​රටට මහ මෙහෙයක් කළ දොස්තර නෙවිල් ප්‍රනාන්දු


“අනේ බුදු මහත්තයෝ මගේ දරුවට පණ දෙන්න බැරිනම් ඔය මැසිම ගලවන්න. දරුවව තව දවසක්වත් මැසිමේ තියන්න අපට සල්ලි නැහැ, අනේ සර් ඔය මැසිම ගලවන්න. දෙවියෝ අපට සමාව දෙයි” ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් වෙන්ටිලේට්ර් යන්ත්‍රයක ආධාරයෙන් දවස් ගණනක් හුස්ම ගත්තු පුංචිදරුවෙකුගේ අසරණ අම්මා වාට්ටුව භාර දොස්තර මහත්තයා ඉස්සරහා අඳෝනා දෙනවා. මේ ප්‍රවෘත්තිය කන වැකුණු ඉස්පිරිතාලේ සභාපතිතුමා දැඩිසත්කාර ඒකකයට දුවනවා. වැලහින්නක් වාගේ හඬා වැටෙන ඒ අම්මගේ අත් දෙකෙන් අල්ලාගෙන සභාපතිතුමා කියනවා “අම්මා කලබල වෙන්න එපා. අපි දරුවව මැසිමෙන් ගලවන්නෙත් නැහැ, දරුවට මැරෙන්න දෙන්නෙත් නැහැ. මම මගේ වියදමෙන් දරුවව බේරාගන්නවා”. මේ වචන අදහාගන්න බැරිවුණු ඒ අම්මා සභාපතිතුමාගේ කකුල් දෙක අල්ලලා වඳිනවා. දැන් දරුවා ලොකු මහත් වෙලා. අම්මා වියපත් වෙලා. ඒ මානව හිතවාදී මිනිසා, දොස්තර නෙවිල් ප්‍රනාන්දු දැයෙන් සමු අරන්.   


“ඉගෙන ගන්න සල්ලි නැත්තම් මම ශිෂ්‍යත්වයක් දෙන්නම් ළමයව සයිටම් එකට දාන්න.”   


“ඔතන අව්වේ වේළි වේළී පලතුරු විකුනන්න එපා, මම පොඩි කඩයක් හදල දෙන්නම් සයිටම් එක ඇතුළේ. ඒකේ ඉඳන් වෙළෙඳාම කරගන්න”“ඔය ඌරු ගොවිපොළ නතර කරල දාන්න. සත්තු මරණ රස්සාවෙන් අයින් වෙලා හොඳ බෞද්ධයෙක් හැටියට වෙන මොකක් හරි යහපත් ව්‍යාපාරයක් පටන් ගන්න. ඒකට සල්ලි මම දෙන්නම්.   


“ගෙයක් නැත්තම් මට කියන්න මම පොඩි ගෙයක් හදල දෙන්නම්” වැනි නිමක් නැති සේවා අණබෙර නොගසා නිහඬවම ඉටුකළ මේ දයාන්විත මිනිසාව පසු කාලයක, කෙළෙහිගුණ නොදත් කෲර සමාජය සහ සමහර ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ආයතන පවා හංවඩු ගැහුවේ දේශපාලන ගැත්තෙක්, මගඩිකාරයෙක්, හොර දොස්තර කෙනෙක් වශයෙනුයි. මොහුට චෝදනා කළේ මේ රටට අවශ්‍යම පිරිසක් වන දොස්තරවරුන් පනහක්වත් වසරකට අවම වශයෙන් බිහිකිරීමට උත්සාහ ගැනීමේ පාපය නිසා. අධ්‍යාපන වියදම් ලෙස රටෙන් ගලා ගිය බිලියන ගනන් විදේශ විනිමය රටට ඉතුරු කරදීමට උපාය මාර්ග සෙවීමේ පාපය නිසා. එය කවර නම් අභාග්‍යක්ද?   


සිය රට ගැන අබමල් රේණුවක ආලයක් නැති, බලයට කෑදර දේශපාලන බලවේග සහ තම පුද්ගලික වාසි පමණක්ම ඔස්සේ හඹායන සමහර ව්‍යාපාරික ප්‍රජාව සුබවාදී කර්තව්‍යයක් දකින්නේම වපර ඇසින්. වෘත්තීය සංගමය යැයි කියා ගන්නා, රටේ සෞඛ්‍යයට ඇර අනෙක් සෑම ප්‍රශ්නයකටම විසඳුම් ඉදිරිපත් කරන දේශපාලන බැලමෙහෙවර කරන්නන් නිසා අපට අහිමි වුණු අවස්ථා පිළිබඳව ඇත්තේ කනස්සල්ලක්.   
නෙවිල් ප්‍රනාන්දුගේ සමාජ හිතකාමී කටයුතු ආරම්භවන්නේ ඔහුගේ ගම පානදුර පුරවරයෙන්. වසර විසිපහක් පමණ අඛණ්ඩව දුප්පත්, පොහොසත් සෑම තරාතිරමකම අයට සාධාරණව වෙදහෙද කම් කළ මෙතුමා, 1977 දී, ප්‍රථම වරට, එතෙක් දශක ගණනාවක් තිස්සේ වැජඹුණු සමසමාජ බලකොටුවක් වූ පානදුරේ එවකට සිටි, ලෙස්ලි ගුණවර්ධන මන්ත්‍රීතුමා පරදා අලියා ලකුණින් පාර්ලිමේන්තුවට පත්වන්නට වරම් ලබා ගත්තා.   


නෙවිල් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා පානදුර නගරයට ඉටු කළ සේවාව වෙන කිසිම දේශපාලනඥයෙකු අතින් අද වෙනතුරුම ඉටු වී නැහැ. අදටත් නගරය භුක්තිවිඳින්නේ ඔහුගේ දූරදර්ශීභාවයේ අතුරු පලයි. කොළඹ හැර වෙන කිසිම නගරයක නොමැති කේතුමතිය ළමා හා මාතෘ රෝහල ඉදිකිරීම, ශ්‍රී සුමංගල (ගැහැනු) විද්‍යාලය වැඩි දියුණු කර පුළුල් කිරීමට අවශ්‍යය ස්වර්ණගිරිය නමැති විසල් මැදුර ලබා දීම, අද දින දහස් ගණන් තරුණ තරුණියන්ට රැකියා සැපයෙන මෝදරවිල කාර්මික උද්‍යානය නිර්මාණය කිරීම, රන්කොත්විහාරයේ ශ්‍රී සෞගත පිරිවෙන පවත්වන්නට අවශ්‍ය ගොඩනැගිල්ල සහ පානදුර වාදභුමියේ සුවිශාල තාප්පය තම පෞද්ගලික අරමුදල් වලින් සාදා නිමකිරීම, අගමැති බාලිකා පාසල සහ රාජකීය විද්‍යාලය ආරම්භ කිරීම ආදිය ඔහුගේ දේශපාලන දුරදක්නා නුවනින් කළ සේවාවන්ගෙන් ස්වල්පයක් පමණයි. මීට සිව් වසරකට පමණ පෙර, මිලියන ගණනක් වටිනා ඔහුගේ පෞද්ගලික ග්‍රන්ථ එකතුව ජාතික පුස්තකාලයට තෑගි කළේ අනාගත පරපුරේ දෑස් පාදනුවස්ය. මේ සියලු මානව හිතවාදී ආයෝජනයන් නිස්සරණාධ්‍යාසයෙන් යුතුව ඉටුකළා මිසෙක ප්‍රචාරය බලාපොරොත්තුවෙන් කළ කී දේ නොවුණි.   


ශ්‍රී සුමංගල විදුහලේ දීප්තිමත් ආදීශිෂ්‍යයකු වන මෙතුමා, වසර විසිපහකට පෙර තාක්ෂණයේ වටිනාකම දැනගෙන කොම්පියුටර් විසිපහක් සහිත තාක්ෂණික මධ්‍යස්ථානයක් තම පෞද්ගලික මුදලින් ප්‍රධානය කළ බව වර්තමාන සිසු පරම්පරාව සහ ආදිසිසුන් සිහිපත් කරන්නේ ඉමහත් භක්තියෙනි. පාසලට තම වියදමෙන් කලකී දෑ තව බොහෝය.   


කිසිම දේශපාලන හස්තයක අතකොළුවක් නොවුණු මෙතුමා, ඔහුගේ හෘදසාක්ෂියට එරෙහි වූ සෑම අවස්ථාවකම ප්‍රතාපවත් ජනාධිපති ජයවර්ධන මහතා සමගද කිහිපවරක් නොබියව ගැටුනා. ඒ ඔහු පාර්ලිමේන්තුවට යැවූ ජනතාවගේ විශ්වාසය බිඳීමට මොනම අවස්ථාවකදීවත් ඉඩ කඩක් නොතැබූ හෙයිනි. අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතීන් අහෝසි කිරීමට විරුද්ධ වීම නිසා දොස්තර නෙවිල් ප්‍රනාන්දු හට පාර්ලිමේන්තුවේ තවදුරටත් රැඳී සිටිය නොහැකි වූ හෙයින්, ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් සමුගති. එහෙත් මහජනතාවට සේවය කිරීමට ඔහුට තිබූ අතිශය වුවමනාව නිසාම ඔහු දෙවැනි වරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු ගතවිනි. පාර්ලිමේන්තුවේ සිටියත් නොසිටියත් ඔහුගේ ප්‍රජා සේවාවන්වල අඩුවක් නොවිණි.   


ඔහු ඉතා දක්ෂ ව්‍යවසායකයෙක් මෙන්ම පුරෝගාමී ව්‍යාපාරිකයෙක්ද විය. දහස් ගණන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා පහසුකම් ලබා දෙන්නට සෑම විටම උත්සුක වුණු මෙතුමා සංචාරක ව්‍යාපාරයට අඩිතාලම් වැටුනු මුල් අවදියෙදී ‘ස්වෝනි‘ නමින් හෝටලයක් ඉදි කළේය. වර්තමානයේ ඉතා ඉස්තරම්ම මුද්‍රණාලයක් සේ සැලකෙන ජේ එෆ් ඇන් අයි ආරම්භ කළේ වසර තිහකටත් ඉහතදීය. ෆර්න්වූඩ් පෝසිලෙන් නමැති පිඟන් කම්හල ආරම්භ කර ලංකාවේ පිඟන් අපනයන කළේය. වෛද්‍ය වෘත්තිය ඇටමිදුළුවලටම කිඳාබැස තිබූ ඔහු, ආශා හොස්පිටල්ස් මිලට ගත්තේ සාධාරණ මිලකට මහජනතාවට සෞඛ්‍යය පහසුකම් ලබා දීමේ අරමුණිනි. පසු කලෙක එය අශා සෙන්ට්‍රල් ලෙස මහා පරිමාණයේ රෝහලක් ලෙස පරිවර්ථනය කරන්නට මුල් වූයේ ඒ වනවිට ලංකාවට අත්‍යාවශ්‍යව තිබූ නවීණ තාක්ෂණික මෙවලම් වලින් පරිපූර්ණ රෝහලක් දායාද කිරීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඔහු මේ වනවිට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජාතික විශ්වවිද්‍යාල සඳහා නොතේරුණු දරුවන් විදෙස්ගත වෙන්නට දරන වෑයම දැක එයට කළ හැකි ප්‍රතිකර්මය සිතමින් සිටි දොස්තර නෙවිල් ප්‍රනාන්දු, ඉස්පිරිතාල හැදීම පසෙකලා පුද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අදහස් කළා. සයිටම් පුද්ගලික විශ්වවිද්‍යාලය එහි ප්‍රතිපලයයි. සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය, වෛද්‍ය, ඉන්ජිනේරු, තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණ ආදී පීඨයන්වලින් යුක්තවූ අතර, ඒ සඳහා අවශ්‍ය පූර්ණ අවසරය විශ්වවිද්‍යාල කොමිසන් සභාවෙන් ලැබුණි. ඉතා උසස් ගණයේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ මගපෙන්වීමෙන් ඉගැන්වීම් කටයුතු සිදු කළ මෙම විශ්වවිද්‍යාලය, දකුණු ආසියාතික කලාපයේ අධ්‍යාපන කෙන්ද්‍රස්ථානයක් කිරීමේ දැක්ම ඇතිවයි ආරම්භ කළේය.   


වසර හතක කාලයක් මුළුල්ලේ වෛද්‍ය සිසුන් දහසක් සහ ඉංජිනේරු සිසුන් දෙසීයක් පමණ අවහිරයකින් තොරව මෙම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබීය. රුපියල් මිලියන 25-50 ත් අතර ප්‍රමාණයක් වියදම් වසර පහක් දීර්ඝ වෛද්‍ය උපාධි මෙතුමා ලබා දුන්නේ මිලියන අටක් වැනි ඉතා සාධාරණ මුදලකටය. වසර හතක් පුරා ශ්‍රී ලංකාවට රු බිලියන දහයක පමණ විදේශ විනිමයක් ඉතුරු කරදුන් මෙතුමා රුපියල් මිලියන හයසිය හතළිහක වටිනා ශිෂ්‍යත්ව ලබා දුන්නේ ඇති නැති කාටත් සයිට්ම් විශ්වවිද්‍යාලය පිහිට විය යුතුයි යන සංකල්පයේ දැඩිව එල්බ සිටි නිසාමයි.   


සයිටම් විශ්වවිද්‍යාලයට අනුබද්ධව රජයේ රෝහලක් ලබා දෙන බවට ප්‍රතිඥා දුන් රජය පසුව හිත වෙනස් කර ගත් විට අධෛර්යමත් නොවුණු දොස්තර නෙවිල් ප්‍රනාන්දු ඇඳන් එක් දහසක මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල තනා නිම කළේ ඔහු නැති කලෙක එය රජයට තෑගි කරන අභිලාශයෙනි. මේ සියල්ල ඉතා සීරු මාරුවට සහ සුපැහැදිලිව කළමනාකරණය කළ මොහුව පසු කාලීනව නොමරා මැරුවේ දේශපාලනික සහ වෘතිමය අඳබාලයන් විසින් වීම අභාග්‍යයක්. තිත්ත ඇත්ත නොදන්නා බොහෝ දෙනා මොහුව කළුකඩකාරයෙක් ගණයට ඇද දැමීම ඔහු ගැන සත්‍ය දන්නා සැමටම මහා සිත් තැවුලක්.   
මෙම ලිපිය ලියන මාත් එවැනි සිත් තැවුලෙන් පෙලෙන්නියක්.   


අවුරුදු හැට පහක් ස්වර්ණමාලී ප්‍රනාන්දු මහත්මියට දයාබර සැමියෙක් වූ, දරුවන් සිව් දෙනෙකුට සෙනෙහෙබර පියෙක් වූ, මුනුපුරු මිනිපිරි කැලකට සීයා වූ, මී මුනුපුරු මිනිපිරියන් සිවු දෙනෙකුට මී මුත්තා වූ, ඔහු වටා සිටි නෑදෑ හිතමිතුරන්ට මහා වෘක්ෂයක් සේ ආදර කරුණාව පෑ මේ යුග පුරුෂයා, කොවිඩ් මාරයා සමග රටම පොරබදන සමයක, ලෙඩුන් දහසක් බලා ගන්නා රෝහලක් ඉදි කර, කොවිඩ් මාරයා ඉදිරියේම පරාජය වූයේ දෛවයේ සරදමක් මෙනි.   


මෙතුමාගේ සසර ගමන කෙටීවී, අමාමහ නිර්වාණය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි.

 

 

සන්ධ්‍යා සල්ගාදු