ළමා පොතක් ලියන්න ළමා මනස ගැන අවබෝධයක් තිබිය යුතුයි - තරුරසී ප්‍රනාන්දු



තරංගනී රෙසිකා ප්‍රනාන්දු ලේඛිකාව සහෘදයින් අතර ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ,  තරුරසී ප්‍රනාන්දු ලෙසය. දරුවන් ඇයව තරු නැන්දා ලෙස අමතයි. ලේඛිකාවක් හා කිවිඳියක් ලෙස, සිය පන්හිඳෙන් මෙන්ම - සමාජ අර්බුද හමුවේ ඇයගේ සජීවී හඬ ද  අවදි කරමින්, ක්‍රියාකාරීව ඉදිරියට පැමිණෙන්නීය. 

2000 වසරේ දී ඇය සමූහ කාව්‍ය කෘතියක් සමගින් පාඨකයා හමුවට පැමිණිය ද, ඇයගේ ප්‍රථම කාව්‍ය කෘතිය එළිදක්වන්නේ ඉන් වසර 15කට පසුවය. ඇයගේ පළමු කාව්‍ය සංග්‍රහය ‘තරු ඇස් රහස්’, 2015 වසරේ දී සහෘදයින් අතට පත්වෙයි. ‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘද සාක්ෂිය’ නමින් ඇයගේ ප්‍රථම නවකතාව ප්‍රකාශයට පත් කරන්නේ,  2017 වසරේ දීය. ඉන් වසර 5කට පසු ඇය, ‘ජෙරුසෙලමේ දූවරුනි’ නවකතාව සමගින්  පාඨකයා හමුවට පැමිණේ. දරුවන් සමග නිරන්තරයෙන් කටයුතු කරන ඇය, ‘චාරු චාරු අච්චාරු’ යන නමින් ඇයගේ ප්‍රථම යොවුන් සාහිත්‍ය කෘතිය රචනා කරමින් දරුවන් ආමන්ත්‍රණය කරයි. දරුවන්ට සාහිත්‍ය දැනුම ලබාදීමෙහි ලා ඇය ඉටු කරන කාර්ය පැසසුම් සහගතය. 

චාරු චාරු අච්චාරු කෘතියට ඇයගේ සමාජ ක්‍රියාකාරී දිවියෙහි ප්‍රබල අත්දැකීමක් පාදක වී ඇත. මෙම කෘතිය තුළ අව වරප්‍රසාදිත සමාජ පංතියේ යෞවන පරම්පරාව ඉලක්ක කරගෙන  තිබේ. 

ඇය සමග කරන ලද කතාබහ මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නෙමු. 

Q:  ළමයින් සමඟ කටයුතු කිරීම ළමා පොතක් ලිවීමට දායක වුණේ කොහොම ද?

මම ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරය තුළ ළමයෙක් ලෙසත්, එහිම ළමුන් සමඟ කටයුතු කරන අනුශාසකවරියක ලෙසත්, ජාතික තලයේ විවිධ තනතුරුවලත්, වසර විසිපහක් පමණ කටයුතු කරල තියෙනවා. ඒ ළමා සංවිධානය තුළ සේවය කිරීමේ දී මා ලැබූ අත්දැකීම් තමයි - මගේ මුල්ම ළමා/නවයොවුන් කෘතිය වන “චාරු චාරු අච්චාරු“ කෘතියට පදනම් වෙලා තියෙන්නෙ. දරුවකු ලෙසත්, යොවුන් අනුශාසිකාවක ලෙසත්, ළමුන් වෙනුවෙන් වැඩ කළ තරුණියක ලෙසත්, මගේ ජීවිතය ගොඩනගන්නට ඒ අත්දැකීම් විශාල දායකත්වයක් ලබා දුන්නා. ලංකාවේ බොහෝ පළාත්වල දරුවන් සමඟ එක්ව ජීවිතය බෙදාගන්න මට අවස්ථාව ලැබුණා. ඒ කටයුතු තුළ ජාති, ආගම්, කුල ආදී කිසිදු භේදයක් තිබුණෙ නැහැ. දුප්පත් පොහොසත් භේදයක් තිබුණෙ නැහැ. විවිධ සමාජ තළවල විවිධ අර්බුද නිසා පීඩාවට පත්වෙන දරුවන් මට හමුවුණා. සමහර දරුවන් පීඩාවන් නිසා බිඳ වැටෙන ආකාරය වගේම, තවත් දරුවන් එයින් පන්නරය ලබාගෙන තමන්ගේ ජීවිත ගොඩනගා ගන්නා ආකාරයත් මම දැක්කා. 

අප ලද මේ අත්දැකීම්වලින් අංශු මාත්‍රයක් හෝ බෙදාගැනීමේ අපේක්ෂාවෙන් තමයි මේ කෘතිය ලියවුණේ. පසුව එය ප්‍රවීණ ළමා ගත් කතුවරියක වන තනූජා අයගම සොයුරියගේ මූලිකත්වයෙන්, ග්‍රැෆිකෙයා ප්‍රකාශන ආයතනය මගින් කළ “වමට-දකුණට” ළමා-නව යොවුන් පොත් ව්‍යාපෘතියට තෝරා ගැනීම මට විශාල සතුටක්. ඔවුන් ලංකාවේ ළමා සාහිත්‍යය වෙනුවෙන් දීර්ඝකාලීනව කැපවීමෙන්, වගකීමෙන් කටයුතු කරන පිරිසක්. 

Q:   අනෙකුත් ශානරයක සාහිත්‍ය කෘතියක් ලියනවාට වඩා ළමා පොතක් ලියන එක ලේසි ද?

බැලූ බැල්මට ළමා පොත් ලියන එක පහසු දෙයක් වගේ පේන්න පුළුවන්. නමුත් එය බැරෑරැම් සහගත වැඩක්. වගකීමෙන් සහ මනා අධ්‍යයනයකින් කළ යුතු වැඩක්. ළමා මනස පිළිබඳ මනා අවබෝධයක් ඇතිවයි ළමා සාහිත්‍යයට එළඹෙන්න ඕන. “ළමයින්ටනේ... හරි ලේසියිනේ..” කියල කෙනෙක් ළමා පොත් ලියන්න හිතනවා නම් ඔවුන් නොලියා ඉන්න එක තමයි දරුවන්ටත් මේ සමාජයටත් කරන ලොකුම යහපත.  

Q:  ළමයින්ට පොතක් ලිවීමේ දී මොන වගේ අංශ පිළිබඳව ද ඔබ අවධානය යොමු කළේ?

ළමයින්ට පොත් ලිවීම ගැන ලොකු අත්දැකීමක් මට නැහැ. නමුත් දරුවන්ට ළමා සාහිත්‍යය හඳුන්වා දුන්නු, දීර්ඝ කාලයක් ළමා පුවත්පතක් සංස්කරණය කළ, දරුවන්ට කතන්දර කියා දුන්නු කෙනෙක් විදිහට මම හිතනවා - ළමා පොතක් ලිවීමේ දී ළමා මනස පිළිබඳ හොඳ අවබෝධයක් අපට තිබිය යුතුයි කියල. දරුවන්ගේ සමබර පෞරුෂ වර්ධනයකට දායක විය හැකි, ඔවුන්ගේ චින්තනය පුබුදුවාලිය හැකි, ඔවුන්ව විචිත්‍ර අත්දැකීමකට කැඳවා ගෙන යා හැකි තේමාවන්, චරිත සහ සිද්ධි ළමා කෘතියකට පාදක කරගැනීම ඉතා වැදගත්. අධ්‍යාපනයේ ප්‍රමුඛ අරමුණු ගැන අපි කතා කරනවා - දැනුම, ආකල්ප සහ කුසලතා සංවර්ධනය යනුවෙන්. ළමා සාහිත්‍ය නිර්මාණ කිරීමේදීත් මේ අරමුණු ප්‍රමුඛ විය යුතුයි. මොන තරම් වටිනා අන්තර්ගතයක් තිබුණත් වැඩක් නැහැ, එය තුළ දරුවන්ට සමීප කළ හැකි ආකෘතියක් සහ භාෂා රටාවක් නැත්නම්. ඒ නිසා අපි කතාව කියන්නට තෝරා ගන්නා ආකෘතිය, භාෂාව සහ රිද්මය ළමා මනස ආකර්ෂණීය කරන්නක් විය යුතුයි. 

Q:   ලේඛිකාවක් වශයෙන් ලංකාවේ ළමා සාහිත්‍යය පිළිබඳව ඔබ තෘප්තිමත් ද? ලියවෙන කෘති තුළින් ළමා කෘතියක අපේක්ෂිත අරමුණු ඉටුවෙනව ද?

ලංකාවේ ළමා සාහිත්‍යය තෘප්තිමත් විය හැකි මට්ටමක තියෙනවා. ඒ වගේම ඉතාම හොඳ ළමා සහ යොවුන් පරිවර්තන සාහිත්‍යයකුත් අපට තියෙනවා. ළමා මනසට උචිත නොවන තේමාවන් රැගත් ළමා කෘතිත්, දරුවන්ගේ පෞරුෂ වර්ධනයට දායක නොවන කෘතිත් නැතුවා නොවෙයි. ළමා සාහිත්‍යය සම්බන්ධ ප්‍රමාණවත් හැදෑරීමක් හෝ නියාමනයක් නැති නිසා හතු පිපෙන්නා වගේ බිහි වෙන පොත් ගුණාත්මකව උසස් මට්ටමක නැති බව දකින්න පුළුවන්. දරුවාට සුදුසු පොත තෝරා දීම හෝ තෝරා ගන්නට අවශ්‍ය මග පෙන්වීම දෙමව්පිය, ගුරුවර, වැඩිහිටියන්ගේ කාර්යයක්. 

බොහෝ විට ගැටලු‍ මතුවෙන්නෙ එතැනදි. අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය දරුවන්ව කියවීමට උනන්දු කරන ක්‍රමයක් නෙවෙයි. දරුවන් අධ්‍යාපන තරගයකට ඇද දමල තියෙන්නෙ. දෙමව්පියන් විෂය සමගාමී පොත් අරන් දෙන්න දක්වන උනන්දුව, සාහිත්‍ය කෘතියක් අරන් දෙන්න දක්වන්නෙ නැහැ. මේ නිසා දරුවන් කියවීමේ සංස්කෘතියෙන් දුරස් වෙලා තියෙනවා. කියවීමේ සංස්කෘතිය තුළ ශික්ෂණය නොලබන දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට හොඳ පොතක් තෝරාගැනීම කියන එකත් අසීරු කාරණයක්. 

ළමා සාහිත්‍යය තුළින් අපේක්ෂිත අරමුණු ඉටුවෙන්න නම් කියවන ළමා පරපුරක් ගොඩනැගෙන්නට ඕන. කියවීම විතරක් මදි, ඒ පිළිබඳ සංවාද ගොඩනැගෙන්නත් ඕනි. ඒ වගේම ළමා සාහිත්‍ය විචාර ක්‍රමවේදයකුත් සැකසෙන්න ඕන. මේ කාරණා දෙකම වර්තමානයේ තියෙන්නෙ සතුටු විය හැකි මට්ටමක නෙවෙයි. 

Q: ළමයින් ළමා පොත් ලිවීම ගැන ඔබේ අදහස මොකක් ද ?

ළමයින් ලියන එක ඉතාම හොඳ වැඩක්. දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් දියුණුවෙන්න, චින්තනය දියුණු වෙන්න, එය විශාල දායකත්වයක් සපයනවා. නමුත් ළමුන් ලියන දේ පොත් විදියට එළිදැක්වීම අනුමත කළ හැකි දෙයක් නෙවෙයි. අපි කියනවා ළමා සාහිත්‍යයේ නියැළෙන අයට ළමා මනස ගැන අවබෝධයක් තිබිය යුතුයි කියල. ළමුන් සඳහා ළමුන් පොත් ලිවීම අනුමත නොකරන්නෙ ඒ නිසයි. ලිවීමට දිරි ගන්වන්න පාසල් මට්ටමින් කැටපත් පවුර, සඟරා, ළමා පුවත්පත් ප්‍රවර්ධනය කළ යුතුයි. 

Q:  කවිය කියන්නේ ඔබේ ප්‍රධාන වැඩබිමක්. ළමා කවි සාහිත්‍යය ලංකාවේ කෙමෙන් වියැකී යයි ද?

මම නිර්මාණශීලී ලේඛනයට පිවිසෙන්නෙම කවියෙන්. මට වයස අවුරුදු හත, අට කාලයේ ඉඳන් තමයි කවි ලිව්වෙ. ආපසු හැරිල බලද්දි හිතෙනවා, මට අලු‍තින් හිතන්න පාර පෙන්නුවෙ කවිය තමයි කියල. අදටත් මාව කලඹන, ප්‍රමෝදයට පත් කරන අවස්ථාවල මට මුලින්ම එන්නෙ කවි කල්පනාවක්. 

ලංකාවේ ළමා කවි සාහිත්‍යය කියන්නෙ මම හරිම කැමති සහ අගය කරන ක්ෂේත්‍රයක්. එස්. මහින්ද හිමි, කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි ජ්‍යෙෂ්ඨයින් ළමුන් වෙනුවෙන් ඉතාම වගකීමෙන් සාහිත්‍යකරණයේ යෙදුණු බව ඔවුන්ගේ නිර්මාණ ඇසුරු කරද්දි පැහැදිලි වෙනවා. ඩබ්.ඒ. අබේසිංහ, රත්න ශ්‍රී විජේසිංහ වැනි ප්‍රවීණ සාහිත්‍යවේදීන් පවා ඉතාම සුන්දර ළමා කවි ගීත නිර්මාණය කරල තියෙනවා. 

මෑතක අප අතරින් සමුගත් විපුලි නිරෝෂිණි හෙට්ටිආරච්චි කිවිඳිය ඉතාම සුන්දර ළමා කවි ගී රැසක් දරුවන්ට දායාද කරල තියෙනවා. ඔවුන්ගේ ළමා කවි ගී නිර්මාණ විමසා බලද්දි පැහැදිලිවම පෙනෙන කරුණක් තමයි -  කොතරම් වගකීමෙන්, ළමා මනස පිළිබඳ අවබෝධයෙන්, ඒ නිර්මාණ කරල තියෙනවද කියන කාරණය. වර්තමානයේ ළමා කවි ලියැවෙන අවස්ථා අඩුයි. ඒ පිළිබඳව ලැබෙන අවධානයත් ප්‍රමාණවත් මදි බවයි මගේ හැඟීම. 

Q:  කවිය පාඨකයාට එතරම් සමීප නෑ කියන යෝජනාව මම කළොත් ඔබ ඊට එකඟ ද?

කවියට සීමා නොවී, සමස්ත සාහිත්‍යය ගැන කතා කරන්න මම කැමතියි. ඇත්තටම ලංකාවේ ජනගහනය එක්ක සසඳා බලද්දි, සාහිත්‍ය කලාව ඇසුරු කරන ප්‍රමාණය ඉතාම අල්පයක්. එයට එක් හේතුවක් විදියට මම දකින්නෙ පවතින ආර්ථික, සමාජ, දේශපාලන ක්‍රමයේ අසමත් බව. බහුතර ජනතාව විශාල ආර්ථික පීඩනයක හිර වෙලා ඉන්නෙ. 

එදිනෙදා ආහාර, අධ්‍යාපනය, ඉඳුම් හිටුම්, කියන මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට ගෙන යන අරගලයෙදි සාහිත්‍ය කලා රස වින්දනයට ඉඩක් වෙන් කරන්න ඔවුන්ට අසීරුයි. කවියක්, කෙටි කතාවක්, නව කතාවක් කියවා රස විඳින්න අවශ්‍ය මානසික නිදහස, විවේක බුද්ධිය අද සමාජයෙන් දුරස් වෙලා. සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් එක්ක ඊට වඩා ක්ෂණික රසවින්දන මාධ්‍ය අද ජනතාවට සමීප වෙලා. එහි ගුණාත්මකභාවය නම් ගැටලු‍ සහිතයි. 

දෙවන කාරණය තමයි, නොදැනුවත් බව. සාහිත්‍යකලා ඇසුර තුළින් ජීවිතයට ලැබෙන ආලෝකය ගැන මනා දැනුවත් බවක් සමාජයේ නැහැ. දරුවන් සාහිත්‍ය කලා ඇසුරට යොමුකිරීම මුලින්ම, පවුල තුළින්, පෙරපාසලෙන් සහ පාසලෙන් ආරම්භ විය යුතුයි. විශේෂයෙන් දෙමව්පියන් දැනුවත් කිරීම සිදු විය යුතුයි. සාහිත්‍ය කලා කතිකාවන් බිම් මට්ටමට යා යුතුයි. ඒ සම්බන්ධ යම් උත්සාහයන් ප්‍රාදේශීය මට්ටමින් මේ වන විට දකින්නට ලැබීම සතුටට කාරණයක්. 

Q:  කවිය සහ නවකතාව කියන ශානර දෙකෙන් අත්දැකීම වඩා හොඳින් ප්‍රකාශයට පත් කළ හැකි සාහිත්‍ය ශානරය කුමක් ද?

නිර්මාණකරුවකු තමන්ගේ අත්දැකීම ප්‍රකාශ කරන්නට ආරම්භක පියවර තබන්නෙම එම අත්දැකීම ඉල්ලා සිටින සාහිත්‍ය ප්‍රවර්ගය කුමක්ද කියන කාරණය පිළිබඳ මනා අවබෝධයෙන් කියලයි මට හිතෙන්නෙ. මාව ඉතා තදින් කම්පනයට පත් කළ සියුම් අත්දැකීමක්, හැඟීමක්, ප්‍රකාශ කරන්නට ඇති හොඳම මාධ්‍යය කවිය. නමුත් විශාල අත්දැකීම් පරාසයක් තුළ විහිදෙන චරිත සහ සිද්ධි නිරූපණය කරමින් කතාවක් ගොඩනගන්නට යාමේ දී, මට වඩා පහසු වෙන්නෙ නවකතාව. අත්දැකීමට සාපේක්ෂව තමයි කවිය, කෙටිකතාව හෝ නවකතාව කියන මාධ්‍යය තෝරා ගැනීමට සිදුවෙන්නෙ.


  • නවෝද්‍යා ජයවික්‍රම