසාවගේ ගෙදරට යැවූ බිසෝ මැණිකේගේ අතවැසියාට දිනක් දිසාවේ ආඩපාලි කීවේය.
‘ඈ.... බොල.... මේ රාජකාරිය මට හැමදාමත් කොරන්ට පුළුවනෑ. මේ... කණවැන්දුමීට මටද බොල හැමදාම හුළු එළි ඔතන්න වෙලා තියෙන්නේ. ඉඳා, අදටත් අරන් පල, මීට පස්සේ වෙන අතක් බලා ගනිල්ලා. තේරුණාද? තෙන්නකෝන් දිසාවේ බිසෝ බණ්ඩාරගේ අත වැසියාට තර්ජන ස්වරූපයෙන් කීවේය.
දිසාවගේ ගෝරනාඩුවට බිය පත්ව වෙව්ල වෙව්ලා පැමිණි අතවැසියා, බිසෝ මැණිකේට බාධාවකින් තොරව මාලිගාවට ළගාවීමට හුළු එළිය අල්ලාගෙන ඇවිත්, මාලිගාව ආසන්නයේදී මට තරහ අවසර බිසොවුන් වහන්ස. මීට පස්සෙ අපි.. රෑ වෙන්ට කලියෙන් මාලිගාවට එන්ට බලමුයි.... කීවේය.
‘‘ඒ මොකද? උඹ කවදාවත් නැතිව එහෙම කතාවක් කිව්වේ. ‘බිසෝ මැණිකේ විචාළාය.
‘‘තරහ ගන්ට කාරි නෑ ඕන්...... එහෙනම් මං කියන්නම්කො. කී අතවැසියා, ‘හුළු එළි ඉල්ල ගන්ට ගියාම තෙන්නකෝන් දිසා හාමුදුරුවන් ආයි හුළු එළි ගන්ට මෙහෙ එන්ට ඕන නෑ. කණවැන්දුමීලට හුළු එළි බඳින්ට වෙලා තියෙන්නෙ මට නොවැයි ආඩපාළි කීව. බිසෝ හාමුදුරුවනේයි අත වැසියා වෙව්ලන ගතින් යුතුව බිසෝ බණ්ඩාර මැණිකේට කීවේය.
‘හ්..... ඒකත් එහෙමද? උඹ ඔය ඇත්තමද කියන්නෙ?
‘‘එහෙමයි..... එහෙමයි... බිසෝ මැණිකෙ හාමුදුරුවනේ..... බුද්ධ භූමියක, දේවාල භූමියක ඉඳල එන ගමන් මට මුසා බස් කියන්ට වුවමනා නැහැ නොවැ.’’ අතවැසියා එවර බැගෑපත්ව කීවේය.
‘‘හ්ම් හොඳයි. බලා ගම්මු. තෙන්නකෝන් දිසාවෙ එහෙමනම් මට ඇනුම් පදයකුත් කීව එහෙනම්.’’ මෙම කතාව ඇසූ වික්‍රමබාහු රජුගේ නැඟණිය වූ බිසෝ මැණිකේගේ සිත තදින්ම රිදුණේය.
‘‘එහෙම නම් තෙන්නකෝන් දිසාවෙ මට අපහාසයක් කළා. මේ සා වටිනා වැඩකට යන එන මට මගේ අඩුවක් ඉස්සරහට දාල ඇනුම් පද කීව. අපහාස කළා. අපි බලාගම්මු.’’ බිසෝ මැණිකේ තමාටම එසේ කියා ගෙන සිතේ ඇතිවූ තදබල තැවුල නිසාවෙන් පසුදා උදයේම ඇම්බැක්ක දේවාල භූමියට පැමිණ උපවාසයක් ඇරඹුවාය.
සිය නැඟණිය ඇම්බැක්ක දේවාල භූමියේ උපවාසයක් අරඹා ඇති බව වික්‍රමබාහු රජුට සැළවිය.
රජු වහාම ඇම්බැක්ක දේවාල භූමියට පැමිණ සිය නැඟණිය මුණ ගැසී ‘‘ඔබ ඉතාම සතුටින් නේද? විහාර දේවාල භූමිවල කටයුතු සොයා බලන්න කැමැති වුණේ. ඒ කටයුතුත් ඉතාම සතුටින් ඉටුකළා නේද? එහෙම නම් මේ හිටි ගමන් උපවාසයක් ඇරඹුවේ මන්දැ’’යි වික්‍රමබාහු රජු විචාළේය.
‘‘මහ රජතුමෙනි, ඒ කටයුතු ඉතා සතුටින් තමා ඉටු කළේ’’ එහෙම කී බිසෝ මැණිකේ, ඒ වන අතරවාරයකදී තෙන්නකෝන් දිසාවේ තමාව අපහාසයට ලක් කිරීමෙන් තම සිත බිඳුණු බව ඕ සිය සහෝදර රජුට සැල කළාය.
‘‘රජතුමෙනි, තමාට කළ අපහාසයට තෙන්නකෝන් දිසාවෙට දඬුවම් කළ යුතු යැයි’’ද? ඕ කීවාය.
‘‘එසේය නැගණිය, නුඹ ඔය උපවාසය අත හරින්න. මං දිසාවේට නැවත එසේ නොකිරීමට සුදුසු දඬුවමක් දෙනවා.’’ රජු සිය නැඟණිය අස්වසමින් කීවේය.
මාලිගයට පැමිණි රජු වහාම ආචාරියා කැඳවා ‘‘තමාට ඉක්මණින් යකඩ ආසනයක් සාදවා දෙවයි.’’ නියෝග කළේය.
රජු කී සැණින් යකඩ ආසනයක් තැනීමට ආචාරියාට නොහැකි විය. ආචාරියා යකඩ උදලු තලයක් ගෙන වහ වහා ඊට යකඩ කකුල් සතුරක් පෑස්සුවේය. එසේ කළ ආචාරියා එය රජුට ඉදිරිපත් කළේය.
වික්‍රමබාහු රජු එම යකඩ පුටුව වහ වහා ගිනියම් වන ලෙස රත් කිරීමට නියෝග කොට තෙන්නකෝන් දිසාවෙ තමා ඉදිරියට පමුණුවන ලෙසද රාජ පුරුෂයින්ට නියෝග කළේය.
දැන් එක පැත්තක යකඩ පුටුව ගිනියම් වෙමින් තිබේ. රජ අණ අනුව පිටත්ව ගිය රාජ පුරුෂයෝ තෙන්නකෝන් දිසාවේද ඒ අසලටම රැගෙන විත් තිබිණි.
ඒ අසල ගිනියම් වෙමින් තිබූ යකඩ පුටුව දුටු තෙන්නකෝන් දිසාවෙට දෙවියන් බුදුන් සිහිවිය. ඇසිල්ලකින් දිසාවගේ උගුර කට වියැළී ගියේය. ‘ෂාඃ මට කට වැරදුණා යැයි දිසාවේ තමාටම කියා ගත්තේය.
රජුගේ අණ පරිදි රාජ පුරුෂයෝ ගිනියම් වී තිබූ යකඩ පුටුව වෙත දිසාවේ ඇද ගෙන ගියහ.
තමාට කළ අපහාසයට වික්‍රමබාහු රජතුමා තෙන්නකෝන් දිසාවෙට දඬුවම් පැමිණවීමට යන වග සැළවූ බිසෝ මැණිකේ සිය උපවාසය අවසන් කොට වහ වහා එම ස්ථානයට පැමිණියාය.
‘‘රජතුමෙනි මට යමක් කියන්න තියෙනවා. පොඩ්ඩක් ඉන්න’’ කී බිසෝ මැණිකේ මේ මිනිහා මහා ජඩයෙක් ජඩයකුට දඬුවම දෙන්නටම ඕනෑ. එහෙත් රජතුමෙනි. රටටම බත සපයන ගොවියා දෙවියන්සේ අදහන උදැල්ලක් මත මෙවැනි ජඩයකු ඉන්දවා මරණයට පත් කිරීමෙන් වන්නේ ඒ සා වටිනා උදැල්ලකට කරන නිගරුවක් කියලයි. මට හිතෙන්නෙ. උදැල්ලකට අපහාස කිරීමකට මගේ සිත එකඟ කරගත නොහැකියි රජතුමෙනි.
‘‘අනෙක රජතුමෙනි, රටකට බත සපයාගැනීමට මහත් සේ උපකාරී වන උදැල්ලකට අපි ගරු කරමු. මේ වටිනා උදැල්ලට ගරු කොට මේ ජඩයාට අභය දානය දුන මැනවැ’’යි ඕ කීවාය.
එබස් ඇසූ රජු මා ප්‍රිය නැඟණියෙනි ඔබ කී කතාව සත්‍යයකි. එසේ නම් ඔබේ ඉල්ලීම මම පිළිගනිමි. මොහුට මම අභය දානය දෙමියි වික්‍රමබාහු රජු පිළිවදන් දුන්නේ. ඒ වනවිට ඇගේ සිතද බෙහෙවින් උණුවී ඇති වග පසක් කර ගනිමිනි.
ක්ෂණිකව කෝප ගනු ලැබුවත් මොහොතකින් සිය සිත වෙඬරු පිඬක් මෙන් උණුවන ඇය ගම්පොළ රාජධානියේ වෙහෙර, විහාර මෙන්ම දේවාලද තනවා සිදු කළ අසීමිත සේවාවල ප්‍රතිඵලයක් ලෙස ඇය මිය යාමෙන් පසු හෙණකඳ බිසෝ බණ්ඩාර නම් දේව ආත්මයක ඉපදුණු වග අප ජන වහරේ සඳහන් වේ.
කන්ද උඩරට ප්‍රදේශයේ ජනතාව අදටද ඇගේ නාමය සිහිපත් කර දේවාලවල පුද පූජා පවත්වන අයුරු දැකගත හැකිය.
- නන්දන ඩී. කෙහෙල්ගමුව