​කොරෝනාවෙන් වසා දැමූ අපේ සංස්කෘතික උරුමය


කොවිඩ් 19 වයිරසය ශ්‍රී ලංකාවේ ජනතාවට පහර දෙන්නට පටන්ගෙන මේ වනවිට අවුරුද්දකට වැඩි කාලයක් ගත වී ඇත. තවමත් අපට එය පූර්ණ වශයෙන් මර්දනය කරන්නට නොහැකි වී ඇත. කොවිඩ් 19 වයිරසය, ශ්‍රී ලංකාව තුළ හැසිරෙන ආකාරය පාලනය කොට මර්දනය කිරීම සම්බන්ධයෙන් අපට සතුටු විය හැක්කේ අනෙකුත් බොහෝ රටවල් සමග සන්සන්දනය කළ විට, රජයක් වශයෙන් සංවිධානය වූ නිලධාරී ජාලයක් යොද‌ාගෙන ජාතික වැඩසටහනක් ලෙස රටපුරා එකවර එය මර්දනය කිරීමේ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවී තිබීම ගැනය. එම මෙහෙයුම යටතේ කාර්ය සාධක බලකායක් පිහිටුවා වේගයෙන් සිදුවන වයිරසයේ බෝවීම හා පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රදේශ හුදකලා කිරීම, වයිරසයට මුහුණ දීමට විශේෂ පුරුදු ක්‍රියාත්මක කිරීම, පී.සී.ආර්. පරීක්ෂණ වේගවත් ලෙස සිදුකිරීම, නීතිරීති සහ උපදෙස් ක්‍රියාත්මක කිරීම, සියලු දේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍ය අංශවලට සහාය වීමට අනෙකුත් අංශ රටපුරා සංවිධානය කිරීම, එන්නත් කිරීම් කඩිනම් වැඩසටහන් ලෙස ක්‍රියාත්මක කිරීම වැනි අවශ්‍ය කටයුතු මේ දක්වා ක්‍රියාත්මක කර ඇත. ඒවා ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව කොවිඩ් 19 මුල් රැල්ලේදී ලෝකයේ බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටියේය. ඒ සියල්ල ඉතා හොඳය.   


 මේ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යමින්. මෙයට සහභාගි වූ සියලු අංශ විසින්, කොවිඩ් 19 වයිරසය බෝවීමෙන් සහ පැතිරයාමෙන් හා බෝවුණු පසු අසාධ්‍යවීමෙන් වැළකී සිටීමට ජනතාව අනුගමනය කළ යුතු පිළිවෙළ පිළිබඳව දිගින් දිගටම, නොනවත්වා ඔවුන් දැනුවත් කරනු ලැබීය. ඒ අනුව මුහුණු ආවරණ පැළඳීමට සියලු දෙනා එක්වූහ. වෙළෙඳපොළේ මුහුණු ආවරණ සුලභ විය. සමාජ සංචරණයේදී මීටරයක දුරක් ඔවුහු පවත්වා ගත්හ. නිතර නිතර අත් සේදීම නිවසේදී මෙන්ම, බාහිර ආයතනවලදී ද සිදුකළහ. ඒ සඳහා ජලය සැපයීම සුලභ විය. විෂබීජ නාශක සුලභ විය. විවිධ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිත කළහ. පී.සී.ආර්. පරීක්ෂණ කළහ. ඇන්ටිජන් පරීක්ෂණ කළහ. ඇස්ට්‍රා සෙනිකා එන්නත ශ්‍රී ලංකාවට ආවේය. සයිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවට පැමිණියේය. ස්පුට්නික් එන්නත ලංකාවට පැමිණියේය. කඩිනමින් ඒවා එන්නත් කිරීම කරගෙන ගියේය. තැනින් තැන යම් යම් අඩුපාඩු, බිඳවැටීම් තිබුණ ද කොරෝනා මර්දන වැඩසටහන සාර්ථක ලෙස ඉදිරියට ගියේය.   


මෙහෙයුම් නොනැවතී ඉදිරියටම ගියේය. ඒ සියල්ල හරිය. එහෙත් ඒ සමස්ත වැඩපිළිවෙළ තුළ කාගේත් අවධානය යොමු විය යුතු තවත් කාරණයක් විය. විශේෂඥ අංශ විසින් කරන ලද මඟ පෙන්වීම යටතේ ජනතාවට දෙන ලද උපදෙස් හා එකපිට එක ආ මාර්ගෝපදේශ සියල්ලෙන්ම අවධාරණය කරමින් ජනතාව මෙහෙය වන ලද්දේ ඔවුන්ගේ ශරීරයේ බාහිර පරිසරය සකස් කර ගන්නා ආකාරයත්, එයට ප්‍රතිචාර දැක්වීමේදී අනුගමනය කළ යුතු ශරීරයෙන් බාහිර වත්පිළිවෙත් ආදියත් සකසා ගැනීම සඳහා පමණය. බාහිරව ලබාගත් එන්නත හැරුණු විට, අපේ අභ්‍යන්තර ශරීරය කොවිඩ් 19 වයිරසයට මුහුණ දී එය ප්‍රතික්ෂේප කිරීමට හැකි යම් ශක්තියක් ශරීරය තුළ ගොඩනැගීමට ඒ එකද උපදේශයකවත් කරුණු ඇතුළත් නොවීය. වයිරස් හෝ බැක්ටීරියා හෝ වෙනත් ඕනෑම වර්ගයක විෂබීජයක් වෙනුවෙන් ප්‍රතිරෝධමය ප්‍රතිචාර දක්වන ප්‍රතිශක්ති ක්‍රියාවලියක් අපේ ශරීරය තුළ ස්වභාවයෙන්ම ක්‍රියාත්මක වන බව සියලු දෙනා දන්නා කාරණයකි. බාහිර පරිසරය සකස් කිරීම මගින් ශරීරයට ඇතුළුවීමට උත්සාහ කරන ඕනෑම ආකාරයේ විෂබීජයක් ප්‍රතික්ෂේප කිරීමට කරන බලපෑමට වඩා ඉතා වැඩි බලපෑමක් ශරීරයේ අභ්‍යන්තර ප්‍රතිශක්තියට හැකි බව ද ඒ ආකාරයෙන්ම කවුරුත් දනිති. මේ නිසා කොවිඩ් 19 වැනි බරපතල වයිරසයක් වේගයෙන් බෝවෙමින් පැතිර යන අවස්ථාවක අපේ රටේ ජනතාවගේ ශාරීරික ප්‍රතිශක්තිය වැඩිකර ගැනීමට හේතුවන කාරණා පිළිබඳව ඒ අය උපදෙස්, මාර්ගෝපදේශ ලබා නොදුන්නේ අපේ වෛද්‍යවරුන්ට එන්නත හැර එවැනි වෙනත් දෙයක් ගැන කියන්නට නොතිබුණු නිසාද? ඒ හරහා කොවිඩ් 19 වයිරසය ශරීරය තුළින්ම මර්දනය කිරීම සඳහා එන්නත හැර වෙනත් ඖෂධ​​​ කිසිවක් ම නොමැති බවට විශ්වාසයක් අවසානයේදී ජනතාව තුළ ගොඩනැගී ඇත. ඒ තත්ත්වය නිවැරදිද?   


අපේ රටේ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගත් විට, සත්‍යය එයම ද? කොවිඩ් 19 වයිරසය ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පටන්ගත් අවස්ථාව වනවිට බටහිර වෛද්‍ය ක්‍රමය විසින් යටපත් කරන ලද, එහෙත් හොඳින් සංවිධානය වුණු ප්‍රත්‍යක්ෂය මත පදනම් වූ අවුරුදු දහස් ගණනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පැවැති බව අප විසින් අමතක කර ඇත. අවාසනාවට එය ඉන්දීය ආයුර්වේදය සමග එකතුවීමෙන්, දැන් එය ආයුර්වේදය ලෙස පිළිගැනීමට අපි පුරුදු වී සිටිමු. ලෝකය පුරා වෛද්‍ය වෘත්තියේ ප්‍රධාන ධාරාව බටහිර වෛද්‍ය ක්‍රමය බවට පත්ව ඇති නිසා එය ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක වන ප්‍රධාන ධාරාව බවට ප්‍රශ්නයක් නැත. ඒ පිළිගැනීම ශ්‍රී ලංකාවේ අප කා තුළත් ඇත. එහෙත් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් කළ නොහැකි සමහර විස්කම්, මිනිසුන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දේශීය වෛද්‍ය ක්‍රමයෙන් කළ හැකි බව අප අමතක නොකළ යුතුය. 1660 වර්ෂයේ ලංකාවට අහම්බෙන් පැමිණ දෙවැනි රාජසිංහ රජුගේ සිරකරුවෙකු වශයෙන් ද අවුරුදු විස්සක් සිට, රටේ ඒ ඒ ස්ථානවල සැරිසරා ආපසු එංගලන්තයට යන ගමනේදී රොබට් නොක්ස් ලියූ ග්‍රන්ථයේ ‘හන්දි වෙදකමටත්, ඔවුන් (ලාංකිකයන්) තරම් දක්ෂයින් මුළු ලෝකයේම නැත්තේය. බතකුත්, මාලු දෙකකුත් උයා ගන්නට පෙර ඔහුට (තුවාලකරුට) පත්තුවක් ගල්වා බිදුණු හන්දිය ප්‍රකෘතිමත් කළ හැකිය.’ යනුවෙන් අපේ දේශීය වෛද්‍යවරුන් පිළිබඳව කර ඇති සඳහන අපට නිකම්ම බැහැර කළ නොහැකිය. ඒ එක් අවස්ථාවක් පමණි. දේශීය වෛද්‍ය ක්‍රමවල හාස්කම් අප මෙහිදී සාකච්ඡා කළ යුතු නැත.   
එහෙත් අප සාකච්ඡා කළ යුතු වන්නේ මේ සා දැවැන්ත ව්‍යසනයක් රට තුළ සිදුවෙමින් පවතිද්දී එය මර්දනය කිරීම සඳහා වඩාත් පහසු ලෙස සහ වඩාත් ලාභද‌ායී ලෙස ප්‍රයෝජනයට ගත හැකිව තිබුණු මහා සම්පතක් නිකම්ම නිකම් නොසලකා හැර පැත්තකට දමා තිබීම ගැනය. බටහිර වෛද්‍ය ක්‍රමය මේ රටේ ජනතාව අතර මුල්බැසගෙන ඇත්තේ විවිධ රසායනික ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන පෙති හෝ කරල් හෝ වෙනත් ආකාරයේ ඖෂධ භාවිතයෙන් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය ක්‍රමයක් වශයෙනි. එහෙත් දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව මේ රටේ ජනතාව අතර පවත්නා පිළිගැනීම වන්නේ ගස්වැල්වල කොටස් යොද‌ාගෙන කරන ප්‍රතිකාර ක්‍රමයකට වඩා එහා ගිය ජනතාවගේ ජීවත්වීමේ පිළිවෙළ ද සකස් කර ගැනීමට උදව් වෙන ක්‍රමයක් ලෙසය. මිනිස් ජීවිතයේ හැම ක්‍රියාකාරකමකටම අද‌ාළ කර ගන්නා ඇවතුම් පැවතුම් දේශීය ​ වෛද්‍ය ක්‍රමය තුළ ඇත. ඉතිහාසයක් පුරා අපේ රටේ මිනිසුන්ගේ ජීවිත සකස් වී තිබෙන්නේ වැඩිකොටම දේශීය වෛද්‍ය ක්‍රමවල පවත්නා ඉගැන්වීම් ඔස්සේය. අද එය අපේ සංස්කෘතික උරුමයකි. පූර්ණ ලෙස නිරෝගී ජීවිත සහතික කරන ක්‍රමයකි. දේශීය වෛද්‍ය ක්‍රමය මුළුමනින්ම ගොඩනැගී ඇත්තේ අනිකුත් බොහෝ රටවල නැති වැඩි ජෛව විවිධත්වයෙන් යුත් පරිසරයක පවත්නා, මේ රටටම ආවේණික ලක්ෂ ගණනක් වර්ග ඇති ගහකොළ මතය. ඒ නිසා අපේ රටේ අය උපන් මොහොතේ සිට මියයන තෙක්ම සියලු ආකාරයෙන් ශරීරය පවත්වාගෙන යාමට උදව් කරගත්තේ වැඩිකොටම දේශීය​ වෛද්‍යක්‍රම යටතේ පැවත එන ඇවතුම් පැවතුම්ය. අපේ සෞඛ්‍ය සම්පන්න බාහිර පරිසරය මෙන්ම. ශරීරයේ අභ්‍යන්තරික ප්‍රතිශක්තිය රඳවා ගත්තේ ද වැඩිකොටම දේශීය වෛද්‍ය ක්‍රමවලිනි. වර්තමානය වනවට එහි යම් යම් වැදගත් කොටස් පවා අතහරිනු ලැබ තිබුණ ද, තම තමන්ගේ ජීවිත සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වාගෙන යාම සඳහා වර්තමානයේ වුවද රටේ බහුතර ජනතාව භාවිත කරන්නේ දේශීය වෛද්‍ය ක්‍රම ඔස්සේ අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවත ආ දැනුදු වෙනස් නොකළ හැකි ලෙස අපේ සංස්කෘතියේම කොටසක් බවට පත්ව තිබෙන දේශීය වෛද්‍ය ක්‍රමවලින් ඉතිරිව ඇති දේය. බටහිර වෛද්‍යවරුන් තහනම් කර තිබියදීත් අපේ ගම්බද අම්මලා තම දරුවන්ට රතකල්කය දෙති, කළු කල්කය දෙති. ඉන් දරුවාගේ නිරෝගීභාවය කෙරෙහි බලපාන ශරීරයේ ප්‍රතිශක්තිය ඉතා ප්‍රබල ලෙස වැඩිවන බව අම්මලා තරයේ විශ්වාස කරති. උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුණු විට කාට වුවද ඉඟුරු කොත්තමල්ලි තම්බා බීමට දෙති. මහන්සි වී ඇඟපත වෙහෙසට පත් වූ විට එය සහනයක් ලෙසත්, ලොකු කුඩා කුමන තුවාලයක් වූ විට ආරක්ෂිත පියවරක් ලෙසත්, වෙනිවැල්ගැට තැම්බූ වතුර බීමට දෙති. විවිධාකාරයේ ශාරීරික වේදනාවන්ට ගැල්වීම සඳහා තවමත් අපේ අය විවිධ තෙල් වර්ග භාවිත කරති. දෛනිකව ජීවිතයේදී සිදුවන විවිධ ආබාධ සඳහා නොයෙකුත් අත්බෙහෙත් වර්ග ඔවුහු පාවිච්චි කරති. විවිධ ඖෂධීය පැලෑටි යොද‌ාගෙන සාද‌ා ගත් ඔසු පැන් පානය කරති. කොළ කැඳ බොති. විවධ පලා වර්ගවලින් පොහොසත් කෑම රටාවන් පවත්වා ගනිති. මේ උද‌ාහරණ කිහිපයක් පමණී. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්‍රම යටතේ ශරීරයට ලබා දෙන බොහෝ ආහාරමය හා ඖෂධීය දේ අපේ ශරීරවල ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට හේතුවන බව මේ රටේ අය ප්‍රබල ලෙස විශ්වාස කරති. මේ සියලු දේ දේශීය වෛද්‍ය ක්‍රම ඔස්සේ අපේ රටේ ජනතාවගේ සිත් තුළ පැවැත එන පාරම්පරික දැනුමය. ඒ නිසා ඒවා අපේ සංස්කෘතියේම අවියෝජනීය කොටස්ය. අපේ සංස්කෘතික උරුමයන්ය.   


ශාරීරික සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා ඉතා පහසුවෙන්, ඉතා අඩු මුදලකින් සහ කිසිදු අතුරු ආබාධයක් නොමැතිව භාවිත කළ හැකි මේ සා විශාල දැනුම් සම්භාරයක් අපේ ඇස් ඉදිරිපිට, අත ළඟ පවතිද්දීත් කොවිඩ් 19 වැනි භයානක වසංගතයක් මර්දනය කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් රටපුරා ක්‍රියාත්මක වන අවස්ථාවක, ඒවා පසෙකට දමා යටපත් කිරීම කොතරම් අභාග්‍යයක්ද? කොවිඩ් 19 වයිරසය මර්දනය කිරීම සඳහා මේ දක්වා සොයාගෙන ඇති එකම උපක්‍රමය එන්නත් භාවිතයෙන් වයිරසය ප්‍රතික්ෂේප කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීම නම් එයම ඊටත් වඩා පහසුවෙන් හා අඩු වියදමින් දේශීය වෛද්‍ය ක්‍රමයේ එන විවිධ ආකාර සරල ක්‍රම මගින් කළ හැකිව තිබියදී ඒවා භාවිතා නොකරන්නේ ඇයි? ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා යොද‌ාගත හැකි බොහෝ දේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති බව සාමාන්‍ය ජනතාව පවා දනී. එය ශ්‍රී ලංකාවේ ජනතාවට අලුතෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැත. කොවිඩ් 19 වයිරසය ශ්‍රී ලංකාවට පැමිණි මුල් කාලයේ සිට මේ දක්වා අපේ රටේ බොහෝ අය ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට පානය, පස්පංගුව, පේයාව වැනි සුපුරුදු ගෘහ ප්‍රතිකාර වැඩි වශයෙන් භාවිතයට ගන්නට පුරුදු වූ බව කවුරුත් දන්නා සත්‍යයකි. ඒ පුරුද්ද මේ දක්වා වුවද කොවිඩ් 19 වයිරසය ශ්‍රී ලංකාවේ මර්දනය කිරීමට විශේෂ හේතුවක් වූයේ යැයි කිව නොහැක්කේ කාට ද? මේ ආකාරයෙන්ම කොවිඩ් 19 වැනි ඕනෑම වයිරසයක්, විෂබීජයක් මර්දනය කිරීම සඳහා ශරීර අභ්‍යන්තරයට යොද‌ාගත හැකි ඖෂධ වර්ග එකක් දෙකක් නොව, ගණනාවක්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. මේ සියලු දේ දැන දැන වුවද බාහිරව සිදුකළ යුතු මුහුණු ආවරණයක් පැළඳීමට, මීටරයේ දුර පවත්වා ගැනීමට, අත් සේදීමට, සංචරණය සීමා කිරීමට, ඉතා තදින් සියලුම මාධ්‍ය හරහා ජනතාවට නිතර දෙවේලේ, පුනපුනා උපදෙස් දෙන මාර්ගෝපදේශ සපයන කිසිවකු ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල්ගැට පානය හෝ පස්පංගුවත් පානය කරන්නැයි නිකමටවත් කියන්නේ නැත. ඔවුහු ඒවා නොකීමටම ප්‍රවේශම් වෙති. එහෙත් එසේ උපදෙස් දෙන බොහෝ අය හැන්දෑවට නිවසට ගිය විට නිවසේදී එවැනි දේ පමණක් නොව තවත් දේශීය ඖෂධ භාවිත කරන බව කවරුත් දන්නා රහසකි. මෙයම යම් ආකාරයකට කොවිඩ් 19 වයිරසය මර්දනය කිරීමේ මෙහෙයුමට බාධාවක් නොවේද? අපේ රටේ භාවිතයට ගන්නා මෙවැනි දේශීය වූ බොහෝ ඖෂධ පහසුවෙන් සපයාගත හැකිව තිබියදී වයිරසය බෝවීමට විරුද්ධව කරන ශාරීරික පෙර සූද‌ානමක් ලෙස රටේ සියලු දෙනාට ​ ඒවා භාවිතයට ගන්නා ලෙස අවවාද කරනු ලැබී නම් එය කොවිඩ් 19 වයිරසය මර්දනය කිරීමේ වැඩි හැකියාවක් ඒ මගින් අපේ රටේ ඇතිකර ගන්නට තිබුණා නොවේද? මේ දක්වාම අප විසින් එය මඟහරවා ඇත. වරින්වර ආයුර්වේද වෛද්‍යවරුන්, දේශීය වෛද්‍යවරුන් මෙන්ම ආයුර්වේද වෛද්‍ය සංගම් විසින් ද දේශීය ​ වෙද ක්‍රමවල සහාය කොවිඩ් 19 මර්දනය කිරීමේ මෙහෙයුමට ලබා දීමට ඉදිරිපත් වුවද ඒවා ද නොසලකා හරින ලදී. අණපනත් වල කුමක් සඳහන් වුවද, වෛද්‍ය ක්‍රමය කුමක් වුවද, පුද්ගලයා කේන්ද්‍රකොට මේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුව තිබිණි. මේ ආකාර වූ ජාතික ව්‍යසනයකදී එය මර්ධනය කිරීම සඳහා යම් අංශු මාත්‍රමය සහායක් හෝ යම් අංශයකින් ලබාගත හැකි වී නම් නොපැකිලව එය ලබා ගැනීම එවැනි මෙහෙයුමක වගකීමයි. ඒ නිසා විශාල ලෙස ප්‍රතිඵල ලබා ගැනීමට හැකිව තිබුණු සම්පතක් පසෙකට දමා වසා තිබීම සමාව දිය හැකි කාරණයක්ද? එද‌ා සිට මේ දක්වා අපේ රටේ බටහිර වෛද්‍යවරුන් මෙහෙයවන ලද වැඩපිළිවෙළට සමාන්තරව, ආයුර්වේද පනතින් ඉඩකඩ සලසා දී ඇති ආකාරයට ඔවුන්ට ද දේශීය වෛද්‍ය ක්‍රම යොද‌ාගෙන කොවිඩ් 19 මර්දනය සඳහා යම් වගකීමක් භාරදීමට හැකියාව තිබියදීත්, එවැන්නක් සිදු නොවීය. ඒ නිසා බලගතු දේශීය ඖෂධවල සහාය කොවිඩ් 19 වයිරසය මර්දනය සඳහා යොද‌ා ගැනීමට නොහැකි විය. ඒ නිසා එහි වාසිය අහිමි වූයේ පොදු මහජනතාවටය.   
 ප්‍රධාන ධාරාවේ මෙහෙයුම්වලින් ඵලද‌ායි දේශීය වෛද්‍ය ක්‍රම ඉවත් කොට සඟවා තැබුව ද, දිවයින පුරා ඇතැම් රෝහල් සහ වෙනත් බොහෝ ආයතන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විවිධ අංශවලින් රත කල්කය, විවිධ චූර්ණ වර්ග, තැම්බුම් හොදි ඇතුලු විවිධ ඖෂධ වර්ග අප්‍රසිද්ධියේ ලබාගෙන විවිධ ආකාරයෙන් භාවිත කොට වයිරසය ශරීර ගත වූ අය සුවපත් කළ බව බොහෝ දෙනා නොදනිති. විශේෂයෙන් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ අයට කොළඹ දිස්ත්‍රික්කයේ පවා ඇතැම් රෝහල්වලදී මේ ආකාරයෙන් අප්‍රසිද්ධියේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඖෂධ යොද‌ාගත් බවත්, දැනටද එය දිගටම සිදුවෙමින් පවතින බවත් සත්‍යයකි. එය වුවද තවමත් සීමා වී ඇත්තේ රෝහල් කීපයකට පමණි. එහෙත් තෝරාගත් බෙහෙත් වට්ටෝරු කීපයක් සමග පොදු මහජනතාවට භාවිතය සඳහා උපදෙස් දෙනු ලැබේ නම් එය ඔවුන් විසින් භාවිතයට ගන්නේය. එසේ සිදුවුණි නම් එය කොවිඩ් 19 මර්දනයට මහත් පිටිවහලක් නොවෙන්නේ ද? මෙහි ඛේදවාචකය වන්නේ මේ සා විශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගී තිබියදීත් මේවා හොර රහසේ අප්‍රසිද්ධියේ සිදුකරමින් තිබීමයි. ප්‍රධාන ධාරාවට ඇතුළු කර නොගැනීමයි. අඩුම වශයෙන් දේශීය වෛද්‍යවරුන්ගේ ද සහාය ලබාගෙන බටහිර වෛද්‍යවරුන්ට මේ ඖෂධ සමහරක් යොද‌ාගෙන කොවිඩ් 19 වයිරසය මර්දනය කිරීම සඳහා වඩාත් හොඳ ඖෂධයක් නිපදවා ගැනීමට පර්යේෂණ ආරම්භ කරන්නටවත් අවස්ථාව ගැනීමට තිබිණ. ගත වූ අවුරුද්දක කාලය එය හොඳටම ප්‍රමාණවත් විය. ඒ අවස්ථාවවත් ඔවුන් ප්‍රයෝජනයට ගන්නේ නැත.   
බටහිර වෛද්‍ය ක්‍රමය තවත් කොතෙක් කල් ඉදිරියට ගියත් අවුරුද්දේ තුන්සිය හැටපස් දවස පුරාම සූර්යාලෝකය සහිත සරුසාර පොළවක් හිමි ශ්‍රී ලංකාවේ මේ සා පොහොසත් ජෛව විවිධත්වයක් ඇති වැඩි ඔක්සිජන් ප්‍රතිශතයක් ගැවසෙන පරිසරයක් මතින් ගොඩනැගුණු දේශීය වෛද්‍ය ක්‍රමය, ජන ජීවිතය හා බැදී අපේ ඉතිහාසය පුරා පැවත ආ සංස්කෘතියේ එක් සාධනීය පාර්ශ්වයක් වන්නේය. එය අපේ නොනස්නා සංස්කෘතික උරුමයකි. එය තවදුරටත් ඉදිරියට ගමන් කරන්නකි. කොවිඩ් 19 වයිරසය නිසා එහි අගය ජනතාව තුළ තවත් හොඳින් තහවුරු විය. කොවිඩ් 19 මර්දන මෙහෙයුම හරහා මේ දක්වා පසෙකට දමා වසා දැමීමට උත්සාහ කර ඇත්තේ තවදුරටත් භාවිතයට ගත හැකි අපේ ඒ වටිනා සංස්කෘතික උරුමයයි. රටේ ජනතාව නිරෝගීව තබා ගන්නා සරල දිවි පෙවෙතයි.   


මේ ලිපිය සකස් කිරීමෙන් පසුව ලැබුණු ප්‍රවෘත්තියකින් කියැවුණේ කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ආයුර්වේද රෝහල් යොද‌‌ා ගැනීමටත්, ඒ අයට ආයුර්වේද වෛද්‍යවරුන් ලවා ප්‍රතිකාර කරවීමටත්, සෞඛ්‍ය අමාත්‍යාශය විසින් අවසර ලබා දුන් බවය. අශ්වයා ඉස්තාලයෙන් පැන ගිය ද, අවසන් මොහොතේ හෝ මෙහෙයුම භාරගෙන සිටින අය මෙය අවබෝධ කරගැනීම ගැන අපි සතුටු වෙමු.   

 

 

 

විමලද‌ාස සමරසිංහ   
හිටපු අමාත්‍යාංශ ලේකම්